මහනාහිමිවරුන්ගේ අවධානය, විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණ සහ මොනෑක් ඉම්පීරියල්හිදී ඇරඹි සමාජ මාධ්‍ය බලමුළුව
අකිල විරාජ් රිමාන්ඩ් කිරීමට එරෙහිව එජාප නායකත්වයේ දැඩි කලකිරීම පළවන පසුබිමක, විනිසුරු විශ්‍රාම වයස් සංශෝධනය මුල්කරගනිමින් විපක්ෂය, මහනාහිමිවරුන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් රජයට එරෙහිව එක්සත් පෙරමුණක් කරා පෙළගැසෙයි.
'' අපිට පුද්ගලයන් ගැන ප්‍රශ්නයක් නැහැ''
ජනපති සහ නීතිඥ සංගමය අතර හමුවද පුස්සක් බවට පත්ව තිබේ. ඒ පසුබිම යටතේ විපක්ෂයේ එකතුව තවත් ශක්තිමත් වන බවට අනාවැකි පළවී ඇත.
මෑතකදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය දෙවරකදී රැස්විය. එහිදී වැඩිපුරම අවධානය යොමු වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවයි. එමෙන්ම විනිසුරු වයස වැඩි කිරීමේ තීරණය පිළිබඳව ජන මත විචාරණයක් අවශ්‍ය බවද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී දැඩිව සාකච්ඡාවට ලක් කෙරිණි.
එහිදී අදහස් දක්වමින් නායක රනිල් කීවේ මෙවැන්නකි.
''නඩු ලක්ෂ එකොළහක් ගොඩ ගැහිලා තියෙනවා. බහුතරයක් තිබෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණ වල සහ දිස්ත්‍රික් උසාවි වලයි. උපරිමාධිකරණ වල නඩු දහ දාහක්වත් ගොඩ ගැහිලා නැහැ. ඊටත් වඩා අඩුයි. අඩු ගණනේ අපි නඩු ලක්ෂයක්වත් අවුරුද්දකට ඉවර කරන්න ඕන. ඒ කාරණය සඳහා ජන මත විචාරණයක් අවශ්‍ය වේවි. විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස දිගු කරන්න ආණ්ඩුවෙන් තීරණයක් ගත්තා නම් ඒකට ජනමත විචාරණයක් ලබාගන්න තිබෙනවා. ඒ කාරණා සඳහා නීති සංගමය සහ අනෙක් පක්ෂ සමගත් අප සාකච්ඡා කරනවා. ඒ වගේම අපිට පුද්ගලයන් ගැන ප්‍රශ්නයක් නැහැ. අපට තියෙන්නෙ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්. ජනතාවගේ අයිතිවාසිකම ජනතාව ආරක්ෂා කර ගන්න ඕන. ඒක හොරකම් කරන්න ඉඩ දෙන්න බෑ" රනිල් කීවේය.
''පක්ෂ නව ප්‍රතිසංවිධාන අත ගසා උනන්දුවෙන් නොකළහොත් තිස්පහෙන් අඩු අයට දේශපාලනය එපා වේවි ''

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරය මෙවර මහා ඉහළින් පැවැත්වීමට තීරණය වී තිබේ. සැප්තැම්බරයෙන් පටන්ගෙන දෙසැම්බර් දක්වාම විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමට නියමිතය. ජේ.ආර් ජයවර්ධන 120 වැනි උපත් සංවත්සරය ද මේ දිනවලටම යෙදී තිබෙයි. ඒ වැඩ කටයුතු සංවිධාන කිරීමේ වගකීම බාරදී ඇත්තේ හරීන් ප්‍රනාන්දුටයි.
පක්ෂ නව ප්‍රතිසංවිධාන අත ගසා උනන්දුවෙන් නොකළහොත් තිස්පහෙන් අඩු අයට දේශපාලනය එපා වන බව රනිල්ගේ මතය විය.
" ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ තත්ත්වය එයයි. ඒ වගේම විබෞද්ධකරණයට විරුද්ධ වීමට අප මූලිකවම තීරණය කරලා තිබෙනවා. ඒ වගේම මේ රටේ ආගමික නිදහසක් තිබිය යුතුයි. ඒ නිසා සුළු ආගම් ආරක්ෂා කිරීම පිළිබඳවත් අපි ප්‍රකාශයක් කළ යුතුව තිබෙනවා. ද්‍රවිඩ භාෂාවෙන් ක්‍රියා කිරීමේ පවතින අඩුපාඩුකම් ද හඳුනාගත යුතුයි. ''
පක්ෂ ක්‍රියාකාරීන් හමුවේ එලෙස අදහස් දක්වමින් සිටි රනිල් ඔවුන් හමුවේ ඉතා වැදගත් මතයක් ගෙනහැර දැක්වූයේ මෙසේය.
''ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් කළ යුතුව තියෙනවා''
"ඒ වගේම සිංහල දෙමළ රජයේ භාෂා සහ ජාතික භාෂා කරන අතර ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් කළ යුතුව තියෙනවා. අපි කොච්චර කෑගැහුවත් ඇත්ත කාරණය ඒක තමයි.

අනෙක් භාෂා ඉගෙන ගැනීමේ පහසුකම ඇති කිරීමත් රජයට තිබෙනවා. ඒ වගේම අලුත් ලෝකයට අවශ්‍ය කරන ඒ.අයි-අයි.ටී දැනුම ලබා ගැනීමට පහසුකම් ඇති කළ යුතුව තිබෙනවා. ඉංග්‍රීසි දැන් ලෝක භාෂාවක් බවට පත්වෙලා හමාරයි. භාෂාව අධිරාජ්‍යයෙන් ගත්තට දැන් අධිරාජ්‍යය නැතිවෙලා භාෂාව අධිරාජ්‍ය වෙලා.''
"ඉන්දියාව සුද්දා පැන්නුවට භාෂාව තියාගත්තා" දිනිත් කීය.
" 82 දී මම ඉංග්‍රීසි උගන්වන වැඩ පිළිවෙල හදන්න අඩිතාලම දානකොට ජනතා විමුක්ති පෙරමුණ, විජේවීර ඒකට විරුද්ධව වැඩ කළා'' රනිල් කීවේ කම්පාවෙනි.
අකිල ගැන පරීක්ෂණ මෙහෙයවන ලොක්කෙකුට අකිල ගැන තියන තරහ මෙන්න !
අකිල විරාජ් රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් එජාප නායකයන් සියලු දෙනාම සිටියේ කනස්සල්ලෙනි.
"ගල් අඟුරු චෝදනාව පැහැදිලිවම ඔප්පු වෙලා තියෙද්දි ඊට අදාල ඇමැති කෝටි ගණනක වරදකට වගකිව යුතුව තියෙද්දි ඒක යට ගහන්න කොමිෂන් දානවා. ලක්ෂ විස්සක මොකක්ද සිද්ධියක් කියලා අකිල රිමාන්ඩ් කරනවා" වජිර කීවේය.

" එයාට ඔය මුදලක් වැඩක් නෑ. මම දන්නවා එතුමා කුලියාපිටියේ හොඳ පවුලකින් ඇවිල්ලා තියෙන්නෙ. පෞද්ගලිකවත් එයාට ව්‍යාපාර තියෙනවා. ළඟම පාසල හොඳම පාසල් ව්‍යාපෘතිය කළා. සංස්කෘතික ත්‍රිකෝණය නැවත ලාභ ලබන ව්‍යාපෘතියක් බවට පත් කළා. ඒ වගේම තවත් ව්‍යාපෘති ගොඩක් කළා. ඒ එකකින් වත් හම්බ කරපු නැති මිනිහා මේවයින් හම්බ කරන්නේ මොකටද? රනිල් කීවේ ඊට පිළිතුරක් ලෙසිනි.
" අපි දන්නෑ ඒ උදව්වට සල්ලි දුන්නද කිරි මුට්ටියක් දුන්නද? ඒවත් අපි හොයලා බලන්න ඕන" රනිල් කීවේ හිනා වෙමිනි.
මහා නාහිමිවරු ඒකාබද්ධ විපක්ෂ නායකයින්ට කියපු කතාව !
මේ අතරේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ ඉකුත් සතියේ මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවූහ. එහිදී මල්වතු මහනාහිමියන් ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සමඟ ප්‍රකාශ කර ඇත්තේ විනිසුරු විශ්‍රාම වයස සම්බන්ධයෙන් තමන් වහන්සේලා ජනපතිට යැවූ ලිපියට වෙච්ච දෙයක් නැති බවයි.
මහනාහිමිවරුන්ගේ ලිපියක් එලෙස නොසලකා හැරීම විශාල වරදක් බව ඒකාබද්ධ විපක්ෂ නායකයෝද එහිදී පෙන්වා දුන්හ. එවැනි ලිපියක් ගැන නොදන්නා බව අධිකරණ ඇමතිවරයාද පවසා තිබිණි. එයින් පෙනෙන්නේ නීතිඥ සංගමය සිවිල් සංවිධාන අතර පමණක් නොව ආණ්ඩුව ඇතුලේ ද මේ ගැන සංවාදයක් නොමැති බව යැයි මහාචාර්ය ජී.එල් කීය.
"වෙනිස් කොමිසම" මුළු ලෝකෙම පිළිගත්ත සම්ප්‍රදායක්. මෙහෙම දෙයක් කරන්න පෙර සමාජය පුරාම පුළුල් සංවාදයක් අවශ්‍ය බව එහි පැහැදිලිව සඳහන්ව තිබෙනවා. අනෙක ගන්න පියවර ඔක්කොම අරගෙන ගැසට් කරලා ඉවර වෙලා නීතිඥ සංගමය හමුවීමෙන් තියෙන ඵලය කුමක්ද? දැන් නීතිඥ සංගමය හමුවෙන එක ඇස්බැන්දුම් වැඩක්. සාකච්ඡාවක ප්‍රයෝජනය තියෙන්නේ තීරණය ගන්න ඉස්සෙල්ලා. නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් හැටියට සහ හිටපු අධිකරණ ඇමතිවරයෙක් හැටියට පෞද්ගලිකවම මම අධිකරණයට යන්න තීරණය කර තියෙනවා. විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම නඩු ප්‍රමාදය සඳහා කිසිම ප්‍රයෝජනයක් නොවන බව එලෙස අධිකරණයට ගිහින් බොහොම පැහැදිලිව ඒත්තු ගන්වනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙතෙක් දුරට බොහෝ අවිවාදයෙන් මෙන්ම ගෞරවයෙන් සලකපු ආයතනයක්. එවැනි ආයතනයකට සමාජයේ ලොකු බෙදීමක් ඇති කරනවා. එය ආයතනයට දීර්ඝ කාලීන හානියක්. විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් වඩා පුළුල් ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබඳ සමාජයේ තිබෙන පූර්ණ නොසැලෙන විශ්වාසයයි.
පොලිසියේ විශ්‍රාම වයස දිගු කිරීමට අවධානය යොමු කරගෙන යන බව ආණ්ඩුව දැනටමත් කියනවා. එතකොට මේක නවතින්නෙ කොතනින්ද? මේ අතර හෙදියන්ගේ සංගමයත් වයස වැඩි කරන ලෙස ඉල්ලා තිබෙනවා. විශ්ව විද්‍යාල, විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීම් කරනවා. මේක නැති ප්‍රශ්න ඇති කිරීමක්. තිබෙන ප්‍රශ්නයක් කිසිසේත් විසඳීමක් නොවේ.
ඇත්තෙන්ම සමාජයේ ඇත්ත ප්‍රශ්න ගොඩක් තිබෙනවා . ගොවීන්ගේ ප්‍රශ්න, ග්‍රාම සේවකයන්ගේගේ ප්‍රශ්න, රෝහල් වල බෙහෙත් නැති ප්‍රශ්න, ජීවන වියදම ඉහළ යාම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්න මේ ඔක්කොම තිබියදී රජය සම්පූර්ණයෙන් ශ්‍රමය කාලය වැය කරන්නේ මේ ප්‍රශ්නයටයි. ඉතින් මේ ප්‍රමුඛතා රටේ අවශ්‍යතා වලට ගැලපෙනවාද? මේ ජනමත විචාරණයකින් තොරව කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් උසාවියට යන්න අප පැහැදිලිව තීරණය කර තිබෙනවා .එමෙන්ම මේ කරුණු ඇතුළත් කර ජනපතිට සංදේශයක් යොමු කරන්නත් අප තීරණය කළා එහි ප්‍රථම අත්සන රනිල්ගේ, ජී.එල් පක්ෂ නායකයන් හමුවේ පැහැදිලි කිරීමක් කළේය.
මොනෑක් ඉම්පීරියල් හෝටලයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සාදය
මේ සතියේ සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වන්නේ විපක්ෂයේ පක්ෂ අතර එකමුතුකමක් ගොඩනැගෙන මූලික ක්‍රියාදාමයක් ඇරඹීමයි. එම කටයුත්ත සිදු වූයේ බත්තරමුල්ල මොනෑක් ඉම්පීරියල් හෝටලයේදීය. ඒ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වෙනුවෙන් සංවිධාන කළ සුහද හමුවක් සහ රාත්‍රී භෝජනයකි. පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, සජබ නියෝජනය කරමින් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඊට සහභාගී වූහ.

එමෙන්ම විපක්ෂයේ හැම පක්‍ෂයකටම සම්බන්ධව ක්‍රියා කරන සහ ස්වාධීනව කටයුතු කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු මීට සම්බන්ධ වී සිටියහ. ඇරැඹුමේදීම නීතිඥ සාගර කාරියවසම් කෙටි හඳුන්වා දීමක් කළේය. අනතුරුව නීතිඥ සංජීව අදහස් පළ කරමින් අධිකරණ ක්ෂේත්‍රයේ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාකාරකම් රැසක් අනාවරණය කළේය. එහි රහස් ලෙස සැලකිය හැකි කරුණු ද තිබිණි.
ප්‍රධාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරන වරුණ රාජපක්ෂ, චරිත් අබේසිංහ ආදීහුද සහභාගි වී සිටියහ. නායක රනිල් නියෝජනය කරමින් එහි ගොස් සිටියේ හිටපු ප්‍රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න සහ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්නත්ය. ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකාරක බිනෝයි හෙට්ටිආරච්චිත් එහි සිටියේය.
විමල් , සාගර, උදය සහ ජෝන්ස්ටන් වාඩි වී සිටි මේසයේදී හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවේ " අපි ඔක්කොටම වෙන වෙන සම්බන්ධතා තියෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සිටිනවා. ජාතික ප්‍රශ්නවලදී මේ සියලුම දෙනා එක ලයින් එකක් ගන්න අපි අතර එකමුතුවක් තිබුණොත් හොඳයි" යනුවෙනි. විමල් වීරවංශ ඊට ඉහළින්ම කැමැත්ත පළ කළේය.
" මගේ සමාජ මාධ්‍යයට සම්බන්ධ කෙනා ඔබලාට සම්බන්ධ කර දෙන්නම්" විමල් එහිදී කීය. සාගර කාරියවසම් සහ උදය ගම්මන්පිල ද ඊට එකඟත්වය පළ කළහ. පළමුව පක්ෂවල ප්‍රධාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් පටන් ගෙන පසුව ලොකු ජාලයක් බිහි කිරීමටද මෙහිදී කථිකා විය. පක්ෂ අතර මෙවැනි තත්ත්වයක් ඇතිවූයේ ප්‍රථම වතාවටයි. එහිදී සියලු ක්‍රියාකාරීන් තම තමන්ගේ පක්ෂය ඉදිරියට නොදා පොදු මතයකට පැමිණීම විශේෂත්වයක් විය.
(සටහන | මල් පාරේ ලියුම්කරු)




