*සීමා නිර්ණය පළාත් සභාවලට බාධාවක් නොවන බවට මතුවූ තර්කය සහ ගොවි ජනතාව වෙනුවෙන් මල් පාරෙන් සැලසුම් වූ අලුත් දේශපාලන මෙහෙයුම.
එජාප 80 වැනි සංවත්සරය කේන්ද්‍ර කරගනිමින් විපක්ෂ දේශපාලනයේ නව පිබිදීමක් සනිටුහන් වන පසුබිමක, නාමල් රාජපක්ෂගේ අත්අඩංගුවට පත්වීම සහ සජිත් ප්‍රේමදාසගේ දේශපාලන නිහඬතාව පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ විශේෂ අනාවරණය මේ සතියේ මෙරට දේශපාලන කරළිය උණුසුම් කර තිබේ. ඒ සමගම ගොවි අයිතීන් සහ 22 වැනි සංශෝධනයේ අර්බුද කෙරෙහිද විපක්ෂයේ දැඩි අවධානය යොමුව ඇත.
සංවත්සරය උත්සවය අලුත් විදියකට සමරයි
එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරය ගිය සති අන්තයට යෙදී තිබිණි. සංවත්සරය උත්සවය අලුත් විදියකට සැමරීමට නායක රනිල් මුල සිටම සැලසුම් කළේය.
" පක්ෂ සංවත්සරයේදී අපි කතා පවත්වලා කාලය ගත කරන්න අවශ්‍ය නැහැ. මිනිස්සු දැන් රැස්වීම් වලට කාලය ගත කරන්න කැමති නෑ. ඒක නිසා වැඩි කාලයක් නොගෙන මේක අවසන් කරන්න ඕන. මාධ්‍යයට අවශ්‍ය කතා වෙන විදිහකට ලබා දීලා ආගමික වතාවත් වලට මුලින් තැන දෙමින් සංවත්සරය කරන්න ඕන. ඒ වගේම සියලු පක්ෂවල එකමුතුව පෙන්වන්න මෙය හොඳ අවස්ථාවක්. ඒක නිසා හැම පක්ෂයකටම ආරාධනා කරන්න" රනිල් එජාප ජ්‍යෙෂ්ඨයන්ට එලෙස උපදෙස් දුන්නේය.
රනිල්ගේ උපදෙස් පරිදි සියලු පක්ෂ වලට ආරාධනා කෙරිණි. සමගි ජන බලවේගයට විශේෂ ආරාධනයක් කරනු ලැබීය. සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට අදාල ආරාධනය කළේ සාගල ය.
" මම විතරක් නෙමෙයි තවත් අපේ මන්ත්‍රීවරු දහ දෙනෙක් අරගෙන එන්නම්" රංජිත් මද්දුම බණ්ඩාර ආරාධනය පිළිගෙන පැවසූයේ එසේය.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ වලට ආරාධනා කළේ සභාපති වජිරයි.

සියලු පක්ෂ වල නායකයෝ සංවත්සරයට සහභාගී වී සිටියහ.
සංවත්සර උත්සවයෙන් පසු තේ පැන් සංග්‍රහයක්ද පැවැත්විණි. එහිදී පාඨලී චම්පික අමතමින් රංජිත් මද්දුම බණ්ඩාර "22 ට විරුද්ධව කොටුවේ අපි කරපු උද්ඝෝෂණයට කියලා කියලා මන්ත්‍රීවරු තුන් හතර දෙනෙක් තමයි වෙලාවට ගෙන්න ගන්න පුළුවන් වුණේ, යූඑන්පී සංවත්සරයට උදේ අට වන විට දහ දෙනාම ඇවිත් හිටියා"යැයි පැවසීය.
" ඔන්න ඔයාලගේ මහලේකම්තුමා මේ විදියට කියනවා" යැයි ඒ කතාව අසල සිටි මුජිබුර්ට පාඨලී පැවසීය. මුජිබුර් ඊට සිනහවකින් පිළිතුරු දුන්නේය.
රනිල් අලුත් සංකල්පයක් ලෙස තම කතාවට අමතරව සෙසු පක්ෂ ප්‍රධානීන්ගේ කතාද මාධ්‍යයට නිකුත් කරන්නට උපදෙස් දුන්නේය.
හිටපු ප්‍රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නයේ අධීක්ෂණය යටතේ එම කතා කලින් පටිගත කිරීම බාර කෙරුණේ රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ ශානුක කරුණාරත්නටයි. සංවත්සරය ඉතා සාර්ථක ලෙස පැවැත්වුණු අතර එයින් ගත් ආරම්භය දෙසැම්බර් දක්වා පවත්වාගෙන යාමට තීරණය කෙරිණි.
" ගොවියන් හිතන විදියට හිතන්න පුරුදු වෙන්න''
රනිල්ගේ ඊළඟ වැඩපිළිවෙළ වන්නේ පීඩාවට පත් ගොවීන්ගේ අයිතීන් වෙනුවෙන් හඩක් නැගීමයි. එහි සාකච්ඡාවක් ගෙනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මල් පාර කාර්යාලයේදී පැවැත්විණි. ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස්, එජාප සභාපති වජිර, ශ්‍රීලනිප ජේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, මහලේකම් දුමින්ද දිසානායක, සමන් රත්නප්‍රිය, එජාප සංවිධායක නිශාන්ත වර්ණසිංහ ඇතුළු නායකයෝ සහභාගී වූහ.
නායක රනිල් එහිදී කීවේ " ඔබ සැම ගොවියන් හිතන විදියට හිතන්න පුරුදු වෙන්න ඕනෑ"යනුවෙනි."
එහෙම හිතල වැඩ සංවිධාන කරන්න. දේශපාලනඥයෝ විදියට ඔයගොල්ලෝ ඉස්සරහට ආවේ නැතුවට කමක් නැහැ. ගොවි සංවිධාන වලට නායකත්වය අරගෙන වැඩ කරන්න ඉඩ දෙන්න" රනිල් එසේද කීවේය.
" සර් මම නොවැම්බර් මාසෙ අනුරාධපුර දිස්ත්‍රික් වැඩපිළිවෙළ පටන්ගන්නවා" දුමින්ද කීවේය.
ඒ අනුව ඉදිරියේදී දිස්ත්‍රික්ක වලට සම්බන්ධ අය කැඳවා සාකච්ඡා කර වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව ජී.එල් පැවසීය.
"පළාත් සභා තියන්න සීමා නිර්ණය කිසිසේත්ම අදාල නෑ''

එමෙන්ම හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ ආචාර්ය රංග කලංසූරිය ලියූ The Youthquake කෘතිය ජන ගත කිරීමද ඉකුත් සතියේදී සිදුකෙරිණි. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය. උත්සවය තිබුණේ රනිල්ගේ ප්‍රධානත්වයෙනි. හිටපු ජනපති මෛත්‍රී ද ඊට සහභාගී විය. දේශපාලන භේදයකින් තොරව දේශපාලනඥයෝ රැසක් ඊට සහභාගී වී සිටියහ.
එම උත්සවයේදී හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක සහ හිටපු ප්‍රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න අතර හමුවක්ද සිදුවිය. ඔවුන් කතා කරමින් සිටින විට ලසන්ත අලගියවන්න සහ ඩලස් අලහප්පෙරුමද එහි පැමිණියහ. සමන් රත්නායක මේ වන විට සීමා නිර්ණ කමිටුවේ කටයුතු කරන අතර පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා සීමා නිර්ණ වැඩ ඉක්මනින් අවසන් කරන ලෙස ඩලස් එහිදී පැවසීය.
"පළාත් සභා තියන්න මේ සීමා නිර්ණය කිසිසේත්ම අදාල නෑ. 17 වැනි සංශෝධනය ගේන කොට මේක මොකට ඇතුල් කළාද කියලා හිතාගන්න බෑ .මේක කිසිම බලතලයක් නැති කොමිසමක්" සමන් රත්නායක එසේ උත්තර දුන්නේය.
" ඡන්ද කල් දාන්නෙ සීමා නිර්ණ ප්‍රමාදය නිසා කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ " හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
මහාචාර්ය චරිත හේරත්, රංජිත් මද්දුම බණ්ඩාර සහ ගයන්ත කරුණාතිලකද එහි පැමිණ කතාවට සම්බන්ධ වූහ." මම දැන් ඉන්නේ සජබෙ නේ, මම දැන් වැඩ කරන්නේ ඒ පක්ෂෙ ප්‍රතිපත්ති අනුවයි, මහාචාර්ය චරිත කීය.
''අපි ක්‍රිෂ් ගැන හොයන්න කොමිසමක් පත් කළාට නාමල් ට එයින් චෝදනා නැගුනේ නෑ''
නාමල් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රනිල් මන්ත්‍රී කණ්ඩායම හමුවේ අදහස් දැක්වීය.
"නාමල් අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය නිසා ඔහුගේ දේශපාලන ගමන තවත් ශක්තිමත් වෙලා තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. තව පැත්තකින් ජී.එල් ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඉදිරියට ඇවිත් තියෙනවා. තව පැත්තකින් නීතිඥයන් වෙනුවෙන් රජීව් අමරසූරිය ඉදිරියට ඇවිත් තියෙනවා" රනිල් කීය.
එහි සිටි මන්ත්‍රීවරුන් සියලු දෙනාම රනිල් කී කතාවට ඌන පූර්ණයක් එකතු කරමින් පැවසූයේ " සර්, මේ රටේ විපක්ෂ නායක කෙනෙක් ඉන්නව නේද? එතුමා මේ කිසි දේක පේන්න නෑනේ. මෙහෙම ගියොත් සජිත් එක්කම සජබෙත් අගාදෙට වැටෙනවා" එහි සිටි මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම කීහ. රනිල් ඒ කතාවට සිනාසුනා මිස කිසිවක් කීවේ නැත.
" නාමල් හිරේ දාපු එකෙන් එයා වීරයෙක් උනා. නාමල්ට දූෂණ චෝදනා තිබුණාම ගොඩක් අය ඒ පක්ෂය එක්ක එකතු වෙන්න කැමැති වුණේ නෑ. මේ කරපු වැඩෙන් ඒ ඔක්කොම අමතක වෙලා එයා එක්ක කට්ටිය එකතු වුණා , රනිල් කීය.
අපි ක්‍රිෂ් නඩුව දැම්මා , නමුත් මේ ගැන හොයන්නත් කොමිසමක් පත් කළා. ඒ කොමිසමෙන් චෝදනාවට තුන්දෙනෙක් නම් කලා. නමුත් නාමල් ට එයින් චෝදනා නැගුනේ නෑ" රනිල් ඒ ගැන තවදුරටත් පැහැදිලි කළේ එසේය.
''22 ගැන රජය ගෙනයන ක්‍රියාදාමයෙන් ජාත්‍යන්තර වශයෙන් අපේ රටට විශාල අගතියක් වෙනවා''
" එජාප සංවත්සරයේදී නායක රනිල් මාධ්‍යයට කළ දෙසුම ගැන මහාචාර්ය ජී.එල් ගේ විශේෂ ඇගයීමට ලක් විය. " 1948 දී රටට ස්වාධීනත්වය ගැනීම සඳහා හැමෝම එක්කාසු වුණා. එය සිදුවූයේ පක්ෂ භේදයකින් තොරවයි. බණ්ඩාරනායක, ඩී.එස්.සේනානායක, ඩී.ඒ. රාජපක්ෂ ආදී ඔක්කොම ඒකෙ හිටියා. ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා ඒ ආකාරයටම දැනුත් එකතු වීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. එදා ලබා ගත්තේ රටට නිදහස. ඊට පසුව පියවරෙන් පියවර ජනතා පරමාධිපත්‍ය හරහා විශාල ප්‍රගතියක් ලැබුණා. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍ය බලය සෘජුවම තිබෙන්නේ ජනතාවටයි. 72 කොල්වින් ආර් සිල්වා ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය තිබුනේ රාජ්‍ය මන්ත්‍රණ සභාවටයි. අද එහෙම නෙමෙයි. කෙලින්ම එය තිබෙන්නේ ජනතාවට. ජනතාව ඒ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්නේ ජනමත විචාරණ හරහායි.
එදා බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබා ගැනීම සඳහා හැමදෙනාම එකා වගේ වෙහෙසුනා. පරමාධිපත්‍ය රැකගැනීම සඳහාත් ඒ වගේම වෙහෙසිය යුතුයි. පරමාධිපත්‍යය නැති උනොත් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ඔය කිසි දෙයක් නෑ, රනිල් කළ කතාව ජී.එල් නැවත ගෙනහැර දැක්වූයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීය.

මෙහිදී ජී.එල් පොදු රාජ්‍ය මණ්ඩල නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරු ඉදිරිපත් කළ නිල වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ විවරණයක්ද ඉදිරිපත් කළේය.
"එහි ප්‍රධාන කරුණු තුනක් අඩංගුයි. මීට පූර්ණ විනිශ්ච මඩුල්ලක් සුදුසු බව සභාපතිවරයා පවසා තියෙනවා.
එමෙන්ම විනිශ්චකාරවරුන් පස් දෙනා තෝරා ගත්තේ ජ්‍යෙෂ්ඨත්වය අනුව නොවේ. ඔවුන් තෝරා ගත් මිනුම් දණ්ඩ කුමක්ද? සංයුතිය තෝරා ගැනීමේ අභිමතය තිබෙන්නේ අගවිනිසුරුට බව හැමෝම පිළිගන්නවා. නමුත් ප්‍රමිතිය කුමක්දැයි කිව යුතුයි. ජ්‍යෙෂ්ඨ විනිශ්චකාරවරුන් ඇතුලත් නොකිරීම ගැන පොදුරාජ්‍ය මණ්ඩල නීතිඥ සංගමයේ සභාපතිවරයා විවේචනයක් කර තිබෙනවා.
සොලිස්ටර් ජනරාල් රජය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු පෙත්සම්කරුවන්ගේ නීතිඥයන්ට වාචික තර්ක පිළිතුරු වශයෙන් ඉදිරිපත් කිරීමට අවස්ථාව නොදීමත් දක්වා තිබෙනවා. පෙත්සම්කරුවන්ගේ නීතිඥයන්ට පිළිතුරු බැඳීමට අවස්ථාව දීම සාමාන්‍ය සම්ප්‍රදායයි. නමුත් මේ අවස්ථාවේදී එය ලැබුණේ නැහැ. ඒ කාරණයත් විවේචනයට ලක්ව තිබෙනවා.
''22 ගැන රජය ගෙනයන ක්‍රියාදාමයෙන් ජාත්‍යන්තර වශයෙන් අපේ රටට සිදුවන විශාල අගතියක් තිබෙනවා''
මේ වනවිට ජිනීවා මානව හිමිකම් කවුන්සලය පටන් ගෙන තිබෙනවා. එහි ආණ්ඩුවට විරුද්ධව ප්‍රබල විවේචන තිබෙනවා. අපේ රටේ ස්වාධීන අධිකරණයක් තිබෙනවා නම් ඒවාට ලෙහෙසියෙන් මුහුණ දෙන්න පුළුවන්. අප රටේ අධිකරණය ස්වාධීන ද කියා ප්‍රශ්නයක් ඇතිවුණොත් ජාත්‍යන්තර වශයෙන් එන බලපෑම් වැඩියි.

එමෙන්ම බලන්ගොඩ කස්සප හිමියන් පෙත්සම් විභාගයේදී කරුණු ඉදිරිපත් කරන විට බුද්ධ ධර්මය අදාළ නොවන බවට කෙරුණු ප්‍රකාශය නීතියට පටහැනියි. ඊට සවිස්තරාත්මකව කරුණු දැක්වීමට ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා. බුද්ධ ධර්මය අතිශයින් අදාළ කාරණයක්. ඒ සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වය ජනතාවට පැහැදිලි කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තියෙනවා යැයි ජී.එල් කීය.
(සටහන | මල් පාරේ ලියුම්කරු)




