*මනස සහ බඩවැල් අතර සෘජු සබඳතාව ගැස්ට්‍රයිටිස් සහ මානසික සෞඛ්‍යයට බලපාන අයුරු

අප ගැඹුරු නින්දේ පසුවන මොහොතක වුවද, සිරුර තුළ කිසිදා නිද්‍රාවට පත්නොවන විශ්මිත පද්ධතියක් සක්‍රියව පවතියි. සාමාන්‍යයෙන් "බඩවැල්" ලෙස හඳුන්වන ආමාශ ආන්ත්‍රික පද්ධතිය, සිරුර පිරිසිදු කරමින් සහ පෝෂණය කරමින් පැය 24 පුරාම මෙහෙයුම් පවත්වන නොනිදන කම්හලකි. මනසේ ආතතිය, මනෝභාවයන් සහ සමස්ත නිරෝගීභාවය කෙරෙහි මෙම පද්ධතිය දක්වන සෘජු බලපෑම පිළිබඳ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුගත් විජේවර්ධන කරන විද්‍යාත්මක විග්‍රහයයි මේ.
අප ගැඹුරු නින්දක පසුවන මොහොතක් ගැන මොහොතකට සිතමු. ඇස් පියවී ඇත. අත් පා නිසල වී ඇත. බාහිර ලෝකය හා අප අතර ඇති සියලු සම්බන්ධතා පාහේ අක්‍රිය වී ඇත. එහෙත් අප නොදැනුවත්වම, අපගේ සිරුර තුළ කිසිදා නිද්‍රාවට පත් නොවන, නොනවතින සේවක පිරිසක් වැඩෙහි නියැලී සිටිති. හදවත අඛණ්ඩව ගැහෙයි, පෙනහළු හුස්ම ගනියි, එය අපි දනිමු. නමුත් ඒ සියල්ලටම වඩා නිහඬව, වඩාත් අපූරුවට වැඩ කරන තවත් ව්‍යුහයක් අප කුස තුළ ඇත. එය අප සාමාන්‍ය ව්‍යවහාරයේදී “බඩවැල්” ලෙස හඳුන්වන ආමාශය සහ අන්ත්‍ර පද්ධතිය හෙවත් ගැස්ට්‍රොඉන්ටෙස්ටිනල් ට්‍රැක්ට් (Gastrointestinal Tract). මිනිස් සිරුරේ කිසිදා වසා නොදමන විස්මිත කම්හලයි.
අදත් බොහොමයක් නොදැන සිටිය ද අපගේ මොළය පවා මඳක් විවේක ගන්නා ගැඹුරු නින්දේදී, අපේ බඩවැල් අවදියෙන් සිටී. ආමාශයේ සහ අන්ත්‍රයේ බිත්ති සෑදී ඇත්තේ සිනිඳු මාංශ පේශි තට්ටුවකිනි. ඒවා රිද්මයානුකූලව හැකිලෙමින් හා ප්‍රසාරණය වෙමින් නිරන්තරයෙන් චලනය වේ. විද්‍යාව මේ අපූරු චක්‍රීය චලනය හඳුන්වන්නේ පෙරිස්ටල්සිස් (Peristalsis) යනුවෙනි.

අපගේ අන්ත්‍ර යනු මීටර් 7-8 ක් පමණ දිග, දඟර ගැසුණු දිගු නළයකි. අප ගන්නා ආහාර කැබලි තනිවම පහළට ගමන් කරන්නේ නැත. පෙරිස්ටල්සිස් තරංගය එය මිරිකමින්, අනමින්, පදම් කරමින් ඉදිරියට තල්ලු කරයි. එය හරියට දිගු මේස් එකක් තුළට දැමූ චීස් බෝලයක්, පිටතින් අතින් මිරිකමින් ඉදිරියට ගෙන යනවා වැනි අපූරු ක්‍රියාවලියකි.
මේ යාන්ත්‍රණයේ ශක්තිය කොතරම්ද යත්, ගුරුත්වාකර්ෂණය නොමැති අභ්‍යවකාශයේ සිටින ගගනගාමියෙකුට හෝ හිස පහළට හරවා අත් මතින් සිටගෙන සිටින යමෙකුට වුවද ආහාර ගිල දමා ජීර්ණය කිරීමට හැකි වන්නේ මේ නිසාම ය.
අප කවුරුත් කුසගින්නේ සිටින විට බඩෙන් නැගෙන “ගුරු ගුරු” හඬ අසා ඇත. සමහරු ඊට “ජොර ජොර” හඬ කියා ද කියති. අප බොහෝ දෙනෙක් සිතන්නේ එය “බඩගින්නේ අඬන” හඬ කියාය. සමහරු ඊට “බඩ පනුවෝ බොක්සින් ගහනවා “කියා ද කියති. නමුත් වෛද්‍ය විද්‍යාව කියන ඇත්ත ඊටත් වඩා රසවත්ය.
අප ආහාර ගෙන පැය 2-3 කට පසු ආමාශය හිස් වූ විට, අප තුළ සිටින අපූරු පිරිසිදුකරුවෙකු අවදි වේ. විද්‍යාඥයින් ඔහු හඳුන්වන්නේ සංක්‍රමණික මෝටර් සංකීර්ණය (Migrating Motor Complex – MMC) හෙවත් අපේ සිරුරේ “ගෘහ පාලකයා” ලෙසයි.

මේ ගෘහ පාලකයා කරන කාර්යය අතිශය වැදගත් ය. හිස් වූ ආමාශයේ සහ අන්ත්‍රවල ඉතිරි වී ඇති කුඩා ආහාර කැබලි, මියගිය සෛල, අනවශ්‍ය බැක්ටීරියා සහ අපද්‍රව්‍ය, බලවත් තරංගයක් මගින් අතුගා දමා මහා අන්ත්‍රය හෙවත් මහා බඩවැල දෙසට තල්ලු කරයි. එම බලවත් හැකිලීමේදී අන්ත්‍ර තුළ ඇති වාතය සහ දියර එකිනෙක මිශ්‍ර වී සෙලවෙන විට අපට ඒ “ගුරු ගුරු” හඬ අසන්නට ලැබේ.
සාමාන්‍ය ව්‍යවහාරයේ Stomach Rumbling ලෙසත්, වෛද්‍ය විද්‍යාවේදී ‘බෝර්බොරිග්මස්’ (Borborygmus) ලෙසත් හඳුන්වන මේ හඬ, හුදෙක් හිස්කමේ හඬක් නොවේ. එය ඔබේ බඩවැල් තමන්වම පිරිසිදු කර ගන්නා බවට දෙන සංඥාවයි.
මේ සියල්ලටම වඩා පුදුම සහගතම කරුණ නම්, මේ සංකීර්ණ ක්‍රියාවලීන් සිදු කිරීමට අපේ හිසෙහි ඇති මොළයෙන් සෘජු නියෝගයක් අවශ්‍ය නොවීමයි.
අපගේ ආමාශයේ සහ අන්ත්‍ර බිත්ති තුළම, ස්නායු සෛල – නියුරෝන මිලියන 100 කට වඩා වැඩි සංකීර්ණ ජාලයක් පිහිටා ඇත. එය අන්ත්‍ර ස්නායු පද්ධතිය (Enteric Nervous System – ENS) ලෙස හඳුන්වයි. එහි ඇති ස්නායු සෛල ප්‍රමාණය අපගේ සුෂුම්නාවේ ඇති ස්නායු ප්‍රමාණයටත් වඩා වැඩිය. මේ නිසාම නූතන විද්‍යාඥයෝ එය ගෞරවයෙන් “දෙවන මොළය” (Second Brain) ලෙස හඳුන්වති.
ඔබ බිය වූ විට බඩේ අමුත්තක් දැනෙන්නේ, විභාගයකට පෙර බඩ ඇඹරෙන්නේ, ආදරණීය හැඟීමක් දැනෙන විට “බඩේ සමනළුන් පියාඹනවා” (Butterflies in the Stomach) වැනි සැහැල්ලුවක් දැනෙන්නේ මේ නිසාය.
අපගේ ප්‍රධාන මොළය සහ කුස තුළ ඇති දෙවන මොළය අතර “ගුට්-බ්‍රේන් ඇක්සිස්” (Gut-Brain Axis) නමින් සෘජු, අධිවේගී තොරතුරු හුවමාරු පද්ධතියක් ඇත. මෙහි ප්‍රධාන මාර්ගය වන්නේ වාගස් ස්නායුව (Vagus Nerve) යි.

ඔබ අධික මානසික ආතතියෙන්, කනස්සල්ලෙන් හෝ කෝපයෙන් සිටින විට මොළය වාගස් ස්නායුව හරහා ආමාශයට සංඥා යවයි. එවිට ආමාශයේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (HCl) ශ්‍රාවය ඉහළ ගොස්, ආමාශ බිත්තියට රුධිර සැපයුම අඩු වේ. එය ගැස්ට්‍රයිටිස් (Gastritis) ඇතිවීමට හෝ වැඩිවීමට සෘජු හේතුවක් බව අනාවරණය වී තිබේ.අධික කෝපය හෝ අධික සිත් තැවුල ගැස්ට්‍රයිටිස් වලට හේතු වන බව පැවසෙනුයේ එබැවිනි.
එමෙන්ම ආමාශයේ ප්‍රදාහයක් ඇති වූ විට නිකුත් වන රසායනික සංඥා මොළයට ළඟා වී හිසරදය, අවධානය යොමු කිරීමේ අපහසුව, නින්ද නොයාම සහ මනෝභාවය වෙනස් වීම (Mood Swings) ඇති කරයි. එපමණක් නොව, අපගේ සතුට, මනෝභාවය පාලනය කරන සෙරටොනින් (Serotonin) හෝමෝනයෙන් 90% ක්ම නිපදවෙන්නේ මේ ආමාශ ආන්ත්‍රික පද්ධතිය තුළය. එම පද්ධතිය අසමතුලිත වූ විට මානසික පීඩනය සහ විශාදය (Depression) ඇතිවීමට ඉඩ තිබේ.

ඇසිඩෝසිස් (Acidosis) යනු බඩේ දැවිල්ලට වඩා වෙනස්, මුළු ශරීරයේම රුධිරයේ සහ පටකවල ආම්ලිකතාවය (pH අගය අඩුවීම) වැඩිවීමේ තත්ත්වයකි. එවිට රුධිරයේ ආම්ලිකතාවය මොළයේ සෛලවල ක්‍රියාකාරිත්වයට සෘජුවම බාධා කර, තදබල හිසරදය, අධික නිදිමත, මානසික ව්‍යාකූලත්වය (Confusion) සහ දරුණු අවස්ථාවලදී සිහිනැති වීම පවා ඇති කළ හැක.
මේ වන විට බොහෝ දෙනා අසා දැන සිටින අන්දමට ගැස්ට්‍රයිටිස් පාලනය කිරීම යනු බඩට පමණක් බෙහෙත් ගැනීම නොවේ. එය මනස සුවපත් කිරීමද වේ. සති සම්පන්නතාව , ව්‍යායාම, ප්‍රමාණවත් නින්ද තුළින් ආතතිය පාලනය කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසා ය.
මෙවන් තත්ත්වයන් මත ඊළඟ වතාවේ ඔබ නිහඬ පරිසරයක සිටින විට, ඔබේ කුසින් නැගෙන ඒ කුඩා “ගුරු ගුරු” හඬට මොහොතකට සවන් දෙන්න. එය ආමාශයේ හිස්කමක හඬ නොවේ. එය ඔබ නොදැනුවත්වම, ඔබ නින්දේදී පවා, ඔබව නිරෝගීව තැබීමට දවසේ පැය 24 පුරාම, ඔබේ මුළු ජීවිත කාලය පුරාම කිසිදා නිවාඩුවක් නොගෙන වැඩ කරන, ඔබ තුළම පිහිටි විශ්මිත ජීව විද්‍යාත්මක කම්හල් ක්‍රියාකාරීත්වයේ නාදයයි.

| වෛද්‍ය සුගත් විජේවර්ධන
වෛද්‍ය නිලධාරී (මහජන සෞඛ්‍ය), පේරාදෙණිය ශික්ෂණ රෝහල
උපුටා ගැනීම - vinivida.lk




