කල්පයක් බලයේ රැඳීමේ මනෝරාජ්‍යයන්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ සීමා සහ ජනතා පරමාධිපත්‍යයේ අවසාන තීන්දුව ....
කලින් කලට, ඉලක්කම්වලට විවිධ වටිනාකම් ලැබෙයි. මේ දිනවල පාර්ලිමේන්තුවේ පවා කතා බහට කෙරෙන, එබඳු අතිරික්ත වටිනාකමක් ලැබූ ඉලක්කම් දෙක 22ය ඒ, 22 යනු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතකි.
විපක්ෂය, ඊට එරෙහිව බෝඩ් ඇල්ලීමට සැරසෙයි. ආණ්ඩු පක්ෂය කියන්නේ, මවන තරම් යකෙක් ඒ විසි දෙකේ නැති බවය.
කොකාගේ නම්, සුද පෙනෙන්නේ ඉගිළෙන විටය. යකා සුදු ද කළු ද යන්න කිව හැක්කේ, යකා දුටු කෙනෙකුටම පමණි. යන ඒකා යන විට, කොරහද බිඳ දමන්නටද ඉඩ ඇත.
මේ අතරතුර, ආණ්ඩුව තවත් කල්පයකට වෙනස් කළ නොහැකි යැයි ද කතාවක් ඇසෙයි. ඒ කතාවට එරෙහිවද බෝඩ් අල්ලනවාද නැද්ද යන්න, තවම දැන ගන්නට නැත. එහෙත් සමහරු නම් කල්පයක් වුව විපක්ෂයේ ඉන්නට කැමතිය. ජනපති, අගමැති පුටුවේ හිඳගන්නට නොහැකි නම් විපක්ෂයේ පුටුද නරකම නැත. විශේෂයෙන්ම විපක්ෂ නායක තනතුරේ කල්පයක් හෝ සිටීමට ද සමහරු කැමතිය.
කලින් කලට, විවිධ ඉලක්කම් එල්ලූ සංශෝධන, ව්‍යවස්ථාවට එක් කිරීම, ආණ්ඩු ක්‍රමයේ ලක්ෂණයකි. අපට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයකි. එසේ නම් අර ඉලක්කම් ද (සංශෝධන) ප්‍රජාතන්ත්‍රවාදීය. එහෙත්, පාර්ලිමේන්තුව තුළම සිටින කොටසකට එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පෙනේ නම්, එතන ගැටලුවකි. ජන වහරේදී, ”වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව” යැයි කියන්නේ, මෙවැනි අවුල්වලදීය.

සිරි ලංකාවේ දේශපාලනයේ දිගින් දිගටම පෙනෙන ලක්ෂණයක් වූයේ, විපක්ෂය හැමවිටම ප්‍රජාතන්ත්‍රවාදී යැයි පෙනී සිටීමත්, ආණ්ඩු පක්ෂය ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි ලේබල් කිරීමත්ය. ඇතැම් විට සුළු පක්ෂ, වාසි පිලට හෝයියා යැයි කියමින්, දෙපැත්තටම නැතිව වැට උඩ සිටිති.
ප්‍රජාව යනු ජනතාවය. එහෙත් මේ ලොකු ලොකු ප්‍රජාතන්ත්‍රවාද වාද විවාද වලදි, අමතකව යන්නේ ද ප්‍රජාවමය.
කල්පයක් බලයේ සිටීමේ සිහින පෙනෙන්නේ ඒ නිසාය. ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණයක් වන්නේ, කිලිටි ඇඳුමක් ඉවත ලා අලුත් ඇඳුමක් ඇඳගන්නා සේ, වරින් වර, නායකයන් වෙනස් කිරීමේ හැකියාවය. එසේ නම් කල්ප සිහිනය, ප්‍රජා විරෝධීය.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඕනෑම පුද්ගලයෙකුට රටේ නායකයා වීමට අවස්ථාව ඇත. එය හුදු සිහින දැකීමක් ම නොව මානව අයිතිවාසිකමකි. එසේ නම් අනෙකාට ඉඩ නොදෙන සදාකාලික නායකයන් බිහිවීම මානව විරෝධීය. එබඳු නායකයන් හඳුන්වන්නේ ආඥාදායකයා නමිනි.
එක්තරා රටක මාධ්‍ය සාකච්ඡාවකදී, ජනාධිපතිවරයාගෙන් මෙසේ ප්‍රශ්න කෙරුණ.

ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද?
මහජනතාව වෙනුවෙන්, මා විසින් තීරණ ගැනීමයි.
ඔව් මහජනතාව දකින්නේ කෙසේද?
මගේ තීරණ පිළිපැදීමට සිටින රටවැසියන් ලෙසයි.
ආඥාදායක පාලනයක් තිබූ රටක, පුරවැසියකුගෙන් විදේශීය මාධ්‍යවේදියෙකු මෙසේ විමසුවේය.
ඔබට කතා කිරීමේ නිදහස තිබෙනවාද?
අපොයි ඔව්, ඒත් කතා කළාට පස්සේ, මගේ නිදහස ඉවර වෙනවා’.
ප්‍රජාතන්ත්‍රවාදය වැදගත්ය, ව්‍යවස්ථාව වැදගත්ය, විනිසුරුවරුන් ද වැදගත්ය. බලයද වැදගත්ය. එහෙත් ඒ සියල්ලටම වඩා වැදගත් වන්නේ ජනතාවය.
කල්පයක් යනු විශාල කාලයකි. එහෙත් එයටද අවසානයක් ඇත. කල්පාන්තය යනු විහිළුවක් නොවේ. එය අවසාන වන්නේ ගින්දරෙනි. ජලයෙනි. සමහර විට ඡන්දයෙනි!
(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම - lankalokaya.lk )




