BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විශේෂාංග

ආහාර සහ ජලය සොයා එන සතුන් දඩයම ජන මනසට අනුව 'සහගහන අපරාධයකි' | කදුරුපොකුණේ සුමංගල හිමි

T

The Leader Desk

August 28, 2026 • 12:34 PM

ආහාර සහ ජලය සොයා එන සතුන් දඩයම ජන මනසට අනුව 'සහගහන අපරාධයකි'  | කදුරුපොකුණේ සුමංගල හිමි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නියං සමයේ පිපාසය නිවා ගැනීමට ගම්වදින වනසතුන්ගේ අසරණකම ගොදුරු කරගන්නා අනුකම්පා විරහිත දඩයම සහ අපේ පැරණි ගැමි විඥානයේ පටිසන් දෙන 'සහගහන අපරාධ'
  • මෑතකදී රිටිගල කළුඑළිය ප්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීමකට අනුව ජලය සොයා ගමන් කළ බවට සැලකෙන ගල් ඉබ්බන් පහළොස් දෙනකු නිවසක් ආසන්නයේ පිහිටි පාළු ළිඳකට වැටී සිටිනු එම නිවැසියන් දැක තිබේ.
  • ඒ පිළිබඳව ඔවුන් රිටිගල වනජීවී කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව එහි පැමිණි වනජීවී නිලධාරීන් එම සතුන් නිරුපද්‍රිතව ගොඩගෙන ඇත.
  •   වියළි කාලගුණය උග්‍ර වන විට මිනිසුන්ට පමණක් නොව වන සතුන්ට ද ජීවිතය පවත්වාගෙන යාම අභියෝගයක් බවට පත්වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


රිටිගල ගල් ඉබ්බන්ගේ ගලවා ගැනීමෙන් හෙළිවන වියළි කලාපීය වනජීවී අර්බුදය, නීතියේ සීමා සහ බුදු දහමේ අහිංසාවාදී මඟ පෙන්වීම පිළිබඳ ධාර්මික විමසුමක්.



මෑතකදී රිටිගල කළුඑළිය ප්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීමකට අනුව ජලය සොයා ගමන් කළ බවට සැලකෙන ගල් ඉබ්බන් පහළොස් දෙනකු නිවසක් ආසන්නයේ පිහිටි පාළු ළිඳකට වැටී සිටිනු එම නිවැසියන් දැක තිබේ. ඒ පිළිබඳව ඔවුන් රිටිගල වනජීවී කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව එහි පැමිණි වනජීවී නිලධාරීන් එම සතුන් නිරුපද්‍රිතව ගොඩගෙන ඇත. පසුව ඔවුන් ජලය පවතින රිටිගල දෙමටවැව ප්‍රදේශයට මුදාහැරීමට ද කටයුතු කර තිබේ.

 



වියළි කාලගුණය උග්‍ර වන විට මිනිසුන්ට පමණක් නොව වන සතුන්ට ද ජීවිතය පවත්වාගෙන යාම අභියෝගයක් බවට පත්වෙයි. නමුත් ස්වභාවධර්මය සමඟ සමීපව ජීවත් වූ අතීත ගැමියාට මේ සත්‍යය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවීය. වනාන්තරවල දිය කඩිති, දොළපාරවල් සහ අනෙකුත් ස්වාභාවික ජල මූලාශ්‍ර සිඳී යන විට ජලය සොයා සතුන් තම සුපුරුදු වාසස්ථානවලින් බැහැරට පැමිණෙන බව ඔවුහු අත්දැකීමෙන් දැන සිටියහ. එවැනි ගමනකදී ස්වාභාවික අනතුරුවලට පමණක් නොව මිනිසා විසින් නිර්මාණය කරන ලද අනතුරුවලට ද වන සතුන් ගොදුරු විය හැකි බව ද අතීත ගැමියාට රහසක් නොවිණි.

බැලූ බැල්මට මෙය සරල වනජීවී ගලවා ගැනීමේ සිදුවීමක් සේ පෙනුණ ද, එහි සැඟවී ඇත්තේ වියළි සමයේදී අපේ වන සතුන් මුහුණ දෙන දැවැන්ත අර්බුදයකි. මෙය අතීත ජන සමාජය ඉතා හොඳින් දැන සිටි තත්ත්වයකි. ස්වාභාවික ජල මූලාශ්‍ර සිඳී යන විට ඉතිරිව ඇති ජල ස්ථාන වෙත සතුන් විශාල සංඛ්‍යාවක් එක්රැස් වීම ස්වාභාවිකය. ජලය ඔවුන්ගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් බැවින් එය සොයා යාම ඔවුන්ට වැළැක්විය නොහැකි ක්‍රියාවකි.

එහෙත් එම ස්වාභාවික අවශ්‍යතාවම ඇතැම් විට ඔවුන්ගේ විනාශයට හේතුවක් බවට පත්වීම කනගාටුදායක ය. ජලය සොයා ඇදෙන වන අලි රංචුවල කුඩා අලි පැටවුන් ජලාශ සහ වගා ළිං තුළට වැටීම ඉතා සුලබ තත්ත්වයකි. එමෙන්ම ජලය සොයා සතුන් නිතර පැමිණෙන ස්ථාන පිළිබඳව දඩයක්කරුවන්ට පහසුවෙන් අවබෝධ කරගත හැකි බැවින්, එවැනි ස්ථාන දඩයම් කිරීම සඳහා යොදාගැනීමේ අවදානමක් පවතී. වනාන්තරය පුරා ජලය හිඟ වන තරමට සතුන්ට ජල මූලාශ්‍ර කිහිපයක් වෙත නැවත නැවතත් පැමිණීමට සිදුවීම දඩයක්කරුවන්ට ඔවුන්ගේ ගමන් මාර්ග හඳුනා ගැනීමට පහසු කරයි. ළිං, ගැඹුරු වළවල් සහ වෙනත් මිනිස් නිර්මාණවලට වැටීම, මදු සහ වෙනත් උගුල්වලට හසුවීම මෙන්ම දඩයම්කරුවන්ගේ ඉලක්කයක් වීම එම තර්ජන අතර වේ.

 

ජල මූලාශ්‍ර අසල දඩයම: අතීත ගැමියා දුටු 'සහගහන පව' සහ ස්වභාවධර්මයේ නීතිය

විශේෂයෙන්ම ජල මූලාශ්‍ර ආශ්‍රිතව සතුන් දඩයම් කිරීම ඉතා අමානුෂික ක්‍රියාවකි. පිපාසය නිවා ගැනීම සඳහා පැමිණෙන සතෙකුගේ ස්වාභාවික අවශ්‍යතාවම උගේ මරණයට යොදා ගැනීමෙන් මිනිසාගේ අනුකම්පා විරහිතභාවය මනාව හෙළි වේ. ඒ අනුව අතීත ජන සමාජය එවන් ඝාතන සහගහන අපරාධ ලෙස හැඳින්වූහ. එසේ සතකු ඝාතනය කිරීම සේම ඝාතනය වූ සතෙකුගේ මස් අනුභවය ආහාර හා වතුර නොමැතිව මරණයට පත් වීමට තරම් සහගහන අපරාධයක් බව අතීත සමාජයේ පොදු පිළිගැනීමක් විය. අතීතයේ අප සමාජයේ ජීවත් වූ කිසිවකු ජීවිතයේ අවසාන සමයේ ආහාර හෝ ජලය නොමැතිව දින, සති හෝ මාස ගණනක් දුක් විඳීම ඒ තැනැත්තා ඉකුත් භවයක සිදු කළ එවන් සහගහන අපරාධයක් පටිසන් දීම ලෙස අපේ පැරණි ගැමියෝ හැඳින්වූහ. මෙම සහගහන යන්නෙහි අරුත වින්දිතයාගේ ශාපයට ලක් විය හැකිය යන්න ය.

නූතන චින්තනය අනුව වුව වන සතුන් යනු ස්වභාවධර්මයේ අලංකාරය වැඩි කරන ජීවීන් පමණක් නොවේ. පරිසර පද්ධතියේ සමතුලිතතාව පවත්වාගෙන යාමේදී ඔවුන්ට අත්‍යවශ්‍ය කාර්යභාරයක් තිබේ. එක් සත්ව විශේෂයක සංඛ්‍යාව විශාල වශයෙන් අඩුවීම ආහාර දාමයට මෙන්ම පරිසර පද්ධතියේ සමස්ත සමතුලිතතාවට ද බලපෑම් ඇති කළ හැකිය. එබැවින් වන සතෙකු මරා දැමීම යනු එක් ජීවිතයක් විනාශ කිරීම පමණක් නොව, ස්වභාවධර්මයේ විධිමත් යාන්ත්‍රණයකට හානි කිරීමකි.

වන සත්ව ආඥාපනත, මිනිස් කරුණාව සහ රිටිගලින් දුන් ආදර්ශය

 

759115313 1017411101135771 6615155453199409970 n
ශ්‍රී ලංකාවේ වන සතුන්ට නීතිමය ආරක්ෂාව සපයන ප්‍රධාන රාමුවක් වන්නේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතයි. ආරක්ෂිත වන සතුන් දඩයම් කිරීම, මරා දැමීම, අල්ලා ගැනීම හෝ නීති විරෝධී ලෙස වෙළෙඳාම් කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම නීති රාමුව යටතේ හැකියාව තිබේ. එබැවින් නියං සමයේදී ජලය සොයා අසරණව ගමන් කරන සතුන් දඩයම් කිරීමට සදාචාරයෙන් මෙන්ම නීතියෙන් ද ඉඩක් සලසා නැත.

එහෙත් නීතිය පමණක් වන සතුන් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා මිනිස් කරුණාව ද අවශ්‍ය ය. රිටිගල කළුඑළියේ සිදුවීමේදී ගල් ඉබ්බන් ළිඳට වැටී සිටිනු දැක නිවැසියන් වනජීවී නිලධාරීන්ට දැනුම් දීම එවැනි කරුණාවේ වටිනා නිදසුනකි. එය සතුන්ට කරුණාව දැක්වීමක් පමණක් නොව, මිනිසා සොබාදහම සමඟ බෙදාගන්නා අපගේ ජන සංස්කෘතිකමය වගකීමක් ඉටු කිරීමකි.

අතීත ගැමියා තම නිවාස, ගොවිබිම් සහ වනාන්තර මායිම් ආශ්‍රිතව ඇති භාවිතයෙන් ඉවත් කළ ළිං සහ ගැඹුරු වළවල් පිළිබඳව ද විමසිලිමත් විය. එවැනි ස්ථාන ආරක්ෂිතව වසා තැබීම හෝ සතුන්ට ගොඩවිය හැකි ආකාරයේ පහසුකම් සකස් කිරීම මඟින් අනතුරු වළක්වා ගැනීමට ඔවුනට අවකාශ හිමිවිය. විශේෂයෙන් වියළි සමයේදී සතුන් මිනිස් ජනාවාස ආසන්නයට පැමිණිය හැකි බැවින් ඔවුන්ට අනතුරුදායක ස්ථාන අවම කිරීම කෙරෙහි ද අතීත ගැමියෝ සැලකිලිමත් වූහ.

එමෙන්ම වර්තමාන සමාජයේ ජීවත් වන අප ද නියං සමය දීර්ඝ වන අවස්ථාවලදී වන සතුන් සඳහා ජලය සැපයීම පිළිබඳව අවධානය යොමු කළ යුතු ය. එහෙත් එය අසංවිධානාත්මකව සිදු කිරීම සුදුසු නොවේ. සතුන්ගේ ස්වාභාවික හැසිරීම්, රෝග පැතිරීම, මිනිස් ජනාවාස වෙත සතුන් ඇදී ඒම සහ පරිසර පද්ධතියට ඇති විය හැකි බලපෑම් සලකා බලා වනජීවී නිලධාරීන්ගේ උපදෙස් මත එවැනි ක්‍රියාමාර්ග ගත යුතු ය.

"සබ්බේ තසන්ති දණ්ඩස්ස": බුදු දහමේ සර්ව සත්ව මෛත්‍රිය සහ පාලකයාගේ වගකීම

 

image 59a881e25b
අප සමාජයේ කුඩා දරුවන් පවා ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟින් සනාථ කළ, සතුන් කෙරෙහි කරුණාව දැක්වීම අපේ සංස්කෘතික නැඹුරුව ලොවටම ආදර්ශයකි. නමුත් එහි අක්මුල් සිඳී යාම නූතනය හා බැඳුණු බරපතල ඛේදවාචකයකි. බුදු දහමේ අහිංසාව හා මෛත්‍රිය පිළිබඳ ඉගැන්වීම් මනුෂ්‍යයන්ට පමණක් සීමා නොවේ. පංචශීලයේ පළමු ශික්ෂා පදය වන “පාණාතිපාතා වේරමණී” මඟින් ප්‍රාණීන්ගේ ජීවිත විනාශ කිරීමෙන් වැළකීම අවධාරණය කරයි. එහි කරුණාවේ සීමාව මනුෂ්‍යයාගෙන් අවසන් නොවේ.

කරණීයමෙත්ත සූත්‍රයේ “තසා වා ථාවරා වා...” යනුවෙන් ත්‍රස්ත වන සහ නොවන, කුඩා සහ මහත්, දැකිය හැකි සහ නොදැකිය හැකි සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය පතුරුවන ලෙස දේශනා කෙරේ. මවක් තම එකම දරුවා රකින්නාක් මෙන් සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය දැක්විය යුතු බව එහි උගන්වයි. එය නූතන සමාජය වනජීවී සංරක්ෂණය පිළිබඳව අප කතා කරන මානවීය හා සදාචාරාත්මක වටිනාකම් සමඟ ඉතා සමීපව සම්බන්ධ වේ.

ධම්මපදයේ දණ්ඩ වග්ගයේ සඳහන් “සබ්බේ තසන්ති දණ්ඩස්ස, සබ්බේ භයන්ති මච්චුනෝ” යන ඉගැන්වීම ද මෙහිදී සිහිපත් කළ හැකිය. සියලු සත්වයෝ දඬුවමට බිය වෙති; සියලු සත්වයෝ මරණයට බිය වෙති. එබැවින් තමන් උපමා කරගෙන අනුන්ට හිංසා නොකළ යුතු බව එම ධර්මතාව අපට පෙන්වා දෙයි. පිපාසයෙන් පෙළෙන වන සතෙකු දඩයම් කිරීමට පෙර එම සත්වයාගේ ජීවිතයට ඇති ආශාව අපගේම ජීවිතයට ඇති ආශාව සමඟ සසඳා බැලිය හැකි නම්, බොහෝ දෙනකුගේ අතේ ඇති දඩයම් ආයුධය පහත වැටෙනු ඇත.

බුදු දහමේ මෛත්‍රිය යනු මිනිස් වර්ගයා අතර පමණක් බෙදාගත යුතු ගුණයක් නොවේ. තිරිසන් සතුන් ඇතුළු සියලු සත්වයන් කෙරෙහි ද එය පැතිරිය යුතු ය. සම්මා ආජීවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් තුළ සත්ව වෙළෙඳාම වැනි ජීවිත හා සම්බන්ධ අයහපත් ජීවනෝපායන්ගෙන් වැළකීම පිළිබඳ අවධාරණයක් දක්නට ලැබේ. එමෙන්ම විනය පිටකයේ කුඩා ජීවීන්ට පවා අනවශ්‍ය හානි නොකිරීම සම්බන්ධයෙන් පැනවීම් දක්නට ලැබීමෙන් බෞද්ධ අහිංසාවේ පරාසය මනාව පැහැදිලි වේ.

චක්කවත්ති සීහනාද සූත්‍රයේ ද රාජ්‍ය පාලකයාගේ වගකීමක් ලෙස වනමෘගයන් හා පක්ෂීන් ඇතුළු සතුන්ට ආරක්ෂාව සැපයීම පිළිබඳ අදහසක් ඉදිරිපත් වේ. එයින් පැහැදිලි වන්නේ සතුන්ගේ ආරක්ෂාව යනු පෞද්ගලික කරුණාවක් පමණක් නොව, යහපත් සමාජයක් හා පාලන ක්‍රමයක් සතු වගකීමක් ද වන බවය.

වාසස්ථාන අහිමි වූ සතුන් ගම්වැදීම 'වරදක්' නොවන මිනිස් පරාජයක සැබෑව

772036675 2856304418063492 4465609486683211802 n
නූතන මිනිසා ස්වභාවධර්මයේ විශාල කොටසක් තම අවශ්‍යතා වෙනුවෙන් වෙනස් කර ඇත. වනාන්තර විනාශ කිරීම, ජල මූලාශ්‍ර වෙනස් කිරීම, මාර්ග හා ජනාවාස ඉදිකිරීම ආදී ක්‍රියා හේතුවෙන් වන සතුන්ගේ ස්වාභාවික වාසස්ථාන ක්‍රමයෙන් සීමා වී තිබේ. එවැනි පසුබිමක සතුන් මිනිස් ජනාවාස ආසන්නයට පැමිණීම ඔවුන්ගේ “වරදක්” ලෙස දැකීම සාධාරණ නොවේ. ඇතැම්විට අප විසින් ඔවුන්ගේ වාසස්ථාන සීමා කර ඇති නිසාම ඔවුන් අපේ දොරකඩට පැමිණෙති. ඔවුන්ගේ මෙම පැමිණීමට සාධාරණ පදනමක් ඇති බව අදටත් ගැමි සමාජයේ බහුතරය පිළිගනිති.

එබැවින් වන සතෙකු මිනිස් වාසස්ථානයකට පැමිණි විට ඔහුට එරෙහිව වහාම හිංසාවක් කිරීම වෙනුවට එම සත්වයා එතැනට පැමිණීමට හේතුව කුමක්දැයි සිතා බැලීම වැදගත් ය. ජලය සොයාද? ආහාර සොයාද? වාසස්ථානයක් අහිමි වීම නිසාද? නැතහොත් තම ජීවිතාරක්ෂාව සඳහා ද? එවැනි ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමෙන් පමණක් මිනිසා සහ වන සතුන් අතර ගැටුම අවම කළ හැකිය. අප මෙසේ පවසනුයේ එම දැනුම් අවබෝධයන් අපගේ අතීත ජන සමාජය තුළ නොඅඩුවම තිබූ බව සිහිපත් කරමිනි.

මෙහිදී අප සිහිපත් කළ යුතු කරුණක් වන්නේ වනාන්තරය මිනිසාට පමණක් අයත් සම්පතක් නොවන බව ය. එය ක්ෂීරපායී, පක්ෂි, උරග, මත්ස්‍ය හා සමනල යන සත්ව විශේෂයන්ට ද ජීවත්වීමට ඇති නිවහනකි. ජලය සොයා එන සතෙකු දඩයම් කිරීම යනු උගේ ජීවිතයේ දුර්වලම මොහොතෙන් ප්‍රයෝජන ගැනීමකි. එය මනුෂ්‍යත්වයේ ජයග්‍රහණයක් නොව, මනුෂ්‍යත්වයේ පරාජයකි. එබැවින් වන සතුන් කෙරෙහි කරුණාව දැක්වීම යනු ඔවුන්ට අනුකම්පා කිරීම පමණක් නොවේ. ඔවුන්ගේ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම, අනතුරුදායක ළිං හා වළවල් සුරක්ෂිත කිරීම, දඩයම් මර්දනය කිරීම, දඩමස් ජාවාරමට එරෙහිවීම, වනාන්තර ආශ්‍රිත ජනතාව දැනුවත් කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී වනජීවී නිලධාරීන්ගේ සහාය ලබාදීම ද එයට ඇතුළත්ය.

මිනිසාගේ උසස් බව තීරණය වන්නේ ඔහුට වඩා දුර්වල ජීවියෙකු මත තම බලය පෙන්වීමෙන් නොව, තමන්ට වඩා දුර්වල ජීවිතයක් ආරක්ෂා කිරීමට හැකි වීමෙනි. එබැවින් නියං සමයේ පිපාසයෙන් ජලය සොයා එන සතෙකු දඩයම් කිරීමට නොව, උගේ ජීවිතය රැකගැනීමට ජාති ආගම් භේදයකින් තොරව අපේ දෑත් දිගු කළ යුතුය. අප පාරම්පරික ජන විඥානයේ එන එම උතුම් පාඩම අපගේ අනාගත පරපුරට ද දායාද කළ යුතුමය. මිනිස් කරුණාව මිනිසාගෙන් පමණක් අවසන් නොවී, වනයේ සැරිසරන සෑම ජීවියෙකු වෙතම යොමු වන දිනක සැබෑ මනුෂ්‍යත්වය ද අර්ථවත් වන්නේ එවිට ය. එය ස්වාභාවික යුක්තිධර්මීය තීන්දුවකි.

WhatsApp Image 2026 08 28 at 14.30.59| කදුරුපොකුණේ සුමංගල හිමි

[ කඳුරුපොකුණේ සුමංගල හිමියන්, වර්තමාන සමාජ, ධාර්මික හා විනයානුකූල කාරණා සම්බන්ධයෙන් බෞද්ධ දර්ශනය සහ විනය පදනම් කරගනිමින් අදහස් දක්වන, බෞද්ධ සමාජය තුළ ලිපි ලේඛන හා දේශන හරහා නියුතු ස්වාමීන් වහන්සේ නමකි]


උපුටා ගැනීම - vinivida.lk වෙබ් අඩවියෙන්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...