BREAKING
ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●
Top Ad
විශේෂාංග

අල්ලපු ගෙදර ප්‍රේමදාසවරු සහ අලුත්කඩේ! ‌| උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

T

The Leader Desk

August 16, 2026 • 7:11 AM

අල්ලපු ගෙදර ප්‍රේමදාසවරු සහ අලුත්කඩේ! ‌| උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රණසිංහ ප්‍රේමදාසගේ සිට සජිත් දක්වා අධිකරණ නිදහස වෙනුවෙන් පෙනී සිටි හැටි සහ අද මතුව ඇති සුජාතභාවය පිළිබඳ විග්‍රහයක්.
  • ප්‍රේමදාස අලුත්කඩේට බලය පෙන්වන්න නොගියත් ඔහු ජනාධිපති ලෙස තේරී පත්වීමට එරෙහිව බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපත් කළ ඡන්ද පෙත්සමට බයවී සිටියේය.
  • නීති පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයට ජනාධිපති ප්‍රේමදාසට සහ අගවිනිසුරු පාරින්ද රණසිංහට ආරාධනා කර තිබිණි.
  • එක් විනිසුරුවරයෙක් ප්‍රේමදාසගේ පත්වීම අභියෝග කරමින් පෙත්සම ඉදිරිපත් කළ බණ්ඩාරනායක මැතිනියට පක්ෂව තීන්දුව ප්‍රකාශයට පත්කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


දෝෂාභියෝග සටනේ සිට 22 වැනි සංශෝධනය දක්වා විනිසුරුවන් වෙනුවෙන් සජිත් හඬ නැගූ පසුබිම.


‘කතානායකතුමනි, අලුත්කඩේ වීසි කරන නඩු කොපි ඔක්කොම වැටෙන්නේ සුචරිතයට. මම නීතිඥයෙක් නෙවේ. ඒත් ඔය වීසි කරන නඩු කොපි කියවලා තමයි මම නීතිය ඉගෙන ගත්තේ. මහලොකු නීතිඥයෝ අහනවා ප්‍රේමදාස කොහොමද නීතිය දන්නේ කියලා. මගේ වාසනාවට මම පදිංචි වුණේ අලුත්කඩේ අල්ලපු වත්තේ කතානායකතුමනි…’

රණසිංහ ප්‍රේමදාස වරක් අගමැති ධුරය දරන කාලයේ මේ කතාව කියමින් පාර්ලිමේන්තුව දෙවනත් කළේ අපහාස නඩුවක් දිනලාය. ප්‍රේමදාසට අපහාස කළේ එවක ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනියය. ප්‍රේමදාසගේ ළමයින්ව පිටරට විශ්වවිද්‍යාලවලට උගන්වන්න යවන්න ප්‍රේමදාසට සල්ලි කොහෙන්දැයි ඇය ප්‍රසිද්ධ වේදිකාවක ඇසුවාය. ඇගේ එම කතාව ඇගේ සහෝදරයා වූ සීවලී රත්වත්තේගේ ‘දිවයින’ පුවත්පතේ පළවිය. ප්‍රේමදාස ‘දිවයින’ පුවත්පතට නඩු දැම්මේය. ඒ, ‘දිවයින’ පුවත්පතෙන් විශාල වන්දියක් ඉල්ලලාය. ප්‍රේමදාස නඩුව දින්නේය. ‘දිවයින’ පුවත්පතට වන්දිය ගෙවන්න සිදුවිය. ප්‍රේමදාස ඒ වන්දි මුදල මවුපියන් අහිමි හෝ මවුපියන්ට කිසිත් කරකියාගත නොහැකි දුප්පත් පවුල්වල ළමයින්ට ඉගෙනගන්න ආධාර කරන කැපකරු මාපිය ක්‍රමයට දුන්නේය. ප්‍රේමදාසගේ හැම නඩුවක්ම කතා කළේ කේ.එන්. චොක්සිය.

ජ්‍යෙෂ්ඨත්වයට ගරු කළ ආර්. ප්‍රේමදාසගේ යුගය

1525139363 ranasingha Premadasa L
චොක්සි අලුත්කඩේ ජනප්‍රිය නීතිඥයෙක් නොවීය. ප්‍රේමදාස චොක්සිව පාවිච්චි කළේ නීතිඥයන් සහ විනිසුරුවන් සමග සබඳකම් හදාගන්න නොව ප්‍රේමදාසගේ නඩු කතාකරන්නටය. ප්‍රේමදාස කවදාවත් අධිකරණයට බලපෑම් කළේ නැත. ඔහු ජනාධිපති වනවිට අගවිනිසුරු ධුරයේ සිටියේ වත්මන් නීතිපති පාරින්ද රණසිංහගේ පියා වූ ජ්‍යෙෂ්ඨ පාරින්ද රණසිංහය. ඔහු පාරින්දව වෙනස් කරන්න උත්සාහයක්වත් ගත්තේ නැත. පාරින්දව පත්කළේ ජේ.ආර්.ය. පාරින්දට පසු ප්‍රේමදාස අගවිනිසුරු ධුරයට පත්කළේ හර්බට් තම්බයියාවය. ප්‍රේමදාස ඔහුව අගවිනිසුරු ධුරයට පත්කළේ ජ්‍යෙෂ්ඨත්වය සලකලාය. ඔහු විශ්‍රාම ගිය විට ප්‍රේමදාස අගවිනිසුරු ධුරයට පත්කළේ ජී.පී.එස්.ඩී. සිල්වාය. ජී.පී.එස්.ඩී. සිල්වාව අගවිනිසුරු ධුරයට පත්කළේත් ජ්‍යෙෂ්ඨත්වය සලකලාය. ප්‍රේමදාසට කලින් සිටි ජේ.ආර්.හෝ ප්‍රේමදාසට පසුව ජනාධිපති වූ චන්ද්‍රිකා අගවිනිසුරු ධුරවලට පත්කළේ ඔවුන්ගේ මිත්‍රයන්ය. ඒ, සුදුසුකම් සපුරා ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරු ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටියදීය. ජේ.ආර්. පත්කළේ ඔහුගේ මිත්‍ර නීතිඥ නෙවිල් සමරකෝන්ය. චන්ද්‍රිකා පත්කළේ නීතිපති සරත් සිල්වාය.

ප්‍රේමදාස අලුත්කඩේට බලය පෙන්වන්න නොගියත් ඔහු ජනාධිපති ලෙස තේරී පත්වීමට එරෙහිව බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපත් කළ ඡන්ද පෙත්සමට බයවී සිටියේය. පෙත්සම විභාග වෙද්දී කොළඹ නීති පුස්තකාලය විවෘත කිරීමට නියමිතව තිබිණි. නීති පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයට ජනාධිපති ප්‍රේමදාසට සහ අගවිනිසුරු පාරින්ද රණසිංහට ආරාධනා කර තිබිණි.

ප්‍රේමදාසට එරෙහිව විභාග වන ඡන්ද පෙත්සමේ විනිසුරු මඬුල්ල නම් කරලා තිබුණේ අගවිනිසුරු පාරින්ද රණසිංහය. ජනාධිපතිට එරෙහිව තීරණාත්මක නඩුවක් විභාග වන නිසා ජනාධිපතිවරයා සහභාගි වන උත්සවයකට ඔහු සමග පෙනීසිටීම සදාචාරාත්මක නැතැයි සිතා අගවිනිසුරු පාරින්ද රණසිංහ උත්සවයට සහභාගි නොවී සිටීමට තීරණය කළේය. ප්‍රේමදාසට මෙය ආරංචි විය. අගවිනිසුරු එම උත්සවයට සහභාගි වීම අනිවාර්ය යැයි කී ප්‍රේමදාස අගවිනිසුරු අපහසුතාවට පත්කරන්න එම උත්සවයට සහභාගි නොවීමට තීරණය කළේය.

ප්‍රේමදාසගේ පත්වීමට එරෙහි පෙත්සමට ලැබුණේ බෙදුණු තීන්දුවකි. එක් විනිසුරුවරයෙක් ප්‍රේමදාසගේ පත්වීම අභියෝග කරමින් පෙත්සම ඉදිරිපත් කළ බණ්ඩාරනායක මැතිනියට පක්ෂව තීන්දුව ප්‍රකාශයට පත්කළේය. ඒත් ප්‍රේමදාස ඒ තීන්දුව දුන්න විනිසුරුගේ පසුපස පන්නන්න ගියේ නැත.

ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයට පත්වන විට අගවිනිසුරු ධුරයේ සිටියේ ජයන්ත ජයසූරියය. ජයන්ත ජයසූරියලාගේ පවුල ප්‍රේමදාසට සමීපය. ඔහුගේ සමීප ඥාතියෙක් වූ කොණ්ඩ වෙදමහත්තයා ප්‍රේමදාස ජාතික ලැයිස්තුවට පත් කළේය. ඒත් සජිත් ඒ සමීපකම්වලින් බලපෑම් කරන්න ගියේ නැත. අවසානයේ ජයන්ත ජයසූරියව විදේශ තානාපතිවරයෙක් කර යැව්වේ අනුරය.

දෝෂාභියෝගයට එරෙහිව මිනිත්තු 10ක පාර්ලිමේන්තු සටන 

hioph989
2013 මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මහින්ද විසින්ම පත්කළ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ වෙලාවේ එවක විපක්ෂ නායක සහ යූ.ඇන්.පී. නායක රනිල් අධිකරණයට වඩා පාර්ලිමේන්තුව සුප්‍රීම් කියා ශිරාණි බණ්ඩාරනායකගේ දෝෂාභියෝගයට එරෙහිව උසාවි ගිය විට උසාවියේ නඩු අහන විට ඊට සහභාගි වීම යූ.ඇන්.පී. මන්ත්‍රීවරුන්ට තහනම් කළේය. 

 
ඒ කාලයේ සජිත් ඇතුළු මන්ත්‍රීවරු කණ්ඩායමක් රනිල්ගේ නායකත්වයට එරෙහිව කැරැලි ගසමින් සිටියහ. රනිල්ගේ තීරණයෙන් වාසි වෙන්නේ මහින්දට කියා ඔවුහු ශිරාණි බණ්ඩාරනායකට සහාය දක්වන්න තීරණය කළහ. ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගය විවාද කරන දිනයේ පාර්ලිමේන්තුවේදී සජිත්ට කතා කරන්න වේලාවක් දුන්නේ නැත. සජිත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංගට වැඳලා ශිරාණි සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කතා කරන්න විනාඩි 15ක් ඉල්ලා ගත්තේය. සජිත් කතා කරන්න නැගීසිටිනා විට මුලසුනෙන් කීවේ ඔබතුමාට තියෙන්නේ විනාඩි 10ක් කියාය.

සජිත් ප්‍රේමදාස –
‘නියෝජ්‍ය කතානායකතුමනි, මට කොපමණ වේලාවක් කතා කරන්න තියෙනවද?’

නියෝජ්‍ය කතානායක –
‘විනාඩි 10යි’

සජිත් ප්‍රේමදාස –
‘නියෝජ්‍ය කතානායකතුමනි, මට විනාඩි 15ක් වෙන්කර තිබෙනවා…’

නියෝජ්‍ය කතානායක –
ඔබේ ඒ විනාඩි 15න් විනාඩි 5ක් ජෝන් අමරතුංග මන්ත්‍රීතුමා ගත්තා…’

හැන්සාඩ් වාර්තා 11.01.2013 (615-616 පිටුව)

ඒත් සජිත් ඒ විනාඩි 10 උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන ශිරාණි සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කතා කළේය.

2022 රනිල් ජනාධිපති වූ පසු පළාත් පාලන ඡන්දය පවත්වන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව ගණන් නොගෙන රනිල් එම තීන්දුව දුන් විනිසුරුවන් පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවට ගේන්න යද්දී ඊට එරෙහිව සජිත් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් හඬ නැගීය.

‘පුළුවන් නම් විනිසුරුවරුන්ව තේරීම් කාරකසභාවට ගේන්න. ඉතුරු ටික අපි බලාගන්නම්…’

ඔහු රනිල්ට තර්ජනය කළේය.

22 වැනි සංශෝධනය සහ සජිත්ගේ සුජාතභාවය 
 
v4t3435bgfdf
දැන් අනුරගේ ආණ්ඩුව 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දික්කරන්න යද්දී එය අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් කියා විපක්ෂයේ සටනට ඔහු නායකත්වය දෙමින් සිටී.
 
අද 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණ නිදහස අහෝසියි කියා චෝදනා කරන විපක්ෂයේ නායකයන් සියල්ලම අධිකරණ නිදහසට තර්ජන එල්ල වූ අවස්ථාවල ඊට සහාය දී අධිකරණයට තර්ජනය කළ නායකයන් වෙනුවෙන් අත් දෙකම ඔසවා පෙනී සිටියවුන්ය. ඒත් සජිත් ඒ කිසිම අවස්ථාවක අධිකරණයේ නිදහසට තර්ජනය කළ නායකයන් ආරක්ෂා කළ හෝ ඒ වෙනුවෙන් පෙනීසිටි නායකයකු නොවේ.
මේ නිසාම අධිකරණයේ නිදහස ගැන කතා කරන්න ඔහුට තිබෙන සුජාතභාවය විපක්ෂයේ අන් කිසිදු නායකයකුට නැත. හැබැයි බලය නැතිකොටත් බලය ඇතිකොටත් ඒ සුජාතභාවය ඔහු රකීද කියා තවම කිව නොහැකිය.


(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant

උපුටා ගැනීම - mawratanews.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...