BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
විශේෂාංග

'ශ්‍රී ලංකාවේ මරණ දඬුවම නියම කිරීමටත් නැවතුම් ලකුණ තබමු' - ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් විශේෂ විග්‍රහයක්!

T

The Leader Desk

August 9, 2026 • 10:30 AM

'ශ්‍රී ලංකාවේ මරණ දඬුවම නියම කිරීමටත් නැවතුම් ලකුණ තබමු' - ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් විශේෂ විග්‍රහයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1976 සිට පැවතෙන 'ඩි ෆැක්ටෝ' (De Facto Moratorium) තත්ත්වය , GSP+ සහනය සහ ජාත්‍යන්තර මානව හිමිකම් එකඟතාවල පවතින තීරණාත්මක බලපෑම
  • ශ්‍රී ලංකාවේ නීතියට අනුව මරණ දණ්ඩනය නීත්‍යානුකූල දඬුවමක් වුවද, 1976 ජූනි 23 වන දිනෙන් පසුව මෙරට තුළ කිසිදු මරණ දණ්ඩනයක් ක්‍රියාත්මක කර නොමැත.
  • මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ප්‍රායෝගිකව මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකරන (De Facto Moratorium ) රටක් ලෙස ජාත්‍යන්තරව සැලකේ.
  • දෙවැන්න නම් රජයේ ප්‍රතිපත්තියක්, විධායක තීරණයක් හෝ පරිපාලනමය හේතූන් මත එම දඬුවම සැබෑ ලෙසම ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබීම (De Facto ) යි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අපරාධ නිවාරණයේ ප්‍රායෝගික සඵලතාවය සහ බෞද්ධ සදාචාරාත්මක රාමුව තුළ මරණ දණ්ඩනය අහෝසි කිරීමේ අවශ්‍යතාව


2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට මහාධිකරණය මඟින් මරණ දඬුවම නියම කිරීම මෑතකදී විශේෂ ජන අවධානයට ලක්වූ කරුණකි. කෙසේ වෙතත්, අධිකරණය මඟින් පනවන ලද මරණ දණ්ඩනයක් ක්‍රියාත්මක කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වීම හේතුවෙන්, මොවුන් කිසිසේත්ම පෝරකයට නොයවනු ඇතැයි යන්න බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි.

මානව ඉතිහාසයේ පැරණිතම මෙන්ම වඩාත්ම මතභේදාත්මක දඬුවම් ක්‍රමයක් වන මරණ දණ්ඩනය (Capital Punishment ) ලොව පුරා බොහෝ රටවල නීති පද්ධතීන් තුළ තවමත් පවතී. නමුත්, එහි සදාචාරාත්මකභාවය සහ සඵලතාවය පිළිබඳව ගෝලීය වශයෙන් විශාල විවාදයක් ද පවතී. මෙම ගෝලීය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව විශේෂ ස්ථානයක් හිමිකර ගනී. ශ්‍රී ලංකාවේ නීතියට අනුව මරණ දණ්ඩනය නීත්‍යානුකූල දඬුවමක් වුවද, 1976 ජූනි 23 වන දිනෙන් පසුව මෙරට තුළ කිසිදු මරණ දණ්ඩනයක් ක්‍රියාත්මක කර නොමැත. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ප්‍රායෝගිකව මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකරන (De Facto Moratorium ) රටක් ලෙස ජාත්‍යන්තරව සැලකේ.

ඩි ෆැක්ටෝ මොරටෝරියම් යනු යම් ක්‍රියාවක් නීත්‍යානුකූලව තහනම් කර නොමැති වුවද, ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව හෝ දීර්ඝ කාලීනව නතර කර තිබීමේ ක්‍රියාවලියයි. මෙහි ප්‍රධාන ලක්ෂණ දෙකක් හඳුනාගත හැකිය. පළමුවැන්න නම් මරණ දඬුවම පිළිබඳ නෛතික (De Jure ) තත්ත්වයයි; එනම් රටක නීති පොතට අනුව අධිකරණය මඟින් අදාළ දඬුවම නියම කිරීමට තවමත් සම්පූර්ණ නීතිමය බලය පැවතීමයි. දෙවැන්න නම් රජයේ ප්‍රතිපත්තියක්, විධායක තීරණයක් හෝ පරිපාලනමය හේතූන් මත එම දඬුවම සැබෑ ලෙසම ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබීම (De Facto ) යි. ශ්‍රී ලංකාව මේ සඳහා කදිම නිදසුනක් වන අතර, මෙරට අධිකරණ මඟින් බරපතළ වැරදි සඳහා තවමත් මරණ දඬුවම නියම කළ ද, එම දඬුවම් සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් බවට ලිහිල් කරනු ලබයි.

 

fc45y4

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ අනෙකුත් විශේෂ පනත් යටතේ මරණ දණ්ඩනය නියම කළ හැකි ප්‍රධාන වැරදි කිහිපයකි. මිනීමැරීම සහ මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම, රාජ්‍යයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීම හෝ කුමන්ත්‍රණය කිරීම, හමුදා නිලධාරීන් මෙහෙයවා කැරලි ගැසීම, නිර්දෝෂී පුද්ගලයෙකුට මරණ දඬුවම ලැබෙන පරිදි අසත්‍ය සාක්ෂි ලබාදීම, සිය දිවි නසාගැනීමට අනුබල දීම, ග්‍රෑම් 2කට වඩා වැඩි හෙරොයින් ළඟ තබාගැනීම ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පැහැරගැනීම් හෝ කප්පම් ගැනීම් වැනි ගිනිඅවි භාවිත කරමින් සිදුකරන බරපතල අපරාධ ඒ අතර වේ. 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට මරණ දඬුවම නියම කිරීම ඒ අතරට එක් වූ සුවිශේෂ අධිකරණ තීන්දුවකි.

වත්මන් තත්ත්වය දෙස බැලීමේදී, නිල වාර්තාවලට අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ මරණ දඬුවම නියම වූ සිරකරුවන් 800කට අධික පිරිසක් බන්ධනාගාරගතව සිටිති. එමෙන්ම මේ සා විශාල පිරිසක් බන්ධනාගාර තුළ රඳවා තබා ගැනීම ද රජයට සුවිසල් වියදමක් දැරීමට සිදු වන්නකි.මේ අතර 2019 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව්දෙනෙකු සඳහා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට සහ අලුගෝසුවන් බඳවා ගැනීමට උත්සාහ කළද, දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල විරෝධය සහ ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ අතුරු තහනම් නියෝග හේතුවෙන් එය වැළකී ගියේය.

ලෝකය හා ගලපා බලන කල, මරණ දඬුවම සම්බන්ධ ගෝලීය ස්ථාවරය ක්‍රමයෙන් එය අහෝසි කර දැමීම දෙසට නැඹුරු වී තිබේ. රටවල් 140කට අධික සංඛ්‍යාවක් එය නීතියෙන් හෝ භාවිතයෙන් අත්හැර දමා ඇත. ඒ අනුව ලෝකය ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදිය හැකිය.

* පළමුවැන්න, සියලුම අපරාධ සඳහා මරණ දඬුවම සම්පූර්ණයෙන් අහෝසි කළ (Abolitionist ) රටවල්ය. යුරෝපා සංගමයේ රටවල්, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නේපාලය ඒ අතුරින් කැපී පෙනේ.

* දෙවැන්න, නීතියෙන් වලංගු වුවද වසර 10කට වඩා ක්‍රියාත්මක කර නැති, ශ්‍රී ලංකාව, මියන්මාරය සහ කෙන්යාව වැනි රටවල්ය.

* තෙවැන්න, චීනය, ඉරානය, සෞදි අරාබියාව, ඊජිප්තුව සහ ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක් වැනි ඉහළ අනුපාතයකින් මරණ දඬුවම තවමත් ක්‍රියාත්මක කරන (Retentionist ) රටවල්ය.

A gavel and a name plate with the engraving Death Penalty
ශ්‍රී ලංකාව මරණ දඬුවම සැබෑ ලෙසම ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ‘ඩි ෆැක්ටෝ’ තත්ත්වයේ පසුවීම නිසා GSP+ වැනි වෙළඳ සහන සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්වාසය රැකගෙන ඇති අතර, එය නැවත ක්‍රියාත්මක කළහොත් එම වරප්‍රසාද අහිමි වීමේ බරපතල අවදානමක් පවතී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වැනි ආයතන මෙන්ම ඇමරිකාවේ නැෂනල් රිසර්ච් කවුන්සිලය විසින් 2012 වසරේදී සිදු කරන ලද සමාලෝචනයකින් ද පෙන්වා දී ඇත්තේ, මරණ දණ්ඩනයට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමට වඩා වැඩි නිවාරණ බලපෑමක් ඇති බවට විශ්වාසදායක සාක්ෂි කිසිවක් නොමැති බවයි.

එමෙන්ම ඇමරිකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන ප්‍රාන්ත සහ එය ක්‍රියාත්මක නොවන ප්‍රාන්ත අතර මිනීමැරුම් අනුපාතය සංසන්දනය කිරීමේදී, බොහෝ විට මරණ දණ්ඩනය නොමැති ප්‍රාන්තවල එම අනුපාතය අඩු මට්ටමක පවතින බව නිරීක්ෂණය වී ඇත. එම ආන්දෝලනාත්මක අනාවරණය අනුව ඔවුන්ගේ තර්කය වන්නේ, අපරාධ සඳහා බලපානු ලබන්නේ දඬුවමේ බරපතළකමට වඩා, දඬුවමක් ලැබෙන බවට ඇති නිශ්චිතභාවය සහ පොලිස් විමර්ශනවල කාර්යක්ෂමතාවය බවයි.

මේ අතර මරණ දණ්ඩනයට පක්ෂව තර්ක කරන්නෝ ද ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කරති. ඉන් පළමුවැන්න ප්‍රතිශෝධනය සහ යුක්තියයි. එනම් විශේෂයෙන් දරුණු මිනීමැරුම් වැනි අපරාධවලදී වින්දිතයාට යුක්තිය ඉටු විය යුතුය යන අදහසයි. දෙවැන්න එවැනි බරපතල සාපරාධි ක්‍රියාවලින් සමාජය ආරක්ෂා කිරීමයි. එමගින් නැවත කිසි දිනෙක එම අපරාධකරුට සමාජයට පැමිණ අපරාධ කිරීමට නොහැකි වන බවට සහතිකයක් ලැබෙන බව ඔවුහු කියා සිටිති. තෙවැන්න අපරාධ නිවාරණය පිළිබඳ පොදු විශ්වාසයයි. එනම් දඬුවම දරුණු වන තරමට මිනිසුන් අපරාධ කිරීමට බිය වන බවයි.නමුත් මෙය ද තර්කයක් මිස අපරාධ විද්‍යාත්මකව තහවුරු වූවක් නොවේ.

ඊට විරුද්ධව තර්ක කරන පිරිස ද ඒ හා සමානවම තදබල කරුණු ඉදිරිපත් කරති. ඉන් පළමුවැන්න නම් වැරදි තීන්දුවක් කිසිදා නිවැරදි කළ නොහැකි වීමයි. අහිංසක පුද්ගලයෙකුට මරණ දණ්ඩනය නියම වුවහොත් එය කිසිසේත්ම ආපසු හැරවිය නොහැක. දෙවැන්න නම් අපරාධවල මූල හේතූන්ට මරණ දණ්ඩනයෙන් විසඳුමක් නොලැබෙන බවයි. දරිද්‍රතාවය, මත්ද්‍රව්‍ය භාවිතය, සංවිධානාත්මක අපරාධ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා වැනි ගැටලුවලට මරණ දණ්ඩනය පිළිතුරක් නොවේ. තෙවැන්න නම් එය බොහෝ රටවලදී අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක වීමයි. විශේෂයෙන් දුප්පත්, සුළු ජාතීන්ට අයත් හෝ ප්‍රමාණවත් නීති සහායක් නොලබන පුද්ගලයන්ට වැඩිපුර මරණ දණ්ඩනය නියම වන බවට චෝදනා එල්ල වී ඇත. මේවා ද වැදගත් ප්‍රායෝගික යථාර්ථයන් බව කිව යුතු ය.

ඒ නිසා අද වන විට බොහෝ රටවල් මරණ දණ්ඩනයට වඩා වැඩි අවධානයක් යොමු කර ඇත්තේ විමර්ශන කටයුතු ශක්තිමත් කිරීම, ඉක්මන් හා සාධාරණ නඩු විභාග ඇති කිරීම, රැඳවියන් පුනරුත්ථාපනය කිරීම සමාජ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය කෙරෙහි ය. එමෙන්ම ශ්‍රී ලංකාවේ බහුතරයකගේ ආගම වන බුදු දහමේ ඉගැන්වීමට අනුව, වරද සදාචාරාත්මක නොවූවද දඬුවම සදාචාරාත්මක විය යුතුය. එම සදාචාරාත්මක සීමාවේ සිට මරණ දඬුවම පැමිණවීමට නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ.ඒ අනුව.කිව හැක්කේ මරණ දණ්ඩනය බුදු දහමට ද පටහැනි බව ය.

අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ මරණ දණ්ඩනය යනු නීතිය සහ ප්‍රායෝගිකත්වය අතර ඇති පරස්පරතාවයේ කදිම නිදසුනකි. 1976 සිට පවත්වාගෙන එන සම්ප්‍රදායට අනුව මරණ දණ්ඩනය නීත්‍යානුකූල දඬුවමක් වුවද, ‘1976 ජූනි 23 වන දිනෙන් පසුව මෙරට තුළ කිසිදු මරණ දණ්ඩනයක් ක්‍රියාත්මක කර නොමැති’ තත්ත්වය නිසා රට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්ව තිබුණද, දිනපතා අධිකරණ මඟින් මරණ දඬුවම් නියම වීමත්, 800කට අධික පිරිසක් අවිනිශ්චිතව බන්ධනාගාර තුළ රඳවා සිටීමත් බරපතල ප්‍රතිපත්තිමය ගැටලුවකි.

ඒ අනුව ලෝක ප්‍රවණතාවය මරණ දණ්ඩනය අහෝසි කිරීම දෙසට යද්දී, ශ්‍රී ලංකාවට ඉදිරියේ ඇත්තේ තීරණාත්මක අහියෝගයකි. එනම් එක්කෝ නිශ්චිත වශයෙන්ම මරණ දණ්ඩනය අහෝසි කර දැමූ රටක් බවට පත්වීම ය. නැතහොත් නැවත එය ක්‍රියාත්මක කරන රටක් බවට පත්ව ජාත්‍යන්තර හුදෙකලාවට ලක්වීමයි. එබැවින් දැනට පවතින අතරමැදි තත්ත්වය දිගුකාලීන විසඳුමක් නොවන අතර, විධිමත් නීති ප්‍රතිසංස්කරණයක් සහ පුළුල් සමාජ සංවාදයක් මේ සඳහා අත්‍යවශ්‍ය වේ. එම පසුබිම තුළ අපගේ පෞද්ගලික මතය වනුයේ අනාගතයේ දී ශ්‍රී ලංකාව ද මරණීය දණ්ඩනය නම් යල් පැන ගිය දඬුවම් ක්‍රමයෙන් ඉවත් විය යුතු බවයි.එමෙන්ම එය වත්මන් රජය විසින් ගනු ලබන ඓතිහාසික යුග මෙහෙවරක් බව ද අපගේ වැටහීම ය.


z PraneethAbayasundara(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
හිටපු මානව විද්‍යා මහාචාර්ය

(උපුටා ගැනීම - vinivida.lkvinivida.lk)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...