පසුගියදා වසර දෙකක් සපිරුණු ජාතික ජන බලවේග ආණ්ඩුවේ නිල ප්‍රතිපත්ති රාමුව ස්ථාපිත වී ඇත්තේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන තේමාව යටතේය. එහෙත් එම තේමාව අද වන විට කෙතරම් දුරට ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්ව තිබේද යන්න පිළිබඳව සමාජය තුළ විවිධ විග්‍රහයන් පවතී. මෙහිදී මූලික වශයෙන් විමසා බැලිය යුත්තේ, ආර්ථික ප්‍රතිසංස්කරණ මධ්‍යයේ වුවද රටක පුරවැසියන් සැබැවින්ම සතුටින් හා ජීවිතය පිළිබඳ තෘප්තියකින් ජීවත් වන්නෙමුද යන්නයි.
සතුට යනු හුදෙක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන මනෝභාවයක් පමණක් නොව, එය රටක ආර්ථික ස්ථාවරත්වය, ජීවන තත්ත්වය, මානසික සුවතාව සහ සමාජ සබඳතාවල සමස්ත ප්‍රතිබින්බයකි. එබැවින් ජනතාවගේ සතුට මැනිය හැකි විද්‍යාත්මක මිනුම් දණ්ඩක් ලෙස ලෝක සතුටු වාර්තාව (World Happiness Report) වැදගත් ජාත්‍යන්තර අධ්‍යයනයක් ලෙස සැලකිය හැකිය.
ලෝක සතුටු වාර්තාව සහ ලංකාවේ ස්ථානය

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන විසඳුම් ජාලය, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ යහපැවැත්ම පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය සහ ගැලප් ආයතනය ඒකාබද්ධව ප්‍රකාශයට පත් කරන ලද 2026 ලෝක සතුටු වාර්තාවට අනුව, රටවල් 147ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 134 වැනි ස්ථානයයි. ඒ සඳහා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 4.013කි.
2025 වසරේදී ශ්‍රී ලංකාවට 133 වැනි ස්ථානය හිමිව තිබූ අතර, මෙවර ශ්‍රේණිගත කිරීමේදී එක් ස්ථානයකින් පහළට ගොස් තිබේ. එහෙත් 2025 වසරේ ලකුණු සංඛ්‍යාව 3.891ක් වූ බැවින්, 2026 වන විට ජීවිත තෘප්තිය පිළිබඳ ලකුණු සංඛ්‍යාවේ සුළු වර්ධනයක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, අනෙක් රටවල ප්‍රගතිය මත ශ්‍රේණිගත කිරීමේ ස්ථාන වෙනස් වන බැවින්, ගෝලීය දර්ශකයක ශ්‍රී ලංකාව තවමත් පහළ මට්ටමක පසුවීම ගැඹුරින් සැලකිල්ලට ගත යුතු තත්ත්වයකි.
සතුට මනින 'කැන්ට්‍රිල් ඉණිමඟ' සහ කලාපීය පරතරය
මෙම වාර්තාවේදී ජනතාවගේ සතුට මැනීම සඳහා ‘කැන්ට්‍රිල් ඉණිමඟ’ (Cantril Ladder) ක්‍රමවේදය භාවිත කරනු ලබයි. ඒ අනුව, ශූන්‍යයේ (නරකම ජීවිත තත්ත්වය) සිට දහය දක්වා (හොඳම ජීවිත තත්ත්වය) වූ පරිමාණයක් මත ජනතාව තම සමස්ත ජීවිතය තක්සේරු කරති. මෙම තක්සේරුව පැහැදිලි කිරීම සඳහා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, සමාජ සහයෝගය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, ජීවිත තේරීම් කිරීමේ නිදහස, පරිත්‍යාගශීලී බව සහ දූෂණය පිළිබඳ ජනතා අවබෝධය යන ප්‍රධාන සාධක හය පදනම් කරගනී.

2026 දර්ශකයේ ඉහළම ස්ථාන හිමිකරගෙන ඇත්තේ ෆින්ලන්තය, අයිස්ලන්තය සහ ඩෙන්මාර්කය වැනි ස්කැන්ඩිනේවියානු රටවල්ය. ආර්ථික ස්ථාවරත්වය, ශක්තිමත් සමාජ ආරක්ෂණ පද්ධති සහ රාජ්‍ය ආයතන කෙරෙහි ඇති විශ්වාසය එම රටවල ඉහළ ජීවිත තෘප්තියකට හේතු වී ඇත.
කෙසේ වෙතත්, ආසියානු කලාපය තුළ පාකිස්තානය (104), ඉන්දියාව (116), බංග්ලාදේශය (127) සහ මියන්මාරය (129) වැනි රටවල් පවා ශ්‍රී ලංකාවට (134) වඩා ඉදිරියෙන් සිටීම විශේෂ අවධානයට ලක්විය යුතු කරුණකි.
සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ බිම් මට්ටමේ පීඩනය
ශ්‍රී ලංකාව පසුගිය කාලය තුළ දැඩි ආර්ථික අර්බුදයකින් ගොඩවිත් යම් සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් කරා ගමන් කළද, එහි ප්‍රතිලාභ සියලුම ජන කොටස් වෙත එක සමානව ළඟා වී ඇතැයි කිව නොහැකිය. භාණ්ඩ මිල, ඉහළ යන ජීවන වියදම, ණය බර සහ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලු තවමත් බහුතරයක් පවුල්වලට දැඩි පීඩනයක් ගෙන දී ඇත.
රටක දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වීම හෝ උද්ධමනය පහළ යාම පමණක් සෑම පවුලකම ජීවන තත්ත්වය යහපත් වීම තහවුරු නොකරයි. හෙට දවස පිළිබඳ විශ්වාසය, දරුවන්ගේ අනාගතය පිළිබඳ බලාපොරොත්තුව, ගුණාත්මක සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහ ප්‍රමාණවත් සමාජ ආරක්ෂණයක් තිබේද යන්න ජනතාවගේ සැබෑ සතුට තීරණය කරන තීරණාත්මක සාධකයෝ වෙති.
බිඳවැටෙන සමාජ බැඳීම් සහ ඩිජිටල් අතෘප්තිය
සතුට යනු හුදෙක් ආර්ථික සාධක මත පමණක් යැපෙන්නක් නොවේ. නාගරීකරණය, විදේශ රැකියා සහ තරගකාරී ජීවන රටාව හේතුවෙන් සාම්ප්‍රදායික ග්‍රාමීය සමාජයේ පැවති අසල්වැසි සබඳතා සහ පවුල් ඒකක අතර අන්‍යෝන්‍ය බැඳීම් ක්‍රමයෙන් දුර්වල වී ඇත. එකම නිවසක ජීවත් වුවද පවුලේ සාමාජිකයන් අතර සංවාද හා අදහස් හුවමාරු කරගැනීම අඩුවීම හේතුවෙන් හුදෙකලා වීමේ ප්‍රවණතාව වර්ධනය වී තිබේ.

මීට අමතරව, 2026 ලෝක සතුටු වාර්තාව විශේෂයෙන් පෙන්වා දෙන පරිදි, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතය අතිශයින් වැඩි වීම තරුණ පරම්පරාවේ මානසික යහපැවැත්මට සහ ජීවිත තෘප්තියට අභියෝගයක් වී තිබේ. අන්‍යයන්ගේ අතිශය ආකර්ෂණීය ජීවන රටා සමඟ තමන්ගේ සාමාන්‍ය ජීවිතය සංසන්දනය කිරීම තුළින් ඇති වන අතෘප්තිකර හැඟීම මානසික ආතතිය සහ කාංසාව ඉහළ නැංවීමට හේතු වී ඇත.
ආධ්‍යාත්මික සැනසීම සහ සැබෑ සංවර්ධනය
විවිධ දර්ශන සහ ආගමික ඉගැන්වීම් තුළ සතුට පිළිබඳ විවිධ අර්ථකථන පවතී. ඉස්ලාම් දහම ඇතුළු ලෝකයේ ප්‍රධාන දර්ශනයන් පෙන්වා දෙන්නේ සැබෑ සතුට යනු භෞතික සම්පත් රැස් කිරීමෙන් පමණක් ලැබෙන දෙයක් නොවන බවයි. අභ්‍යන්තර මානසික සන්සුන්භාවය, සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීම, කෘතඥතාව (ශුක්ර්) සහ අභියෝග හමුවේ නොසැලී සිටීමේ ඉවසීම (සබර්) යන ගුණාංග මිනිසාගේ ආධ්‍යාත්මික සැනසීම තහවුරු කරයි. ලෞකික ප්‍රගතිය මෙන්ම ආධ්‍යාත්මික සමතුලිතතාව ද එකිනෙකින් වියුක්ත කළ නොහැක්කකි.
ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව ඇති පහළ ස්ථානය පෙන්නුම් කරන්නේ රටක් ලෙස අප තවමත් යා යුතු දුර බොහෝ ඇති බවයි. සංවර්ධනය යනු මහාමාර්ග, උස් ගොඩනැඟිලි සහ ආර්ථික සංඛ්‍යාලේඛනවලට පමණක් සීමා වූවක් නොවිය යුතුය.
ජනතාවට සතුටින් ජීවත් විය හැකි සමාජ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ආර්ථික ස්ථාවරත්වය, සාධාරණ ආදායම් බෙදීයාම, ගුණාත්මක සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා, දූෂණයෙන් තොර පාලනයක් මෙන්ම පවුල් සංස්ථාව හා සමාජ සබඳතා ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. මන්ද යත්, සැබෑ සංවර්ධනයේ අවසාන අරමුණ මිනිසුන්ට හුදෙක් ජීවත් වීමට අවස්ථාව සැලසීම නොව, ගෞරවයෙන්, සැනසිල්ලෙන් සහ සතුටින් ජීවත් වීමට අවශ්‍ය පරිසරය තහවුරු කිරීම වන බැවිනි.
උපුටා ගැනීම - vinivida.lk




