The Leader News
BREAKING
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මැතිනියගේ අනුසාරයෙන් PSTA පනතේ ත්‍රස්තවාදියා සොයාගැනීම●චීනයේ පියාඹන මෝටර් රථ අහසට එසවෙන හැටි●ඉසබෙල් අයියන්දේට ලොව ඉහළ ම මූල්‍ය වටිනාකමක් සහිත සාහිත්‍ය සම්මානයක්●විදෙස් ශ්‍රමික අයිතීන්ට ෆයිසර් මුස්තාෆාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්●හිරුණිකාගේ සිරදඬුවම් ඇපෑලට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්●කෝපි බීමෙන් බඩවැලේ සිදුවන පෙරළිය ගැන විද්‍යාත්මක හෙළිදරව්වක්●ඊශ්‍රායල පාර්ලිමේන්තුව උණුසුම් කරමින් නෙතන්යාහුට එරෙහි දැඩි ව්‍යවස්ථාපිත ප්‍රහාරයක්●නෞකාවෙන් සාගරයට වැටුණු වාදකයා පැය නවයකින් බේරෙයි●ක්වන්ටාස් තොරතුරු තාක්ෂණ රැකියා 850ක් බාහිරට දෙයි●මාතලේ සමූහ මිනීවලේ විමර්ශන යළි විවෘත කිරීමට ඉල්ලුම්පතක්●
Top Ad
විශේෂාංග

නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මැතිනියගේ අනුසාරයෙන් PSTA පනතේ ත්‍රස්තවාදියා සොයාගැනීම

Nethmini

Nethmini

November 11, 2026 • 1:16 PM

නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මැතිනියගේ අනුසාරයෙන් PSTA පනතේ ත්‍රස්තවාදියා සොයාගැනීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "මම හිතන්නේ නලින් බණ්ඩාර මන්ත්‍රිතුමා අද ඉතාම වැරදි සහගත ප්‍රකාශයක් සිදුකළා රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත සම්බන්ධයෙන් සහ ඒ පනතේ ත්‍රස්තවාදය සම්බන්ධව තිබෙන නිර්වචනය සම්බන්ධයෙන්," යනුවෙන් ඇය සිය අදහස් දැක්වීම ආරම්භ කළාය.
  • ඒක අපි ජනතාවට ලබා දුන්න පොරොන්දුවක්," මන්ත්‍රිවරිය ඇගේ පැහැදිලි කිරීම ආරම්භ කරන ලද්දේ ම ත්‍රස්ත මර්දන පනත සම්පූර්ණයෙන්ම අ‌හෝසි කොට දැමීම සඳහා ‘ජනතාවට දුන් පොරොන්දුවක්’ ඉටු කිරීමට PSTA පනත් කෙටුම්පත රැගෙන ආ බව පාර්ලිමේන්තු මන්ත්‍රි වරප්‍රසාද යටතේ පවසමිනි.
  • ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ නමැති මාලිමා මැතිවරණ පොරොන්දු බයිබලයේ ‘ශ‍්‍රී ලාංකේය ජාතියක් විශ්වීය පුරවැසියෙක්’ නිර්මාණය කිරීමට ගන්නා එක් ක්‍රියාමාර්ගයක් 231 වැනි පිටුවේ මෙසේ දැක්වේ.
  • ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් රැගෙන විත් තිබෙන කෙටුම්පත ද මුල් පනතට හෝ අනෙකුත් පනත් කෙටුම්පත්වලට වඩා යහපත් හෝ යුක්තිය පසිඳලීම වෙනුවෙන් රැගෙන විත් ඇති එකක් යැයි කෙසේවත් පැවසිය හැකි මට්ටමේ පවතින්නක් ද නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කොට තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ (Protection Of the State from Terrorism - PSTA) පනත් කෙටුම්පත පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් මතුකර ඇති විරෝධයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වා සිටි ආණ්ඩුවේ ඉදිරිපෙළ ප්‍රකාශිකාවක වන නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර විසින් පෙර ආණ්ඩු විසින් ගෙනා කෙටුම්පත් සහ වත්මන් ආණ්ඩුවේ කෙටුම්පත සංසන්දනය කරමින් එය වඩා යහපත් සහ මානවවාදී එකක් ලෙස අවධාරණය කරන ලද්දේ අතීත ත්‍රස්තමර්දන පනත්වල බිහිසුණු බව සිහිපත් කරමිනි.  

"මම හිතන්නේ නලින් බණ්ඩාර මන්ත්‍රිතුමා අද ඉතාම වැරදි සහගත ප්‍රකාශයක් සිදුකළා රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත සම්බන්ධයෙන් සහ ඒ පනතේ ත්‍රස්තවාදය සම්බන්ධව තිබෙන නිර්වචනය සම්බන්ධයෙන්," යනුවෙන් ඇය සිය අදහස් දැක්වීම ආරම්භ කළාය.

බොරු පොරොන්දු

"හැමෝම කියනවා මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, Repeal කිරීම තමයි... PSTA එකෙන් එහෙම නැත්නම් ත්‍රස්තවාදයෙන් රාජ්‍යය බේරා ගැනීමේ පනතේ එක අරමුණක් තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) එක අහෝසි කරලා දැමීම. ඒක අපි ජනතාවට ලබා දුන්න පොරොන්දුවක්," මන්ත්‍රිවරිය ඇගේ පැහැදිලි කිරීම ආරම්භ කරන ලද්දේ ම ත්‍රස්ත මර්දන පනත සම්පූර්ණයෙන්ම අ‌හෝසි කොට දැමීම සඳහා ‘ජනතාවට දුන් පොරොන්දුවක්’ ඉටු කිරීමට PSTA පනත් කෙටුම්පත රැගෙන ආ බව පාර්ලිමේන්තු මන්ත්‍රි වරප්‍රසාද යටතේ පවසමිනි.



‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ නමැති මාලිමා මැතිවරණ පොරොන්දු බයිබලයේ ‘ශ‍්‍රී ලාංකේය ජාතියක් විශ්වීය පුරවැසියෙක්’ නිර්මාණය කිරීමට ගන්නා එක් ක්‍රියාමාර්ගයක් 231 වැනි පිටුවේ මෙසේ දැක්වේ.

ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු සියලූ මර්දනකාරී අණපනත් අහෝසි කර සියලු ජනතාවගේ නිදහස සහතික කිරීම

‘ප්‍රතිත්‍රස්ත’ නමින් පනතක් සම්මත වී නැති කලෙක ‘සියලූ මර්දනකාරී අණපනත් අහෝසි කරන’ බවට පොරොන්දු වී තිබියදී වඩා බරපතලම කරුණ වන්නේ දෙමළ දේශපාලන පක්ෂ මුල්වී දියත් කෙරුණු PTA වැනි භයංකාර සහ මානව හිමිකම් උල්ලංඝනය කෙරෙන පනතක් අහෝසි කිරීමේ දීප ව්‍යාප්ත පෙත්සම් ව්‍යාපාරයට ඉහලින්ම හවුල් වී, ඒ වෙනුවට එවැනිම අතිබිහිසුණු පනතකට සුජාතභාවයක් ලබා දීමට දරනා වැර වෑයමයි.

"විකල්ප මර්දනය"

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ සිට මේ දක්වාම සෑම රජයක් විසින්ම එයට විකල්ප ලෙස රැගෙන විත් ඇති එහෙත් පාර්ලිමේන්තුව හමුවේ සම්මත නොවී පවතින සියළු කෙටුම්පත්වල බොහෝ වගන්ති එකක් අබිබවා එකකින් මර්දනය උපරිමයට කැඳවා තිබෙන බව අවිවාදිත කරුණකි. ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් රැගෙන විත් තිබෙන කෙටුම්පත ද  මුල් පනතට හෝ අනෙකුත් පනත් කෙටුම්පත්වලට වඩා යහපත් හෝ යුක්තිය පසිඳලීම වෙනුවෙන් රැගෙන විත් ඇති එකක් යැයි කෙසේවත් පැවසිය හැකි මට්ටමේ පවතින්නක් ද නොවේ.                                

නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර මන්ත්‍රිනිය ඇයගේ කතාවේදී ගෙන හැර දක්වන කරුණු  තුළින් අවධාරණය කරන්නට උත්සාහ දරණ ලද්දේ තමන් නියෝජනය කරන ආණ්ඩුව, නොඑසේ නම් ජාතික ජනබලවේගය විසින් කෙටුම්පත් කොට පාර්ලිමේන්තුව හමුවේ තබා ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත කෙතරම් යහපත්, කාලෝචිත මෙන්ම මේ මොහොතේ රටට අත්‍යාවශ්‍ය එකක් දැයි පුන පුනා පවසන්නට ය. එමෙන්ම එහි ඇති සියළු නියමයන්, වගන්ති සහ බලය පැවරීම් රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට සහ අධිකරණ ක්‍රියාදාමයට යටත්, වගවීමක් සහිත මර්දනකාරී බවකින් තොර සහ මේ වන විට ලෝකය පුරාම මානව හිමිකම් සුරක්ෂිත කිරීමේදී මිත්‍යාවක් බවට පත්ව තිබෙන "ජාත්‍යන්තර ප්‍රමිතිය සහ නියාමන" මත සකස් වූවක් යැයි පවසන්නට ය.


නිර්වචන ප්‍රෝඩාව

"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 'ත්‍රස්තවාදය 'නැමැති වරදක් නිර්වචනය කරලා නෑ. වැරදි නිර්වචනය කරලා තියෙනවා පනත යටතේ ත්‍රස්තවාදය නැමැති වරදක් නිර්වචනය කරලා නැහැ. ඒ නිර්වචනය කරලා තියෙන වැරදි යටතට එනවා මිනී මැරීම්, මංකොල්ල කෑම්, දේපල හානී සිද්ධ කිරීම්, රාජ්‍ය දේපල හානි සිද්ධ කිරීම්,  ජාතින් අතර අසමගිය ඇතිවන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීම්  මේ වගේ ක්‍රියාවන් ලැයිස්තුවක් තියෙනවා. ඒ ලැයිස්තුව PTA යටතේ වරදක් බවට නම් කරලා තියෙනවා. සභාපතිතුමනි, මේ හැම වරදක්ම ලංකා දණ්ඩ නීතී සංග්‍රහය යටතේත් වරදක්. මේ වරදවල් දෙක අතර තියෙන වෙනස මොකද්ද කියලා ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ නිර්වචනයක් සිද්ධ කරලා නෑ. එතකොට එකම වරද සඳහා දඬුවම් දිය හැකි නීතී පද්ධති දෙකක් රට තුළ සකස් කරලා තියෙනවා".



මන්ත්‍රී නීතිඥවරිය පවසන්නේ සත්‍යයක් ද?

පළමු කොට ඇය පවසන ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය ගෙන බලමු.

මේ තාක්  ඉදිරිපත් වුණු කිසිදු පනත් කෙටුම්පතකට හෝ දැනට බලාත්මක 1979 අංක 48 දරණ තාවකාලික පනතට හෝ ත්‍රස්තවාදය පිළිබඳ පැහැදිලි හෝ සීමාසහිත හෝ නිර්වචනයක් නොමැති අතර, පනත සම්බන්ධයෙන් විරෝධය පළකරන සියළු පාර්ශව විසින් මතුකරනු ලබන එක් ප්‍රබල තර්කයක් වන්නේ ද  ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා යැයි පවසමින් ගෙනෙන කෙටුම්පත් එකක හෝ ත්‍රස්තවාදය නම් කුමක්දැයි නිසි අර්ථ නිරූපනයක් නොමැති බවයි. ඉතිහාසය පුරාම ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කෙරුනු  මූලික අයිතිවාසිකම් පෙත්සම්වල එක් විරෝධතා තර්කයක් වූයේ ද මෙම නිර්වචනය පිළිබඳ  ගැටලුව යි. නිශ්චිත නිර්වචනයකින් එය සකස් කෙරුනද එහි බිහිසුණු බව හෝ අනීතික බව වෙනස් නොවන මුත් අවම වශයෙන් ත්‍රස්තවාදය කුමක්දැයි නිසිලෙස හඳුනා ගෙන එයින් වැළකී සිටීමටත් එමගින් දණ්ඩනයට ලක් කෙරෙන තැනැත්තන්ට ඒ සම්බන්ධයෙන් නෛතික අභියෝග කිරීමේ හිමිකම ඉන් සැලසෙන්නේ ය.

නීති සම්පාදක මන්ත්‍රිවරිය තම ආණ්ඩුව විසින් ගෙනවිත් ඇති කෙටුම්පතේ එකී දෝෂය නැතැයි පුන පුනා පැවසුවද එය අතිශයින්ම මිත්‍යාවක් සහ දැන දැන පාර්ලිමේන්තුව නොමග යැවීමක් වන්නේ  නව කෙටුම්පතේ ද කිසිදු තැනක ත්‍රස්තවාදය නම් කුමක්දැයි අර්ථ දක්වනු වෙනුවට ඒ යටතේ පෙළ ගස්වන වරදවල් පමණක් දක්වා එයට හිමි දණ්ඩනය පමණක් සඳහන් කොට ඇති බැවිනි.

ඇය විසින් මහත් උජාරුවෙන් යුතුව අගය කරන ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතෙහි කවර තැනක හෝ  "ත්‍රස්තවාදය" යනු කුමක් දැයි නිශ්චිත නෛතික අර්ථ දැක්වීමක් කර තිබෙන්නේ දැයි පවසන ලෙස ඇයට අප අභියෝග කරන්නේ දේශපාලන සටකපට කමින් මිදී කෙටුම්පත නිසි පරිදි අධ්‍යයනය කරන ලෙස ඇයට පමණක් නොව විපක්ෂයටද මතක් කරමිනි.

නිර්වචනයක් නැති  PSTA  ත්‍රස්තවාදය

මෙම නව පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම්වල එක් වැදගත්ම සහ ප්‍රමුඛතම තර්කයක් වූයේ පෙර පනත් කෙටුම්පත්වලදි මෙන් මෙහිද ත්‍රස්තවාදය කුමක්ද යන්නට නිශ්චිත අර්ථ නිරූපනයක් ලබා දී නොමැති බවකි. එසේම එය විසිරුණු නිශ්චිත නොවන පුලුල් පරාසයක් මත පිහිටා ඇති බවත් එම පෙත්සම් මගින් දක්වන ලද විරෝධතාවන්වල සඳහන් ය. එසේ නම් නව කෙටුම්පතෙහි ත්‍රස්තවාදයට නිශ්චිත අර්ථ නිරූපනයක් ඇතැයි ඇය පවසන්නේ කෙසේද?

"ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටතදී සිදුකරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවලින්, ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් වැරදිවලින් සහ ත්‍රස්තවාදය පිළිබඳ වරද සංස්ථාපනය වන ඇතැම් නිශ්චිතව දක්වනු ලබන ක්‍රියාවලින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ශ්‍රි ලංකාවේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ද; " යනුවෙන් තවදුරටත්  දීර්ඝව දක්වා තිබෙන පූර්විකාවේ කිසිදු තැනක ත්‍රස්තවාදය යන්නට නිසි අර්ථ දැක්වීමක් හෝ නිර්වචනයක් හෝ තිබෙන්නේ දැයි විමසා බලන ලෙස  අප මේ උගත් නීතිඥ මන්ත්‍රිවරියට මතක් කරන්නට කැමැත්තෙමු.

අනෙක් පසින් පෙර පනත් කෙටුම්පත්වලදී මෙන් PSTA ද ත්‍රස්තවාදය සම්බන්ධ දණ්ඩනය දක්වා ඇතත් නව කෙටුම්පතේ විශේෂත්වය වන්නේ "වරදවල්" ද අතිශය පුලුල් සහ දීර්ඝ කාණ්ඩයන් යටතේ වර්ග කොට දක්වා තිබීම ය. ඇය විසින් ඇගේ ප්‍රකාශය ආරම්භයේ දී අවධාරණය කරන ලද ‘රටේ එකම වරදට දණ්ඩන ක්‍රමවේද දෙකක්’ යන විධි ක්‍රමය ජනබලවේග ආණ්ඩුවේ කෙටුම්පතේ පෙරටත් වඩා උග්‍රව තිබෙන බව එහි වරදවල් සහ දණ්ඩනය නම් තීරූ අධ්‍යයනය කිරීමේදි පෙනී යන්නේ ය.

කෙටුම්පතේ Ⅱ කොටසේ වැරදි සහ දණ්ඩනය යටතේ වගන්ති 3 සිට 18 දක්වා ඉතා දීර්ඝව දක්වා තිබෙන්නේ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විසින් පවසන "සද්භාවයෙන් ගෙනා කෙටුම්පතේ" යථා ස්වභාවය යි. එය තවත් උප වගන්ති, දණ්ඩන වර්ග ගණනාවකින් සමන්විත වන අතර, ඇය විසින්ම පවසන "පනත් දෙකකින්, එකම වරදට දණ්ඩන දෙකක්" යන සංකල්පය ද ඉතා අපූරුවට PSTA  හි ඇති වරදවල් තුළ ද නිදන්ගත කොට තිබෙන්නේ ය. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් යමක් කී පලියට එය සත්‍යයක් නොවන බව නීතිඥවරියක ද වන හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විසින් අවබෝධ කොට ගැනීම වැදගත් ය.

නව කෙටුම්පතෙහි ඇති විශේෂත්වය වන්නේ එම වරදවල් බොහොමයකට "ත්‍රස්තවාදය පිළිබඳ වැරදි" ලෙස විශේෂණ පදයක් එකතු කොට නාම ගන්වා තිබීම  පමණි.

වැරදි නොවන වැරදි

කෙටුම්පතේ 6 වැනි පිටුවේ "වැරදි සහ දණ්ඩනය"  තීරුවේ  " ත්‍රස්තවාදය පිළිබඳ වරද"  මෙසේ දැක්වෙයි.

" (2) (1) වන උප වගන්තියේ දක්වා ඇති යම් ප්‍රතිපලයක් පහත දැක්වෙන පරිදි විය යුතුය.

( අ) යම් තැනැත්තෙකුගේ මරණය සිදු කිරීම  

( ආ) බරපතල තුවාල සිදු කිරීම

(ඇ)  ප්‍රාණ ඇපකරුවන් ග්‍රහණයට ගැනීම"

එම වරදවල් සඳහා කෙටුම්පතේ දක්වා ඇති දණ්ඩනයන් මෙසේය.

4 ( අ) 3 වන වගන්තියේ (2) වන උප වගන්තියේ (අ) ඡේදය සමඟ කියවිය යුතු 3 වන වගන්තියේ (1) වන උප වගන්තියේ නිශ්චිතව දක්වා ඇති යම් වරදක් සිදුකරනු ලබන යම් තැනැත්තෙකු මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබු විට, ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කිරීමක් දක්වා දීර්ඝ විය හැකි බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කරනු ලැබිය යුතුය.

(ආ) 3 වන වගන්තියේ (2) වන උප වගන්තියේ (අ), (ඇ), ( ඈ), (ඉ), (ඊ), (උ), (ඌ) හෝ (ඒ) ඡේදය සමග කියැවිය යුතු 3 වන වගන්තියේ (1) වන උප වගන්තියේ නිශ්චිතවම දක්වා ඇති වරදක් සිදුකරනු ලබන යම් තැනැත්තෙකු, මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට, අවුරුදු විස්සක් නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමට සහ රුපියල් මිලියන විස්සක් නොඉක්මවන දඩයකට යටත් විය යුතුය.

මේ සියල්ල රටේ සාමාන්‍ය අපරාධ නීතිය බලාත්මක කොට තිබෙන ලංකා දණ්ඩ නීති සංග්‍රහයෙන් සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දණ්ඩනයට යටත් කෙරුනු වරදවල් ය. එකී වරදවල් විමසන්නේ සාක්ෂි ආඥා පනතට අනුව යැයි නීතිඥවරියක බව පැවසෙන හේමචන්ද්‍ර මන්ත්‍රිවරිය නොදන්නී ද?

ඉහත (අ) වගන්තිය  සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන වරද සහ දඬුවම අර්ථ දක්වා ඇත්තේ මෙසේ ය.

එහි මිනීමැරුම් යටතේ 294 වගන්තියට අනුව දණ්ඬනය වන්නේ 296 වගන්තිය ප්‍රකාරව මරණීය දණ්ඩනය යි. එමෙන්ම මිනීමැරුම් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය 293 වගන්තිය යටතේ අර්ථ දක්වා එහිම  297 යටතේ දඬුවම් නියම කොට ඇත්තේ වසර විස්සක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලෙසිනි.

(ආ) වගන්තිය, නොඑසේ නම් බරපතල තුවාල සිදු කිරීමට අදාල දඬුවම්, දණ්ඩ නීති සංග්‍රහයේ 311 වගන්තිය යටතේ අර්ථ දක්වා ඇත්තේ ය.

අලුත් නීති නොවන පැරණි පනත්

නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රිනි ලක්මාලි හේමචන්ද්‍ර විසින් අතීත ත්‍රස්ත මර්දන පනත් සහ කෙටුම්පත්වල දැක්වෙන වැරදි සහ දඬුවම් ව්‍යවස්ථාපිත අපරාධ නීතිය යටතේත් ක්‍රියාත්මක වන බව විවේචනාත්මකව පවසමින් PSTA කෙටුම්පතේ එසේ නොවන බවට දිගින් දිගටම කරුණු දැක්වුව ද එහි සඳහන් ප්‍රාණ ඇපකරුවන් ග්‍රහණයට ගැනීම සම්බන්ධයෙන් විසිහය අවුරුද්දක් තිස්සේ බලාත්මක නීතියක් රටේ පවතින බව නොදැන සිටීම පුදුමයට කරුණක් නොවේ.

එම නීතිය නම් 2000 අංක 41 දරන, ප්‍රාණ ඇපකරුවන් ග්‍රහණයට ගැනීම වැළැක්වීමේ පනතයි (Prevention Of Hostage taking Act). එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1979 දෙසැම්බර් 17 වන දින සම්මත කරන ලද ප්‍රාණ ඇපකරුවන් ග්‍රහණයට ගැනීමට එරෙහි ජාත්‍යන්තර සම්මුතියට (International Convention against the taking of Hostages) අනුව ශ්‍රී ලංකාව විසින් සකස් කර ඇති මෙම පනතේ නියමයන්ට අනුව වරදකරුවකු වන තැනැත්තකු මහාධිකරණය හමුවේ පමණක් පවත්වන නඩු විභාගයකින් අනතුරුව ජීවිතාන්තය දක්වා දණ්ඩනයට යටත් කරනු ලබන්නේ ය.

මේ ආකාරයටම ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම නම් පනත් කෙටුම්පතේ සඳහන් වරදවල් සහ දණ්ඩනයන් සියල්ලටම ශ්‍රී ලංකාවේ මේ වන විටත් බලාත්මක ව්‍යවස්ථාපිත අපරාධ නීතිය හෝ ඒ ආශ්‍රිතව ව්‍යවස්ථාදායකය විසින් හෝ සම්මත කොට නීතියක් බවට පත් කොට ඇති අණපනත් මගින් හෝ වරද සහ දණ්ඩනය අර්ථ දක්වා තිබෙන මුත් නීතිඥ ලක්මාලි මන්ත්‍රිවරිය ඒ කිසිවක්  නොදැන හෝ අමතක කොට අතීත පනත් කෙටුම්පත්වල දෝෂ ගැන පමණක් කතා කිරීම සැබවින්ම දේශපාලන තක්කඩිකම ම මිස වෙනකක් නම් නොවේ. මෙහි ඇති වඩාත් විහිළු සහගත තත්වය වන්නේ එකම වරදකට නීතී දෙකකින් දඬුවම් දීම අනුමත කළ නොහැක්කක් බවට ඇයම පවසා ඒ සම්බන්ධයෙන් ඉතිහාසයේ ගෙනවිත් ඇති බිහිසුණුම පනතක් සාධාරණීයකරණය කිරීමට තැත් දැරීමය.

"සභාපතිතුමනි, මේ හැම වරදක්ම ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක්. උදාහරණයක් විදිහට, මංකොල්ල කෑම් දණ්ඩ නීතී සංග්‍රහය යටතේත්, ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේත් වරදක්. එකම වරද සඳහා දඬුවම් දිය හැකි නීති ප්‍රතිපාදන දෙකක් රට තුළ සකස් කරලා තියෙනවා. ඒක සාමාන්‍ය නීතියට වඩා දැඩි නීති පද්ධතියක්," යැයි අතීත පනත් කෙටුම්පත් පිළිබඳව හේමචන්ද්‍ර මන්ත්‍රිවරිය පවසන්නේ ඔවුන් විසින් ගෙනවිත් තිබෙන PSTA පනත පුරාම එයම තිබෙන බව අමතක කර දමමිනි.


කෙටුම්පතේ, 3 (2) (ඈ) යටතේ දක්වා තිබෙන, ජීවිතයට අනතුරක් සිදුවීමේ හෝ සැලකිය යුතු ආර්ථික ආලාභයක් සිදු කිරීමේ හැකියාවක් ඇති කරන්නාවු බරපතල හානියක් යම් පොදු මහජන භාවිතා ස්ථානයකට, යම් පොදු දේපලකට, යම් පොදු හෝ පෞද්ගලික ප්‍රවාහන පද්ධතියකට හෝ යම් යටිතල පහසුකමකට සිදු කිරීම , නම් වරදවල් සම්බන්ධයෙන් ද උවමනා තරමටත් වඩා ක්‍රියාත්මක නීති සහ අණ පනත් ගණනාවක් තිබෙන බව ඇය සහ ඇය නියෝජනය කරන ආණ්ඩුව නොදන්නේ ද?

විශේෂයෙන්ම ඉහත වැරදිවලට අදාලව අපරාධ නීතියට අමතරව බලාත්මක ප්‍රධානතම නීති රෙගුලාසිය වන්නේ 1982  අංක 12 දරණ පොදු දේපල විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ ( Offences Against Public Property Act) පනත යි. නැවත එය  1999  අංක 28 දරණ  පනත  ලෙස සංශෝධනයට  ලක් කෙරුනු අතර, එම සංශෝධනයට අනුව එතෙක් පැවති දණ්ඩනය ඉහළ දමන ලදි. එමෙන්ම මෙම පනතට අනුව නඩු පැවරීම සෘජුවම මහාධිකරණය යටතට පත්කොට තිබෙන අතර, ඇප ලබා දීමද සිදු වන්නේ සුවිශේෂි ‌හේතු කාරණා මත පමණි.

සරසවි සිසුන් දඩයම් කළ නීතිය


PSTA  කෙටුම්පතේ දැක්වෙන පොදු දේපල යන්නට, මෙම පනතේ ද පොදු දේපල හානී කිරීම ලෙසට රජයේ හෝ පොදු ආයතනයක ගොඩනැගිලි , වාහන වෙනත් ඔනෑම දේපලකට චේතනාන්විතව හානී කිරීම, කඩා බිඳ දැමීම විනාශ කිරීම අදාල වන්නේ ය. පහුගිය රජයන් සමයේදි විශ්ව විද්‍යාල සිසු උද්ඝෝෂණවල  නිරත වූ සිසු සිසුවියන් බොහෝ දෙනෙකු සිරගත කරන ලද්දේත් , නඩු පවරන ලද්දේ ත් මෙම පනත ප්‍රකාරව වන අතර, ඇතැම් අවස්ථාවන්වලදි මහමග  වාඩිලාගෙන සිටි සිසුන්වද මෙම පනත යටතේ සිරගත කරන ලද්දේ පොදු දේපලවලට හානී කිරීම නම් චෝදනාව ඉදිරියට දමමිනි. එදා එවැනි ක්‍රියාවන් විවේචනයට ලක් කළ ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය වර්තමානයේ ඒ වරදවල් සහ දණ්ඩනයම වඩා වැඩි බලතල සහිතව නීතිගත කරන්නට කැස කවන්නේ පවතින නීති රෙගුලාසි ස්වකීය ආණ්ඩුකරණයේ මර්දන යාන්ත්‍රණය උදෙසා  ප්‍රමාණවත් නොවන බව නොකියා කියමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනි ලක්මාලි හේමචන්ද්‍ර විසින් PSTA  කෙටුම්පත සහ අතීත ත්‍රස්තමර්දන පනත් කෙටුම්පත් පිළිබඳව ව්‍යාජ කරුණු කාරණා ගණනාවක් පාර්ලිමේන්තුව හමුවේ පවසනු ලැබු අතර, ඉන් එක් ප්‍රධාන කාරණයක් වන්නේ වැඩවර්ජන සහ උද්ඝෝෂණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ද ඇඳෑ ගනිමින් ඉදිරිපත් කළ තර්කය යි.

"එතකොට ගැටලුව තියෙන්නේ නලින් බණ්ඩාර මන්ත්‍රිතුමා කියන විදිහට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම්, උද්ඝෝෂණ, වැඩවර්ජන, වෛද්‍යවරුන් විසින් කරන උද්ඝෝෂණ මේ නිර්වචනයට ඇතුලත් වෙනවාද?. එහෙම ඇතුලත් වෙනවා නම් ඒක වැරදියි. අපි විමසා බලන්න ඔ්නේ කාරණය තමයි එහෙම වෙනවද කියන එක? "

මන්ත්‍රිනි හේමචන්ද්‍රට අනුව, ඔවුන් විසින් රැගෙන විත් තිබෙන පනත් කෙටුම්පතේ එවැනි මහජන අරගල සම්බන්ධයෙන් වු කිසිදු තහනමක්, වරදකාරි වන සහ දණ්ඩන පමුණුවන නෛතික වගන්තියක් ඇතුලත්ව නොමැත.

එහෙත් කෙටුම්පතේ වැරදි සහ දණ්ඩනය නම් තීරුවේ ඉහළින්ම දැක්වෙන්නේ ද එයයි.

 Ⅱවන කොටස (ත්‍රස්තවාදය පිළිබඳ වරද)

වැරදි සහ දණ්ඩනය
 
3(1) දේශපාලන හෝ මතවාදි අරමුණක් ප්‍රවර්ධනය කිරීම සඳහා,

  (අ)  මහජනතාව තුළ හෝ තැනැත්තන් කණ්ඩායමක් තුළ භීෂණකාරි තත්වයක් ඇති කිරීමේ ; හෝ

   (ආ) යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදු කිරීමෙන් වැළකී සිටිමට යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් වෙත අයුතු ලෙස බලපෑම් කිරීම

 
මෙය අතිශය පුළුල් වපසරියක් තුළ විසිරෙන එසේම නිශ්චිත නිර්වචනයකින් තොර "වරදවල් හැඳින්වීමක්" වන අතරම භිෂණකාරී තත්වය කුමක්ද, එයට අයත්වන වරදවල් මොනවාද කෙටුම්පතේ පැහැදිලිව දක්වා නොමැති අතරම, මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව හමුවේ දක්වන විකාරරූපි කතාවලින් පමණක් ඒ සත්‍යය යටපත් කළ නොහැකි ය. එයට අයත්වන වරදවල් මොනවා දැයි කෙටුම්පතේ පැහැදිලිව දක්වා නොමැති අතර වැඩ වර්ජන හෝ මහජන උද්ඝෝෂණ කිරීමද භිෂණකාරී ක්‍රියාවක් ලෙස අර්ථ දැක්වීමට පනත යටතේ අභිචෝදකයන්ට ඉඩ ප්‍රස්ථාව හිමිවන්නේ ය.

(ආ) හි ජාත්‍යන්තර සංවිධානයන්ට බලපෑම් කිරීම නම් කරුණ ගත්විට යම් පුද්ගලයෙක් හෝ පාර්ශවයක් විසින් තමන්ගේ හෝ පොදු සිදුවීමක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතනයකට පැමිනිල්ලක් ඉදිරිපත් කිරීම ද රාජ්‍යයට එරෙහි ත්‍රස්තවාදි ක්‍රියාවක් ලෙස අර්ථ ගැන්විය හැකි බව නීතිඥ මන්ත්‍රිවරිය පවසන "වරදක් නොවන" පොදු උද්ඝෝෂණ සම්බන්ධ වගන්ති ගණයට නොවැටෙන්නේ ද?

(3) (2) වන උප වගන්තියේ කාර්යය සඳහා,

" මහජන භාවිතා ස්ථානය යන්නට, අදාල වේලාවේ දි මහජනතාවට අයිතියක් ලෙස හෝ අන්‍යාකාරයෙන් ප්‍රවේශ වියහැකි හෝ ප්‍රවේශ වීමට අවසරය ඇති යම් මහා මාර්ගයක් සහ වෙනත් යම් පරිශ්‍රයක් හෝ ස්ථානයක් ඇතුලත් වේ " .

අතීතය වර්තමානයට

මහජන උද්ඝෝෂණ, අදහස් ප්‍රකාශ කිරීම සහ භාෂණයේ අයිතිය සම්බන්ධයෙන් සෘජුවම මැදිහත් වීමක් සිදු කරන මෙම වගන්ති මගින් රටේ ප්‍රමුඛතම නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ Ⅲ වන පරිච්චේදයේ 14 වන වගන්තියේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය නොවන්නේ දැයි නීතිඥ මන්ත්‍රිවරිය පාර්ලිමේන්තුව හමුවේ පැහැදිලි නොකළා ය.

2018 වසරේ කෙටුම්පත් කෙරුනු ප්‍රති ත්‍රස්ත පනත (Counter terrorism bill) සහ 2023 වසරේදි කෙටුම්පත් කොට ඉදිරිපත් කෙරුනු ත්‍රස්ත විරෝධි පනත (Anti -terrorism bill) යන දෙකෙහිම ත්‍රස්තවාදය සම්බන්ධයෙන් නිර්වචන පැවති බවට ඇය තවත් මුසාවක් කියා පෑවාය.

"2018 සහ 2023 පනත් කෙටුම්පත් දෙකම යම් යම් වශයෙන් එක සමානයි. හැබැයි නිර්වචනයක් ඉදිරිපත් කළා. එතකම් ලංකාවේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් නිර්වචනයක් තිබුණේ නෑ. නමුත් 2018 ත් 2023 ත් නිර්වචනයක් ඉදිරිපත් කළා".

ඉහත පනත් කෙටුම්පත් සියල්ලටම එරෙහිව ඉදිරිපත් වුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල ප්‍රධානතම කරුණු දැක්වීමක් වූයේ ද ඒ කිසිම කෙටුම්පතක ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනයක් නොමැති කමයි. 2023 කෙටුම්පට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී (වත්මන් විදේශ කටයුතු ඇමති) විජිත හේරත්, අන්තර් සමාගම් සේවක සංගමයේ එවකට සභාපති , වත්මන් වෙළද ඇමති වසන්ත සමරසිංහ, එරංඟ ගුණසේකර ප්‍රමුඛ පිරිසක් විසින් පෙත්සම් ගොනු කරනු ලැබුවේ ද නිර්වචන ගැටළුව පිළිබඳව ද තර්ක ඉදිරිපත් කරමිනි.

ශ්‍රේෂ්ඨාධිකරණය දොරටුව ඉදිරිපස සිට විජිත හේරත් පසෙකින් තබා ගනිමින් වත්මන් නියෝජ්‍ය මහජන ආරක්ෂක ඇමති, නීතිඥ සුනිල් වටගල එම කෙටුම්පත්වල ජනතා විරෝධි බව සහ නිර්වචනය පිළිබඳව මාධ්‍ය හමුවේ කරුණු කියා පෑවේ මෙසේ ය.

"ලොකු අර්ථකථනයක් දීලා තියෙනවා ත්‍රස්තවාදි වැරදිවලට අදාළව. අපේ විවේචනය එල්ල වන්නේ එතෙන්ට. බැලූ බැල්මටම එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍යයට බැලු බැල්මටම පටහැනියි,  මූලික අයිතිවාසිකම්වලට පටහැනියි".

මන්ත්‍රිනි ලක්මාලී හේමචන්ද්‍ර  පනත් කෙටුම්පත්  සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පිළිබඳව පාර්ලීමේන්තුව හමුවේ පවසනු ලැබු සියල්ල ඒ ආකාරයෙන්ම නිවැරදි නොවන අතර, විශේෂයෙන්ම විදෙස් ත්‍රස්ත පනත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරික්ෂණය සහිත නියෝගය ගැන ඇය පවසන ලද්දේ එහි ව්‍යතිරේඛිය කොටස් අතහැර දමමිනි.

"ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කරනවා යෝජනාවක්. ඒ නිර්වචනය සමග කෙටුම්පත 2/3 බලයකින් සම්මත කළ යුතුයි. 2/3 සම්මත නොකරන්නේ නම් ඒ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කරනවා නවසීලන්තයේ ත්‍රස්තවාදය සම්බන්ධ නීතියේ තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය, වැඩවර්ජන, උද්ඝෝෂණ ත්‍රස්තවාදී ක්‍රියාවලින් ඉවත් කරන බැහැර කරන වගන්තියක්. එවැනි වගන්තියක් ATA එකට ඇතුල් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නිකුත් කරනවා".

නවසීලන්ත පූර්වාදර්ශය

ඉන් අනතුරුව ඇය කියා සිටියේ නවසිලන්තයේ පනතට සමාන අයුරින් ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම නම් කෙටුම්පතේ වගන්තිවලට ඇතුලත් කළ බවකි.

"2024 හැන්සාඩ් ගත කරලා තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ බැහැර කිරීමේ වගන්තිය නවසිලන්තයේ ත්‍රස්ත නීතියේ ඒ වගන්තියට ඉතා සමීප Word To Word වගේම සමාන බැහැර කිරීමේ වගන්තියක් මේ PSTA යේ එහෙම නැත්නම් රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ 3/4 වගන්තියේ සඳහන් වෙනවා" .

ඒ වනාහී වැඩවර්ජන සහ ප්‍රජාතන්ත්‍රීය අයුරින් පැවැත්වෙන උද්ඝෝෂණ ආදිය සම්බන්ධයෙන් ඇති නිදහසයි. නමුත් නවසිලන්ත පනතේම එයට ව්‍යතිරේඛයක් එනම් සීමාවක් පනවා තිබෙන බව මන්ත්‍රිනි ලක්මාලී හේමචන්ද්‍ර පාර්ලීමේන්තුව හමුවේ පැවසුවේ නැත. එහි 5 වැනි වගන්තියට අනුව වැඩ වර්ජන සහ උද්ඝෝෂණ මහජන පීඩාකාරී හෝ රාජ්‍ය විරෝධී බවකින් හෝ යුක්ත වන්නේ නම් එය ත්‍රස්ත මර්දන නීතිය යටතට ගැනෙන බව දක්වා ඇත. මන්ත්‍රීවරිය ලංකාවේ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ කෙටුම්පත සහ නවසීලන්ත ත්‍රස්ත නීතිය නිවුන් සහෝදරයන් ලෙස දැක්වීමේ සැබෑ ස්වරූපයද PSTA යේම දක්වා ඇති වැඩ වර්ජන සහ උද්ඝෝෂණ සම්බන්ධ තත්වයට මනාව ගැලපෙන්නේ ය.

“විරෝධතාවක යමෙකු වෙනුවෙන් පෙනී සිටීමක හෝ විරුද්ධ මත පල කිරීමක යෙදී සිටීම හෝ යම් වැඩවර්ජනයක, පිටමං කිරීමක හෝ වෙනත් කාර්මික ක්‍රියාමාර්ගයක යෙදී සිටීම...” ආදී වශයෙන් වන  ¾ වගන්තියේ දැක්වෙන ක්‍රියාකාරකම් බැහැර කර තැබීම පමණක් ‘නොපැහැදිලි මෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ (ICCPR) 15 වගන්තියෙන් දැක්වෙන නීතියේ නිශ්චිතභාවය පිලිබඳ මූලධර්මයට හරස්ව යයි,’ යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.

ඒ ඇතුළුව PTSA කෙටුම්පත පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ මාලාවක් රැගත් පිටු 21 ක සන්දේශයක් ශ්‍රී ලංකාවේ රජයට එජා විශේෂඥ මණ්ඩලයක් විසින් එවා තිබුනේ පෙබරවාරි 9 දාය. එමගින් පනත ‘ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව සකසා ගැනීමට’ කර තිබු යෝජනා සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය ඉල්ලා තිබුණි.

නලින් බණ්ඩාර විපක්ෂ මන්ත්‍රීවරයාට තුනෙන් දෙකේ බලයක් සහිත පාර්ලිමේන්තුවේදී උත්තර දෙන්නට යුහුසුළු වූ ආණ්ඩුව මේ ලිපිය ලියන මොහොතේත් ඊට උත්තර යවා තිබුනේ නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රිනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පමණක් නොව ආණ්ඩුවේ මුළු මන්ත්‍රි සංඛ්‍යාවම එකපෙළට සිට ගනිමින් ඔවුන්ගේ ත්‍රස්ත මර්දන පනතේ සුජාතභාවය ගැන දෙසුම් පැවැත්වුවද එහි අකුරක් නෑර ලියැවී ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්, මානව හිමිකම් උල්ලංඝනයන් සහ රටේ බලාත්මක ව්‍යවස්ථාපිත නීති පද්ධතිය අභිබවා යමින් අධිකරණය සහ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය මර්දන දඬු අඬුවකට හිර කිරීමේ යථා ස්වරූපය යි. එසේම අතීතයේ බලය අහිමිව සිටියදී වරදක් සහ අනීතික ලෙසින් දුටු පනතක් බලය ලැබුණු පසු යහපත් සහ ජනතාවාදි එකක් ලෙස අර්ථ ගැන්වීමට වෙර දරණා අපුල දනවන නිර්ලජ්ජිත ක්‍රියාදාමයේ සැබෑවයි.


එනිසාම පාර්ලිමේන්තු මන්ත්‍රිනි, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් ව්‍යවස්ථාදායකයේ බලයට සහ වරප්‍රසාදවලට මුවාවෙමින් සිදුකළ ප්‍රකාශයත්, ඔවුන්ම අතීතයේ කියා පෑ කතාවල අද දවසේ වලංගුතාවයත් 2023 වසරේ ඉදිරිපත් වු ත්‍රස්ත මර්දන පනතට එරෙහිව උසාවි යමින් 'වොයිස් කට්' දුන් තවත් නීතිඥයකු වන වර්තමාන මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල විසින් කරනු ලැබු ප්‍රකාශයකින්ම විමසමින් මෙය අවසන් කරන්නට සිතුවෙමි.



"මේ ත්‍රස්ත වැරදි කියලා දාලා තියෙන සියළු වැරදි දණ්ඩ නීති සංග්‍රහයත්, අපරාධ නඩු විධාන සංග්‍රහයත් ආවරණය කරනවා. ඒ නිසා මේ අලුතින් පනතක් ගෙනල්ලා මේකෙන් ඔබ්බවන්න හදන්නේ  රැඳවුම් නියෝග ගන්න. රඳවා තබා ගැනීමේ නියෝග ගන්න. දැක්ක දැක්ක තැන සාමාන්‍ය ආණ්ඩු විරෝධීන් පවා අත්අඩංගුවට ගැනීමට බලයක් ගන්න තමයි මේකෙන් හදන්නේ. මේකේ තියෙනවා ඕනෑම පොලිස් නිලධාරියෙකුට, ත්‍රිවිධ හමුදා නිලධාරියෙකුට, වෙරළාරක්ෂක නිලධාරියෙකුට පවා මේ පනතේ විස්තර කරන වැරදි සම්බන්ධයෙන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්න පුලුවන් කියලා. ඕනෑම පුද්ගලයෙකුව ගරු අධිකරණයේ අවසර ඇතිව තමයි අත්අඩංගුවට ගන්න ඕනේ. දැන් මේ පනතින් ලයිසන් එක්ක දෙනවා වරෙන්තුවක් නැතුව අත්අඩංගුවට ගන්න පුලුවන් කියලා පුද්ගලයන්ව. ඉතින් අපි දන්නවා දැඩි ආණ්ඩු විරෝධයක් තියෙනවා. ඒ ආණ්ඩු විරෝධය මේ ගොල්ලෝ ප්‍රශ්න කරන්නෙම මේකෙන් තමයි".

කොයි හැටි වෙතත්, මේ පනතේ අරමුණ ‘රාජ්‍යය ආරක්ෂා කර ගැනීම’ බව නොසඟවා දැක්වීමට තරම් අවංක වීම ගැනනම් කවුරු කවුරුත් මාළිමාණ්ඩුවට පිං දිය යුතුමය.

(සටහන | කේ විජේසිංහ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...