BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : එජාපයෙන් සජිත් ප්‍රේමදාසට ප්‍රශංසාව පළ කිරීමේ යෝජනාවක්

T

The Leader Desk

August 7, 2026 • 7:47 AM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : එජාපයෙන් සජිත් ප්‍රේමදාසට ප්‍රශංසාව පළ කිරීමේ යෝජනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විනිසුරුවන්ගේ විශ්‍රාම වයසට එරෙහිව විපක්ෂයේ ඒකාබද්ධ මෙහෙයුමක් - රනිල් සහ නාමල් අතර හදිසි දේශපාලන කතිකාවක්
  • හත් වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා එලෙස හෝටල් ආලින්දයේ කොනක කතා බස් කරමින් සිටියහ.
  • " අද ඇතිවෙලා තියෙන්නෙ වෙනදට වඩා විශේෂිත තත්ත්වයක්.වෙනදට අපි බලය නැතුව හැප්පුනේ බහුතර කණ්ඩායම එක්ක.
  • ඉක්මනට කළ යුත්තේ ඒ එකතුව ඇතිකරන එකයි" රනිල් කීවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රනිල්ට නායකත්වය ගන්නැයි දිලිත්ගෙන් යෝජනාවක්...


රනිල් භූතාන සංචාරය සාර්ථකව නිමකර ලංකාවට පැමිණියේ ගිය ඉරිදාය. ඔහුට සඳුදා  විශේෂ මංගල උත්සවයකට සහභාගී වීමට නියමිතව තිබිණි. ඒ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනූෂ පැල්පිටගේ දියණියගේ විවාහ මංල්‍යයයි. කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී ඒ විවාහ මංගල්‍යය පැවැත්විණි.

විවාහ මංගල්‍යයට රනිල් පැමිණෙන විට හිටපු ජනපති මහින්ද දිවා භෝජනය ගැනීමට ගොස් සිටියේය. නමුත් රනිල් එන විට විශේෂ අමුත්තන් කිහිප දෙනෙක්ම පෙර මග රැඳී සිටියහ. හත් වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා එලෙස හෝටල් ආලින්දයේ කොනක කතා බස් කරමින් සිටියහ. රනිල් කෙලින්ම ගියේ ඒ අසලටයි. රනිල් එනු දුටු නාමල් ඉදිරියට පැමිණ " සර්, භූතාන සංචාරය කොහොමදැයි අසූයේ ඉංග්‍රීසි බසිනි.

" ගොඩක් හොඳයි, භූතානය කියන්නේ වේගයෙන් දියුණු වෙන රටක්" යැයි කියූ රනිල් භූතානය ගැන කෙටි විස්තරයක් කළේය. වැඩි වේලාවක් නොගොස් එම සංවාදය  මුළුමනින්ම දේශපාලන පැත්තට ගමන් කළේය.

" අද ඇතිවෙලා තියෙන්නෙ වෙනදට වඩා විශේෂිත තත්ත්වයක්.වෙනදට අපි බලය නැතුව හැප්පුනේ බහුතර කණ්ඩායම එක්ක. අද තියෙන්නේ ඊට වෙනස් තත්ත්වයක්. ජනාධිපතිට සහ මාලිමා ආණ්ඩුවට අද තියෙන්නේ සුළුතරයක් බලයක්. බහුතරය ඉන්නේ ඊට විරුද්ධව. ගැටළුව තියෙන්නේ බහුතරයගේ එකතුව තාම හැදිලා නැති එකයි. ඉක්මනට කළ යුත්තේ ඒ එකතුව ඇතිකරන එකයි" රනිල් කීවේය. ඊට පිළිතුරු දෙමින් නාමල් පැවසූයේ දැනටමත් ගම් මට්ටමින් සංවිධාන කටයුතු ආරම්භ කර තිබෙන බවයි. දිස්ත්‍රික්ක බොහොමයක සංවිධාන වැඩ මේ වන විටත් අවසන්ව ඇති බව නාමන් රනිල්ට දැනුම් දුන්නේය.

" නගර වලට හිර වෙන්නේ නැතුව ගමට යන එක තමයි හොඳ. ගමට ගිහිල්ල වැඩ කටයුතු ආරම්භ කරන්න" රනිල් උපදේශාත්මකව පැවසීය.

අලි ඇතුන් ගැන අලුත් ගැසට්ටුවක් ...

rw45746
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් සෝමරත්න විදානපතිරණද එහි සිටියේය.

" සර්, අලි ඇතුන් ගැන අලුත් ගැසට්ටුවක් ගහලා තියෙනවා. අලි ඇතුන්ට දංවැල් දාන්න බෑ කියලා ඒකෙ තියෙන්නේ. අලි ඇතුන් ඇවිද්දන ප්‍රමාණයත් සීමා කරන්න අවශ්‍යයි කියලා එහි තියෙනවා. ඒ වගේම අලි ඇතුන් වැඩි කාලයක් හිටවලා තියන්න එපා කියලත් සඳහනක් තියෙනවා" හිටපු ලේකම්වරයා කීය. ඉන් පුදුමයට පත් වූ රනිල් " එහෙනම් අලි ඇතුන් බඳින්නේ පිරිත් නූල් වලින් දැයි විමසූයේ සිනාමුසුවය. ඒක පිළිතුරු දෙමින් හිටපු ලේකම්වරයා නව ගැසට්ටුව ගැන කෙටි හැඳින්වීමක් කළේය.

" මේක කරන්නේ අලි ඇතුන්ට තියෙන ආදරේට නෙමෙයි. අලි ඇතුන් සමහර වෙලාවට එක පළාතක ඉඳන් තවත් පලාතකට අලි කොරිඩෝ හරහා ගමන් කරන අවස්ථා තියෙනවා. අනික අපි දන්න විදිහට නම් අලි ඇතුන් දවස පුරාම හිටගෙන තමයි ඉන්නේ. මේ කරන්න යන්නේ පෙරහර කරන එක නතර කරලා ඒ අයගේ අරමුණු ඉටු කර ගන්න " රනිල් විස්තර කළේය.

ඒ සභාවේ සිටි කෙනෙක් එහිදී පැවසූයේ " මේ උදවියට කොහොමත් පෙරහැරවල් අගුණයිනේ, අච්චර හාස්කම් තියෙන බව කියන කතරගම පෙරහරට බෝම්බ ගහපු උදවියනේ"යනුවෙනි. එම මංගල උත්සවයේ ආරාධිතයකු ව සිටි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න ඇමතූ රනිල් අදාල ගැසට්ටුව ගැන කරුණු කීම සඳහා වහා මාධ්‍ය හමුවක් කැඳවන්නැයි උපදෙස් දුන්නේය. එජාප සභාපති වජිර, මාන්නප්පෙරුම සහ පසිඳු ඊට යොදවන ලෙසද උපදෙස් ලැබිණි.

" අපි මේ පනත සම්බන්ධයෙන් අපේ අදහස්ද යෝජනාද එහිදී ප්‍රකාශ කළ යුතුයි"යනුවෙන්ද රනිල් එහිදී සඳහන් කළේය.

''ඔබතුමා තමයි මෙතන නායකත්වය ගන්න ඕන" - දිලිත්

 

w6u566o988
ඉන් පසුව රනිල්ට මුණ ගැසුනේ දිලිත් ජයවීරයි " ඔයගොල්ලෝ එකතු වෙනවාට අමතරව විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ආදී ප්‍රශ්න ගැන ගම් මට්ටමින් දැනුවත් කිරීම් අරඹන්න උවමනයි" රනිල්- දිලිත් අමතමින් පැවසීය.

එහිදී දිලිත් පැවසූයේ ගම් මට්ටමින් තමන්ද වැඩසටහන් ආරම්භ කර තිබෙන බවයි.

" ඒක ප්‍රමාණවත් නැහැ දිලිත්" රනිල්ගේ පිළිතුර විය.

" ඔබතුමා තමයි මෙතන නායකත්වය ගන්න ඕන" දිලිත්- රනිල් කියූ දෙයට උත්තරයක් දුන්නේ එලෙසිනි.

" ඔයගොල්ලෝ නියමිත වැඩ කොටස කරන්න. මම වෙලාවට බැහැල මගේ වැඩ කොටස කරලා දෙන්නම්" රනිල් පැවසීය.

" හරි එහෙනම් මම ඔබතුමා කියන දවසක ඇවිත් මුණ ගැහෙන්නම්. අපි එකට වැඩ කරමු යැයි දිලිත් කීය.

අනතුරුව රනිල් මංගල උත්සවයට සහභාගී වී සිටි ඩී.වී චානක, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ආදී නායකයන්ද හමුවී කතා බහ කළේය. පුවත්පත් කතුවරු සහ මාධ්‍යවේදීහුද ඊට සහභාගී වී සිටියහ.රනිල් නික්ම ගියේ දිවා භෝජනයත් රැගෙනයි.

''ඔක්කොම එකට වැඩ කරන යාන්ත්‍රණයක් හදන්න''

ඊට පහුවෙනිදා රනිල් දේශපාලන නායකයන්ගේ හමුවක් කැඳවා තිබිණි. ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සමස්ත විපක්ෂයේ බොහෝ පිරිසක් එහි පැමිණ සිටියහ. මහාචාර්ය ජී.එල්, නිමල් සිරිපාල, ප්‍රසන්න රණතුංග, පාටලී චම්පික, තලතා, වජිර, ශිරාල් ලක්තිලක, කීර්ති තෙන්නකෝන්, හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සමග ශානුක කරුණාරත්න එහි පැමිණ සිටියහ.

" එහිදී අදහස් දක්වමින් රනිල් " දැන් අපි නායක මට්ටමින් එකතුයි. ඒ වගේම නායක මට්ටමින් එකට වැඩ කරනවා. අපි දැන් අවස්ථා කීපයකදීම එකට මුණ ගැසී තිබෙනවා. හේෂා විතානගේ නීතිඥයෙක් වීම සම්බන්ධයෙන් පැවති රාත්‍රී භෝජන සංග්‍රහයේදීත් මම සජිත් ඇතුළු කණ්ඩායම මුණගැසුණා. ගතයුතු ක්‍රියාමාර්ග ගැන අපි දැන් කතා කරලා තියෙනවා. අපිට දැන් යන්න තියෙන්නේ ඊළඟ පියවරට. ඒ පියවරට යන විට අපි අපේ වැඩපිළිවෙළ හදලා තියන්න ඕන. මහාචාර්ය ජී.එල් ගේ මූලිකත්වයෙන් දැන් ඒකාබද්ධ විපක්ෂය සාර්ථකව වැඩ කටයුතු කරගෙන යනවා. එක්කෝ කවුරුත් එතෙන්ට එකතු වෙන්න ඕන නැතිනම් වෙන ක්‍රමවේදකින් හරි ඔක්කොම එකට වැඩ කරන යාන්ත්‍රණයක් හදන්න" යනුවෙන් පැවසීය.

එහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල් විනිශ්චකාරවරුන්ගේ වයස වැඩි කිරීමේ පනත ගැන නායකයන්ට විස්තරයක් කළේය. ප්‍රසන්න රණතුංග එහිදී කීවේ අදාල කාරණය සම්බන්ධයෙන් ගම් මට්ටමින් මතවාදයක් ගෙනයාමට පත්‍රිකාවක් සකස් කළ යුතු බවයි. කීර්ති තෙන්නකෝන් ඒ වැඩකටයුත්ත බාර ගත්තේය. ඉදිරියේදී නැවත හමුවන අදහසින් ඒ රැස්වීම අවසන් කෙරිණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ප්‍රශංසාව පළ කිරීමේ යෝජනාවක්

 

image a11a4944b8


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණේ බ්‍රහස්පතින්දාය. ඒ නායක රනිල්ගේ ප්‍රධානත්වයෙන් මල් පාර දේශපාලන කාර්යාලයේදීය. විනිශ්චකාර වරුන් සම්බන්ධයෙන් රජය ගත යුතු ක්‍රියා මාර්ගයත් ඒ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා නම් ඊට සම්පූර්ණ සහාය දෙන බවටත් සඳහන් කරමින් එහිදී  නිවේදනයක් නිකුත් කෙරිණි.එමෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ද අනාවරණයක්ද කෙරිණි.

මෙවර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අති විශේෂ සිදුවීමක් විය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ප්‍රශංසාව පළ කිරීමේ යෝජනාවක් සම්මත කර ගැනීමයි. එම සුවිශේෂී යෝජනාව සම්මත කර  ගැනීමට හේතු කාරණා වූයේ විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු පක්ෂ වල එකමුතුවෙන් විපක්ෂ නායකවරයා රැස්වීමක් කැඳවීම සම්බන්ධයෙනි.

එම ප්‍රශංසාව පළකිරීමේ යෝජනාවව මෙසේය.

විපක්ෂයේ සියලු පක්ෂ සහභාගීත්වයෙන් කොළඹ ශ්‍රීමන් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී ජුලි මස 23 වැනි දින පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට ගත් පියවර සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ කෘන්‍යාධිකාරී මණ්ඩලය ප්‍රශංසාව පළ කර සිටී.


ඉහත පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා පෙළ ගැසෙන ලෙස සියලු පක්ෂ නායකයින්ගෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉල්ලා සිටිනු ලැබේ"යනුවෙනි.

unp678978978

''මේ සම්මත කරන්න යන්නේ පුද්ගල බද්ධ නීතියක්'' - ජී.එල්

මේ අතර විනිසුරු විශ්‍රාම වයස වැඩිකිරීමේ යෝජනාවට අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් අවශ්‍ය යැයි ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම් දීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළේය.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මහාචාර්ය ජී.එල් පළ කළේ මෙවැනි අදහසකි.
 
"ඒ සම්බන්ධයෙන් සෘජුව සඳහන් කර තිබෙන නඩු තීන්දු අප රටේ තියෙනවා. ඒ නිසා ජනතාවට මේක යොමු කරන්නේ නැතිව පාර්ලිමේන්තුව හරහා කරන්න කිසිම හැකියාවක් නැහැ. ජන මත විචාරණයකින් තොරව රටේ නීතිය අනුව කොහොමටත් මේක කරන්න හැකියාවක් නැහැ. දූෂණ විරෝධී පනත අනුව රාජ්‍ය නිලධාරියකුට යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් බැඳීමක් තිබෙනවා නම් ඒ පිළිබඳ ඡන්දය දීමට හෝ කිසිම තීරණයකට සම්බන්ධ වීමට පුළුවන් කමක් නැහැ. එසේ කරන්නේ නම් අවුරුදු හතක බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් මිලියනයක දඩයකට යටත් වෙනවා. එමෙන්ම ඒ පනතේ 162 වගන්තියේ නිර්වචනයක් තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් යන ගණයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරුන් ඇතුළත් වන බව ඒ වගන්තියේ පැහැදිලිව සඳහන් වෙනවා. මේ නිසා මේ පිළිබඳ නිගමනයකට එන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිම හැකියාවක් නැහැ.
 
ඒ වගේම මේ සම්මත කරන්න යන්නේ පුද්ගල බද්ධ නීතියක්. පුද්ගලයන් කොටසක් හෝ එක පුද්ගලයෙක් ඉලක්ක කරගෙන නීති සම්පාදනය කිරීමට හැකියාවක් නැහැ. උසාවිය රාජාධිකරණයක්. පුද්ගල කේන්ද්‍රීය නීති සම්පාදනය කිරීමට හැකියාවක් නැති බව අධිකරණය පැහැදිලිව පිළිගෙන තිබෙනවා.

හොංකොං වල අගවිනිසුරු ජෙෆ්රි කිව්වේ කුමක්ද?

අවුරුදු දෙකක කතිකාවතකින් පස්සේ 2022 දී හොංකොං වල මේක කළා. එසේ කළත් එහි අගවිනිසුරු ජෙෆ්රි මා කිව්වේ කුමක්ද? " දැන් මට තව වසර පහක් අග විනිසුරු ධුරයේ සිටීමට පුළුවන්කම තිබෙනවා. හැබැයි ඒක සදාචාරාත්මක වන්නේ නැහැ. මම මේ ධූරයට පත්වෙන්නට පෙර ඒක බාර ගත්තේ යම්කිසි පදනමක් මත. මට අවුරුදු 65 පිරෙන විට විශ්‍රාම ගන්නා බව ඒ මුල් පදනමයි. වෙනස් කරන නීති අනාගතයට බලපාන්න පුළුවන්. නමුත් මම ඒකෙන් ප්‍රයෝජනය ගන්නේ නැහැ" යනුවෙන් එම අගවිනිසුරුවරයා ප්‍රකාශ කර තිබෙනවා.
 
විනිසුරු විශ්‍රාම වයස පිළිබඳ යෝජනාවට ජාත්‍යන්තර සංවිධාන රැසක් ද  විරෝධය පළ කළා. එමෙන්ම මහනායක හිමිවරුන්, ඇන්ග්ලිකන් සභාව අප්‍රසාදය පළ කර තිබෙනවා. එමෙන්ම නීතිඥ සංගමය දිගින් දිගටම ජනපති හමුවෙන්න අවස්ථාවක් ඉල්ලනවා. නමුත් ඒකට ඉඩ දීලා නැහැ. මේ පිළිබඳව නීතිඥයන්, විද්වතුන්,විශ්ව විද්‍යාල මෙන්ම සිවිල් සමාජ සමග කිසිම කතිකාවතක් කර නැහැ. කිසිම විවෘත භාවයකින් තොරව හැංගි හොරා මෙය කරන්න උත්සාහ දරන්නේ ඇයි? යනුවෙන් ජී.එල් එහිදී දීර්ඝ විස්තරයක් කළේය.


(සටහන | මල් පාරේ ලියුම්කරු)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...