The Leader News
BREAKING
සාක්ෂි මත විමර්ශනය කළා: බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ස්පර්ශයේ කුසගින්න: ඩිජිටල් යුගයේ ආදරය සුවපත් කරන විද්‍යාව●ඡන්ද තීන්දුව පෙරළන AI සහ සමාජ මාධ්‍ය: මැතිවරණ කොමිසමෙන් හදිසි මෙහෙයුමක්●බැසිල් ප්‍රනාන්දු: ප්‍රභූ සන්තක නීතිය ජන සම්මත අවියක් බවට පෙරලු මානව හිමිකම් අරගලකරුවා●මනස නිවන මොසාර්ට් නාදය: ස්නායු විද්‍යාවේ සොයාගැනීම●ආසියානු සෙවන්ස් අද කොළඹදී: ටස්කර්ස් ඉලක්කය මුල් සිව්දෙනා අතරට●කොළඹ වරාය නගරයේ බදු ගනුදෙනු සහ මූල්‍ය යථාර්ථය පාර්ලිමේන්තුවේ අවධානයට●කෝටි 100 වංචාවේ රැල්ල පොලිසියට: නිලධාරිනියගේ රථය CID භාරයට●වාහන අංක තහඩුවට නම යෙදීමේ සූදානමක්  ●කාවන්තිස්ස ඇතාගේ මරණය: හේතුව සෙවීමට විශේෂඥ කමිටුවක්●
Top Ad
විශේෂාංග

බැසිල් ප්‍රනාන්දු: ප්‍රභූ සන්තක නීතිය ජන සම්මත අවියක් බවට පෙරලු මානව හිමිකම් අරගලකරුවා

Nethmini

Nethmini

October 17, 2026 • 11:00 AM

බැසිල් ප්‍රනාන්දු: ප්‍රභූ සන්තක නීතිය ජන සම්මත අවියක් බවට පෙරලු මානව හිමිකම් අරගලකරුවා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙස් විදෙස් සුපතල ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් ද වූ හොංකොං මූලස්ථානය කොට ගත් ආසියානු මානව හිමිකම් කොමිසමේ හිටපු විධායක අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු සිය දිවිසැරිය නිම කළේය.
  • එයට පෙරද එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිතව ජාත්‍යන්තර අපරාධ විෂයෙහි අභිචෝදකයකු ලෙස කටයුතු කර තිබුණද මානව හිමිකම් සුරැකීම උදෙසා වඩාත් පුලුල් ලෙසත්, නව මානයන් සහ සංකල්පයන් පෙරදැරි කරගෙනත් කටයුතු කරන ලද්දේ ආසියානු මානව හිමිකම් කොමිසමට දෙන ලද නායකත්වය තුළිනි.
  • ඔහු විසින් නීතී සහ මානව හිමිකම් ක්ෂේත්‍රයෙහි කරන ලද අත්හදා බැලීම්, ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් ලද පල ප්‍රයෝජන අදත් බොහෝ දෙනෙකු භුක්ති විඳින බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.
  • අද දවසේ දී එය බොහෝ දෙනකු විසින් නොතකා හරින ලද දෙයක් බවට පත්ව තිබුණද දෙදාහ දශකයේ මුල් භාගයේදී සහ ඉන් පසුවත් අඛණ්ඩව නීතිඥ බැසිල් ප්‍රනාන්දු ගේ මග පෙන්වීම සහ අවවාද අනුශාසන මත තම දැනුම පුලුල් කරගත් අය කොතෙක් දැයි මම හොඳාකාරවම දන්නෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):
දෙස් විදෙස් සුපතල ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් ද වූ හොංකොං මූලස්ථානය කොට ගත් ආසියානු මානව හිමිකම් කොමිසමේ හිටපු විධායක අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු සිය දිවිසැරිය නිම කළේය.

මානව හිමිකම් සහ නීති වෘත්තියේ මැදිහත්වීම් හේතුවෙන්ම අසූව දශකයේ අගභාගයේදී ශ්‍රි ලංකාවෙන් පිටුවහල් වන්නට බලකෙරුණු ඔහු විසින් ඉන් අනතුරුව වඩාත් සක්‍රිය සහ පුලුල් විෂය ක්ෂේත්‍ර මත සිය මානවීය ක්‍රියාකාරකම් පතුරුවා හරිමින් ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර තලයේ ද කටයුතු කරන ලද්දේ මිනිස් අයිතිවාසිකම් සුරැකීම උදෙසා කවර ආකාරයක හෝ දේශසීමා හෝ සංකල්පීය වෙනස්කම් වලංගු නොවන බව පසක් කරමිනි. 
මා දන්නා පරිදි ඔහු මානව හිමිකම් සුරක්ෂිතතාවය වෙනුවෙන් ක්‍රියාශිලීව සහ නොතිත් අරගලයක නිරත වූයේ ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ ධූරයට පත් වීමෙන් අනතුරුව ය. එයට පෙරද එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිතව ජාත්‍යන්තර අපරාධ විෂයෙහි අභිචෝදකයකු ලෙස කටයුතු කර තිබුණද මානව හිමිකම් සුරැකීම උදෙසා වඩාත් පුලුල් ලෙසත්, නව මානයන් සහ සංකල්පයන් පෙරදැරි කරගෙනත් කටයුතු කරන ලද්දේ ආසියානු මානව හිමිකම් කොමිසමට දෙන ලද නායකත්වය තුළිනි.

කොන්දේසි විරහිත නීතී  සටන්කරුවා

නීතිඥ බැසිල් ප්‍රනාන්දු යනු කොන්දේසි විරහිත නීති  සටන්කරුවෙකි. මානව හිමිකම් සුරැකීම යනු නීතියේ ආධිපත්‍ය සුරැකීම ම  යැයි විශ්වාස කළ හෙතෙම ස්වකීය දැනුම, කාලය සහ චින්තනය ආසියානු කලාපය පුරාම විසිරි පවතින බොහෝ රටවල හඬක් නැති මිනිසුන්ගේ අයිතීන් සුරැකීම උදෙසා කැපකරන්නට  දිවා රෑ නොබලා යොදවන ලද්දේ කිසිදු පුද්ගලික ප්‍රතිලාභයක් හෝ අවම වශයෙන් ප්‍රශංසාවක් හෝ අපේක්ෂා නොකරමිනි. 
ඉන්දියාව, මියන්මාරය, තායිලන්තය, ශ්‍රි ලංකාව, බංගලාදේශය, පාකිස්තානය  සහ නේපාලය ද ඇතුළු  තවත්  රටවල් ගණනාවක  රාජ්‍ය මර්දනය තුළින් තැලී පොඩිවී ගිය,  මානව අයිතීන්, සිවිල් හා දේශපාලන හිමිකම්, පුද්ගල අයිතිවාසිකම් අහිමි කෙරුනු මිනිසුන්ගේ එම හිමිකම්  සුරක්ෂා කිරීම උදෙසා ඔහුගේ නායකත්වය සහ මග පෙන්වීම මත ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම් සහ ක්‍රියාකාරකම් සංඛ්‍යාව    අතිමහත්ය.  පුද්ගලිකවම කරන ලද සොයා බැලීම්, නෛතික  උපදෙස් සහ මුල්‍ය පහසුකම් සපයන ලද සිදුවීම් සංඛ්‍යාව ද එතරම් ම විශාලය.

මා දන්නා පරිදි නීතිඥ බැසිල් ප්‍රනන්දු යනු,  අන් අය විසින් කළ නොහැකි හෝ කරන්නට කිසිදු උත්සාහයක් නොගන්නා ලද බොහෝ දේ කිසිදු පැකිලීමකින් තොරව භාවිතයට ගන්නට උත්සාහ දරණ ලද අයෙකි. ඔහු විසින් නීතී සහ මානව හිමිකම් ක්ෂේත්‍රයෙහි කරන ලද අත්හදා බැලීම්, ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් ලද පල ප්‍රයෝජන අදත් බොහෝ දෙනෙකු භුක්ති විඳින බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.  

නීතිඥ බැසිල් ප්‍රනාන්දුගේ ජීවිතයටම බද්ධ වුණු සහ ඔහුටම ආවේනික වුණු බොහෝ දේ අතර එක් ප්‍රධානතම දෙයක් වන්නේ කවර හෝ සිදුවීමක් සම්බන්ධයෙන් වුව නව මානයකින් දකින්ට, සිතන්නට සහ ගැටලු විසඳීම සඳහා අනෙකුත් අය විසින් යොදා නොගන්නා ක්‍රමවේදයන් අනුගමනය කරන්නට , භාවිතයට ගන්නට දක්වන ලද සුවිශේෂි හැකියාව යි. නීතිමය කාර්යන් වලදි එය අභියෝගාත්මක සහ අවධානම් සහගත ක්‍රියාවක් වුවද  ඒ අභියෝගය සහ අවදානම භාර ගන්නට ඔහු නිරන්තරයෙන්ම සැදී පැහැදී සිටියේ ය. එමෙන්ම  එය මානව හිමිකම් විෂය ක්ෂේත්‍රයේ පුරවැසි දැනුවත්භාවයේ  සිට නෛතික අරගල සිදුවන අධිකරණ ක්‍රියාවලියන් දක්වාම විහිදුනු විවිධකාර වු මාර්ගයන් ඔස්සේ ගමන් කරන ලද්දකි.

සරල මිනිසකුගේ විශිෂ්ට නීති දැනුම

නීති දැනුමින් සන්නද්ධ දෙවෙනි පෙලක්  නිර්මාණය කිරීම උදෙසා ඔහු විසින් කරන ලද කාර්යභාර්ය ද අති විශාලය. අද දවසේ දී එය බොහෝ දෙනකු විසින් නොතකා හරින ලද  දෙයක් බවට පත්ව තිබුණද දෙදාහ දශකයේ මුල් භාගයේදී සහ ඉන් පසුවත් අඛණ්ඩව නීතිඥ බැසිල් ප්‍රනාන්දු ගේ මග පෙන්වීම සහ අවවාද අනුශාසන මත තම දැනුම පුලුල් කරගත් අය කොතෙක් දැයි මම හොඳාකාරවම දන්නෙමි.

වර්තමානයේදී මාධ්‍ය හමු පවත්වමින් නීතිය පිළිබඳව දෙසුම් පවත්වන බොහෝ නීතිඥවරුන්ගේ සැබෑ මුල් ගුරුවරයා වූයේ වෙන කිසිවකුත් නොව නීතිඥ බැසිල් ප්‍රනාන්දු  ය. එම නීතිඥවරුන් පිළිබඳව මා නම් වශයෙන් සඳහන් නොකළ ද නීතිඥ බැසිල් ප්‍රනාන්දු  විසින් නිහඬව කරන ලද  මෙහෙවර අගය කිරීමක් ලෙස ඒ කවර නම් කාර්යයන් දැයි කෙටියෙන් හෝ සටහන් කළ යුතුව තිබේ.‍
වධහිංසා, ළමා අපචාර, ලිංගික හිංසන ආදි බරපතල මානව හිමිකම් උල්ලංඝන  සහ අපරාධ සම්බන්ධයෙන් සිදුකරන   නෛතික  මැදිහත්වීම්වලදී ඒ වෙනුවෙන්ම සකස් කළ යුතු නීතිමය ලියවිලිවල සුවිශේෂී කරුණු කාරනා අඩංගු විය යුතු වන අතර එය සිදු කිරීමට නම් නීතිය මෙන්ම එවැනි විෂයන් අරබයා අධිකරණය හමුවේ  කවර නම් මැදිහත්වීමක් කළ යුතු දැයි යන වෘත්තීය අත්දැකීමෙන්ද යම් පමණකට හෝ පරිණතව සිටිය යුතුමය. ඉහත දක්වන ලද ආකාරයටම නීතිඥ බැසිල් ප්‍රනාන්දු යනු සාම්ප්‍රදායික නීතිමය හෝ අධිකරණමය කාර්යයෙන් පරිබාහිරව බලනා අයකු වූ අතර, ඒ නිසාම ඔහු විසින් තෝරා ගන්නා ලද ක්‍රමවේදයන් ද විකල්ප සහ අත්හදා බැලීම්වලින් ගහන විය. ඇතැම් කණිෂ්ඨ නීතිඥවරුන් එවැනි අත්හදා බැලීම්වලට බිය වූවා පමණක් නොව එමගින් තමන්ගේ වෘත්තීය අනාගතයට අවැඩක් සිදුවේ යැයි ද රහසින්ම කුසු කුසු ගාන්නට ද විය. නමුත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු මෙන්ම  ජාත්‍යන්තර තලයේ   නව නීති විෂයෙහි කෘතහස්ත දැනුමින් පෝෂිතව සිටි බැසිල් ප්‍රනාන්දු වැන්නකුට අභියෝග කිරීමට හෝ ඔහුගේ මතය  අභිබවා යන්නට හෝ ඒ කිසිවකුත් සමත් නොවීය. සැබවින්ම බොහෝ නීතිඥවරුන් ඔහුගේ අනගි උපදෙස් සහ නීති ලිපි ලේඛන සකස් කිරීමේ උපාය මාර්ගයන් මෙන්ම කරුණු ගොනු කිරීමේ නිසග හැකියාවෙන් පසු කලෙක  මහත් පල ප්‍රයෝජන ලැබු  වගනම් සත්‍යයකි.

ඇතැම් නඩුකරවලදි නීතිඥ බැසිල් ප්‍රනාන්දු ස්වකීය කණිෂ්ඨ නීතිඥවරුන්ට උපදෙස් ලබා දුන්නේ පැය ගණන් නොව වරු ගණන් වෙහෙසෙමිනි. විශේෂයෙන්ම වධහිංසා සිදුවීම්ලට අදාල නඩුකරවලදි සකස් කළ යුතු  දිවුරුම් ප්‍රකාශ, අධිකරණයට ගොනු කළ යුතු අනෙකුත් වාර්තා සටහන්  ආදි  නීතිමය ලියකියවිලිත්, ඒ් ආකාරයෙන්ම  මූලික අයිතිවාසිකම් නඩුකරවලදි ද සකස් කළ යුතු  පෙත්සම් සහ දිවුරුම් ප්‍රකාශත් නිසි පරිදි සකස් කරන්නට ඔහු කෙතරම් වෙහෙසක් , කාලයක් කැප කරන ලද්දේ දැයි මා දැක ඇත්තේ වරක් දෙවරක්  නොවේ.

සැතපුම් දහස් ගණනක් දුර හොංකොං හි සිට දුරකතනය ඔස්සේ ශ්‍රී ලංකාවේ සිටින නීතිඥවරයා හා සම්බන්ධ වෙමින් එම ලියවිලි නිසි පරිදි අකුරෙන් අකුර පෙළගැස්විය යුතු ආකාරය මෙන්ම එයට ගොඩනැගිය යුතු නෛතික තර්කත්  ඔහු විසින් ඉතා සංයමයෙන් හා ඉවසීමෙන් පවසන ලද්දේ කෙසේ දැයි මම දන්නෙමි. මන්ද ඒ බොහෝ අවස්ථාවල එම කාර්යන්  සඳහා එකල  ලාබාල වයසක සිටි මා වැනි ක්‍රියාධරයන් ද  සම්බන්ධ කර ගන්නට තරම් ඔහු නිහතමානි සහ කාරුණික මිනිසෙකු වූ නිසාවෙනි.

 එවැනි විශේෂ නඩුකර  අධිකරණ  හමුවේ මෙහෙයවනු ලැබු ඇතැම් නීතිඥවරුන්  විසින් තම මනාපය පරිදි සකස් කරන ලද බොහෝ ලියකියවිලි නීතිඥ බැසිල් ප්‍රනාන්දු විසින්  පසෙකට කර දමන ලද්දේ යළි සියල්ල මුල සිටි  නිවැරදිව ලේඛන ගත කළ යුතු යැයි  පවසමිනි. එවැනි ක්‍රියාවන් මගින්  නීතිඥවරයකු  යම් අපහසුතාවයකට හෝ  ඔහුගේ වෘත්තීය අභිමානය අවතක්සේරුවට ලක්විය හැකි බවත්, බැසිල් ප්‍රනාන්දු සිය අණසක සීමාව ඉක්මවා පතුරන්නකු ලෙසත් බාහිරින් දකින විට  ඇතැමුන්ට පෙනුනද සැබවින්ම එය එසේ නොවුණු බව අප අත්දැකීමෙන් දන්නේ එවැනි අවස්ථාවන් වල ඔහු විසින් කටයුතු කරනු ලැබු කාරුණික සහ වෘත්තීය පරිණතභාවය දෙස බැලීමේදී ය.  නීතීඥ බැසිල් ප්‍රනාන්දු ට  අවශ්‍ය වූයේ  තම  කණිෂ්ඨ  නීතිඥවරයා වෘත්තීමය වශයෙන් අපහසුතාවයට පත් කිරීමට හෝ ඔහු කිසිවක් නොදන්නා අයකු ලෙස හැඳින්වීමට හෝ  නොව අප සියල්ල එකාවන්ව මැදිහත්ව සිටි නඩුකරයේ වින්දිතයාට යුක්තිය ඉටු කර දීම සඳහා කළ හැකි හොඳම සහ වඩාත් නිවැරදිම දේ සිදු කිරීමට ය. ඔහුට අවශය වු‌යේ  අනෙක් පාර්ශවයෙන් නෛතික අභියෝගයක් එල්ල කළ නොහැකි ඉහළම  මට්ටමේ  ලේඛන සකස් කිරීමට ය. තර්ක විතර්ක ගොඩ නැගීමට ය. සාක්ෂි රැස්කර තබා ගන්නට ය. අනෙක නීතිඥ බැසිල් ප්‍රනාන්දු යටතේ එවැනි ලේඛන සකස් කිරීම මගින් සෙසු නීතිඥවරුන්ද ස්වකීය දැනුම සහ වෘත්තීය පළ පුරුද්ද ඉහළ දමා ගනු ලැබු බවද  මම ඉතා හොඳින් දනිමි.

ජාත්‍යන්තරයේ අත්දැකීම් මව් රට ට

ජාත්‍යන්තර තලයේ අපරාධ විෂයෙහි අභිචෝදකවරයකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇති ඔහු  ස්වකීය අත්දැකීම් සහ විෂය දැනුම ශ්‍රී ලංකාවේ මෙන්ම අනෙකුත් ආසියාතික රටවලත් එවැනි නඩුකර අරබයා නිර්ලෝභීව  ලබා දුන් බව ඔහුව සමීපව  ඇසුරු කළ අප බොහෝ දෙනකු දන්නා කරුණකි. විශේෂයෙන්ම දෙදාහ දශකයේදී  ශ්‍රි ලංකාවේ වසංගතයක් මෙන් හමා ගිය පොලිස් වධහිංසා සහ අත්අඩංගුවේ මරණ ආදී  සියළු ආකාරයේ හිංසනයන්  පිළිබඳ නඩුකරවලදි ඔහු විසින් විශේෂිත වු ක්‍රමවේද ගණනාවක්ම භාවිතයට ගනු ලැබු අතර, වින්දිතයාට එරෙහි අපරාධය පිළිබඳ  තොරතුරු රැස් කීරීම සහ නීතිමය, වෛද්‍ය විද්‍යාත්මක සහ අනෙකුත් පරිවේශණිය සාක්ෂි ගොඩනැගිය හැකි ලිඛිත වාර්තා කඩිනමින් ගොනු කිරීම ආදියත් ඒ අතර ප්‍රධාන විය.

මේ සියල්ල අතරෙහි අතිශය වැදගත්ම සහ පෙරළිකාරම දෙය  වූයේ එතෙක් පැවති නීතිමය සංකල්පයකට අභියෝගයක් ලෙස අපරාධ නඩු අරබයා සිවිල් මැදිහත්වීමක් කළ හැකි බවට කරන  ලද මතවාදි අරගලය යි.  එය එදවස අප බොහෝ දෙනෙකු තිගැස්මට ලක් කළ කරුණක් වුවද  ඔහු  සුපුරුදු සිනහවෙන් සහ බිඳහෙළිය නොහැකි තර්කනයන් මගින් ස්වකීය අභිප්‍රාය පියවරෙන් පියවර පැහැදිලි කරන ලද්දේ අනාගත  පෙර දැක්මක් සහතවම ය. වධහිංසා වැනි අතිශය බරපතල සහ කෲර අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු පොලිස් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් නීතියේ රැහැනට හසු කිරීම සහ දණ්ඩනයට ලක් කිරීම රජයේ අභිචෝදකගේ නොඑසේ නම් නීතිපතිවරයාගේ කාර්යයක් ලෙස සලකමින් පසෙකට වී බලා සිටිය යුතු නැති බව තර්කයට පමණක් සීමා නොකරමින් එය  ප්‍රායෝගිකව සනාථ කොට පෙන්නු නීතිඥ බැසිල් ප්‍රනාන්දු, ඉන් තවත් ඉදිරියට ගොස්  එවැනි අපරාධ වළකාලන්නට සිවිල් සමාජයට සහ මානව හිමිකම් ආරක්ෂකයන් හට ද වගකීමක් මෙන්ම අන්සතු කළ නොහැකි අයිතියක් ඇති බව ද  පවසන ලද්දේ ඒ බව අධිකරණ ශාලා පරිශ්‍රයන් තුළ ද ඔප්පු කොට පෙන්වා දෙමිනි.        

හුදෙකලා වුණු වින්දිතයන්ට සෙවනක් වෙමින්

රාජ්‍ය බලය හිමි පොලිස් සහ ආරක්ෂක අංශ වෙතින් වධහිංසනයට ලක්ව වින්දිතයන් බවට පත්වන බොහෝ අය එයට එරෙහිව හඬ නොනගන්නේ  නීතිය සහ තමන්ට හිමි අයිතීන් පිළිබඳව ඔවුන් සතු අඩු  දැනුවත්භාවය  නිසාම නොව එවැනි තත්වයකදි මැදිහත්වන බාහිර පාර්ශවයන්වල  ක්‍රියාකාරිත්වයේ යම් යම් අඩුලුහුඬුතා මෙන්ම විශ්වාසයේ සීමාවන් නිසා යැයිද නිරන්තරයෙන්ම පැවසු නීතිඥ බැසිල් ප්‍රනාන්දු , එනිසාම අවධාරණය කරන ලද්දේ නීතිය බලගැන්වීමට කටයුතු කරන අතරම,  යුක්තිය ඉටුවන තුරු තමන්  ආරක්ෂා කරමින්  ඒ සඳහා දිරි දෙමින් පිරිසක් සිටින බවට වින්දිතයාට ද විශ්වාසය ඇති කළ යුතු බවට යි.

රටේ නීති පද්ධතියේ මෙන්ම අභිචෝදකගේ කාර්යභාර්යේ පවතින අඩුලුහුඬු සහ නොසැලකිලිමත් කම හේතුවෙන් පසෙකට විසිවෙන නඩු සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු යැයි  පෙන්වා දුන් හෙතෙම, වින්දිතයාට අධිකරණයෙන් යුක්තිය ඉටුවන තුරුම සටන අත නොහැර ඔහුව ආරක්ෂා කිරීම සහ ඔහුට විශ්වාසය ඇති කරමින් ඒ වෙනුවෙන් කළ හැකි සියල්ල කිරීම මානව හිමිකම් ආරක්ෂකයන් සතු ප්‍රමුඛතම වගකීමක් යැයි ද නිරන්තරයෙන්ම පවසන ලද්දේ අධිකරණ ක්‍රියාවලිය සහ නඩු පැවරුම් සම්බන්ධයෙන් ඔහු සතුව පැවති කෘතහස්ත දැනුම උපයෝගි කොට ගෙනය.
එම වකවානුවේදි පොලිස් වධහිංසාවට ලක්ව අධිකරණය මගින් යුක්තිය ඉටු කර ගැනීමට නොහැකිව සිටි බොහෝ දෙනකුට නීතිඥ බැසිල් ප්‍රනාන්දුගේ නායකත්වය සහිත ආසියානු මානව හිමිකම් කොමිසම සහ ඒ යටතේ ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වුණු ඇතැම් රාජ්‍ය නොවන මානව හිමිකම් සංවිධාන විසින් ආරක්ෂාව සපයන ලද්දේ එය තනි පුද්ගලයකු සම්බන්ධ ක්‍රියාවකට වඩා නීතිය ක්‍රියාත්මක කරන්නට සිටින ආයතන පද්ධතියේ පවතින ගැඹුරු අර්බුදයක් ලෙස සලකමිනි. පසුගිය දිනවල කතා බහට ලක්වු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ විනිසුරු වයස ඉහළ දැමීම පිළිබඳ සිදුවීම් දාමයේදි මතු කෙරුණු බොහෝ කරුණු නීතිඥ  බැසිල් ප්‍රනාන්දු විසින් මතු කරන ලද්දේ     මෙයින් දශක කිහිපයකට පෙරාතුවය. විශේෂයෙන්ම අද දවසේ දෙස් විදෙස්  මාතෘකාවක් බවට පත්ව තිබෙන නීතිපතිවරයාගේ කාර්යභාර්ය සලකුණු කිරීම පිළිබඳ කතිකාව ශ්‍රී ලංකාව තුළ සංවාදයට ගත් අතලොස්සක් අතරින් ඉදිරියෙන්ම ඇත්තේ නීතිඥ බැසිල් ප්‍රනාන්දුගේ නමයි. නීතිපතිවරයාගේ භුමිකාව ප්‍රශ්න කරමින් එය දෙබිඩි සහ පක්ෂග්‍රාහී බව සැකයකින් තොරව පැවසු හෙතෙම නීතිපති රජයේ ප්‍රධාන නීති උපදේශකයා හෙවත් “රජයේ නීතිඥවරයා" ලෙස කටයුතු කරන අතරවාරයේම රජයට එරෙහි අපරාධ නඩු වලදි අධිකරණය හමුවේ පෙනී සිටීමද ප්‍රශ්න කරමින් ඔහු පෙන්වා දෙන ලද්දේ ඒ නිසාම වධහිංසා වැනි බරපතල මානව හිමිකම් උල්ලංඝන නඩුකර වලදි වින්දිතයා නියෝජනය කළ යුතු නීතිපති අපරාධකාරි නිලධාරින් වෙනුවෙන් පෙනී සිටින්නටත් එවැනි අපරාධ   සාධාරණීයකරණය කරන්නටත් පෙළඹෙන බවට සාක්ෂි සහිතව ඔප්පු කොට පෙන්වා දෙමිනි. ඒ තත්වය හේතුවෙන් එවැනි නඩු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදි වින්දිතයා ආරක්ෂා කිරීමටත්, ඔහුට යුක්තිය ඉටු කිරීමටත්  නීතිඥවරුන්ට සහ පොදු සමාජයට පැහැර හැරිය නොහැකි වගකීමක් තිබෙන බවටත් නීතිඥ බැසිල් ප්‍රනාන්දු විසින් දිගින් දිගටම අවධාරණය කරන ලද්දේ හුදෙක් එය එක් නඩුවක හෝ පැමිනිල්ලක ගැටලුවක් නොව ඔඩු දුවා ඇති ආයතනගත අර්බුදයක් බව පෙන්වා දෙමිනි.

එකී සියළු කරුණු මත ඒ සමයේදි ඔහුගේ මැදිහත්වීම සහිතව යුක්තිය ඉටු කරන්නට නීතිය සමග පොර බදන ලද බරපතල ගණයේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ සිදුවීම්  ගණන සංඛ්‍යාත්මකව අති විශාලය. ඒ බොහෝ ඒවා එකකට එකක් වෙනස්  මෙන්ම සංකීර්ණ ඒවාද විය. ඇතැම් සිදුවීම්වලට ඔහුගේ  මැදිහත්වීම සහිතව ආසියානු මානව හිමිතම් කොමිසම සහ ඒ යටතේ ක්‍රියාත්මක වුණු ශ්‍රි ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානත්, ඇතැම් සිදුවීම් අදාල රාජ්‍ය නොවන සංවිධාන විසින් සෘජුවමත් මෙහෙයවන ලද ඒවා වූ අතර වඩාත් විශේෂිතම තත්වය වූයේ කවර ආයතනයක් විසින් එහි නෛතික මැදිහත්වීම සිදු කළද උපදේශන සහ අධික්ෂණයත් පසු විපරම සහිත මෙහෙය වීමත් නීතිඥ බැසිල් ප්‍රනාන්දු විසින් සිදු කීරීම ය. ඇතැම් නඩුකරවලදී ඔහු පියවරෙන් පියවර කරුණු සොයා බලමින් නව නීතිමය සිද්ධාන්ත සහ තර්ක විතර්ක ගොඩනගමින් ඒවා සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ නීතීඥවරුන් සහ අදාල ආයතනවල විමර්ශන නිලධාරින් දැනුවත් කරන්නට වූයේ දිවා රෑ නොබලා වෙහෙසෙමිනි.  

මේ සියළු බාධක මැඩගෙන යුක්තිය සොයා ගිය ගමනේදී  සැබෑ නාවිකයන් පිරිසක් සිටිය ද ඒ සියළු නැවියන්ට මග පෙන්වන ලද කප්පිත්තා වූයේ වෙනෙකකු නොව නීතිඥ  බැසිල් ප්‍රනාන්දු ය. එය මා පමණක් නොව ඔහු ඇසුරු කළ බොහෝ දෙනා පිළිගන්නා දෙයකි.

වධහිංසා වධකයන්ට එරෙහිව

ඒ සමයෙහි ඔහුගේ මැදිහත්වීම මත අධිකරණ  ක්‍රියාවලියට යොමු කරන ලද බොහෝ නඩු සුවිශේෂී තත්වයේ ඒවා වුණු අතරම, ඇතැම් සිදුවීම් වෙනත් කිසිදු රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් හෝ විසඳීම සඳහා භාරගත හැකි යැයි අවම විශ්වාසක් තබා ගත නොහැකි තරමේ පොලිස් මර්දනයේ බිහිසුණු ක්‍රියාවන් ය.
ජෙරාඩ් පෙරේරා
නීතිඥ බැසිල් ප්‍රනාන්දු මැදිහත් වීමක් සිදු කළ එකළ ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් නඩුවක් වූයේ 2002 වසරේදි වත්තල පොලිසියේ නිලධාරින් විසින් ව්‍යාජ තොරතුරත් මත බලහත්කාරයෙන් රැගෙන ගොස් දරුණු වධහිංසාවට ලක් කරනු ලැබු  කොළඹ ඩොක්යාර්ඩ් ආයතනයේ සේවය කළ  ජෙරාඩ් පෙරේරාගේ නඩුව යි.

වත්තල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඔහු රැගෙන ගොස් රඳවා තබා ගනිමින් අතිශය දරුණු ශාරිරික වධහිංසාවන්ට ලක් කරමින් සොරකමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබු අතර, එම පහරදීම් හේතුවෙන් ඔහුගේ ශරීරයේ අභ්‍යන්තර අවයව විශේෂයෙන්ම වකුගඩු අකර්මන්‍ය වී සිහිසුන්ව මරණාසන්න තත්වයට පත් විය. පසුව එයට සෘජුවම මැදිහත් වීමක් කළ නීතිඥ  බැසිල් ප්‍රනාන්දු ප්‍රමුඛ ආසියානු මානව හිමිකම් කොමිසම, ශ්‍රි ලංකාවේ හවුල්කාර සංවිධාන ද  එකතු කර ගනිමින් කඩිනම් නීතිමය ක්‍රියාමාර්ගයන් ට යොමු වු‌යේ. එවැනි අපරාධයක් සම්බන්ධයෙන් නීතිය බලාත්මක කිරීමට සිටින රාජ්‍ය ආයතන පද්ධතියම කර  හැර සිටියදී ය. 
නීතිඥ බැසිල් ප්‍රනාන්දු විසින් පලමු සහ ක්ෂණික අවධානය යොමු කරන ලද්දේ ඒ වන විටත් බරපතල රෝගියකු බවට පත්ව සිටි වින්දිතයාට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඔහුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම කෙරෙහි ය. ඒ අනුව ජෙරාඩ් පෙරේරා කොළඹ පිහිටි ප්‍රධානතම පෞද්ගලික රෝහලකට ඇතුලත් කොට ඉහළම වෛද්‍ය ප්‍රතිකාර සියල්ල ලබා දෙන්නට කටයුතු කළා පමණක් නොව ඔහුගේ ආරක්ෂාව සහතික කර ගැනීම සඳහා වෙනත් විකල්ප වැඩ පිළිවෙලවල් ගණනාවක්ම ක්‍රියාවට නගන්නට ද විය. පසුව එම වධහිංසා නඩුව ශ්‍රේෂ්ධිකරණය හමුවට රැගෙන යන්නටත් එම තීන්දුවෙන් අදාල පොලිස් නිලධාරින් වරදකරුවන් කරන්නටත් හැකියාවක් ලැබුණි. නමුත් ඉන් වසර කිහිපයකට පසුව වත්තල පොලිසියේ අදාල නිලධාරින් විසින් ජෙරාඩ් පෙරේරා බස් රථයක් තුළදි ඝාතනය කරන ලද්දේ එම වධහිංසාවට එරෙහිව මීගමුව මහාධිකරණය හමුවේ පවරා තිබුණු නඩුව විමසීමට ලක් කරමින් සිටි අතරවාරයේ ය.

කඳාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලලිත් රාජපක්ෂ නැමති එවකට 19 වැනි වියේ පසුවු තරුණයා අත්අඩංගුවට ගෙන දරුණු වධහිංසාවට ලක් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කරන ලද  නෛතික අරගලයද එයට  නොදෙවැනි ය.

2002 වසරේ අප්‍රේල් 18 දින රැයේ සිය මිතුරකුගේ නිවසේ නිදා සිටියදී අත්අඩංගුවට ගන්නා ලද එම තරුණයා කඳාන පොලිස් ස්ථානය වෙත රැගෙන ‌ගොස් තිබුණේ සොරකමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පවසමිනි. පසුව පොලිස්ථානය තුළදි උප පොලිස් පරික්ෂක අසංක පීරිස් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් ලලිත් රාජපක්ෂට අමානුෂික ලෙස පහර දෙමින් වධහිංසාවට ලක් කර තිබුණු අතර, එම පහර දීම් හේතුවෙන්  ඔහු පොලිස්ථානය තුළම  සිහිමුර්ඡාවට ලක්වුයේ  අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් ගතවන්නටත් පෙරය. එම සිදුවීම දැන ගත් නීතිඥ බැසිල් ප්‍රනාන්දු පුමඛ කණ්ඩායම විසින් එම තරුණයා උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහලට  ඇතුලත් කරන ලදි. සති ගණනාවක් සිහිමුර්ඡා තත්වයෙන්  (කෝමා)   සිට මදක් සුවය ලැබුවද ඉතා දීර්ඝ කාලයක් ගත වන තුරු එම තරුණයාට නිසි පරිදි දෙපයින් ඇවිදින්නට හෝ  සාමාන්‍ය පුද්ගලයකු ලෙස වචන හසුරුවා කතා බස් කරන්නට හෝ නොහැකි වුයේ පොලිස් වධහිංසාවේ තරම පෙන්වමිනි. එම කාල සමයෙහි එම තරුණයා ගත කළ ජීවිතය දුටු බො‌හෝ අයගේ නෙතට නිරායාසයෙන්ම කඳුලක් ඉනුවේ ඔහු දෙපා තැබු ස්වරූපය සහ ගොත ගසමින් වදන් හසුරුවන්නට ගත් බලවත් වෙහෙස දැකීමෙනි. වසර කිහිපයක් යන තුරුම ඔහුට නිසි පරිදි ඇවිදින්නට හෝ එයට පෙර සිටි තත්වයෙන් වචන හසුරුවන්නට හෝ නොහැකි වුයේ පහරදීම් හේතුවෙන් ලද දැඩි ශාරීරික සහ මානසික පසු කම්පන තත්වය හේතුවෙනි. 
එම අමානුෂික පහරදීම  සම්බන්ධයෙන් ද ආසියානු මානව හිමිකම් කොමිසමේ මැදිහත් වීම මත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්නට කටයුතු යෙදුනු අතර ඉන් ලබා දුන් තීන්දුවෙන් අදාල පොලිස් නිලධාරින් වරදකරුවන් බවට පත් කරන්නටත් වින්දිත තරුණයාට වන්දි ගෙවන්නටත් නියම කෙරුනි. ජෙරාඩ් පෙරේරා වධහිංසා නඩුව මෙන්ම ලලිත් රාජපක්ෂ වධහිංසා නඩුවද මීගමුව මහාධිකරණය හමුවේ විභාගයට ගෙන එයින්ද අදාල පොලිස් නිලධාරින් වරදකරුවන් බවට පත් කරන ලද්දේ දීර්ඝ කාලයක වෙහෙසකර සහ දුෂ්කර අරගලයකින් අනතුරුව  ය.

මෙම වධහිංසා නඩුවේදි ද නීතිඥ බැසිල් ප්‍රනාන්දු ගේ කාර්යභාර්ය සුවිශේෂී වූ අතර, වින්දිත තරුණයාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමත්, අධිකරණ ක්‍රියාදාමයට අවැසි නීතිමය මැදිහත්වීම සිදු කිරීමත් එමෙන්ම ඉතා දීර්ඝ කාලයක් යන තුරු එම තරුණයාට වෛද්‍ය සහ මානසික ප්‍රතිකාර අඛණ්ඩව ලබා දෙන්නට කටයුතු කිරීමත් ඒ අතරින් ප්‍රධාන විය. එමෙන්ම ඔහු රැකබලා ගන්නට කණ්ඩායම් පත් කරමින් පසුව ක්‍රමාණුකූලව ඔහුට සමාජගත  වන්නට ඉඩ  සැකසීමද අතිශය ප්‍රශස්ථ අයුරින් සිදුවුණු බව මා හොඳාකාරවම දන්නා දෙයකි.

නොනිමි අරගලයක්

කෲරතර පොලිස් වධ බන්ධනයේ ගොදුරු බවට පත්වු සිය ගණනක් ගැහැණුන්, පිරිමින් හා දරුවන් වෙනුවෙන් නීතිඥ බැසිල් ප්‍රනාන්දු විසින් දිවා රෑ නොබලා කරන ලද මෙහෙවර සුළුපටු නොවන අතර, සිදුවීම් හැටියට එය පෙළගස්සවන්නට ගිය හොත් එය අතිශය දීර්ඝ ලේඛනයක් විය හැකි බව මාගේ විශ්වාසය යි.

නමුත් ඉහත දක්වන ලද සිදුවීම් ද්විත්වය මෙන් වැදගත් සහ සුවිශේෂී වන තවත් එක් සිදුවීමක් මෙහි සටහන් කරන්නට කැමැත්තෙමි.

දෙදහස් තුන හෝ හතර වර්ෂයේදී මහනුවර අංකුඹුර පොලිසිය විසින් බාල සිය නිවසේ රැඳි සිටිය වයස්කාර පිරිමි දරුවකු බලහත්කාරයෙන් රැගෙන ගොස්  ප්‍රශ්න කොට තිබුණේ අසල නිවසක සිදුව තිබුණු සුළු සොරකමක් පිළිබඳව ය. එම ප්‍රශ්න කිරීම අතරතුර පොලිස් නිලධාරින් විසින් එම දරුවාට දරුණු ලෙස පහර දී තිබුණු අතර එහි ප්‍රතිළුලයක් ලෙස ඔහුගේ එක් අතක් බිඳී ගොස් ශරීරයේ තවත් තුවාල ඇති වන්නේ ය. පසුව මහනුවර  ප්‍රදේශයේ ප්‍රකට මානව හිමිකම්  ක්‍රියාධරයකු වු නන්දන මනතුංග පියතුමන් විසින් දරුවා සම්බන්ධයෙන් මැදිහත්ව පොලිස් පහරදීමට එරෙහිව නීතිමය වශයෙක් කටයුතු කිරීම අරඹන ලදී. මෙහිදි සුවිශේෂී මැදිහත්වීමක් කළ නීතිඥ බැසිල් ප්‍රනාන්දු එම පහර දීම සුළු කොට නොතකා බාල වයස්කාර දරුවකුට පොලිසිය විසින් කරන ලද වධ බන්ධනයක් ලෙසට අර්ථ ගන්වමින් එය වධහිංසාවට එරෙහි පනත යටතේ අධිකරණය හමුවට ගෙන යා යුතුව ඇති බවට කරුණු ඉදිරිපත් කරන්නට විය. ඒ අනුව ඉතා කඩිනමින් සහ අත්‍යාවශ්‍ය කරුණක් ලෙස සලකා  එයට අවශ්‍ය නීතිමය සහ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි රැස් කරන්නටත් වින්දිත දරුවාට ආරක්ෂිත රැකවරණය සලසන්නටත් කටයුතු කරන ලෙස ඔහු විසින් නීතිඥවරුන්ට සහ මානව හිමිකම් ක්‍රියාධරයන්ට නිරන්තරයෙන්ම උපදෙස් දෙන ලදි.

මෙම වධබන්ධනයේ දී සුවිශේෂී කරුණු ගණනාවක් සිදුවු අතර ඉන් ප්‍රධානතම එකක් වන්නේ පොලිස් පහරදීම සම්බන්ධයෙන් එම නිලධාරින්ට එරෙහිව දරුවාගේ මව විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්සම් සභාවේ මධ්‍යම පලාත් කාර්යාලයට කරන ලද පැමිණිලි විභාගයේදි එහි එවකට සිටි  සම්බන්ධිකරණ නිලධාරියා ගේ පක්ෂග්‍රාහී  සහ අත්තනෝමතික ක්‍රියාකලාපය යි. දරුවාගේ අත බිඳී ගොස් තිබුණේ පොලිස් පහරදීමෙන් බවට ඉතා පැහැදිලි අධිකරණ වෛද්‍ය සාක්ෂි පවා තිබියදි නිලධාරියා විසින් සකස් කරන ලද විමර්ශන වාර්තාවේ දැක්වුණේ එය පොලිස් පහරදීමක් නිසා ඇති වු බිඳීමක් නොව බස් රථයකින් වැටීමෙන් සිදුවුවක් බවටයි. එම සිදුවීම එකළ ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන්නේ නීතිඥ බැසිල් ප්‍රනාන්දු විසින් පොලිස් වධ බන්ධනය මෙන්ම මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකලාපයද දැඩිව විවේචනය කරමින් දරුවා ජීනිවා හී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයක් හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම නිසාය.

එම සම්බන්ධිකරණ නිලධාරිවරයා විසින් ස්වකීය බලය අයුතු ලෙස යොදා ගනිමින් පොලිසියට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට ලැබුණු පැමිනිලි සම්බන්ධයෙන් වහාම සොයා බලා කටයුතු කරන්නැයි නීතිඥ බැසිල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ බලධාරින්ගෙන් ඉල්ලා සිටියේ වරක් දෙවරක් නොවේ. එමෙන්ම එම සම්බන්ධිකරණ නිලධාරියා කොමිසමේ සහන පතා පැමිණි කාන්තාවන් ට ඔහුගේ කාර්යාල පරිශ්‍රය තුළදිම ලිංගික හිංසන සිදුකරන ලද බවට ලැබුණු පැමිනිලි යටපත් කිරීමට කොමිසමේ එකළ සිටි බලධාරින් විසින් කටයුතු කිරීම ද හෙලා දුටු නීතිඥ බැසිල් ප්‍රනාන්දු ඒ සම්බන්ධයෙන් ඇසි දුටු සාක්ෂි ද රැස් කොට ඒවා නිසි පරිදි කොමිසම වෙත ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයක් පවත්වන්නැයි  දැඩිව ඉල්ලා සිටි බව මා හොඳකාරවම දන්නා කරුණකි. නමුත් කොමිසමේ නිලධාරි බලය සහ රහස් සැඟවීමේ අවශ්‍යතාව මත සියල්ල යටපත් කෙරුනේ එම දූෂිත නිලධාරියාට යහතින් වැජඹෙන්නට ඉඩ මෙනි.  

ප්‍රභූ සම්මත නීතියට අභියෝග කළ මිනිසා

ශ්‍රි ලංකාවේ ඒ වන විටත් බලාත්මක වෙමින් තිබුණු 1994 අංක 22 දරණ වධදීමට සහ අනෙකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහි වූ සම්මුති පනත ප්‍රායෝගිකව භාවිතයට ගන්නා ලද ප්‍රමුඛතම පුද්ගලයකු වුයේ නීතිඥ බැසිල් ප්‍රනාන්දු යැයි පැවසීම මුසාවක් නොවන්නේ ය. ජෙරාඩ් පෙරේරා සහ ලලිත් රාජපක්ෂ ආදි වින්දිතයන්ගේ මෙන්ම තවත් නඩු විශාල සංඛ්‍යාවකට පාදක කර ගත්තේ  එකී පනතේ නෛතික ප්‍රතිපාදනයන් ය.

Urgent Appeals පුරෝගාමියා

නීතිඥ බැසිල් ප්‍රනාන්දු යනු නීතිය නව මානයෙන් බලමින් කටයුතු කළ අයෙක් බව මෙම ලිපිය ආරම්භයේ දීම මා විසින් සඳහන් කරන ලදී. ඔහු  සාම්ප්‍රදායික සංකල්ප හෝ අණ පනත්වල සිරවී කටයුතු නොකළ නීතිය තුළම සැඟව තිබුණු යම් යම් ප්‍රතිපාදන කරළියට ගෙන ඒවා ප්‍රයෝජනයට ගනු ලැබුවේ ඉන් නව ආරක ප්‍රවේශයක් ලබා දෙමිනි.
ඉන් ප්‍රධානතම එකක් වූයේ Urgent Appeals නිකුත් කිරීමයි.  යම් අපරාධක්  හෝ වින්දිතයකුට යුක්තිය ඉටුකර ගැනීමේ අරමුණින් දිගු කාලයක් වැය නොකොට  කඩිනමින් ජාතික  හෝ අන්තර්ජාතික ආයතන සංවිධාන සහ ඒ්වායෙහි ප්‍රධානීන් අමතන්නටත්, ඔවුන්ගේ අවධානය යොමු කරවා ගන්නටත් යොදා ගත් එය බොහෝ සිදුවීම්වලදි ඉමහත් පල ප්‍රයෝජන ගෙන දෙන ලද්දක් විය. රටේ කවර හෝ තැනකින් වාර්තා වුණු  මානව හිමිකම් කඩවීමක්, වධහිංසනයක්, නීති විරෝධි අත්අඩංගුවට ගැනීමක් හෝ රඳවා තබා ගැනීමක්, ලිංගික හිංසන සහ ළමා අපයෝජන ආදී කවර හෝ මානව හිමිකම් උල්ලංඝනයක් සම්බන්ධයෙන් රටේ  කුමන හෝ ස්ථානයකින් තොරතුරක් ලද විගස පලමුවෙන්ම කරන ලද ප්‍රමුඛ කාර්ය වුයේ ඉහත දක්වන ලද ආකාරයට Urgent Appeal කෙටි පණිවිඩයක් නිකුත් කිරීමය. එයට වින්දිතයා සහ ඔහු මුහුණ පෑ සිදුවීම සම්බන්ධයෙන් මූලික විස්තරයක් අඩංගු කෙරුනු අතර, ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් පසුවිපරම් ද කරමින් සවිස්තරාත්මක කරුණු සහිතව Urgent Appeal නිකුත් කළ අවස්ථාවන්ද බහුල විය.

එමෙන්ම වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමේ කාර්යයේදී ජනප්‍රිය තලයේ මතවාද වල පිහිටමින් කටයුතු කළ නොහැකි බවටත්,එවැනි වින්දිතයන් තමන් වෙතට පැමිණීමට පෙර මානව හිමිකම් ක්‍රියාධරයන් විසින්  ඔවුන් සොයා ගොස් නීතියේ රැකවරණය සැලසීමට කටයුතු කළ යුතුව ඇති බවටත් නිරන්තරයෙන්ම අවධාරණය කළ හෙතෙම ඉඩ ලද සෑම විටම වින්දිතයන් හා කතාබස් කරමින් ඔවුන්ගේ දුක් ගැහැට අසන්නටත්, ඔවුන් සනසා ලන්නටත් එයටත් වඩා යුක්තිය ඉටුකර ගැනීම  පිළිබඳව විශ්වාසය සහ බලාපොරොත්තුව ජනිත කරවන්නටත් දැඩි  සහ අධිෂ්ඨානශීලි ක්‍රියාවලියක නිරත වූයේ බොහෝ සමකාලීනයන් සතු නොවන සද්ගුණාංග ප්‍රකට කරමිනි.

පුරවැසි බලය සහිත අරගලකරුවන් පිරිසක්

බරපතල මානව හිමිකම් උල්ලංඝනයන්ට සහ  අපරාධයකට ගොදුරු වන වින්දිතයා තනි නොකර ඔහු වටා ශක්තිමත් මිනිස් පවුරක් ගොඩ නැගීමේ වටිනාකම සහ එකී මාහැඟි සංකල්පය ශ්‍රී ලංකාවේ එවැනි අපරාධ පිළිබඳව කටයුතු කළ සංවිධානවලට හඳුන්වා දුන්නේ ද ඔහු විසිනි. විශේෂයෙන්ම සමාජයේ හඬක් නැති, ප්‍රභූන් යැයි සම්මත මිත්‍යා කුලයට නොවැටුණු  වින්දිතයන්ට යුක්තිය ඉටු කර ගැනීම සඳහා ජවයක් සපයන්නටත්, ආත්ම විශ්වාසය  ඇති කරන්නටත් ඒ සමයෙහි ඔහු විසින් ඉතා අපුරු ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබුණි. එය නම් එවැනි වින්දිතයකු වෙනුවෙන් ඇසෙන නඩුවකදි ඔහු සමඟ යම් කණ්ඩායමක් අධිකරණයේ අසුන් ගැනීම ය. ඇතැම් නඩුකරවලදි එම පිරිසට කතෝලික පියතුමන්, කන්‍ය සොයුරියන් , බෞද්ධ භික්ෂුන් වහන්සේ සහ මානව  හිමිකම් සිවිල් ක්‍රියාධරයන් ද විශාල වශයෙන් ඇතුලත් විය. සිවිල් හෝ රාජ්‍ය බලයක් සහිත අපරාධකරුවන්ට එරෙහිව එය සංකේතාත්මකව ඉතා ප්‍රබල මැදිහත්වීමක් සහිත ක්‍රියාවක් වූ අතර, ඇතැම් අධිකරණවල විනිසුරුවරුන්ගේ පවා විශේෂ සැලකිල්ලට සහ අවධානයට  ද මෙය යොමු විය.

මෙවැනි සුවිශේෂී මැදිහත්වීමක් කරන ලද එක් නඩුකරයක් වූයේ තලවාකැලේ ප්‍රදේශයේ බාලවයස්කාර දැරිවියක සමූහ ලිංගික හිංසනයට ලක් කිරිමේ අපරාධය යි. දෙදාහ දශකයේ මුල්  භාගයේදී පළමුවෙන් ම  විභාගයට  ගන්නා ලද  එම නඩුව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ  පමණක් නොව ප්‍රදේශයේ බොහෝ දෙනා අතර දැඩි කතා බහට ලක්වු නඩුවක් බවට පත් වුයේ මෙම සාමුහික මැදිහත්වීමේ ක්‍රමවේදය නිසාය. මෙම ක්‍රමවේදයේ සරලම ක්‍රියාව වූයේ නඩුව විමසන විට යම් පිරිසක් ඉතා සාමකාමිව වින්දිත පාර්ශවය නියෝජනය කරමින්  අධිකරණයේ අසුන් ගෙන සිටීම පමණි. නමුත් එය ඉතා ප්‍රබල මැදිහත් වීමක්  වූයේ එමගින් සමාජයේ මධ්‍යම සහ පහල පාන්තික එසේම බලවත් අපරාධකාරි  පෙලැන්තියකට එරෙහිව හඬ නැගිය නොහැකි  වින්දිතයන්ට ලැබුණා වු මිල කළ නොහැකි ධෛර්ය සහ ශක්තිය යි. 
ඉහත දක්වන ලද දැරිය පාසැල් නිල ඇඳුමින් සැරසි සාක්ෂි කුඩුවේ නැග සිටිය දි  විත්තිකාර පාර්ශවයේ නීතිඥවරයාගේ නොහික්මුණු ප්‍රශ්න කිරීම් අද්දර සෑම විටම දෑස් දල්වා බැලුවේ තමන් වෙනුවෙන් අධිකරණයේ අසුන් ගෙන සිටින පිරිසගේ මුහුණුවල් දෙසය. නඩුව අවසන් වූ පසුව ඇය සහ ඇගේ පවුලේ අය ආරක්ෂාවට මැදි වුයේ ඈ වෙනුවෙන් අධිකරණයට පැමිණි පිරිසගේ මධ්‍යයේ ය. එවැනි දෑ ඉතා සංවේදි සිදුවීම් බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. පසු කලෙක ඇය ඉතා බල සම්පන්න  සහ  ධෛර්යමත් තැනැත්තියක බවට පත් වූයේ එම පිරිස ඇය වටා දැමු ආරක්ෂක වළල්ල නිසාවෙනි. මේ සියල්ල නීතිඥ බැසිල් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම වෙනුවෙන් නිහඬව දායාද කරනු ලැබු සංකල්පයන් ය.  
    
හිමිකම් රකින්නට  පුරවැසි මැදිහත්වීමක්  

එකල දකුණේ පොලීසි විසින් සිදුකරන ලද  බරපතල ගණයේ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කිරීමටත්, ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නිසි කාර්ය පටිපාටීන්ට යටත්ව නෛතික ක්‍රියාමාර්ගයන් ට යොමු වීමටත් ඔහුගේ මග පෙන්වීම සහිතව ජාලගත මානව හිමිකම් සංවිධාන සහ  ක්‍රියාකාරින් පිරිසක් සිටි අතර, ඒ වනවිටත් විසිරි සිටි සංවිධාන ගණනාවක් එක වට මේසයකට ගෙනෙන්නට හෙතම උත්සාහ දැරුවේ සාමුහික ක්‍රියාකාරකම් මගින් එකිනෙකා සතු විසිරුණු තොරතුරු හුවමාරු කොට ගෙන ඒ සම්බන්ධයෙන් දැනුවත් වීමත්, නීතිමය අරගලවලට වැඩි ජවයක් සපයන්නටත් හැකිවන බව පෙන්වා දෙමිනි. එකිනෙකා පරයා නැගී සිටිමේ පටු චේතනාවන්, ආත්මාර්ථකාමීත්වය සහ මුල්‍ය වරප්‍රසාද ආදි විවිධ හේතු මත ඒ සියල්ල සෑම විටම සාර්ථක නොවුණද නීතිඥ බැසිල් ප්‍රනාන්දු ඔහුගේ උත්සාහය අත් නොහැර හැකි සෑම විටම වෙර දරණ ලද්දේ හුදකලා සිදුවීම් සාමුහික අරගලයකටත්, නෛතික ප්‍රතිසංස්කරණවලටත් හයියක් ලෙස ගත හැකි පරිදි තබා ගන්නට ය.  

ඔහුගේ සංකල්පයක් සහිතව බිහි කරන ලද "වධහිංසාවට එරෙහි ජන සංධානය ( People against torture -PTA)" එකළ මහඟු වැඩ කොටසක් සිදුකළ අතර, පසු කාලිනව එය විවිධ හේතු කාරනා මත ක්‍රම ක්‍රමයෙන් දියවී යන්නට වූයේ සාමුහික ක්‍රියාකාරකම්වල වටිනාකම් වෙනුවට පුද්ගල මතවාදයන් ඉස්මතු වීමට පටන් ගැනීම හේතුවෙනි.  

එමෙන්ම පුද්ගල අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් එයට එරෙහිව නීතිය බලාත්මක කරවන්නට උත්සුක වූ හෙතෙම අතුරුදහන්  කිරීමක් යනු  මානව සංහතියට එරෙහි බරපතල වරදක් ලෙස  අර්ථ දක්වන ලද්දේ ඒ වෙනුවෙන් කටයුතු කරන සියළු පාර්ශවයන් දිරිමත් කරවමිනි.

අධිකරණයෙන් ශාස්ත්‍රීය මෙහෙවරට

මානව හිමිකම් සුරක්ෂිතතාවය සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම වස් එසමයෙහි ඔහු විසින් කරන ලද නෛතික  මෙන්ම ශාස්ත්‍රීය අරගලය යනු වචනයෙන් දෙකකින් ලියා අවසන් කළ හැක්කක් නොවේ.

ඔහු තම වෘත්තීය සහ මානව හිමිකම් සුරැකීමේ කාලය පුරාම බොහෝ වෙහෙසක් ගත්තේ ප්‍රජාව සහ ක්ෂේත්‍රයේ නිරතවන්නන් මෙන්ම ක්‍රියාධරයන් ගේ නව දැනුම පෝෂණය කිරීම වෙනුවෙනි. ඒ සඳහා විවිධාකාරයේ සාකච්ඡා සභා, වැඩමුළු සහ ක්‍රියාකාකම් ද අනෙකුත් රටවල මානව හිමිකම් ක්‍රියාධරයන් සතු අත්දැකීම් එකිනෙකා අතර හුවමාරු කරගන්නට සැලැස්වීම් ද සුලබව සිදුවූවකි.

නීතිඥ බැසිල් ප්‍රනාන්දු සරල සහ ප්‍රිය උපදවන බසින් මෙන්ම ඔනෑම අයකුට තේරුම්ගත හැකි ආකාරයෙන් නීතිය තේරුම්කර පහදා දෙන්නට මෙන්ම පැන නගින ගැටලුවලට විකල්ප විසඳුම් යෝජනා කරන්නටත් අති දක්ෂයෙක්  විය. වඩා වැදගත් වූයේ එම බොහෝ විකල්ප විසඳුම් සහ ක්‍රියාකාරකම් හුදෙක් සංකල්පවලට පමණක් සීමා ‌නොවී ප්‍රායෝගික තලයේදි භාවිතයට ගත් හැකි මට්ටමේ ඒවා වීමය. උදාහරණයක් ලෙස ගත්විට යම් අත්අඩංගුවට ගැනීමකදී හෝ පුද්ගල වධබන්ධන සිදුවීමකිදි හෝ ඇතැම් නීතිඥවරුන් හෝ  මානව හිමිකම් ආරක්ෂකයන් විසින් යොජනා කරනු ලබන සංකීර්ණ මෙන්ම දිගු කාලයක් වැය වෙන නෛතික ක්‍රියාමාර්ගයන් වෙනුවට නීතිඥ බැසිල් ප්‍රනාන්දු විසින් බලකරන ලද්දේ වඩාත් පහසුවෙන්  සහ කඩිනමින් ක්‍රියාවට නැගිය හැකි විකල්ප ක්‍රමවේද කෙරෙහිය. එහිදි  ඔහු විසින් ප්‍රමුඛතාවය දෙන ලද්දේ අත්අඩංගුවේ පසුවන හෝ වධහිංසාවට ලක්ව සිටින හෝ තැනැත්තාගේ ජීවිතය ආරක්ෂා කිරීම කෙරෙහිය. නීතිය බලාත්මක කරවා ගන්නට නම් වින්දිතයකු බවට පත්ව සිටින තැනැත්තා පලමුව ආරක්ෂා කර ගත යුතුව ඇති බව ඔහු විසින් දැඩිව විශ්වාස කරන ලද්දක් විය .    


මානව හිමිකම් ක්ෂේත්‍රයට නවකයන් සහ අංකුරයන් වූ මා වැනි බොහෝ අයට, බොහෝ ගුරුහරුකම් දෙමින් නීතිය, මානව හිමිකම් ක්‍රියාකාරකම් සහ සිවිල් අරගල පිළිබඳව නව මානයකින් සිතන්නට, කටයුතු කරන්නට හුරු කරන ලද්දේ තමන් දන්නා සියල්ල ම ගුරු මුෂ්ටියකින් තොරව නිර්ලෝභිව කියා පහදා දෙමිනි.

තොරතුරු සන්නිවේදනයේ දී අද මෙන් තාක්ෂණය එතරම් භාවිතා නොකළ, එමෙන්ම එහි මානයන් පුලුල් ලෙස භාවිතාවට නොගැණුනු  ඒ හා සමගම සමාජ මාධ්‍ය පිළිබඳව ද කතිකාවක් ද නොවුණු ඒ යුගයේදී බැසිල් ප්‍රනාන්දු නොහොත් අප සියළු දෙනාට "බැසිල් අයියා" වූ හෙතෙම  බොහෝ විෂයන් පිළිබඳව  අප දැනුවත් කරන ලද්දේ තව තවත් එම විෂය ක්ෂ්‍ත්‍රයන්ට අප ඇද බැඳ තබමිනි. එමෙන්ම කිසි විටෙක  බැහැර කළ නොහැකි තොරතුරු කන්දක්  මනා ලෙස පෙළ ගස්වමිනි. යම් විෂය කරුණක් පිළිබඳව ඔහු සතු දැනුම සහ අත්දැකීම් අප වැනි ලාබාල ක්‍රියාධරයන් හට තිළිණ කරන ලද්දේ පැය ගණන් නොව වරු ගණන් ඇදුණු ඉතා මිත්‍රශිලී සංවාද, සාකච්ඡා කව මගිනි. මානව හිමිකම් විෂය ක්ෂේත්‍රයේ නව මානයන්, නීතියේ නව්‍යකරණයට ලක් විය යුතු තැන්, අණ පනතක් පමණක් නොව සම්ප්‍රදායිකව මුල් බැසගෙන තිබුණු අධිකරණ සම්ප්‍රදායන්වල සාධනීය ලෙස වෙනස් විය යුතු තැන් ද නීතිඥ බැසිල් ප්‍රනාන්දු  විසින් අපට පහදා දෙන ලද්දේ ඒ වන විටත් ඔහු විසින් එකී විෂයයන් සම්බන්ධයෙන් ලබා ගෙන තිබු ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් සහ පරිනතභාවය ද උපයෝගි කොට ගෙනය. එයාකාරයේ කවර නම් හෝ කරුණක් සම්බන්ධයෙන් අප හමුවේ පැන නැගුන ගැටලු, නොපැහැදිලි තැන් අතිශූර සහ තාර්කික ලෙස විසඳමින් කරුණු ගෙන හැර පාමින් පහදා දෙන්නට හෙතම උපන් හපනෙක් විය.

විශිෂ්ටයකු ගේ නික්ම යෑම

නීතිඥවරයකු, අපරාධ යුක්තිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර තලයේ අභිචෝදකයකු සහ සැබෑ මානව හිමිකම් සටන්කරුවකු ද වූ ඔහු දක්ෂ කවියකු මෙන්ම විවිධ විෂයන් සම්බන්ධයෙන් ඇසු පිරු තැන් සහිත ග්‍රන්ථ කතුවරයෙකු ද විය. ඔහු විසින් නීතිය, නීති ප්‍රතිසංස්කරණ සහ සමාජයේ එදිනෙදා දක්නට ලැබෙන විවිධාකාර වු ගැටළු සම්බන්ධයෙන් සරල සහ බැහැර කළ නොහැකි මට්ටමේ තොරතුරු සහිතව ග්‍රන්ථ ගණනාවක්ම ප්‍රකාශයට පත් කොට තිබෙන්නේ ය. කුලවාදය සහ ආගම්වාදය දැඩි සේ ප්‍රතික්ශේප කළ ඔහු කතෝලික භක්තිකයකු වුවද නීතිය සහ සමාජ විමුක්තිය නැමැති සංකල්පයේ දි ආගම දෙවැනි තැන ලා කටයුතු කරන්නට පුරුදුව සිටි බව එකළ ඔහු ඇසුරු කළ අප බොහෝ දෙනෙකු දන්නා කරුණකි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවෙන් බිහිවු තවත් අග්‍රගන්‍ය මානව හිතවාදියකු ඔහුගේ දිවිසැරියට සමුදී තිබෙන්නේ තවත් කාලාන්තරයක් යනතුරු එම හිඩැස පුරවන්නට කෙනක් බිහිවේ දැයි යන සැක සංකාව අප ඉදිරියේ තබමිනි. මහත්මා ගුණයෙන් සහ මානව දයාවෙන් පිරිපුන් නීතිඥ බැසිල් ප්‍රනාන්දු අපගේ ජීවිත කාලය තුළ දක්නට ලැබුණු  නීති ක්ෂේත්‍රයේ සහ මානව හිමිකම් අරගල බිමේ ක්‍රියාකාරීකව සිටින අතලොස්සක් පෙරලිකාරයන් සහ සම්ප්‍රදායන්ට අභියෝග කළ පිරිස අතරින් ඉදිරියෙන්ම සිටියෙකි.

ඔහු පසුකර යන්නට සමතෙක් ශ්‍රී ලංකාවේ නම්, ඇස් මානයේ පෙනෙන්නට නැත.

ඉතින් ඔබට සුභ ගමන් බැසිල් අයියා.

(සටහන | කේ විජේසිංහ)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...