The Leader News
BREAKING
සාහිත්‍ය විචාරය යනු කුමක්ද?●රාමායන සිනමා දැවැන්තයා ඉන්දියාවේ මෘදු බලය පැතිරවීමක් ද?●දේශගුණ අර්බුදය ලොව ප්‍රකට උදෑසන කෑම මේසයත් සොලවයි●‘එදා රෑ’ දින 40ක් තුළ රුපියල් ලක්ෂ 8,093ක වාර්තාගත ආදායමක් උපයයි●අකුරු නොදත් අප්‍රිකානු මිත්තණියන් සූර්ය ඉංජිනේරුවන් වූ අපූරුව●හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ●සංවිධානාත්මක අපරාධ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ දැඩි විමසුමට●නව චීන තානාපති සහ දිලිත් අතර විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක්●ඉන්දීය සිනමාව උඩුයටිකුරු කළ ‘රාමායන’ ලොවපුරා තිරයට●ඔක්ටේන් 95 යළි ඉහළට: පෞද්ගලික සහ රජයේ මිල පරතරය රුපියල් 25ක් වෙයි●
Top Ad
විශේෂාංග

රාමායන සිනමා දැවැන්තයා ඉන්දියාවේ මෘදු බලය පැතිරවීමක් ද?

Awara

Awara

November 5, 2026 • 12:32 PM

රාමායන සිනමා දැවැන්තයා ඉන්දියාවේ මෘදු බලය පැතිරවීමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය සිනමාකරු නිතිෂ් තිවාරි අධ්‍යක්ෂණය කරන ’රාමායන: රයිස් ඔෆ් අ ලෙජන්ඩ්’ (Ramayana: Rise of a Legend) දැවැන්ත චිත්‍රපට ව්‍යාපෘතිය අද (5) සිට ජාත්‍යන්තර මට්ටමින් ප්‍රදර්ශනය වීම අරඹා තිබේ.
  • එමනිසා, මෙය ලෝක සිනමාවේ දැවැන්තම තාක්ෂණික හා මූල්‍යමය නිර්මාණයක් ලෙස එළිදැක්වීම හුදෙක් කලාත්මක කාර්යයකට එහා ගිය භූ-දේශපාලනික හා සංස්කෘතික පරිශ්‍රමයක් ලෙස ද කියැවීම කෙරෙහි ශ්‍රී ලාංකික අප ද විශේෂයෙන් උනන්දු විය යුතුය.
  • ඩොලර් මිලියන 500ක මෘදු බල මෙහෙයුම චිත්‍රපටයේ කොටස් දෙකෙහිම නිෂ්පාදන, ජාත්‍යන්තර බෙදාහැරීම් සහ ප්‍රචාරණ වියදම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500කට ආසන්න (ඉන්දීය රුපියල් කෝටි 4000කට වැඩි) මූල්‍ය පරිමාණයක් වැය වේ.
  • මේ අතර මෙහිදී රාවණාගේ චරිතය නිරූපණය කරන යෂ් පෙන්වා දෙන්නේ සිනමාව යනු රටක සංස්කෘතිය ජාත්‍යන්තරයට ගෙන යා හැකි ‘මෘදු බලයක්’ (Soft Power) බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දීය සිනමාකරු නිතිෂ් තිවාරි අධ්‍යක්ෂණය කරන ’රාමායන: රයිස් ඔෆ් අ ලෙජන්ඩ්’ (Ramayana: Rise of a Legend) දැවැන්ත චිත්‍රපට ව්‍යාපෘතිය අද (5) සිට ජාත්‍යන්තර මට්ටමින් ප්‍රදර්ශනය වීම අරඹා තිබේ. රන්බීර් කපූර් (රාම), සයි පල්ලවී (සීතා) සහ යෂ් (රාවණා) රඟපාන මෙම කොටස් දෙකක නිර්මාණය නාමිත මල්හෝත්‍රාගේ මූලිකත්වයෙන් නිෂ්පාදනය වන අතර, දෘශ්‍ය ප්‍රයෝග සඳහා ජාත්‍යන්තර ඩී.එන්.ඊ.ජී. (DNEG) ආයතනයත්, සංගීතයට ඒ. ආර්. රහ්මාන් හා හෑන්ස් සිමර් (Hans Zimmer) එකතුවීමත් විශේෂත්වයකි.

එහෙත්, රාමායනය යනු අප කුඩා කාලයේ සිට අසා දැන සිටින අන්දමට හුදෙක් රාම, සීතා, රාවණා හා හනුමාන් පිළිබඳ පුරාණ වීර කතාවක් පමණක් නොවේ; ඉන්දියානු උපමහාද්වීපයේ ආගමික විශ්වාස, සාහිත්‍යය, ජනශ්‍රැති, දේශපාලනය හා සංස්කෘතික අනන්‍යතාව සමඟ සියවස් ගණනාවක් තිස්සේ බැඳී පවතින සංකීර්ණ සංස්කෘතික උරුමයකි. එමනිසා, මෙය ලෝක සිනමාවේ දැවැන්තම තාක්ෂණික හා මූල්‍යමය නිර්මාණයක් ලෙස එළිදැක්වීම හුදෙක් කලාත්මක කාර්යයකට එහා ගිය භූ-දේශපාලනික හා සංස්කෘතික පරිශ්‍රමයක් ලෙස ද කියැවීම කෙරෙහි ශ්‍රී ලාංකික අප ද විශේෂයෙන් උනන්දු විය යුතුය.

ඩොලර් මිලියන 500ක මෘදු බල මෙහෙයුම


චිත්‍රපටයේ කොටස් දෙකෙහිම නිෂ්පාදන, ජාත්‍යන්තර බෙදාහැරීම් සහ ප්‍රචාරණ වියදම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500කට ආසන්න (ඉන්දීය රුපියල් කෝටි 4000කට වැඩි) මූල්‍ය පරිමාණයක් වැය වේ. මේ අතර මෙහිදී රාවණාගේ චරිතය නිරූපණය කරන යෂ් පෙන්වා දෙන්නේ සිනමාව යනු රටක සංස්කෘතිය ජාත්‍යන්තරයට ගෙන යා හැකි ‘මෘදු බලයක්’ (Soft Power) බවයි. එක්තරා අතකින් බලන විට මෙය ඉතා බරපතළ ප්‍රකාශයක් ද වේ.

ඇමරිකානු දේශපාලන විද්‍යාඥ ජෝසප් නයි (Joseph Nye) හඳුන්වා දුන් ‘මෘදු බලය’ යනු හමුදාමය හෝ ආර්ථික බලහත්කාරයෙන් (Hard Power) තොරව, රටක සංස්කෘතිය, කලාව, දේශපාලන වටිනාකම් සහ විදේශ ප්‍රතිපත්ති භාවිත කරමින් ආකර්ෂණය හා ඒත්තු ගැන්වීම හරහා අන් අයගේ ආකල්ප කෙරෙහි බලපෑම් කිරීමයි. බොලිවුඩ්, යෝගා, ආයුර්වේදය මෙන්ම 1966 දී ඒ. සී. භක්තිවේදාන්ත ස්වාමි ප්‍රභුපාද විසින් ආරම්භ කළ ජාත්‍යන්තර ක්‍රිෂ්ණ භක්ති සංගමය (ISKCON / හරේ ක්‍රිෂ්ණා ව්‍යාපාරය) හරහා පෙරදිග ආධ්‍යාත්මික දර්ශනය බටහිර ලෝකය පුරා ව්‍යාප්ත වීම ඉන්දියානු මෘදු බලය සම්බන්ධ කදිම නිදසුනකි. අද දින ඩිජිටල් තාක්ෂණය සහ ගෝලීය සිනමා වෙළෙඳපොළ භාවිත කරමින් ඉන්දියාව උත්සාහ කරන්නේ එම සංස්කෘතික අභිමානය නූතන තලයකට ගෙන යාමට ද යන සැකය අප තුළ ද ජනිත වේ.

හින්දු ජාතිකවාදය, රහ්මාන් සහ සීමා මායිම් බිඳීම


වත්මන් ඉන්දීය දේශපාලන පසුබිම (විශේෂයෙන් භාරතීය ජනතා පක්ෂයේ දේශපාලන කතිකාව සහ අයෝධ්‍යාව වැනි සංකේත) තුළ රාම චරිතයට හිමිව ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. එම නිසා මෙම වීර කාව්‍යය ජාත්‍යන්තරයට ගෙන යාම හින්දු ජාතිකවාදී සංස්කෘතික ව්‍යාප්තවාදයක නව මුහුණුවරක් ද යන විවේචනාත්මක පැනය මතු වේ. කෙසේ වෙතත්, රාමායනය සිනමාවට නැඟීම ස්වභාවයෙන්ම ජාතිකවාදී ව්‍යාපෘතියක් ලෙස හෙළා දැකිය නොහැකි අතර, එය භාරතීය සංස්කෘතික අභිමානයේ ප්‍රකාශනයක් ද යන්න මැනිය යුත්තේ නිර්මාණයේ අන්තර්ගතය සහ භාවිත වන සංකේත මත ය. අප ඒ සම්බන්ධයෙන් වඩාත් විචාරශීලී විය යුත්තේ එනිසා ය. මේ අතර ඉන්දියාවේත් ඉන් බැහැරත් මුස්ලිම් ප්‍රජාව තුළ ද රාමායනය සම්බන්ධ විශේෂ උනන්දුවක් ජනිත වී තිබේ.

එහි සංගීතයට එක්ව සිටින ඒ. ආර්. රහ්මාන් මුස්ලිම් ජාතිකයකු වීම වටා ඇතැම් සමාජ මාධ්‍ය සංවාද මතු වීම ඒ අතරින් කැපී පෙනෙන්නකි. කුඩා කල බ්‍රාහ්මණ පාසලක ඉගෙනුම ලබමින් රාමායනයේ උසස් සදාචාරාත්මක වටිනාකම් හඳුනාගත් තමාටත්, තමන් සමඟ එහි සංගීතය අධ්‍යක්ෂණය කළ යුදෙව් ජාතික හෑන්ස් සිමර්ටත් ආගමික අනන්‍යතාව කලාත්මක සහයෝගීතාවට බාධාවක් නොවන බව රහ්මාන් ප්‍රකාශ කර තිබේ. මෙය සංස්කෘතික සහජීවනයේ සාධනීය ප්‍රකාශනයකි.

එමෙන්ම පාකිස්තානයේ කරච්චි නුවර හින්දු ප්‍රජාව මෙම සිනමා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පුද පූජා පැවැත්වීම මෙන්ම, අසල්වැසි ප්‍රේක්ෂකයන් එහි තාක්ෂණික මෙහෙයුම ඇගයීමෙන් පෙනෙන්නේ ආගමික සංවේදීතා මැද වුවද සිනමාත්මක වටිනාකම් සීමා මායිම් අභිබවා යන බවයි.

රාවණාගේ භූමිකාව සහ ලාංකේය සංවාදය


රාමායනය යනු ඉන්දියාවට පමණක් සීමා වූ කතාවක් නොවේ. තායිලන්තයේ ‘රාමකියෙන්’, කාම්බෝජයේ ‘රීම්කේර්’, ඉන්දුනීසියාවේ ‘කකවින් රාමායණය’ සහ මැලේසියාවේ ‘හිකායත් ශ්‍රී රාමා’ ලෙස ආසියාතික රටවල් රැසක් තම දේශීය සංස්කෘතියට අනුව මෙම කතාව නැවත අර්ථකථනය කරගෙන ඇත.

මෙහිදී ශ්‍රී ලංකාවට හිමිවන්නේ සුවිශේෂී තැනකි. ඉන්දියානු මූලික කතාවේ රාම වීරයා කරමින් එහි රාවණා ප්‍රතිවාදියා ලෙස දක්වද්දී, ශ්‍රී ලාංකේය ජනප්‍රිය කතිකාව හා ජනප්‍රවාද තුළ රාවණා සැලකෙන්නේ, සන්නද්ධ බලයෙන්, තාක්ෂණයෙන් හා විද්‍යා ශාස්ත්‍ර වලින් පිරිපුන් විශිෂ්ට රජෙකු හා සංස්කෘතික අනන්‍යතාවේ සංකේතයක් ලෙස විනා පරාජිත රාක්ෂයකු ලෙස නොවේ. (රාවණාගේ පැවැත්ම ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් තහවුරු වී නොමැති වුවද ඔහු පිළිබඳ ජනප්‍රිය කතිකාව සක්‍රීයව පවතී).

ඒ අනුව, ඉන්දීය සිනමාකරුවන්ගේ අර්ථකථනය ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරය තුළ යම් සංස්කෘතික හා මතවාදී සංවාදයක් ඇති කිරීම වැළැක්විය නොහැක. එමෙන්ම වත්මන් මාලිමා ආණ්ඩුවේ මුල් ගාමක බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණ තම කල් ඉකුත් වූ දේශපාලන දැක්ම තුළ වූ “ඉන්දියානු ව්‍යාප්තවාදය” මත පිහිටා කටයුතු කළ කාලයේ මෙම රාමායනය තිරගත වුණි නම් ඔවුන් ඒ සම්බන්ධයෙන් කෙසේ ක්‍රියාකාරී වනු ඇත්දැයි අපට සිතා ගන්නට පුළුවන.


සංස්කෘතික අභිමානයද? මතවාදී ආධිපත්‍යයද?

එක් සංස්කෘතියක වීරයකු තවත් සංස්කෘතියක ප්‍රතිවාදියා වන විට, සංස්කෘතික ව්‍යාප්තියක් මෘදු බල දේශපාලනයක් හෝ සංස්කෘතික ආධිපත්‍යයක් බවට පත්වන්නේද යන්න තීරණය වන්නේ එම කතාව ගෝලීය සමාජයට ඉදිරිපත් කරන ආකාරය සහ ඔවුන් එය වටහා ගන්නා ආකාරය මතය. රාමායනය ලෝක සිනමාවට ගෙන යාම භාරතීය අභිමානයේ ප්‍රකාශනයක් ලෙස අගය කළ හැකි අතරම, එහි දේශපාලනික හා සංස්කෘතික බලපෑම විවේචනාත්මකව විමසා බැලීමට ලෝක ප්‍රජාවට ද අයිතියක් ඇත. තවමත් නිශ්චයක් නොමැත්තේ ඔවුන් එය කෙසේ ප්‍රයෝජනයට ගනී ද යන්න සම්බන්ධයෙන් පමණි.

උපුටා ගැනීම - vinivida.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...