BREAKING
ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●
Top Ad
විශේෂාංග

නඩු ගොනුවක සැඟවුණු කඳුළු කතාවක් : මත් උවදුරෙන් දරුවා මුදාගන්න අම්මා කෙනෙක් උසාවියේදී කළ සංවේදී ඉල්ලීම!

T

The Leader Desk

August 16, 2026 • 10:20 AM

නඩු ගොනුවක සැඟවුණු කඳුළු කතාවක් : මත් උවදුරෙන් දරුවා මුදාගන්න අම්මා කෙනෙක් උසාවියේදී කළ සංවේදී ඉල්ලීම!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයිස් සහ හෙරොයින් උවදුරට බිලිවන තරුණ ජීවිත: දඬුවමකට එහා ගිය සැබෑ සුවපත් කිරීමක සහ පුනරුත්ථාපනයක අවශ්‍යතාව.
  • සිරගෙදර දඬුවම වෙනුවට තම දරුවාට ජීවිතය යළි ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි මවකගේ සැබෑ අත්දැකීමක් ඇසුරින් පෙළගැසෙන මෙම සංවේදී කතාව, මත් උවදුරට එරෙහි සමාජීය හා ප්‍රතිකාරාත්මක විසඳුම්වල අත්‍යවශ්‍යතාව මැනවින් පසක් කරයි.
  • මෙහි නම් ගම් සියල්ල මනඃකල්පිත වන අතර කතාව නිර්මාණශීලී කර ගැනීමට ඇතැම් ස්ථාන සංස්කරණය කර තිබේ.
  •   දර්ශන 1  නිවස (රාත්‍රියයි.) දොරට තදින් පහර දෙන හඬක් ඇසේ.
අකුරු ප්‍රමාණය (Font Size):


දිනකට 25ක් උසාවියට ගියත් ආපසු මත් උගුලට වැටෙන විෂම චක්‍රය සහ පවුල් සංස්ථාව රැකගැනීමේ සමාජ වගකීම.



මත්ද්‍රව්‍ය උවදුර අද වන විට තරුණ පරපුර පමණක් නොව මුළු මහත් පවුල් සංස්ථාවම විනාශ මුඛයට ඇද දමමින් තිබේ. සිරගෙදර දඬුවම වෙනුවට තම දරුවාට ජීවිතය යළි ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි මවකගේ සැබෑ අත්දැකීමක් ඇසුරින් පෙළගැසෙන මෙම සංවේදී කතාව, මත් උවදුරට එරෙහි සමාජීය හා ප්‍රතිකාරාත්මක විසඳුම්වල අත්‍යවශ්‍යතාව මැනවින් පසක් කරයි.

“මගේ පුතාව හිරේට නෙවෙයි. පුනරුත්ථාපනයට යවන්න”

"එක් දරුවෙකු බේරාගැනීම යනු එක් ජීවිතයක් පමණක් බේරාගැනීම නොවේ — සම්පූර්ණ පවුලක් සහ අනාගත සමාජයක් බේරාගැනීමකි.”

එක් දිනක පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවුරුදු 26ක් වයසැති තරුණයෙක් දිගින් දිගටම අයිස් මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම මත ඇයගේ මව පොලිසියෙන් සහ අධිකරණයෙන් ඉල්ලනේ තම පුතාව පුනරුත්ථාපනය කර දෙන ලෙසයි.

අධිකරණ භුමිය තුළ දී එම මව සමග කරන ලද සංවාදයකදී අනාවරණයය වු කරුණු ඇසුරින් නිර්මාණය කරන ලද්දකි.

මෙහි නම් ගම් සියල්ල මනඃකල්පිත වන අතර කතාව නිර්මාණශීලී කර ගැනීමට ඇතැම් ස්ථාන සංස්කරණය කර තිබේ.

 

v56ggt45
දර්ශන 1 

නිවස
(රාත්‍රියයි.)

දොරට තදින් පහර දෙන හඬක් ඇසේ.

කසුන්:
“අම්මේ! දොර අරින්න!”

(කසුන්ගේ අම්මා - මාලනී බියෙන් දොර අරියි.

මාලනී:
“පුතේ… මේ රෑ කොහෙද ගියේ? ඇයි මේ හැටි?”

කසුන්:
“මට සල්ලි ඕනේ. දැන්ම ඕනේ!”

මාලනී:
“පුතේ, අද නම් සල්ලි නෑ. ඔයා වෙනුවෙන් මට පුළුවන් හැම දෙයක්ම කළා. අපිට තවත්…”


කසුන් කෝපයෙන් මේසයට පහර දෙයි.

අසල සිටි සෙව්වන්දි බියෙන් මල්ලිව තුරුලු කරගනී.
( කසුන්ගේ සහෝදරිය)

සෙව්වන්දි:
“අම්මේ… අයියා ආයෙත් මෙහෙම කරන්නේ ඇයි?”

මාලනීට පිළිතුරක් නැත.

තාත්තා නිහඬව බිත්තිය දෙස බලා සිටී.

( කසුන්ගේ බාල සහෝදරයා)

චමෝද්:
“අම්මේ… අපිට අයියව නැති වෙයිද?”
එම වචන ඇසූ මාලනීගේ ඇස්වලින් කඳුළු වැටෙයි.


දර්ශනය 02 

මවගේ තීරණය
පසුදා උදෑසන.
මාලනී සහ සුනිල් නිවසේ නිහඬව වාඩි වී සිටිති.

(කසුන්ගේ පියා)
සුනිල්:
“මට තේරෙන්නේ නෑ මාලනී… අපි තව කොච්චර කාලයක් මෙහෙම ඉවසන්නද?”

මාලනී:
“ඔයාට මතකද, කසුන් පොඩි කාලේ අපේ අත අල්ලගෙන ඉස්කෝලෙට ගිය හැටි?”

සුනිල් නිහඬ වෙයි.

මාලනී:
“අද එයා අපිට වේදනාවක් වෙලා. ඒත්… එයා අපේ පුතා. අපි එයාව අත්හරින්න බැහැ.”

සුනිල්:
“එහෙනම් මොකද කරන්නේ?”

මාලනී කඳුළු පිසදාගෙන නැගී සිටියි.

මාලනී:
“අපිට තනියම එයාව බේරගන්න බැරි නම්… නීතියේ උදව් ඉල්ලමු.”

සුනිල්:
“උසාවියට?”

මාලනී:
“ඔව්. මමම ඉල්ලනවා… මගේ පුතාව පුනරුත්ථාපනය කරන්න.”

නඩු කූඩුවෙන් නැගුණු මවකගේ හෘද සාක්ෂියේ හඬ.....

 

Court Gayan abeykoon lakehouse42 2
( උසාවිය)

උසාවිය පිරී ඇත.

පෑලියගොඩ පොලිසිය සිද්ධියට අදාල නඩු කටයුතු මෙහෙයවයි.

කසුන් විත්තිකරුගේ අසුනේ සිටී.
මාලනී සාක්ෂි දීමට නැගී සිටී.

මහේස්ත්‍රාත්වරයා 

“ඔබ මේ අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ කුමක්ද?”
මාලනී මොහොතක් නිහඬව සිටී.
ඇගේ ඇස් කසුන් දෙසට යොමු වෙයි.

මාලනී:
“ස්වාමීනි… මට මගේ පුතාව දඬුවම් කරන්න කියලා ඉල්ලන්න බැහැ.”
උසාවිය නිහඬ වෙයි.

මාලනී:
“මට ඕනේ… මගේ පුතාව ආයෙත් මට ලැබෙන්න.”

කසුන් හිස පහත් කරයි.

මාලනී:

“මත්ද්‍රව්‍ය නිසා මගේ ගෙදර සතුට නැති වුණා. මගේ දරුවන් බයෙන් ජීවත් වෙනවා. මගේ මහත්තයා දුක් විඳිනවා. මමත් හැමදාම අඬනවා.”
ඇය කඳුළු අතරින් කතා කරයි.

මාලනී:
“ඒත් ස්වාමීනි… මම අද මෙතනට ආවේ මගේ පුතාව අතහැරලා නෙවෙයි.”
“එයාව බේරගන්නයි.”
“මට අවශ්‍ය දඬුවමක් නෙවෙයි… ප්‍රතිකාරයක්. පුනරුත්ථාපනයක්. එයාට ආයෙත් මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න අවස්ථාවක්.”

පුතාගේ හඬ
කසුන්ට තවදුරටත් නිහඬව සිටිය නොහැක.

කසුන්:
“අම්මේ…”

මාලනී ඔහු දෙස බලයි.

කසුන්:
“මම හිතුවේ ඔයා මාව උසාවියට ගෙනාවේ මට විරුද්ධව කියලා.”

මාලනී කඳුළු අතරින් සිනාසෙයි.

මාලනී:
“නෑ පුතේ… මම උසාවියට ආවේ ඔයා වෙනුවෙන්.”

කසුන්:
“මට මාවම නැති වෙලා අම්මේ…”

මාලනී:
“ඒ නිසා තමයි පුතේ, ඔයාව ආයෙත් හොයාගන්න අපි උදව් ඉල්ලන්නේ.”

කසුන් අඬමින් හිස පහත් කරයි.

කසුන්:
“මට උදව් කරන්න අම්මේ…”

මාලනී අත දිගු කරයි.

මාලනී:
“අම්මා ඉන්නවා පුතේ.”


දර්ශනය 05 –

 අධිකරණ තීන්දුව 

මහේස්ත්‍රාත්වරයා  තීන්දුව ප්‍රකාශ කරයි.

මහේස්ත්‍රාත්වරයා 
“මෙය එක් පුද්ගලයෙකුගේ පමණක් ගැටලුවක් නොවේ. මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීමෙන් පීඩා විඳින්නේ ඔහු පමණක් නොවෙයි. ඔහුගේ පවුලත්, දරුවන්ත්, අවසානයේ සමාජයත් පීඩා විඳිනවා.”

“මෙම තරුණයාට අවශ්‍ය වන්නේ වගකීමෙන් ගැලවීම නොව, තම ජීවිතය නැවත ගොඩනගා ගැනීමට අවස්ථාවක්.”

“ඒ අනුව, අදාල නීතිමය ක්‍රියාමාර්ග යටතේ ඔහු පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීමට නියෝග කරමි.”

කසුන් අම්මා දෙස බලයි.

මාලනී දෑත් එකතු කර ස්තූති කරයි.


දර්ශනය 06 – අවසානය

මාස කිහිපයකට පසු.

කසුන් පුනරුත්ථාපන ක්‍රියාවලිය අවසන් කර නිවසට පැමිණෙයි.

දොර ළඟ නංගී සහ මල්ලි බලා සිටිති.

චමෝද්:
“අයියා!”
ඔහු දුවගෙන ගොස් කසුන්ව බදාගනී.
සෙව්වන්දිත් සිනාසෙමින් ළඟට එයි.
මාලනී නිහඬව බලා සිටී.

කසුන් අම්මා ළඟට ගොස් ඇගේ දෙපා අල්ලයි.

කසුන්:
“අම්මේ… එදා උසාවියේදී මාව අත්හැරියේ නැති එකට ස්තූතියි.”

මාලනී ඔහුගේ හිස අතගායි.

මාලනී:
“දරුවෙක් වැරදුණාම අම්මාගේ ආදරය ඉවර වෙන්නේ නෑ පුතේ. සමහර වෙලාවට… ආදරය කියන්නේ අඬමින් බලාගෙන ඉන්න එක නෙවෙයි.”

“අවශ්‍ය වෙලාවට නිවැරදි තීරණය ගන්න එක.”

කැමරාව පවුලේ සියලු දෙනා වෙත යොමු වෙයි.

කසුන්:
“මත්ද්‍රව්‍ය මාව මගෙන් උදුරගත්තා. ඒත් මගේ පවුල මාව ආයෙත් මට දුන්නා.”

අවසාන පණිවිඩය


“මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ දරුවෙකුට දඬුවම පමණක් නොව, ප්‍රතිකාරයත් අවශ්‍යය.
ඔහුගේ වැරැද්දට නිහඬව ඉඩ දීම ආදරය නොවේ.


නිවැරදි අවස්ථාවේ නිවැරදි උදව් ලබාදීමයි සැබෑ ආදරය.”

මෙහි නම් ගම් සියල්ල මනඃකල්පිත වන අතර කතාව නිර්මාණශීලී කර ගැනීමට ඇතැම් ස්ථාන සංස්කරණය කර තිබේ

අයිස් උවදුර සහ මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාප්තියේ සැබෑ යථාර්ථය
 
m567
මත්ද්‍රව්‍ය භාවිතයට පුද්ගලයන් යොමු වීමට මිතුරු ඇසුර, පවුල් ගැටලු, ආර්ථික හා සමාජ පීඩනය, මානසික ආතතිය, පහසුවෙන් මත්ද්‍රව්‍ය ලබාගැනීමට හැකි වීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බලපෑම වැනි කරුණු බලපායි. 

විශේෂයෙන් තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම පවුලට පමණක් නොව සමස්ත සමාජයටම බලපාන ගැටලුවකි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ හෙරොයින්, ක්‍රිස්ටල් මෙතැම්ෆෙටමින් , ගංජා, කොකේන් සහ වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් අඛණ්ඩව වාර්තා වේ. 

2026 වසරේදී ද පොලිසිය විශාල ප්‍රමාණයේ ICE සහ හෙරොයින් අත්අඩංගුවට ගත් අවස්ථා රැසක් වාර්තා කර ඇත. උදාහරණයක් ලෙස 2026 ජූනි මාසයේදී කොටහේන ප්‍රදේශයෙන් ICE කිලෝග්‍රෑම් 3කට වැඩි ප්‍රමාණයක් සහ හෙරොයින් අත්අඩංගුවට ගෙන තිබුණි.

(Sri Lanka Police වර්තාවලට අනුව)

මත්ද්‍රව්‍ය ගැටලුව පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ පොලිසිය “රටම එකට” (Ratama Ekata) ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරමින් මත්ද්‍රව්‍ය සැපයුම හා ඉල්ලුම අවම කිරීම, ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සහ ජනතාව දැනුවත් කිරීම වැනි ක්‍රියාමාර්ග ගනිමින් සිටී. 

අධිකරණයේ විභාග වන මත්ද්‍රව්‍ය නඩු

මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය, විකිණීම හා ජාවාරම සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණ හමුවට ඉදිරිපත් කෙරේ.

විමර්ශන අවශ්‍යතාව අනුව සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීම සඳහා අධිකරණ නියෝග ලබාගන්නා අවස්ථාද ඇත. 

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු අවසන් වූ පසු නඩු භාණ්ඩ ලෙස අධිකරණ භාරයේ තිබූ මත්ද්‍රව්‍ය අධිකරණ අධීක්ෂණය යටතේ විනාශ කිරීමද සිදු කරයි. 
 
2026 මාර්තු මාසයේදී අවසන් වූ නඩුවලට අදාළ හෙරොයින්, කෙටමීන්, කොකේන් සහ මත්ද්‍රව්‍ය පෙති විශාල ප්‍රමාණයක් විනාශ කර ඇති අතර, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නඩු 1,500කට ආසන්න ප්‍රමාණයකට අදාළ නඩු භාණ්ඩද එම ක්‍රියාවලියට ඇතුළත් කර තිබේ.
නිගමනය

ඒ අනුව මත්ද්‍රව්‍ය ගැටලුව නීතිය හා අධිකරණ ක්‍රියාමාර්ග මගින් පමණක් විසඳිය නොහැකි සමාජ ගැටලුවක් වේ. නීතිමය ක්‍රියාමාර්ග සමඟ පවුල, පාසල, ආගමික හා සමාජ ආයතන, සෞඛ්‍ය අංශ සහ පුනරුත්ථාපන සේවා එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. 

ශ්‍රී ලංකාවේ National Dangerous Drugs Control Board මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් සඳහා ප්‍රතිකාර හා පුනරුත්ථාපන කටයුතුද සිදුකරන අතර, 2025 සහ 2026 සඳහා මත්ද්‍රව්‍ය අත්අඩංගුවීම් හා ප්‍රතිකාර පිළිබඳ සංඛ්‍යාලේඛන වාර්තා ප්‍රකාශයට පත් කර ඇත. 

(NDDCB සටහන අනුව) අධිකරණයේ විභාග වන නිශ්චිත නඩුවක් පිළිබඳ ලියන්නේ නම්, නඩු අංකය, අධිකරණය සහ චෝදනාව අනුව වෙනම තොරතුරු අවශ්‍ය වේ. සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම පමණින් ඔහු/ඇය වරදකරු බව අදහස් නොවන අතර, වරද අධිකරණයේ තීරණය වන තුරු නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය අදාළ වේ.

දඩ ගසා නිදහස් කළත් යළි මත් උගුලට වැටෙන විෂම චක්‍රය

පෑලියගොඩ පොලිසිය විසින් දවසකට විස්සක් විසිපහක් අතර සැකකරුවන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව  එම පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ පො.කො. තරිඳු මදුෂාන් කළ විමසීමකදී පවසා සිටියේය.

ඔහු පවසන්නේ මසකට 300කට අධික පුද්ගලයන් ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට අධිකරණයට යොමු කරන බවයි.

ඔවුන් දඩ මුදල් ගෙවා දක්ෂිත බන්ධනාගාර ගතවී නැවත පැමිණීමෙන් පසුත් එම මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ ක්‍රියාවලියට නැවත එක් වී ක්‍රියා කරන බවත් මේ චක්‍රයක් ලෙස පවතින බවයි ඔහු සඳහන් කළේ.

වැඩිදුරටත් අප කළ විමසීමකදී එම නිලධාරියා සඳහන් කළේ ඇතැම් පුද්ගලයන් අධිකරණයේ විසින් හෝ දෙමව්පියන්ගේ අනුදැනුම ඇතුව පුනරුත්ථාපනයට  යොමු කළද නැවත එම සමාජයටම පැමිණීමෙන් නැවතත් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වන බවයි.

මෙම ක්‍රියා වළක්වාලීමට ක්‍රියා කිරීම පොලිසියේ මෙන්ම රජයේ වගකීමකි. මත්ද්‍රව්‍ය සහමුලින්ම නවතාලීමට නොහැකි වුවද පාලනය කිරීමට රජයට වගකීමක් පවතී.

(සටහන | විනු කරුණාරත්න)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...