සිංහල භාෂාවෙ තියෙන එක විශේෂත්වයක් තමයි භාවිතය මත එකම වචනය 'ද්වි ප්රති-අර්ථ' (ප්රතිවිරුද්ධ අර්ථ දෙකක්) වීම හෝ 'බහ්වර්ථ' (බහු අර්ථ) වීම සහ එකම වචනයට 'සමාන පද' බොහොමයක් පැවතීම. සිංහල භාෂාව භාවිත කරන මනුස්සයෙක්ට ඕව හොඳට තේරෙනව, කලාතුරකින් කෙනෙක්ට ඇරෙන්න.
තවත් විශේෂම භාවිතයක් තමයි; මේ බහ්වර්ථ පද, සමහරවිට කාලය එක්ක අංශක 180ක්ම විරුද්ධාර්ථය ගන්න පුළුවන් වීම. බහ්වර්ථ පද සහ සමාන පද භාවිත කරනකොට සැලකිලිමත් වෙන්න ඕනෙ. මොකද, එක සමාන අර්ථ තිබ්බ පළියට ඒ වචන හිතූ හිතූ හෑම තැනම ඔහේ යෙදුවට 'ප්රශස්ථව' අර්ථ ගන්වන්න බෑ.
ඉතාම සරලව පැහැදිලි කරන්න පුළුවන් එකම එක උදාහරණයක්
තමුසෙ - තමුසෙ කියන පදයෙ මූලික නිෂ්පැත්තියෙ අර්ථය/මූලාර්ථය ගත්තම, ඒක 'තමුන්වහන්සෙ' කියන ගෞරවාර්ථය. හැබැයි ඒක වර්තමානය වෙන්කොට 'උඹ/තෝ' හා සමාන අපහාසාර්ථය දනවන පදයක් බවට පත් වෙලා ඉවරයි. ඒකෙ ගෞරවාර්ථ භාවිතය දැන් සිද්ධ වෙන්නෙ නැහැ. දැන්, වර්තමානයෙ ඉන්න මනුස්සයෙක් තව මිනිහෙක්ට 'තමුසෙ' කියල බැණල, "මම ඒක කිව්වෙ තමුන්වහන්සෙ කියන ගෞරවාර්ථයෙන්නෙ" කියල කියනව නම්... ඒ මිනිහට 'තක්කඩියෙක්' කියන නම ඇර දෙන්න සුදුසු වෙන නමක් නෑ! ඒක හරියට අර 'ගොයම් කොළේට මුවා වෙලා වෙඩි තිබ්බ' ආකාර 'ගොං තර්කයක්' වෙනවා.
වචනයක් භාවිත කරන 'අරමුණ' කියන එක ඉතාම වැදගත්. තමන්ගෙ වචන තමන් භාවිත කළේ යම් අර්ථයකින් වුණත්, ශ්රාවකයට ඒක සන්නිවේදනය වෙන්නෙ යම් ආකාරයකින්ද කියල කල්පනා කරන එකට තමයි 'හිතල බලල කතා කරනව' කියන්නෙ.
සන්නිවේදනයේ මූලික ශික්ෂාව
මතකද සජිත් ප්රේමදාස මහත්තයගෙ 'ශ්රී මුඛය' කියල කියවුණ කතාව? ශ්රී මුඛය කියන එකේ අර්ථය නොදන්න කෙනෙක් නෑනෙ? එහෙනම් ඇයි මිනිස්සු ඒකෙදි ටිපර් වුණේ? භාවිතය... භාවිතය... භාවිතය... 'ශ්රී' යනාදි ගෞරවාර්ථය හඟවන පදයක් භාවිත වෙන්නෙ ආගමික නායකාදි අනන්යතාවක් නිසාම තමයි කියල 'ජන සම්මත' වෙලා තියෙන නිසා තමා ඒක 'අපහාසයක්' විදියට හුවා දැක්වුණේ.
යම් හෝ තමන්ගෙ අදහසක් සන්නිවේදනය කරනකොට, බහුතර ශ්රාවක පිරිසකට 'රිදුමක්/සිත් වේදනාවක්/ඝට්ටනයක්' ඇති වෙනවා නම්, ඒක යහපත් සන්නිවේදනයක් කියල සලකන්නෙ නෑ. ඒක සන්නිවේදනයේ මූලික සදාචාරාංගයක්. සන්නිවේදනයේ මූලික ශික්ෂාවක්.
වදන් තක්කඩි ලෙස භාවිත කිරීම
රුවන්මැලි සෑය/ රුවන්වැලි සෑය, මහ සෑය වගේ නිතර භාවිත, ජනතාව අතර පුරුදු සහ කටට හුරු භාවිතයක් තියෙද්දි 'ස්මාරකේ' වගේ වචනයක් භාවිතයත්-
සිද්ධාර්ථ, ශුද්ධෝදනගෙ දරුවා, සිදුහත් කුමාරයා වගේ වචන තියෙද්දි ඒ වෙනුවට 'ශුද්ධෝදනගෙ කොල්ලා' වගේ වචනයක් භාවිතයත්-
රුවන්මැලි සෑයට ස්මාරකයක් කියන එකට එකඟ වුණ පළියට හෝ මොනම හෝ කාරණයක් මත මනුස්සයෙක්ට අපහාසයට 'සතෙක්' කියල භාවිත කිරීමත්-
කොයිතරමක් නම් 'තර්ක කරල' සාධාරණීකරණය කරන්න පුළුවන් වුණත්, ගොයම් කොළේට මුවා වෙලා වෙඩි තිබ්බා වගේ සිද්ධාන්ත සහ 'වදන් හරඹ' කරන්න පුළුවන් වුණත්,
ඔන්න ඔය සිද්ධිවල පාවිච්චි කරන වදන් තුනම එකම සමාන 'තක්කඩි' යෙදුම් හෝ 'ඉතාම අශිෂ්ට' යෙදුම්. වදනක නිසරු භාවය, අශිෂ්ට භාවය හෝ තක්කඩි භාවය තීරණය කරන්න ඒකෙ 'මුඛ්යාර්ථය' විතරක් නෙවේ, 'භාවිතාර්ථයත්' සැලකිය යුතුයි.
සටහන - චන්දික අබේවික්රම
info.panhinda@gmail.com
උපුටා ගැනීම Chandika Abeywickrama ගේ face book පිටුවෙන්



