BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විශේෂාංග

බෞද්ධ පුද–පූජා වෙළෙඳ ගනුදෙනුවක් වූ හැටි: කදුරුපොකුණේ සුමංගල හිමියන්ගේ විග්‍රහය

T

The Leader Desk

August 31, 2026 • 7:46 AM

බෞද්ධ පුද–පූජා වෙළෙඳ ගනුදෙනුවක් වූ හැටි: කදුරුපොකුණේ සුමංගල හිමියන්ගේ විග්‍රහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ආමිස පූජාවල වාණිජකරණය සහ බුදු දහමේ සැබෑ ප්‍රතිපත්ති පූජාව යළි සොයා යාම
  • නමුත් මෙම නවීකරණය හා විවිධාංගීකරණය ආධ්‍යාත්මික කටයුතු සම්බන්ධයෙන් අදාළ නොවන මුත්, වත්මන් ඓහලෞකික සමාජය ආගමික කටයුතු සම්බන්ධයෙන් ද එම නවීකරණය හා විවිධාංගීකරණය ක්‍රියාවට නංවා ඇති අයුරු පෙනේ.
  •   පුද–පූජා, වත්–පිළිවෙත් සහ අභිචාර විධි යනු ලෝකයේ සෑම ආගමික හා සංස්කෘතික සමාජයකම පාහේ විවිධ ස්වරූපවලින් දක්නට ලැබෙන මානව චර්යාවන් බව නොරහසකි.
  • ආගමික ව්‍යවහාරය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයන්හිදී මේවා සාමාන්‍යයෙන් අභිචාර (rituals) ලෙස හැඳින්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


*බිය හා ලෝභය පෝෂණය කරන නව තාලයේ අභිචාර වෙනුවට සදාචාරාත්මක ජීවන ක්‍රමයක අවශ්‍යතාව

පොදු පිළිගැනීමට අනුව නවීකරණය හා විවිධාංගීකරණය මානව බුද්ධි පරිණාමයේ සාධනීය ලක්ෂණයක් සේ සැලකෙයි. එහෙත් ඒ ඓහලෞකීය වශයෙන් පමණි. නමුත් මෙම නවීකරණය හා විවිධාංගීකරණය ආධ්‍යාත්මික කටයුතු සම්බන්ධයෙන් අදාළ නොවන මුත්, වත්මන් ඓහලෞකික සමාජය ආගමික කටයුතු සම්බන්ධයෙන් ද එම නවීකරණය හා විවිධාංගීකරණය ක්‍රියාවට නංවා ඇති අයුරු පෙනේ. අප එසේ පවසනුයේ අද වන විට අප සිංහල බෞද්ධ සමාජයේ මින් පෙර කිසිදාක නොතිබූ නව තාලයේ පුද–පූජා ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමකය. එය ද වත්මන් සමාජයේ ඓහලෞකීය නැඹුරුව කදිමට කියාපාන්නකි.

 

offering buddism

පුද–පූජා, වත්–පිළිවෙත් සහ අභිචාර විධි යනු ලෝකයේ සෑම ආගමික හා සංස්කෘතික සමාජයකම පාහේ විවිධ ස්වරූපවලින් දක්නට ලැබෙන මානව චර්යාවන් බව නොරහසකි. ආගමික ව්‍යවහාරය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයන්හිදී මේවා සාමාන්‍යයෙන් අභිචාර (rituals) ලෙස හැඳින්වේ. මෙම අභිචාර මිනිසාගේ බිය, අපේක්ෂාව, අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව, මරණය පිළිබඳ කනස්සල්ල, සෞභාග්‍යය ලබාගැනීමේ ආශාව සහ ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතාව වැනි මනෝවිද්‍යාත්මක හා සමාජීය සාධක සමඟ දුරාතීතයේ සිටම බැඳී පවතී.


එහෙත් සියලු ආගමික වත්–පිළිවෙත් එකම අර්ථයක් නොදරයි. එමෙන්ම යම් ආගමක මූලික දාර්ශනික හරය සහ එම ආගම වටා ඉතිහාසය පුරා ගොඩනැගුණු ජනප්‍රිය ආගමික සංස්කෘතිය එකිනෙකට සම්පූර්ණයෙන්ම සමාන විය යුතු නැත. බුදු දහම සම්බන්ධයෙන් ද මෙය ඉතා වැදගත් කරුණකි. අද අප සමාජයේ “බෞද්ධ පූජා” යන නාමයෙන් හඳුන්වන සියලුම ක්‍රියා බුදුන් වහන්සේ දේශනා කළ මූලික ධර්මයේම අංග ලෙස සැලකීම ඉතිහාසය, භාෂාව සහ සූත්‍ර දේශනා පිළිබඳ විමසුමකදී පහසු නොවේ.


පූජාව යනු හුදු ද්‍රව්‍යමය අභිචාරයක්ද?

a buddha sits in a garden with a lotus and candles background for vesak festival
“පූජා” යන්න සංස්කෘත හා පාලි යන වචනවලින් පැවත එන අතර, එහි මූලික අර්ථ අතර ගෞරව කිරීම, සම්මානය දැක්වීම, වන්දනා කිරීම සහ පූජනීය අවධානය දැක්වීම යන අදහස් පවතී. පාලි ශබ්දකෝෂවල ද පූජා යන්න “honour, respect, homage, worship, devotional offering” යන අර්ථවලින් දක්වා ඇත. එම නිසා අද වන විට ජන සම්මතයේ පවතින පරිදි “පූජා” යන්න මුල සිටම මල්, පහන්, සුවඳ දුම් හෝ වෙනත් ද්‍රව්‍යමය දේ පමණක් පූජා කිරීම යන පටු අර්ථයකට සීමා කිරීම නිවැරදි නොවේ.

“පුද–පූජා” යන යුගල පදය තුළ ද යම් ආකාරයක අර්ථ පුනරුක්තියක් දක්නට ලැබේ. “පුද” යන්නෙන් ද ගෞරවය හෝ පූජාව දැක්වීම අදහස් වන අතර, “පූජා” යන්න එම අදහස තවදුරටත් තීව්‍ර කරයි. එහෙත් වචනයක ශබ්දකෝෂීය අර්ථය පමණක් නොව, එය යම් ආගමික සම්ප්‍රදායක භාවිත වන ආකාරය ද විමසා බැලිය යුතුය.

බාහිර වන්දනාවට වඩා ධර්මානුකූල ජීවිතය උසස් වූ අයුරු

බුදු දහමේදී “පූජා” යන සංකල්පය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණක් තිබේ. එනම් බුදුරජාණන් වහන්සේ අභිචාරමය වත්–පිළිවෙතකට වඩා ධර්මානුකූල ජීවිතය ඉහළින් තැබීමය. දීඝ නිකායේ මහාපරිනිබ්බාන සූත්‍රය සම්බන්ධ පාලි අර්ථ විවරණවල පවා තථාගතයන් වහන්සේට ඉහළම ගෞරවය දක්වන්නේ බාහිර වන්දනා පමණක් කිරීමෙන් නොව, ධර්මයට අනුව ජීවත් වීමෙන් බව පැහැදිලි වේ. එසේම බෞද්ධ පූජාව ආමිස පූජා සහ ධම්ම පූජා ලෙස වෙන් කර, ධර්මානුකූල පැවැත්ම ඉහළ තැනක තබන සම්ප්‍රදායක් ද පාලි අටුවා හා බෞද්ධ ශාස්ත්‍රීය සාහිත්‍යයේ දක්නට ලැබේ.

budu bana 260820

මේ අදහස වඩාත් ප්‍රබල ලෙස පෙනෙන්නේ ධම්මපදයේ 106–108 ගාථාවලිනි. වසර සියයක් පුරා විශාල පූජා හා යාග කළත්, තම සිත දියුණු කරගත් උතුමකුට එක් මොහොතක් ගෞරව දැක්වීම ඊට වඩා උතුම් බව එහි පෙන්වා දෙයි. එයින් පෙනෙන්නේ පූජාවේ වටිනාකම එහි බාහිර විශාලත්වයෙන් නොව, එය මඟින් ඇතිවන අභ්‍යන්තර ගුණාත්මක වෙනසෙන් මැනිය යුතු බවය.


සිඟාලෝවාදයෙන් හෙළිවන සදාචාරාත්මක පූජාව

මේ සම්බන්ධයෙන් තවත් ඉතා වැදගත් නිදසුනක් සිඟාලෝවාද සූත්‍රයෙන් සපයා ගත හැකිය. සිඟාලක තරුණයා තම පියාගේ උපදෙස් අනුව උදෑසන නැඟිට සය දිශාවන්ට වන්දනා කරමින් සිටින අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඔහු හමුවට වැඩම කරති. එහිදී බුදුන් වහන්සේ ඔහුගේ චාරිත්‍රය සරලව ප්‍රතික්ෂේප කර නව අභිචාරයක් පමණක් හඳුන්වා නොදෙති. ඒ වෙනුවට “දිශා පූජාව” සදාචාරාත්මක වගකීම් පද්ධතියක් බවට පරිවර්තනය කරති. මවුපියන් නැගෙනහිර දිශාව ලෙසත්, ගුරුවරු දකුණු දිශාව ලෙසත්, බිරිඳ හා දරුවන් බටහිර දිශාව ලෙසත්, මිතුරන් උතුරු දිශාව ලෙසත්, සේවකයන් පහළ දිශාව ලෙසත්, පැවිදි උතුමන් ඉහළ දිශාව ලෙසත් සලකා ඒ ඒ සම්බන්ධතා තුළ යුතුකම් ඉටු කළ යුතු බව දේශනා කරති.

carring parents

එහි අර්ථය අතිශයින් ගැඹුරුය. ඒ බුදුන් වහන්සේ බාහිර අභිචාරයක් සදාචාරාත්මක ජීවන ක්‍රමයක් බවට පරිවර්තනය කොට ඇති බැවිනි. මවුපියන්ට මල්–පහන් පූජා කිරීමකට වඩා ඔවුන් රැකබලා ගැනීම, ගුරුවරයාට පහන් දැල්වීමට වඩා ඔහුගෙන් නිසි ලෙස ඉගෙනීම, මිතුරකු වෙනුවෙන් වත්–පිළිවෙතක් පැවැත්වීමට වඩා අවශ්‍ය අවස්ථාවේදී ඔහුට උපකාර කිරීම, සේවකයකුට ආශීර්වාදාත්මක වචන පැවසීමට වඩා ඔහුට සාධාරණ ලෙස සැලකීම යනු බුදු දහමේ “පූජාව” වඩාත් ජීවමාන කරන ක්‍රියා බව එයින් පැහැදිලි වේ.


එමෙන්ම මේ වන විට බහුලව ව්‍යවහාර වන අන්දමට පූජාව යනු “මට යමක් ලැබේවා” යන අපේක්ෂාවෙන් කරන ගනුදෙනුවක් බවට පත් වූ විට එහි බෞද්ධ අර්ථය පිළිබඳ ප්‍රශ්නයක් මතු වේ. “මට රැකියාව ලැබේවා”, “මගේ ව්‍යාපාරය දියුණු වේවා”, “මගේ දරුවා විභාගය සමත් වේවා”, “මගේ රෝගය සුව වේවා”, “මගේ පවුලට කිසිදු කරදරයක් නොවේවා” යන පෞද්ගලික ප්‍රාර්ථනා මත පමණක් පූජාව ගොඩනැගීම බුදු දහමේ කර්ම, සදාචාරය සහ ස්වයංවගකීම පිළිබඳ මූලික ඉගැන්වීම් සමඟ සංකීර්ණ හා ගැටලු සහගත තත්ත්වයක් ඇති කරයි.

නමුත් අප මෙහිදී තවත් වැදගත් වෙනසක් හඳුනාගත යුතුය. දානය දීම, මල්–පහන් පූජා කිරීම, බෝධියක් වන්දනා කිරීම, පිරිත් සජ්ඣායනා කිරීම, සිල් සමාදන් වීම, විහාරස්ථානයකට යාම ආදිය ස්වභාවයෙන්ම “අබෞද්ධ” යැයි ප්‍රකාශ කිරීම නිවැරදි නොවේ. ශ්‍රී ලාංකික බෞද්ධ ජීවිතය තුළ පූජා, පිරිත්, සිල්, විහාර වන්දනා, බෝධි පූජා, දාන සහ ජීවන චක්‍රයට සම්බන්ධ විවිධ වත්–පිළිවෙත් චිරාත් කාලීනව පැවත ඇති බව බෞද්ධ භාවිතය පිළිබඳ නවීන ශාස්ත්‍රීය අධ්‍යයන ද පෙන්වා දෙයි. එහෙත් ප්‍රශ්නය පැන නගින්නේ ඒවායේ අරමුණ හා අර්ථය වෙනස් වූ විටය.

lighting lamp

මල් පූජා කිරීම මඟින් අනිත්‍යතාව සිහිපත් කරගැනීම එකකි. මල් පූජා කළ නිසා අනිවාර්යයෙන්ම තමන්ගේ සියලු කරදර දුරුවන බව විශ්වාස කිරීම තවත් එකකි. පහන් දැල්වීම ප්‍රඥාවේ ආලෝකය සිහිපත් කරමින් අවිද්‍යාව දුරු කිරීමට තමන් තුළ අධිෂ්ඨානයක් ඇති කරගැනීම එකකි. පහන් දැල්වූ පමණින් තමන්ගේ සියලු අපල–උපද්‍රව ඉවත් වනු ඇතැයි සිතීම තවත් එකකි. බෝධිය වන්දනා කිරීම බුද්ධත්වයට හේතු වූ බෝධි වෘක්ෂය හා එහි ඓතිහාසික සංකේතය කෙරෙහි ගෞරව දැක්වීම එකකි. බෝධිය වටා ගොස් එහි පවත්නා ගුප්ත බලයකින් තමන්ට වාසනාව ලැබෙනු ඇතැයි සිතමින් එය යම් අද්භූත බලයක් සහිත වස්තුවක් බවට පත් කිරීම තවත් එකකි.


මෙහිදී “බෞද්ධ” යන නාමය යොදා එය සමාජය පුරා ව්‍යාප්ත වූ පමණින් කිසියම් චාරිත්‍රයක් බෞද්ධ දහමට අයත් යැයි නිගමනය කිරීමෙන් වැළකිය යුතුය. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය බෞද්ධ සංස්කෘතිය ගොඩනැගීමේදී දේශීය ජන විශ්වාස, පැරණි ආගමික සම්ප්‍රදායන්, දේව විශ්වාස, ග්‍රාමීය අභිචාර, ජ්‍යොතිෂය සහ විවිධ ශාන්තිකර්ම සම්ප්‍රදායන් සමඟ බුදු දහම අන්තර්ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳ සමාජ විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක අධ්‍යයනයන් පවතී.

ඒ අනුව “බෞද්ධ නමින් එන අබෞද්ධ පූජා” හඳුනා ගැනීම යනු මල් පූජාවක්, පහන් පූජාවක් හෝ බෝධි වන්දනාවක් හෙළා දැකීම නොවේ. එහි අරමුණ විමසා බැලීමය. එම ක්‍රියාව මිනිසාගේ ලෝභය, ද්වේෂය හා මෝහය අඩු කරන්නේද? නැතහොත් ඒවා තවදුරටත් පෝෂණය කරන්නේද? එය කරුණාව, සීලය, ප්‍රඥාව සහ අත්හැරීම වර්ධනය කරන්නේද? නැතහොත් “මට පමණක් යහපතක් ලැබේවා” යන ආත්මාර්ථය තවත් ශක්තිමත් කරන්නේද? එය මිනිසාට තම ක්‍රියාවන්හි ප්‍රතිඵල පිළිබඳ වගකීම උගන්වන්නේද? නැතහොත් බාහිර බලවේගයකට මුදල් හෝ පූජා ද්‍රව්‍ය ලබා දී තම ජීවිතයේ ගැටලු විසඳා ගැනීමට හැකි යැයි සිතීමට පොළඹවන්නේද? යන්න විමසා බැලීමය.

 

Pooja Watti 1
මෙම අවස්ථාවේදී බෞද්ධ සංකල්පයක් ලෙස “කර්මය” පිළිබඳ නිවැරදි අවබෝධය ද වැදගත් වේ. කර්මය ජන සම්මත දෛවය (fate) නොවන බව ද කිව යුතුය. එහිදී බුදු දහම මිනිසාට තම ජීවිතය පිළිබඳ සදාචාරාත්මක වගකීමක් පවරයි. නමුත් ජනප්‍රිය ආගමික සංස්කෘතියකදී ඇතැම් විට “පූජාවක් කළොත් කරදරය ඉවත් වෙයි”, “ශාන්තිකර්මයක් කළොත් අපලය නැති වෙයි”, “යම් දෙයක් පූජා කළොත් ඉල්ලීම ඉටු වෙයි” වැනි සරල ගනුදෙනුකාරී අදහස් මතුවිය හැකිය. එවැනි අදහස් මිනිසාගේ සදාචාරාත්මක ස්වයංවගකීම වෙනුවට බාහිර පිළිවෙතකට අධික බලයක් පැවරීමට හේතු විය හැකිය.

'මට ලැබේවා' සංකල්පය සහ පූජාවන්හි වාණිජකරණය

තවත් බරපතළ ගැටලුවක් වන්නේ මේ ආකාරයේ ආගමික අභිචාර සමහර විට වාණිජකරණයට ලක්වීමය. යම් යම් අපල, අවාසනාවන් හෝ පුද්ගලික ගැටලු සඳහා විශේෂ පූජා පැකේජ, ශාන්තිකර්ම, බෝධි පූජා, භාරහාර, විවිධ පූජා ද්‍රව්‍ය සහ ගෙවීම් මත පදනම් වූ සේවා බිහි වූ විට ආගමික විශ්වාසය හා වෙළෙඳපොළ අතර සම්බන්ධතාවක් නිර්මාණය වේ. එවිට බියට පත් මිනිසා පාරිභෝගිකයකු බවටත්, පූජාව විසඳුමක් ලෙස විකිණෙන භාණ්ඩයක් බවටත් පත්වීමේ අවදානමක් තිබේ. 

 
මෙම පරිභෝජනවාදී බුද්ධාගමේ ව්‍යාප්තියට මේ වන විට එම යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කරන ගිහි–පැවිදි දෙකොටසම සම වගඋත්තරකරුවන් විය යුතුය. මෑත කාලීන ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම දාර්ශනික චින්තකයකු ලෙස සැලකෙන ජිඩ්ඩු ක්‍රිෂ්ණමූර්ති විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහසක් වර්තමාන සමාජ යථාර්ථය හමුවේ විශේෂ අවධානයට ලක්වෙයි. ඔහු පෙන්වා දුන් පරිදි, නිසි සදාචාරාත්මක පදනමකින් හා අධ්‍යාත්මික වගකීමකින් තොරව ආගමික සංස්ථා ව්‍යුහයන් වර්ධනය වීමේදී, ආගමිකත්වය ක්‍රමයෙන් මිනිස් අවශ්‍යතා සහ විශ්වාසයන් මත පදනම් වූ ගනුදෙනුවක් බවටත්, ඉන් අනතුරුව ව්‍යාපාරයක් බවටත්, අවසානයේ ජාවාරමක් බවටත් පරිවර්තනය වීමේ අවදානමක් පවතී. වර්තමාන සමාජයේ ඇතැම් ආගමික ක්‍රියාකාරකම් දෙස බැලීමේදී මෙම අනතුරු ඇඟවීම යථාර්ථයක් බවට පත්ව ඇති ආකාරය පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.
 
shanthikarma
මෙවන් විශ්වාස පැතිර යාම සමාජයට හානිකර වන්නේ මිනිසාගේ ගැටලු පිළිබඳ යථාර්ථ අවබෝධය ද දුර්වල කළ හැකි බැවිනි. රෝගයකට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය අවස්ථාවක ශාන්තිකර්මයක් පමණක් කිරීම, ආර්ථික අර්බුදයකට නිසි සැලසුමක් අවශ්‍ය අවස්ථාවක පූජාවක් පමණක් විසඳුමක් ලෙස සැලකීම, පවුල් ගැටලුවකට සාකච්ඡාව හා වගකීම අවශ්‍ය අවස්ථාවක අභිචාරයකට පමණක් යොමුවීම මිනිසා යථාර්ථයෙන් ඈත් කළ හැකිය. ආගමික විශ්වාසයට ගරු කරන අතරම විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සමාජ විද්‍යාව සහ තාර්කික චින්තනය සඳහා ද ඉඩ තැබිය යුත්තේ එබැවිනි.
 
එහෙත් මෙහිදී තවත් අන්තයකට යාම ද සුදුසු නැත. ජනප්‍රිය බෞද්ධ චාරිත්‍ර සියල්ලම “අබෞද්ධ” යැයි එකවර බැහැර කිරීමෙන් ද ගැටලුව විසඳෙන්නේ නැත. ආගම යනු දාර්ශනික ඉගැන්වීම් පමණක් නොව, මිනිසුන්ගේ දෛනික ජීවිතය, සමාජ සම්බන්ධතා, මතකය, ශෝකය, බලාපොරොත්තුව සහ සාමූහිකත්වය සමඟ සම්බන්ධ වූ සමාජ–සංස්කෘතික ව්‍යුහයකි. එබැවින් පූජා සහ වත්–පිළිවෙත් සමාජයේ ඇතිවීම ස්වාභාවික සංස්කෘතික ක්‍රියාවලියකි. ශාස්ත්‍රීය විවේචනයේ අරමුණ විය යුත්තේ ඒවායේ ඓතිහාසික හා සමාජීය අර්ථය හඳුනාගෙන, ඒවා බුදු දහමේ මූලික ඉගැන්වීම් සමඟ කොතෙක් දුරට ගැළපෙන්නේද යන්න විමසීමය.

පූජාවක සැබෑ වටිනාකම මනින මිනුම් දණ්ඩ

ඒ සඳහා සරල මිනුම් දණ්ඩක් අපට තිබේ. යම් “පූජාවක්” සදාචාරාත්මක ලෙස කෙතරම් වටින්නේද? එමඟින් මිනිසා වඩාත් සීලවන්තයකු වේද? වඩාත් කරුණාවන්තයකු වේද? වඩාත් අල්පේච්ඡයකු වේද? තමන්ගේ වැරදි පිළිගැනීමට සූදානම් වේද? අනෙකාගේ දුක තමන්ගේ දුකක් ලෙස දැකීමට හැකි වේද? තමන්ට ලැබෙන දෙයට වඩා අන් අයට දිය හැකි දේ ගැන සිතීමට පෙළඹේද? එසේ නම් එම පූජාවේ අභ්‍යන්තර වටිනාකමක් තිබේ.

එහෙත් පූජාවෙන් පසු මිනිසා තවදුරටත් ලෝභයෙන් පිරෙන්නේ නම්, තමාට විශේෂ වාසියක් ලබාගැනීමට පමණක් සිතන්නේ නම්, අනෙකාට හානි කරමින් තමන්ගේ යහපත සොයන්නේ නම්, බාහිර පූජාව කොතරම් විශාල වුවද එය බුදු දහමේ හරය වෙත ගෙන යන මාර්ගයක් වන්නේ නැත. බුදු දහම මිනිසාගේ අභ්‍යන්තර පරිවර්තනය අරමුණු කරන දහමක් නම්, පූජාව ද එම පරිවර්තනයට උපකාරී විය යුතුය.

අභ්‍යන්තර පරිවර්තනයක් සඳහා වන ප්‍රතිපත්ති පූජාව

ඇත්ත වශයෙන්ම බුදු දහමේ උතුම්ම “පූජාව” වන්නේ බුදුන් වහන්සේගේ ප්‍රතිමාව ඉදිරියේ මල් තබා ආශීර්වාදයක් බලාපොරොත්තු වීම පමණක් නොවේ. බුදුන් වහන්සේ දේශනා කළ මාර්ගය තම ජීවිතයට ඇතුළත් කර ගැනීමය. ද්වේෂයට එරෙහිව මෛත්‍රිය වඩන මිනිසා, වංචාව වෙනුවට සත්‍යය තෝරාගන්නා මිනිසා, හිංසාව වෙනුවට අහිංසාව තෝරාගන්නා මිනිසා, අයුක්තිය වෙනුවට සාධාරණත්වය තෝරාගන්නා මිනිසා සහ තමන්ට වඩා අන් අයගේ යහපත ද සලකන මිනිසා බුදු දහමට වඩාත් සමීප වේ.
 
z p xi teacher
සිඟාලෝවාද සූත්‍රයේදී ද බුදුන් වහන්සේ සය දිශාවන් “පූජා” කිරීම යථාර්ථ ජීවිතයේ යුතුකම් හා වගකීම් බවට පරිවර්තනය කළේ මේ නිසාය. මවුපියන්ට ගෞරව කිරීම, ගුරුවරුන්ට ගරු කිරීම, පවුල රැකබලා ගැනීම, මිතුරන්ට අවංක වීම, සේවකයන්ට සාධාරණ ලෙස සැලකීම සහ ආගමික ගුරුවරුන්ට ගෞරව දැක්වීම යන සමාජීය සදාචාරය තුළින් දිශා “ආරක්ෂිත” වන බව එහි දැක්වේ.

එබැවින් අද අප කළ යුත්තේ පූජා සංස්කෘතිය විනාශ කිරීම නොව, එය අර්ථවත් කිරීමය. පූජාවක් කරන විට “මට කුමක් ලැබේද?” යන ප්‍රශ්නය වෙනුවට “මම කෙසේ වෙනස් විය යුතුද?” යන ප්‍රශ්නය ඇසිය යුතුය. “මගේ කරදරය නැති කර දෙන්න” යන්න වෙනුවට “කරදරයට මුහුණ දීමට අවශ්‍ය ප්‍රඥාව, ධෛර්යය සහ කරුණාව මා තුළ ඇති කරගන්නේ කෙසේද?” යන්න සිතිය යුතුය. “මගේ පවුලට පමණක් යහපත වේවා” යන්න වෙනුවට “සියලු සත්ත්වයන්ට යහපත වේවා” යන සීමා පුළුල් කළ යුතුය.

අද ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳව අපට අවශ්‍ය වන්නේ ආගමික විශ්වාසයට පහර දෙන විවේචනයක් නොව, ආගම තුළම ඇති මූලික ධර්මය යළි කියවා ගැනීමකි. පූජා, වත්–පිළිවෙත් සහ අභිචාර මිනිසා යහපත් කරන්නේ නම් ඒවාට අර්ථයක් තිබේ. එහෙත් ඒවා මිනිසාගේ බිය, ලෝභය, ආත්මාර්ථය සහ අවිද්‍යාව තවදුරටත් පෝෂණය කරන්නේ නම්, ඒවා බුදු දහමේ නාමයෙන් පැවතිය ද ඒවායේ බෞද්ධ මුහුණුවර ප්‍රශ්න කළ යුතුය. නමුත් අද වන විට ඒ විමංසන බුද්ධිය අප බෞද්ධ සමාජයෙන් ශීඝ්‍රයෙන් වියැකෙමින් පවතින බව ද සංවේගයෙන් සිහිපත් කළ යුතුය.

Screenshot 2026 08 22 120123
| කදුරුපොකුණේ සුමංගල හිමි

[ කඳුරුපොකුණේ සුමංගල හිමියන්, වර්තමාන සමාජ, ධාර්මික හා විනයානුකූල කාරණා සම්බන්ධයෙන් බෞද්ධ දර්ශනය සහ විනය පදනම් කරගනිමින් අදහස් දක්වන, බෞද්ධ සමාජය තුළ ලිපි ලේඛන හා දේශන හරහා නියුතු ස්වාමීන් වහන්සේ නමකි]


උපුටා ගැනීම - vinivida.lk වෙබ් අඩවියෙන්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...