BREAKING
ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●
Top Ad
විශේෂාංග

අවසන් ගෞරව පවා නොමැති චාම් සරල මුස්ලිම් අවමඟුල

T

The Leader Desk

August 13, 2026 • 6:30 AM

අවසන් ගෞරව පවා නොමැති චාම් සරල මුස්ලිම් අවමඟුල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *"අවසන් ගෞරවයට" වඩා ප්‍රාර්ථනාවට මුල් තැන දෙන, ලෞකික ආටෝපයෙන් තොර ඉස්ලාමීය අල්-ජනාසා චාරිත්‍ර
  • ඊට හේතු වශයෙන් ඇය පවසා සිටියේ එම අවමඟුල සඳහා දැරීමට සිදු වූ මූලික වියදම්වලට අමතරව ඒ සඳහා එක් වූ ඥාති මිත්‍රාදීන්ට භෝජන සංග්‍රහ පැවැත්වීමට පමණක් රුපියල් ලක්ෂ කිහිපයක මුදලක් වැය වූ බවකි.
  •  ඇගේ එම ආගම් මාරු කතාව මතුපිටින් විහිළුවක් වුවද, එම අවමඟුල් භෝජන සංග්‍රහ කතාව අප රටේ සිංහල ජන සමාජයේ බොහෝ දෙනෙකුට දැඩි පීඩාවක් ගෙන දෙන කරුණක් බව රහසක් නොවේ.
  • මල් වඩම්, බැනර්, වීඩියෝ, ඡායාරූප, දාන ශාලා, ශෝක ප්‍රකාශන දැන්වීම්, අවමංගල්‍යාගාර කුලී, ආහාර සැපයුම් (catering) මේ සියල්ල එක් වූ විට මධ්‍යම පාන්තික පවුලකට අවමඟුලක් යනු ලක්ෂ ගණනක වියදමකි.
අකුරු ප්‍රමාණය (Font Size):

*ධනපතියාටත් දුප්පතාටත් එකම සුදු රෙද්ද සහ පස් යට නිසල බව: සමානාත්මතාව සුරකින සරල මුස්ලිම් අවමඟුල

 

 පසුගිය දිනයෙක මගේ සිංහල මිතුරියක මට විහිළුවක ස්වරූපයෙන් අපූරු කතාවක් කීවා ය. එනම් මෑතකදී සිදු කරන ලද තම නැන්දණියගේ අවමඟුලෙන් පසුව තමන්ට ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට පවා සිත් වූ වග ය. ඊට හේතු වශයෙන් ඇය පවසා සිටියේ එම අවමඟුල සඳහා දැරීමට සිදු වූ මූලික වියදම්වලට අමතරව ඒ සඳහා එක් වූ ඥාති මිත්‍රාදීන්ට භෝජන සංග්‍රහ පැවැත්වීමට පමණක් රුපියල් ලක්ෂ කිහිපයක මුදලක් වැය වූ බවකි.

 ඇගේ එම ආගම් මාරු කතාව මතුපිටින් විහිළුවක් වුවද, එම අවමඟුල් භෝජන සංග්‍රහ කතාව අප රටේ සිංහල ජන සමාජයේ බොහෝ දෙනෙකුට දැඩි පීඩාවක් ගෙන දෙන කරුණක් බව රහසක් නොවේ.

 

ගමේ මළ බතේ සිට හෝටල් බත දක්වා – වෙනස් වූ සිංහල අවමඟුල් සංස්කෘතිය

 

 

මීට දශක කිහිපයකට පෙර සිංහල බෞද්ධ පවුලක කිසිවකු මියගිය පසු එම මෘත දේහයේ අවසන් කටයුතු නිමවා නිවසට පැමිණ “මළ බත” පිසෙන තෙක් නිවසේ කෑම පිසීමක් සිදු නොවූ බව සිංහල බෞද්ධ ගැමි පරිසරයක ඉපදී හැදී වැඩුණු අපි ද දනිමු. එකල අද මෙන් අවමඟුලට සහභාගී වන ඥාති මිත්‍රාදීන් වෙනුවෙන් භෝජන සංග්‍රහ පැවැත්වීමක් සිදු වූයේ ද නැත.

 

එම අවමඟුල්වලට සහභාගී වන දුර බැහැර ඥාති මිත්‍රාදීන් සඳහා ඒ අවමඟුල් නිවසේ අසල්වැසියන් විසින් ආහාර පාන සපයන ලද අතර ඒවා ද හුදු සරල ආහාර වේලක් මිස වත්මන් අවමඟුල් නිවෙස්වලින් සැපයෙන රස මසවුළු සහිත භෝජන සංග්‍රහයක් ද නොවිණි. 

අද වන විට මෙම අවමඟුල් භෝජන සංග්‍රහ සංස්කෘතිය සමාජයේ කෙතරම් ඔඩු දුවා තිබේ ද යත් “කන්නම බලාගෙන මළ ගෙවල්වල යන” පිරිස් ගැන ද අසන්නට ලැබේ. මල් වඩම්, බැනර්, වීඩියෝ, ඡායාරූප, දාන ශාලා, ශෝක ප්‍රකාශන දැන්වීම්, අවමංගල්‍යාගාර කුලී, ආහාර සැපයුම් (catering) මේ සියල්ල එක් වූ විට මධ්‍යම පාන්තික පවුලකට අවමඟුලක් යනු ලක්ෂ ගණනක වියදමකි.

 මෙම අසතුටුදායක තත්ත්වය දිගින් දිගටම පැවතීම මත තම පවුලේ සාමාජිකයකු මිය යාමෙන් එම පවුලේ සාමාජිකයන් තුළ ඇති වන වියෝ දුකට අමතරව ආර්ථිකමය වශයෙන් ද කබලෙන් ලිපට වැටීමේ ද්විතීයික ඛේදවාචකය වළක්වා ගැනීම පිණිස යමකු මිය ගිය පසු එම මෘත දේහය අවමංගල්‍යාගාර (funeral parlors) වල තැන්පත් කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණි. එහෙත් මේ වන විට ඒවා ආශ්‍රිතව ද භෝජනාගාර සහ ආහාර සැපයුම් සේවා සැපයීමේ ව්‍යාපාර ජාල ප්‍රවර්ධනය වීම මත මධ්‍යම පාන්තික සමාජය යෙදීමට සැලසුම් කොට තිබූ ඒ ආරක්ෂක උපාය මාර්ගය ද ව්‍යර්ථ වන බවක් පෙනේ.

 

නමුත් ඉස්ලාමීය අවමඟුල තවමත් එදා මෙන්ම සරලයි

 

 

නමුත් වත්මන් සමාජයේ පොදු අවමංගල්‍යයන් අධික වියදම් සහිත, සංකීර්ණ සහ වාණිජකරණය වූ උත්සව බවට පත්ව තිබුණද, ඉස්ලාමීය ඉගැන්වීම් සහ නීති පද්ධතියට (Sharia) අනුකූලව මුස්ලිම් අවමංගල්‍ය චාරිත්‍ර අතීතයේ මෙන්ම අදට ද ඉතා සරල, චාම් සහ නිශ්චිත ආගමික රාමුවක් තුළ පවත්වාගෙන යනු ලබයි. 

එමෙන්ම පොදු අවමංගල්‍ය උත්සවවල මෑතක සිට දක්නට ලැබෙන නවාංගයන් හා විවිධත්වයන් කිසිත් නොමැති මේවායේ ඇති ප්‍රධානතම සුවිශේෂතාව වන්නේ ලෞකික ආටෝපය වෙනුවට අධ්‍යාත්මික චාම් බවත්, මියගිය අය වෙනුවෙන් කරනු ලබන ශුද්ධ වූ ආගමික වගකීම් සමුදායත් පෙරදැරි කරගැනීමයි. එමෙන්ම තම මහන්තත්ත බව පෙන්වීමට අවමඟුල යොදා ගැනීම ද ඉස්ලාමීය ඉගැන්වීම්වලට සපුරාම පටහැනිය. “අධික වියදම්කාරී දේ, ආඩම්බරය සහ අපතේ යැවීමෙන් වළකින්න” යනුවෙන් නබි (සල්) තුමා ද පවසා තිබේ.

 “අවසන් ගෞරවය” යන සංකල්පය ඉස්ලාමයේ නැත්තේ ඇයි?

 

oo

 

නූතන ලෝකයේ අවමඟුල් සම්බන්ධයෙන් බහුලව දක්නට ලැබෙන පුද්ගල බද්ධ “අවසන් ගෞරවය දැක්වීම” (final respects / tributes) යන යෙදුම මුස්ලිම් මෘත දේහයක් සම්බන්ධයෙන් භාවිත කිරීම කිසිසේත්ම ආගමානුකූල නැත. ඊට ප්‍රධාන හේතු කිහිපයක් පවතී.

 

සැමදේම අල්ලාහ් උදෙසා වීම:
ඉස්ලාමයේ මූලික පදනම වන්නේ සියලු ගෞරවය, නැමදීම සහ කැප කිරීම් අල්ලාහ් (අල්ලාහු තආලා) දෙවියන් උදෙසා පමණක්ම විය යුතු යන්නයි. මියගිය පුද්ගලයාගේ දේහයට හෝ මතකයට ගෞරව දැක්වීමට වඩා, එම අවස්ථාවේදී ඔහුගේ නාමයෙන් අල්ලාහ්ගේ අභිමතයට යටත් වීම ප්‍රමුඛ වේ. එහිදී මුස්ලිම් ජාතිකයන් මියගිය තැනැත්තා දෙසට නොව අල්ලාහ් දෙසට අනිවාර්යයෙන්ම යොමු විය යුතු වේ.

 

අවසන් ගෞරවයට වඩා “ප්‍රාර්ථනාව” (දුආ) ප්‍රධාන වීම:
යමකුගේ අවමංගල්‍යයකදී මියගිය තැන්පත් තැන්පත් වෙනුවෙන් සිදු කරන්නේ ගෞරව දැක්වීමකට වඩා ඔවුන්ගේ පාපයන්ට සමාව අයැදීම සහ පරලොව ජීවිතය සාර්ථක කර දෙන ලෙස අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින ප්‍රාර්ථනාවන් ය.

 

ඉස්ලාමය පුද්ගල වන්දනාව ප්‍රතික්ෂේප කිරීම:
මෘත දේහයකට මල් තැබීම, දේහයට ආචාර කිරීම, ඊට ගෞරව පිණිස මිනිත්තුවක නිශ්ශබ්දතාව රැකීම, පහන් දැල්වීම වැනි ලෞකික ගෞරව දැක්වීම් ඉස්ලාමය මඟින් අනුමත නොකෙරේ. මන්ද යත්, ඕනෑම මනුෂ්‍යයෙකුගේ අවසානය අල්ලාහ් වෙත ආපසු යෑමයි. අල්-කුර්ආනයේ සඳහන් වන පරිදි “ඉන්නා ලිල්ලාහි ව ඉන්නා ඉලයිහි රාජිඌන්” (අපි අල්ලාහ් උදෙසාමය, නැවත කැඳවනු ලබන්නේද ඔහු වෙතටමය) (2:156) යනු ඉස්ලාමීය ඉගැන්වීම් ය.

 

එබැවින් මුස්ලිම් සමාජය තුළ අවමංගල්‍යයකදී “අවසන් ගෞරව දක්වනවා” කියනවාට වඩා “ජනාසා ප්‍රාර්ථනාවට (දුආ) සහභාගී වෙනවා” හෝ “තඃසියා (ශෝකය ප්‍රකාශ කිරීම) කරනවා” යන්න භාවිත කිරීම වඩාත් ආගමානුකූලව සහ සංකල්පීයව නිවැරදි වේ.

 

මුස්ලිම් අවමඟුලක ප්‍රධාන අංග – අල්-ජනාසා

 

මුස්ලිම් අවමංගල්‍ය චාරිත්‍ර මාලාව අල්-ජනාසා ලෙස හඳුන්වනු ලබයි. එහි සෑම අදියරක්ම අල්ලාහ් දෙවියන්ගේ නියෝග සහ මුහම්මද් නබිනායකතුමාණන්ගේ මගපෙන්වීම් (Sunnah) මත පදනම් වේ.

 

ඉක්මන් අවමංගල්‍ය කටයුතු:
පුද්ගලයකු මියගිය පසු හැකි තරම් ඉක්මනින් (සාමාන්‍යයෙන් පැය 24ක් ඇතුළත, බොහෝ විට පැය කිහිපයක් ඇතුළත) දේහය භූමදානය කිරීම ප්‍රධානතම ආගමික පූර්ව අවශ්‍යතාවයි. නබි (සල්) තුමා පැවසූහ: “ජනාසාව ඉක්මන් කරන්න. එය යහපත් කෙනෙකු නම් ඔබ ඔහුව යහපත වෙත යොමු කරන්නෙහි ය. වෙනත් දෙයක් නම් ඔබ ඔබේ කරෙන් නපුරක් ඉවත් කරන්නෙහිය.” (බුහාරි, මුස්ලිම්). දේහය දින ගණනක් තබා ගැනීම, බෙහෙත් ගල්වා කෘත්‍රිමව සකසා ප්‍රදර්ශනය කිරීම සිදු නොවන අතර, එමගින් මෘත දේහයට සිදුවිය හැකි විකෘතිතාවයන් සහ නාස්තිය වළක්වයි.

 

දේහය සේදීම සහ සැරසීම (ගුස්ල් සහ කෆන්):
ගුස්ල්: මෘත දේහය විශේෂිත ආගමික ක්‍රමවේදයකට අනුව පිරිසිදු ජලයෙන්, ඇතැම් විට කොහොඹ කොළ මිශ්‍ර ජලයෙන් සෝදා පිරිසිදු කරනු ලබයි. (පිරිමි දේහයන් පිරිමින් විසින්ද, කාන්තා දේහයන් කාන්තාවන් විසින්ද සෝදනු ලැබේ).

 

කෆන්:
පිරිසිදු කිරීමෙන් පසු, කිසිදු මෝස්තරයකින්, වර්ණයකින් හෝ මිල අධික බවකින් තොර සරල සුදු රෙදි කඩකින් (පිරිමින්ට කැබලි 3ක්, කාන්තාවන්ට කැබලි 5ක්) පමණක් දේහය ආවරණය කරනු ලබයි. මෙම සුදු රෙද්ද ධනවතා සහ දුප්පතා අතර වෙනස නැති කරයි.

 a7ad4a8a 5cce 45d0 90eb 6170e94b83b2

 

සරල දේහ තැන්පත් කිරීම:
මිල අධික පෙට්ටි (caskets) වෙනුවට මෘත දේහය පල්ලිය මගින් සපයන පොදු දේහ වාහකය (ජනාසා පෙට්ටිය) තුළ තබා පල්ලිය වෙත ගෙන යනු ලබයි. භූමදානය කරනු ලබන්නේද කිසිදු පෙට්ටියක් නොමැතිව, රෙදි කඩින් ආවරණය වූ දේහය පමණි. මෙහිදී දේහය පස්වලටම පාවා දීම අරමුණයි.

 

ජනාසා යැදුම (ජනාසා නමාසය):
පල්ලියේදී හෝ සුසාන භූමියේදී මියගිය තැනැත්තා තැන්පත් කිරීමට පෙර ඉස්ලාමීය ආගමික නායකයන් සහ පැමිණ සිටින සියල්ලන් එක්ව සිදුකරන විශේෂ අවමංගල්‍ය යැදුමයි. මෙහිදී මියගිය තැනැත්තාගේ පාපයන්ට සමාව අයැදීම සහ පරලොව සුගතිය ප්‍රාර්ථනා කිරීම සිදුකෙරේ. මෙය මියගිය අයට ජීවතුන් අතර සිටින්නන්ට කළ හැකි උතුම්ම ත්‍යාගයයි.

 

භූමදානය:
සාමාන්‍යයෙන් පල්ලියට අයත් හෝ පොදු සුසාන භූමියක දේහය පස් යට තැන්පත් කෙරේ. සොහොන් බිම්වල අධික වියදම් දරා ස්මාරක, පිළිම, කිරිගරුඬ තහඩු ඉදි කිරීම, සොහොන් උස් කර තැනීම ඉස්ලාමය තුළ දැඩිව තහනම් කර ඇත. සෑම සොහොනක්ම එක හා සමාන ලෙස සරලව, පස් ගොඩක් ලෙස පමණක් පවතී. නබි (සල්) තුමා සොහොන් සුදු හුනු ගෑම, ඒ මත ගොඩනැගිලි තැනීම සහ ඒ මත වාඩි වීම තහනම් කළහ.

 

ආහාර සංස්කෘතියේ ආදර්ශය:
මියගිය අයගේ නිවැසියන් පැමිණෙන පිරිස් සඳහා භෝජන සංග්‍රහ පැවැත්වීම වෙනුවට, ශෝකයට පත් පවුල වෙත අසල්වාසීන් සහ ඥාතීන් විසින් ආහාර සපයා දීම ඉස්ලාමීය සම්ප්‍රදායයි. මෙය ජාෆර් (රළි) ගේ පවුල වෙනුවෙන් නබි (සල්) තුමා දුන් උපදෙස අනුව යන සම්ප්‍රදායකි: “ජාෆර්ගේ පවුලට ආහාර සාදා දෙන්න, ඔවුන්ට ඔවුන්ගේ කාර්යයෙන් ඈත් කරන කරදරයක් පැමිණ ඇත.” (තිර්මිදි). මෙහිදී ශෝක නිවස රස මසවුළු පිරි අවන්හලක් නොවී, ශෝකය බෙදා ගන්නා ස්ථානයක් බවට පත් වේ.

 

සමානාත්මතාව (Equality):
පෝසත්, දුප්පත්, රජ, වැසියා භේදයකින් තොරව සෑම මුස්ලිම්වරයෙකුගේම අවමංගල්‍ය චාරිත්‍ර එකම සරල ආකාරයකට සිදු වීම මගින් අනවශ්‍ය වාණිජකරණය සහ තරඟකාරීත්වය සම්පූර්ණයෙන්ම වළක්වයි. ජනාධිපතිවරයාගේ සිට සාමාන්‍ය කම්කරුවා දක්වා සියල්ලන්ටම එකම සුදු රෙද්ද, එකම පොළොව, එකම යැදුමයි.

 

නිගමනය

bakerview islamic burial

ඒ අනුව ඉහත සඳහන් අධ්‍යාත්මික කරුණු පසෙක තැබුවද, ඉස්ලාමීය අවමංගල්‍ය චාරිත්‍රවල පවතින සරල හා චාම් බව අනුගමනය කිරීමෙන් පොදු සමාජයේ බොහෝ දෙනා කබලෙන් ලිපට වැටීම් වළක්වා ගත හැකි බව අපගේ විශ්වාසයයි.

 

fathima(සටහන | ෆාතිමා හලල්දීන්)

උපුටා ගැනීම - vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...