ජීවිත යථාර්ථය, රොමෑන්තික ප්‍රේමය සහ ලේ විරහිත අරගලය එකම ස්වර මණ්ඩලයකින් සුසංයෝග කළ අපූර්ව ගාන්ධර්විනිය.
ඇගේ ගීත මෙහෙවර ගැන ලිවීමට අකුරු නොසමත් යැයි හැඟේ. ඒ ඇය අකුරු වලින් එකලස් කරනවාට වඩා මහා කලා ආඛ්‍යානයක් ආත්මීය වශයෙන් දරාගත් ගැහැනියක් ලෙස කලා අභ්‍යාසයේ නිමග්න වූ හෙයිනි. ඇගේ ගැයුම් පරාසය ඇත්තේ නොතිත් අවකාශ මානයකය. එම අවකාශ මානයේ සහෘදයන් ලෙස අපිට පියාසලන්නට පුළුවන. එහෙත් රූපකමය සහ සංකේතාත්මක වශයෙන් ඇගේ ව්‍යක්ත හඬින් මතු කරන ස්වභාවවාදී මෙන්ම රොමෑන්තිකවාදී ලෞකිකත්වය වෙනම කලාලයක අකුරු මත තැන්පත් කිරීම පහසු කාර්යයක් නොවේ.
ඒ 2008 වසරයි. සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයෝ එම වසරේ ජුලි 24 වැනිදා දිවිය හැර ගියහ. මම ඔහු පිළිබඳ පුවත්පත් අතිරේකයකට කඩිනම් සැලසුම් හදමින් ආචාර්ය තිස්ස අබේසේකර යන් ඇමතූයේ ඉක්මනින් ලිපියක් ලියවා ගැනීමේ අරමුණ පෙරදැරිවය. කටයුත්ත බාරගත් ඔහුට ස්තූති කළ මම එවැනි යුග කාරක කලාකරුවන්ගෙන් හිස්වන බිමට යළි එවැන්නන්ගේ ස්පර්ශය නොලැබීම පිළිබඳව දුක්මුසු ස්වරයක් නැගීමි.

'ඔහොම හිතුවොත් උඹලා සදාකාලයටම පරාදයි' යන්න ඊට පිළිතුරු වශයෙන් තිස්ස කීවේය. වැඩිදුරටත් ඔහු කීවේ ලෝකෙ එහෙම වෙන්නේ නැහැ, හැම කෙනෙකුටම රිප්ලේස්මන්ට් එකක් තියෙනවා යනුවෙනි.
ලෝකයේ එසේ වුවත් ලංකාවේ එසේ නොවන බව කී මම නිදසුන් දෙක තුනක්ද කීවෙමි.
"නැතිවීමෙන් උපදින සංස්කෘතික හිස්කම"
නන්දාගේ නික්මනත් පැහැදිලිවම එවැනි හිස්කමක් කලා සමාජයට ශේෂ කරන්නකි. එහෙත් අප එකී හිස්කම ගැන සිතිය යුත්තේ එසේමද යන ප්‍රශ්නය විවාදාපන්නය. නන්දා ඇගේ මෙහෙවර නිමකර නික්ම ගියාය. ඇගේ මියුරු ස්වරය හා ගී දැහන රසික සමාජයට අනල්පය. ඇගේ නික්මනින් පසු ඇති වන හිස්කම යනු භෞතිකමය හිස්කමක් නොව සංස්කෘතික හිස්කමක් ලෙස තේරුම් ගැනීම වැදගත්ය. සංස්කෘතික හිස්කම පිරවිය හැක්කේ සාර සංස්කෘතික මැදිහත්වීමකින්මය. කවර සමාජයක් වුව ව්‍යාවෘත විය යුත්තේ ඒ සංස්කෘතික හිස්කම පුරවා ගැනීමෙහිය. තිස්ස අබේසේකර මහතා මීට වසර 18 කට පමණ පෙර දවසක කියා තිබුණේ ඒ කතාවය.
"පොළොවේ පයගැසූ ජීවිත අත්දැකීම් සහ ගීතයේ ආත්මය"

නන්දාග් ගීත අනුභූතීන්, යථාර්ථ- ලෞකිකත්වය ගුරු කොට ගත් නිර්මාණ ලෙස හැඳින්විය හැකිය. ස්වභාවවාදය හා රොමාන්තිකවාදය ඇගේ ගීතාවලිය තුළට එන්නත් වී තිබුණේ යථාර්ථ- ලෞකිකත්වය වෘත්තාකාර අර්ථයකින් සපුරා ග්‍රහණය කර ගැනීම උදෙසාය. ඇය මීට වසර කීපයකට පෙර දරු පිරිසක් වෙනුවෙන් කළ දේශනයකදී තම පියා ඇඳුම් මහන්නෙක් බව කිව්වාය. ඇය ඔහු ගැන කළ විස්තරය අනුව පියාගේ රැකියාව ඔස්සේම ලැබුණු ජීවිත වියමන නන්දාටත් ලැබී තිබුණි.
දා හතර වියැති නන්දා ගුවන් විදුලිය මගින් පැවැත්වූ ගීත තරඟයකින් ප්‍රථම ස්ථානය ලබා බොම්බායට යාමට තිබුණු අවස්ථාව මඟහැර ඒ සඳහා වෙන්කරන ලද මුදල ත්‍යාගය ලෙස ලබා ගත්තාය. පියා සමග පිටකොටුවෙන් එළවළු රොටි කා සරුවත් පානය කළ ඇය අනතුරුව ත්‍යාග මුදලින් පියාට ඇඳුම් මැදීමට ස්ත්‍රික්කයක්, නිවසට විදුලිය හා පියාට උණු වතුර බෝතලයක් මිලදී ගැනීමට වැය කළාය. ඇය සිය නිර්මාණ සඳහා සිය අතීතය මෙන්ම තමන් සහ තම පවුලේ සාමාජිකයන් ලද අව වරප්‍රසාදිත අත්දැකීම පිටිවහල් කොට ගත් බව දක්නට ලැබිණි. බොම්බායට යාම, සිය පවුලේ සරල නමුත් අත්‍යාවශ්‍ය පැවැත්ම වෙනුවෙන් කැප කරන්නට ඇය දෙවරක් නොසිතුවාය.
සුනිල් ආරියරත්න විසින් රචනා කළ නන්දා ගයන "රුවල් ඉරී ගිය නෞකාවේ.." වැනි ගීතයක. ආත්මීය අරුත මෙන්ම එය විවරණය කෙරෙන සංවිචාරීය සිද්ධාන්තය අද වන විට වෙනස්ව තිබිය හැකි මුත් ගීතය මුල්වරට ගැයූ කාලය හා එය අපගේ කාලානුරූප,ආසක්තතාවට හසු වූයේ නන්දා මෙන්ම සුනිල් වීර කාව්‍යයක චරිතද්වයක් ලෙස අධිනිශ්චය කරමිනි. එහිදී වඩා වැදගත් වන්නේ නන්දාගේ හෘදය අභ්‍යන්තරයෙන් පැන නගින එහි පදරුත් ආත්මගතව ප්‍රයානය කෙරෙන ආකාරයයි. ඇගේ දිවියේ සැබෑ කැපකිරීම නන්දා එතුළින් මතු කරන්නීය.
සුන්බුන් නැව් බඳ දියබත් වී යයි
හෙමිහිට
අත්හළ මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස
දෑස පියාගෙන මා බිලිදී දිය
ගැඹුරට
ගැලවී යනු මැන මේ විපතින්
හිත දැඩිකොට.
නන්දා මාලිනී නම් ශිල්පිනියගේ බඩ ප්‍රදේශයේ සිට හෘදය අභ්‍යන්තරය ඔස්සේ නාසය මුඛය හා සුසුම් සරාගයෙන් එන කටහඬ, පදරුත් ගුණය මැනීමට හැකි විශිෂ්ට ගීතයක් ලෙස එම ගීතය හැඳින්විය හැකිය. ඊළඟට එසේ පදරුත් ගුණයට විශාල බලපෑමක් කරන්නේ ශිල්පියා හෝ ශිල්පිනියගේ ජීවිත අත්දැකීම් සමුදායයි. නන්දා මන්ද්‍ර ළයකින් එහි ස්වර කටහඬින් පාලනය කරන ආකාරය ගායනය විෂයෙහි පරිසමාප්ත අත්දැකීමක් සහෘදයාට ළඟා කර දෙයි. එහිදී පර්යාය වශයෙන් ඇය මතු කරගන්නා ලෞකිකත්වයත් රොමෑන්තිකවාදී ස්වරූපයත් විසින් ගීතය විචිත්‍රවත් කර්ණ රසායන අත්දැකීමක් බවට පත් කිරීම මතු නොව අපිස් ශික්ෂණයක්ද ඉන් ජනනය කරන සුළුය. එම ශබ්ද අර්ථ සමුදායට සමාන්තර ආරකින් ඇය ගායනා කරන තවත් ගීතයක් තිබේ.
දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින්
ප්‍රියයාණනී ඔබ සුරකිම් බැතින්...
එම ගීතයේදී ද නන්දා මන්ද්‍ර ස්වරය හසුරවන ආකාරය සුවිශේෂීය. ඇය ආදරයේ ප්‍රහර්ශය දේවදූත ආත්මයක සිට ප්‍රකාශ කරන දෙයක් බවට පත්කොට තිබේ. එහෙත් එය ප්‍රකාශ කරන්නී නන්දාය. ඒ අප හඳුනන පොළවක සිටය. ඒ පරිමිතත්වය ඇය හිමිකර ගන්නී සෞන්දර්ය විඥානය මෙන්ම සමාජ විඤ්ඤාණය ද මෙහිදී භාවිත කරන නිසාය. නාට්‍යයක දෙබස් කණ්ඩයකට පණ දෙන නළුවෙකුගේ සුසාධිත ස්වරපයක් සිය කටහඬ ඔස්සේ සමර්පනය කරන නන්දා ප්‍රේමය සනාථන ජීවාත්මීය අත්විඳීමක් බවටද මෙහිදී පත් කරන්නීය.
"කුටුම්භීය සෙනෙහස සහ ගායනයේ අපිස් ශික්ෂණය"

පියාගේ ආදරණීය ලෝකයෙන් ඉකුත් වීමෙන් පසු නන්දා සැමියාගේ ලෝකය සමඟ ඒකාත්මික වන ආකාරයෙහි තිබෙන්නේත් ඉවසීම ආදරය සහ කෘතවේදීත්වය බව ප්‍රකාශමාන කෙරෙයි. මහින්ද අල්ගම ලියූ රුක්අත්තන මල මුදුනේ ගීතය ඒ සඳහා පැහැසර නිදසුනකි.
මුතු පිනිදැල් සැලෙන උදේ
උදා දිමුතු හිරු එළියේ
පුතු සවනට රහස් කියා
පියමං කරලා....
ඒ තම පුතුගේ පියා උදෑසන රාජකාරිය සඳහා පිටත්වන හෘදයාංගම පිළිවෙලය. ඔහු සවස ගෙදර එන්නේ කෙසේද? ඒ මෙසේය.
පතොක් වැටිය උඩින් ඇදී
දිවයුරු මිය යන මොහොතේ
පුරා හඳක් සේ ඈතින්
කවුරුද එන්නේ.....
දිවයුරු මිය යෑමත් සමග තමන්ගේත් දරුවාගේත් ලෝකයට ස්වාමියා සහ පියා නමැති හඳ පායන අන්දම ගයන ඈ එකලස් කළ කුටුම්භයක මහරු දීප්තිය සහ සැනසීම ධ්වනි ගුණය සහිත අර්ථයකින් මතු කරගන්නීය. ගීතයේ අන්තරා කොටස් වලදී නන්දා විසින්ම නිර්මිත සංගීතය මෙම ගීතයට කාල අවකාශය දැක්වෙන සාර අරුතක් දීමට වැඩි දායකත්වයක් දෙන අයුරුද දිසේ.
පළමු සහ දෙවන අන්තරා කොටස් වලදී සංගීතයේ ලය මානය ලිහිල් කර කණ්ඩනය කිරීමෙන් ඇය සිය ඒකතානමය ජීවිත වරපට මොහොතකට අත්හරිනවා යැයි තර්කයක් ගොඩනැගිය හැකිය. එහෙත් තම ස්වාමියා නිවසින් ගිය විට දරුවෙකු සිටින බිරිඳකට ඉටු කිරීමට වගකීම් සම්භාරයක් තිබේ. එය සැමියාගේ ලෝකයෙන් මිදී කුටුම්භයේ ඇතැම් දේවල් තමන් විසින්ම තීරණය කරන මොහොතකි. ඒ මොහොතට නන්දාගේ ගායනය මතු නොව ඇගේ තනු නිර්මාණයද මෙම ගීතයේදී පළල් අරුතක් දෙන ආකාරය රමණීය ය.
"රුහිරෙන් තොර ආදරයේ අරගලය"

බොහෝ දෙනකු කතා කරන, තවත් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ නන්දාගේ විරෝධා කල්ප ගී ගැනත් ඉතා කෙටි අදහසක් පළ කළ යුතුව ඇත.
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය
සහ විනිසුරන්....
එසේ ඇය එක් ප්‍රකට ගීයක ගයන්නේ මහත් ඉවසීම් සහගත ප්‍රශ්න කිරීමක නිමග්න වෙමිනි.
ඒ පිළිබඳව ඊටත් වඩා සංයත ප්‍රශ්න කිරීමේ විලාසයක් තවත් තිබිය නොහැකිය. එනම් නන්දා මානව සමාජයේ පරිවර්තනයක් බලාපොරොත්තු වන අරගලය දෘෂ්ටිවාදීව මතු නොව එය රුහිරෙන් තොර අරගලයක් ලෙස ප්‍රකාශමාන කරන්නීය. සැබැවින්ම ඉකුත් වකවානුවේ ආදරයේ අරගලයට බලපෑවේ කපව්, කොටව් වැනි අදහස් නොවේ. නන්දා මාලනී බඳු පරිසමාප්ත ශිල්පිනියන්ගේ බුද්ධිවාදී ගායනාය. සාමකාමී සමාජ පරිවර්තනයක් වෙනුවෙන් දිගු කාලයක් ලියූ ලේඛකයන්ගේ, නිර්මාණකරුවන්ගේ නිර්මාණ භාවිතාවය. ආර්ථික පීඩනය මෙන්ම දේශපාලන වශයෙන් මතයක් දැරීමේ හා නිදහස පිළිබඳ පීඩනය තමන්ට දැඩි ලෙස එක් යුගයක දැනුණු බව ඇය විටෙක කියන්නීය. එය ඇය ගීතාත්මය තුළට වැද ගයන්නී මානව ප්‍රේමණීය අරුතකිනි. එවිට දේශපාලන අරගලය වෙනුවෙන් ඇයට ගයන්නට සිදුවන්නේ විදග්ධ වූත් ආදරණීය වූත් හෘදයාංගම වූත් හැඟීමකිනි. නූතන මිනිස් හද අබතුර. ඉල්ලා සිටින ගීතය එය මිස අනෙකක් නොවේ. දිගු කලෙක සිට එය අපට තිළිණ කළ නන්දා එක්තරා පරිවර්තන යුගයක සාක්‍ෂියකුත් සමඟ නික්ම ගියාය.
ඉතින් නන්දා අපේ සදාතනික ආදරය ඔබ වෙනුවෙන් පුදන්නට ඉඩ දෙන්න.
(සටහන | විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී
wimale.ravaya67@gmail.com




