The Leader News
BREAKING
හූති ප්‍රහාර හමුවේ ආසියානු කුසලාන පාපන්දුව මාස 11ක් ඈතට විසිවෙයි!●Diginote | ලෝක තෙල් මිල බිඳවැටෙයි: කොළඹ කොටස් වෙළෙඳපොළ උඩුයටිකුරු වෙයි●ජාතික ආරක්ෂාවට මුවා වී තොරතුරු සැඟවිය හැකිද?●ගොන්කෝ සම්මානලාභී ප්‍රංශ ලේඛකයා පොත ලියන්න AI යොදාගත් හැටි●මහාචාර්ය නාමල් විජයසිංහ හෙළිදරව් කරන ස්වභාවික මරණයේ විද්‍යාව●සිරසට දුන් කෝටි 10 ආණ්ඩුවට කැලලක්ද?●Gen Z රැල්ල සහ ඇමරිකානු නිල් සුනාමිය!●බුදුන්ගේ රස්තියාදුව, කේ.කේ. සමන් කුමාර සහ තිස්ස ජනනායක●නාලන්දාව කේන්ද්‍රකර ගනිමින් පාසල්වලට එන ඉන්දීය විද්‍යාගාර විප්ලවය●අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය: රනිල්ගේ මනමේ මතකය සහ කෙහෙළියගේ කැබිනට් පත්‍රිකාව●
Top Ad
විශේෂාංග

ජාතික ආරක්ෂාවට මුවා වී තොරතුරු සැඟවිය හැකිද?

Nethmini

Nethmini

November 6, 2026 • 4:40 PM

ජාතික ආරක්ෂාවට මුවා වී තොරතුරු සැඟවිය හැකිද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත මත පදනම්ව, තොරතුරු ප්‍රතික්ෂේප කිරීමට පෙර එයට නීත්‍යනුකූල සහ සාක්ෂි මත පදනම් වූ හේතු තිබිය යුතුය.) දිනී ජයසේකර ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකදී රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳව දැනගැනීමට පුරවැසියන්ට ඇති අයිතිය මූලික අයිතිවාසිකමකි.
  • එහෙත් ප්‍රායෝගිකව ඇතැම් රාජ්‍ය ආයතන තොරතුරු ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම සඳහා ජාතික ආරක්ෂාව සහ රහස්‍යභාවය වැනි හේතු ප්‍රමුඛ කරගන්නා අවස්ථා බොහොමයක් දකින්නට ලැබේ.
  • නාවික හමුදාවෙන් ඉල්ලා සිටි තොරතුරු මෙම නඩුවට පසුබිම් වූයේ 2022 ජූලි මාසයේදී රට තුළ පැවති දැඩි දේශපාලන, ආර්ථික හා සමාජ අර්බුදකාරී තත්ත්වයයි.
  • එකී කාලසීමාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නාවික හමුදාවට අයත් නෞකාවක් යොදාගනිමින් ගමන් කළ බවට මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

(2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත මත පදනම්ව, තොරතුරු ප්‍රතික්ෂේප කිරීමට පෙර එයට නීත්‍යනුකූල සහ සාක්ෂි මත පදනම් වූ හේතු තිබිය යුතුය.)
දිනී ජයසේකර


ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකදී රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳව දැනගැනීමට පුරවැසියන්ට ඇති අයිතිය මූලික අයිතිවාසිකමකි. විශේෂයෙන්ම මහජන මුදල් භාවිත කරමින් සිදුකරන රාජ්‍ය කටයුතු පිළිබඳ තොරතුරු දැනගැනීම, රාජ්‍ය පාලනයේ විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. එහෙත් ප්‍රායෝගිකව ඇතැම් රාජ්‍ය ආයතන තොරතුරු ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම සඳහා ජාතික ආරක්ෂාව සහ රහස්‍යභාවය වැනි හේතු ප්‍රමුඛ කරගන්නා අවස්ථා බොහොමයක් දකින්නට ලැබේ.

මෙවැනි පසුබිමක, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යොදාගත් නාවික ගමනාන්තයක් වෙනුවෙන් දැරූ වියදම් සහ ඒ සඳහා මුදල් ගෙවූ පාර්ශ්වය පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් නියෝග කර තිබියදීත්, එකී නියෝගය ප්‍රතික්ෂේප කරමින් එය අභියෝගයට ලක් කර අභියාචනාධිකරණයට ගිය ශ්‍රී ලංකා නාවික හමුදාවට අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව විශේෂ අවධානයක් යොමු කළ යුතු නඩු තීන්දුවකි.  

නාවික හමුදාවෙන් ඉල්ලා සිටි තොරතුරු

මෙම නඩුවට පසුබිම් වූයේ 2022 ජූලි මාසයේදී රට තුළ පැවති දැඩි දේශපාලන, ආර්ථික හා සමාජ අර්බුදකාරී තත්ත්වයයි. එකී කාලසීමාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නාවික හමුදාවට අයත් නෞකාවක් යොදාගනිමින් ගමන් කළ බවට මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.  ඒ අනුව රිෆ්ති අලී විසින් 2022 සැප්තැම්බර් 1 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි. එම ඉල්ලීම මඟින් නෞකාවට ගොඩවීම තහවුරු කිරීම, නෞකාවේ නම, ගමන් කළ කාලය, ගමන් කළ ප්‍රදේශ, හිටපු ජනාධිපතිවරයා සමඟ ගමන් කළ පුද්ගලයන්ගේ නම්, ඒ සඳහා නාවික හමුදාව දැරූ මුළු වියදම සහ එම වියදම ගෙවූයේ කවුරුන්ද යන්න ඇතුළු ප්‍රශ්න අටක් විමසා තිබුණි.


කෙසේ වෙතත්, 2022 නොවැම්බර් මාසයේදී නාවික හමුදාව විසින් එම තොරතුරු ඉල්ලීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබුණේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5(1)(ආ)(i) වගන්තිය පදනම් කරගනිමිනි. මන්ද, එකී වගන්තිය යටතේ රාජ්‍ය ආරක්ෂාවට, ආරක්ෂක කටයුතුවලට සහ ජාතික ආරක්ෂාවට හානි සිදුවිය හැකි තොරතුරු හෙළි කිරීම සීමා කළ හැකිය.

එම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව තොරතුරු ඉල්ලුම්කරු විසින් තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි.

RTI කොමිෂන් සභාව ලබාදුන් තීරණය

2023 අගෝස්තු 29 වැනිදා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් මෙම අභියාචනය සම්බන්ධයෙන් තීරණයක් ලබා දී තිබුණි. එහිදී ඉල්ලා තිබූ තොරතුරු අටෙන් ප්‍රශ්න අංක 1 සිට 5 දක්වා සහ 8 වන ප්‍රශ්නයට අදාළ තොරතුරු හෙළි නොකිරීමට නාවික හමුදාව ගත් තීරණය කොමිෂන් සභාව විසින් සනාථ කර තිබුණි.

එහෙත් අංක 6 සහ 7 යන තොරතුරු ඉල්ලීම් වලට අදාළ තොරතුරු ලබාදීමට කොමිෂන් සභාව ශ්‍රී ලංකා නාවික හමුදාවට නියෝග කර තිබුණි. එකී ප්‍රශ්න දෙකෙන් විමසා තිබූ කරුණු නම්, හිටපු ජනාධිපතිවරයාගේ නාවික ගමන සඳහා නාවික හමුදාව කොපමණ මුදලක් වැය කළේද? සහ එම මුදල ගෙවූයේ කවුරුන් විසින්ද? යන්නයි. නමුත්, කොමිෂන් සභාවේ නියෝගයට එකඟ නොවූ නාවික හමුදාපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කළේය. ඒ අනුව CA/RTI.08/2023 දරන නඩුව අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබුණි. 

වියදම් පිළිබඳ තොරතුරු හෙළි කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද?

නාවික හමුදාව අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කළ ප්‍රධාන තර්කය වූයේ නෞකාවක ගමන් වියදම් සහ ඉන්ධන පරිභෝජනය පිළිබඳ තොරතුරු හෙළි කිරීමෙන් එකී නෞකාවේ වේගය, මෙහෙයුම් පරාසය, ඉන්ධන ලබාගන්නා ස්ථාන සහ සැපයුම් පද්ධති වැනි සංවේදී තොරතුරු අනාවරණය කරගැනීමට හැකි බවයි. එමඟින් නාවික හමුදාවේ මෙහෙයුම් හැකියාවන්ට හා ජාතික ආරක්ෂාවට අවදානමක් ඇති විය හැකි බව නාවික හමුදාව පෙන්වා දී තිබුණි. එහෙත් අධිකරණය මෙම තර්කය පිළිබඳව වෙනස් ආකාරයකින් සලකා බැලීය. එනම්,නෞකාවක වේගය, ඉන්ධන පරිභෝජනය සහ මෙහෙයුම් පරාසය වැනි තාක්ෂණික ලක්ෂණ බොහොමයක් පොදු තොරතුරු හෝ නෞකා නිෂ්පාදකයන්ගෙන් ලබාගත හැකි තොරතුරු බවයි. එබැවින් එම තොරතුරු පදනම් කරගෙන ඉල්ලා ඇති මූල්‍ය තොරතුරු හෙළි කිරීම ජාතික ආරක්ෂාවට හානිදායක බවට ඉදිරිපත් කළ තර්කය පිළිගත නොහැකි බවයි.

මෙහිදී වැදගත් වන්නේ ජාතික ආරක්ෂාව යන වචනය භාවිත කිරීම පමණක් තොරතුරු ප්‍රතික්ෂේප කිරීමට ප්‍රමාණවත් නොවන බවයි. යම් තොරතුරක් හෙළි කිරීමෙන් සැබෑවටම ජාතික ආරක්ෂාවට හානියක් සිදුවන්නේ කෙසේද යන්න පැහැදිලි කරමින් සාධාරණ සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කිරීම රාජ්‍ය ආයතනයේ වගකීමකි. එවැනි සාධාරණ සාක්ෂි නොමැතිව තර්කයන් පමණක් ප්‍රමාණවත් නොවන බවට ඒත්තුගැන්වෙනවා ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිය සහ ජාතික ආරක්ෂාවේ බැදියාව

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14A ව්‍යවස්ථාව මඟින් තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇත. එම අයිතියට සීමා පැනවිය හැකි අවස්ථා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතේ 5 වන වගන්තිය මඟින් දක්වා තිබේ. නමුත් එම සීමාවන් අර්ථකථනය කළ යුත්තේ තොරතුරු දැනගැනීමේ මූලික අයිතිය අර්ථවත් වන ආකාරයටය. අධිකරණය මෙහිදී අවධාරණය කරන්නේ තොරතුරු ලබාගැනීම සාමාන්‍ය රීතිය වන අතර තොරතුරු ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකයක් විය යුතු බවයි.

එසේම 1955 අංක 32 දරන නිල රහස් පනත සම්බන්ධයෙන් ද අධිකරණය අවධානය යොමු කළේය. (1955 අංක 32 දරන නිල රහස් පනත (Official Secrets Act) යනු ශ්‍රී ලංකාවේ රාජ්‍ය රහස් සහ රහස්‍ය ලේඛනවලට අනවසරයෙන් ඇතුළුවීම, ඒවා ලබාගැනීම හෝ හෙළිදරව් කිරීම වැළැක්වීම සඳහා පනවන ලද පනතකි.) එම පනත යටතේ ආරක්ෂක කටයුතුවලට අදාළ තොරතුරු නිල රහස් ලෙස සැලකිය හැකි වුවද, තොරතුරු දැනගැනීමේ පනතේ 4 වන වගන්තිය ප්‍රකාරව වෙනත් ලිඛිත නීතියක පටහැනි විධිවිධානයක් පවතින අවස්ථාවක තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන ප්‍රමුඛත්වය ගන්නා බව අධිකරණය පෙන්වා දුන්නේය. එබැවින් යම් තොරතුරක් ආරක්ෂක ක්ෂේත්‍රයට සම්බන්ධ බව පමණක් සලකා එය සම්පූර්ණයෙන්ම රහස්‍ය තොරතුරුක් කළ නොහැකිය. එම තොරතුර හෙළි කිරීමෙන් සිදුවිය හැකි සැබෑ හානිය පිළිබඳව කරුණු පරීක්ෂා කළ යුතුය.

ලංකාව සහ ඉන්දියාව

මෙම නඩු තීන්දුවේදී අධිකරණය ජාත්‍යන්තර නීතිමය මූලධර්ම සහ අධිකරණ තීන්දු කිහිපයක් ද සැලකිල්ලට ගෙන තිබේ.
ඉන්දියාවේ The State of Uttar Pradesh v. Raj Narain නඩුවේදී අධිකරණය පෙන්වා දී තිබුණේ රාජ්‍ය නිලධාරීන් මහජනතාව වෙනුවෙන් කටයුතු කරන බැවින් ඔවුන්ගේ පොදු කටයුතු පිළිබඳ තොරතුරු දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බවයි. විශේෂයෙන්ම මහජන ගනුදෙනු සහ රාජ්‍ය කටයුතු රහස්‍යභාවයෙන් ආවරණය කිරීම යහපාලනයට හිතකර නොවන බව එහිදී අවධාරණය කර තිබුණි.

එසේම තොරතුරු ලබාදීමේ රීතිය සහ තොරතුරු ප්‍රතික්ෂේප කිරීමේ ව්‍යතිරේකය පිළිබඳව Bhagat Singh v. CIC නඩුවේදී ඉන්දීය දිල්ලි මහාධිකරණය ලබාදුන් නිරීක්ෂණ ද මෙම නඩුවේදී සැලකිල්ලට ගෙන තිබේ. එහිදී පෙන්වා දී ඇත්තේ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන රාජ්‍ය ආයතනයක් එසේ කිරීමට ප්‍රමාණවත් සහ සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතු බවයි.

තවද, 1996 ජොහැන්නස්බර්ග් මූලධර්ම මඟින් ද ජාතික ආරක්ෂාව යන පදනම මත තොරතුරු සීමා කිරීමේදී සැබෑ සහ ප්‍රදර්ශනය කළ හැකි අවදානමක් තිබිය යුතු බව අවධාරණය කර ඇත. රජයක් අපහසුතාවයට පත්වීම වැළැක්වීමට හෝ වැරදි ක්‍රියාකාරකම් සඟවා තැබීමට ජාතික ආරක්ෂාව භාවිත කළ නොහැකි බව ද එම මූලධර්මවල සඳහන් වේ.

මෙම නඩුවේදී අධිකරණය විශේෂයෙන් පෙන්වා දුන්නේ, ජාතික ආරක්ෂාවට අදාළ සියලුම තොරතුරු එකම ආකාරයෙන් ප්‍රතික්ෂේප කළ නොහැකි බවත්, තොරතුරු සීමා කළ යුත්තේ සැබෑ ආරක්ෂක හේතූන් මත පමණක් බවයි.

මහජන යහපත ඉදිරියේ තොරතුරු සඟවා තැබිය හැකිද?

මෙම තීන්දුවේ තවත් වැදගත් නීතිමය කරුණක් වන්නේ තොරතුරු දැනගැනීමේ පනතේ 5(4) වගන්තිය පිළිබඳව අධිකරණය ලබාදුන් අවධානයයි. එම වගන්තිය අනුව, යම් තොරතුරක් හෙළි කිරීමෙන් ඇති විය හැකි හානියට වඩා එම තොරතුරු හෙළි කිරීමෙන් ලැබෙන මහජන යහපත වැඩි නම්, එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි. ඒ අනුව තොරතුරක් ජාතික ආරක්ෂාවට සම්බන්ධ බව පවසමින් ප්‍රතික්ෂේප කිරීමේදී, එකී තෙරතුරු හෙළි කිරීමෙන් ඇති විය හැකි හානිය සහ එය හෙළි කිරීමෙන් මහජනතාවට ලැබෙන ප්‍රයෝජනය ද සලකා බැලිය යුතුය.

විශේෂයෙන්ම රාජ්‍ය මුදල් භාවිතා කරමින් සිදුකරන ගනුදෙනු පිළිබඳව මහජනතාවට ඇති උනන්දුව සහ අයිතිය මෙම නීතිමය මූලධර්මය තුළින් තහවුරු වේ.

අභියාචනාධිකරණයේ අවසන් තීරණය

මෙම නඩුවේ තීන්දුව 2026 මාර්තු 19 වැනිදා අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ආර්. ගුරුසිංහ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන අයවලුන් විසින් ලබා දී තිබුණි. 
අධිකරණය නිගමනය කළේ නාවික හමුදාව විසින් ඉල්ලා තිබූ මූල්‍ය තොරතුරු හෙළි කිරීමෙන් ජාතික ආරක්ෂාවට සැබෑ හානියක් සිදුවන බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි.  එහිදී,අධිකරණය අවධාරණය කරන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට සාමාන්‍ය ප්‍රකාශයක් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, ඒ වෙනුවට තොරතුරු හෙළි කිරීමෙන් සිදුවිය හැකි සැබෑ හෝ හඳුනාගත හැකි හානිය පිළිබඳ සාක්ෂි සහිත කරුණු ඉදිරිපත් කළ යුතු බවයි.

ඒ අනුව නාවික හමුදාව විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කළ අධිකරණය, 2023 අගෝස්තු 29 වැනිදා තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව ලබාදුන් තීරණය නැවත වරක් තහවුරු කරමින් තීන්දුව ලබා දුන්නේය.

මෙම තීන්දුවෙන් පුරවැසියන්ට ලබාදෙන වැදගත්ම පණිවිඩය වන්නේ රාජ්‍ය ආයතන තමන් සතු තොරතුරු සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. ජාතික ආරක්ෂාව යනු සැබවින්ම ආරක්ෂා කළ යුතු වැදගත් අංගයක් වූවද, එය මහජන මුදල් භාවිතය පිළිබඳ වගවීමෙන් ගැලවීමට භාවිත කළ හැකි පොදු ආවරණයක් නොවන බවයි.

පුරවැසියෙකුට තම බදු මුදල් සහ අනෙකුත් මහජන සම්පත් භාවිතා කරන්නේ කෙසේද යන්න විමසීමට අයිතියක් තිබේ. එම අයිතිය ක්‍රියාත්මක කිරීමෙන් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම වර්ධනය කළ හැකිය. එබැවින්, “විනිවිදභාවය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය පුරුකකි”

තොරතුරු දැනගැනීමේ අයිතිය යනු ලේඛනයක් ලබාගැනීමට ඇති අයිතියක් පමණක් නොවේ. එය රාජ්‍ය පාලනය ප්‍රශ්න කිරීමට, මහජන මුදල් භාවිතය නිරීක්ෂණය කිරීමට සහ බලධාරීන්ගෙන් වගවීම ඉල්ලා සිටීමට පුරවැසියන්ට ලබාදී ඇති ප්‍රජාතන්ත්‍රවාදී ලේඛනයකි. ඒ අනුව මෙම නඩු තීන්දුව ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කරන පුරවැසියන්ට මෙන්ම තොරතුරු ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන රාජ්‍ය ආයතනවලට ද වැදගත් මඟපෙන්වීමක් සපයයි. අවසානයේදී ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන්නේ තොරතුරු සඟවා තැබීමෙන් නොව, මහජනතාවට දැනගැනීමට ඇති අයිතියට ගරු කිරීමෙනි.

ජාතික ආරක්ෂාව ආරක්ෂා කළ යුතුය. එහෙත් එකී නාමයෙන් මහජන මුදල් පිළිබඳ තොරතුරු සඟවා තැබීමට රාජ්‍ය ආයතනවලට අසීමිත බලයක් නොමැත.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...