"දුප්පත්කම නැති කිරීම සහ රටේ දරුවන්ගේ අනාගතය" ගැන NEXTGEN තරුණ සංවාදයේදී සජිත්ගෙන් කෙළින් පිළිතුරු
මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයත්, නීති ක්ෂේත්‍රයත් උණුසුම් කරන මාතෘකාව වී තිබෙන්නේ, උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ගෙන එන්නට යන ආන්දෝලනාත්මක ව්‍යවස්ථා සංශෝදනය පිළිබඳ කතාබහය.
විනිසුරුවරුන්ගේ ඉල්ලීමකුත් නොවන, නීතීඥ සංගමයේ ඉල්ලීමකුත් නොවන, සිවිල් සංවිධානවල ඉල්ලීමකුත් නොවන, මහජනතාවගේත් ඉල්ලීමක් නොවන මේ විනිසුරුවරුන්ගේ වයස් සීමාව වැඩි කිරීමේ ව්‍යවස්ථා සංශෝදනය එහෙනම් කාගේ උවමනාවකට ගෙන එන්නක් ද?
අත්තනෝමතික ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි සටන සජිත් අතට ගනී
| අත්තනෝමතික ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි සටන සජිත් අතට ගනී
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආරාධනයට අනුව විපක්ෂයේ සියලු පක්ෂ නායකයින් බ්‍රහස්පතින්දා එක මේසයක වාඩි වුණේ, "නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා විපක්ෂයේ එකමුතුවක් බිහි කිරීම “ යන තේමාව මුල් කරගෙනය.
ඒ අනුව මෙම විශේෂ සාකච්ඡාවට, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළුව, නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජීඑල් පීරිස්, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, පාඨලී චම්පික රණවක, දයාසිරි ජයසේකර, විමල් වීරවංශ, ටිරාන් අලස්, උදය ගම්මන්පිල, මහින්ද අමරවීර, අසංක නවරත්න, රවුෆ් හකීම්, රවී කරුණානායක, මනෝ ගනේෂන්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, පී.දිගම්බරම්, රාධාක්‍රිෂ්ණන්, වජිර අබේවර්ධන, ජීවන් තොණ්ඩමන්, රාමනාදන් අර්චුනා, තලතා අතුකෝරළ, සාගර කාරියවසම්, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක, කාදර් මස්තාන්, මෛත්‍රී ගුණරත්න, ඇතුළු දේශපාලන නායකයින් මෙන්ම, ජනාධිපති නීතිඥවරුන් වන රොනල්ඩ් පෙරේරා, තිසත් විජේගුණවර්ධන සහ ෆර්මාන් කැසිම් යන මහත්වරුන්ද එක්ව සිටියේය.

මෙහිදී තමන් විපක්ෂයේ පක්ෂ නායකයින් විශේෂ සාකච්ජාවකට කැඳවූ අරමුණ පැහැදිලි කළ සජිත් පෙන්වා දුන්නේ…,
” අපි මේ විදිහට රැස්වෙලා ඉන්නේ, අධිකරණයේ ස්වාධීනත්වය සහතික කරන්න, අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව වත්මන් අනුර කුමාර ජනාධිපතිවරයා මේ ක්‍රියාත්මක කරමින් ඉන්නේ, රට තුළ තනි පක්ෂ යාන්ත්‍රණයක් නිර්මාණය කරන්න. ඒ සඳහා අධිකරණයට මැදිහත් වීමයි මේ කරන්න සැරසෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියමිත පුරප්පාඩු පිරවීමට කටයුතු නොකර, විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා තවත් වසර දෙකකින් දීර්ඝ කරන්න කටයුතු කරන්න හදන්නේ ඇයි ? ඒ තමයි ඒකේ මූලාරම්භය. වත්මන් රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ ගමන පරාජය කරන්න, විරුද්ධ පක්ෂ එක්සත් කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගත යුතුයි.”
මෙලෙස කෙටි අදහස් දැක්වීමත් සමඟ විපක්ෂ නායක සජිත් පැමිණි සියළු දෙනා පිළිගත් අතර ඉන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදහස් දැක්වීය.
“ අධිකරණ ඇමති කියනවා මේ රටේ නඩු ප්‍රමාද වෙනවා කියලා, ඒකට අපි 100% එකඟයි, නඩු ලක්ෂ 11 විසඳීමට තියෙනවා නම් ඒවා කඩිනමින් විසඳන්න කරන්න ඕන මොකක්ද? අපි තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා පාර්ලිමේන්තුවට යෝජනාවක් බාර දෙමු.”
සජිත් - රනිල් සුහද කතා බහට කාගේත් අවධානය
| සජිත් - රනිල් සුහද කතා බහට කාගේත් අවධානයමෙම විශේෂ සාකච්ජාව අතර තුර සජිත් සහ රනිල් එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීමද එතැන සිටි දේශපාලන නායකයින්ගේ සහ මාධ්‍යවේදීන්ගේත් අවධානයට ලක්වූයේ නිරායාසයෙන්මය.
උදය ගම්මන්පිල අසල සිටි දයාසිරි ජයසේකර කිව්වේ..
“ මචං බලපං කෝ ලොක්කෝ දෙන්නේ අද මාර චූන් එකේ ඉන්නේ, මේක දැක්කනං මාලිමාවේ 159 ම අඬනවා මේ කරගත්තේ මොකක්ද? කියලා.”
මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් යෝජනා කළේ, “ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත්ත අවස්ථාවෙත් අපි එකතු වුනා, මේක ඊටත් වඩා එක්සත් වීමට හේතුවක් කර ගමු.” කියාය.
රජය අධිකරණයට මැදිහත් වූ අවස්ථාවල සිදුවූ සිදුවීම් ලොව පුරා උදාහරණ සහිතව උදය ගම්මන්පිල පෙන්වා දෙද්දී, විමල් වීරවංශ අවධාරණය කළේ, සියලු වෙනස්කම් තිබියදීත් මෙම රැස්වීම සංවිධානය කිරීම පිළිබඳව විපක්ෂ නායකවරයාට ස්තුතිවන්ත වන බවය. එමෙන්ම රජය දැනටමත් රාජ්‍යය අල්ලාගෙන ඇති බව පෙන්වා දුන් ඔහු කියා සිටියේ, ඒ හේතුවෙන් මහේස්ත්‍රාත්වරුන්ට පවා තමන් ඊට එරෙහි බව ප්‍රකාශ කිරීමට සිදුව ඇති බවය.
මේ අතර විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේදී එය අභියෝගයට ලක්කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම වැදගත් බව මහාචාර්ය ජීඑල් පීරිස් සඳහන් කළ අතර, ඔහු අවධාරණය කළේ, මෙම ගැටලුවට එරෙහිව හඬ නැගූ විනිසුරුවන් ආරක්ෂා කිරීම ද විපක්ෂයේ දේශපාලඥයින්ට යුතුකමක්ව ඇති බවය.
ආණ්ඩුවේ දේශපාලන බලය යොදා ගනිමින් අධිකරණය පාලනය කිරීමට උත්සාහ කරන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස විනිසුරුවරුන්ටත් යම් යම් තර්ජන එල්ල වී ඇති බවත් චම්පික රණවක පෙන්වා දුන්නේය.
දෙමළ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ආ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් අවධාරණය කළේ, “ මේ කාරණය අපි ජනතාව අතරට ගෙන යා යුතුයි. පාර්ලිමේන්තුව ඇතුලේ වගේම පිටතත් ආණ්ඩුවට එරෙහි ව්‍යාපාරයක් ගොඩනැගීමට පක්ෂ නායකයෝ විදිහට අපි තීන්දු කරමු”
| අදහස් පළ කල පක්ෂ නායකයින්මේ ආකාරයට විවිධ පක්ෂ නායකයින්, නියෝජිතයින් අදහස් දක්වද්දී, කොළඹ විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට මාර්ගය අසළ මාධ්‍යවේදීන් රැසක් රැස් කමින් බලා සිටියේ සාකච්ජාව නිමවා එළියට එන දේශපාලන නායකයින්ගෙන් වොයිස් කට් ලබාගැනීමටය.
එක්තරා පුද්ගලික රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙක් සුජීව සේනසිංහගෙන් ඇසුවේ…
මාධ්‍යවේදියා : “ ඔබට සතුටුයිද?” කියාය.
සුජීව : “ආ…ඇයි ඔබතුමාගේ මූණ අප්සෙට් ගහලා. මොකක්ද මේ ආයතනය.
ඒ මාධ්‍යවේදියාම චාමර සම්පත් දසනායකටද මයිඑක දික්කරමින්
මාධ්‍යවේදියා : “ සටන පාරට ගෙනියන්න බැරිද?”
චාමර සම්පත් : “ ඔයා ඔය රවුම් ගහන්න වෙන අයට චාමරට රවුම් ගහන්න එපා. බලය තියෙනකොට මොළේ නෑ ආණ්ඩුවලට, මොළේ තියෙනකොට බලය නෑ, මේ එකතුවෙලා තිබුණ විපක්ෂය එක මිනිහෙකුගේ අවුරුදු දෙකක පෙන්ෂන් එකක් නිසා එකතු වුනා. එක මනුස්සයෙක් තියාගන්න ඕන නිසා ආණ්ඩුව කරන්න හදපු වැඩේ නිසා කැඩිලා, බිඳිලා හිටපු විපක්ෂය අද එකතු වුනා…කෙටි වචන.”
එලෙස කියමින් චාමර වාහනයට ගොඩවුණේය.
සජිත් නීති විශාරදයින් සමඟ සාකච්ජාවක
| සජිත් නීති විශාරදයින් සමඟ සාකච්ජාවකවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය සති කිහිපයේම වැඩිම අවධානයක් යොමු කර තිබුණේ, ආණ්ඩුව සූදානම් වන ආන්දෝලනාත්මක ව්‍යවස්ථා සංශෝධන යෝජනාවට එරෙහි සටන දියත් කිරීම පිළිබඳවය.
ඒ අනුව නීති ක්ෂේත්‍රයට සම්බන්ධ විශේෂඥයින් සම්බන්ධකර ගනිමින් පුළුල් සාකච්ජාවට කිහිපයක් සිදුකළ සජිත්, ආණ්ඩුවේ මේ අත්තනෝමතික වියරුව පරාජය කිරීමට සිදුකළ යුතු කථිකාවත ගොඩනැගීම පිළිබඳ සැලසුම් සකස් කළේය.
කවුරුත් ඉල්ලා නැති යෝජනාව පරාජය කළ යුතුයි
| කවුරුත් ඉල්ලා නැති යෝජනාව පරාජය කළ යුතුයි“ නීති ක්ෂේත්‍රයේ කිසිදු පාර්ශවයක් මෙහම එකක් ඉල්ලලා නෑ. මෙම ව්‍යවස්ථා සංශෝධනය හදිසියේම ගෙන ඒම පිටුපස තියෙන්නේ බරපතළ දේශපාලන කුමන්ත්‍රණයක්. මේ වගේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ පදනම හෝ හේතුව අද වනතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ආණ්ඩුව මේක හරහා උත්සාහ කරන්නේ අධිකරණයේ තියෙන බලතුලනය (Balance of power) තමන්ගේ දේශපාලන අවශ්‍යතාවලට ගැලපෙන විදිහට සකස් කරගන්න. මේ ගැන අපි රටම දැනුවත් කරන්න ඕන. මේක අපි දේශපාලඥයින් අතර විතරක් කතා, කිරීමෙන්ම ඵලක් වෙන්නේ නෑ, මේ ගැන අපි මහජනතාවත් දැනුවත් කරන්න ඕන.”
එහෙම කියූ සජිත් එහි පළමු පියවර ලෙස කොළඹ පදනම් ආයතනයේදී (19) ඉරිදා පස්වරුවේ නීතිඥ සම්මේලනයක් කැඳවූයේ මේ ගැටළුව රටටම ගෙන යාමේ වැදගත්කම හඳුනා ගත් නිසාය.
සමගි නීතිඥ සම්මේලනය රටම දැනුවත් කරන්න සූදානම්
| සමගි නීතිඥ සම්මේලනය රටම දැනුවත් කරන්න “ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා පෙළගැසෙමු” ලෙස නම්කර තිබූ මහජන කථිකාවතක් සංවිධානය කළේ සමගි නීතිඥ සම්මේලනය වූ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති ඊට සෙසු දේශපාලන පක්ෂ නියෝජිතයින්, ජේ්‍යෂ්ඨ නීතිඥයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් එක්ව සිටියේය.
එහිදී නීතිඥ අජිත් පී පෙරේරා, ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා, නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදහස් දැක්වීය.
අනුරගේ උත්සාහය අධිකරණයට අල්ලස් දී ආඥාදායක පාලනයක් ඇතිකර ගැනීමයි - නීතීඥ අජිත් පී පෙරේරා
“ මේක අල්ලස් දී අධිකරණයේ බල තුලනය අස්ථාවර කර ඒ ඔස්සේ අධිකරණ බලය තමා වෙත පවරා ගෙන මර්දනකාරී සහ භීෂණකාරී ඒකාධිපති-ආඥාදායක පාලනයක් රටේ ඇති කිරීමට දරන උත්සාහයක්. ජනපතිවරයාගේ "පුංචි මොළයේ" තරම තමයි මේකෙන් හෙළිවෙන්නේ. උපරිමාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කටයුතු කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනා අධිකරණ විනිසුරුවන්ගේ පුරප්පාඩු පිරවීමට ක්‍රියා නොකරමින්, ජනාධිපති අනුර කුමාර සිදුකරන මේ කුමන්ත්‍රණයේ යටි අරමුණ තමයි, තමාට හිතවත් විනිසුරුවන් කිහිප දෙනෙකු තව දුරටත් එම ධූරවල තබා ගැනීම. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරු පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ගැටලු ඇති බවට අග විනිසුරුවරයා තමාට ලිඛිතව දැනුම් දී ඇති බව ජනාධිපතිවරයා කියනවා. එහෙමනම් වහාම එම ලිපිය ප්‍රසිද්ධ කරන්න. මේ විනිසුරු පුරප්පාඩු පිරවීම චේතනාන්විතව හය මසක් මුළුල්ලේ ජනපතිවරයා ප්‍රමාද කරලා තියෙන්නේ. ඒ තත්ත්වය නිසා ඒ අධිකරණවල නඩු ගොඩගැහිලා ඒ නිසා රටේ පුරවැසියන් අන්ත අසරණ වෙලා.”
සියලු ආයතනවල බලය ඇල්ලීමට ජනපතිගේ කුමන්ත්‍රණයයි - ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා
ආර්ථික අර්බුදය සහ සෞඛ්‍ය ප්‍රශ්න හමුවේ එදා වේල හොයා ගන්න බැරුව ජනතාව අන්ත අසරණ වී සිටිය දී ඒ ප්‍රශ්නවලට විසඳුම් නොදී ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනා අධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ ධූර කාලය ගැන ප්‍රශ්නයක් මතු කළේ ඇයි ? ආණ්ඩුවේ සමහරු කියනවා ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනා අධිකරණ විනිසුරුවන්ගේ පමණක් ධූර කාලය දීර්ඝ කරන්න යන්නේ ඒ අයගේ ආයු කාලය වැඩිවෙලා නිසා කියලත්, ආයු කාලය වැඩි උනානම් ඒක මුළු රටටම බලපාපු කාරණයක් විනිසුරුවරුන්ට විතරක් බලපාපු කාරණයක් නෙමෙයි. නැව ගිලුනට පස්සේ අඬලා වැඩක් නෑ, ඒ නිසා ජනාධිපති ප්‍රධාන ආණ්ඩුව රටේ ඇති කරන්න යන මේ මර්දනකාරී සහ භීෂණකාරී ඒකාධිපති-ආඥාදායක පාලනයට එරෙහිව සියලුදෙනා ඒකරාශී වී සටන් කළ යුතුයි”
“ජනපති 22 ගෙන එන්නේ අග විනිසුරුගේ ධූර කාලය දිගු කිරීමටමයි” - නීතීඥ කේ. ඩබ්ලිව් ජන රංජන
“මහින්ද රාජපක්ෂ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේ දී - මහින්දට තුන්වරක් බෑ - කියමින් අපි එදා කළ සටනෙදී අනුර කුමාර දිසානායක කියලා කෙනෙකුත් කථික ලැස්තුවේ හිටියා. එයා තමයි දැන් රටේ ජනාධිපතිවෙලා ඉන්න මේ අනුර කුමාර දිසානායක. එයා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්න යන්නේ වත්මන් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ධූර කාලය තව අවුරුදු දෙකකින් දිගු කර ගැනීමටමයි. ඒ හැරුණු කොට කිසිම අරමුණක් එයාට නෑ. ඕනෑම ආණ්ඩුවකට ජන වරමක් ලැබුණම ඒ ආණ්ඩුව නීතියේ පාලනය යටතේ පාලනය විය යුතුයි. ඒත් මේ රටේ ආණ්ඩුවලට විශාල ජනවරම් ලැබුණු සෑම විටම ඒ අය නීතියට, ව්‍යවස්ථාවට අත තිබ්බ ඉතිහාසයක් අපි දැක්කා. දැන් සිද්ධ වෙන්නෙත් ඒ දේමයි. ඒ නිසා මින් ඉදිරියේදිවත් විශාල ජනවරම් ලබාදීමේදී ජනතාවටත් හිතන්න දෙයක් තියේවි.”
“ තනි පක්ෂ පාලනයකට එරෙහිව අපි පෙළ ගැසෙමු” - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
” ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියා බලයට පැමිනි අනුර කුමාර ප්‍රමුඛ රජය රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනවා වෙනුවට ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කරන්න තමයි මේ කටයුතු කරමින් ඉන්නේ, රජයේ මේ ක්‍රියාදාමය නිසා IMF වැනි ආයතන තුළින් බලපෑම් එල්ල වී ආර්ථික අභියෝග පවා එල්ල විය හැකියි. ඒ වගේම යුරෝපා සංගමයේ GSP+ බදු සහනයටත් මේ විදිහට අධිකරණයට සිදුකරන බලපෑම් සෘජුව බලපානවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සහ රජයට බලපෑම් කිරීම ඉතාම වැදගත්. ඒ සඳහා නායකත්වය දෙන්නට මමත්, සමගි ජනබලවේගයත් සූදානම්, ඊට සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.”
NEXTGEN නව පරම්පරාවක් - නව සංවාදයක්
| NEXTGEN නව පරම්පරාවක් - නව සංවාදයක්ශ්රී ලංකාවේ තාරුණ්‍ය කියන්නේ අලුත්ම විදිහට හිතන පිරිසක්ය. ඔවුන් දැන් එන්න එන්නම පක්ෂ දේශපාලනයෙන් තොර ප්‍රතිපත්ති සහ දර්ශනය පිරිස්සමින් තීන්දු තීරණ ගන්නා පිරිසක් බවට පරිවර්ථනය වෙමින් සිටී.
මේ ගැන හොඳින් අවබෝධ කරගෙන සිටින මහාචාර්ය ප්‍රසන්න පෙරේරා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා සමඟ එක්ව මේ NEXTGEN නව පරම්පරාවක් - නව සංවාදයක් වැඩසටහන සැලසුම් කර තිබුණි.
ඊට සම්බන්ධවී සිටියේ මෙතෙක් කිසිදු දිනෙක සජිත් ප්‍රේමදාසට හෝ සමගි ජනබලවේගයට ඡන්දය නොදුන් තරුණ පිරිසක්වීමද විශේෂත්වයකි.
ඔවුන්ට සජිත් ප්‍රේමදාසව සෘජුව ප්‍රශ්ණ කරන්නට අවස්ථාව ලබාදී තිබූ අතර, එහිදී තරුණියක් විමසා සිටියේ…,
“ අපි දැක්කා ඔබ ජනාධිපතිවරණයේදී කිව්වා දුප්පත් පවුලකට රු 20,000/= දෙනවා ඔවුන්ගේ ආර්ථිකය ගොඩනගන්න. ඒක ප්‍රායෝගිකද?”
ඊට සෘජුව පිළිතුරු දුන් සජිත් කියා සිටියේ,
“ එහි මම කියපු එක කොටසයි ඔබ ග්‍රහනය කරගෙන තියෙන්නේ, ඔව් මම කිව්වා දුප්පත් පවුලකට මසකට රු 20,000/= දෙනවා කියලා, ඒක දෙන්නේ මාස 24 ඒ කියන්නේ වසර 2යි. ඒ වසර 2 තුළ ඒ පවුල රටේ නිෂ්පාදන ආර්ථිකයට දායක කරගන්නා වැඩසටහනකුයි අපි සැලසුම් කළේ.”
එහිදී එම තරුණිය යළිත් විමසා සිටියේ ඒ හරහා අදාළ පවුලේ දුප්පත්කම තුරන් කෙරෙන්නේ කෙලෙසද? යන්නය.
ඊට පිළිතුරු දුන් සජිත්…,
“ මෙහෙමයි ඒක සිද්ධ වෙන්නේ, අපි ඒ පවුලේ අම්මට හෝ තරුණ දියණියට තමයි ඒ 20,000/= මුදල හැම මාසයකම ලබාදෙන්නේ, ඒ හරහා ඇය විසින් යම් ගෘහ ආර්ථිකය ශක්තිමත් කරන කර්මාන්තයක් ආරම්භ කිරීම හෝ තමන්ට රැකියාවක් ලබාගැනීමට සුදුසු වෘත්තීය පුහුණුවක් ලබාගත යුතුමයි. ඒ හරහා ක්‍රමක්‍රමයෙන් ඒ ගෘහයට මුදල් ගලා ඒමක් සිදු වෙනවා. අපි හිතමු ඇය අලුත් කර්මාත්තයක් පටන් ගත්තා කියලා, ඒක සමඟ ඒ ගෘහයට අපි හඳුන්වා දෙනවා, පාරිභෝජනය, ආයෝජනය, නිෂ්පාදනය, ඉතිරි කිරීම, සහ හැකිනම් අපනයනය සඳහාත් තමන් උපයන මුදල් යොදවන්නේ කොහොමද කියලා. උදාහරණයකට දෙවැනි ලෝක යුද්දයෙන් පස්සේ ජපානය ඉහළ ඉතිරි කිරීම් හරහා තමයි තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගත්තේ.”
ඒ කතාව අසා සිටි තරුණයකු විමසා සිටියේ, ඉතිං සමෘද්ධිය සහ අස්වැසුම හරහා වෙන්නෙත් ඕකම නේද? කියාය.
“ නැහැනේ, සමෘද්ධිය සහ අස්වැස්මේ කරන්නේ දිගටම පාරිභෝජනයට විතරක් අතට මුදල් දීමක් නේ. එදා ජනසවියේ විතරයි අවුරුදු 2 කට මුදල් දීලා දිළිඳුකමින් මිදෙන්න පවුල්වලට ඉලක්කයක් දුන්නේ, එදා ජනතාවමයි එකතු වෙලා තමන්ගේ ව්‍යාපෘති සිද්ධ කළේ, ඒක වෙනස් කරලා දේශපාලනීකරණය වීම නිසා තමයි ඒ වැඩසටහනේ අරමුණු විකෘති වුනේ”
සජිත්, දිළිඳුකම තුරන් කිරීමේ තම අරමුණ සහ වැඩපිළිවෙල ගැන විස්තර කළේ එලෙසය.
තවත් තරුණයකු සජිත්ගෙන් ඇසුවේ, මේ රටේ දරුවන් වෙනුවෙන් ඔබ අරමුණු කරගෙන සිටින්නේ කුමක්ද? යන්නය.
ඊට කෙටි පිළිතුරක් දුන් සජිත්…,
“ මට දුවක් ඉන්නවා, එයා ගැන මගේ හිතේ ඉලක්කයක් තියෙනවා, මම ඒයාට දෙන්න හිතාගෙන ඉන්න Standard එකක් තියෙනවා. අන්න ඒ Standard එක මේ රටේ අනිත් දරුවන්ටත් ලබාගන්න පුළුවන් රටක් හදන එක තමයි මගේ අරමුණ.”
මේ ආකාරයෙන් විවිධ මාතෘකා ගැන තරුණ සරසවි කථිකාචාර්යවරුන්, තරුණ වෛද්‍යවරුන් ඇතුළු තරුණ වෘත්තිකයින් 30 දෙනෙකු පමණ සජිත් සමඟ මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබුණි.
මෙම සංවාදශීලී හමුව ඉදිරියේදී තවත් තරුණ වෘත්තිකයින් පිරිසක් සමඟ සිදු කිරීමට නියමිතව ඇත.
(මම | බංගලා හංදියේ ලියුම්කරු)




