BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විශේෂාංග

ගොවි දුක රටටම ඇසෙන අතරේ කාටවත්ම නෑසෙන ධීවර දුක ගැනයි මේ... | රීටා ජෙනට් පෙරේරා

T

The Leader Desk

August 25, 2026 • 5:39 AM

ගොවි දුක රටටම ඇසෙන අතරේ කාටවත්ම නෑසෙන ධීවර දුක ගැනයි මේ... | රීටා ජෙනට් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මත්ස්‍ය අස්වැන්න පහත වැටීම හමුවේ පාරම්පරික රැකියාව අතහරින තරුණ පරපුර සහ රටේ සත්ව ප්‍රෝටීන් සුරක්ෂිතතාවට එල්ල වී ඇති අභියෝගය පිළිබඳ විමසුමක්.
  • ඇතැම් වෙරළබඩ ප්‍රදේශවල තරුණ පරපුර පාරම්පරික ධීවර වෘත්තියෙන් ඉවත්ව නගර හා නාගරික කලාපවල අනියම් කම්කරු රැකියා සොයා යාම මෙම අර්බුදයේ සමාජ ප්‍රතිඵලයක් ලෙස දැකිය හැකිය.
  • ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා ආයතනයෙන් ලැබෙන නවතම තොරතුරු අනුව, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මත්ස්‍ය අස්වැන්න අඩුවීමේ ප්‍රවණතාවක් 2014 වසරේ සිට නිරීක්ෂණය වී තිබේ.
  • මේ පිළිබඳ නාරා සභාපති මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි පෙන්වා දී ඇත්තේ මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ තර්ජනයක් නොව, ලොව බොහෝ සාගර පද්ධති මුහුණ දෙන පොදු අභියෝගයක් බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):


දේශගුණික විපර්යාස, විනාශකාරී ධීවර ක්‍රම සහ නොසලකා හැරීම් මැද ධීවර ප්‍රජාව මුහුණ දෙන අර්බුදය සමස්ත ජාතික ආර්ථිකයටම බලපාන අයුරු.



රටට බත සපයන ගොවියාගේ දුක් අඳෝනාව වරින් වර ජාතික අවධානයට ලක් වෙයි. නියඟය, ගංවතුර, පොහොර මිල, අස්වැන්න අඩුවීම හෝ වී මිල පිළිබඳ ගැටලු මතු වූ විට ගොවි ජනතාවගේ හඬ රට පුරා ඇසෙයි. එහෙත් එම බත් පතට අවශ්‍ය පෝෂ්‍ය ගුණය සපයන මසුන් අල්ලා දෙන ධීවරයාගේ දුක් අඳෝනාව ඒ තරම් පුළුල් සමාජ අවධානයක් දිනා ගන්නේ නැත.

නමුදු අප මුහුද දෙසට හැරී බැලූ විට පෙනෙන්නේ නිහඬව වර්ධනය වෙමින් පවතින තවත් ආහාර හා ජීවනෝපාය අර්බුදයකි. වසර ගණනාවක් තිස්සේ ධීවරයා මුහුදු යන්නේ අවදානමක් මෙන්ම ආර්ථික අවිනිශ්චිතතාවක් ද කරපින්නාගෙන ය. ඇතැම් වෙරළබඩ ප්‍රදේශවල තරුණ පරපුර පාරම්පරික ධීවර වෘත්තියෙන් ඉවත්ව නගර හා නාගරික කලාපවල අනියම් කම්කරු රැකියා සොයා යාම මෙම අර්බුදයේ සමාජ ප්‍රතිඵලයක් ලෙස දැකිය හැකිය.

 

fishery 1

මෙය හුදෙක් ධීවරයන්ගේ හැඟීමක් හෝ වෘත්තීයමය පැමිණිල්ලක් පමණක් නොවේ. ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා ආයතනයෙන් ලැබෙන නවතම තොරතුරු අනුව, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මත්ස්‍ය අස්වැන්න අඩුවීමේ ප්‍රවණතාවක් 2014 වසරේ සිට නිරීක්ෂණය වී තිබේ. මේ පිළිබඳ නාරා සභාපති මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි පෙන්වා දී ඇත්තේ මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ තර්ජනයක් නොව, ලොව බොහෝ සාගර පද්ධති මුහුණ දෙන පොදු අභියෝගයක් බව ය.

එහෙත් මෙහිදී වැදගත් කරුණ වන්නේ “මාළු අඩුවීමට හේතුව මෙයයි” යනුවෙන් එක් හේතුවක් තවමත් විද්‍යාත්මකව තහවුරු කර නොතිබීම ය. සාගර ජෛව පද්ධතියේ සිදුවන වෙනස්කම්, මත්ස්‍ය සම්පත් මත ඇතිවන අධික පීඩනය, වාසස්ථාන විනාශය, දේශගුණික විපර්යාස සහ විවිධ මිනිස් ක්‍රියාකාරකම් එකිනෙකට සම්බන්ධ වී මෙම තත්ත්වය උග්‍ර කරන බවට විද්‍යාත්මක සාධක පවතී.

2024 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 410,760ක් වූ අතර, එයින් මෙට්‍රික් ටොන් 308,430ක් සාගර ධීවර අංශයෙන් ලැබී තිබේ. එම වසරේ මෙරට ක්‍රියාත්මක සාගර ධීවර යාත්‍රා සංඛ්‍යාව 49,271ක් ලෙස ධීවර අමාත්‍යාංශ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

මත්ස්‍ය අස්වැන්නේ බිඳවැටීම සහ ජාතික පෝෂණ අර්බුදය

 

මෙම සංඛ්‍යා දෙස බැලූ විට පැහැදිලි වන්නේ මෙය හුදෙක් ධීවරයකුගේ පවුලේ ආදායම පිළිබඳ ප්‍රශ්නයක් නොවන බව ය. එය ජාතික ආහාර සුරක්ෂිතතාව, පෝෂණය, රැකියා, වෙරළබඩ ජනතාවගේ සංස්කෘතිය සහ රටේ ආර්ථිකය සමඟ සම්බන්ධ ප්‍රශ්නයකි.

මෙම ධීවර අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පොදු මහජනතාවට ඇස් කන් පියාගෙන සිටිය නොහැක. මක් නිසාද යත් එය ඔවුන්ගේ පවුලේ, විශේෂයෙන් දූ දරුවන්ගේ පෝෂණ අර්බුදයකට මුල පුරන්නක් බැවිනි. ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය තුළ මාළු යනු රසවත් ආහාරයක් පමණක් නොවේ. එය සත්ව ප්‍රෝටීන් ලබාගැනීමේ ප්‍රධාන මාර්ගයකි. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරන පරිදි, මෙරට ජනතාව පරිභෝජනය කරන සත්ව ප්‍රෝටීනයෙන් සියයට 50කට පමණ මත්ස්‍ය ආහාර දායක වේ. ඒ අනුව මුහුදේ මත්ස්‍ය සම්පත ක්ෂය වීම යනු ධීවරයාගේ ආදායම අඩුවීම පමණක් නොවේ. මාළු මිල ඉහළ යාම, අඩු ආදායම්ලාභී පවුල්වල ප්‍රෝටීන් පරිභෝජනය අඩුවීම, වියළි මාළු හා ටින් මාළු වැනි ආදේශක ආහාර මත යැපීම වැඩිවීම වැනි ද්විතීයික ප්‍රතිවිපාක ද ඇති විය හැකිය. ශ්‍රී ලංකාවට දැනටමත් මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කිරීමට සිදුවන අතර, දේශීය නිෂ්පාදනය සහ පාරිභෝගික අවශ්‍යතාව අතර පරතරය පියවීමට ආනයන අවශ්‍ය වන තත්ත්වයක් පවතින බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය පෙන්වා දී තිබේ.

fishery 2

දේශගුණික බලපෑම් සහ මිනිසා විසින් සිදුකරන විනාශය


මෙම අර්බුදකාරී තත්ත්වයට ඉවහල් වන දේශගුණික විපර්යාසය ද මෙහිදී නොසලකා හැරිය නොහැකි සාධකයකි. ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රජාවන් මුහුදු මට්ටම ඉහළ යාම, සාගර උෂ්ණත්වය වෙනස්වීම, සාගර ආම්ලිකතාව, ගංවතුර සහ කුණාටු වැනි බලපෑම්වලට මුහුණ දෙන බව ශ්‍රී ලංකාවට අදාළ දේශගුණික ප්‍රතිපත්ති ලේඛන පෙන්වා දෙයි. මෙම වෙනස්කම් මත්ස්‍ය විශේෂවල ව්‍යාප්තිය, ඵලදායීතාව සහ ආහාර දාමය වෙනස් කළ හැකිය.

2026දී පළ වූ ශ්‍රී ලංකාවේ සාගර හා වෙරළබඩ දේශගුණික අවදානම් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් ද සාගර උෂ්ණත්වය, මුහුදු මට්ටම, සාගර සංසරණය, ලවණතාව, ආම්ලිකතාව, දියවූ ඔක්සිජන් මට්ටම, කුණාටු සහ වර්ෂාපතන වෙනස්වීම් වැනි සාධක මත්ස්‍ය ජෛව විවිධත්වයට හා සාගර පරිසර පද්ධතිවලට අවදානම් ඇති කරන බව පෙන්වා දෙයි.

එහෙත් දැනට පවතින එල්නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අස්වැන්න අඩුවීමට සෘජුවම හේතු වී ඇතැයි තවමත් තහවුරු කර නොමැති බව නාරා පාර්ශ්වයෙන් සඳහන් කර තිබේ. එබැවින් සෑම මත්ස්‍ය අස්වැන්න පහළ යාමක්ම එක් දේශගුණික සිදුවීමකට සම්බන්ධ කිරීම විද්‍යාත්මකව නිවැරදි නොවේ. මක් නිසාද යත් ඒ සඳහා බහුවිධ සාධක ඉවහල් වන බැවිනි.

අනෙක් අතට මත්ස්‍ය සම්පතට මිනිසා විසින්ම සිදුකරන හානිය ද බරපතළ ය. අධික ලෙස මසුන් ඇල්ලීම, නීතිවිරෝධී, වාර්තා නොකරන සහ නියාමනයකින් තොර ධීවර කටයුතු මෙන්ම විනාශකාරී ධීවර උපකරණ භාවිතය ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලු ලෙස එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය ද සඳහන් කරයි.

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ (NFSO) කැඳවුම්කරු හර්මන් කුමාරගේ චෝදනාව වන්නේ තහනම් දැල් සහ විනාශකාරී ධීවර උපකරණ භාවිතය තහනම් කරන නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම මත්ස්‍ය සම්පත ක්ෂය වීමට හේතු වන බවය. මෙය නාරා ආයතනය ඉදිරිපත් කරන “එක් හේතුවක් තවමත් තහවුරු වී නැත” යන විද්‍යාත්මක තක්සේරුවෙන් වෙනස් වූ පාර්ශ්වීය අදහසක් ලෙස සැලකිය යුතු ය.

 

fishery 3

විශේෂයෙන් උතුරු මුහුදේ මුහුදු පතුල සීරමින් සිදුකරන ධීවර ක්‍රමය (බොටම් ට්‍රෝලින්ග්) සම්බන්ධයෙන් ද බරපතළ පරිසර හානි පිළිබඳ අනතුරු ඇඟවීම් තිබේ. 2024දී නාරා පාර්ශ්වයෙන් පළ වූ තොරතුරු අනුව, එවැනි ක්‍රියාකාරකම් කොරල් පර සහ මුහුදු පැළෑටි වැනි මත්ස්‍යයන්ගේ ප්‍රජනන වාසස්ථානවලට හානි කරන අතර, ඇතැම් ප්‍රදේශවල මත්ස්‍ය අස්වැන්න 2015ට සාපේක්ෂව සියයට 50කින් පමණ අඩු වී ඇති බව ද සඳහන් කර තිබිණි. මෙහිදී ප්‍රශ්නය වන්නේ නීතිය තිබේද නැද්ද යන්න පමණක් නොවේ. නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් නිරීක්ෂණ, සම්පත්, දේශසීමා සහ මුහුදු සීමා පාලනය, දේශීය හා ජාත්‍යන්තර සහයෝගිතාව සහ ධීවර ප්‍රජාවගේ සහභාගිත්වය තිබේද යන්නය.


වෘත්තියෙන් ඈත්වන තරුණ පරපුර සහ සංස්කෘතික සබඳතාව බිඳවැටීම

පරම්පරා ගණනාවක් තිස්සේ පියාගෙන් පුතාට, පවුලෙන් පවුලට පැවරුණු ධීවර වෘත්තිය අද තරුණ පරපුරට ආකර්ෂණීය වෘත්තියක් නොවන්නේ නම්, එය සමාජ විද්‍යාත්මක අනතුරු ඇඟවීමකි. ධීවර වෘත්තිය අවදානම් සහිත රැකියාවකි. මුහුදු කාලගුණය අනපේක්ෂිතය. ඉන්ධන, දැල්, එන්ජින් අලුත්වැඩියා, අයිස් සහ අනෙකුත් වියදම් ඉහළ ය. අල්ලා ගන්නා මාළු ප්‍රමාණය ස්ථිර නැත. වෙළෙඳපොළ මිල ද වෙනස් වෙයි. ඒ අතර ණය බරක් පවතී නම් ධීවරයාගේ දෛනික ආදායම තවත් අවිනිශ්චිත වෙයි. එවැනි පසුබිමක නගරයක දිනපතා වැටුප් ලබන රැකියාවක් හෝ වෙනත් අංශයක සාපේක්ෂව ස්ථාවර ආදායමක් තරුණයකුට ආකර්ෂණීය වීම පුදුමයක් නොවේ. මේ නිසා “ධීවරයා මුහුදට නොයන්නේ ඇයි?” යන ප්‍රශ්නයට වඩා “මුහුදේ සිටින ධීවරයාට ගෞරවනීය හා ස්ථාවර ජීවිතයක් ලබාදිය හැක්කේ කෙසේද?” යන ප්‍රශ්නය ඉදිරියට ගත යුතුය.

ධීවර වෘත්තිය අහිමි වීම යනු රැකියා සංඛ්‍යාවක් අඩුවීම පමණක් නොවේ. වෙරළබඩ ප්‍රජාවන්ගේ සාම්ප්‍රදායික දැනුම, මුහුදු ඥානය, කාලගුණ හඳුනාගැනීම, මත්ස්‍ය විශේෂ පිළිබඳ පාරම්පරික අවබෝධය, බෝට්ටු හා දැල් නිෂ්පාදනයට සම්බන්ධ කුසලතා වැනි විශාල දැනුම් පද්ධතියක් ද සමඟ එය බැඳී තිබේ. ධීවර කර්මාන්තය වටා ගොඩනැඟී ඇත්තේ ධීවරයා පමණක් නොවේ. බෝට්ටු නිෂ්පාදකයා, දැල් නිෂ්පාදකයා, අයිස් නිෂ්පාදකයා, මාළු වෙළෙන්දා, ප්‍රවාහකයා, වියළි මාළු නිෂ්පාදකයා සහ වෙරළබඩ කුඩා ව්‍යාපාරිකයා ඇතුළු විශාල පිරිසකගේ ආදායම් දාමයක් එයට සම්බන්ධය.

2024 සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ධීවර පවුල් සංඛ්‍යාව 188,940කි. එබැවින් ධීවර සම්පත ක්ෂය වීමෙන් බලපෑමට ලක්වන්නේ බෝට්ටුවක ගමන් කරන පුද්ගලයා පමණක් නොවන බව පැහැදිලි ය. මේ අතර ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය හා සම්බන්ධ ඓතිහාසික හා සංස්කෘතික උරුමයක් ද තිබේ. එහි පරම හිමිකරු සේම ආරක්ෂකයා වූයේ ද කතෝලික පල්ලියයි. මෙම යාවජීව සබැඳියාව කොතෙක් සවිමත් ද කිවහොත්, මෙරට ගොවි ජනතාව හා පන්සල අතර පැවැති සබැඳියාවටත් වඩා ධීවරයා හා පල්ලිය අතර පැවැති සබැඳියාව අතිප්‍රබල විය. එහෙත් ඒ සම්බන්ධයෙන් මේ වන විට එළැඹී ඇති ශෝචනීය තත්ත්වය වනුයේ, මේ වන විට මෙරට ධීවර ජනතාව මුහුණ දෙන බරපතළ ගැටලු, අර්බුද සම්බන්ධයෙන් කතෝලික සභාව තුළ ප්‍රමාණවත් දැනුම් අවබෝධයක් නොමැති වීම ය.

එමෙන්ම අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධීවර කලාපයක් වන වයඹ හා බටහිර මුහුදු තීරවල මීසම් පාලක/සේවක පියවරුන් සතුව මෙම අර්බුදය සම්බන්ධයෙන් ඇති දැනුම කොතරම් දැයි ඔබටම පරීක්ෂා කළ හැක. ඒ අතර මේ වන විට රජයට පවා උපදෙස් දෙමින් හා නියාමනය කරමින් සිටින පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා ගැනීමේ ව්‍යාපෘතිය නිමාවේ, මෙම අර්බුදයට විසඳුම් සොයන කතෝලික සභාවට ධීවරයන්ගෙන් හිස් වූ මුහුදක් පමණක් දැක ගැනීමට සිදු වනු ඇත. අප එසේ පවසනුයේ මත්ස්‍ය අස්වැන්න දිගින් දිගටම පහළ ගියහොත් ධීවර ප්‍රජාවට විකල්ප ජීවනෝපාය ලබාදීම අවශ්‍ය බව නාරා පාර්ශ්වයෙන් ද පෙන්වා දී ඇති පසුබිමක ය. මත්ස්‍ය වගාව එවැනි විකල්පයක් ලෙස ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා විශේෂ වැඩසටහන් ආරම්භ කර ඇතත්, එහි ප්‍රගතිය සම්බන්ධයෙන් තවමත් සෑහීමකට පත්විය නොහැකි බව ද සඳහන් වී තිබේ.

කෙසේ වෙතත්, සියලුම සාම්ප්‍රදායික ධීවරයන් එකවර මත්ස්‍ය වගාවට යොමු කළ හැකි යැයි සිතීම ප්‍රායෝගික නොවේ. භූමිය, ජලය, ආයෝජනය, තාක්ෂණය, වෙළෙඳපොළ සහ පුහුණුව යන සාධක ඒ සඳහා අවශ්‍යය. එබැවින් ජල ජීවී වගාව (Aquaculture) ප්‍රවර්ධනය කිරීමත් සමඟම ස්වභාවික මත්ස්‍ය සම්පත ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යය.

මුහුදත් ධීවරයාත් රැකගැනීමේ තිරසර මාවත

 

sri lanka 1075469 1280
ශ්‍රී ලංකාවේ ධීවර අර්බුදයට විසඳුම තවත් බෝට්ටු මුහුදට යැවීම හෝ තවත් දැල් යොදා වැඩි මාළු ප්‍රමාණයක් අල්ලා ගැනීම පමණක් විය නොහැකිය. මත්ස්‍ය සම්පතේ ප්‍රජනන හැකියාවට වඩා වේගයෙන් එය උදුරා ගන්නේ නම්, කෙටි කාලීනව අස්වැන්න වැඩි වුවද දිගු කාලීනව මුහුද හිස් විය හැකිය.

එබැවින් මත්ස්‍ය සම්පත් තක්සේරු කිරීම, විද්‍යාත්මක දත්ත මත ධීවර කෝටා හෝ සීමා තීරණය කිරීම, ප්‍රජනන සමයේ ආරක්ෂිත කලාප ඇති කිරීම, විනාශකාරී ධීවර ක්‍රම නතර කිරීම, නීතිය සමානව ක්‍රියාත්මක කිරීම, මුහුදු වාසස්ථාන ආරක්ෂා කිරීම සහ ධීවර ප්‍රජාව තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම වඩා වැදගත්ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රයේ ඉදිරි ගමන සඳහා තිරසර මත්ස්‍ය සම්පත් කළමනාකරණය සමඟ, ජල ජීවී වගාව, ආදායම් විවිධාංගීකරණය, නව සැකසුම් ක්‍රම සහ නිෂ්පාදනවලට අගය එකතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

අවසානයේ අප තේරුම් ගත යුතු කරුණක් තිබේ. ගොවියා රටට බත සපයන අතර ධීවරයා එම බත් පතට ප්‍රෝටීන සපයයි. ගොවියාගේ කුඹුර වියළී ගිය විට ආහාර සුරක්ෂිතතාවට තර්ජනයක් ඇති වන සේම, ධීවරයාගේ මුහුද හිස් වන විට ද රටේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවට තර්ජනයක් ඇති වේ.

අද මුහුදෙන් ඇසෙන ධීවරයාගේ දුක් අඳෝනාව හෙට ආහාර වෙළෙඳපොළෙන් ඇසෙන මිල ඉහළ යාමේ හඬක් විය හැකිය. එය තවත් දුර ගියහොත් තරුණ පරපුර මුහුදෙන් ඈත්වීම, වෙරළබඩ ප්‍රජාවන්ගේ සමාජ ව්‍යුහය වෙනස්වීම සහ දේශීය ආහාර නිෂ්පාදනය විදේශ ආනයන මත වැඩි වශයෙන් රඳා පැවතීම දක්වා ගමන් කළ හැකිය.

ඒ නිසා අද අවශ්‍ය වන්නේ ධීවරයාට “තවත් මුහුදු යන්න” යැයි පැවසීම නොවේ. “මුහුදත් ධීවරයාත් එකවර රැකගන්නේ කෙසේද?” යන්න ජාතික ප්‍රතිපත්තියේ ප්‍රමුඛ ප්‍රශ්නයක් බවට පත් කිරීමය.

මුහුද රැකුණොත් මාළු රැකෙයි. මාළු රැකුණොත් ධීවරයා රැකෙයි. ධීවරයා රැකුණොත් රටේ ආහාර පතේ තවත් අත්‍යවශ්‍ය කොටසක් රැකෙයි. එබැවින් ධීවරයාගේ කඳුළ යනු වෙරළේ පමණක් ඇසෙන හඬක් නොව, සමස්ත රටේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ බරපතළ අනතුරු ඇඟවීමකි.

(සටහන | රීටා ජෙනට් පෙරේරා)
නිදහස් මාධ්‍යවේදිනී
madampagereetajenet@gmail.com

උපුටා ගැනීම -vinivida.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...