BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
විශේෂාංග

විමල් දිසානායක: ලෝක විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික මහාචාර්යවරයා

T

The Leader Desk

August 8, 2026 • 3:57 PM

විමල් දිසානායක: ලෝක විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික මහාචාර්යවරයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පේරාදෙණියෙන් ඇරඹී ජාත්‍යන්තරය දක්වා ගිය අද්විතීය ශාස්ත්‍රීය හා සන්නිවේදන ප්‍රවේශය
  • එය ශ්‍රී ලංකාවෙන් බිහිවී, ලෝක ශාස්ත්‍රීය ප්‍රජාව තුළ තමන්ගේම බුද්ධිමය අනන්‍යතාවක් ගොඩනඟාගත් විද්වතෙකුගේ යුගයක අවසානයක් ලෙස ද දැකිය හැකිය.
  • පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල පිළිබඳ ගෞරව උපාධිය හදාරන අවස්ථාවේදී සිංහල, සංස්කෘත සහ ඉංග්‍රීසි යන භාෂා තුනම ඔහුගේ බුද්ධිමය පසුබිමට ඇතුළත් විය.
  • ඔහු දැනුම දුටුවේ එකිනෙකින් වෙන් වූ කොටස් ලෙස නොව, මිනිස් සංස්කෘතිය අවබෝධ කරගැනීමට එකිනෙක සම්බන්ධ කළ යුතු ක්ෂේත්‍ර ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):


කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ ආරම්භකයා සහ ආසියානු සන්නිවේදන න්‍යායවේදියාගේ අමරණීය උරුමය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ශාස්ත්‍රීය ඉතිහාසයේ ඇතැම් පුද්ගලයන්ගේ වැදගත්කම මැනිය හැක්කේ ඔවුන් තම ජීවිත කාලය තුළ ඉටු කළ තනතුරු සංඛ්‍යාවෙන් හෝ ලියූ පොත් සංඛ්‍යාවෙන් පමණක් නොවේ. ඔවුන් විසින් නිර්මාණය කළ නව දැනුම, නව බුද්ධිමය ගැටලු සහ ප්‍රවේශ තුළිනි. මහාචාර්ය විමල් දිසානායක එවැනි දුර්ලභ ගණයේ ශ්‍රී ලාංකික බුද්ධිමතෙකි.

එතුමාගේ අභාවය එක් විශ්වවිද්‍යාලයකට හෝ එක් ශාස්ත්‍රීය ක්ෂේත්‍රයකට පමණක් සිදුවූ අහිමිවීමක් නොවේ. එය ශ්‍රී ලංකාවෙන් බිහිවී, ලෝක ශාස්ත්‍රීය ප්‍රජාව තුළ තමන්ගේම බුද්ධිමය අනන්‍යතාවක් ගොඩනඟාගත් විද්වතෙකුගේ යුගයක අවසානයක් ලෙස ද දැකිය හැකිය.

පේරාදෙණියෙන් කේම්බ්‍රිජ් දක්වා

xfbdgsfd

විමල් දිසානායකගේ ශාස්ත්‍රීය ගමනේ විශේෂත්වය වන්නේ එය එක් විෂයයකට සීමා වූ ගමනක් නොවීමයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල පිළිබඳ ගෞරව උපාධිය හදාරන අවස්ථාවේදී සිංහල, සංස්කෘත සහ ඉංග්‍රීසි යන භාෂා තුනම ඔහුගේ බුද්ධිමය පසුබිමට ඇතුළත් විය. පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ ආචාර්ය උපාධියක් ද, පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය හා සිනමාව සම්බන්ධ පශ්චාත් උපාධි අධ්‍යයනයක් ද සිදු කළේය.

මෙය ඔහුගේ පසුකාලීන ශාස්ත්‍රීය කාර්යයේ ස්වභාවය තේරුම් ගැනීමට වැදගත් ය. සාහිත්‍යය, භාෂාව, සංස්කෘතිය, සිනමාව, සන්නිවේදනය සහ සමාජ විද්‍යාව අතර සීමා ඔහුට දැඩි සීමා නොවීය. ඔහු දැනුම දුටුවේ එකිනෙකින් වෙන් වූ කොටස් ලෙස නොව, මිනිස් සංස්කෘතිය අවබෝධ කරගැනීමට එකිනෙක සම්බන්ධ කළ යුතු ක්ෂේත්‍ර ලෙසය.

ශ්‍රී ලංකාවේ සන්නිවේදන අධ්‍යයනයේ පුරෝගාමියා

xfbdssdf| 2021 දෙසැම්බර් 04 වන දින පිලිපීනයේ ආසියානු මාධ්‍ය තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය විසින් මහාචාර්ය විමල් දිසානායක මහතාට 2021 වසර සඳහා වන කීර්තිමත් ආසියානු සන්නිවේදන සම්මානය පිරිනමන ලදී.

විමල් දිසානායකගේ දායකත්වය විශේෂයෙන්ම වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ ජන සන්නිවේදන අධ්‍යයනය තවමත් ආරම්භක අවධියේ තිබූ කාලයක ඔහු එම විෂයය ආයතනගත කිරීමට දායක වීම නිසාය.

1973දී කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශය පිහිටුවීමේ පුරෝගාමී කණ්ඩායමේ ඔහු සිටියේය. එය ශ්‍රී ලංකාවේ ජන සන්නිවේදනය පිළිබඳ උපාධි මට්ටමේ අධ්‍යාපනය ලබා දුන් පළමු අධ්‍යයනාංශය ලෙස ඉතිහාසගත වී ඇත. ඒ නිසා ඔහු විශ්වවිද්‍යාල ගුරුවරයෙකු පමණක් නොවේ. ඔහු විෂයයක් නිර්මාණය කිරීමට සහ ආයතනයක් ගොඩනැඟීමට දායක වූ ශාස්ත්‍රීය නිර්මාපකයෙකි.

බටහිර දැනුම අවසාන සත්‍යය නොවන බව පෙන්වීම

xfdgdsfs

විමල් දිසානායකගේ ජාත්‍යන්තර වැදගත්කම තේරුම් ගැනීමේදී වඩාත් වැදගත් කරුණක් වන්නේ ඔහුගේ Asian Communication Theory සම්බන්ධ කාර්යයයි. සන්නිවේදන න්‍යායන් පිළිබඳ ප්‍රධාන ධාරාවේ බොහෝ ආකෘති බටහිර සමාජ අත්දැකීම් මත ගොඩනැගී තිබූ අවස්ථාවක, ආසියානු සමාජවල ඉතිහාසය, සංස්කෘතිය සහ සමාජ සම්බන්ධතා සැලකිල්ලට ගන්නා සන්නිවේදන ප්‍රවේශයක අවශ්‍යතාව ඔහු මතු කළේය. 1986දී පළ කළ The Need for the Study of Asian Approaches to Communication වැනි කෘති හරහා ඔහු මෙම බුද්ධිමය ප්‍රශ්නය ඉදිරියට ගෙන ගියේය.

එය හුදෙක් "ආසියාවට වෙනම න්‍යායක් අවශ්‍යය" යනාදී වන සරල ප්‍රකාශයක් නොවීය. දැනුම නිර්මාණය වන්නේ කාගේ අත්දැකීමෙන්ද? ලෝකය පැහැදිලි කිරීමට භාවිත කරන න්‍යායන්ගේ සංස්කෘතික පදනම කුමක්ද? බටහිර මධ්‍යස්ථ දැනුමක් ලෙස ඉදිරිපත් කරන බොහෝ සංකල්පවල සීමා මොනවාද? යන ගැඹුරු ප්‍රශ්න ඔහු මතු කළේය. මේ අර්ථයෙන් විමල් දිසානායක ශ්‍රී ලංකාවෙන් ලෝකයට ගිය විද්වතෙකු පමණක් නොව, ලෝක දැනුම සමඟ සංවාදයකට ශ්‍රී ලංකාව හා ආසියාව රැගෙන ගිය විද්වතෙකි.

"දේශීය" දැනුම ජාත්‍යන්තරගත කිරීම

විමල් දිසානායකගේ ශාස්ත්‍රීය ගමනේ තවත් වැදගත් පාඩමක් මෙහිදී හඳුනාගත හැකිය. දේශීය දැනුම ජාත්‍යන්තර කිරීමට නම් එය දේශීය බව අත්හැරිය යුතු නොවේ. ඒ වෙනුවට එම දැනුම ජාත්‍යන්තර ශාස්ත්‍රීය භාෂාව තුළ විවරණය කළ හැකි මට්ටමකට ගෙන ආ යුතුය. විමල් දිසානායක එය ක්‍රියාවෙන් පෙන්වූ අයෙකි. සිංහල සාහිත්‍යය, ආසියානු සංස්කෘතිය, සිනමාව සහ සන්නිවේදනය වැනි දේශීය හා ආසියානු අත්දැකීම් ලෝක ශාස්ත්‍රීය සංවාදයට ගෙන ගියේය.


විද්වතෙක්, විචාරකයෙක් සහ නිර්මාණකරුවෙක්

විමල් දිසානායකගේ බුද්ධිමය පෞරුෂයේ තවත් විශේෂත්වයක් වූයේ ඔහු ශාස්ත්‍රඥයෙකු පමණක් නොවීමයි. ඔහු සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම කාව්‍ය රචනා කළේය. සාහිත්‍ය විචාරකයෙකු ලෙසද, සිනමා විචාරකයෙකු ලෙසද, සන්නිවේදන න්‍යායවේදියෙකු ලෙසද ඔහු කටයුතු කළේය. එම නිසා ඔහුගේ ලේඛනය තුළ පර්යේෂකයාගේ තාර්කිකත්වයත්, සාහිත්‍යකරුවාගේ සංවේදීත්වයත් එකට හමුවේ. මෙවැනි බහුමාන බුද්ධිමය පෞරුෂයක් ශ්‍රී ලංකා ශාස්ත්‍රීය සම්ප්‍රදාය තුළ අද දක්වාම දුර්ලභය.


අප රසවත් කළ නව කවි සරණිය

විමල් දිසානායක මහාචාර්යවරයා පිළිබඳ කතා කරන විට ඔහුගේ ශාස්ත්‍රීය ලෝකය ගැන පමණක් කතා කිරීමෙන් ඔහුගේ බුද්ධිමය පෞරුෂයේ අඩක් පමණක් අපට හඳුනාගත හැකිය. ඔහු අපට ඉතිරි කළ තවත් අගනා උරුමයක් වන්නේ කවිය යි.

ඔහුගේ කවියෙහි තිබුණේ සාම්ප්‍රදායික කාව්‍ය රසයට පමණක් සීමා නොවූ, නූතන ජීවිතයේ සංකීර්ණත්වය, මිනිස් අභ්‍යන්තරය, ආදරය, විරහව, මතකය, සංස්කෘතිය හා කාලය පිළිබඳ නව සංවේදනයකි. ඒ නිසා ඔහුගේ කවිය කියවීම යනු පද කිහිපයක රස විඳීමක් පමණක් නොව, නව ආකාරයකින් ලෝකය දෙස බැලීමට ඉගෙනීමක් ද විය.

අපේ කවි ලෝකයට ඔහු ගෙන ආවේ වෙනස් වූ කාව්‍යමය සංවේදනයකි. බුද්ධිමය ගැඹුරත්, සෞන්දර්යාත්මක සංවේදීත්වයත් එකට ගැළපීම ඔහුගේ කවියේ විශේෂ ලක්ෂණයකි. ශාස්ත්‍රඥයෙකුගේ මනසින් ලෝකය විග්‍රහ කළ ඔහු, කවියෙකුගේ හදවතින් එය නැවත අපට අත්විඳීමට සැලැස්වීය.

එහෙත් ඔහුගේ කාව්‍යමය භාවිතාවේ වඩාත් වැදගත් ගුණය වූයේ අපට රස විඳීමට "නව කවි සරණිය" ක් විවර කර දීමයි. අප හුරු වී සිටි කාව්‍ය භාෂාවෙන් ඔබ්බට ගොස්, නව රූපක, නව අර්ථ, නව සංවේදන සහ නව අත්දැකීම් සමඟ කවිය මුණගැසීමට ඔහු අපට අවකාශ සලසා දුන්නේය.

ඒ නිසා විමල් දිසානායක යනු කවි ලියූ මහාචාර්යවරයෙකු පමණක් නොවේ. අපගේ කාව්‍ය රසය පුළුල් කළ, අපට නව කවි ලෝකයක් හඳුන්වා දුන් කවියෙකි. අපට ඔහු මතකයට එන්නේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු ලෙස පමණක් නොවේ. අපේ භාෂාවෙන්, අපේ සංස්කෘතික අත්දැකීම්වලින් සහ අපේ මනුෂ්‍යත්වයෙන් ලෝකය දෙස බැලූ කවියෙකු ලෙස ය. ඔහු ලෝක විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික මහාචාර්යවරයකු වීය.

ජාත්‍යන්තරයට බුද්ධිය ගලායාම

xfgsdvsdg

1979දී හවායි විශ්වවිද්‍යාලයට සම්බන්ධ වීමෙන් පසුව ඔහුගේ ශාස්ත්‍රීය කාර්යය වඩාත් පුළුල් ජාත්‍යන්තර පරාසයකට ගියේය. East-West Center හි Senior Fellow සහ සංස්කෘතික අධ්‍යයන ක්ෂේත්‍රයේ විවිධ තනතුරු දැරූ ඔහු UNESCO සමඟ උපදේශකයෙකු ලෙසද කටයුතු කළේය. Fulbright, Rockefeller සහ Wei Lun වැනි ජාත්‍යන්තර ශාස්ත්‍රීය ශිෂ්‍යත්ව හා සම්මාන ඔහුට හිමිවිය.

මේ සියල්ලෙන් පෙනෙන්නේ ඔහු ශ්‍රී ලංකාවෙන් පිටව ගිය විද්වතෙකු බව පමණක් නොවේ. ඔහු ජාත්‍යන්තර විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ශ්‍රී ලාංකික බුද්ධිමය හැකියාව නියෝජනය කළ අයෙකි. එබැවින් විමල් දිසානායකගේ අභාවය එක් මහාචාර්යවරයෙකුගේ ජීවිතයේ අවසානයක් ලෙස පමණක් කියවීම ඔහුට කරන අසාධාරණයකි. එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයෙන් බිහිවූ බුද්ධිමය ශක්තියක් ලෝකය තුළ ස්ථාපිත කළ දිගු ගමනක එක් අවසන් පරිච්ඡේදයකි.

(ජීවත්ව සිටියා නම්, අජිත් සමරනායක විසින් විමල් දිසානායක ගැන ලිවීමට තිබු ඔබිචුවරිය කියවීමට අපට නොලැබීම ද විශාල කණගාටුවකි)


Athulasiri Samarakoon(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..) 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...