ඔක්තෝබර් 19 යනු අධිරාජ්‍යවාදී කුමන්ත්රණයක අඳුරු සෙවණැලි අතරින් අප්‍රිකානු මහද්වීපයේ අසහාය විප්ලවවාදියකු ඝාතනය කළ කළු දිනයකි. ලෝකයේ කොතැනක පීඩිත ජනතාවක් සිය නිදහස උදෙසා නැගී සිටින්නේ ද, එකී අරගලවල ලෙයින් සහ කඳුළින් ලියැවුණු පොදු උරුමයක් අප සතුව ඇත. පරමාදර්ශී සිහිනයක් වෙනුවෙන්, යටත් විජිතවාදයට සහ වර්ණභේදවාදයට එරෙහිව සිය ජීවිතය පූජා කළ සමෝරා මෂෙල් සහෝදරයා අපෙන් වෙන්වී අදට වසර හතළිහක් ගතවී ඇත.
අධිරාජ්‍යවාදී කුමන්ත්රණයක ව්‍යාජ නාවික සංඥාව
1986 ඔක්තෝබර් 19 වැනිදා රාත්‍රිය දකුණු අප්‍රිකාවේ ලෙබොම්බෝ කඳුකර පන්තිය පුරා පැතිර තිබුණේ ගුප්ත නිහඬ අන්ධකාරයකි. සැම්බියාවේ පැවැති තීරණාත්මක කලාපීය හමුවක් අවසන් කර මොසැම්බික් ජනාධිපති සමෝරා මෂෙල් ඇතුළු විප්ලවීය සගයන් පිරිස රැගෙන ආ සෝවියට් නිපැයුම් ටුපොලෙව් (Tupolev) ගුවන් යානය, රාත්‍රී අහස පියාසර කරගෙන සිය මාතෘ භූමිය දෙසට පියඹා එමින් තිබුණි.

එහෙත් යානය කිසිදා සිය ගමනාන්තයට ළඟා වූයේ නැත. දකුණු අප්‍රිකාවේ Mbuzini දේශසීමා ආසන්නයේ කඳුකරයේ දී අධිරාජ්‍යවාදී කුමන්ත්රණයක ව්‍යාජ නාවික සංඥා හමුවේ අඳුරේ අතරමං වූ ඒ යානය දරුණු ලෙස කඩා වැටුණි. නිදහස් අප්‍රිකාවේ ප්රබලතම හඬ, ජනතාවගේ ආදරණීය නායකයාගේ හුස්ම පොද ඒ අඳුරු කඳුකරයේ දී සදාකාලිකවම නතර විය.
දේශපාලන අවබෝධයේ ඇරඹුම
1933 සැප්තැම්බර් 29වන දා මොසැම්බික්හි චිලෙම්බෙනේ නම් කුඩා ගම්මානයේ උපත ලැබූ සමෝරා, පෘතුගීසි යටත්විජිත පාලකයින් ගේ දරුණු වාර්ගික අසාධාරණ ක්‍රියාකාරකම් කුඩා කල සිටම ඇසින් දුටුවේ ය. තරුණ වියේ දී හෙද සේවකයකු ලෙස සේවය කළ ඔහුට, රෝගීන්ගේ ශාරීරික වේදනාවට වඩා තදින් දැනුණේ කළු ජාතිකයින් වීම නිසා ම තම ජනතාව විඳි සමාජීය සහ මානසික පීඩනය යි. රෝගී වන මිනිසාට ඖෂධ දෙන අතර ම, මුළු මහත් සමාජය ම රෝගී කර ඇති යටත්විජිතවාදී ක්‍රමය වෙනස් කළ යුතුය යන දේශපාලන අවබෝධය ඔහු ලැබුවේ එතැනිනි.
1977 දී FRELIMO සංවිධානය මාක්ස් ලෙනින්වාදී මගට
1963 දී ඔහු මොසැම්බික් විමුක්ති පෙරමුණට (FRELIMO) එක් විය. ගරිල්ලා සටන්කාමියකු ලෙස ඔහු, 1969 දී එහි ආරම්භක නායක එඩුවාඩෝ මොන්ඩ්ලාන් ඝාතනය කිරීමෙන් පසු නොසැලෙන නායකත්වයකින් අරගලය කරට ගත්තේය. 1970 දී ඔහු (FRELIMO) මොසැම්බික් විමුක්ති පෙරමුණේ සභාපතිත්වයට පත් විය. වසර ගණනාවක් තිස්සේ කළ සටන් සහ කැපකිරීම්වලින් පසු මොසැම්බික් රාජ්‍යය පෘතුගීසි යටත් විජිතවාදයෙන් නිදහස ලැබී ය. සමෝරා මෂෙල් එහි පළමු ජනාධිපතිවරයා ලෙස පත් විය.
1977 දී FRELIMO සංවිධානය නිල වශයෙන් මාක්ස් ලෙනින්වාදී මග තෝරා ගත් බව ලොවට නිවේදනය කළේ ය. අධ්‍යාපනය සහ සෞඛ්‍යය සැමට නොමිලේ ලබා දීම, නූගත්කම තුරන් කිරීමේ මහා සාක්ෂරතා මෙහෙයුම්, කාන්තා විමුක්තිය උදෙසා අසමසම වැඩපිළිවෙලවළ, රාජ්‍ය සම්පත් ජනසතු කිරීම යනාදිය නීතිගත කළේ ය.
අධිරාජ්‍යවාදීන් හමුවේ දණින් නොවැටී…
එතැන් පටන් මොසැම්බික් දේශය සමාජවාදී අරුණාලෝකයකින් ඒකාලෝක වන්නට විය. සමාජවාදී මොසැම්බික් රාජ්‍යයක් යනු, අසල තිබූ දකුණු අප්‍රිකාවේ සහ රොඩේෂියාවේ වර්ණභේදවාදී ධනපති පාලකයින්ට මහා තර්ජනයක් විය. ඔවුන් RENAMO නම් කැරලිකාර කල්ලිය නිර්මාණය කරමින් මොසැම්බික්හි සිවිල් යුද්ධයක් ඇවිළවීය. රට ඇතුළතින් සිවිල් යුද්ධයේ ගිනිදැල් මෙන්ම පිටතින් ආර්ථික සම්බාධක ද ඇති වෙන්නට පටන් ගත්තේය. එහෙත්, සමෝරා මෂෙල් කිසිදා අධිරාජ්‍යවාදීන් හමුවේ දණින් වැටුණේ නැත. දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩේලාගේ ANC වර්ණභේදවාදී පාලනයට එරෙහි ව්‍යාපාරයටත්, කලාපයේ අරගලයන්ටත් ඔහු නොබියව පිටුපසින් සිටියේ ය.
ඉතිහාසයේ දිගු සෙවණැල්ලක් තැබූ මහා පරිත්‍යාගය

ඔහුව භෞතිකව විනාශ කිරීමට 1986 ඔක්තෝබර් 19 වනදා දකුණු අප්‍රිකානු වර්ණභේදවාදී පාලකයින් කුමන්ත්‍රණය කළේ ඒ නිසා ය. සමෝරා මෂෙල් සහෝදරයා ගේ මරණය යනු හුදෙක් එක් නායකයෙකු ගේ අවසානය නොවේ. එය ඉතිහාසයේ දිගු සෙවණැල්ලක් තැබූ මහා පරිත්‍යාගයකි. ඔහු අපට ඉතිරි කර ගිය සදාකාලික පාඨය වූයේ A LUTA CONTINUA! අරගලය තවමත් දිගටම පවතියි! එය අදටත් ලෝකය පුරා පවතින අසමානතාවයට, අධිරාජ්‍යවාදී සූරාකෑමට, දුප්පත්කමට සහ මනුෂ්‍යත්වය පෑගීමට එරෙහිව සටන් කරන සෑම පීඩිත මිනිසකු ගේ ම හෘද සාක්ෂියේ නාදය යි.
සටහන - ගාමිණී මුතුකුමාරණ
උපුටා ගත්තේ Gamini Muthukumarana ගේ face book පිටුවෙනි



