කප්පාදුව සාධාරණීකරණය කරන පාලකයන්ට එරෙහිව සහ ජනතාව බෙදා වෙන්කරන දේශපාලනයට එරෙහිව, බාලා තම්පෝගේ සම්මුති විරහිත පන්ති සටනේ මඟ අදට ගළපා ගැනීම.
මෙම ආණ්ඩුව, ඒ විපක්ෂය සහ තවමත් අපේම වන වැඩ කටයුතු පිළිබඳ අදහස් දැක්වීමක්
ආදරණීය නාදන් සහ සිල්වෙස්ටර් සහෝදරවරුනි, සහෝදර සහෝදරියෙනි, මිතුරු මිතුරියෙනි,
2014 දී ඔහු මිය යන තෙක්ම වසර හැට හයක් පුරා, අසහාය අන්දමට ලංකා වෙළඳ සංගමයට නායකත්වය දුන් බාලා තම්පෝ සහෝදරයා ලිපිකරුවන්ගේ සංගමයක් කම්කරු පන්තියේ සටන්කාමී, බහු වාර්ගික පෙරටු බලඇණියක් බවට පත් කළා.
හදිසි නීති තත්වයක් ඉවත් කරන්නට ආණ්ඩුවකට බල කළ 1963 වරාය වැඩ වර්ජනයට ඔහු නායකත්වය දුන්නා.

ප්‍රභූ පැලැන්තියට එරෙහිව සටන් කිරීමට පිහිටුවා ගත් ඔහුගේම පක්ෂය ඒ පැලැන්තියට එක් වූ විට, ඔහු පක්ෂයෙන් ඉවත්ව ගියා.
ඔහු කිසි විටෙකත් පාර්ලිමේන්තුවේ සිටින සගයෙක් වැඩ බිමේ සිටින සගයෙක් සමඟ පටලවා ගත්තේ නැහැ.
ඉතින්, අතරමග සමාදානයකට නොඑළඹෙන ඒ සහෝදරයා අද ශ්‍රී ලංකාව ගැන කුමක් පවසාවිදැයි යන්න අපි අවංකවම විමසා බලමු.
ක්‍රමයේ වෙනසක් ද? කළමනාකරුවන්ගේ වෙනසක් ද?
අද පවතින වෙනස ක්‍රම පද්ධතියේ වෙනසක් ලෙස නොව කළමනාකරුවන්ගේ වෙනසක් ලෙස ඔහු හඳුන්වනු ඇතැයි මම විශ්වාස කරනවා.
ධනේශ්වර පාලනයේ දේශපාලන අනුපූරකය ලෙස ඔහු හැඳින්වූ පාර්ලිමේන්තුව දෙස බලා, සභා ගර්භය මත රතු කොඩියක් එසවූ පමණින් එම සභා ගර්භය පවතින්නේ කුමන අරමුණක් සඳහාද යන්න වෙනස් නොවන බව අපට මතක් කර දෙනවා ඇති.
පිරිවැය පියවන්නේ කාගේ වියදමින් ද?
ඉන්පසු ඔහු ගෘහස්ථ අයවැය දෙස බලනවා ඇති.
මෙම ආණ්ඩුව පොරොන්දු වූයේ කප්පාදු කිරීමෙන් බැහැර වූ විකල්පයක්.
ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් ඉහළ ගොස් තිබෙන අතර ඒ සියල්ල "පිරිවැය පියවා ගැනීමේ මිලකරණය" (cost-recovery pricing) ලෙස සාධාරණීකරණය කෙරෙනවා.
එවිට බාලා සහෝදරයා වැදගත් එකම ප්‍රශ්නය අසනවා ඇති: මේ පියවා ගන්නේ කාගේ වියදම් ද, අය කර ගන්නේ කාගෙන් ද?
පොරොන්දු වූ කම්කරු නීති සංග්‍රහය, සේවක අර්ථසාධක අරමුදල් පනතට ගෙන ආ සංශෝධන, විදුලිබල මණ්ඩලය කැබලි කර දැමීම කියවන සිය ජීවිත කාලය පුරාම ඔහු දුටු එම රටාවම, නවීකරණය ලෙස සරසා ලූ වාණිජකරණය හඳුනා ගනීවි.

එමෙන්ම ඔහු ලංකා වෙළඳ සේවක සංගමයේ ස්වාධීනත්වය ගැන අවධාරනය කරනවා ඇති.
ඔහු තම සාමාජිකයින්ට පැවසුවේ මෙයයි:
'පළමුව, ඔබ මනුෂ්‍යයෙක්.
දෙවනුව, ඔබ සේවකයෙක්.
තෙවනුව, ඔබ CMU සාමාජිකයෙක්.
පක්ෂ කාඩ්පතක් එම ලැයිස්තුවේ කොතැනකවත් තිබුණේ නැහැ.…..
සාමාන්‍ය ජනතාවට යාබද ගමේ සතුරෙකු මවා පෙන්වීම
ඉන්පසු - මේ පිළිබඳව මට ඉතාම විශ්වාසයි — අපේ අත්පොළසන් නාදය හොදින් නැගෙන්නට පෙර, ඔහු අත ඔසවා අපව නවත්වාවි.
මක් නිසාද, ඒ සියලු දුක්ගැනවිලි සැබෑ ඒවා වුනත්, ඉන් එකක්වත් අපට ආපසු හැරී යාම සදහා බලපාන හේතුවක් නොවන බැවින්.
පෙර පාලනය කළ අය හුදෙක් අසාර්ථක වුනා පමණක් නොවෙයි.
ඔවුහු එම අසාර්ථකත්වය මත්තේ තම ධන සම්පත් ගොඩනඟා ගත්තා — ගුවන් යානා නොමැති ගුවන් තොටුපළවල්, නැව් නොමැති වරායවල් ඉදි කළා; කොමිස් මුදල් ගහ ගත්තා; ඒවායේ බිල්පත් රටේ වැඩකරන ජනතාව මත පැටෙව්වා.
ඒ ගණන් හිලව් ජනතාව අතට පත් වෙන විට, පාලක පැලැන්තිය මාතෘකාව වෙනතකට හැරෙව්වා: ප්‍රශ්නය භාෂාව වෙත, ආගම වෙත, ජාතිකත්වය වෙත හැරෙව්වා.
සාමාන්‍ය ජනතාවට යාබද ගමේ සතුරෙකු මවා පෙන්වූයේ, ඔවුන් කොළඹ හතේ, නගරයේ සිටින සැබෑ සතුරා දෙස වඩාත් සමීපව බැලීම වලකා ලීමටයි.
සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් යන ජාතිකයින් ඇතුළත් වෘත්තීය සමිතියක් ගොඩනඟා ගැනීම අනතුරුදායක වුන වකවානුවක තම්පෝ සහෝදරයා එවැනි සමිතියක් ගොඩ නැගුවා.
එසේ කළේ වාර්ගිකවාදය (ජාතිවාදය) කුමකටදැයි ඔහු තේරුම් ගෙන තිබුන නිසා.
ඒ නිසා ඔහු මෙසේ කියාවි: කරුණුවලට අනුව අවශ්‍ය තාක් දුරටම මෙම ආණ්ඩුවට එරෙහිව දැඩිව සිටින්න.
එහෙත් ඔබේ බලාපොරොත්තු කඩ වීම, අතීතය සුන්දර එකක් ලෙස තෝරා ගැනීමට ඉඩ නොදෙන්න.
'අරගලය' එම ප්‍රභූ පැලැන්තිය නැවත බලයට පත් කළේ නැහැ.
එය ඔවුන්ව අතුගා දැම්මා.
නව මුහුණුවරක වැවිලි ආර්ථිකයෙන් ඔබ්බට

වැදගත් වන පීඩනය පහළින් මතු වී, එය ඉදිරියටම තල්ලු කල යුතුයි.
නමුත් ඉදිරියට යන්න යන්නෙන් අදහස් කරන්නේ හුදු මානසික හැඟීමකට වඩා නිශ්චිත දෙයක්; ප්‍රායෝගික දෙයක්.
එයින් අදහස් කරන්නේ රටක පැවැත්ම එහි ණයහිමියන්ගේ අනුමැතිය මත රඳා පැවතිය යුතුය යන යෝජනාව ප්‍රතික්ෂේප කිරීමයි.
පිරිවැය පියවා ගැනීමේ මිලකරණයේ (cost-recovery pricing) සෑම රුපියලක්ම, පාඩුව විඳ කවුද යන්න පිළිබඳ තීරණයක්. එය වෙනස් අන්දමකට තීරණය කළ හැකියි.
ධන සම්පත් මත බදු පනවන්න. ප්‍රසිද්ධියේ ණය විගණනය කරන්න.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි කිසිදු සමාලෝචන මෙහෙයුමකට කපා දැමිය නොහැකි මට්ටමක වවත්වා ගෙන යන ජීවන තත්ත්වයක් වෙනුවෙන් අවම සීමාවක් පනවන්න.
එයින් අදහස් කරන්නේ මිනිසුන්ට ජීවත් වීමට නැතුවම බැරි දේවල් හතරක්: එනම් ආහාර, බලශක්තිය, ජලය සහ සන්නිවේදනය ආරක්ෂා කර ගැනීමයි.
සහල්, ඉන්ධන, පොහොර සහ බීජ මෙන්ම ලුණු පවා ආනයනය කරන රටක ආර්ථිකයක් නැහැ; එය නිරාවරණය වී ඇත්තේ අනතුරට යි.
තේ, ඇඟලුම් සහ තම දුහිතෲ වරුන්ගේ විදේශ ප්‍රේෂණවලින් ඩොලර් උපයා ගෙන, ලෝක වෙළඳපොළේ මිලටම අවශ්‍ය කරන දේ යලි මිලට ගන්නා දිවයිනක් නූතන ආර්ථිකයක් නොවෙයි.
එය නව මුහුණුවරකින් සකස් කරන ලද වැවිලි ආර්ථිකයක් (වතුකරයක්).

එහි වැඩි කොටසක් තීරණය කෙරෙන්නේ කොළඹදී නෙවෙයි — අවම වශයෙන් අධිරාජ්‍යය විසින් නිර්මාණය කරන ලද, සේදී ගිය පසෙන්, නායයෑම්වලින්, විෂ පිරුණු ළිංවලින් සහ වියළි කලාපය පුරා පවුල් විනාශ කර දමන වකුගඩු රෝගයෙන් තවමත් අප වන්දි ගෙවන කෘෂිකාර්මික ක්‍රමයක් මගින්.
එය ආඥා මගින් ආපසු හරවන්නට බැහැ.
එය ජනතාවගේම උපදෙස් මත, සන්නිවේදනය සහ සහභාගීත්වය ඇතිව ඉවසීමෙන් යුක්තව නැවත ගොඩනැඟිය යුතුයි.
ලංකා වෙළඳ සේවක සංගමය වැනි සංවිධානයකට දේශපාලන අධ්‍යාපනය ලබා දීම සුඛෝපභෝගී දෙයක් නොවන්නේ ඒ නිසා.
එහි කාර්යය වන්නේ එයයි.
මිල ඉහළ යාමට හේතුව තේරුම් ගන්නා ජනතාවකට තම අසල්වැසියාගේ භාෂාව ඊට හේතු වූ බවක් පහසුවෙන් ඒත්තු ගන්වන්නට බැහැ.
අපේ විනිශ්චය: පාන් ගෙඩියේ මිල සහ අයිතිවාසිකම්

ඒ නිසා, බාලා තම්පෝ සහෝදරයා අද මෙතැන සිටියා නම්, ඔහු මෙම ආණ්ඩුව අපේ සතුරෙක් හෝ අපේ මිතුරෙක් ලෙස හඳුන්වා නොදේවි.
ඔහු ජීවත් වූ කාලයේ හැම ආණ්ඩුවක් ම විනිශ්චයට ලක් කළ අන්දමටම, පාන් ගෙඩියක මිල, විශ්‍රාම වැටුපක සුරක්ෂිත බව සහ බියෙන් තොරව තම ශ්‍රමය ඉල්ලා අස්කර ගැනීමට (වැඩ වර්ජනය කිරීමට) කම්කරුවෙකුට ඇති අයිතිය මත පදනම්ව, ඔහු මෙම ආණ්ඩුවත් විනිශ්චයට ලක් කරනවා ඇති.
බලාපොරොත්තු කඩ කරන ආණ්ඩුවකට පිළිතුර, කිසි විටෙක අපව සොරකම් කළ ආණ්ඩුවක් ආපසු ගෙන ඒම නොවේ.
එසේම අපට බිය වීමට උගන්වා තිබෙන වෙනත් ජාතියක හෝ ආගමක අසල්වැසියා ට එරෙහිව යෑමද නොවේ.
එය ඉවසිලිවන්ත ව, බහු-වාර්ගික අන්දමට, මැනවින් දැනුවත් සහ අපේම සංවිධානය ගොඩ නැගීමයි.
බාලා තම්පෝ සහෝදරයාගේ ජීවිතයේ තර්කය වුනේ එයයි.
එයට තවමත් පිළිතුරු ලැබී නැහැ.
එය ජය ගැනීම තවමත් අප සතුව තිබේ!
ස්තුතියි!
| ආචාර්ය ලයනල් බෝපගේසමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)
මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව
2026 සැප්තැම්බර් 1
lionel.bopage@gmail.com




