ශෂී වීරවංශට සහ රාජිතගේ සොයුරාට ඇප, යෝෂිත-කරන්නාගොඩ අධිචෝදනා පත්‍ර භාරදීම ඇතුළු පසුගිය සතියේ මෙරට අධිකරණ පද්ධතියේ කැපී පෙනුණු නඩු තීන්දු හා නියෝග.
01) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මහ නඩුව
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් එල්ල කරමින් විත්තිකරුවන් විසි හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන් ඉකුත් (20) සිව්වැනි දිනටත් විත්ති කූඩවේ සිටිමින් තම විත්ති වාචක ඉදිරිපත් කිරීම ආරම්භ කළහ. නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 23 දෙනෙක් සාක්ෂි දුන් අතර ඉකුත් (20) විත්තිවාචික අවසන් කලේය.
02) බැංකුවක පොදු ලෙජර් ගිණුම හරහා බිලියන 13කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධිය

පෞද්ගලික බැංකුවක පොදු ලෙජර් ගිණුම හරහා බිලියන 13කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාල එම බංකුවේ තිබූ පාරිභෝගික ගිණුම්වලින් මිලියන 314.5 ක මුදලක් ප්‍රතිපූර්ණය වී ඇති බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දන්වා සිටියේය.
පෞද්ගලික බැංකුවක පොදු ලෙජර් ගිණුම හරහා බිලියන 13කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එලෙස දැන්විය.
මෙම සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් ලබන 4 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.
03) භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන ව්‍යාජ සමාගම් 36ක්
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන ව්‍යාජ සමාගම් 36ක් පිහිටවූ මහා ජාවාරම්කරුවෙකු යැයි කියන ජෙෆ්රි මොහොමඩ් සමග එක්ව ඇමරිකන් ඩොලර් මිලියන 1000 ක් විදේශගත කර රජයට පාඩු කළේ යැයි කියන සිද්ධියට අදාලව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු හතරක කළමනාකරුවෙකු ඇතුලු නිලධාරීන් සිව් දෙනා ලබන 3 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම ඉකුත් (20) නියෝග කළේය.
04) හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්‍ය පොලිස්පති සුමිත් ප්‍රසාද් රණසිංහට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර වාර්තා නොවැම්බර් 20 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉකුත් (21) නියෝග කළේය.
05) ඉෂාරා සෙව්වන්දී

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉෂාරා සෙව්වන්දී නමැත්තිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඩී .එන් .ඒ සහ ඡායාරූප පරීක්‍ෂා කර වාර්තා ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් .බෝදරගම හමුවේ 21දා දන්වා සිටියේය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගණේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ඉෂාරා සෙව්වන්දි ඇතුලු සැකකරුවන් ලබන 4 වැනිදා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
06) නීති විරෝධී පිරමීඩ සමාගමක අධ්‍යක්ෂකවරයා රිමාන්ඩ්
එම්.ටි.එෆ්.ඊ නමින් පවත්වාගෙන ගිය නීති විරෝධී පිරමීඩ සමාගමක අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරමින් ජනතා මුදල් වංචා කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රන්දුනු දේවගේ දුමින්ද තුෂාර ජයවර්ධන සැකකරු ලබන 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉකුත් නියෝග (20) නියෝග කළා.
07) එක්නැලිගොඩ නඩුවේ මුරලිගේ සාක්ෂියට එරෙහිව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ 4 වන සාක්ෂිකරුගේ සාක්ෂිය නැවත ලබා ගැනීමට එරෙහිව එම නඩුවේ විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබිය.
ඒ බව අගෝස්තු 20 ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ විත්තියේ නීතිඥයින් විසින් දැනුම් දී ඇති අතර ඒ අනුව 4 වන සාක්ෂිකරුවන සුමතිපාල සුරේෂ් කුමාර් හෙවත් මුරලිගෙන් නැවත සාක්ෂි ලබාගැනීමට නොහැකි බවට විත්තියේ නීතිඥයින් කරුණු දක්වා ඇත.
08 ) විමල් වීරවංශගේ බිරිඳට ඇප
අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවලට වරදකරුව වසර දෙකක සිර දඬුවමකට හා රුපියල් ලක්ෂයක දඩ නියම වු රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශගේ ඇපෑල සලකා බලන තෙක් පෙර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉකුත් (20) නියෝග කළේය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් දඬුවම් නියෝගය කොළඹ මහාධිකරණය මගින් ස්ථිර කිරීමේ තීන්දුව කියවාදීමට නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරනු ලැබිය.
09 ) ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හරක් කටාගේ නඩුවක්
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ මහාධිකරණය විසින් ඉකුත්දා දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
ඒ, මෙම නඩුව කොළඹ මහාධිකරණය විනිසුරු බුද්ධික සී රාගල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීය.
10 ) කොළඹ සාංචි ආරච්චිවත්තේ පුද්ගලයින් දෙදෙනෙකුට සිර දඬුවම්
අධිකරණය හමුවේ ඇප අත්සන් කිරීම සඳහා ඉන්දීය ජාතිකයෙකුගෙන් මුදල් ලබාගෙන ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ කොළඹ සාංචි ආරච්චිවත්තේ පුද්ගලයින් දෙදෙනෙකුට වසර දෙකක (2) බරපතල වැඩ සහිත සිර දඬුවම් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉකුත් (19) නියම කළේය.
නොහඳුනන පුද්ගලයෙකුට ඇප අත්සන් කිරීම සඳහා මුදල් ලබා ගැනීම, ව්‍යාජ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම සහ ඊට ආධාර අනුබලදීම චෝදනාවන්ට දීර්ඝ නඩු විභාගයකින් පසුව වරදකරුවන් කළ අලුත් කඩේ අධිකරණයට සංකීර්ණයට යාබද සාංචි ආරච්චිවත්වී පදිංචි හුසේන් මෝහොමඩ් සහ හසිස් මොහොමඩ් විත්තිකරුවන්ට මෙම සිර දඬුවම නියම කළේය.
11) පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී ත්‍රස්ත සංවිධානයට අයත් කඳවුරක් ඇති බවට ව්‍යාජ පුවත

පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී ත්‍රස්ත සංවිධානයට අයත් කඳවුරක් ඇති බවට ව්‍යාජ පුවතක් ජනගත කිරීමේ සිද්ධියට අදාලව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉකුත් 19 දා නියෝග කළේය.
තවද මෙම සිද්ධියට අදාලව සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන ත්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දෙන ලෙස මාධ්‍ය ආයතන 8කට මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය.
12) රාජිතගේ සොයුරාට ඇප
ලංකා ධීවර සංස්ථාවේ දීප ව්‍යාප්ත අලෙවි සැල් 55ක් ඉදිකිරීමේ කටයුතු නියමිත ප්‍රසම්පාදනය ක්‍රියාවලියකින් තොරව සමාගම් දෙකකට ලබාදීමෙන් රජයට පාඩු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු සභාපති මහිල් ප්‍රියදර්ශී සේනාරත්න ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසං එස් බෝදරගම ඉකුත් 18 ද නියෝග කළේය.
13) පොහොට්ටුවේ බියගම ප්‍රාදේශීය සභාවේ ක්‍රියාකාරිනියක රිමාන්ඩ්
කෝටි හතරක වටිනාකමකින් යුත් මැණික් ගලක් සොරකම් කළ බව කියන සිද්ධියට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බියගම ප්‍රාදේශීය සභාවේ දේශපාලනික ක්‍රියාකාරිනියක ඇතුලු තවත් සැකකරුවන් තිදෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරන තෙක් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක ඉකුත් 18 දා නියෝග කළේය.
14) ශිරාන් බාසික් ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනය

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මෙරට ප්‍රධාන පෙළේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බව කියන ශිරාන් බාසික් නමැත්තාගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාල වර්තාවන් ලබා දීමට කටයුතු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂක වෙත නියෝග කළේය.
ඒ, සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයට අදාලව බැංකු වාර්තා ලබා ගැනීමට මහ බැංකුවේ මූල්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂක වෙත නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවය.
15) අකිල විරාජ් කාරියවසම්ට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉකුත් 18දා නියෝග කළේය.
16) සඳගල පුරාවස්තු සිද්ධිය සහ රූපවාහිනී සංස්ථාවේ සිද්ධිය; කෙහෙලියට ඇප

සඳගල පුරාවස්තු සිද්ධියට සහ රූපවාහිනී සංස්ථාවට සේවකයින් අරන් මිලියන 14 ක පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් කෙහෙළියට ඇප ලබාදීමට අධිකරණය නියෝග කළේය.
17) කරන්නාගොඩට සහ යෝෂිතට අධි චෝදනා පත්‍ර භාරදීම
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ යන අයට ඉකුත් (20) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවිය.
ඉන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
18) පියසේන ගමගේට එරෙහි අල්ලස් නඩුව
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇප මත සිටින හිටපු නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය පියසේන ගමගේට එරෙහිව අල්ලස් කොමිස විසින් පවරා ඇති නඩුවට අදාලව විමර්ශන අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉකුත් 21දා නියෝග කළේය.
19) අර්ජුන මහේන්ද්‍රන් ට පනවා තිබෙන නඩුව

2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ අර්ජුන මහේන්ද්‍රන් ට පනවා තිබෙන නඩුව ඔක්තෝබර් 30 වන දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉකුත් (21) නියෝග කළේය.
තවද මෙම සැකකරු සම්බන්ධයෙන් නිසි පියවර අනුව සිතාසි ක්‍රියාකළ අධිකරණයට වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.
සිද්ධියට අදාල සැකකරුට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙර නඩු දිනයේදී නොතීසි නිකුත් කළ තිබෙන බව එහිදී මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම් දී සිටියේය.




