BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විශේෂාංග

සතියෙන් සුදු කරන මායාව පිටුපස සැඟවුණු 'මර උගුල් රූපලාවන්‍යය' | ඒ.ජී. රේණුකා දමයන්ති

T

The Leader Desk

August 29, 2026 • 9:30 AM

සතියෙන් සුදු කරන මායාව පිටුපස සැඟවුණු 'මර උගුල් රූපලාවන්‍යය' | ඒ.ජී. රේණුකා දමයන්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *අඩු මිලට ඉක්මන් ප්‍රතිඵල සොයා ගොස් සෞඛ්‍යය අනතුරේ දමාගන්නා සමාජ මාධ්‍ය රූපලාවන්‍ය ප්‍රවණතාව සහ විධිමත් නියාමනයක අවශ්‍යතාව.
  • “සතියෙන් සුදු වෙනවා”, “රුපියල් 3000ට ලේසර් ෆේෂල්”, “ගෙදරටම ඇවිත් බියුටි ට්‍රීට්මන්ට්” වැනි මනස්කාන්ත වචන අද සමාජ මාධ්‍ය දැන්වීම් අතර ඉතා සුලභ ලෙස දැකිය හැකි ය.
  • ඒ අනුව ෆේස්බුක්, ටික්ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ඉක්මන් ප්‍රතිඵල සහ අඩු මිල පොරොන්දු වන රූපලාවන්‍ය සේවා සමාජය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව පෙනී යයි.
  • රූමත් හෝ කඩවසම් වීමේ මිනිස් ආශාව අලුත් දෙයක් නොවුණද, එම ආශාව දැවැන්ත ජාවාරම් බවට පත්ව ඇති වේගය නම් අලුත් එකකි.
අකුරු ප්‍රමාණය (Font Size):


*රසදිය, අනාරක්ෂිත ලේසර් සහ නුපුහුණු අත්වලින් සිදුවන හානි: ක්ෂණික ලස්සනට වඩා සෞඛ්‍යාරක්ෂිත වෘත්තීය ප්‍රමිතියක් ගොඩනැගීමේ කාලීන සංවාදය.


“සතියෙන් සුදු වෙනවා”, “රුපියල් 3000ට ලේසර් ෆේෂල්”, “ගෙදරටම ඇවිත් බියුටි ට්‍රීට්මන්ට්” වැනි මනස්කාන්ත වචන අද සමාජ මාධ්‍ය දැන්වීම් අතර ඉතා සුලභ ලෙස දැකිය හැකි ය. ඒ අනුව ෆේස්බුක්, ටික්ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ඉක්මන් ප්‍රතිඵල සහ අඩු මිල පොරොන්දු වන රූපලාවන්‍ය සේවා සමාජය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව පෙනී යයි.

රූමත් හෝ කඩවසම් වීමේ මිනිස් ආශාව අලුත් දෙයක් නොවුණද, එම ආශාව දැවැන්ත ජාවාරම් බවට පත්ව ඇති වේගය නම් අලුත් එකකි. එහි ඇති වඩාත් බරපතළ පැත්ත වන්නේ වෘත්තීය සුදුසුකම්, සනීපාරක්ෂාව සහ වෛද්‍ය ආරක්ෂාව පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයකින් තොරව ඇතැම් රූපලාවන්‍ය සේවා ලබාදීම හා ලබාගැනීම සිදුවීමයි. එබැවින් අද අප ඉදිරියේ ඇති ප්‍රධාන ප්‍රශ්නය “රූපලාවන්‍යවේදය අවශ්‍යද?” යන්න නොවේ. සැබෑ ප්‍රශ්නය වන්නේ “රූපලාවන්‍යවේදය ආරක්ෂිත, වගකීම් සහිත හා වෘත්තීය ක්ෂේත්‍රයක් බවට පත් කරන්නේ කෙසේද?” යන්නයි.


cosmetology header

අතීතයේ ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය සේවාව ප්‍රධාන වශයෙන් මනාලියන් හැඩගැන්වීම, මංගල උත්සව හා විශේෂ අවස්ථා සඳහා සීමා වූ සේවාවක් ලෙස පැවතුණි. එහෙත්, අද වන විට එය මනාලියන්ගේ මිත්තනියන්' හැඩගැන්වීම තෙක් ව්‍යාප්තව තිබේ. ඊට අමතරව සම රැකවරණය, මුහුණු ප්‍රතිකාර, හිසකෙස් සැකසීම හා වර්ණ ගැන්වීම, නිය රැකවරණය සහ මේකප් ඇතුළු පුළුල් සේවා පරාසයක් දක්වා වර්ධනය වී ඇත. එමෙන්ම අද වන විට එය කාන්තාවන්ට පමණක් සීමා වූ ක්ෂේත්‍රයක්ද නොවන අතර, පිරිමින් අතරද සම රැකවරණය, හිසකෙස් සැකසීම සහ වෙනත් රූපලාවන්‍ය සේවා සඳහා ඇති ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඒ සමඟම රූපලාවන්‍යාගාර, නිවෙස් පදනම් කරගත් සේවා සහ වෘත්තීය පුහුණු ආයතනද වර්ධනය වී තිබේ. තරුණ තරුණියන්ට රැකියා හා ස්වයං රැකියා අවස්ථා නිර්මාණය කරන වැදගත් ආර්ථික ක්ෂේත්‍රයක් බවටද රූපලාවන්‍යවේදය පත්ව ඇත.


එබැවින් මෙම ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම “විධිමත් නොවූ” එකක් ලෙස හැඳින්වීම සාධාරණ නොවේ. ශ්‍රී ලංකාවේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ NVQ ලෙවෙල් 4 වැනි ජාතික වෘත්තීය සුදුසුකම් සහ ඇගයීම් ක්‍රම දැනටමත් පවතී. රූපලාවන්‍යවේදය හා කොණ්ඩා සැකසීම වැනි වෘත්තීන් සඳහා ද විධිමත් වෘත්තීය ප්‍රමිති හඳුන්වා දී ඇත. එසේ නම් සැබෑ ගැටලුව ඇත්තේ වෘත්තීය ප්‍රමිතියක් නොමැති වීම පමණක් නොව, ප්‍රමිතියක් තිබීමත් එය ක්ෂේත්‍රය පුරා ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමත් එකම දෙයක් නොවීමයි.

අඩු මිල සහ ක්ෂණික ප්‍රතිඵල පිටුපස ඇති සැබෑ වියදම

Close-up portrait of anorganic facial mask application at spa salon. Facial treatment. Skin care. Health care. Rejuvenation treatment.

“රුපියල් 2000යි”, “රුපියල් 3000යි”, “විශේෂ ඔෆර් එකක්” යන රූපලාවන්‍ය සම්බන්ධ වචන පාරිභෝගිකයා ආකර්ෂණය කිරීමට සමත් වුවද, රූපලාවන්‍ය සේවාවක සැබෑ වටිනාකම තීරණය වන්නේ මිලෙන් පමණක් නොවේ. භාවිත කරන නිෂ්පාදනයේ ප්‍රමිතිය, එහි කල් ඉකුත්වීමේ දිනය, අඩංගු ද්‍රව්‍ය, සේවාලාභියාට ඇතිවිය හැකි අසාත්මිකතා, උපකරණ විෂබීජහරණය කර තිබේද යන්න සහ සේවාව සිදු කරන පුද්ගලයාගේ පුහුණුව පිළිබඳව විමසිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. මෙවැනි කරුණු නොසලකා “අඩුම මිල” තෝරාගැනීම අවසානයේ වඩාත් මිල අධික තීරණයක් විය හැක්කේ, සිදුවන අතුරු ආබාධයකට ප්‍රතිකාර කිරීම සඳහා වැයවන මුදල මුල් සේවා ගාස්තුවට වඩා බොහෝ වැඩි විය හැකි බැවිනි.


රසදිය, විෂ රසායන සහ නොදන්නා ලේසර් ප්‍රතිකාරවල බරපතළ අවදානම

අද රූපලාවන්‍ය වෙළෙඳපොළේ වඩාත් සංවේදී කරුණක් වන්නේ සම සුදු කිරීමේ නිෂ්පාදන හා ප්‍රතිකාරයි. “සුදු නම් ලස්සනයි” යන සමාජ මතය නිසා ඉතා කෙටි කාලයකින් සමේ පැහැය වෙනස් කරන බව කියන ක්‍රීම්, පෙති සහ වෙනත් නිෂ්පාදන සඳහා ඉල්ලුමක් පවතී. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි රසදිය අඩංගු සම සුදු කිරීමේ නිෂ්පාදන භාවිතය වකුගඩු හානි, සමේ කැසීම සහ ස්නායු පද්ධතියට බරපතළ අහිතකර බලපෑම් ඇති කළ හැකිය. ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියද රූපලාවන්‍ය නිෂ්පාදනවල ඇති ඊයම්, රසදිය, ආසනික් සහ කැඩ්මියම් වැනි බැර ලෝහ පිළිබඳ පරීක්ෂණ කෙරෙහි අවධානය යොමු කරයි. එබැවින් පාරිභෝගිකයා නිෂ්පාදනයක ලියාපදිංචිය, අඩංගු ද්‍රව්‍ය සහ ලේබලය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

 

laser treatment
එමෙන්ම “රුපියල් 3000ට ලේසර් ෆේෂල්” වැනි දැන්වීම් පසුපස යාමේදීද දැඩි අවධානයක් යොමු කළ යුතු ය. සමේ ගැඹුරු ස්ථරවලට බලපෑම් කරන ක්‍රියාමාර්ග, ඉඳිකටු භාවිතය, රසායනික පිල් කිරීම සහ ඇතැම් උපකරණ ප්‍රතිකාර නිසි දැනුමකින් තොරව සිදු කළහොත් පිළිස්සීම්, ආසාදන, කැළැල් සහ සමේ වර්ණ වෙනස්වීම් වැනි සංකූලතා ඇතිවිය හැකි ය. විශේෂයෙන් ඉඳිකටු භාවිත වන සේවාවලදී උපකරණ නිසි ලෙස විෂබීජහරණය නොකිරීම බරපතළ ආසාදන අවදානමක් ඇති කරයි. එබැවින් උපකරණයට වඩා එය ක්‍රියාත්මක කරන වෘත්තිකයාගේ සුදුසුකම සහ ආරක්ෂිත ක්‍රමවේද වැදගත් වේ.

රූපලාවන්‍ය සේවාව යනු මිනිස් සම, හිසකෙස්, නිය සහ ඇස් ආශ්‍රිත සංවේදී ශරීර කොටස් සමඟ සෘජුව කටයුතු කිරීමක් බැවින් සනීපාරක්ෂාව පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය වේ. සේවාලාභීන් අතර උපකරණ පොදුවේ යොදා නොගැනීම, තුවා සහ වෙනත් ලිනන් එක් එක් භාවිතයෙන් පසු සේදීම, උපකරණ විෂබීජහරණය කිරීම වැනි මූලික කරුණු අනිවාර්ය ආරක්ෂක පුරුදු විය යුතුය. මෙම සේවාවන්හි භාවිත වන විවිධ රසායනික ද්‍රව්‍යයන්හි අන්තර්ගතය, සාන්ද්‍රණය සහ සේවාලාභියාගේ අසාත්මිකතා ඉතිහාසය පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය වන අතර, දිනපතා මෙම රසායනික ද්‍රව්‍ය සමඟ කටයුතු කරන වෘත්තිකයාගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැනද සැලකිලිමත් විය යුතුය.

close up of hotel housekeeper with fresh towels

මෙහිදී තවත් පැහැදිලි සීමාවක් හඳුනාගත යුතු අතර, එනම් රූපලාවන්‍ය සේවාව සහ වෛද්‍ය ප්‍රතිකාරය යනු දෙකක් බවයි. සමේ රෝගයක්, ආසාදනයක්, බරපතළ කුරුලෑ තත්ත්වයක් හෝ අසාමාන්‍ය ලෙස හිසකෙස් වැටීමක් වැනි වෛද්‍යමය තත්ත්වයක් “බියුටි ට්‍රීට්මන්ට්” එකකින් සුව කළ හැකි බවට පොරොන්දු වීම අනතුරුදායක ය. වෛද්‍යමය ප්‍රතිකාරයක් අවශ්‍ය අවස්ථාවක පාරිභෝගිකයා සුදුසු වෛද්‍යවරයා වෙත යොමු කිරීම සහ තමන්ට කළ නොහැකි දේ හඳුනාගැනීම සැබෑ වෘත්තීයභාවයේ ලක්ෂණයකි.

සමාජ මාධ්‍ය ජනප්‍රියත්වයට එහා ගිය වෘත්තීය නියාමනයක අවශ්‍යතාව

අද සමාජ මාධ්‍ය රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල අලෙවි මෙවලමක් වුවද, ෆොලෝවර්ස් (Followers) සංඛ්‍යාව හෝ වීඩියෝ නැරඹුම් වාර ගණන වෘත්තීය සුදුසුකමක් නොවේ. පාරිභෝගිකයා විමසිය යුත්තේ පුද්ගලයාගේ ජනප්‍රියත්වය නොව NVQ වැනි ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධති හරහා ලබාගත් වෘත්තීය සුදුසුකම් පිළිබඳවයි. එමෙන්ම රූපලාවන්‍ය සේවාවක් ලබාගැනීමට පෙර සම්පූර්ණ වියදම, සේවා ලැයිස්තුව සහ අදාළ ගාස්තු පිළිබඳ පැහැදිලි විනිවිදභාවයක් පැවතීම පාරිභෝගිකයාට මෙන්ම ව්‍යාපාරිකයාට ද ආරක්ෂාවකි.

salon

මෙම කරුණු සියල්ල සලකා බලන විට ශ්‍රී ලංකාවේ රූපලාවන්‍යවේදය සඳහා වඩාත් විධිමත් වෘත්තීය නියාමන යාන්ත්‍රණයක් අවශ්‍ය වේ. වෘත්තියේ නියැළෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීම, අවම වෘත්තීය සුදුසුකම් හඳුන්වාදීම, සනීපාරක්ෂක ප්‍රමිතීන් නියම කිරීම, රසායනික ද්‍රව්‍ය හා උපකරණ භාවිතය පිළිබඳ මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ පාරිභෝගික පැමිණිලි සඳහා ක්‍රමවේදයක් ඇති කිරීම මෙහි අංග විය යුතුය. මෙය දැනට ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයන්ට එකවර බාධා නොවන පරිදි, සංක්‍රාන්ති කාලයක් ලබාදී අවශ්‍ය පුහුණුව ඔස්සේ ඔවුන් ජාතික වෘත්තීය ප්‍රමිතියකට ගෙන ඒම වඩාත් සාධාරණ ක්‍රමයකි.


මෙම වගකීමෙන් පාරිභෝගිකයාටද මිදිය නොහැක. රූපලාවන්‍ය සේවාවක් ලබාගැනීමට පෙර වෘත්තිකයාගේ සුදුසුකම් විමසීම, ලේබල පරීක්ෂා කිරීම, බිල්පත් ඉල්ලා සිටීම සහ තමන්ගේ සෞඛ්‍ය තොරතුරු සේවා සපයන්නාට දැනුම් දීම වැනි සරල පුරුදු ඇති කරගත යුතුය. විශේෂයෙන් “සතියකින් සුදුයි” වැනි අතිශයෝක්ති ප්‍රකාශ සහිත දැන්වීම් දුටු විට පාරිභෝගිකයා වඩාත් සැලකිලිමත් විය යුතුය. රූපලාවන්‍ය ක්ෂේත්‍රය නියාමනය කිරීමෙන් වෘත්තීය සුදුසුකම් සහිත සහ සනීපාරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරන වෘත්තිකයන්ටද විශාල ප්‍රතිලාභ හිමිවනු ඇත.

beauty

රූපලාවන්‍යවේදය යනු මිනිසාගේ පෞරුෂයට හා ආත්ම විශ්වාසයට ධනාත්මක බලපෑමක් කළ හැකි, තරුණ පරපුරට රැකියා අවස්ථා විවෘත කරන වැදගත් ක්ෂේත්‍රයකි. එහෙත් මිනිස් සිරුර සමඟ සෘජුව කටයුතු කරන වෘත්තියක් ලෙස එයට සුවිශේෂී වගකීමක්ද ඇත. රජය, වෘත්තීය අධ්‍යාපන බලධාරීන්, සෞඛ්‍ය බලධාරීන්, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ වෘත්තීය සංවිධාන එක්ව පොදු ප්‍රමිතියක් සකස් කිරීම මෙහි ඉදිරි ගමනට වැදගත් පියවරක් වනු ඇත. අවසානයේ රූපලාවන්‍ය සේවාවක සාර්ථකත්වය මැනිය යුත්තේ බාහිර ලස්සනෙන් පමණක් නොව, එය කොතරම් ආරක්ෂිතව, සෞඛ්‍ය සම්පන්නව සහ සාධාරණව ලබාගත්තා ද යන්න මතය. ලස්සන යනු සෞඛ්‍යය පරදවා ලබාගත යුතු දෙයක් නොවන බව තේරුම්ගත් සමාජයක් නිර්මාණය වූ විට, රූපලාවන්‍යවේදය “මර උගුලක්” නොවී ගෞරවය, කුසලතාව සහ සෞඛ්‍ය ආරක්ෂාව මත ගොඩනැගුණු සැබෑ වෘත්තියක් බවට පත්වනු ඇත.


Renuka Damayanthi
(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...