BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
විශේෂාංග

'නඩුවක් අහන්නේ දවස් දෙකයි': බ්‍රිතාන්‍ය අධිකරණ ක්‍රමය සහ ලංකාවේ විනිසුරු විශ්‍රාම වයස ගැන සරෝජ් පතිරණගෙන් විශේෂ සටහනක්!

T

The Leader Desk

August 9, 2026 • 10:56 AM

'නඩුවක් අහන්නේ දවස් දෙකයි': බ්‍රිතාන්‍ය අධිකරණ ක්‍රමය සහ ලංකාවේ විනිසුරු විශ්‍රාම වයස ගැන සරෝජ් පතිරණගෙන් විශේෂ සටහනක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍යයේ ජූරි සභා අත්දැකීම් ඇසුරින් නඩු ඉක්මනින් අවසන් කිරීම සහ අධිකරණයට අපහාස කිරීම පිළිබඳ සැසඳීමක්
  • මීට අවුරුදු කීපයකට කලින් 2016 පෙබරවාරි මාසයේ මට ජූරි සභාවක සේවයට කැඳවීමේ ලිපියක් ලැබුන.
  • ඇත්තටම ඒක හරිම අපූරු අත්දැකීමක්.
  •   රාත්‍රී සමාජ ශාලාවකට තනිව ඇතුළු වූ තරුණියක් ඇය කලින් යාන්තමින් හඳුනාගෙන සිටි තරුණයකු සමග සමාජ ශාලාවේදී රාගය අවුස්සන සුළු ආකාරයේ නර්තනයක යෙදිල තියෙනව.
අකුරු ප්‍රමාණය (Font Size):


විශ්‍රාම වයස පමණක් වැඩි කිරීමට වඩා සමස්ත අධිකරණ හා අභිචෝදක පද්ධතියේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක ඇති වැදගත්කම



විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරන්න ආණ්ඩුව 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනවත් එක්කම බ්‍රිතාන්‍ය අධිකරණ ක්‍රමය ගැනත් බොහෝ දෙනා මගෙන් ඇහුව. හැමෝම අහන්නේ බ්‍රිතාන්‍යයේ විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 75යි, ඉතින් ඇයි ලංකාවේ විනිසුරු විශ්‍රාම වයස ඉහළ දාන කොට විරුද්ධ වෙන්නේ කියල. බ්‍රිතාන්‍යයේ විනිසුරු වයස ඉහළ දැමීමේ ක්‍රියාදාමයට සෘජුවම සම්බන්ධ වුණ බ්‍රිතාන්‍ය අභියාචනා අධිකරණයක නීති නිලධාරිනියක් වන ධරණී සමුර්ධිකා එක්ක පසුගියදා කරපු සාකච්ඡාවේ ඒ ප්‍රශ්නයට පිළිතුරු තියෙනව.



ඒ එක්කම බ්‍රිතාන්‍ය අධිකරණය ගැන මගේ අත්දැකීමකුත් මේ වෙලාවේ සටහන් කිරීම වැදගත් කියල මට හිතුණ.

මීට අවුරුදු කීපයකට කලින් 2016 පෙබරවාරි මාසයේ මට ජූරි සභාවක සේවයට කැඳවීමේ ලිපියක් ලැබුන. මුලින්ම ඒ කැඳවීම ලැබුණේ 2015 අගෝස්තු මාසේ නමුත් ඒ දවස්වල ලංකාවේ මහ මැතිවරණය වාර්තා කරන්න තිබුණ නිසා පසුව මාව කැඳවන්න කියල ඒ අවස්ථාවේ මම අපේ පළාතේ මහාධිකරණයෙන් ඉල්ලීමක් කළා. 

බ්‍රිතාන්‍ය නීතියේ විදියට දෙවැනි වතාවේත් ජූරි සේවයට කෝල් කළොත් අනිවාර්යයෙන්ම සහභාගි වෙන්න වෙනව. ඒ වගේම අදාළ පුද්ගලයා ජූරි සේවය වෙනුවෙන් නිදහස් කරන්න ඔහුගේ සේවා ස්ථානය නීතියෙන් බැඳිලා ඉන්නවා.

දිගු කාලයක් බ්‍රිතාන්‍යයේ වාසය කළත් ජූරියේ සේවය කරපු දෙසතියේදී බ්‍රිතාන්‍යයේ අධිකරණ ක්‍රමය ගැන එතෙක් නොදැන හිටපු බොහෝ දේ ඉගෙන ගන්න මට අවස්ථාව ලැබුන.

ඇත්තටම ඒක හරිම අපූරු අත්දැකීමක්.

ලිංගික අපයෝජන (රේප්) නඩුවක්

තරුණ කාන්තාවක ලිංගික අපයෝජනයට ලක් කිරීමේ (රේප් කිරීමේ) චෝදනාවක් සම්බන්ධ නඩුවක් සහ සොරකම් පිළිබඳ නඩු කිහිපයක විභාගවලට අපි සහභාගි වුනා.

ඒ අතරින් රේප් නඩුව, කාන්තා හිමිකම් පිළිබඳ බ්‍රිතාන්‍ය සමාජයේ ආකල්ප පැහැදිලි කරන කැඩපතක් කියල මට හිතෙනවා.

 

The Indian Legal System Needs Revamp. An Analysis
රාත්‍රී සමාජ ශාලාවකට තනිව ඇතුළු වූ තරුණියක් ඇය කලින් යාන්තමින් හඳුනාගෙන සිටි තරුණයකු සමග සමාජ ශාලාවේදී රාගය අවුස්සන සුළු ආකාරයේ නර්තනයක යෙදිල තියෙනව. එහිදී ඇය ප්‍රසිද්ධියේ කිහිප වරක්ම ඔහු සිප වැළඳ ගත් බවත්, සිහි විකල්වන තරමට තදින් බීමත් වූ නිසා ඔහුගේ මෝටර් රථයෙන් තමන්ව නිවසට ඇරලවන්න කියල ඔහුගෙන් ඉල්ලා සිටි බවත් පොලිසියට දුන් කටඋත්තරයේ තියෙනව. ඒ වගේම ඒ බව ඇය අධිකරණය ඉදිරියෙත් සඳහන් කළා. 


ඇය නිවසට ඇරලවනව වෙනුවට ඔහු මිතුරෙකුගේ නවාතැනකට තමන්ව රැගෙන ගිය බව තරුණිය කියනවා. ඇය ඔහු තදින් වැලඳගෙන නර්තනයේ යෙදුන බවත්, දෙතොල් සිප ගත් බවත් දෙදෙනාම පිළිගන්නවා. නමුත් පුරුෂයා කියන්නේ ඔහුගේ නවාතැනට රැගෙන යන්න කියල ඇය ඉල්ලා සිටි බව. තදින් බීමත්ව සිටි බැවින් ඔහුගේ නවාතැනට පැමිණි මොහොතේම නින්ද ගිය බව ඇය පවසනව. නමුත් ඔහු කියන්නේ නිදි යහනේදී ඇය ලිංගික පහස ඉල්ලා සිටි බව.

තරුණිය එය තරයේ ප්‍රතික්ෂේප කරනව. ඇය කියන්නේ නිවසට ඇතුළු වූ අවස්ථාවේ පටන් රාත්‍රියේ සිදු වූ කිසිවක් ගැන තමන්ට මතකයක් නැති බව. උදෑසන අවදි වූ විට ලිංගාශ්‍රිත ප්‍රදේශයේ වේදනාවක් දැනුන බව පවසන ඇය, තද නින්දේ සිටියදී ඔහු තමන් ලිංගිකව අපයෝජනය (රේප්) කළා කියල ඒ අවස්ථාවේ වැටහුන බවත් සිය කට උත්තරයේ සඳහන් කරලා තිබුන.

එහෙත් තරුණයාගේ තර්කය වෙලා තිබුණෙ ඇය ස්ව කැමැත්තෙන් තමන් එක්ක ලිංගිකව එක්වුණත් පසුව මුදල් අපේක්ෂාවෙන් දූෂණ චෝදනාවක් එල්ල කරන බව. එදින රාත්‍රියේ ලිංගික පහස ලැබූ බව දෙදෙනාම පිළිගන්නවා. ඊට පෙර එකිනෙකා දැන සිටි බවත් දෙදෙනාම පිළිගන්නවා.

සීසීටීවී දර්ශන ඇතුළු සියලු සාක්ෂි විමසා බලපු ජූරි සභාවේ බහුතර තීන්දුව වුණේ ඇය රේප් කරපු බවක් සාධාරණ සැකයකින් තොරව සනාථ කරන්න පැමිණිල්ල අපොහොසත් වූ බව. ඒ තරුණිය එල්ල කරපු චෝදනාව ඇත්තක් වෙන්න පුළුවන්. ඒත් සැකයේ වාසිය සැකකරුට හිමිවිය යුතු බව තමයි, ජූරියේ තීන්දුව වුණේ. ඇත්තටම ඒ තරුණිය කරපු චෝදනාව සනාථ කිරීම හරිම දුෂ්කරයි.
 
ජූරි සභාව සිය තීන්දුව දෙන තුරුම ඒ තරුණියට සාධාරණය ඉටු කිරීමට බ්‍රිතාන්‍ය නීති බලධාරීන් උපරිම උනන්දුවෙන් කටයුතු කළා. මේ වගේ සිදුවීමකදී ලංකාවේදී නම් නීතිය පසිඳලන ආයතන හෝ සමස්ත සමාජය වුනත් ඒ තරුණිය දිහා ඒ තරම් සානුකම්පිත ආකල්පයක් පළ කරාවි කියල මට හිතෙන්නේ නැහැ.
 
නඩුව ඇහුවේ දවස් තුනයි

මේ දවස්වල ලංකාවේ හැමෝම කතා කරන්නේ නඩු කල් යාම ගැනනේ. බ්‍රිතාන්‍ය මහාධිකරණයේ මේ මුළු නඩු විභාගයම තිබුනේ දවස් තුනයි. තුන්වෙනි දවසේ ජූරියේ තීන්දුව අහල විනිසුරුතුමා ඒ තරුණයා නිදහස් කළා.

බ්‍රිතාන්‍යයේ වගේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කළාම නඩු විභාග ඉක්මන් වෙනවා කියල ගල් පැලෙන තර්ක ගේනවට වඩා ඇත්තටම මට තේරෙන්නේ නෑ ලංකාව බ්‍රිතාන්‍යය වගේ රටවල් නඩු විභාග කෙරෙන විදිය study කරලා, හැම පැත්තෙන්ම අත්දැකීම් අරගෙන අධිකරණ ක්‍රමයේ පුළුල් ප්‍රතිසංස්කරණයක් කරන්න උනන්දු වෙන්නේ නැත්තේ ඇයි කියල. නඩු පැවරීමට සහ ඉවත්කර ගැනීමට නීතිපතිවරයාට තියන බලය බ්‍රිතාන්‍යයේ වගේ ස්වාධීන අභිචෝදක කාර්යාලයකට පැවරිය යුතුයි කියන එකත් මම බොහෝ අවස්ථාවල යෝජනා කරපු කරුණක්.

විශේෂයෙන්ම අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර බ්‍රිතාන්‍ය අධිකරණ ක්‍රමය ගැන පුළුල් අත්දැකීම් තියන නීතිඥයෙක්. ධරණී සමුර්ධිකා එක්ක කරපු සාකච්ඡාවේදීත් බ්‍රිතාන්‍ය අධිකරණයේ නඩු ඉක්මනින් අවසන් කරන ක්‍රමවේදය ගැන ඇය විස්තර කරනවා.  

ආයෙත් ජූරි සභාවට ගියොත්, අනිත් නඩුවේදී සොරකමක් ගැන චෝදනා එල්ලවෙලා හිටපු තරුණයකුගේ ගැබ්බර පෙම්වතිය නඩුව විභාග වුණ දවස් දෙකේම අධිකරණයට පැමිණ සිටියා (ඒ නඩුව තිබුණෙත් දවස් දෙකයි). විභාගය අවසානයේ ඔහු වැරදිකරු බව ජූරි සභාව තීන්දු කළ වෙලාවේ විත්තිකරුගේ පෙම්වතිය විවෘත අධිකරණයේදී ජූරි සභාවට ඉතාමත් පරුෂ වචනයෙන් බැන වැදුනා.  

අධිකරණයට අපහාස
v56u566786uy
ඒ බැන වැදීමට විනිසුරුවරයාගේ ප්‍රතිචාරය වුණේ විශේෂ ස්තුතියක් කරලා ජූරි සභාවට සමුදීම.

අධිකරණයේ කරුණු දක්වන අතරවාරයේ “උස් හඬින් කතා කළා" කියල පැමිණිලිකරුවෙක් බරපතල වැඩ සහිතව අවුරුද්දකට හිරේට දාපු ඉතිහාසයක් තියන ශ්‍රී ලංකාවේ අධිකරණය ඒ වෙලාවේ මට මතක් වුණා.

ඒ විතරක් නෙවෙයි, "විවෘත අධිකරණයේ හඬා වැළපීම" මෑතදී අධිකරණ සේවා කොමිසම විසින් සේවයෙන් පහ කරපු විනිසුරුවරියකට විරුද්ධව තිබුන එක චෝදනාවක්. ඇත්තටම මම දන්නා තරමින් ඇයට විරුද්ධ එල්ලවුණ කිසිම චෝදනාවක් සාධාරණ සැකයකින් තොරව සනාථ වෙලා නැහැ. ඒ වගේම ඇය සේවයෙන් පහකරල තියෙන්නේ චෝදනා ගැන නිදහසට කරුණු දක්වන්න ඇයට සාධාරණ අවස්තාවක් පවා ලබා නොදී.

ඉතින් ලංකාවේ නීතිය පසිඳලීම භාරව ඉන්න විනිසුරුවරුන්ට පවා "යුක්තිය" ඉෂ්ඨ වෙන්නේ මේ විදියට නම්, මේ පවතින ක්‍රමය යටතේ සාමාන්‍ය පුද්ගලයෙකුට යුක්තිය ඉටුවේවි කියල විශ්වාස කරන්නේ කොහොමද?
 
ඇත්තටම මේ මොහොතේ ලංකාවේ අධිකරණයේ තියන දැවෙනම ප්‍රශ්නය විනිසුරු විශ්‍රාම වයසද? අවුරුදු දෙකක් විතර රට පාලනය කරපු ආණ්ඩුව එකපාරට නින්දෙන් ඇහැරිලා වගේ අධිකරණයේ නඩු ගොඩගැහිලා තියන බව මතක් වෙලා ඒකට පැලැස්තර විසඳුමක් විදියට විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරන්න හදන වෙලාවේ එංගලන්තේ විනිසුරුවරුන්ගේත් විශ්‍රාම වයස අවුරුදු 75 නේද කියන එක, ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ බොහෝ දෙනා මතුකරන තර්කයක්.

අපි මොහොතකට හිතමු ඒ තර්කය සාධාරණයි කියල.

මහේස්ත්‍රාත්වරු පත්කරන ක්‍රමවේදය, අධිකරණ ක්‍රමය ක්‍රියාත්මක වෙන ආකාරය, දවසෙන් දෙකෙන් නඩු අහල ඉවර කරන හැටි, අගවිනිසුරුගේ ප්‍රධානත්වයෙන් යුත් අධිකරණ සේවා කොමිසම වෙනුවට විනිසුරුවරුන් පත්කරන ස්වාධීන ක්‍රමවේදය, නීතිපති වෙනුවට ස්වාධීන අභිචෝදක විසින් නඩු පවරන ආකාරය වගේ බ්‍රිතාන්‍යයේ සමස්ත අධිකරණ ක්‍රමයෙන් අත්දැකීම් උකහාගෙන අධිකරණ ක්‍රමයේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් කරන අතරේ ඔය විශ්‍රාම වයසත් දීර්ඝ කළා නම් හොඳයි කියල ඒ තර්කය නගන අයට මොහොතකටවත් හිතන්නේ නැද්ද?

ප.ලි. නීතිය ගැන කිසිම දැනුමක් නැතිවත් බ්‍රිතාන්‍යයේ මහේස්ත්‍රාත් තනතුරකට පත්වෙන ක්‍රමය ගැන වෙනත් දිනයක ලියන්නම්


saroj pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 අගෝස්තු 08

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...