The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය

CSK

CSK

October 11, 2026 • 1:15 PM

මහින්ද සංස්කෘතියට එරෙහිව අනුර ගහන කැරැල්ල දිනයිද? | ගුරුදා විග්‍රහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘ගමේ බලය තිබ්බේ මහින්ද ගාව.
  • ඒ, 2019 ජනාධිපතිවරණයෙන් රාජපක්ෂලා යළි හිස එසෙව්වාට පසුවය.
  • අනුරලා ඇතුළු ජවිපෙ සායම් කළේ විමල් ඇඳපු මහින්ද චිත්‍රයය.
  • පන්සලයි, වැවයි, දාගැබයි වගේ මහින්ද සංස්කෘතිය ලංකාවේ සංස්කෘතියේම කොටසක් බවට පත්වූයේ 2009 මහින්ද ප්‍රභාකරන් පරාජය කොට යුද්ධය දින්නාට පසුවය.
අකුරු ප්‍රමාණය (Font Size):

‘ගමේ බලය තිබ්බේ මහින්ද ගාව. මහින්ද දේශපාලකයෙක් නෙමේ. මහින්ද සංස්කෘතියක්. ඒ සංස්කෘතිය හොඳටම මැච් වෙන්නේ කොහාටද? ගමට. හරිද…?’ 

කතාව කිව්වේ වෙන කවුරුවත් නොවේ වත්මන් ජනාධිපති අනුර කුමාරය. ඔහු මේ කතාව කිව්වේ ප්‍රසිද්ධියේ නොවේ. පක්ෂ කාඩර්ලාට දේශනයක් දෙමින් මාධ්‍ය ආවරණවලින් තොරවය. ඒ, 2019 ජනාධිපතිවරණයෙන් රාජපක්ෂලා යළි හිස එසෙව්වාට පසුවය. අනුරගේ ඒ කතාව වීඩියෝගත කොට සමාජ මාධ්‍ය හරහා එළියට ගියේ අනුරගේවත්, පක්ෂයේවත් පාලනයකින් තොරවය.


ජවිපෙ හැදූ 'මහින්ද සංස්කෘතිය'

අනුර ඒ කතාව කළේ ලාංකික දේශපාලනයේ මහින්ද සාධකය ගැන හොඳ අධ්‍යයනයකින් පසුවය. ඔහු පක්ෂයේ කාඩර්වරුන්ට කියා දුන්නේ මහින්ද සංස්කෘතියට මුහුණ දෙන පාඩමය.


මේ මහින්ද සංස්කෘතිය හැදුවේ වෙන කවුරුවත් නොවේ. අනුර කුමාර ඇතුළු ජවිපෙමය. 2005 ජනාධිපතිවරණයට මහින්ද එන විට මහින්ද කවුද කියලා ලංකාවේ මිනිස්සු ලොකුවට දැනන් හිටියේ නැත. මහින්දගේ සාටකය, මහින්දගේ රෙද්ද බැනියම, මහින්දගේ උඩු රැවුල විකුණලා මහින්ද සංස්කෘතිය නිර්මාණය කළේ ජවිපෙය. මහින්ද සංස්කෘතියේ නිර්මාණ ශිල්පියා විමල් වීරවංශය. අනුරලා ඇතුළු ජවිපෙ සායම් කළේ විමල් ඇඳපු මහින්ද චිත්‍රයය.


පන්සලයි, වැවයි, දාගැබයි වගේ මහින්ද සංස්කෘතිය ලංකාවේ සංස්කෘතියේම කොටසක් බවට පත්වූයේ 2009 මහින්ද ප්‍රභාකරන් පරාජය කොට යුද්ධය දින්නාට පසුවය. මේ මහින්ද සංස්කෘතිය ලංකාවේ පොළොවට උරාගෙන කිඳාබැස්සේ එදාය.


මහින්ද රැඳී සිටි ප්‍රධාන කුලුනු තුන

මහින්ද සංස්කෘතිය නිර්මාණය වෙලා තියෙන්නේ කුලුනු 3ක් මතය. පළමු ලිප් ගල දේශප්‍රේමය ගැන කතා කරන හාමුදුරුවරුය. මහින්ද 2004 අගමැති වන්නේත් හාමුදුරුවරු නිසාය.

2004 චන්ද්‍රිකාට ආණ්ඩුවක් හදන්න බහුතර බලයක් හිමි නොවීය. මේ නිසාම චන්ද්‍රිකාට අගමැති පත්කිරීම ප්‍රශ්නයක් විය. ලක්ෂ්මන් කදිරගාමර්ව අගමැති ධුරයට පත්කරන ලෙස චන්ද්‍රිකා එක්ක හවුල් ආණ්ඩුව පිහිටුවූ ජවිපෙ ඇයට බලපෑම් කළේය. ඒත් කදිරගාමර් අගමැති ලෙස පත්කිරීමට අවශ්‍ය බහුතරය වූ 113 චන්ද්‍රිකාට සොයාගත නොහැකි විය. 2004 මහ මැතිවරණයට තරග කළ චම්පික රණවකගේ හෙළ උරුමයට ආසන 9ක් තිබිණි. ඒ 9 දෙනාම හාමුදුරුවරු වූහ. සෝම හිමිගේ අපවත් වීමත් සමග ආ ආණ්ඩු විරෝධී බෞද්ධ රැල්ල හාමුදුරුවරු දමලා එකතු කරගන්න හෙළ උරුම නායක චම්පික රණවක සමත් විය. මහින්දව අගමැති කරනවා නම් හෙළ උරුමයේ හාමුදුරුවන්ගේ ඡන්ද 9 තීරණාත්මක මොහොතකදී පමණක් ආණ්ඩුවට පක්ෂව දෙන්න චම්පිකලා මහින්දට පොරොන්දු වූහ. මහින්ද වීරයා වගේ ඒ සුබ ආරංචිය රැගෙන චන්ද්‍රිකා හමුවිය. ආණ්ඩුව රැකගන්න මහින්දට අගමැතිකම දෙනවා ඇරෙන්න වෙන විකල්පයක් චන්ද්‍රිකාට නොවීය. මහින්ද අගමැති විය.

හාමුදුරුවන්ගේ බලයෙන් අගමැති වූ මහින්ද ජනාධිපති කරන්න ජවිපෙ දේශහිතෛෂී හාමුදුරු බළකායත්, හෙළ උරුමයේ හාමුදුරු මන්ත්‍රීවරුත් එකට එක්වූහ. මහින්ද සංස්කෘතියේ ප්‍රධානතම කුලුන වූ දේශප්‍රේමී හාමුදුරු බළකාය මහින්ද සංස්කෘතිය ආරක්ෂා කරන හමුදාවක් බවට පත්වූයේ එලෙසය.


රණවිරු බලවේගය සහ භීෂණයේ පවුර

මහින්ද සංස්කෘතියේ ඊළඟ කුලුන වූයේ රණවිරුවාය. 2005 ජනාධිපතිවරණයට මහින්ද ආවේත් රණවිරුවාගේ අභිමානය රනිල්ගේ සටන් විරාමයෙන් විනාශ වී ඇති ආකාරය කියමින්ය. මහින්ද යුද්ධය පටන් ගෙන යුද්ධයට නායකත්වය දී එතෙක් හමුදාකාරයා කී හමුදා සොල්දාදුවාව රණවිරුවා බවට පත් කළේය. රණවිරුවන් සහ ගමේ රණවිරු පවුල් මහින්ද සංස්කෘතිය ආරක්ෂා කරන හමුදාවක් බවට පත්විය.

මහින්ද සංස්කෘතියේ ඊළඟ කුලුන වූයේ බය නොහොත් භීෂණයය. මහින්ද හාමුදුරුවන් සහ රණවිරුවන් පාවිච්චි කොට මහින්දව හෝ රාජපක්ෂ පවුලව විවේචනය කරන හැමෝම දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීය. ආණ්ඩුවේ මාධ්‍ය පමණක් නොව මෙරට ප්‍රධාන පෙළේ ස්වාධීන යැයි කියාගන්නා මාධ්‍යත් ඒ වැඩේ අකුරට කළහ. ලසන්ත ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය, කීත් නොයාර්ට පහරදීම මේ බිය ජනතා හදවත් තුළ කොන්ක්‍රීට් කරනු ලැබීය.

කළු ගලේ ඔළුව ගසාගැනීමක්

දේශප්‍රේමී හාමුදුරුවරු, රණවිරුවෝ, බය යන කුලුනු තුනෙන් නිර්මාණය කරන ලද මහින්ද සංස්කෘතිය සමග හැප්පීම කළු ගලේ ඔළුව ගසාගැනීමක් මෙන් විය. ඒත් ජවිපෙ 2008 මහින්දගේ ආණ්ඩුවෙන් ඉවත් වී ඒ කළු ගලේ ඔළුව ගහගැනීමට තීරණය කොට තිබිණි. මහින්ද සංස්කෘතිය නිර්මාණය කරන ලද ජවිපෙ දෙකඩ කර ජවිපෙ විනාශ කිරීමට මහින්ද ජවිපෙ තරුව වූ විමල්ව යොදාගැනීම ජවිපෙ ඉවසුවේ නැත. 2015 මහින්දව පරාජය කරන්න ජවිපෙ අපේක්ෂකයෙක් නොදමා මෛත්‍රීපාලව දිනවන්න යටින් වැඩ කළේ මෛත්‍රී සහ රනිල් ලවා මහින්ද සංස්කෘතිය ඉවර කරවා ගන්නටය. අනුර මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවට ගියේත් ඒ සඳහාය.

අනුරලාට පළමුව ඕනෑ වුණේ මහින්දගේ දේශප්‍රේමී හාමුදුරු බළකාය ඉවර කරන්නටය. නීති විරෝධී ලෙස අලි ඇතුන් ළඟ තබාගත්තා කියා උග්‍ර මහින්දවාදියකු වූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගත්තේ ඒ අනුවය. ඉන් පසු බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ඥානසාර හිමි අත්අඩංගුවට පත්විය. යුද්ධය අවසන් වීමෙන් පසු දමිළ විරෝධය පාවිච්චි කොට ඡන්දය දිනන්න බැරි බව තේරුම් ගෙන මහින්දලා ඥානසාර හාමුදුරුවෝ ලවා බොදුබල සේනා හැදුවේ රටේ මුස්ලිම් විරෝධයක් අවුලා ඡන්ද දිනන්නටය.

ඊළඟට අනුරලා උත්සාහ ගත්තේ මහින්දගේ රණවිරු බළකාය ඉවර කරන්නටය. මානව හිමිකම් චෝදනා ලද ඇවන්ට්ගාර්ඩ් සහ මිග් යානා දූෂණ චෝදනා ලද ආරක්ෂක ලේකම් ගෝඨාභය සහ හිටපු හමුදා නායකයන් අත්අඩංගුවට ගැනීමටත් උසාවි ගෙන ඒමටත් සැලසුම් කළේ ඒ අනුවය.

තුන්වැනුව මහින්ද සංස්කෘතිය හදපු බය නැති කිරීමය. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් දූෂණ චෝදනා මත අත්අඩංගුවට පත්වූයේ ඒ අනුවය.

මෛත්‍රී-රනිල් ගහපු 'ඩීල්'

ඒත් අනුරලා සැලසුම් කළ විදියට මෛත්‍රී හෝ රනිල් මේ වැඩේ හරියට කළේ නැත. මෛත්‍රීට ඕනෑ වූයේ හිරේ දමනවා කියා බය කරලා මහින්ද සංස්කෘතියේ ප්‍රධාන කුලුනු තමා යටතට ගෙන 2019 ජනාධිපතිවරණය දිනන්නටය. රනිල්ට ඕනෑ වූයේත් හිරේ දමනවා කියා බය කරලා මහින්ද සංස්කෘතිය පාවිච්චි කරලා ශ්‍රීලනිපය දෙකඩ කොට 2019 ජනාධිපති වෙන්නටය.

මහින්ද මෛත්‍රී සහ රනිල් යන දෙදෙනා සමගම ඩීල් දමා ගත්තේය. මෛත්‍රීව 2019 ජනාධිපති අපේක්ෂකයා කරනවා කියා මෛත්‍රී ලව්වා නඩු බේරාගෙන මහින්ද සංස්කෘතිය තව තවත් ශක්තිමත් කර ගත්තේය. පොදුජන පෙරමුණ කියා වෙනම පක්ෂයක් පිහිටුවා ශ්‍රීලනිප ඡන්ද දෙකඩ කර රනිල්ට 2019 ජනාධිපති වෙන්න පාර කපනවා කියා රනිල් ලවාත් නඩු බේරාගත්තේය.

අධිකරණයට අපහාස කළ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලැබෙන්නේ ඒ අනුවය. එළියට එන ඥානසාර හිමි මෛත්‍රී-රනිල් ආණ්ඩුව කුඩු පට්ටම් කරන්නේ මහින්ද සංස්කෘතිය යළි රජ කරවන්නටය.

ගෝඨාභය ඇතුළු හමුදා නායකයන් යුද වීරයන් බවත්, ඔවුන්ව උසාවි ගානේ රස්තියාදු නොකළ යුතු බවත් කියා මෛත්‍රී බෙරිහන් දීමෙන් මහින්දගේ රණවිරු බළකාය ශක්තිමත් වී ගෝඨාභය දිනවන්න සියල්ලන් එකට එක්වේ.

සිරිලිය දූෂණ චෝදනාවට ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රශ්න කරන්න මූල්‍ය අපරාධ අංශය ඇයව එම මූලස්ථානයට ගෙන්වන්න යද්දී මහින්ද මෛත්‍රී සහ රනිල්ට කතා කොට කතානායක නිල නිවසේ ශිරන්තිට කටඋත්තර දෙන්න ගේම ගහගත්තේය. අනුරලාට ඕනෑ වුණේ ශිරන්තිගෙන් කටඋත්තර ගෙන රාපජක්ෂ පවුලට තිබුණු බිය රටින් තුරන් කරන්නටය. ඒත් මෛත්‍රී සහ රනිල් තරගයට රාජපක්ෂවරුන් නඩුවලින් බේරූහ.

අනුරගේ නීතියේ කැරැල්ල දිනයිද?

අවසානයේ 2019 රාජපක්ෂලා සහ මහින්ද සංස්කෘතිය රටම මෙරූන් පාට කළේ මෛත්‍රී සහ රනිල් පමණක් නොව අනුර සහ ජවිපෙත් නන්නත්තාර කරමින්ය. එදා අනුරලා කී විදියට මහින්ද සංස්කෘතිය ඉවර කළා නම් අද එක්කෝ රනිල් ජනාධිපතිය. නැත්නම් මෛත්‍රී ජනාධිපතිය. ජවිපෙ මේ රටේ ප්‍රධාන විපක්ෂයය.

අද අනුර ජනාධිපති වී පටන් අරගෙන තියෙන්නේ මෛත්‍රී-රනිල් අතරමගදී අතහැරපු මහින්ද සංස්කෘතිය විනාශ කිරීමේ මහා මෙහෙයුමය. මේකත් කැරැල්ලකි. විජේවීර ගහපු පන්නයේ කැරැල්ලකි. විජේවීර ගැහුවේ ආයුධවලින්ය. අනුර ගහන්නේ නීතිය සහ අණපනත්වලින්ය. විජේවීරගේ කැරැලි දෙකම අසාර්ථක විය. අනුරගේ කැරැල්ල සාර්ථක වේද කියා දන්නේ දෙයියෝ පමණි.


(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant

උපුටා ගැනීම: මව්රට පුවත් වෙබ් අඩවිය




උ

උපුල් ජෝශප් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ දේශපාලන මාධ්‍යකරණයේ දීර්ඝ අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු, ප්‍රවීණ දේශපාලන තීරු ලේඛකයෙකු සහ දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස ප්‍රකටය. ඔහුගේ දේශපාලන විග්‍රහයන් ශ්‍රී ලංකාවේ සමකාලීන දේශපාලන ප්‍රවණතා සහ බල දේශපාලනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි.

View all stories by උපුල් ජෝශප් ප්‍රනාන්දු
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...