BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
විශේෂාංග

ආණ්ඩුවේ පළමු අභිනික්මන..! කවුද මේ ලාල් විජේනායක? - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

T

The Leader Desk

August 3, 2026 • 11:00 AM

ආණ්ඩුවේ පළමු අභිනික්මන..! කවුද මේ ලාල් විජේනායක? - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *තුනෙන් දෙකක බලයක් හමුවේ ප්‍රතිපත්තිමය වෙනස වෙනුවෙන් පක්ෂ තහංචි බිඳ දැමූ අතීත කැපවීම්වලින් පිරි සටන්කාමී ගමන
  • රාජ්‍ය රහස් 100%ක් රකින ආණ්ඩුවකිනි.
  •   ලාල් ඉපදුණේ 1941දීය.
  • ඔහු ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

*විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ දීර්ඝකාලීන හීනය බිඳවැටීම සහ දේශපාලන ස්ථාවරය වෙනුවෙන් ගත් තීරණය

 

ලාල් විජේනායක ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් එළියට ආ පළමු පුරවැසියාය. ඔහු එළියට ආවේ නිකම්ම නිකම් ආණ්ඩුවකින් නොවේ. තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවකිනි.

ඒ වගේම පක්ෂ විනය අකුරට රකින, පක්ෂය තුළ හෝ ජාතික ජන බලවේග සන්ධානය තුළ හෝ කැබිනට් මණ්ඩලය තුළ හෝ සිදුවන අභ්‍යන්තර සාකච්ඡා වෙනත් පුද්ගලයන්ට හෝ මාධ්‍යයට ලීක් නොවන්න වගබලාගෙන සිටින ආණ්ඩුවකිනි. රාජ්‍ය රහස් 100%ක් රකින ආණ්ඩුවකිනි.

 

කවුද මේ එඩිතර බය නැති ලාල් විජේනායක?

 

ලාල් ඉපදුණේ 1941දීය. ඔහුගේ ගම නුවරය. ඔහු ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු විය. පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය සංගමයේ සභාපති වී ඔහු සිසු අරගලය පටන්ගත්තේය. ඔහු එකල උපකුලපති සර් නිකලස් ආටිගලලා සමග ගනුදෙනු කළ ශිෂ්‍ය නායකයෙකි. 1967 ඔහු නීතිඥයෙක් විය. ඔහු පළමු වරට අධිකරණයේ පෙනීසිටියේ 1971 කැරැල්ලේ කැරැලිකරුවකු වෙනුවෙනි. ඒ, අපරාධ විනිශ්චය කොමිසම ඉදිරියේය. එකල ලාල් ප්‍රකට නීතිවේදී නඩේෂන්ගේ ගෝලයකු විය. ඔහු 71 කැරැල්ලේ කැරැලිකරුවන් විශාල පිරිසක් වෙනුවෙන් අපරාධ විනිශ්චය කොමිෂන් සභාව ඉදිරියේ පෙනීසිටියේය.

යූ.ඇන්.පී. ආණ්ඩුව ලෝක බැංකු උපදෙස් මත ගොවියන්ට වතුර බද්දක් ගහන්න යද්දීත් ලාල් ගොවියන් වෙනුවෙන් පෙනීසිටියේය. ඔහු ජල බද්ද අධිකරණ නියෝගයකින් ඉවත් කරවා ගත්තේය. ඔහු යූ.ඇන්.පී. ආණ්ඩුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් ඉඩම් හිමිවූ දුප්පත් මිනිසුන් ඉවත් කරන්න 1977 බලයට ආ යූ.ඇන්.පී. ආණ්ඩුව කටයුතු කරද්දී ඒ ඉඩම් අහිමි වූ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටියේය.

 

ලාල් දේශපාලනය පටන්ගත්තේ ලංකා සමසමාජ පක්ෂයෙනි. ඔහු ල.ස.ස.ප.යේ මධ්‍යම කාරකසභාවේ සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙක් විය. පක්ෂයේ භාණ්ඩාගාරික ලෙසද ඔහු පත්විය. ඔහු ලංකා සමසමාජ පක්ෂයට එක්වූයේ 1963දීය. ඔහු පළමු වරට මැතිවරණයක් තරග කළේ 1988 පළාත් සභා මැතිවරණයටය. ඔහු මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක ධුරයට පත්වූයේ එම පළාත් සභාවෙන්ය.

 

ඔහු වසර 15ක් පළාත් සභා මන්ත්‍රීවරයකු විය. 1993 පළාත් සභා මැතිවරණයට සහ 1994 මහ මැතිවරණයට ශ්‍රීලනිපය සමග හවුල් සන්ධානයක් හදා යූ.ඇන්.පී. ආණ්ඩුව පරාජය කළ යුතුය යන මතයේ තදින් සිටිය ලංකා සමසමාජ පාක්ෂිකයෙකි. 1994 මහ මැතිවරණයේ ඔහු වසර 17ක යූ.ඇන්.පී. ආණ්ඩුව පරාජය කරන්න සටන් කළ ඉදිරි පෙළ සටන්කරුවෙකි. 1994 ජනාධිපති වූ චන්ද්‍රිකා ගැන ඔහු විශාල බලාපොරොත්තු තියාගෙන සිටියේය. චන්ද්‍රිකා බලයට ඇවිත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කරනු ඇතැයි ඔහු හීන දැක්කේය. 

ඒත් චන්ද්‍රිකා බලයට ඇවිත් ලාල් ඇතුළු බොහෝ දෙනෙක් දැකපු හීනවලට පයින් ගැසුවාය. ඇය බලයට ආ දින සිට බලය ආරක්ෂා කරගන්නේ කොහොමද කියා හිතුවා මිසක් ඒ බලයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ක්‍රමයක් ගැන හිතුවේ නැත. මේ ගැන ල.ස.ස.ප. දේශපාලන මණ්ඩලයේ වාද විවාද යද්දී ලාල් විජේනායක පක්ෂය, චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන මතයේ තදින් සිටියේය. ඒත් ල.ස.ස.ප. නායක බර්නාඩ් සොයිසා, ආතාවුද සෙනෙවිරත්නලා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමැතිකම් දමලා එළියට එන්න කැමැති නොවීය. දේශපාලන මණ්ඩලයේ කතා කරලා කරලා බැරිම තැන ඔහු ප්‍රසිද්ධියේ සිය මතය ප්‍රකාශ කරන්න පටන් ගත්තේය. ඔහු චන්ද්‍රිකාගේ ආණ්ඩුව සමග එළිපිට ගැටුණේ චන්ද්‍රිකා නීතිපති සරත් සිල්වා අගවිනිසුරු ධුරයට පත්කොට අධිකරණය මෙල්ල කරගැනීමට උත්සාහ දරද්දීය. සරත් සිල්වාගේ පත්වීමට එරෙහිව නීතිඥ සංගමය පවා බිම බලාගෙන සිටියදී ලාල් ‘රාවය’ කර්තෘ වික්ටර් අයිවන් සමග සටනට බැස්සේය. සරත් සිල්වාගේ පත්කිරීමට එරෙහි සටනේ නියමුවා වූයේ වික්ටර් අයිවන්ය. ඒත් චන්ද්‍රිකා ඒ විරෝධතා මායිම් නොකර සරත් සිල්වාව අගවිනිසුරු ධුරයට පත්කළාය.

 

852520bd e0e5 4818 a7d0 79ceeeb18ea4

 

ලාල් විජේනායක ල.ස.ස.ප. දේශපාලනය පිළිකුල් කරන තැනට ආවේ 2009දී රාජපක්ෂ ආණ්ඩුව යටතේ ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා ඝාතනය වීමත් සමගය. මේ වනවිටත් ඔහුගේ ල.ස.ස.ප.ය මහින්දගේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් විය. ල.ස.ස.ප. නායක තිස්ස විතාරණ ඇමැතිවරයෙක් විය. ල.ස.ස.ප.යේ මේ පිළිකුල්සහගත හැසිරීම ලාල් ඉවසුවේ නැත. මාධ්‍යවේදීන් ඝාතනය සහ මර්දනය කිරීමට එරෙහිව නිදහසේ වේදිකාව නිර්මාණය වූයේ 2009 දීය.

 

‘ලාල් ඔයා මේ වේදිකාවේ සිටිය යුතුමයි…’

 

සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන ලාල්ට කීවේය.

 

‘මේකට මගේ පරම හතුරා යූ.ඇන්.පී.යත් සහාය දෙනවා. එතකොට මම කොහොමද ඒ වගේ වේදිකාවකට නගින්නේ…?’ ලාල් පෙරළා ඇසුවේය.

 

‘දැන් පක්ෂ පාට බලන්න බැහැ. මේ මර්දනයට එරෙහිව අපි එකතු වෙමු. නැත්නම් එන්නේ ඒකපාක්ෂික ඒකාධිපති ආණ්ඩුවක්…’ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන කීහ.

‘හරි මම එන්නම්…’ ලාල් තීරණයක් ගත්තේය. ලාල් නිදහසේ වේදිකාවට ආවේය. රාජපක්ෂවරුන්ට යක්ෂයා ආරූඪ විය. ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයේ සිටි ල.ස.ස.ප. නායකයන් කැඳවා දෙහි කැපුවේය. තිස්ස විතාරණලා ඇමැතිකම් නැතිව යයි කියා බය විය. වහාම ඔහුව පක්ෂයෙන් නෙරපා දැමීය. ඒත් ඔහු අධෛර්ය නොවීය. ඔහු එදිනම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයන්ගේ සංවිධානය හැදුවේය.

 56b4de64 e87e 497b b325 ab9b75114dcb

ලාල් විජේනායක 2012දී රාජපක්ෂ ආණ්ඩුව හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් නෙරපන්න යද්දී ඊට එරෙහිව මහා හඬක් නගපු නීතිඥවරයෙකි. ඔහු ඒ සටනේත් පතාක යෝධයෙක් විය. ඒ වගේම 2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරු පරාජය කොට මෛත්‍රීපාල දිනවන්න පෙරට ආ සිවිල් සංවිධානවල කැපීපෙනුණු චරිතයකි. ඒ වගේම මෛත්‍රී සහ රනිල් ජනවරමට එරෙහිව වැඩ කරද්දී ඔහු සිය හඬ නැගීය. 

ලාල් මෙරට ජනාධිපතිවරු දෙදෙනෙක් යටතේ ඒ ජනාධිපතිවරුන්ට සහාය දැක්වූ පක්ෂයක දේශපාලන මණ්ඩල සභිකයෙක්ව සිටියේය. ඒ, චන්ද්‍රිකා සහ මහින්දය. ඒ කාලයේ චන්ද්‍රිකා සහ මහින්දගෙන් ජනාධිපති නීතිඥකම් ගත් වාමාංශික පක්ෂවල නීතිඥයන් බොහෝය. ඒත් ලාල් ල.ස.ස.ප.යෙන් ඔහුට ජනාධිපති නීතිඥකමක් යෝජනා කරද්දී එය ප්‍රතික්ෂේප කළේය.

 

‘ජනාධිපති නීතිඥකමකට මගේ හඬ යටපත් කරන්න බැහැ…’

 

ඔහු දැඩිව කීවේය. ලංකාවේ එලෙස ජනාධිපති නීතිඥ පදවි එපා කී නීතිඥයන් ඉන්නේ දෙතුන් දෙනෙකි. එස්.එල්. ගුණසේකර, ආර්.කේ.ඩබ්. ගුණසේකර, ගෝමින් දයාසිරි ඒ අතරින් කිහිප දෙනෙකි. ලාල් ඉන්නේත් ඒ ගොඩෙහිය.

 

64df5258 e850 4f5a 9810 2249a863b264

ජවිපෙ සාම්ප්‍රදායික වමේ ක්‍රියාකාරීන් ළං කරගන්න ලොකු බයක් දක්වයි. ඒත් ජවිපෙට ලාල් විජේනායකව අත්‍යාවශ්‍ය වූයේ ඔහුගේ සටන් ඉතිහාසය නිසාය. ජවිපෙ ඔහුව ජාතික ජන බලවේගයේ විධායක කමිටුවට සහ නායකත්ව මණ්ඩලයට පත්කළේ එහෙයිනි. ලාල් ජාතික ජන බලවේගයට එකතු වන්නේත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ජේ.ආර්.ගේ ක්‍රමය වෙනස් කරන්න ඔහු 1978 සිට දකින හීනයක් හැබෑ කරගන්නටය. චන්ද්‍රිකා, මහින්ද හෝ මෛත්‍රීපාල ඒ හීනය හැබෑ කළේ නැත. ඔහු සිතුවේ ලංකා ඉතිහාසයේ පළමු වරට වාමාංශික පක්ෂයක් ජනාධිපති ධුරයට පත්වී ඒ හීනය සැබෑ කරයි කියාය.

 ඒත් මේ වෙනකොට ලාල්ගේ හීනය කුඩුපට්ටම් වී තිබේ. ඔහු ජාතික ජන බලවේගයට අභියෝග කරන ජාතික ජන බලවේගයේ පළමු නායකත්ව මණ්ඩලයේ චරිතය වන්නේ එහෙයිනි. ඔහුගේ අභිනික්මන ජාතික ජන බලවේගයේ සීතාම්බර පට උනාදමන්නට සමත්ව ඇත.

 

සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant

උපුටා ගැනීම - mawratanews

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...