*වතු ජනතාවට ඉඩම් අයිතිය දෙන හැටි පෙන්වයි; අධිකරණ විශ්‍රාම වයස සංශෝධනයෙන් පැලවත්ත රත්වූ හැටි හෙළිවෙයි
රට තුළ අමුතුම තත්ත්වයක් නිර්මාණය කරමින් මතුවෙමින් පවතින ගොවිජන විරෝධතා සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්‍ෂේත්‍රයේ පමණක් නොව සමස්ත සමාජයේම අවදානය යොමු වෙමින් තිබේ. බලය ලබාගැනීමට පෙර ලබාදුන් පොරොන්දු ඉටුකිරීම කෙසේ වෙතත් තමන් තලා පෙළා දමන ආකාරයේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට රට වටා ගොවීන් රජයට චෝදනා කරමින් සිටිති.
එවැනි පසුබිමක් තුළ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය සතිය පුරාම ප්‍රදේශ ගණනාවක සංචාරය කළේ, ගොවිජනතාවගේ හඬට සවන් යොමු කිරීම අරමුණු කරගෙනය.
රට පුරා ගොවියන් සජිත්ව වටකර ගනී
විපක්‍ෂ නායකවරයා හොරොව්පතාන වාගොල්ලාගොඩ බෝධිරුක්ඛාරාම මහා විහාරයේ සුවිසල් ධර්ම ශාලාව ගොඩනගන්නට මුල්ගල් තැබීමේ අවස්ථාවටද එක්වූයේ මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීන්ගේ ආරාධනයකට අනුවය. එම උත්සවයට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ගොවි ජනතාවගේ වී කිලෝවට රු. 150ක් ලබාදී ගොවියා රජකරවන බවට ප්‍රතිඥා දුන් මාළිමා ආණ්ඩුව දැන් කසිප්පුකාරයන් යැයි පවසමින් ගොවියාට අවලාද නගමින් සිටින බවය. මෙම උත්සවයෙන් අනතුරුව ගොවි ජනතාව මුණ ගැසුණ විපක්‍ෂ නායකවරයාට අඛණ්ඩව සවන්දීමට සිදුවූයේද ගොවියාගේ දුක්ගැනවිලිවලටය.
රට පුරා ගොවියන් සජිත්ව වටකර ගනී
“ අනේ සර්, අපිට වී කිලෝවක් නිෂ්පාදනය කරන්න රුපියල් 137ක් විතර වැය වෙනවා. ඒත් කෘෂිකර්ම ඇමති කියන්නේ 120යි දෙන්න පුලුවන්නේ කියලා. ඒකත් 120 ට ගන්න වී ගබඩා ඇරලා නෑ. අපි තෙත වී දෙන්නේ 80 ට 85 ට. ආණ්ඩුවේ මේ මිල නියාමනය අස්සේ පුද්ගලික අංශය වී ඉල්ලන්නේ තවත් අඩුවෙන්. සර්, අපි කොහොමද ජීවත් වෙන්නේ. ජනාධිපතිකමයි, තුනෙන් දෙකයි දෙකම දුන්න, දැන් අපිට මුං දෙකට ඇරලා තියෙන්නේ.”
මදක් ආවේගශීලී වූ ගොවි මහතෙකු එක හුස්මට සජිත්ට තම දුක කියන්නට වුණේ ඒ විදිහටය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරය අතරතුර විපක්‍ෂ නායකවරයා හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහල නිරීක්‍ෂණය කිරීමට ද කටයුතු කළේ එහි අඩුපාඩු රැසක් ඇති බවට මෙම සංචාරය අතරතුරදීම ලැබුණු තොරතුරකට අනුවය.
ග්‍රාම සේවා වසම් 7කට අයත් ගම්මාන 20ක ජනතාවට ප්‍රතිකාර ලබාගැනීමට ඇති එකම රෝහලවන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහල නිරීක්‍ෂණයක් කළ විපක්‍ෂ නායකවරයාට වෛද්‍ය හිඟය, උපකරණ හිඟය ඇතුළු භෞතික හා මානව සම්පත් හිඟයෙන් රෝහල අකර්මන්‍ය වී ඇති බව හඳුනාගැනීමට හැකි විය.
එහිදී රැස්ව සිටි පිරිස සමඟ සාකච්ඡාවක නිරත වු සජිත් පෙන්වා දුන්නේ, රජය නිදහස් සෞඛ්‍ය සේවාව භුක්තිවිදීමේ අයිතියද ජනතාවට අහිමි කරමින් ඇති බවය.
“ පළාත්සභා තිබ්බ නම් මේ ගැටලු නෑ. මැතිවරණය පැවැත්වුවා නම් පළාත් සභාවල තියෙන අඩුපාඩුවලට විසඳුම් දෙන්න ආණ්ඩුවත්, බලයට පත්වෙන පළාත් සභාවේ බලධාරීනුත් කටයුතු කරනවා. ඒත් මේ රජය හිතාමතාම පළත් සභා කල් දමමින් ඉන්නවා” සජිත් කීවේය.
මේ රෝහලේ ගැටලු නිරාකරණය කරන්න රජයට බැරි නම් උපකරණ දෙන්න රජයට ශක්තියක් නොමැති නම් උපකරණ ආදිය ලබා දීමට සමගි ජන බලවේගයට හැකි බැව් පැවසූ විපක්‍ෂ නායකවරයා, රජයට අවධාරණය කළේ දුප්පත් ජනතාව වෙසෙන මෙවැනි ප්‍රදේශවල සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳ වහාම සොයාබලන ලෙසය.
රෝහලේ තත්ත්වය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව විපක්‍ෂ නායකරයා පැමිණියේ මිහින්තලයේ නාච්චදූව ප්‍රදේශයටය. ඒ පක්‍ෂ ක්‍රියාකාරීන්, ගොවිජනතාව ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් සංවිධාන කර තිබූ ජනහමුවට එක්වීමටය. ජන හමුවට සහභාගීවීමට පැමිණි සජිත් ප්‍රේමදාසට උණුසුම් පිළිගැනීමක් ලැබී තිබුණි.
දහස් ගණනක් රැස්ව සිටි ජනහමුව ඇමතමින් විපක්‍ෂ නායකවරයා පෙන්වා දුන්නේ, ගොවියාට අපහාස කරන මේ රජය කඩිනමින් ගොවි ජනතාව විසින්ම ගෙදර යවන බවය.
“ රජය ගොවිතැන විනාශ කිරීමේ ප්‍රතිපත්තියක තමයි නියැලී ඉන්නේ. ඒ තුළ ගොවි ජනතාව මහා කම්පනයකට ලක්වෙලා. රජයේ මැතිඇමතිවරුන්ට මැතිවරණ සමයේ ගොවියා රජා වුණාට ඡන්දෙන් පස්සේ ගොවියාගේ වටිනාකම බිංදුවට පහළ දමලා. අද මොකක්ද ඒ ගොවියට කියන්නේ” සජිත් එහෙම අසද්දී රැස්ව සිටි පිරිස අතරින් ඇසුණේ…
” සර් උන් දැන් අපිට කියන්නේ කසිප්පු කාරයෝ කියලා”
“ අන්න කසිප්පුකාරයා කියලා කියනවලු…, එහෙම දැන් කිව්වට දුන්නා නේද පෝලිමේ ගිහින් අනුර කුමාරට, මම දන්නවා දැන් නෑ කිව්වට හිත යටින් හරි දුන්නා නේද ඒ වෙලාවේ” එහෙම කියමින් සජිත් ටිකක් හිනා වුනේ සභාවම සිනහ ගස්වමින්ය.
ඉන්දියාවෙන් ලංකාවට පාඩමක්
ඉන්දියාවෙන් ලංකාවට පාඩමක්
ඉන්දිය අගවිනිසුරුවරයා එරට විරැකියාව හේතුවෙන් අසහනයෙන් සිටි තරුණ, තරුණියන්ට කැරපොත්තන් යැයි පැවසු කරුණක් හේතු කරගෙන පිහිටවූ ‘කැරපොත්තා ජනතා පක්ෂය’ අද වනවිට එරට අධ්‍යාපන අමාත්‍යවරයාට ධූරයෙන් ඉවත්වීමට පවා බලපෑම් කර ඇති බව සිහිපත් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ, ගොවි ජනතාවගේ කරමතින් පැමිණි වත්මන් ආණ්ඩුවද ගොවියා කසිප්පුකරුවන් බවට හංවඩු ගැසීම ඔවුන් තුළ වෛරයක් ගොඩනැගීමට හේතුවිය හැකි බවය.
“ අපේ ගොවියාට කසිප්පුකාරයා යැයි අමතමින් අපහාස කරන මේ රජයේ අවසානය ගොවියා විසින්ම තීරණය කරාවි. මේ ආණ්ඩුවට ගොවියා ගැන කිසිම හැඟීමක් නෑ. අපිට මතකයි ගොවියට දුන්න පෙරොන්දු ගොඩ. අද ගොයම් කාපු අය හැංගිලා, පේන්නත් නෑ.”
එලෙස පැවසූ සජිත්, ජනහමුවෙන් අනතුරුව ගොවීන් අතරට ගොස් පැමිණිම පිළිබඳ සිය කෘතවේදීත්වය පළකර සිටියේය. එහිදීත් ගොවීන් ඉල්ලා සිටියේ, සිය අස්වැන්නට සාධාරණ මිලක් ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසය.
“ අපි දැක්කා පසුගිය සතියේත් පාර්ලිමේන්තුවේදී අපි ගැන කතා කළේ ඔබතුමා විතරයි. ගොවියා ගැන, ගොවි අයිතිය ගැන, ස්ථාවර මිල ගැන කතා කරන්නේ ඔබතුමා විතරයි. අපිට දැන් අපේ දුක කියන්න ඉතිරිවෙලා ඉන්නෙත් ඔබතුමා විතරමයි.” යනුවෙන් ගොවීන් පවසද්දී තව ටික කාලයක් ඉවසන්න යැයි කියමින් සජිත් ඔවුන්ට ප්‍රතිචාර දක්වමින් පිටව ගියේය.
ගොවි ගැටළු ගැන අවධානය යොමු කරමින් ගෙවුණු සතියේ ප්‍රදේශ රැසක සංචාරය කළ සජිත්, අනුරාධපුර ගමනින් පසුව පැමිණියේ සූරියවැව හබරත්තවල පැවැති ගොවිජන හමුවකට සහභාගීවීමටය. ගොවි නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටීම කැපි පෙණුනු අතර, ගොවි ගැටළු සම්බන්ධයෙන් සෘජුවම කරුණු විමසා සටහන් තබාගනිමින් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද කරුණු පැහැදිලි කිරීමටත් විපක්‍ෂ නායකවරයා මෙහිදී කටයුතු කළේය.
එහිදී සජිත් පෙන්වා දුන්නේ, මාලිමා රජය යටතේ වී ගොවියා මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණයත් විනාශය කරා යොමුවී අවසන් බවය.
“ මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණ යන කුළුණු 3න් අධිකරණය යන කුළුණත් මේ ආණ්ඩුව විනාශ කරමින් ඉන්නවා. තවත් පැත්තකින් ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වෙනස් කරන්න උත්සාහ කරමින් තිබෙනවා. පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියන ප්‍රතිපත්ති මාලාවේ මේ දේවල් සඳහන්ව තිබුණා ද..?”
යනුවෙන් ඔහු එහිදී ප්‍රශ්න කර සිටියේය.
ආදායම වැඩිනම් සහන දෙන්න
සජිත් ප්‍රේමදාස දෙබරවැව පැවති ගොවි ජන හමුවකට සහභාගී වුණේ, සිකුරාදා පෙරවරුවේය.
ආදායම වැඩිනම් සහන දෙන්න
සජිත්ව වටකර ගත් ගොවි ජනතාව, වී මිල, පොහොර මිල, වගා ණය, බිත්තර වී ප්‍රශ්ණය ඇතුළු ගොවීන් මුහුණදෙන ගැටළු රැසක් ගැන එක දිගට කියාගෙන්, කියාගෙන යන්නට විය.
එය සාවදානව අසා සිටි සජිත් කියා සිටියේ, “ අපි හැමෝම දන්නවා මේ රටේ සමස්ථ ගොවි ජනතාව ආණ්ඩුව මං මුලා කරලා ඉවරයි. ඒ ගැන ඇත්තටම අනුර ජනාධිපතිතුමා සහ හරිනි අගමැතිනිය උත්තර දෙන්න ඕන. ආණ්ඩුවේ මැති ඇමතිවරු මහා උජාරුවකින් කියනවා රාජ්‍ය ආදායම 27%න් වැඩිවෙලා කියලා. ගෙවුණු මාස 06ට රාජ්‍ය ආදායම එච්චරකින් වැඩිවෙලා නම්, ඇයි හිතා මතාම ගොවියා දුප්පත් කරන්න කටයුතු කරන්නේ. ඇයි ඒ මුදලින් කොටසක් යොදවලා ගොවියගෙන් සාධාරණ මිලකට වී ටික මිලදී නොගන්නේ. මේ ආණ්ඩුව කරන්නේ රටට එකක් කියනවා, ගොවියට තව එකක් කියනවා.”
වතු ජනතාවට ඉඩම් දෙන හැටි සජිත් පැහැදිලි කරයි

මේ අතර සජිත් ප්‍රේමදාස පසුගියදා වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටළු ගැන සොයා බැලීමට පියවර ගත්තේය. ඒ වෙනුවෙන් සමගි වතු සේවක සංගමය රැස්කිරීමටද පියවර ගෙන තිබිණේ රත්නපුරයේදීය. එම සංගමයේ මෙම විශේෂ රැස්වීම බලංගොඩ සන්සිටි හෝටලයේදී පැවැති අතර, එම හමුව සංවිධාන කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුජිත් සංජය පෙරේරා විසිනි.
මෙහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ, එදා සිට අද දක්වාම වතුකරයේ ජනතාව වතු කම්කරුවන් ලෙස හදුන්වන බවය. එය නුසුදුසු බව අවධාරණය කළ ඔහු, එම ජනතාව මෙරට ඉඩම් හිමිකම සහිත වතු ව්‍යවසායකයන් ලෙස බලමුළු ගැන්වීමට පියවර ගත යුතු බවට ද අවධාරණය කළේය.

“ රු. 1000, 1500, 2000 ආදී ලෙස වැටුප් වැඩිකරන බව කිව්වත් අදටත් රු. 1750ක් ලබාගැනීමත් ඉතා අසීරු කටයුත්තක් වෙලා තියෙනවා කියලා අපි දන්නවා. අපිට ඕන මැතිවරණයට වැඩිකරන මුදල නෙමෙයි, මේ ජනතාව ලැයිම් කාමරයෙන් මුදාගෙන කුඩා තේ වතු හිමියෙක්, එහෙමත් නැත්නම් ව්‍යවසායකයෙක් කරන එක.”
වතුතරය ආශ්‍රිතව අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු සෑම ක්‍ෂේත්‍රයකම ගැටළු පැනනැගී ඇති බවත්, අනාගත රජයක ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරමින් මෙම ගැටළුවලට ස්ථිරසාර විසඳුම් සෙවීම තමන්ගේ අපේක්‍ෂාව බවත් සජිත් වතු ජනතාව අමතමින් අවධාරණය කළේය.
වතු ජනතාවට ඉඩම් දෙන හැටි සජිත් පැහැදිලි කරයි
“ වතු ප්‍රජාවට සාධාරණය ඉටු කරන බවට තමයි වර්ථමාන ආණ්ඩුව පොරොන්දු දුන්නේ. ඒත් රජය 1979 නීතියක් උපයෝගී කර ගෙන වතු ප්‍රජාව වතුවලින් පන්නා දැමීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙලා කියලා අපිට ආරංචීයි. අපිට අවශ්‍යය මේ වතු ප්‍රජාව ව්‍යවසායකයින් බවට පත් කරන්න. මම මේ කියන කාරනාව මම ඔප්පු කරන්නම්, මේ වේදිකාවට නගිනකොට මට ලියුමක් දන්නා වේලායුදන් කදිරවේල් මහත්තයා, පවුල් 85, මැද්දේ කන්ද, වෙලේ කුඹුර කොටස්වල, එතන අක්කර 200 ක් තියෙනවා ලු වල් බිහිවෙලා, කිසිම දෙයක් නොකර, ටිකක් හිතලා බලන්න ඒ අක්කර 200 අර පවුල් 85ට රජයෙන් පහසුකම් දීලා බෙදලා දෙන්න පුලුවන් නම්, වගා කරන්න කියලා ඒ ක්‍රමය සාර්ථකයි නේද? ඒ අයට නිවසකුත් හදා ගන්න පුලුවන්, එතකොට ඒ පවුලට ලයිම් කාමරයෙන් එළියට එන්නත් පුලුවන්. ඒ අයට වැඩියෙන් මහන්සි වෙන තරමට තේ ආදායම වැඩිකර ගන්නත් පුලුවන්. එතකොට මේ රටේ තේ නිෂ්පාදනයට මොකක්ද වෙන්නේ වැඩි වෙනවා නේද? අපේ රටේ තේ වගාකරන ඉඩම් වලින් 60% ක් අයිති ලොකු, ලොකු සමාගම්වලට, ඒත් ඒ අය මුළු තේ නිෂ්පාදනයට දායකත්වය දෙන්නේ 30% යි ඉඩම් වලින් 40%ක් තියෙන කුඩා තේ වතු හිමියන් 70%ක දායකත්වයක් දෙනවා. මේ ප්‍රයෝජනයට නොගන්න ඉඩම් අපි ක්‍රමවත්ව තේ නිෂ්පාදනය වැඩි කරන්න යොදාගන්න ඕන නැද්ද?”
ආචාර්ය ශෂී තරූර් හමුවූ රාත්‍රිය
ආචාර්ය ශෂී තරූර් හමුවූ රාත්‍රිය
ශ්‍රී ලංකාවට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු උප මහලේකම් සහ ප්‍රවීණ ලේඛක ආචාර්ය ශෂී තරූර් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් කොළඹදී සිදුවිය.
ඉන්දියාවේ හිටපු අමාත්‍යවරයකු වන ශෂී තරූර් පාර්ලිමේන්තු විදේශ කටයුතු පිළිබඳ ස්ථාවර කාරක සභාවේ සභාපතිවරයාද වනවා.
ආචාර්ය ශෂී තරූර් සිය මුහුණ පොතේ සටහනක් තබමින් පවසා තිබුණේ, කාර්ය බහුල දිනයක රාත්‍රියේ සිදුවූ මෙම හමුවේදී දෙරට අතර මෑත කාලීන වර්ධනයන් සහ ප්‍රවනතා පිළිබඳ පැයකට අධික කාලයක් සාකච්ජා කළ බවය.
සජිත් රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් රැසක
චීන තානාපතිවරයා හමුවීම
පසුගිය සතියේදී රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැදගත් සාකච්ඡා වට කිහිපයකට එක්වීමටද විපක්‍ෂ නායකවරයාට සිදුවිය. සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපති චී ෂෙන්හොං කොළඹ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයට පැමිණ විපක්ෂ නායකවරයා හමුවිය. ශ්‍රී ලංකාව හා චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් විපක්‍ෂ නායකවරයා චීන තානාපතිවරයා වෙත සිය ස්තුතිය පුද කළේය.
ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා හමුවීම
මේ අතර ශ්‍රී ලංකාවේ නව ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රිය කුල්කර්ණි ද කොළඹදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවිය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමුව තිබුණි.
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිස හමුවීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් අතර ද තවත් සාකච්ඡාවක් පැවැත්වුණේ පෙරේදා දිනයේදීය.
මෙම හමුවේ දී ආර්ථික සහයෝගීතාව, රාජ්‍ය පාලනය, අධ්‍යාපනය සහ කලාපීය ස්ථාවරත්වය යන කරුණු සම්බන්ධයෙන් මූලිකව අවධානය යොමුවූ අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට සහ දිගුකාලීන සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්සත් ජනපද දූත පිරිස හමුවේ අවධාරණය කළේය.
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන සමයේ දී ලබා දුන් කෝටා ප්‍රවේශය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය පුළුල් කිරීමටත්, රැකියා උත්පාදනය වැඩි කිරීමට මෙන්ම අපනයන ආදායම් වැඩි කිරීමට සැලකිය යුතු ලෙස දායක වූ බව සිහිපත් කළ විපක්‍ෂ නායකවරයා, ඉල්ලා තිබුණේ, ශ්‍රී ලංකාවේ ඇගලුම් අංශයේ සංවර්ධනයට තවදුරටත් සහය ලබාදෙන ලෙසය.
අංක 30 නිසා රත්වූ පැලවත්ත
අංක 30 නිසා රත්වූ පැලවත්ත
පසුගිය ජූලි 23 වනදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ පක්ෂ නායකයින් අතර පැවැත්වුණු විශේෂ සාකච්ඡාවෙන් පස්සේ පැලවත්තේ පුටු සෙට්එකම රත්වෙලා කියන ප්‍රවෘත්තියේ හරි තොරතුරු එළියට ආවේ, පහුගිය 27 වෙනිදා මාලිමාවේ විධායක සභික හදිසියේ රැස්කරපු සිදුවීමත් එක්කයි.
ඒ විධායක සභාවට ආපු මාලිමාවේ විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතිඥ ලාල් විජේනායක ආණ්ඩුව ගේන්න හදන 22 වන ව්‍යවස්ථාව සංශෝධනය දැඩි ලෙස විවේචනය කරලා තිබුණා.
මාලිමාවේ මේ ක්‍රියා මාර්ගයට එරෙහිව නිතිඥ සංගමයේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් අදහස් දක්වපු, ජ්‍යේෂ්ඨ නීතිඥ ලාල් විජේනායක 29 වෙනිදා තිබුණ නීතිඥ සංගමයේ රැස්වීමටත් සහභාගී වෙලා හිටියා.
මේ ගැන සජබයේ නීතිඥයින් පිරිසක් අතර යම්, යම් කසු කුසුත් ගිහින් තිබුණා.
” මාලිමාවේ සෙට් එක දන්නවා මේක නිසා එයාලට සමාජයෙන් එන පීඩනයේ බරපතලකම. මේ තත්වය ගැන ටිල්වින්ටත් හොඳ අවබෝධයක් තියනවා. ඒ හින්දා ටිල්වින්ගේ පැලවත්තේ ඔත්තුකාරයෝ මාලිමා විධායක සභිකයින් පස්සෙත් දැන් පන්නනව ලු. ඒ වගේම මේ පීඩනයට ඊළඟට ඉතාමත් ඉක්මණින් එන්නේ ජවිපෙ වෘත්තීය සමිතිවලට. බලන්න මම කියන්නේ බොරුද? කියලා”
ඒ කතාබහට සම්බන්ධවෙලා හිටපු සජබ ජේයෂ්ඨ නීතිඥයෙක් එහෙම කිව්වලු.
ඒ කතාවෙන් පස්සේ එතන හිටපු සරසවි ආචාර්යවරයෙක් කියලා තියෙන්නේ…
“ මේකත් මතක තියා ගන්න, පහුගිය මහ මැතිවරණය වෙනකොට රාජ්‍ය සේවය ඇතුලේ මාලිමාවේ ජනප්‍රියත්වය 80%ක මට්ටමක තිබුණා.හැබැයි අද වෙනකොට ඒ ජනප්‍රියත්වය බොහෝ පහලට වැටිලා.රාජ්‍ය සේවකයොත් මේ ප්‍රශ්නයට සංවේදී. මොකද එයාලා දැක්කා අනුර ජනාධිපති වෙලා ජනාධිපති ලේකම් පත්කිරීමෙන් පස්සේ රාජ්‍ය සේවයට කරපූ කෙනිහිලිකම්.රාජ්‍ය සේවයේ හදපු බෙදුම්. පරිපාලන සේවය කොන් කරපු හැටි.අනුරගේ දේශපාලන උවමනාවට රාජ්‍ය නිලධාරීන් අමාරුවේ දාපු හැටි. දැන් මේ ආණ්ඩුවේ හොරකම්, වංචා දූෂණවලට කාගෙද? වැඩ තහනම් කරලා තියෙන්නේ, ඔක්කොම රාජ්‍ය නිළධාරීන්. ඇයි ඉස්සර දේශපාලඥයෝ සම්බන්ධනම් අද දේශපාලඥයින් මේවට සම්බන්ධ නෑ කියන්න පුලුවන්ද? මේක තමයි එයාලා බලය පෙන්වනවා කියන්නේ. එදා දේශපාලඥයාට හොරා කියමින්, අද චෝදනා තියෙන දේශපාලඥයින් නිවැරදිකරුවන් කිරීමේ වැඩක් තමයි මේ කරන්න හදන්නේ, අද චෝදනා ඔක්කොම රාජ්‍ය නිළධාරීන් පිට තමයි එයාලා පටවන්නේ. මේක මහා බරපතල තත්ත්වයක්”
පාර්ලිමේන්තුවෙත් හිටපු ගාල්ල පැත්තේ ඉන්න ජේය්ෂ්ඨ නීතිඥයෙක් කියලා තිබුණේ…,
“ මෙන්න මේ ටිකත් අපි රටට පෙන්නලා දෙන්න ඕන, මේ වෙන්න යන්න මාලිමාවේ බරපතල කුමන්ත්‍රණයක කූඨප්‍රාප්තියක්, එයාලා මුලින්ම මේ රටේ මිනිස්සුන්ට දේශපාලඥයා එපා කෙරෙව්වා, මේ රටේ 76 වසරක් ආණ්ඩු කරපු නායකයෝ එපා කෙරෙව්වා, මේ රටේ සිවිල් සංවිධාන, ජනතාව අතර ප්‍රතික්ෂේප කෙරෙව්වා, ඊට පස්සේ හාමුදුරුවරුන් සහ අනිත් ආගමික නායකයින් විවිධ ක්‍රමදාලා අප්‍රසාදයට ලක්කෙරෙව්වා, දැන් නීතීඥයින් ගැන, ජනතාව අතර අප්‍රසාදය ගොඩනගමින් ඉන්නේ, ඊට පස්සේ 22 ගෙනත් අධිකරණයේ විනිශ්චයකාරවරුන් ගැන අප්‍රසාදයක් හදනවා, ඒක ආණ්ඩුව කියන්නේ වෙන එකක්, ඒත් ඒ අප්‍රසාදය හැදීම තමයි අරමුණ, එහෙම කළාම සමාජයේ සියළු සංවිධාන, සියළු ස්ථාර එක්ක ජනතාවගේ විශ්වාසය පළුඳු කරන්න පුලුවන්. ඊට පස්සේ එයාලා තමයි, මාලිමාව විතරයි සියළු සර්ව බලධාරියා විදිහට එයාලට ජනතාව අතර විශ්වාසයක් හදා ගන්න පුළුවන්. ඕක තමයි මේ අයගේ මාස්ටර් ප්ලෑන් එක.”
මේ ගැන අපි මේ රටේ හැම කණ්ඩායමක්ම දැනුවත් කරන්න ඕනමයි.
ඔහොම කතාබහකින් පස්සේ සජබයට සම්බන්ධ නීතිඥයින් පිරිස විසිර ගියා කියලා තමයි අපිට ආරංචි වුනේ.
(මම | බංගලා හංදියේ ලියුම්කරු)




