එය සාමාන්‍ය ප්‍රවෘත්තියක් නොවේ. උසස් පෙළ විභාගයට පෙනී සිටි තරුණ තරුණියන්ගේ අනාගතය තීරණය කරන විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්වන දිනයයි.
ඒ දිනය සමහර නිවෙස්වල සතුටු කඳුළුවලින් පිරෙනු ඇත. තවත් නිවෙස්වල නිහඬතාවය රජයනු ඇත. දරුවා වසර දෙක තුනක් නිදි වරාගෙන, පෞද්ගලික පන්තිවලට ගොස්, විභාග ශාලාවේ පැය ගණන් ගත කර ලබාගත් ප්‍රතිඵලය අතැතිව සිටියද, අවසානයේ ඔහුට හෝ ඇයට ඇසෙන්නේ එකම පණිවිඩයයි.
"ඔබ විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබා ඇත. එහෙත් ඔබට ඉඩක් නොමැත."

මෙය ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට සෑම වසරකම නැවත නැවතත් අසන්නට ලැබෙන කතාවකි. එය පුද්ගලයෙකුගේ අසාර්ථකත්වය පිළිබඳ කතාවක් නොවේ. එය පද්ධතියේ සීමාවන් පිළිබඳ කතාවකි. එය එක් පවුලක වේදනාවක් නොවේ. ජාතියක් තම දක්ෂම තරුණ පරපුරට ලබාදෙන පණිවිඩයකි.
අපේ රටේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ අපි ආඩම්බරයෙන් කතා කරමු. ඒ ආඩම්බරයට සාධාරණ හේතු ද තිබේ. ගමේ දරුවාටත් නගරයේ දරුවාටත් එකම පාසලක, එකම විභාගයක, එකම සිහිනයක් හඹා යාමට අවස්ථාව ලබාදුන් රටවල් ලෝකයේ බොහෝ නැත. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ දැක්ම නිසා දුප්පත් පවුල්වල දරුවන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, මහාචාර්යවරුන්, විනිසුරුවන් සහ රාජ්‍ය නායකයන් බවට පත්වූහ. ඒ අතින් ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය අපගේ සමාජ ඉතිහාසයේ විශාලතම සමාජ විප්ලවයන්ගෙන් එකකි.
නමුත් අද අප අපෙන්ම අසිය යුතු අසීරු ප්‍රශ්නයක් තිබේ.
පාසලේ දොර සෑම දරුවෙකුටම විවෘත කළ රටක්, විශ්වවිද්‍යාලයේ දොර තවමත් සීමිත පිරිසකට පමණක් විවෘත කර තැබීම සාධාරණද?
සංඛ්‍යා කිසිදා බොරු නොකියයි

දේශපාලනයේදී මත තිබිය හැකිය. ආර්ථිකය පිළිබඳ විවිධ අදහස් තිබිය හැකිය. නමුත් සංඛ්‍යා බොරු නොකියයි.
2024 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාගයට සිසුන් 285,289 දෙනෙකු පෙනී සිටියහ. ඔවුන්ගෙන් 177,920 දෙනෙකු රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූහ. එහෙත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගත හැකි වූයේ 43,237 දෙනෙකු පමණි. ඒ අනුව 242052 දෙනෙකුට රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමි විය.
මෙම සංඛ්‍යාව වෙනත් ආකාරයකින් කියනවා නම්, විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබූ හය දෙනෙකුගෙන් පස්දෙනකුටම රජය විසින් පවත්වාගෙන යන උසස් අධ්‍යාපන පද්ධතිය තුළ ඉඩක් නැත.
අප බොහෝ විට කියන්නේ, "කැම්පස් යන්න බැරි වුණා" කියාය. නමුත් ඇත්ත ඒ නොවේ. ඇත්ත වන්නේ, "රටට කැම්පස් අවස්ථා ප්‍රමාණවත් නැත" යන්නයි.
මෙය වචනවල සුළු වෙනසක් පමණක් නොවේ. මෙය වගකීම වෙනස් කරන වෙනසකි.
තරුණයා අසමත් වූයේ නැත.
අසමත් වී ඇත්තේ පද්ධතියයි.
මේ සංඛ්‍යාව පිටුපස සිටින්නේ මිනිසුන්ය

අපි 242052 යන සංඛ්‍යාව ඉතා පහසුවෙන් කියමු.
නමුත් ඒ සංඛ්‍යාව තුළ ජීවිත කීයක් සැඟවී තිබේද?
එහි සිටින්නේ වැලිමඩ, මොණරාගල, මහියංගණයේ ගොවි පවුලක දියණියකි.
කිලිනොච්චියේ ධීවර පවුලක පුතෙකි.
කඳුකරයේ කම්කරු පවුලක දරුවෙකි.
හම්බන්තොට, මන්නාරම, අනුරාධපුරය, මඩකලපුව, බදුල්ල, රත්නපුරය, යාපනය, කෑගල්ල... මේ රටේ සෑම දිස්ත්‍රික්කයකම තරුණයන් එම සංඛ්‍යාව තුළ සිටිති.
ඔවුන් අසමත් වූයේ නැත.
ඔවුන්ට අවස්ථාවක් නොලැබුණි.
මේ වෙනස තේරුම් ගැනීම ඉතා වැදගත්ය.
විසිවන සියවසේ තර්කවලින් විසිඑක්වන සියවස ගොඩනැගිය නොහැක

එකල රටක ධනය මනිනු ලැබුවේ ඉඩම්වලින්, තේ වගාවෙන්, රබර්වලින්, ඛනිජ සම්පත්වලින් හෝ වරායවලින්ය.
අද එසේ නොවේ.
අද ලෝකයේ බලවත්ම රටවල් තරඟ වදින්නේ දැනුම මතය.
කෘත්‍රිම බුද්ධිය, ජෛව තාක්ෂණය, අභ්‍යවකාශ තාක්ෂණය, හරිත බලශක්තිය, ඩිජිටල් ආර්ථිකය, රොබෝ තාක්ෂණය, දත්ත විද්‍යාව, සයිබර් ආරක්ෂාව—මේ සෑම ක්ෂේත්‍රයකම ප්‍රධාන ආයෝජනය ගොඩනැගිලි නොව, මිනිස් මොළයයි.
ඒ නිසාම අද සංවර්ධිත රටවල් විශ්වවිද්‍යාල වියදමක් ලෙස නොදකිති.
ඒවා ආයෝජනයකි.
එක් උපාධිධාරියෙකු බිහිකිරීම යනු තවත් රැකියාවක් ලබාදීම පමණක් නොවේ.
එය අනාගත ව්‍යවසායකයෙකු බිහිකිරීමකි.
නවෝත්පාදකයෙකු බිහිකිරීමකි.
පර්යේෂකයෙකු බිහිකිරීමකි.
කර්මාන්ත නායකයෙකු බිහිකිරීමකි.
ඉදිරි දශකය සඳහා රටේ ආර්ථිකය නිර්මාණය කරන පුද්ගලයෙකු බිහිකිරීමකි.
අපේ රට තවමත් මේ ආයෝජනය සීමා කරන්නේ ඇයි?
අපට අහිමි වන්නේ උපාධියක් නොවේ...

අද උසස් අධ්‍යාපනය අහිමි වන තරුණයෙකුගේ ජීවිතයේ අහිමි වන්නේ උපාධියක් පමණක් නොවේ.
ඔහුගේ පර්යේෂණ හැකියාව අහිමි වෙයි.
ඔහුගේ නවෝත්පාදන හැකියාව අහිමි වෙයි.
රටට නව ව්‍යාපාරයක් බිහිකළ හැකි අවස්ථාව අහිමි වෙයි.
අපනයන වැඩි කළ හැකි කර්මාන්තයක් අහිමි වෙයි.
අලුත් තාක්ෂණයක් අහිමි වෙයි.
නව රැකියා සිය ගණනක් අහිමි වෙයි.
රටක සැබෑ පාඩුව GDP වාර්තාවල පෙනෙන්නේ නැත.
එය පෙනෙන්නේ අවුරුදු විස්සකට පසුය.
අද අප විශ්වවිද්‍යාලයකට ඇතුළත් නොකළ තරුණයා හෙට සිංගප්පූරුවේ, ඕස්ට්‍රේලියාවේ හෝ කැනඩාවේ පර්යේෂකයෙකු විය හැකිව තිබුණි.
නමුත් අප ඔහුට එම අවස්ථාව ලබාදුන්නේ නැත.
විශ්වවිද්‍යාල දොරටුවෙන් පිටත නතර වන සෑම තරුණයෙකුගේම පාඩුව කාගේද?

සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපනයට ඇතුළත් වීමට නොහැකි වූ තරුණයෙකු පිළිබඳව අප සිතන්නේ ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික අවාසනාවක් ලෙසය. නමුත් එම සිතුවිල්ල සම්පූර්ණයෙන්ම නිවැරදි නොවේ.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගත හැකිව තිබූ, නමුත් අවස්ථාව නොලැබුණු තරුණයෙකු යනු රටකට අහිමි වූ:
• අනාගත වෛද්‍යවරයෙකු,
• ඉංජිනේරුවෙකු,
• ගුරුවරයෙකු,
• පර්යේෂකයෙකු,
• ව්‍යවසායකයෙකු,
• නවෝත්පාදකයෙකු,
• රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නායකයෙකු
විය හැකිය.
එබැවින් උසස් අධ්‍යාපන අවස්ථා සීමා කිරීම යනු තරුණ පරපුරක සිහින සීමා කිරීම පමණක් නොවේ. එය රටක අනාගත නිෂ්පාදන හැකියාව සීමා කිරීමකි.
ආර්ථික විද්‍යාවේදී මෙය හැඳින්වෙන්නේ මානව ප්‍රාග්ධන අහිමි වීම (Human Capital Loss) ලෙසය.
භෞතික සම්පත් මෙන්ම මිනිස් දැනුම, කුසලතා සහ නිර්මාණශීලීත්වය ද රටක වටිනාම සම්පතකි. නමුත් එම සම්පත සංවර්ධනය කිරීමට අවස්ථා ලබා නොදීම යනු රටක් තමන්ගේම අනාගත ශක්තිය අඩු කරගැනීමකි.
අධ්‍යාපන හිඟය සහ ආර්ථික සංවර්ධනය අතර සම්බන්ධය

21 වන සියවසේ ලෝක ආර්ථිකය පදනම් වී ඇත්තේ ස්වභාවික සම්පත් මත පමණක් නොවේ. දැනුම, තාක්ෂණය සහ නවෝත්පාදනය මතය.
අද ලෝකයේ ඉදිරියට පැමිණ ඇති රටවල් බොහෝමයක් තම සංවර්ධනය ගොඩනඟා ඇත්තේ විශාල වශයෙන් උසස් අධ්‍යාපනය පුළුල් කිරීම මතය.
උදාහරණයක් ලෙස:
දකුණු කොරියාව දෙවන ලෝක යුද්ධයෙන් පසු ආර්ථික වශයෙන් දුර්වල රටක් වුවද, අධ්‍යාපනය හා පර්යේෂණ සඳහා විශාල ආයෝජනය කිරීමෙන් ලෝකයේ තාක්ෂණික බලවතෙකු බවට පත්විය.
සිංගප්පූරුව ස්වභාවික සම්පත් අඩු රටක් වුවද, මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීම තම ජාතික සංවර්ධන උපාය මාර්ගයේ මූලික අංගයක් කර ගත්තේය.
පින්ලන්තය (Finland) අධ්‍යාපනය සමාජ සාධාරණත්වය සහ ආර්ථික තරඟකාරීත්වය සඳහා භාවිතා කළ ආකාරය ලෝකයට ආදර්ශයක් විය.
මෙම රටවල් තේරුම් ගත් මූලික සත්‍යය වූයේ:
"අධ්‍යාපනයට වියදම් කිරීම වියදමක් නොව, අනාගත ආර්ථික වර්ධනය සඳහා කරන ආයෝජනයකි."
ශ්‍රී ලංකාවේ අහිමි වන ආර්ථික අවස්ථාව

ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව ආඩම්බර විය. නමුත් අද අප මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ, නිදහස් අධ්‍යාපනය ලබාදීමේ දර්ශනය හා එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අතර ඇති පරතරයයි.
නිදහස් අධ්‍යාපනයේ අරමුණ වූයේ:
"දක්ෂතාවය ඇති ඕනෑම දරුවෙකුට ඔහුගේ හෝ ඇයගේ ආර්ථික පසුබිම නොසලකා ඉදිරියට යාමට අවස්ථාව ලබාදීමයි."
නමුත් උසස් අධ්‍යාපන අවස්ථා සීමා වූ විට සිදුවන්නේ කුමක්ද?
පළමුව, පවුලේ ආර්ථික තත්ත්වය මත දරුවන්ගේ අනාගතය තීරණය වීමට පටන් ගනී.
ධනවත් පවුල්වල දරුවන් විදේශීය විශ්වවිද්‍යාලවලට හෝ පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට යා හැකි අතර, ග්‍රාමීය හා අඩු ආදායම් පවුල්වල දක්ෂ දරුවන්ට එම අවස්ථාව අහිමි වේ.
මෙය සමාජයේ අධ්‍යාපනික අසමානතාවය (Educational Inequality) වැඩි කරයි.
දෙවනුව, දක්ෂ තරුණ පිරිස රට හැර යාමේ ප්‍රවණතාවය වැඩි වේ.
විශ්වවිද්‍යාල අවස්ථා නොලැබීම, වෘත්තීය සංවර්ධන අවස්ථා අඩුවීම සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය නිසා බොහෝ තරුණයන් විදේශ රැකියා හෝ අධ්‍යාපන අවස්ථා සොයා යති.
මෙය සරලව "Brain Drain" ලෙස හැඳින්වුවද, එය ඇත්තෙන්ම රටක සංවර්ධන හැකියාව අඩුවීමකි.
තරුණ අසහනය සහ ජාතික ස්ථාවරත්වය

ඉතිහාසය පෙන්වා දෙන්නේ තරුණ පරපුරකට අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුව අහිමි වූ විට එය සමාජ අස්ථාවරත්වයට හේතු විය හැකි බවයි.
රැකියා නොමැතිකම, අධ්‍යාපන අවස්ථා සීමා වීම සහ සමාජයේ තමන්ට සාධාරණ අවස්ථාවක් නොමැති බවට ඇති හැඟීම තරුණ අසහනය වැඩි කරයි.
එබැවින් උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යනු විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳ පමණක් වන සාකච්ඡාවක් නොවේ.
එය:
• තරුණ ප්‍රතිපත්තිය,
• රැකියා ප්‍රතිපත්තිය,
• ආර්ථික සංවර්ධන උපාය මාර්ගය,
• සමාජ සාධාරණත්වය,
• ජාතික ස්ථාවරත්වය
සමඟ සම්බන්ධ වූ ප්‍රධාන ජාතික ප්‍රශ්නයකි.
ලෝකය මෙම අභියෝගයට මුහුණ දුන්නේ කෙසේද?

ලෝකයේ බොහෝ රටවල් විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීමේදී එකම ආකෘතියක් අනුගමනය කළේ නැත.
ඔවුන් කළේ:
විශ්වවිද්‍යාල අවස්ථා ප්‍රාදේශීයකරණය කිරීම
විශාල නගරවල පමණක් විශ්වවිද්‍යාල සංකේන්ද්‍රණය නොකර, ප්‍රදේශීය විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල පාසල් සහ ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථාන පිහිටුවීමයි.
යාවජීව අධ්‍යාපනය (Lifelong Learning)
අධ්‍යාපනය වයස අවුරුදු 18-25 අතර කාලයට පමණක් සීමා නොකර, ඕනෑම අවස්ථාවක නැවත ඉගෙනීමට හැකි පද්ධති නිර්මාණය කිරීමයි.
දෙමුහුන් හා ඩිජිටල් අධ්‍යාපනය (Hybrid හා Digital Education)
තාක්ෂණය භාවිතා කරමින් විශාල පිරිසකට ගුණාත්මක අධ්‍යාපනය ලබාදීමයි.
විශ්වවිද්‍යාලය හා කර්මාන්තය සම්බන්ධ කිරීම
අධ්‍යාපනය රැකියා වෙළඳපොළේ අවශ්‍යතා සමඟ සම්බන්ධ කිරීමයි.
ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැකි මාර්ගය
අද ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති ප්‍රශ්නය වන්නේ:
"විශ්වවිද්‍යාල කීයක් තිබිය යුතුද?" යන්න පමණක් නොවේ.
ප්‍රශ්නය වන්නේ:
"21 වන සියවසේ ශ්‍රී ලංකාවට අවශ්‍ය මානව ප්‍රාග්ධනය අප නිර්මාණය කරන්නේ කෙසේද?"
යන්නයි.
ඒ සඳහා නව අදහස් අවශ්‍යය.
දිස්ත්‍රික් මට්ටමේ විශ්වවිද්‍යාල විද්‍යාල, විවෘත ප්‍රජා විශ්වවිද්‍යාල, ඩිජිටල් හා දෙමුහුන් අධ්‍යාපන ක්‍රම, වෘත්තීය අධ්‍යාපනය හා විශ්වවිද්‍යාල අතර සම්බන්ධතා වැනි නව ආකෘති පිළිබඳව නැවත සිතා බැලිය යුතුය.
මන්ද,
විශ්වවිද්‍යාල දොරටුවෙන් පිටත නතර වන සෑම තරුණයෙකු තුළම ශ්‍රී ලංකාවේ අනාගතය සැඟවී ඇත.
එම අනාගතයට දොර විවෘත කරනවාද, නැතිනම් එය වසා දමනවාද යන්න අද අප ගන්නා අධ්‍යාපන ප්‍රතිපත්ති තීරණය කරනු ඇත.
(මතු සම්බන්ධයි)
මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
ජනමාධ්‍ය අධ්‍යයන අංශය
කොළඹ විශ්ව විද්‍යාලය
pnweera@yahoo.com




