ශතවර්ෂ ගණනාවක් පුරා ක්‍රිස්තියානි ධර්මදූත මෙහෙවර යනු යුරෝපයෙන් සහ උතුරු ඇමරිකාවෙන් ආසියාවට සහ අප්‍රිකාවට ගලා ආ ඒකපාර්ශ්වික ප්‍රවාහයක් විය. යටත්විජිත හමුදාවන් සමඟ බටහිර ධර්මදූතවරුන් අප්‍රිකාවට පැමිණ දහම ව්‍යාප්ත කළ ඉතිහාසය පසුබිම් කරගනිමින්, අද වන විට එම ගෝලීය බල තුලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙමින් පවතින බව ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි. බටහිර ලෝකයේ ආගමික නැඹුරුව ශීඝ්‍රයෙන් පහත වැටෙද්දී, නයිජීරියාව ඇතුළු උප-සහරානු අප්‍රිකානු රටවලින් බටහිරට ධර්මදූතවරුන් සංක්‍රමණය වීමේ කැපී පෙනෙන ප්‍රවණතාවක් ගොඩනැගී තිබේ.
ලන්ඩන් ක්‍රීඩාංගණ පිරවූ අප්‍රිකානු දේවගැතිවරයා

2024 වසරේදී එංගලන්තයේ ලොව විශාලතම රග්බි ක්‍රීඩාංගණය වන ට්විකන්හැම් (Twickenham Stadium) හි නයිජීරියානු දේවගැති ජෙරී එසේ (Jerry Eze) විසින් මෙහෙයවූ යාඥා සමුළුවට දසදහස් සංඛ්‍යාත ජනකායක් එක්රොක් වූහ. ආසන 82,000කින් සමන්විත මෙම දැවැන්ත ක්‍රීඩාංගණය පිරී ගියේ ක්‍රීඩාලෝලීන්ගෙන් නොව, අප්‍රිකානු දේශකයෙකුගේ යාඥාවට සවන් දීමට පැමිණි ජනතාවගෙනි.
මෙම සංසිද්ධිය තනි සිදුවීමකට සීමා නොවන්නක් බව පෙන්වා දෙන දේවගැති එසේ, මෙය වර්තමාන ලෝකයේ ක්‍රිස්තියානි ධර්මයේ සිදුවන පරිවර්තනය මනාව පිළිබිඹු කරන බව සඳහන් කරයි. බටහිර ලෝකයට තමා පැමිණෙන්නේ ධර්මදූතයෙකු ලෙස බව පවසන ඔහු, අප්‍රිකාව තුළ ක්‍රිස්තියානි ධර්මය ප්‍රගුණ කරන දැඩි උද්‍යෝගය සහ විශ්වාසය මේ වන විට බටහිර සමාජයෙන් ගිලිහෙමින් පවතින බව පෙන්වා දෙයි. ලන්ඩන් සමුළුවෙන් පසු, ඔහු මේ වන විට මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් (Old Trafford) ක්‍රීඩාංගණයේ ලක්ෂයකට ආසන්න පිරිසකගේ ලියාපදිංචිය සහිතව තවත් දැවැන්ත යාඥා සමුළුවකට සූදානම් වෙමින් සිටී.
සංඛ්‍යාලේඛන හෙළි කරන වෙනස
ගෝලීය ආගමික දත්ත විශ්ලේෂණයන් ද මෙම ප්‍රවණතාව තහවුරු කරයි. පියු පර්යේෂණ මධ්‍යස්ථානයේ (Pew Research Center) දත්තයන්ට අනුව:
| යුරෝපය:
| උතුරු ඇමරිකාව:
| උප-සහරානු අප්‍රිකාව:

ලෝසාන් ව්‍යාපාරයේ (Lausanne Movement) 2024 වාර්තාවකට අනුව, නයිජීරියාව පමණක් 2020 වසර වන විට විදෙස් රටවලට යැවූ ධර්මදූත සංඛ්‍යාව 20,000ක් පමණ වේ. නයිජීරියාවේ 'කැප්රෝ' (CAPRO) සංවිධානය පමණක් රටවල් 46ක ධර්මදූතවරුන් 800කට අධික පිරිසක් රඳවා ඇති අතර, කැනඩාවේ දුරස්ථ දූපත් ප්‍රජාවන් තුළ පවා ඔවුහු සක්‍රීයව කටයුතු කරති.
ප්‍රතිලෝම මෙහෙවර ද? හවුල්කාරිත්වයක් ද?
මෙම ක්‍රියාවලිය ඇතැම් විශ්ලේෂකයන් විසින් "ප්‍රතිලෝම ධර්මදූත මෙහෙවර" (Reverse Mission) ලෙස හඳුන්වනු ලැබුවද, අප්‍රිකානු නායකයෝ ඊට වෙනස් අර්ථකථනයක් සපයති. 'ඇෆ්‍රිකා ඉන්ලන්ඩ් මිෂන්' (Africa Inland Mission) සංවිධානයේ දකුණු අප්‍රිකානු අධ්‍යක්ෂ සෙපැන්ග් බසුපි (Tshepang Basupi) පෙන්වා දෙන්නේ, "ධර්මදූත මෙහෙවර යනු බටහිරට පමණක් හිමිව තිබූ දෙයක් නොවන බැවින් එය ප්‍රතිලෝම කිරීමක් ලෙස හැඳින්වීම වැරදි" බවයි. ඔහුගේ අදහසට අනුව, අද වන විට බටහිර හා අප්‍රිකානු සේවකයන් සමාන හවුල්කරුවන් ලෙස එකිනෙකාගෙන් ඉගෙන ගනිමින් කටයුතු කළ යුතුය.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපාරය හමුවේ යටත්විජිත අතීතයේ පැවති පශ්චාත්තාපී මතකයන් ද නැවත කරළියට පැමිණෙමින් තිබේ. 'කැප්රෝ' ජාත්‍යන්තර අධ්‍යක්ෂ ඩොන්ඩෝ අයර්ලමෙන් සඳහන් කරන්නේ, 'ධර්මදූත' යන වචනය තවමත් ඇතැම් අප්‍රිකානුවන් තුළ යටත්විජිතවාදී අඳුරු මතකයන් අවදි කරන බවයි.
බටහිර සමාජය ඇත්තෙන්ම වෙනස් කළ හැකිද?
මෙම ප්‍රයත්නයේ සැබෑ සාර්ථකත්වය පිළිබඳව සමාජ විද්‍යාත්මක සහ දේවධර්මීය විවේචන ද පවතී. එංගලන්තයේ වෙසෙන මලාවි ජාතික දේවධර්මවේදියෙකු වන හාවී ක්වියනි (Harvey Kwiyani) පෙන්වා දෙන්නේ, බටහිර සමාජය අද වන විට සාම්ප්‍රදායික ආගමික රාමුවෙන් බොහෝ ඈතට ගමන් කර ඇති බවයි.

ලිංගිකත්වය පිළිබඳ දැඩි කොන්සර්වේටිව් අදහස්, මත්පැන්හල් (Pubs) සංස්කෘතිය ප්‍රතික්ෂේප කිරීම වැනි අප්‍රිකානු පෙන්තකොස්ත සම්ප්‍රදායන් බටහිර නූතන සමාජයේ පිළිගැනීමට ඇති ඉඩකඩ සීමිත බව ක්වියනිගේ අදහසයි. "ක්‍රිස්තියානි ධර්මය යනු පුද්ගල සංස්කෘතික හැසිරීම් වෙනස් කිරීම ඉල්ලා සිටින දැඩි දහමක්. බටහිර බොහෝ දෙනෙකුට මේ මොහොතේ එවැනි වෙනසකට මුහුණ දීමට අවශ්‍යතාවක් නැහැ," යැයි ඔහු පවසයි.
ලෝක සභා කවුන්සිලයේ (WCC) අධ්‍යයනයන්ට අනුව ද, යුරෝපයේ වර්ධනය වන අප්‍රිකානු පල්ලි බොහෝ දුරට සීමා වන්නේ සංක්‍රමණික සහ ඩයස්පෝරා ප්‍රජාවන්ට පමණි. එහෙත්, නයිජීරියානු දේවගැති විලියම් කුමුයි (William Kumuyi) වැනි නායකයින් අවධාරණය කරන්නේ, තම ඉලක්කය වාර්ගික සීමාවන්ගෙන් ඔබ්බට ගොස් සමස්ත බටහිර ප්‍රජාව වෙත ප්‍රාතිහාර්ය සහ යාඥාවේ බලය රැගෙන යාම බවයි.
ගෝලීය ක්‍රිස්තියානි ධර්මයේ කේන්ද්‍රස්ථානය උතුරු අර්ධගෝලයේ සිට දකුණු අර්ධගෝලය දෙසට විතැන් වෙමින් පවතින බවට පැහැදිලි සාධක හමුවේ, බටහිර ලෝකය යළි ආගමිකකරණය කිරීමේ අප්‍රිකානු නායකයන්ගේ උත්සාහය කෙතෙක් දුරට ප්‍රායෝගික වේද යන්න ඉදිරියේදී තීරණය වනු ඇත.




