වෛද්‍යවරුන්ගේ සහ නීතිඥයන්ගේ කාර්යභාරයට වඩා විනිසුරුවරයෙකුගේ ඒකල තර්කනය සහ ස්නායු-විද්‍යාත්මක වගකීම සම්පූර්ණයෙන්ම වෙනස්
විනිශ්චයාසනය යනු යම් සමාජයක සාධාරණත්වය, යුක්තිය සහ මිනිස් ජීවිතවල පැවැත්ම තීරණය වන ශුද්ධ වූ ස්ථානයකි. එම අසුන හොබවන විනිසුරුවරයාගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ අතිශය අපක්ෂපාතී, තියුණු සහ ක්ෂණික බුද්ධියෙන් යුත් තීන්දු තීරණයන්ය.
මෑතකදී ශ්‍රී ලංකාව තුළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවීමට ඉදිරිපත් වූ යෝජනාවත් සමඟ, "වයසින් වැඩිවීම නඩුවල කාර්යක්ෂමතාවයට හේතුවේද?" යන්න පිළිබඳව නැවතත් ප්‍රබල සංවාදයක් මතුව තිබේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 ලෙස පවතිද්දී, විනිසුරුවරුන්ගේ වයස් සීමාව දීර්ඝ කිරීම පිටුපස ඇති විද්‍යාත්මක පදනම කුමක්ද?
මේ දෙස ස්නායු-විද්‍යාව (Neuroscience) සහ වෛද්‍ය නීතිය (Medical Jurisprudence) ඔස්සේ බැලූ විට මතු වන්නේ සම්පූර්ණයෙන්ම වෙනස්ම චිත්‍රයකි.
වයසට යන මොළය සහ පූර්ව බාහිකයේ (Prefrontal Cortex) පසුබැස්ම

ජීව විද්‍යාත්මකව බලන කල, වයස අවුරුදු 60 ඉක්මවන විට මිනිස් මොළයේ යම් යම් ක්ෂය වීම් සිදුවීම ස්වාභාවික ක්‍රියාවලියකි. විශේෂයෙන්ම තර්කනය, සූක්ෂ්ම තීරණ ගැනීම, සංකීර්ණ ගැටලු විසඳීම සහ මතකය පාලනය කරන 'පූර්ව බාහිකය' (Prefrontal Cortex) වයස්ගත වීමත් සමඟ අනෙකුත් කොටස්වලට වඩා වේගයෙන් ක්ෂය වීමට (Age-related Atrophy) පටන් ගනී.
මෙය සාමාන්‍ය ව්‍යවහාරයේදී MCI (Mild Cognitive Impairment) ලෙස හඳුන්වන අතර, මතුපිටින් ක්ෂණිකව ඩීමෙන්ෂියා (Dementia) ලෙස හඳුනාගත නොහැකි වුවද, සංකීර්ණ මානසික කාර්යයන් කිරීමේ හැකියාව සහ තොරතුරු පිරිසැකසුම් කිරීමේ වේගය (Processing Speed) මගින් මෙය අඩපණ වේ
විශේෂඥ වෛද්‍යවරයාට වඩා විනිසුරුවරයාට මෙය ප්‍රබලව බලපාන්නේ ඇයි?
බැලූ බැල්මට ශල්‍යකර්මයක් කරන වෛද්‍යවරයෙකුගේ කාර්යයට වඩා විනිසුරුවරයෙකුගේ කාර්යය මානසික එකක් පමණක් ලෙස පෙනුනද, ස්නායු-විද්‍යාත්මකව බලන කල මොළයේ සූක්ෂ්ම ක්‍රියාකාරීත්වය වැඩිපුරම අවශ්‍ය වන්නේ විනිසුරුවරයාටය.

වෛද්‍යවරයා සහ ස්ඵටිකීභූත බුද්ධිය (Crystallized Intelligence):
වෛද්‍යවරයෙකුගේ සායනික අත්දැකීම් (Clinical Experience) වයසත් සමඟ මුහුකුරා යයි. එමෙන්ම රෝග විනිශ්චයේදී ඔහුට විද්‍යාත්මක රසායනාගාර වාර්තා, ස්කෑන් පරීක්ෂණ, සම්මත ප්‍රතිකාර මාර්ගෝපදේශ (Protocols) සහ විශාල වෛද්‍ය කණ්ඩායමක (Multidisciplinary team) සහාය ලැබේ.
විනිසුරුවරයා: 'ඒකල තර්කනය' සහ තරල බුද්ධිය (Fluid Intelligence)
විශේෂඥ වෛද්‍යවරයෙකුට සාපේක්ෂව විනිශ්චයකාරවරයෙකුගේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. දීර්ඝ නඩුවකදී එකිනෙකට පරස්පර සාක්ෂි සිය ගණනක්, නීතිමය පූර්වාදර්ශ සහ වාචික සාක්ෂි එකවර සිය මනසේ තබා ගනිමින් (Working Memory) තර්ක කිරීමට ඔහුට සිදුවේ. එමෙන්ම, විනිශ්චය යනු පරීක්ෂණ යන්ත්‍ර මත යැපී කළ හැකි දෙයක් නොවන අතර, එය ඔහු තනිවම සිය මොළයේ 'Fluid Intelligence' (අලුත් ගැටලු නිරවුල් කිරීමේ ස්නායුමය හැකියාව) මත පදනම්ව කළ යුත්තකි.
වයසත් සමඟ මොළයේ පූර්ව මස්තිස්කා බාහිකය අඩපණ වන විට වඩාත්ම හානි වන්නේ මෙම තරල බුද්ධියට සහ කෙටිකාලීන මතකයටයි. එසේ නම්, වයස 67 දක්වා දීර්ඝ කිරීමෙන් නඩු විසඳීම "වේගවත්" වනවා වෙනුවට සිදුවිය හැක්කේ තීන්දු ප්‍රකාශ කිරීම ප්‍රමාද වීම සහ මානසික වෙහෙස නිසා නීතිමය වැරදීම් සිදුවීමේ අවදානම ඉහළ යාමයි.
ඇමෙරිකාවේ විනිසුරුවරුන් මියයන තෙක් සේවයේ යෙදෙන්නේ කෙසේද?
මෙහිදී බොහෝ දෙනා නැගිය හැකි ප්‍රශ්නයක් වන්නේ "ඇමෙරිකා එක්සත් ජනපදයේ විනිසුරුවරුන්ට මියයන තෙක්ම (Lifetime Tenure) සේවයේ යෙදෙන්නට පුළුවන් නම් ලංකාවට ඇති බාධාව කුමක්ද?" යන්නයි.

නමුත් ඇමෙරිකානු ක්‍රමය පිටුපස ඇත්තේ වෛද්‍ය විද්‍යාත්මක තර්කයකට වඩා දේශපාලනික සහ ව්‍යවස්ථාපිත පදනමකි. 18 වන සියවසේ සකස් කළ ඇමෙරිකානු ව්‍යවස්ථාවෙන් විනිසුරුවරුන්ට ජීවිතාන්තය දක්වා ධුර කාලයක් ලබා දුන්නේ දේශපාලන බලපෑම්වලින් තොරව අපක්ෂපාතීව කටයුතු කිරීමටයි.
එහෙත් ප්‍රායෝගිකව එහිදීද මේ සඳහා යම් යම් පිළියම් යොදා ඇත ඒ අනුව වයස 65-70 පසුවන විට විනිසුරුවරුන් අර්ධ-විශ්‍රාමික තත්ත්වයට පත්වී තමන්ගේ නඩු ප්‍රමාණය අඩුවෙන්ම පවත්වා ගනී. ලියකියවිලි කියවීමට සහ නීතිමය පර්යේෂණ කිරීමට දක්ෂ තරුණ නීතිඥයින් කණ්ඩායමක් ඔවුන් යටතේ සේවය කරයි.
එසේ තිබියදී පවා, වර්තමානයේ ඇමෙරිකාව තුළද "Judicial Dementia" (අධිකරණමය ඩීමෙන්ෂියා) පිළිබඳ විශාල කතාබහක් නිර්මාණය වී ඇත. වයස්ගත විනිසුරුවරුන් තමන්ගේ මානසික ධාරිතාව අඩුවී ඇති බව පිළිගැනීමට ඇති මැලිබව සහ ඔවුන් තනතුරෙන් ඉවත් කිරීමේ ඇති දේශපාලන සංකීර්ණතාව නිසා, විනිසුරුවරුන්ට නිශ්චිත වයස් සීමාවක් හඳුනාගත යුතුයි යන මතය අද වන විට ඇමෙරිකාවේ පවා දැඩි ලෙස මතුපිටට පැමිණ තිබේ.
එසේ නම් නීතිඥයන් ජීවිත කාලය පුරාවටම නීතිඥ වෘත්තියේ යෙදෙන්නේ කෙසේද ?

නීතිඥවරුන්ට ජීවිත කාලය පුරාම (වයස් සීමාවකින් තොරව) වෘත්තියේ යෙදීමට හැකි වුවත්, විනිසුරුවරයෙකුගේ කාර්යභාරයට සාපේක්ෂව නීතිඥවරයෙකුගේ වෘත්තීය ව්‍යුහය, වගකීම සහ විද්‍යාත්මක පදනම සම්පූර්ණයෙන්ම වෙනස්ය.
මේ සඳහා බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් පහත පරිදි පැහැදිලි කළ හැක.
1. තීරණ ගැනීමේ බලය සහ ඒකපාර්ශ්වික බව
විනිසුරුවරයෙකු යනු අපක්ෂපාතීව නඩුවේ දෙපාර්ශ්වයේම සාක්ෂි එකවර මනසේ තබාගෙන, නීතිය සහ කරුණු ගලපා අවසානාත්මක යුක්තිය ඉටුකළ යුතු පුද්ගලයාය. එහිදී පූර්ව මස්තිස්ක බාහිකයේහි ක්‍රියාකාරී මතකය (Working Memory) සහ විධායක ක්‍රියාකාරීත්වය (Executive Functioning)' උපරිම මට්ටමින් පැවතිය යුතුය.
නීතිඥවරයෙකු පිළිබඳව සැලකූ විට ඔහු ක්‍රියා කරන්නේ එක් පාර්ශ්වයක් වෙනුවෙන් පමණි. ඔහුට සමස්ත නඩුවේම මැදිහත්කරුවෙකු වීමට සිදුවන්නේ නැත. තමන්ගේ පාර්ශ්වයේ ජයග්‍රහණය උදෙසා අදාළ තර්කය පමණක් ඉදිරිපත් කිරීම ඔහුගේ ප්‍රධාන කාර්යයයි.
2. ස්වේච්ඡා සේවා නියුක්තිය (Self-Regulation) සහ වෙළඳපොළ තරගකාරීත්වය
සේවාදායකයාගේ තේරීම:
නීතිඥවරයෙකුගේ මානසික හෝ ශාරීරික ධාරිතාව වයසත් සමඟ අඩුවුවහොත්, සේවාදායකයින් ස්වේච්ඡාවෙන්ම වෙනත් තරුණ/කාර්යක්ෂම නීතිඥවරුන් වෙත යොමු වේ. එනම්, වෙළඳපොළ ස්වයංක්‍රීයවම නීතිඥවරයෙකුගේ සේවය පාලනය කරයි.
නමුත් අධිකරණයකට පැමිණෙන ජනතාවට විනිසුරුවරයාව තෝරාගැනීමේ අයිතියක් නැත. විනිසුරුවරයාගේ මානසික ධාරිතාව හීන වුවද, ජනතාවට සිදුවන්නේ එම විනිසුරුවරයා ලබාදෙන තීන්දුවට යටත් වීමටය.
3. කාර්යභාරය බෙදාගැනීමේ නම්‍යශීලීභාවය
කණ්ඩායම් සහාය (Juniors / Law Firms):
ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වයස්ගත වන විට, නඩුවලට අදාළ ලේඛන කියවීම, නීති පර්යේෂණ කිරීම සහ කෙටුම්පත් සකස් කිරීම කරනු ලබන්නේ ඔහු යටතේ සිටින කනිෂ්ඨ නීතිඥවරුන් විසිනි. ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කරන්නේ තමන්ගේ දීර්ඝ කාලීන අත්දැකීම් මත පදනම්ව උපදෙස් දීම පමණි.
විනිසුරුවරයෙකුට තමන්ගේ තීන්දුව ලිවීමේ හෝ සාක්ෂි මැන බැලීමේ වගකීම වෙනත් කෙනෙකුට පැවරිය නොහැක. එය ඔහුගේම සෘජු මානසික ක්‍රියාවලියක් විය යුතුය.
4. මානසික වෙහෙස පාලනය කරගැනීමේ හැකියාව (Workload Control)
නීතිඥවරයෙකුට තමන්ගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය අනුව භාරගන්නා නඩු ප්‍රමාණය සීමා කිරීමට හෝ නඩුවලින් ඉවත් වීමට පූර්ණ නිදහස ඇත.
නමුත් අධිකරණයක සේවය කරන විනිසුරුවරයෙකුට දිනපතා තමන් වෙත යොමු වන සියලුම නඩු විභාග කිරීමට සිදු වන අතර, නඩු ප්‍රමාණය පාලනය කරගැනීමට ඔහුට පෞද්ගලිකව නිදහසක් නැත.

මේ අනුව සලකා බැලූ විට නීතිඥභාවය යනු තනි පුද්ගල වෘත්තියක් වන අතර, එහිදී සිදුවන අඩුපාඩුවකදී හානිය සිදුවන්නේ අදාළ සේවාදායකයාට පමණි (එයද වෙනත් නීතිඥයෙකු තෝරාගැනීමෙන් වළක්වා ගත හැක). නමුත් විනිසුරු ධුරය යනු රාජ්‍ය බලය ක්‍රියාත්මක කරන පොදු සේවයක් වන බැවින්, එහිදී සිදුවන එකදු මානසික පසුබෑමක් හෝ ප්‍රමාදයක් මුළු මහත් සමාජයේම යුක්තිය පසඳලීමට සෘජුවම බලපායි.
එබැවින්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ නැංවීම "කාර්යක්ෂමතාව වැඩි කිරීමක්" ලෙස අර්ථ දැක්වීම වෛද්‍ය විද්‍යාත්මකව පදනම් විරහිතය.
අත්දැකීම්වලින් ප්‍රයෝජන ගන්නා අතරම, අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව සහ නිවැරදිතාව සුරැකීමට නම්, නවීන ස්නායු-විද්‍යාත්මක සොයාගැනීම් කෙරෙහිද අවධානය යොමුකරමින් විනිශ්චයාසනය සඳහා විද්‍යාත්මක වයස් සීමාවක් පවත්වා ගැනීම කාලීන අවශ්‍යතාවකි.
| වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහPalitha.subasinghe@gmail.com
2026.08.04




