*විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීමට එරෙහිව ජනමත විචාරණයක් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය අධිකරණයට යද්දී, මල් පාර කේන්ද්‍ර කරගත් දේශපාලන මෙහෙයුම ඇරඹෙයි.
හිටපු ජනපති රනිල්ට ඉකුත් සතිය වැඩ අධික එකක් විය. ඊට ප්‍රධාන හේතුව වූයේ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට එරෙහිව අංශ කිහිපයකින්ම ප්‍රචාරණ වැඩසටහනක් පටන් ගැනීමයි. මේ පණිවිඩය සාමාන්‍ය ජනතාව අතරට ගෙනයාම සඳහා මල් පාර දේශපාලන කාර්යාලයේදී රනිල්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා ගණනාවක් පැවැත්විණි.
රනිල්, මද්දුම බණ්ඩාරට කියපු රහස ?
ඒ අතර වාරයේ රනිල්ට විශේෂ උත්සවයක් සඳහාද ඉකුත් සතියේ සහභාගී වීමට සිදුවිය. ඒ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ලියූ "යුද දෙකකට උරදී ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයයි. එය පැවැත්වූයේ කොළඹ බී.එම්.අයි.සී.එච් හිදීය.

හිටපු ජනපති රනිල් එහි පැමිණි සැණින් ගියේ විශේෂ අමුත්තන් සඳහා වෙන් කෙරුණු කාමරයටයි. එහි ගිය විගස රනිල් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්තට කතා කර ඔහුගේ කනට කර යම් රහසක් පැවසීය. ඒ සමගම කඩිනමින් ඉවතට ගිය හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වේදිකාව ඉදිරියේ අසුන්ගෙන සිටි සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට යමක් පැවසීය. පණිවිඩයත් සමග මද්දුම බණ්ඩාර කඩිනමින් රනිල් අසලට පැමිණියේය .අනතුරුව ඔවුන් දෙදෙනාගේ පමණක් සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී සාකච්ඡා කෙරුණේ මොනවාදැයි අනාවරණය වූයේ නැත. අනතුරුව දෙදෙනාම එකට උත්සව සභාවට පැමිණියහ.
පොත දොරට වැඩීමේ උත්සවයේදී සියඹලාපිටිය රුවන්වැල්ලෙන් දේශපාලනයට පැමිණි ආකාරය පිළිබඳවත් රනිල් මීදෙනිය පවුල සම්බන්ධ කරගෙන රුවන්වැල්ට තිබෙන සම්බන්ධය ගැන සඳහන් කරමින් තුන් කෝරළයේ සබඳතා ගෙනහැර දක්වා කතාව ඇරැඹීය.
''නියම යුද්ධය පටන් ගන්නේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15 දක්වා වැඩි කර කරගන්න නොහැකි වුනොත්''
රනිල් ප්‍රධාන උත්සවයකට සහභාගී වී කතාවක් කලේ දිගු කාලයකට පසුවයි.
" මේ වන විට අපේ විදේශ සංචිතය තිබෙන්නේ ඇමරිකා ඩොලර් බිලියන හයක මට්ටමකයි. මේ වසර අවසානය වන විට එය ඩොලර් බිලියන 8ක් පමණ වනු ඇතැයි මහ බැංකුව කියනවා. තව අවුරුදු දෙකක් ගත වන විට අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 14.8ක් එනම් ඩොලර් බිලියන 15 කට ආසන්න විය යුතුයි. එතකොට තව ඩොලර් බිලියන හතක් අඩුයි. කුමන හෝ ක්‍රමයකින් ඩොලර් බිලියනයක් සොයා ගත්තත් තවත් ඩොලර් බිලියන හයක අඩුවක් තිබෙනවා. මේ අඩුව සම්පූර්ණ කරන්න ආණ්ඩුව කිසිම ආකාරයක වැඩපිළිවෙළක් සකස් කරලා නැහැ. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිට කිසිම සාකච්ඡාවක් කරලත් නැහැ. සියඹලාපිටිය පොතේ නමට දාලා තියෙන්නේ යුද දෙකකට උරදී කියලා. නියම යුද්ධය පටන් ගන්නේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15 දක්වා වැඩි කර කරගන්න නොහැකි වුනොත්.
මම සාමාන්‍යයෙන් සුබවාදී ආරංචි නෙමෙයි කියන්නේ. හැම වෙලාවෙම ඇත්ත කතා කරන්නේ. ඒවා ගොඩක් අයට අසුබයි. නමුත් සත්‍ය මේක තමයි" යනුවෙන් රනිල් තම දෙසුම කළේය. රනිල්ගේ මේ කතාව විශාල වශයෙන් සමාජ මාධ්‍යයේ පළවිය.
රනිල්ගේ කතාවත් සමග එංගලන්ත සංචාරය අයෙත් කරලියට
ඊට පහුවදාම ඇමති අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේදී ඊට පිළිතුරු දුන්නේය. අනිල් ජයන්ත කීවේ රටක සංචිත කියන්නේ ආර්ථිකය මනින එකම මිනුම් දණ්ඩ නොවන බවයි.
එමෙන්ම රනිල් ඉහත කතාව කී සැණින් සමාජ මාධ්‍ය ඔස්සේ එංගලන්ත ගමන ගැන කියා විවිධ ප්‍රහාර එල්ල කරන්නට පටන් ගැනුණි.
ඇත්තෙන්ම රනිල් එංගලන්තේ සංචාරය කළේ නිල ආරාධනයට අනුව බව වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය යළිත් තහවුරු කර සිටී.
වුල්වර්හැම්ප්ටන් සරසවිය පවසන්නේ හිටපු ජනාධිපතිවරයාගේ සංචාරය එක්සත් රාජධානී රජයේ ආරාධනාවක් මත නොව විශ්වවිද්‍යාලයේ ඇරයුමකට අනුව සිදුවූ බවයි.
වුල්වර්හැම්ප්ටන් සරසවිය පෙන්වා දෙන කරුණු අනුව රාජ්‍ය සංචාරයක් සහ නිල සංචාරයක් අතර පවතින වෙනස්කම පැහැදිලිව දක්වයි.
රාජ්‍ය සංචාරයකදී ආරාධිතයා ගුවන් යානයෙන් බැසීමේ සිට නැවත පිටත්ව යාම සඳහා ගුවන් යානයට ගොඩවන තෙක් සිදුවන සියලු වියදම් ආරාධිත රාජ්‍යය (එක්සත් රාජධානිය ) විසින් දරනු ලබයි. එමෙන්ම රාජ්‍ය සංචාරයක් සිදුවන්නේ රාජ්‍ය නායකයෙකුගේ ආරාධනය මත පමණි. එනම් එංගලන්තයේ රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා කළ යුත්තේ චාල්ස් රජු විසිනි.
එක්සත් රාජධානිය රාජ්‍ය සංචාරයකට ශ්‍රී ලංකාවට අවස්ථාව ලබා දී ඇත්තේ එක්වරක් පමණක් වන අතර ඒ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස යුගයේදීය.
මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදය හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනටද රාජ්‍ය සංචාරයක් ලබා දී තිබිණ.
ඉන්දියාව නිරන්තරයෙන්ම මෙරට රාජ්‍ය නායකයින් වෙත රාජ්‍ය සංචාර සදහා ආරාධනා කරනු ලබන අතර ශ්‍රී ලංකාව ඒ හා සමාන ආචාරශීලී බවක් ඉන්දියාව වෙත ද පළ කරනු ලබයි.

රනිල් අගමැතිවරයා වශයෙන් කටයුතු කළ අවස්ථාවේ ජපානය, නෝර්වේ, නවසීලන්තය වැනි රටවලින් රාජ්‍ය සංචාර සදහා ඇරැයුම් ලැබිණ. සාමාන්‍යයෙන් රාජ්‍ය සංචාරයකට රාජ්‍ය නායකයකුට ඇරයුම් කරන්නේ ද්විපාර්ශ්විකව වැදගත් වන කරැණු සාකච්චා කිරීමට හෝ ගිවිසුම් අත්සන් කීරීම වැනි අවස්ථාවලදීය.
චාමර සම්පත් හෙළිකළ අපූරු කතාව....
සියඹලාපිටියගේ පොත එළිදැක්වීමේ උත්සවයෙන් පසුව පැවති තේ පැන් සංග්‍රහය අතරතුරදී දී චාමර සම්පත් අපූරු කතාවක් හෙළි කළේය.
දිනිත්,ශානුක සහ බිනෝයි හෙට්ටිආරච්චි සිටි තැනට පැමිණි චාමර "මචංලා කොහොමදැයි ඇසුවේ ඔවුන්ගේ කරට අත දමා ගන්නා අතරතුරදීය.
"මම ඡන්දෙට කලින් සියඹලාපිටියට හොඳ උපදේශයක් දුන්නා" චාමර කතාව ඇරැඹූ විට දිනිත් " ඔයා ඒ වගේ වැඩත් කරනවාදැයි" ඇසුවේ කතාව තවත් රසවත් කර ගැනීමේ අටියෙනි.
" මොකද නැත්තේ, හිතවත් අයට උපදේශන සේවා කරනවා. ඡන්දෙට කලින් උඹ ගල් අරක්කු බෝතලේ ගාන එක රුපියල් දහයකින් අඩු කරන්න කියලා මම සියඹලාපිටියට කිව්වා. මොකද වැඩිපුර මිනිස්සු කල්පනා කරන්නෙ ඡන්දෙ දැම්මට පස්සේ හවසට කරන්නේ මොකක්ද කියලා. මම කියපු එක අහලා අරක්කු මිල අඩු කලා නම් එදාට හැම කෙනාටම සියඹලාපිටිය මතක් වෙනවා. එහෙම වුනා නම් මේ යකාට අද පොත් ලියමින් ඉන්න ඕන වෙන්නෙ නෑ, කෙලින්ම පාර්ලිමේන්තුවේ" කියමින් චාමර යන්න ගියේ එතන සිටි සියල්ලන්ම සිනා සයුරේ ගිල්වමිනි.
ප්‍රධාන පක්ෂ වල මාධ්‍ය බාර ප්‍රධානීන්ගේ රැස්වීම
ප්‍රධාන පක්ෂ වල මාධ්‍ය බාර ප්‍රධානීන්ගේ රැස්වීමකටද රනිල් ඉකුත් සතියේ සහභාගී විය. මල් පාර කාර්යාලයේ පැවති එම හමුවට පොහොට්ටුව ඇතුළු පක්ෂ වල මාධ්‍ය බාර ප්‍රධානීහු සහභාගී වූහ. එම හමුව සම්බන්ධීකරණය කරනු ලැබූයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න සහ රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්නයි. ඉදිරි ජාතික කරතව්‍යයන් වලදී සියලු පාක්ෂවල සමාජ මාධ්‍ය එක තේමාවකින් මෙහෙයවීමට මෙහිදී තීරණය විය.

එහිදී රනිල් කීවේ" රාවණා රජ්ජුරුවන්ට ඔලු දහසක් තියෙනවා, ඒ වගේම ජනතා පරමාධිපත්‍යයටත් ඔලු පහක් තිබෙනවා. ඒ සියල්ල ආරක්ෂා කර ගැනීමේ වගකීම අපට තියෙනවා" යනුවෙනි.
මහජන සභාවක්...
මේ අතර විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධව පැහැදිලි කිරීම සඳහා වන මහජන සභාවක් විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලන ශාලාවේ දී සංවිධාන කර තිබිණි. නීතිඥවරුන් වන සුදර්ශන ගුණවර්ධන සහ මදුශංක දිසානායක අදාළ මහජන සභාව ගැන රනිල්ට කරුණු පැහැදිලි කළේය.
ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා, නීතිඥ ගාමිණී අල්විස්, නීතිඥ චරිත් ගල්හේන සහ සමාජ විචාරක විපුල කරුණාතිලක එම මහජන සභාවේ අදහස් දැක්වූහ. සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් ජනතාව ඊට සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
සිකුරාදා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ සංවාදයක් කොල්ලුපිටියේදී පැවැත්විණි.
" මෙතන වෙන්නේ තමන්ගෙම නඩුව තමන්ම අහගන්නවා වගේ වැඩක්. මේක මොනතරම් සමාජ සදාචාරයට ගැලපෙනවද කියන එක ප්‍රශ්නයක්. ඒ වගේම ජනතාවගේ පරමාධිපත්‍ය බලය ඉවත් කළ නොහැක යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන්ව තිබෙනවා. ඒ අනුව පරමාධිපත්‍යය විමසන්න ජන මත විචාරණයකට යා යුතුමයි " සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු එහිදී එක හඬින් කීහ.
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් අධිකරණයට පෙත්සමක්
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයද අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. එයින් මූලිකවම කරුණු දෙකක් ඉල්ලා සිටින බව මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් හමුවේ අදහස් දක්වමින් ජී. එල් කීවේ මෙවැන්නකි.
" පළමු කාරණය වන්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා අනිවාර්යයෙන්ම ජන මත විචාරණයක් අවශ්‍යයි යන කාරණයයි. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිශ්ච මණ්ඩලයය වන 12 දෙනෙකුගෙන් සමන්විතව මේ පෙත්සම විභාග කළ යුතු බව අප ඉල්ලා තිබෙනවා. අවුරුදු දෙකකින් විනිසුරු වයස වැඩි කිරීම පමණක් නොව මෙය සමාජයට කෙලින්ම බලපාන ප්‍රශ්නයක්.
ඒ සඳහා පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහනක් අවශ්‍යයි සෞඛ්‍ය, අධ්‍යාපනය, වෘත්තීය සමිති, සහ රාජ්‍ය සේවයේ දැනුවත් කිරීම අවශ්‍ය වෙනවා. මේ සම්බන්ධයෙන් රට පුරා ජනතාව පොදුවේ දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලකටද අප අවතීර්ණ වෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ දැනුවත් කිරීම ද ආරම්භ කර තිබෙනවා. එහි පියවරක් ලෙස මා අලුත්ගම කන්දේ විහාරයට ගොස් විහාරාධිපති කොක්කාවිට විපුලසාර හිමි බැහැ දුටුවා යැයි ජී.එල් මූලික විස්තරයක් කළේය.
මහාචාර්ය ජී.එල් ලියූ පොතට සුවිශේෂී වැදගත්කමක්

මහාචාර්ය ජී.එල් ලියූ THE SRI LANKA PEACE PROCESS: AN INSIDE VIEW (ශ්‍රී ලංකා සාම ක්‍රියාවලිය: අභ්‍යන්තර දසුනක්) ග්‍රන්ථය ඉන්දියාවේ හිටපු විදේශ ලේකම් ක්‍රිෂ්ණන් ශ්‍රී නිවාසන් විසින් සමාලෝචනයට ලක් කර තිබේ. එය එම ග්‍රන්ථයට ලැබුණු සුවිශේෂී වැදගත්කමක් බව විචාරක මතයයි.
(සටහන | මල් පාරේ ලියුම්කරු)




