BREAKING
ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●
Top Ad
විශේෂාංග

ටික්ටොක් ගුරු නැටුම්වල ඇත්ත මෙන්න: විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්ගේ විග්‍රහයක්

T

The Leader Desk

August 18, 2026 • 9:31 AM

ටික්ටොක් ගුරු නැටුම්වල ඇත්ත මෙන්න: විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්ගේ විග්‍රහයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ගුරුවරුන් සිසුන් එක්ව නටන වීඩියෝ පිටුපස ඇති මානසික සහනය, බැඳීම හා ප්‍රජාතන්ත්‍රවාදී අධ්‍යාපනයේ සැබෑ වෙනස.
  • අතීතයේදී නැටුම් ගුරුවරුන්ට පමණක් සීමා වූ මෙම ක්‍රියාව දැන් සමස්ත ගුරු ප්‍රජාව වෙත ව්‍යාප්ත වී ඇත.
  • බැලූ බැල්මටම මෙය නවීකරණය වූ සමාජයක ගුරු-ශිෂ්‍ය සබඳතාවල ඇති වූ වෙනසකි.
  • නර්තනය මානව ශිෂ්ටාචාරයට පෙර සිටම පැවති චර්යාවක් වන අතර ආධ්‍යාත්මික, ලෞකික, චාරිත්‍රානුකූල සහ ආතති නිවාරණ අරමුණු රැසකට එය යොදාගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


*වෘත්තීය ආතතිය නිවාගන්නා ‘බ්‍රේන් බ්‍රේක්’ එකක්ද? විනය හා සිසු අයිතිවාසිකම් රැකගෙන සීමාව හඳුනාගත යුතු අයුරු.

පාසල් ගුරු-ගුරුවරියන් සිසු-සිසුවියන් ඉදිරියේ හෝ ඔවුන් සමඟ එක්ව නර්තනයේ යෙදෙන වීඩියෝ වර්තමානයේ සමාජ මාධ්‍ය තුළ බහුලව දක්නට ලැබේ. අතීතයේදී නැටුම් ගුරුවරුන්ට පමණක් සීමා වූ මෙම ක්‍රියාව දැන් සමස්ත ගුරු ප්‍රජාව වෙත ව්‍යාප්ත වී ඇත. බැලූ බැල්මටම මෙය නවීකරණය වූ සමාජයක ගුරු-ශිෂ්‍ය සබඳතාවල ඇති වූ වෙනසකි. ඒ නිසාම සමාජයේ විවිධ පාර්ශ්වයන් වෙතින් ඒ සඳහා දෝෂාරෝපණ ද එල්ල වනු පෙනෙයි.

නර්තනය මානව ශිෂ්ටාචාරයට පෙර සිටම පැවති චර්යාවක් වන අතර ආධ්‍යාත්මික, ලෞකික, චාරිත්‍රානුකූල සහ ආතති නිවාරණ අරමුණු රැසකට එය යොදාගෙන ඇත. එබැවින් වර්තමාන ගුරුවරුන්ගේ මෙම ක්‍රියාව ද බහුවිධ අර්ථයන්ගෙන් යුක්ත බව මනෝවිද්‍යාත්මක හා අධ්‍යාපන විද්‍යාත්මකව විශ්ලේෂණය කළ හැක.

images 2026 08 18T141422.445

අධ්‍යාපන ක්ෂේත්‍රය අද දැඩි අභියෝගවලින් පිරී ඇත. විෂයමාලා, විභාග, දෙමාපියන්ගේ අපේක්ෂා, පන්ති කළමනාකරණය ආදී බොහෝ හේතූන් නිසා ගුරුවරුන්ට දැඩි මානසික පීඩනයක් ඇත. මනෝ විද්‍යාවේදී මෙය වෘත්තීය ආතතිය (Occupational Stress) ලෙස හඳුන්වයි. නැටුම යනු ශරීරයේ එන්ඩොර්ෆින් (Endorphins) සහ ඩොපමීන් (Dopamine) යන සතුටු හෝමෝන මුදා හරින ක්‍රියාකාරකමකි. එමගින් කාංසාව අඩු වී මනස ප්‍රබෝධමත් වේ. ගැමි නාටක, කාවාඩි නැටීම වැනි අතීත චාරිත්‍රවලත් අරමුණ වූයේ එකම දෙයයි. එබැවින් ගුරුවරුන්ගේ නර්තනය "වෘත්තීයමය ආතතියෙන් මිදීමේ සෞඛ්‍ය සම්පන්න යාන්ත්‍රණයක්" (Stress Release Mechanism) ලෙස මූලිකව අර්ථ දැක්විය හැක.


වෘත්තීය ආතතියට එරෙහි ‘සතුටු හෝමෝන’ සහ මොළයට විවේකයක්

ළමා සංවර්ධනය සම්බන්ධ විධිමත් අනාවරණයන් කළ රුසියානු මනෝවිද්‍යාඥ ලෙව් විගොට්ස්කි (Lev Vygotsky) ගේ "සමාජ සංස්කෘතික න්‍යාය" ට අනුව ඉගෙනීම සිදුවන්නේ සමාජ අන්තර්ක්‍රියා තුළිනි. ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර තිබූ "අධිකාරී-අනුගාමී" දුරස්ථභාවය දැන් "සහයෝගී-මිතුරු" සම්බන්ධතාවයක් බවට පත්ව ඇත. සිසුන් හා එක්ව නැටීම තුළින් ගුරුවරයා මනුෂ්‍යයෙකු ලෙස, සතුටු විය හැකි කෙනෙකු ලෙස සිසුන්ට පෙනේ. මෙය සුහදතාව ගොඩනැඟීම (Rapport Building) ලෙස හැඳින්වේ. සමාජ-චිත්තවේගීය බැඳීම (Social Emotional Connection) පදනම් වන එහි ප්‍රතිඵලය වන්නේ පන්ති කාමරයේ විශ්වාසය, ආරක්ෂාව සහ සන්නිවේදනය වැඩි වීමයි.

ජර්මානු-ඇමරිකානු මනෝවිද්‍යාඥ එරික් එරික්සන් (Erik Erikson) ගේ මනෝසමාජීය වර්ධන න්‍යායට අනුව යෞවනය යනු සිසුන් තමන්ගේ අනන්‍යතාවය සොයන කාලයකි. ගුරුවරුන් සමඟ නර්තනයට එක්වීමෙන් "අපි එකම කණ්ඩායමක්" යන හැඟීම ඔවුන් තුළ ජනිත කරයි. මෙය ශිෂ්‍යයන්ගේ ආත්ම අභිමානය සහ පාසලට අයත් බවේ හැඟීම වැඩි කරයි. මෙය ස්වයං ප්‍රකාශනය සහ අනන්‍යතාවය (Self Expression) තහවුරු කරන්නකි.

teacher dances to des rangila with students in classroom photos sk esrileinstagram 151554394 16x9 0

මිනිස් බුද්ධිය පිළිබඳ එතෙක් පැවැති උපමානයන් සම්බන්ධ විප්ලවීය වෙනසක් කළ ඇමරිකානු සංවර්ධන මනෝවිද්‍යාඥ හොවාඩ් ගාඩ්නර් (Howard Gardner) ගේ ලෝක ප්‍රකට "බහුවිධ බුද්ධි න්‍යාය" ට අනුව ශරීර-චලන බුද්ධිය (Bodily Kinesthetic Intelligence) ඉගෙනීමේ වැදගත් කොටසකි. පාඩමක් අතරතුර විනාඩි දෙකක නර්තන විවේකයක් දීමෙන් සිසුන්ගේ අවධානය, මතකය සහ ඉගෙනුම් කාර්යක්ෂමතාව 20%කින් පමණ වැඩි වන බව අධ්‍යාපන පර්යේෂණ පෙන්වා දෙයි. මෙය මොළයට විවේකයක් ("Brain Break") ලෙස හැඳින්වේ. ගුරුවරුන්ගේ නැටුම් මේ සඳහා ද සාධනීය ප්‍රවේශයක් ලබා දෙයි.


සිරස් බැඳීම තිරස් කළ නූතන පන්ති කාමරයේ වෙනස

අතීතයේ "ගුරු-ශිෂ්‍ය" සබඳතාවය තිබුණේ සිරස් ආකාරයටය. වර්තමානයේ එය තිරස් අතට හැරී ඇත. මෙය නූතන අධ්‍යාපන විද්‍යාවේ ප්‍රජාතන්ත්‍රවාදී පන්ති කාමර (Democratic Classroom) සංකල්පයට අනුකූලය. ගුරුවරයා යනු සිසුන්ගේ දොස් දකින අයෙකු නොව, සිසුන්ගේ ඉගෙනුම් ගමනේ මඟපෙන්වන්නෙකු සහ සහකරුවෙකු බවට පත්වේ. එනිසා ගුරුවරුන් සිසුන් හා එක්ව නර්තනයේ යෙදීම එය සංකේතවත් කරයි.

19 1024x576

වර්තමාන අධ්‍යාපනයේ අරමුණ පොතට පමණක් සීමා නොවේ. නිර්මාණශීලීත්වය, කණ්ඩායම් වැඩ, සන්නිවේදනය සහ චිත්තවේගීය බුද්ධිය (EQ - Emotional Intelligence) ඉතා වැදගත්ය. සමූහ නර්තනයක් තුළ කණ්ඩායම් සම්බන්ධීකරණය, රිද්මයට අනුව යෑම, අන් අයට ගරු කිරීම යන සියලු කුසලතා වර්ධනය වේ.


වෘත්තීය ගෞරවය, සිසු රුචිකත්වය සහ නොඉක්මවිය යුතු සීමා මායිම්

ඒ සියල්ල සාධනීය කරුණු ලෙස ඉදිරිපත් කළ හැකි වුවද, ඒ සම්බන්ධ සීමා මායිම් පිළිබඳව ද ගුරුවරුන් සිතට ගත යුතු කරුණු කිහිපයක් තිබේ.

ගුරුවරයාගේ වෘත්තීයභාවය (Professionalism) මත පදනම් වන ගෞරවය සහ පන්ති කාමරයේ විනය රැකිය යුතුය. නර්තනය යනු විවේකය ගත කිරීමේදී යොදාගන්නා විනෝදාංශයක් මිස පන්තියේ ප්‍රධාන උගන්වන ක්‍රමය නොවන බව සිසුන්ට ඒත්තු ගැන්විය යුතුය.

education 3

එක් එක් සිසුන්ගේ පෞරුෂ ලක්ෂණ අනුව සියලුම සිසුන් නර්තනයට කැමති නැත. ඔවුන්ට බලපෑම් නොකිරීම වැදගත්ය. එසේ නොකළහොත් ඇතැම් සිසුන් එය මුල් කරගෙන මානසික බිඳවැටීම්වලට ලක්විය හැක. ඒ අතරම සමාජ මාධ්‍යවල මෙම වීඩියෝ පළ කිරීමේදී සිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට මාපියන් පවසන අවස්ථා ද තිබේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් දෙමාපියන්ගේ අභිමතය ගැන ද සැලකිලිමත් විය යුතුය. නමුත් මේ සියල්ල සලකා බලා පොදු නිගමනයකට ඒමේදී අප රටේ අධ්‍යාපන ක්‍රමය තුළට නොවිධිමත් ලෙස එක් වූ මෙම ගුරු නැටුම් යන ජනප්‍රිය උප සංස්කෘතිකාංගය නිශේධනාත්මක නොවන බව කිව යුතුය.


Rumi Ruban
(සටහන | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්)
Dr. Rumi Ruben
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂඥ මනෝ වෛද්‍ය

උපුටා ගැනීම - vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...