The Leader News
BREAKING
නිර්මාණශීලිත්වය යනු අපෝහක භෞතිකවාදී ක්‍රියාවලියකි●5% උද්ධමන ඉලක්කය 2027 දෙවන භාගය දක්වා කල්යයි●බොඳ වුණු සිහිනය පිළිබඳ හෙළිදරව් කෙරෙන කෘති ත්‍රිත්වයක්●කාවන්තිස්ස වියෝවෙන් පසු වනඅලි රැකවරණයට දැඩි අවධානයක්●පීඩිත මිනිසකු ගේ හෘද සාක්ෂියේ නාදය; සමෝරා මෂෙල්●ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට යයි●අතීතකාමී හැඟීම් සමුදායක පාඨකයා ගිල්වා තබන "මුවන්පැලැස්සේ හිඟන කොල්ලා"●කාවන්තිස්ස ඛේදවාචකය: කඳුළු සැලීමෙන් ඔබ්බට පද්ධතිය හදන සටන●බන්ධනාගාරගත හිමිවරුන්ගේ සිවුරු ප්‍රශ්නයට බෞද්ධ කොමසාරිස්ගේ අනුමැතිය පතයි●කාවන්තිස්සට වෙඩි තැබූ නිශ්චිත සාක්ෂි කෝ?●
Top Ad
විශේෂාංග

නිර්මාණශීලිත්වය යනු අපෝහක භෞතිකවාදී ක්‍රියාවලියකි

Nethmini

Nethmini

October 20, 2026 • 3:07 PM

නිර්මාණශීලිත්වය යනු අපෝහක භෞතිකවාදී ක්‍රියාවලියකි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "දැනුම නිර්මාණාත්මක දේ බිහි කරයි" යන වාක්‍ය ඛණ්ඩය ප්‍රචලිත භෞතිකවාදී ප්‍රස්තූතයකි.
  • බොහෝ විට එය අලුත් නිර්මාණයක් බිහි කිරීම සඳහා දැනුම භාවිත වූ සන්දර්භය හඳුනාගත හැකි ප්‍රශ්තූතය බවට පත්වී තිබේ.
  • බොහෝ විට නව නිර්මාණ බලාපොරොත්තු නොමැති මොහොතක මනසෙහි පහළ වීමත්, සමහර විට ක්‍රමික වර්ධනයෙන් නිර්මාණාත්මක දේ නිපදවීමත් යන කරුණු දෙක නිර්මාණශීලිත්වයේ පැති දෙක ලෙස ගත හැකි ය.
  • මිනිසාගේ පරිශ්‍රමයෙන් සහ ඔහු නිර්මාණය කරන නිෂ්පාදනයෙහි සමාජ වටිනාකම , සංස්කෘතික වටිනාකම , කලාත්මක වටිනාකම භෞතික වටිනාකමක් බවට පත් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

"දැනුම නිර්මාණාත්මක දේ බිහි කරයි" යන වාක්‍ය ඛණ්ඩය ප්‍රචලිත භෞතිකවාදී ප්‍රස්තූතයකි. බොහෝ විට එය අලුත් නිර්මාණයක් බිහි කිරීම සඳහා දැනුම භාවිත වූ සන්දර්භය හඳුනාගත හැකි ප්‍රශ්තූතය බවට පත්වී තිබේ. බොහෝ විට නව නිර්මාණ බලාපොරොත්තු නොමැති මොහොතක මනසෙහි පහළ වීමත්, සමහර විට ක්‍රමික වර්ධනයෙන් නිර්මාණාත්මක දේ නිපදවීමත් යන කරුණු දෙක නිර්මාණශීලිත්වයේ පැති දෙක ලෙස ගත හැකි ය. එවිට සංකල්පවලින් නිර්ණය වන දැනුම මගින් පාලනය, වඩාත් ගැඹුරු, වඩාත් සැඟවුණු චින්තන ක්‍රියාදාමයක් නිර්මාණශීලිත්වයට හිමියි. නිර්මාණශීලිත්වය අත්හදාබැලීමේ සහ වැරදි නිවැරදි කිරීම්වලින් ඉදිරියට යන ක්‍රියාදාමයකි.

පරිකල්පනය යනු කුමක් ද…?

නිර්මාණශීලිත්වය මූලික වශයෙන් චින්තන ක්‍රියාවලියකි. පුළුල් අරුතින් ගත් කල එයින් අදහස් කරන්නේ අලුත් වූ ද, සමාජීය වශයෙන් වැදගත් වූ ද, නිර්මාණාත්මක නිෂ්පාදනයක් කිරීමට සම්බන්ධ වූ ක්‍රියාකාරීත්වය යි. එයින් අදහස් වන්නේ නව සොයාගැනීමක් හෝ නව නිපැයුමක් හෝ නව කලා කෘතියක් සම්බන්ධ දැනුමේ ක්‍රියාවලිය යි. එවිට නිර්මාණශීලිත්වය ජීවී අවශ්‍යතා අනුව සහ ජීවන පැවැත්මට අනුචිත ඉලක්කවලට අනුව සැලසුම් වන භෞතික ක්‍රියාදාමයකි. මිනිසාගේ පරිශ්‍රමයෙන් සහ ඔහු නිර්මාණය කරන නිෂ්පාදනයෙහි සමාජ වටිනාකම, සංස්කෘතික වටිනාකම, කලාත්මක වටිනාකම භෞතික වටිනාකමක් බවට පත් වෙයි. තම නිර්මාණාත්මක කාර්යයේ දී මිනිසා තමාවම දැනුමේ පරිවර්තනයකට ලක් කරන අතර එය පසුව සමාජයට එකතු වූ පසු සමාජ දැනුමක් බවට පත් වෙයි. එවිට නිර්මාණශීලිත්වය යනු අපෝහක භෞතිකවාදී ක්‍රියාවලියකි.

පරිකල්පනය සහ දැනුම යනු එකිනෙකට වෙනස් සංකල්ප ය පරිකල්පනය යනු ඉන්ද්‍රියයන් මගින් ග්‍රහණය කර නොගන්නා මානසික රූප, අදහස් සහ සංවේදන ගොඩනැගීමේ හැකියාවයි. අනෙක් අතට, දැනුම යනු අත්දැකීම් හෝ අධ්‍යාපනය තුළින් ලබා ගන්නා කරුණු, තොරතුරු හෝ කුසලතා පිළිබඳ අවබෝධයයි. පරිකල්පනය යනු දැනුමේ සීමාවන් ඉක්මවා යන බලගතු මෙවලමක් වන අතර, එය අපට නව හැකියාවන් නිර්මාණය කිරීමට සහ සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගොස් සිතීමට ඉඩ සලසයි. දැනට දන්නා දේට වඩා ඉන් ඔබ්බට ගොස් නව අදහස් සහ සංකල්ප ගවේෂණය කිරීම මගින් නව දැනුම එකතු කර ගැනීම නිර්මාණකරණයට වැදගත් කර්තව්‍යකි.

කලාව ඇතුළු ජීවිතයේ විවිධ අංශවල දී පරිකල්පනය ඉතා වැදගත් වේ; එහිදී කලාකරුවන් තම පරිකල්පනය යොදා ගනිමින් අන් අයව ආස්වාදයට සහ ආකර්ෂණයට පත් කරන නිර්මාණ බිහි කරති. නව පරිකල්පනය නොමැති නම්, කලාකරුවන්ට නිර්මාණය කළ හැක්කේ දැනට දන්නා දෙයින් තවත් ප්‍රකාශනයක් පමණි. කලාත්මක ප්‍රකාශනය සඳහා ද පරිකල්පනය අත්‍යවශ්‍ය වන අතර, එය අපගේ ජීවිත පොහොසත් කළ හැකි සංගීතය, චිත්‍ර, සාහිත්‍යය සහ වෙනත් කලා මාධ්‍යයන් නිර්මාණය කිරීමට ද මග පාදයි.

 

ගැඹුරු දැනුමට කළ හැකි දෑ

නව අදහස් ජනනය කිරීමේ හැකියාව දැනුමේ ගැඹුර, පළල, සංජානන සංකීර්ණතාව සහ නම්‍යශීලීභාවයට සම්බන්ධය. පුද්ගල නිර්මාණශීලිත්වය කාලයත් සමග වෙනස් වන බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත. දැනුමේ දී මූලික වන්නේ විශේෂිත දැනුම සහ විවිධ දැනුම වන අතර එය තුළින් පුද්ගලයකු ගේ දැනුම පදනම ද පුළුල් කරයි.

විවිධ දැනුමට වඩා නව අදහස් ජනනය කිරීම සඳහා විශේෂිත දැනුම අත්‍යවශ්‍ය ය. එය අදහස් සලකා බැලීමට, අදහසක් ස්ථානගත කිරීමට සහ එය ඵලදායී අවසානයක් කරා ගෙන යන්නේ කෙසේදැයි සොයාගැනීමට මානව සුබ සිද්ධිය ඇති කිරීමට හෝ වෙනසක් ඇති කිරීමේ කාචයක් ලෙස ද ක්‍රියා කරයි. කෙසේ වෙතත්, ගැඹුරු දැනුමට කාලයත් සමග සංජානන සාමුහිකත්වය වර්ධනය කළ හැකිය. පුද්ගලයෙකු වඩාත් විශේෂිත දැනුම වර්ධනය කරන තරමට, එය නිර්මාණශීලීත්වයට වර්ධනාත්මක බලපෑමක් ඇති කරයි. විශේෂයෙන් නිර්මාණශීලීත්වය සඳහා අවශ්‍යතාවය පටු ආකල්ප පෝෂණය කිරීමෙන් වළක්වා ගත යුතු ය.

නිර්මාණාත්මක අදහස්වල ආරම්භය යනු කුමක් ද…?

නිර්මාණශීලීත්වය යන අලුත් හෝ පරිකල්පනීය යමක් නිර්මාණය කිරීමේ හැකියාව සමග දැනුම යන කරුණු සහ අත්දැකීම්වල එකතුව සමග ඒකාබද්ධ වීමකි. නිර්මාණශීලීත්වය සමහර විට ස්වයංසිද්ධව (හෝ එසේ පෙනෙන පරිදි) සිදුවන අතර බොහෝ විට අවදානම් ගැනීම ඊට ඇතුළත් වේ. ගැටලු විසඳීමට හෝ අභියෝග ජය ගැනීමට නව ක්‍රම සොයාගැනීමේ දී නිර්මාණශීලීත්වය විශාල වත්කමක් ලෙස ඉදිරියට ගමන් කරයි. නිර්මාණශීලීත්වය නව්‍යතාවය සමග සම්බන්ධ වුවද, එය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් නිර්මාණය කිරීමට පමණක් සීමා නොවේ. යමක් නව ආකාරයකින් නිර්මාණය කිරීම හෝ යම් විශේෂිත සන්දර්භයකට නව දෙයක් අනුවර්තනය කිරීම ද ඊට ඇතුළත් විය හැකි ය.

මීට පෙර කිසිවෙකු විසින් සිදු නොකරන ලද දේවල් කිරීමට නිර්මාණශීලීත්වය ඉඩ සලසන බැවින්, සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට සිතීමේ (thinking outside the box) වැදගත්කම සහ දේවල් කිරීමට නව අදහස් සහ ක්‍රම සොයාගැනීමේ වැදගත්කම ගැන නිරන්තර කතාබහක් ඇති වන්නේ ඒ නිසා ය. එවිට ඔවුන් නිර්මාණශීලීත්වය හඳුන්වන්නේ නිර්මාණාත්මක අදහස්වල ආරම්භය ලෙස යි.

එකිනෙකට ගැටගැසුණු සහසම්බන්ධයක් සහිත නව නිර්මාණ තුනක්

සොබාදහමේ සහ සමාජයේ බාහිර පැවැත්ම සහ මිනිසා ගේ නිර්මාණාත්මක ක්‍රියාකාරීත්වය භෞතික පදනමකින් ඉදිරියට ගමන් කිරීම සිදු වෙයි. එවිට මාක්ස්වාදය යනු නිර්මාණාත්මක ක්‍රියාකාරීත්වයේ න්‍යායික පදනමයි. නිර්මාණශීලිත්වයේ ස්වරූපය වනුයේ ලෝකය විග්‍රහ කරගැනීමට තවත් එක් මානයකින් මැදිහත්වීමයි. එවිට විද්‍යා තාක්‍ෂණික යුගයක් වෙත පිය නගා සිටින නූතන මිනිසාට අතිශයින් අත්‍යවශ්‍ය සාධකය වී තිබෙන්නේ නිර්මාණශීලීත්වය යි. ඉතිහාස ගමන් මගෙහි විද්‍යාවේ ක්‍රමය සහ ප්‍රවේශය අන් කිසිදු දෙයකට වඩා මිනිස් ජීවිතය විප්ලවකාරී ලෙස නිර්මාණය කර ඇත්තේය. නිර්මාණශීලිත්වය යනු පළමුව නව දැනුම සොයාගැනීම, නව සිද්ධි පැහැදිලි කිරීම සහ අලුත් අදහස් නිර්මාණය කරගැනීම බවට පත් වෙයි. එවිට නීර්මාණශීලිත්වය සාක්ෂාත් කරගැනීමට නිරතුරුව තොරතුරු ඒකරාශී කිරීම, විශ්ලේෂණය, නව අදහස් සාකච්ඡාව, අඛණ්ඩතාව පවත්වා ගැනීමට සිදු වෙයි. රීතියක් වශයෙන් නව නිර්මාණ සෘජු රේඛාවක් වශයෙන් සිදු නොවන අතර එහෙත් පිමි වශයෙන් ස්ථීරසාර ඉදිරි ගමනක් එවිට නිරුපණය වෙයි.

මෙය නිදසුනකින් පැහැදිලි කළහොත් රේඩියෝව සොයාගැනීමත්, රූපවාහිණිය සොයාගැනීමත්, පරිගණකය සොයාගැනීමත් අතර ඇත්තේ එකිනෙකට ගැටගැසුණු සහසම්බන්ධයක් සහිත නව නිර්මාණ තුනක් වශයෙනි. නිර්මාණාත්මක ප්‍රවේශය සෑම මොහොතකම දිගහැරෙන්නේ ස්ථීරසාර ඉදිරි දැක්මක් සහිතවය. රේඩියෝව, රූපවාහිනිය සහ පරිගණකය වෙනස් සමාජ අවශ්‍යතාවයන් ඉටු කළත් මේවායේ අන්තර්ය විද්‍යුත් ඒකකයක් මත පිහිටා ඇත.

පැරණි දැනුම ප්‍රතිශෝධනය කිරීමට වෙහෙස දැරිය යුත්තේ ඇයි…?

නොදන්නා දෙයෙහි සිට දන්නා දෙය කරා දැනුම වර්ධනය කිරීමෙහි ආධාර වන වැදගත් සාධකය වන්නේ විද්‍යාත්මක නිර්මාණශීලිත්වය යි. විද්‍යාත්මක දාර්ශනික මූලධර්ම, සමාජ විද්‍යාත්මක ගැටලු, සංස්කෘතියක කලාව අවබෝධ කර ගැනීමට ස්ථීරසාර විසඳුම වන්නේ නිර්මාණාත්මක මනසකින් එය දෙස බැලීමයි. එවිට මූලික දාර්ශනික ගැටලු, විද්‍යාත්මක ගැටලු, විසඳීමේ දී නිර්මාණශීලිත්වය ඉතාමත් වැදගත් සාධකයකි. එහෙත් පරණ දැනුමට පමණක් සීමා වීමෙන් නව දැනුමක් නිර්මාණය කර ගැනීමට අපහසු විය හැකිය. ඒ, යම් දෙයක් ඉගෙනීමට, පැරණි දැනුමේ සීමාවෙන් ඔබ්බට යෑමට අවශ්‍ය නිර්මාණාත්මකභාවය ඇති කර නොගතහොත් නව දැනුමක් අත්කර ගැනීමට හැකියාවක් ඇතිකර ගැනීමට අපහසු වනු ඇත. නව දැක්මක් සඳහා මාරුවීමට පැරණි දැනුම ප්‍රතිශෝධනය කිරීමට වෙහෙස දැරිය යුත්තේ ඒ නිසාය.

පැරණි දෙය නිෂේධනය කිරීමේ අරගලයේ දී, අලුත් දෙය එහි මග හෙළි කරගනියි. එසේම මෙය ආර්ථිකයට, දේශපාලනයට, විද්‍යාවට. දර්ශනයට, සමාජයට සහ කලාවට එක සේ අදාළ වේ. අලුත් දේ සොයාගැනීමේ ප්‍රතිඵලය නිර්මාණාත්මක පර්යේෂණය යි. එය අලුත් නිර්ව්‍යාජ දැනුමකි. අලුත් දේ සෙවීම යනු සංකල්පයෙන් ආරම්භ වී කරුණු ඒකරාශි කරමින් අවදි පසුකරමින් අවසානයේ නව සොයාගැනීම වෙත පැමිණීමයි. නව සොයාගැනීම් වෙත ප්‍රවිෂ්ට වීමේ දී මිනිසුන් අතර පමණක් නොව ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන් අතර ද නව සොයාගැනීමට ඇති අකමැත්ත ප්‍රකාශ කරන මාධ්‍යයකි. 

අලුත් සොයාගැනීමක සංකල්පයක් අවදි තුනක් පසු කර යෑම

සමාජ ඉතිහාසයේ මේ පිළිබඳව කැපී පෙනෙන නිදසුන්වලින් පිරී ඇත. තාරකා විද්‍යාඥයකු වූ ටයිකෝ බ්‍රේහේ (1546-1601) විසින් නිකොලස් කොපර්නිකස්ගේ (1473-1543) සූර්ය කේන්ද්‍රවාදය ප්‍රතික්ෂේප කළේය. ගණිතඥයකු වූ ගෝට්ෆ්‍රීඩ් ලීබ්නිට්ස් (1646-1716) අයිසෙක් නිව්ටන්ගේ (1643-1727) ගුරුත්වාකර්ෂණ නියමයට එරෙහිව දැඩි තර්ක සමුදායක් ඉදිරිපත් කරමින් ප්‍රතික්ෂේප කළේය. එසේම සාපේක්‍ෂතා නියමයේ නිර්මාතෘවරයා වූ ඇල්බට් අයින්ස්ටයින්ට (1879-1955) පවා බොහෝ විද්‍යාඥයන් මුලින් විරුද්ධ විය. ඒවගේම ඩොරති මේරි හොඩ්ජ්කින් (1910-1994) යනු ජෛව අණුවල ව්‍යුහය තීරණය කිරීම සඳහා එක්ස්-රේ ස්ඵටික විද්‍යා (X-ray crystallography) තාක්ෂණය දියුණු කළ ඉංග්‍රීසි ජාතික රසායන විද්‍යාඥවරිය මේ අදහස ගෙන ආ විට ඇයගේ මතයට විශාල විරුද්ධත්වයක් ප්‍රකාශ වූයේ ධනපති පාලකයින්ගෙනි. මේ සිදුවීම් දෙස බැලූ විට පෙනී යන්නේ ඒ මොහොතේ පවතින පැරණි සංකල්ප මත පදනම්ව, අලුත් සංකල්පය ප්‍රතික්ෂේප කිරීමකි. මූලධර්මයක් වශයෙන් විද්‍යාඥයන් අතර ඇති සිද්ධාන්තය නම් “යම් අලුත් සොයාගැනීමක සංකල්පයක් අවදි තුනක් පසු කර ගොස් තහවුරු වන්නේය” යන අදහස ඔවුන් මූලික ලෙස පිළිගනිති. පළමුවෙන් විරුද්ධවන්නන් නව අදහසට පහර දෙමින් විකාරයක් යැයි ප්‍රකාශ කරති. ඉන්පසුව එය සත්‍ය යයි ද, එහෙත් එතරම් වැදගත් නොවේ යයි ද, දෙවනුව විමසුමක් කරති. අන්තිමේ දී එහි නියම වැදගත්කම පිළිගන්නා අතර එය තහවුරු කිරීම සඳහා විරුද්ධ වූවන්ම කැප වෙති.

ප්‍රඥාව යනු කුමක් ද…?

විද්‍යාත්මක සොයාගැනීම් සමාජයේ සංකල්ප කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන අතර පවතින සමාජයේ දැක්ම වෙනස් කරයි. එවිට දැනුම විසින් නව නීති රීති පනවනු ලබයි. මේ සඳහා නිකොලස් කොපර්නිකස්, ගැලීලියෝ ගැලීලි (1564-1642), අයිසෙක් නිව්ටන්, ජොන් ලොක් (1632-1704) චාල්ස් ඩාවින් (1809-1882) , කාල් මාක්ස් (1818-1883) සහ ඇල්බට් අයිස්ටයින්, ඩොරති මේරි හොඩ්ජ්කින් සහ ස්ටීවන් හෝකින් (1942-2018) විසින් ඉදිරිපත් කළ භෞතිකවාදී සංකල්ප සමාජ සංකල්ප විශාල පරිවර්තනයකට භාජයන කිරීමට සමත් විය. මේ ආකාරයේ සොයාගැනීම් වඩාත් බහුල වශයෙන් සිදුවන අතර මෙම සොයාගැනීමේ මාර්ගය සහ මාධ්‍යය වන්නේ නිර්මාණාත්මක සංකල්ප පද්ධතියක් බිහි කිරීමට උදවු වීමයි.

නිර්මාණශීලිත්ව පරිකල්පනය දැනුම සම්බන්ධ කරන බලවත් මෙවලමක් වන අතර එය පුද්ගලයකු ගේ අරමුණු සහ යථාර්ථය අතර පාලමක් ලෙස සේවය කරයි. එය දැනුම ව්‍යාප්ත කිරීම සඳහා භාවිතා කළ හැකි ඉගෙනීමේ අත්දැකීම් ද නිර්මාණය කරයි. බොහෝ නිර්මාණශීලී නමුත් දැනුමැති පුද්ගලයින් සතුව ඇති ගුණාංගයක් වන ප්‍රඥාව යනු නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම තුළින් කෙනකු ගේ දැනුම ගැඹුරින් භාවිත කිරීමේ හැකියාව යි; දැනුමෙන් ප්‍රඥාවන්ත වීම සහ නිර්මාණශීලිත්වය ජීවිතයේ සාරය බවට පත් කර ගැනීමයි. ඒ ගමන භෞතිකවාදී සමාජ දැක්මකි.

සටහන - චමිල් ජයනෙත්ති

chamil.cool@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#Chamil Jayanetti#Creativity
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...