සමාජ මිතුරන් දේශපාලන සතුරන් කර නොගෙන පූර්ව සංවාදයකට යාමේ වැදගත්කම විමලනාත් වීරරත්න පෙන්වා දෙයි
විරෝධාකල්ප දේශපාලනයේ යෙදුණු කාලයේ මෙන් නොව එවැනි ව්‍යාපාරයක් ආණ්ඩු බලය අත්පත් කරගත් පසු කාලය තුළ අභියෝග රැසකට මුහුණ පෑමට නියමිතය. වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව පසු වන්නේ එවැනි අවධියක යයි කිව හැකිය. මෙහි ඇත්තේ, ප්‍රශ්නය අනුන්ගේ වනතුරු දෙවැනි පාර්ශ්වයකට දාර්ශනික විය හැකි මුත් ප්‍රශ්නය තමන්ගේ වූ විට ඇතිවන තත්ත්වය බඳු පසුබිමකි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය වසර දෙකකින් දිගු කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය අද වන විට නීති විෂය ක්ෂේත්‍රය තුළ දැඩි කැලඹීමක් ඇති කර තිබෙන අතර ආණ්ඩුව ගැනීමට නියමිත ඉදිරි පියවරයන් මත තත්ත්වය තවත් උග්‍ර වනු ඇතිද? නැද්ද? යන්න විමසා බැලිය හැකිය. විශේෂයෙන් ම මේ ආශ්‍රයෙන් මතුවන අර්බුදය වළක්වා ගැනීමට නම් ආණ්ඩුව මෙන්ම නීතීඥ ප්‍රජාව විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ඇති සංවරණ සහ තුළන ක්‍රමය කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙයි. විධායකයෙන් වරදක් සිදුවන විට එම තත්ත්වය සමථ කිරීම අධිකරණයේ කාර්යභාරය වන අතර විධායකයට හා ව්‍යවස්ථාදායකයටත් ඒ ආකාරයටම සමබර පැවැත්මකට ආධාර වන ක්‍රමයක් නිර්මාණය වී තිබෙන්නේ මෙම ආයතන තුනෙහි ඇතැම් ක්‍රියාමාර්ග නිසා මහා විනාශකාරී තත්ත්වයක් උදාවීම වළක්වනු පිණිසය. ඒ නිසා සංවරණ හා තුලන ක්‍රමයට පා පහර දීමට කිසිවකුටත් අයිතියක් නැත.
අනෙක් අතට මෙම ආයතන තුනෙහි ක්‍රියාකාරීත්වයෙහි සම්ප්‍රයුක්තය පොදු ජනයාට මතු නොව රටක දේශපාලන හා සාමාජීය ස්ථාවරයන්ට බලපාන අතර සෑම විටෙකම ආයතන ප්‍රති සංස්කරණ ක්‍රියාවලියකද නිමග්නවීම වැදගත්ය. අධිකරණයට ගොස් යුක්තිය පසිඳලන ක්‍රියාවලියකින් බේරා ගත හැකි ප්‍රශ්න තිබේ. එහෙත් උක්ත ප්‍රශ්නයේදී. අධිකරණයට ගෙන යාමට සිදුවන ප්‍රශ්නය විභාග කිරීමට සිදුවන්නේ විනිසුරුවරුන්ටමය. තමන්ට අදාළ ප්‍රශ්නයක් විභාග කිරීම වැනි තත්ත්වයක් අධිකරණ ක්‍රියාවලියේ ස්වාධීනත්වයට මෙන්ම විශ්වාසනීයත්වයට එල්ල වන බාධාවකි. එය එසේ මෙසේ බාධාවක් නොව අතිශය සංකීර්ණ තත්ත්වයක් බැවින් උක්ත කාරණය පිළිබඳ යුක්තිය පතා ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යාමට සිදුවන තත්ත්වයක් ඊට මෙහායින් විසඳා ගැනීමට යත්න දැරීම වැදගත් වෙයි. නීතිඥ ප්‍රජාව විපක්ෂය මෙන්ම ආණ්ඩුව මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කළ යුතුව ඇත.
නීතිඥ සංගමයේ තීරණය

ජූලි 29 වැනිදා නීතිඥ සංගමය විනිසුරන්ගේ විශ්‍රාම කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමට එරෙහිව යෝජනාවක් සම්මත කරගත්තේය. ඕනෑම සංවිධානයකට තමන් කැමති යෝජනාවක් සම්මත කර ගැනීමට අයිතියක් තිබෙනවා සේම ආණ්ඩුවටත් ප්‍රතිපත්තිමය තීරණයක් ව්‍යවස්ථානුකූලව ගැනීමට අයිතියක් සහ හැකියාවක් ඇත. ආණ්ඩුවට එම අයිතිය හා හැකියාව මෙහිදී පාවිච්චි කළ හැකි නමුත් නීතිඥ සංගමයට හා විපක්ෂයට වඩා වැඩුණු අරුතකින් මේ ප්‍රශ්නය දෙස ආණ්ඩුවක් බැලිය යුතුව ඇත. විනිශ්චයකාරවරුන් 65 දෙනෙකු පෙර අවස්ථාවක ආණ්ඩුවේ යෝජනාවට විරුද්ධත්වය දක්වා තිබුණි. යෝජනාවට පක්ෂව නැගෙන අදහස් තුළින් ඒ පිළිබඳව කියවුනේ විනිශ්චයකාරවරුන් 338 කගෙන් 65 ක් එවැනි තීරණයක් ගෙන තිබීම සුළුතර අදහසක් වන බවය. සංඛ්‍යාත්මකව මේ දෙස බැලුවහොත් එය සත්‍යයක් වන නමුත් ඉතිරි 273 දෙනකු සපුරා මෙම යෝජනාවට පක්ෂයැයි මෙහිදී අදහස් කිරීමද කළ නොහැක්කකි. නීතීඥවරු 25000කට අධික පිරිසක් මෙරට සිටිති. එහෙත් 29 දා පැවති නීතිඥවරුන්ගේ රැස්වීමට පැමිණ සිටියේ පන්සියයකට අඩු පිරිසකි.
කෙසේ වෙතත් මෙවැනි සංකීර්ණ කටයුත්තක් කිරීමට පෙර අදාළ කරුණ සම්බන්ධයෙන් පැන නැගිය හැකි ප්‍රශ්න පිළිබඳව සියලු පාර්ශ්ව සමග පුළුල් සාකච්ඡාවක් කළ හැකි වූයේ නම් එය වැදගත්ය. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වන අංගයක් හෝ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් පිළිබඳව පූර්ව සාකච්ඡාවක් අත්‍යවශ්‍යය. එවැනි සාකච්ඡාවක් මතු නොකොට ගන්නා බොහෝ තීරණ අර්බුදයට යෑම ඉකුත් සමයේ දක්නට ලැබුණු තත්ත්වයකි.

ආණ්ඩුවේ යෝජනාවට විරුද්ධ වීම අරමුණු දෙකක් සමග ගැට ගැසී තිබෙන බව ඒ පිළිබඳ නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි. විපක්ෂය පහුගිය කාලයේම ආණ්ඩුවේ සෑම ක්‍රියාමාර්ගයකටම විරුද්ධ වන ආකාරයටම මෙම යෝජනාවටත් විරුද්ධ වූ බව දක්නට ලැබුණි. ඒ නිසා. විපක්ෂයේ විරුද්ධ වීමට ගැඹුරු අර්ථයක් ඇතැයි සිතිය නොහැකිය. එහෙත් ඉකුත් වසර 10-15 ක කාලය තුළ රටේ බොහෝ අර්බුදකාරී තත්ත්වයන්වලදී මැදිහත්කාරකත්වය පෑ නීතිවේදීන් බුද්ධිමතුන් මේ සම්බන්ධයෙන් පළ කරන මත විපක්ෂයේ දැඩි ආන්තික මත පරිදි බැහැර කළ නොහැකිය. ඔවුන් කී එක් දෙයක් වනුයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දිගු කිරීම සහ නඩු කඩිනම් කිරීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවය. අනෙක් අතට මෙවැනි පියවරක් වරදානයක් ලෙස ක්‍රියාත්මක විය හැකි බවය. සැබැවින්ම එවිට විනිසුරන් තුළම ලැදියාවන් අතර ගැටුමක් නිර්මාණය වුවහොත් එය නීතීඥ සංගමය කියන පරිදිම අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවකි.
අනෙක් අතට ආණ්ඩුව කියන පරිදි මෙම ක්‍රියාමාර්ගය ඔස්සේ නඩු කඩිනම් කරගත හැකිනම් එය සමස්ත රටවැසියාගේම බලාපොරොත්තු ඉටුවීමකි. මැදහත්ව මේ ප්‍රශ්නය දෙස බලන නීතිඥවරුන් කීවේ ඇතැම් නඩුවලට අදාළ ලියකියවිලි හා පරීක්ෂණ වාර්තා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ බොහෝ කලක් සිරවී තිබීම නඩු ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් වී ඇති බවය. පොලිස් වාර්තා නිසි අවස්ථාවේදී නොලැබීමද නඩු ප්‍රමාදයට තවත් හේතුවකි. එසේ නම් එම ආයතනවල කටයුතු කාර්යක්ෂම කිරීමට ක්‍රියා කිරීම වැදගත්ය. මීට අතිරේකව නඩු ප්‍රමාදය පිළිබඳ ප්‍රශ්නයක් වෙන කොතැනකවත් නැද්ද? නඩු ප්‍රමාද කරන නීතිඥ මහත්වරු සිටිති. ඇතැම් විනිශ්චයකාරවරු ඊට අනුබල දෙති. නඩු ප්‍රමාදය ඇතැම් නීතිඥවරුන්ගේ සහ ඇතැම් විනිසුරන්ගේ අන්‍යෝන්‍ය එකඟතාවෙන් යුතුව සිදුවන ක්‍රියාවලියක් ලෙසද හඳුනාගත හැකිය. එසේ නම් නඩු කඩිනම් කිරීමට ඉහත කී බහුවිධ ප්‍රමාදයන් සිදුවන අවස්ථා වහාම වෙනස් විය යුතුව ඇත.
නඩු ජනාධිපතිවරයාගේ නොවේ

පාස්කු නඩුව ඇතුළු ජනතාව යුක්තිය පතන නඩු සියල්ල කඩිනම් විය යුතු බව තර්කයෙන් තොරව කවුරුත් පිළිගනිති. වත්මන් අගවිනිසුරුවරයා යටතේ එය සිදුවන බව පෙනෙනවා නම් විශ්‍රාම වයස දිගුකර ඔහුගෙන් එම සේවාව ලබාගත යුතුය. මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කිරීමට සරත් ෆොන්සේකා අවශ්‍ය යැයි තීරණය කිරීමට මෙය සමාන කළ නොහැකි නමුත් වත්මන් අගවිනිසුරුවරයා මගින් නඩු කඩි නම් කිරීම සිදුවන බව උපකල්පනය කරමින් ඉටුකරගන්නට යන්නේත් රටෙහි අවශ්‍යතාවකි. පැරණි ආණ්ඩුවල චූදිත වංචනිකයන් සහ ඝාතකයින්ට නීති මගින් කටයුතු කිරීම ජනපති අනුර දිසනායකගේ පමණක් අවශ්‍යතාවක් නොවේ. එය අප කාගේත් අවශ්‍යතාවකි. ජනතාව මෙම ප්‍රශ්නයේදී නිහඬව පසුවන්නේ ඒ නිසා පමණක් නොවේ. මෙ කරුණ පිළිබඳව ජනතාවට නිසි වැටහීමක් නැති නිසාය. එක් අතකින් මෙම වරම විනිසුරන්ට ලැබෙන අල්ලසක් යැයි කිව හැකි අතර එහි දීර්ඝ කාලීන ආදීනව වටහා ගැනීමට ජනතාව මහන්සි නොවේ. ජනතාව ඒ ගැන හිතන්නේ අපරාධකරුවන්ව පොලිසිය කුමන ආකාරයෙන් මරා දැම්මත් අපිට මොකද, ඔවුන් අපරාධකරුවන්ය යන හැඟීම පෙරදැරිවය.
මේ පිළිබඳ ප්‍රශස්ත හා මැදහත් මතය වන්නේ අපරාධකරුවන් ඕනෑම ආකාරයකින් මරා දමන ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධය දක්වන පුවැසියන්ට එරෙහිව වුව අභ්‍යාස විය හැකි බවය. එනම් විනිසුරන් ඕනෑම කාරණයකදී ආණ්ඩුව අපේක්ෂා කරන තීන්දු අනාගතයේදී ලබාදිය හැකි අතර එය ආරම්භයේදීම වළක්වා ගත යුතුය යන්න බැහැර කළ නොහැකි කාරණයකි. එක්තරා නීතිඥවරයකු ආණ්ඩුවට අභියෝග කර තිබුණේ වත්මන් අගවිනිසරුවරයා දෙසැම්බර් මාසයේ විශ්‍රාම ගිය පසු හැකි නම් ජනවාරි 01 සිට බලපවත්වන පරිදි විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කරන ලෙසය. අප ඔහුට කිව යුත්තේ ප්‍රශ්නය ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවේ නොව ජනතාවගේ යන්නය. ජනතාව බලාපොරොත්තු වන යුක්තිය පසිඳලන්නේ කවුද, ඔහු රඳවා ගැනීමට ආණ්ඩුව දක්වන උවමනාව සමඟ ජනතාව සමාන්තරව සිටින බවය.
ආණ්ඩුව මතක තබා ගත යුතු කරුණක්

නූතන මානවයා මෙන්ම රටවල් මුහුණ දෙන ප්‍රශ්න සංකීර්ණය. විවාදිතය. විසංයෝජනය නමැති විෂයක අවශ්‍යතාව පැන නගින්නට එක් හේතුවක් එය වන අතර විශේෂයෙන්ම මානවයා මුහුණ දෙන මානසික ප්‍රශ්න භෞතික ප්‍රශ්නවලට වඩා බහු කේන්ද්‍රීය ය. වර්තමාන ලෝක දේශපාලනයේ මෙන්ම ලංකා දේශපාලනයේ යථාව වන්නේ සමාජ මිතුරන් තුළම දේශපාලනයේදී සතුරන් වාසය කිරීම ය. එම දේශපාලන සතුරාද සමාජ මිතුරාද වඩාත් වැදගත් හෝ වඩාත් ආරක්ෂා කර ගත යුත්තේ යනුවෙන් ප්‍රශ්නයක් මතු විය හැකිය. මෙහිදී දේශපාලකයාට දේශපාලන මිතුරා වැදගත් වන අතර සමාජ ප්‍රශ්න දෙස විවෘත ඇසකින් බලන පුද්ගලයාට සමාජ මිතුරා වැදගත් වනු ඇත.
වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව බිහි වූයේ කෙසේද? ජනාධිපතිවරණය හා මහ මැතිවරණය තුළ එම පක්‍ෂය වෙනුවෙන් වේදිකාවලට නැගුණු පිරිස නිසාද? ඔව්. එයත් එක් වැදගත් සාධකයකි. එහෙත් ජාතික ජන බලවේගය වැනි මධ්‍යස්ථ හා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් කරා ජනතාව කැඳවා ගැනීම හදිසියේ සිදුවූවක් නොවේ. ඊට මෙරට වමේ ව්‍යාපාරයේ පක්ෂ, ලිබරල් මත දැරූ කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, බුද්ධි කව, බහුවිධ ප්‍රගතිශීලී කොටස්, ප්‍රගතිශීලී ජනමාධ්‍ය මෙන්ම අදහස් පල කරන්නන්, සුබ පතන්නන් ආදී වශයෙන් වූ යහපත් සමාජ අරමුණක් තිබුණු සියල්ලන්ගේ ඓතිහාසික කාර්යභාරය බලපෑවේය. ඒ අය අතර අති බහුතරයක් ජවිපෙ හෝ ජාජබ නොවිය හැකිය. එහෙත් ඒ සියල්ලෝ වසර තිස් හතළිස් ගණනක් මෙරට තුළ ප්‍රගතිශීලී ව්‍යාපාරයක් බලයට පත් විය යුතුය යන අදහස පෙරදැරිව ක්‍රියා කළහ.
ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය එවැනි පළල් වපසරියක ක්‍රියාකාරීත්වය කරා දිවයයි. ඒ බොහෝ දෙනෙක් ජාජබ බලයට පත් වූ පසුත්. ප්‍රගතිශීලී ලෝකයක් වෙනුවෙන් තම අදහස් අඛණ්ඩව පළ කිරීමෙහි නිමග්නව සිටින බවද කිව යුතුය.

නීතිඥ ලාල් විජේනායක සම සමාජයෙන් බිඳී එහි විකල්ප කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස ක්‍රියා කිරීමට පටන් ගන්නේ සම සමාජ පක්ෂය යාවජීව ජනාධිපති කෙනෙක් බිහිකළ මහින්දගේ 18 වැනි සංශෝධනයට පක්ෂ වූ නිසාය. විජේනායක මහතා කළ ප්‍රගතිශීලි අරගලය විධායක ව්‍යවස්ථාවට එරෙහිවීම දක්වාම දුරකට දිව යන අතර ඔහුට හැමවිටම වැදගත් වූයේ දේශපාලන මිතුරා වීමට වඩා සමාජ මිතුරාගේ භූමිකාවට අරුතක් දීමය. ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතාද විජේනායක මහතා සමඟ දහ අට වැනි සංශෝධනයට විරෝධය පා සම සමාජයෙන් දුරස් වූයේය. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ගතහොත් ඔහු මෑත අවධියේ දේශපාලන නායකයන්ගේ බොහෝ හිතුවක්කාර සහ ව්‍යවස්ථා විරෝධී හැසිරීම් වලට එරෙහිව හඬ අවදි කළේය. ඔහු කවර දේශපාලන ආස්ථානයක් නියෝජනය කළත් හෙතෙම සමාජ ප්‍රශ්න අරභයා මැදිහත් වූයේ ප්‍රගතිගාමී අරුතකිනි.
උක්ත කාරණය හැමවිටම බලය දරන දේශපාලන ව්‍යාපාර විසින් තේරුම් ගැනීම වැදගත්ය. එනම් ආණ්ඩුවේ කිසියම් ව්‍යාපෘතියකට විරුද්ධ වීම නිසාම මේ බොහෝ අය සමාජ සතුරෝ නොවෙති යන්නය. ක්‍රියාවට පෙර සංවාදය වැදගත් වන්නේ එහිදීය. තෝරාගත යුත්තේ සංවාදයට යන මාර්ගය වන අතර එවිට ඔබට සුහදත්වය හා තේරුම් ගැනීම මුණගැසෙනු ඇත.
(සටහන | විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී
wimale.ravaya67@gmail.com
උපුටා ගැනීම : සිළුමිණ ( අගෝස්තු 02 ඉරිදා )




