වස් කවිය ගංවතුරක් සේ දෙගොඩ තලා පමණක් නොව හිම දියවීමක් සේ සිව් දෙසම සිසාරා පැතිර ගොස් අවසන්ය. එය දුටු දුටු අය කියෙව්වෝය. කියවමින් බෙදා හැරියෝය. බෙදා හරිමිනුත් කියෙව්වෝය. ලදලද අයත් කියෙව්වෝය; බෙදුවෝය.
අවසානයේ ලොව පුරාම සිංහල කියවන අය වැඩිදෙනෙක් කියවූ ලියවිල්ල බවටද පත්වුණේය. මෑත කාලයේ කෙටි කලක් තුළ මෙතරම් ව්‍යාප්ත වුණු වෙනත් ලේඛනයක් අප දුටුවේ නැත. මෙසේ වූ වස් කවියේ දොස් දැක රොස් බස් පළ කළේ වස් වදිතැයි බිය වූ පුස්සන්ය. ඒ පුස්සන්ට අනුව එය කුමන්ත්රණයකි; සුළුපටු කුමන්ත්‍රණයක් නොවේ, ජනාධිපතිවරයාට එරෙහි කුමන්ත්රණයකි. තව සමහරුන්ට අනුව සිල්වත් භික්ෂූන්ට වස් කවි ලිවීම හෝ කියවීම කළ නොහැකිය.
මගේ මේ උත්සාහය වස් කවිය හා බෞද්ධ සංස්කෘතිය ගැන මදක් සොයා බැලීමටය.
ගැමි මතකයේ රැඳුණු වස් කවි සහ භික්ෂු කාර්යභාරය
වස් කවිය යන වචනය මට මුලින්ම අසන්නට ලැබුණේ මා කුඩා කල අපේ තාත්තාගේ රබර් ගස් වගයක් කවුදෝ කැත්තෙන් පතුරු ගසා තිබෙනු දුටු තාත්තාගේ මුවින් පිටවුණු වචනයකිනි. “මේකට නම් මං නිකම් ඉන්නේ නෑ, මඩවල ගිහින් කියෝනව වස් කවියක් මේ අපරාධය කළවුන් හැඳි ගෑවිලා යන්න.” තාත්තා මඩවලයැයි කිව්වේ මඩවල පන්සලය. මඩවල පන්සලේ තිබූ දේවාලය අපේ ගම්පැත්තේ අය වස් කවි කියන්නට ගිය එක් ස්ථානයකි. තව සමහරුන් අලුත්ගම කන්දෙ විහාරයට ගොස් වස් කවි කීවෝය. වඩාත් දරුණු අපරාධවලට වස් කවි කියන්නට එකල අපේ ගම්වල අය ගියේ මොරවක් කෝරළේ ගැටබරුවටය.
මෙසේ අපේ ගමේ අය එදා වස් කවි කියවන්නට ගිය මඩවල, කන්දේ විහාරය, ගැටබරුව යන ස්ථාන තුනම බෞද්ධ විහාරස්ථාන වේ. ඒ විහාරස්ථානවලට වස් කවි කියවන්නට ගිය අපේ තාත්තා වැනි අහිංසක ගැමියන්ට වස් කවි ලිව්වෙත් නියමිත පරිදි විහාරස්ථානයේ සූනියම් දේවාලයේදී හෝ විෂ්ණු දේවාලයේදී වස් කවිය කියෙව්වෙත් හාමුදුරුවරුන්මය.
එසේම වස් කවි සෙත් කවි සෑදීම සඳහා අවශ්‍ය දැනුම බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන ක්‍රමයෙන් ලබාදුන්නේ ශබ්ද ශාස්ත්‍රය නම් වූ විෂයක් ඉගැන්වීමෙනි. අක්ෂරවල ලඝු ගුරු භේදය, අක්ෂර සංයෝගවල ගුණදොස්, උච්චාරණ විධි, උච්චාරණය මගින් බලය ගොඩනැඟීම ආදිය ඉගැන්වීම මේ ශබ්ද ශාස්ත්‍රයට අයත් විය.
එකල වස් කවිය කියවන්නට යන්නේ රහසිගතව වුවත් වස් කවි කියවූ බව ගම පුරා පතුරුවා හැරීමට කිසිදු බාධාවක් තිබුණේ නැත. කොච්චර රහසින් වස් කවිය කියෙව්වත් සති දෙකක් යන විට අවට ගම්වලත් සැවොම වස් කවි කියෙවූ බව දැන ගනිති. වස් කවි කියවූ බව ආරංචි වීමෙන්ම අදාළ අසාධාරණය කළ අය තුළ ඇතිවන බියජනක හැඟීම වස් කවියේ මුල්ම ප්රතිඵලයයි. ඕනෑම මිනිසෙකුටම ගැලවෙන්නට නොහැකි එකම උගුල සිය හෘද සාක්ෂියේ උගුලයි.
මේ නිසා දැනට දශක හය හමාරකටත් එපිට කාලයේ හද්දා පිටිසර ගම්වල උපන් අපේ පරම්පරාවේ අය නම් ගමේ පන්සල්වල සිටින භික්ෂූන් වහන්සේලා වස් කවි හදන්නත් කියවන්නත් සමත් අය බව දනිති. ඒ නිසා මේ වස් කවියත් හාමුදුරු කෙනෙක් ලිව්වා කියා ගැටලුවක් උපන් ගැමියන් වන අපට නම් නැත.
පිරිත් දේශනාව සහ ආටානාටිය සූත්‍රයේ අරමුණ
දෙවනුව මේ වස් කවි පංතිය විමසිල්ලෙන් කියවා බලන විට පෙනෙන්නේ මෙය කොතරම් බෞද්ධ සංස්කෘතියට බැඳී ඇති දෙයක්ද යන්නයි. බෞද්ධ සංස්කෘතියේ අනිවාර්ය අංගයක් වන්නේ පිරිත් දේශනාවයි. පිරිත් ධර්මය දේශනා කිරීම මෙන්ම ශ්‍රවණය කිරීම බෞද්ධයින්ගේ මානසික ශක්තිය වර්ධනයෙහි ලා අත්‍යාවශ්‍ය දෙයක් සේ සැලකේ.

“පරිසමන්තතෝ තායති පරිත්තං” යන්නෙන් පිරිත් ධර්මය බෞද්ධයාගේ හාත්පස ආරක්ෂාව සඳහාම වන්නක් බව කියැවේ. පිරිත් දේශනා පැවැත්වීමේ ක්‍රම ගණනාවක් පරිත්‍රාණ ධර්මය ඇතුළත් පිරුවානා පොත්වහන්සේ නමින් හඳුන්වන ග්‍රන්ථයේ ඇතුළත්ය. සෙත් පිරිත, වරු පිරිත, තිස් පැයේ පිරිත, තිස් පෑ තුනේ පිරිත, සති පිරිත ආදී වශයෙන් පිරිත් දේශනා කරන ක්‍රම ගණනාවකි.
සාමාන්‍යයෙන් අලුත් වැඩක් අරඹන විට, කවුරුන් විසින් හෝ නව සේවා ස්ථානයක වැඩ භාර ගන්නා විට භික්ෂූන් වහන්සේලා එකතු කරගෙන සෙත් පිරිත් දේශනා කරවති. නිවසකට ගෙවදීම වැනි අවස්ථාවල තුන්වරුවක් එනම් උදේ, සවස, පසුදා උදේ ලෙස තුන් සූත්‍රය දේශනා කරති. තිස් පැයේ පිරිත් දේශනාව රාත්‍රී නවයට පමණ ආරම්භ කොට පසුදා අලුයම තෙක් බණවර හතරක් සමඟ සූත්‍ර හතක් දේශනා කරති.
මෙහිදී පළමු බණවර ලෙස සරණාගමනයේ සිට ධජග්ග පිරිත දක්වා සූත්‍ර හා ගාථාවන් දාහතරක් දේශනා කිරීමත්, දෙවන බණවරට බොජ්ජංග පිරිත් තුනක් හා සූත්‍ර දෙකක්ද, තුන්වන හා හතරවන බණවර ලෙස ආටානාටිය සූත්‍රය දෙවරක් දේශනා කිරීම සිදුවේ. දෙවන හා තෙවන බණවර අතරට අතිරේක සූත්‍ර හතක් දේශනා කෙරේ.
සති පිරිත යනු මීට වඩා චාරිත්‍ර විධි රැසකින් යුක්ත පිරිත් දේශනා ක්රමවේදයකි. සාමාන්‍යයෙන් සති පිරිත් දේශනා කරවන්නේ විහාරස්ථාන හෝ ප්‍රධාන දේවාලයන් වැනි පොදු ස්ථාන ඇසුරෙනි. සති පිරිතේ පිරිත් මණ්ඩපයට ඇතුළු විය හැක්කේ උපසම්පදාව සහිත භික්ෂූන්ට පමණි. මේ තිස් පැයේ පිරිතේ හා සති පිරිතේ ඉතා වැදගත් ස්ථානයක් ආටානාටිය සූත්‍ර දේශනාවට ලැබේ. තිස් පැයේ පිරිත් දේශනාවක තුන්වන හා සතරවන බණවර ලෙස ආටානාටිය සූත්‍ර දේශනාව කෙරේ. සති පිරිතේ අවසානයද ආටානාටිය සූත්‍ර දේශනාවෙන් සිදුවේ.
සති පිරිත් දේශනාවේ අනුශාසනාවේ දැක්වෙන පරිදි සියලුම දෙවිදේවතාවුන්ට, යක්ෂ සේනාධිපතිවරුන්ට ආදීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදුකොට අවසානයේ අවවාදවලට නැඹුරු නොවූ අමනුෂ්‍යයන්ගෙන් සිදුවන උවදුරු දුරු කර සකලවිධ අභිවෘද්ධීන් උදෙසා ආටානාටිය සූත්‍රය දේශනා කරන ලෙස දක්වා ඇත.
වෙසමුණි රජුගේ ඉල්ලීම සහ යක්ෂ සේනාධිපතියෝ

ආටානාටිය සූත්‍ර දේශනාව යනු දීඝ නිකායේ සූත්‍ර තිස් හතරෙන් එකකි. මේ සූත්‍රය දේශනා කරන්නට හේතුව වී ඇත්තේ බුදුන් වහන්සේගෙන් වෛශ්‍රවණ දිව්‍යරාජයා විසින් කළ ඉල්ලීමක් නිසාවෙනි. සතර දිශා භාරව සිටින්නේ යැයි විශ්වාස කරන ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතර වරම් දෙවිවරුන් සපිරිවරින් බුදුන් වහන්සේ හමුවට පැමිණ උන්වහන්සේ කෙරෙහි තමන්ගේ ගෞරවය ප්‍රකාශ කර සිටි බව කියැවේ.
එහිදී තමන් තමන් භාරයේ සිටින ගන්ධර්ව, නාග, කුම්භණ්ඩ හා යක්ඛ යන මනුෂ්‍යයන් නොවන අමනුෂ්‍ය කොටස්වලින් බුද්ධ ශ්‍රාවක භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසට සිදුවිය හැකි හිරිහැර කරදරවලින් ආරක්ෂා වීම සඳහා ආටානාටිය සූත්‍රය ශ්රාවකයින්ට උගන්වන්නට යැයි ඉල්ලා සිටියේ යක්ෂයින්ට අධිපති සේ සැලකෙන වෛශ්‍රවණ දිව්‍ය රාජයාය. වෙසමුණි යනු එහි සිංහල අර්ථයයි.
බුදුන් වහන්සේ එය අනුදැන වදාළෙන් ආටානාටිය සූත්‍රය ශ්‍රාවක සංඝයාට දේශනා කරන ලදී. මේ සූත්‍රයේ සඳහන් අන්දමට සතර වරම් දෙවිවරුන්ටත් පාලනයක් නැති අමනුෂ්‍යයින් අතින් යම් හිරිහැරයක් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා ආදී පිරිසට සිදු වුවහොත් ඒ බව යක්ෂ සේනාධිපතීන් වෙත හඬගා පැමිණිලි කළ යුතු වෙයි. එසේ පැමිණිලි කළ යුතු යක් සෙනෙවීන්ගේ නම් තිස් හතරක් ආටානාටිය සූත්‍රයේ සඳහන් වේ.
වස් කවියේ දැක්වෙන දේව නම් සහ සූත්රගත සබඳතාව
මේ යක්ෂ සේනාධිපතීන්ගේ නම් අතර ඉන්ද්‍ර, වරුණ හා පර්ජන්‍ය යන නම්ද සඳහන් වේ. මේ නම් මට සිහිපත් වුණේ මේ සුප්‍රකට වස් කවි පන්තියේ දැක්වෙන යක්ෂ දේව රාජයන්ගේ නම් දුටු විටය.
වස් කවි පන්තියේ සඳහන් වජ්‍රපාණී යනු සක් දෙවිඳුගේ යක්ෂ අවතාරයක් සේ සැලකේ. ආටානාටිය සූත්‍රයේ බෞද්ධ ශ්රාවකයින්ට අමනුෂ්‍යයන්ගෙන් හිරිහැර වන විට ඉන්ද්‍ර නම් යක් සෙනවියෙකුට පැමිණිලි කළ යුතු බව සඳහන්ය. ඉන්ද්‍ර යනුද ශක්‍ර දෙවියන්ටම කියවෙන නමකි. ඒ අනුව වස් කවියේ වජ්‍රපාණී හා ආටානාටිය සූත්‍රයේ ඉන්ද්‍ර දෙදෙනාම එක් අයෙකු සේ සැලකීමේ වරදක් නැත.
වස් කවියේ සඳහන් තවත් දේව රාජයෙක් වන්නේ උත්පලවර්ණය. උපුල් දෙවියන්ට වරුණ කියා නමක්ද ඇති බව කියැවේ. ආටානාටිය සූත්‍රයේ පැමිණිලි කළ යුතු යක් සෙනෙවීන් අතර වරුණද සිටී.
වස් කවි පන්තියේ නම් සඳහන් ඊළඟ දෙවියා පර්ජන්‍යය. අකුණු සැරවලට අධිපති ලෙස සැලකෙන පර්ජන්‍යගේ නමත් ආටානාටිය සූත්‍රයේ පැමිණිලි කළ හැකි යක් සෙනවිවරුන් අතර ඇති නමකි.
වෛශ්‍රවණ නම් දෙවි මහරජුන්ද වස් කවි පංතියේ නම් සඳහන් කර ඇති අයෙකි. ආටානාටිය සූත්‍රය ශ්‍රාවකයින්ගේ ආරක්ෂාව සඳහා උගන්වන ලෙස බුදුන් වහන්සේට යෝජනා කළේ වෛශ්‍රවණ දිව්‍ය රාජයාය.
පළිගැනීමක්ද? අමනුෂ්‍ය බලවේග හමුවේ කළ දැනුම්දීමක්ද?
මේ අන්දමට බලන විට මේ සා විශාල ප්‍රසිද්ධියක් ලද වස් කවි පන්තිය හුදෙක් තමන්ට අසාධාරණයක් කළ අයගෙන් පළිගැනීමේ වෛරී චේතනාවකින් කළ දෙයක් නොවන බවත්, බෞද්ධ සංස්කෘතියට අනුව ආටානාටිය සූත්‍රයෙන් බුදුන් දුන් උපදෙස්වලට අනුකූලව සිව්වනක් බෞද්ධ ශ්‍රාවක පිරිසට මනුෂ්‍යයන් සේ සැලකිය නොහැකි අමනුස්ස පිරිසකගෙන් සිදුවන අනේකවිධ හිරිහැර ගැන බලා ගන්නා ලෙසට යක්ෂ සේනාධිපතීන් කීප දෙනෙකුට කළ දැනුම් දීමක් සේ පෙන්වා දීමටද හැකියාව පවතී.
ඒ අනුව බැලූ විටද බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතින් මේ වස් කවි පංතිය රචනා කිරීමේ වරදක් මට නම් දැකිය නොහැකිය.
(vinivida.lk)




