The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ට්‍රම්ප්ට ආ සුනාමිය මාලිමාවටත් එයිද? | ගුරුදා විග්‍රහය

Awara

Awara

November 8, 2026 • 3:49 PM

ට්‍රම්ප්ට ආ සුනාමිය මාලිමාවටත් එයිද? | ගුරුදා විග්‍රහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘ට්‍රම්ප්ව මේ ඡන්දයෙන් කුඩුපට්ටම් කරලා තියෙනවා.
  • නොවැම්බරය සහ සැප්තැම්බරය අතර සමාන්තරය ට්‍රම්ප් දෙවැනි වරටත් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ 2024 නොවැම්බරයේය.
  • ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වූයේ 2024 සැප්තැම්බරයේය.
  • අනුරත් මාලිමාවත් 2024 ජනාධිපතිවරණයේදී ජනතාවට කීවේ රට බංකොලොත් වී මිනිසුන්ගේ පොකට් එක හිස් වෙන්න ප්‍රධාන හේතුව හොරකම කියාය.
අකුරු ප්‍රමාණය (Font Size):

‘ට්‍රම්ප්ව මේ ඡන්දයෙන් කුඩුපට්ටම් කරලා තියෙනවා. අවුරුදු දෙකකට පෙර ඔහු ජනාධිපති ධුරයට පත්වුණේ වාර්තා තියමින්. අවුරුදු දෙකකින් ඡන්දදායකයන් ඇමෙරිකාව උඩුයටිකුරු කරලා තියෙනවා. මොකක්ද හේතුව? එකම හේතුව ඡන්දදායකයන් ඉන්නේ කෝපයෙන්. හේතුව ඒගොල්ලන්ගේ පොකට් එකෙන් එදිනෙදා අත්‍යාවශ්‍ය බඩු මිලදී ගන්න වැයවෙන මුදල් වැඩිවෙලා තියෙනවා. ට්‍රම්ප් කිව්වා ඩිමොක්‍රටික් පක්ෂයේ බයිඩන්ගේ කාලයේ ජීවන වියදම වැඩි වෙච්ච හැටි. හැබැයි මේ ඡන්දදායකයන්ට පරණ ඒවා වැඩක් නැහැ. ට්‍රම්ප් සහ ඔහුගේ පක්ෂය අවුරුදු දෙකකට කලින් ඡන්දදායකයන්ට පොරොන්දු වුණා ඔවුන්ව පොහොසත් කරනවා කියලා. අවුරුදු දෙකකට පස්සේ ඔවුන්ට තේරුණා ඒක වෙලා නැහැ කියලා…’

බිල් ඕ රයිලි නම් වූ ඇමෙරිකාවේ ප්‍රවීණ දේශපාලන විචාරකයා ට්‍රම්ප්ව හෝදාගෙන ගිය ඇමෙරිකාවේ නිල් සුනාමිය විග්‍රහ කළේ එසේය.


‘අවුරුදු දෙකකට කලින් ට්‍රම්ප්ට ඡන්දය දුන්න රිපබ්ලිකන් පාක්ෂිකයන් මේ ඡන්දය ඔවුන්ගේ කෝපය, වෛරය පිට කරන්න පාවිච්චි කළා…’

ඔහු වැඩිදුරටත් කීවේ එහෙමය.

2024 නොවැම්බරය සහ සැප්තැම්බරය අතර සමාන්තරය

ට්‍රම්ප් දෙවැනි වරටත් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ 2024 නොවැම්බරයේය. ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වූයේ 2024 සැප්තැම්බරයේය. හරියටම මාස දෙකකට පෙරය.

අනුරත් මාලිමාවත් 2024 ජනාධිපතිවරණයේදී ජනතාවට කීවේ රට බංකොලොත් වී මිනිසුන්ගේ පොකට් එක හිස් වෙන්න ප්‍රධාන හේතුව හොරකම කියාය. නැවෙන් බාන මිලට තෙල් දෙන්න බැරි, ගෑස් දෙන්න බැරි හොරකම නිසා කියාය. සහල් මිල අඩු කරන්න බැරි සහල් මාෆියාවට බලයේ සිටි ආණ්ඩු යටවී තියෙන නිසා බවය. බෙහෙත් මිල වැඩිවී ඇත්තේ හොරකම් කරන නිසා බවය. වසර 76ක ලංකාවේ සිස්ටම් එක වෙනස් කරන බව ඔවුහු කීහ.

ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පක්ෂය 2024 ජනාධිපතිවරණයේදී කීවේත් ඇමෙරිකාවේ සිස්ටම් එක වෙනස් කරන බවය. ජීවන වියදම වැඩිවී තියෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂය ඇමෙරිකාවේ ජනතාවගේ බදු මුදල් වෙනත් රටවල ආණ්ඩු වෙනස් කරන්න, සමලිංගික සමාජ ප්‍රචලිත කරන්න වියදම් කරන නිසා බවය. මේ නිසා ඇමෙරිකාවේ ණයද වැඩිවී ඇති බව කීවේය. විදේශ රටවලින් ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩවලට බදු සහන ලබාදෙන නිසා බවය. ඇමෙරිකාවේ පුරවැසියන්ට රැකියා නැති වී ඇත්තේ විදේශ රටවල ශ්‍රමිකයන්ට රැකියා දෙන නිසා යැයි කියාය. විදේශ රටවල යුද්ධවලට ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් වියදම් කරන බවත්, තමා කිසි දිනෙක යුද්ධවලට නොයන බවත් ට්‍රම්ප් ප්‍රතිඥා දුන්නේය.

ජනතාව පොදි බැඳි බලාපොරොත්තු සහ යථාර්ථය


ලංකාවේ මිනිස්සු අනුරටයි මාලිමාවටයි ඡන්දය දුන්නේ හොරු අල්ලලා හොරකම් කරපු සල්ලි ලංකාවට ගෙනත් තමන්ව පොහොසත් කරයි කියාය. තෙල්, ගෑස්, බෙහෙත් ආනයනයේදී සිදුවූ හොරකම් නතරකොට නැවෙන් බාන මිලට තෙල්, ගෑස්, බෙහෙත් ලැබෙයි කියාය. සහල් මාෆියාව දඬුකඳේ ගහලා සහල් පාලන මිලට දෙයි කියාය.

ඇමෙරිකාවේ මිනිස්සු ට්‍රම්ප්ට ඡන්දය දුන්නේ ඇමෙරිකාවේ බදු මුදල් විදේශ රටවලට වියදම් කිරීම නතර කරලා, විදේශ යුද්ධවලට ඇමෙරිකාවේ බදු මුදල් වියදම් කිරීම නතර කරලා, ඒ මුදල්වලින් බඩු මිල අඩු කරලා තමන්ගේ පොකට් එකේ සල්ලි ඉතුරු කරලා දෙයි කියාය. ට්‍රම්ප් යුද්ධවලට නොයා ලෝක සාමය ඇතිකර ලෝක ආර්ථිකය ස්ථාවර කොට ඇමෙරිකාවට ඉන් ප්‍රතිලාභ අරන් දෙයි කියාය.

ට්‍රම්ප් ජනාධිපති වී පළමුවෙන්ම කළේ යූ.එස්. ඒඩ් නොහොත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය වසා දැමීමය. විදේශ රටවලින් ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ මත බදු පැනවීය. ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියෙන් ලෝකයම හෙල්ලුණි. ඇමෙරිකානුවන් මින් අමන්දානන්දයට පත්විය. ඔවුන් හිතුවේ ට්‍රම්ප් භාණ්ඩාගාරය පුරවා තමන්ගේ පොකට් එකට සහනයක් දෙයි කියාය.

ඒත් ට්‍රම්ප් ඇත්තටම කළේ ඩිමොක්‍රටික් පක්ෂයට පක්ෂපාතී ඇමෙරිකානු රාජ්‍ය ආයතන වසා ඇමෙරිකානු රාජ්‍ය යන්ත්‍රණයේ මුල් බැස ඇති ඩිමොක්‍රටික් පක්ෂ ජාලය කඩා බිඳ දැමීමය. මිනිස්සුන්ට මෙය තේරුම් ගියේ බඩු මිල අඩු නොවී තමන්ට සහන නොලැබෙන විටදීය. යුද්ධ පටන් ගන්නේ නැහැ කී ට්‍රම්ප් ඉරානයට එරෙහිව යුද්ධයක් පටන් ගත්තේය. ඉන් බඩු මිල තව වැඩිවුණි. මිනිස්සු කෝපාවිෂ්ට වූහ.

හොරු ඇල්ලීම, මාෆියාව සහ ජීවන බර

අනුර සහ මාලිමාවත් ආණ්ඩුව ගත්ත ගමන් හොරු අල්ලන්නට පටන් ගත්තේය. මිනිස්සු අමන්දානන්දයට පත්වූහ. හොරකම් කළ සල්ලි රටට යළි ලබාදී හොරකම නතර කොට බඩු මිල අඩු කරන තෙක් මිනිස්සු පුල පුලා බලා සිටියහ. ඒත් එන්න එන්න බඩු මිල වැඩි වුණා මිස අඩු නොවීය. සහල් මාෆියාව යැයි මාලිමාවම කී සහල් මුදලාලිලා තරගයට සුඛෝපභෝගී වාහන, චොපර් ගනිද්දී සහල් මිල අහස උසට ගියේය.


ට්‍රම්ප්ගේ යුද්ධය පටන් ගන්නත් පෙර තෙල් මිල ලොකුවට අඩුවුණේ නැත. නැවෙන් බාන ගානට තෙල් ලැබුණේ නැත. යුද්ධය පටන්ගත් පසු මිල අහස උසට නැග්ගේය.


යුද්ධයකට යන්නේ නැහැ කියා ප්‍රතිඥා දී ට්‍රම්ප් යුද්ධයකට යෑමත්, අයි.එම්.එෆ්. ගිවිසුම වෙනස් කොට රනිල්ගේ බදු ක්‍රමය වෙනස් කොට ධනවාදී ආර්ථිකය වෙනුවට මානුෂීයවාදී ආර්ථිකයකට යන බවටත් ප්‍රතිඥා දී අනුර අයි.එම්.එෆ්. පදයට නටමින් බදු පිට බදු ගහමින් රනිල්ගේ ධනවාදී ආර්ථිකය එලෙසින්ම ආරක්ෂා කිරීමත් මිනිස්සුන්ගේ බොක්කටම වැදුණු රැවැටීමකි.

ඒ වගේම යුද්ධයකට නොයන බවට වූ ට්‍රම්ප්ගේ ප්‍රතිඥාවත් ලංකාවේ සිස්ටම් එක චේන්ජ් කරන බවට වූ අනුරගේ ප්‍රතිඥාවත් දෙකම බොරුවක් විය.

හැරුණු ඡන්ද සහ ඉදිරි අනතුර

‘එතකොට ට්‍රම්ප්ට එරෙහිව ආ නිල් සුනාමිය අනුරගේ ආණ්ඩුවටත් එයිද…?’

2024 ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් වූයේ කළු ඇමෙරිකානුවන් සහ ස්පාඤ්ඤ සම්භවයක් සහිත ඇමෙරිකානුවන් ට්‍රම්ප්ට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමය. සාමාන්‍යයෙන් මෙවැනි ජන වර්ග ඡන්දය පාවිච්චි කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයටය. 2024 ඩිමොක්‍රටික් පක්ෂය සිය අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් කළේත් ඉන්දියානු සම්භවයක් සහිත සුළු ජන වර්ග නියෝජනය කරන කමලා හැරිස්ය. ඒත් කළු ඇමෙරිකානුවන් සහ ස්පාඤ්ඤ සම්භවයක් සහිත ඇමෙරිකානුවන් ඡන්දය දුන්නේ ට්‍රම්ප්ටය. ඒ, ට්‍රම්ප් ඇමෙරිකාවේ සිස්ටම් චේන්ජ් කරන බව කී නිසාය.

එදා ට්‍රම්ප්ගේ ප්‍රතිඥාව විශ්වාස කොට ඩිමොක්‍රටික් පක්ෂය අතහැර රිපබ්ලිකන් පක්ෂයට ඡන්දය දුන් සුළු ජන වර්ග ට්‍රම්ප් අතහැර යළි ඩිමොක්‍රටික් පක්ෂයට එක්වී ඇත.

‘2024 දී යූ.ඇන්.පී.ය, සමගි ජන බලවේගය අතහැර මාලිමාවට ඡන්දය දුන් සුළු ජාතිකයන් අනාගත ඡන්දයකදී යළි හැරෙයිද…?’

ඒක නම් තවම කියන්න බැරිය. හැබැයි බඩටයි පොකට් එකටයි ජාති භේදයක් නැත.

මාලිමාවේ අනුරට වගේම ට්‍රම්ප්ටත් ඇමෙරිකාවේ ඉලොන් මස්ක් වැනි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ සිටියහ. ට්‍රම්ප්ගේ ආණ්ඩුවට උපදෙස් දුන්නේ, රිපබ්ලිකන් පක්ෂයට සල්ලි වීසි කළේ මේ ව්‍යාපාරිකයන්ය. නමුත් ඔවුන්ට ට්‍රම්ප්ව බේරාගන්න බැරි විය.

‘අනුරගේ ව්‍යාපාරික හිත මිතුරන්ටත් අනුරව බේරාගන්න බැරි වෙයිද…?’

ඔළුව ඉදිමුණු පාලකයින්ට සුනාමි කුලුනක්


‘ට්‍රම්ප්ටත් රිපබ්ලිකන් පක්ෂයටත් ජනතාව ගැන සහකම්පනයක් තිබ්බේ නැහැ. සංවේදී බවක් තිබ්බේ නැහැ…’

මේ, ට්‍රම්ප්ට එරෙහි නිල් සුනාමිය ගැන ලෝක දේශපාලන විචාරකයන්ගේ විග්‍රහයය.

‘ට්‍රම්ප් සහ ඔහුගේ ගෝලබාලයෝ හිටියේ ඔළුව ඉදිමිලා. ට්‍රම්ප් තුන්වැනි වරටත් තරග කරන්න ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා ඔවුන් කටමැත දෙඩෙව්වා. ට්‍රම්ප් ලෝකයම අල්ලේ නටවනවා කියලා උඩ පැන්නා. හිටපු ජනාධිපතිවරුන්ට අවමාන කරමින් ට්‍රම්ප් තමයි හොඳම ජනාධිපති කිව්වා…’

මේ, ඔළුව ඉදිමුණු ට්‍රම්ප් සහ ඔහුගේ ගෝලයන් ගැන අද කියන කතාය.

මාලිමා ආණ්ඩුවේත් ඔළුව ඉදිමුණු සෙට් එකක් සිටී. අපි තමයි පොරවල් කියාගෙන හිතන සෙට් එකක් සිටී. බඩු මිල කොච්චර වැඩි වුණත් මිනිස්සු තමන්ට ඡන්දය දෙනවා කියා හිතන් ඉන්න සෙට් එකක් සිටී.

ඔළුව ඉදිමුණු ට්‍රම්ප්ගේ ඔළුව විකල් කළේ නිල් සුනාමියය. මේ සුනාමිය අනුරට සහ මාලිමාවට හොඳ සුනාමි අනතුරු හඟවන කුලුනකි.

(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
උපුටා ගැනීම - mawratanews.lk


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...