The Leader News
BREAKING
පනාමුරේ කතාව (19 කොටස) : මඩුවන්වෙල බූදලය මොළමුරේ පරපුරට | ඉන්දු පෙරේරා●බ්‍රිතාන්‍ය ශිෂ්‍ය වීසා ඉල්ලුම තියුණු ලෙස පහළට; සරසවි මූල්‍ය අර්බුදයක●ආන්දෝලනාත්මක සිදුවීම් මැද එන්වීඩියා ප්‍රධාන විධායක ධුරයෙන් ඉල්ලා අස්වේ●ඕස්ට්‍රේලියානු සරසවිවලට නව සීමා: ලාංකික සිසුන්ට බලපාන්නේ කෙසේද?●Diginote | 2027 අයවැයෙන් බදු සහන: වැටුප් හා දීමනා ඉහළට●ලොවම අඩපණ කළ මයික්‍රොසොෆ්ට් බිඳවැටීම යථා තත්ත්වයට●2027 අයවැය: රජයට මුදල් ලැබෙන සහ වියදම් වන හැටි සරලව●නොරොච්චෝලේ ඩීසල් වංචාව: වසර 10ක අක්‍රමිකතා ගැන විමර්ශන●අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය: අයවැය විවරණ සහ කොළඹ ගංවතුර●2027 අයවැය: බදු සහන, සුවසැරියට අලුත් ගිලන් රථ සහ තාක්ෂණික පෙරළියක්●
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය: අයවැය විවරණ සහ කොළඹ ගංවතුර

Awara

Awara

November 13, 2026 • 12:29 AM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය: අයවැය විවරණ සහ කොළඹ ගංවතුර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයවැය ඉදිරිපත් කෙරුණු සැණින් මල් පාර දේශපාලන කාර්යාලය ප්‍රතිඋත්තර බැඳීමට ලහි ලහියේ සූදානම් විය.
  • අයවැය ගැන විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් ආර්ථික විශ්ලේෂකයන් පැවසූයේ ආණ්ඩුවේ 2027 අයවැය ඔවුන්ගේ තේමාවට අනුව 'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' ගෙන එන අයවැයක් නොවන බවයි.
  • රටින් ගෙන්වන හැම බඩුවකටම රුපියල් 45ක් වැඩිපුර ගෙවන්න වෙනවා.
  • පසුගිය අයවැයෙනුත් බිලියන 1380ක් වෙන් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

අයවැය ඉදිරිපත් කෙරුණු සැණින් මල් පාර දේශපාලන කාර්යාලය ප්‍රතිඋත්තර බැඳීමට ලහි ලහියේ සූදානම් විය.

දේශපාලන මෙන්ම ආර්ථික විශ්ලේෂකයන් විසින් අයවැය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා සවස මාධ්‍ය හමුවක් කැඳවීමටද එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේය. සභාපති වජිර මාධ්‍ය හමුව කැඳවමින් අයවැය ගැන විවරණයක් කළේය.



අයවැය ගැන විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් ආර්ථික විශ්ලේෂකයන් පැවසූයේ ආණ්ඩුවේ 2027 අයවැය ඔවුන්ගේ තේමාවට අනුව 'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' ගෙන එන අයවැයක් නොවන බවයි. මේ අයවැය සම්පූර්ණයෙන්ම ඒ තේමාව හාස්‍යයට ලක් කළ එකක් යැයි විශ්ලේෂකයෝ කීහ.

"ලබන වසරේ මාර්තු වන විට අයි.එම්.එෆ්. (IMF) ගිවිසුම ඉවරයි. තවදුරටත් IMF එකත් එක්ක කටයුතු කරනවද කියලා බලන්න කමිටුවක් දානවා කියලා ජනාධිපතිවරයා කියලා තියෙනවා. මේක මහා විහිළු කතාවක්. කිසිම රටක් IMF එකත් එක්ක යනවද නැද්ද කියලා බලන්න කමිටු දාන්නේ නැහැ" ආර්ථික විශ්ලේෂකයෝ රනිල් හමුවේ කීහ.

"ඩොලරය වැඩිවෙලා. රුපියල බාල්දු වීම තමයි අර්බුදයට ප්‍රධානම හේතුව. රටින් ගෙන්වන හැම බඩුවකටම රුපියල් 45ක් වැඩිපුර ගෙවන්න වෙනවා. මේක තෙල් මිල ඉහළ යෑමට පවා බලපාලා තියෙනවා. ඒ වගේම ප්‍රාග්ධන වියදම් විදියට බිලියන දෙදාහක් වෙන් කරනවා කියලා කිව්වා. පසුගිය අයවැයෙනුත් බිලියන 1380ක් වෙන් කළා. ඒ බිලියන 1380න් මේ මාස නවයට කොච්චර වියදම් කරලා තියෙනවද? ඒ ටිකවත් වියදම් කරලා නැතුව මේ පාර බිලියන 2000ක් වෙන් කරනවා. අනික් ප්‍රධාන කාරණය තමයි ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් නිසා නිලධාරීන් වැඩ කරන්න බයවෙලා ඉන්නේ" රනිල් හමුවට ආ විශ්ලේෂකයෝ කීහ.

පක්ෂයේ තරුණ යාන්ත්‍රණය යොදවා අයවැය පිළිබඳව මාධ්‍ය හමුවක් පැවැත්වීමටද රනිල් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නට සහ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්නට වගකීම පැවරීය. ඒ අනුව සිකුරාදා නව පරපුර මාධ්‍ය හමුවක් කැඳවා කදිම විශ්ලේෂණයක් ඉදිරිපත් කළේය.

දීපවාලී භෝජන සංග්‍රහය සහ ඉල්මහ විරු සමරුවේ දෛවෝපගත සිදුවීම


සති ආරම්භයේදීම සුවිශේෂී දෛවෝපගත සිද්ධියක් විය. දීපවාලී උත්සවය වෙනුවෙන් කොළඹ ඉන්දීය නිල නිවසේදී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. එහි ආරාධිතයන් ලෙස හිටපු ජනපතිවරුන් වන රනිල් සහ මෛත්‍රී, ජවිපෙ නියෝජනය කරමින් ටිල්වින්, හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, ඩිජිටල් නියෝජ්‍ය ඇමති එරංග වීරරත්න සහභාගී වූහ.

එහි විශේෂත්වය වූයේ ඉල්මහ විරු සමරුව කට උඩ තියාගෙන මේ දීපවාලී උත්සවයට ජනතා විමුක්ති පෙරමුණට සහභාගී වීමට සිදු වීමයි. ඉතිහාසය පුරාම ඉල්මහ විරු සමරුවේදී ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රකාශ වූයේ ඉන්දීය විරෝධයයි. ඉල්මහ විරු සැමරුමට දින දෙක තුනක් තිබියදී මෙලෙස ඔවුනට දීපවාලී උත්සවයකට සහභාගී වීමට සිදුවීම දෛවෝපගත සිදුවීමක් විය.

මේ සිදුවීම අලළා සමාජ මාධ්‍යයේද නොයෙක් විසුළු සහගත පුවත් පළ වී තිබිණි. ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉන්දීය මහා කොමසාරිස්වරයා සමඟ එක මේසයේ වාඩි වී ඉන්දියන් ආහාර ගැනීම හාස්‍යයට ලක් කර තිබිණි.


සමාජ මාධ්‍යයෙන් වඩාත් හාස්‍යයට ලක් කර තිබුණේ රෝහණ විජේවීරලා සමඟ ඉන්දියන් ව්‍යාප්තවාදයට එරෙහිව සටන් වැදුණු ටිල්වින්ලාට මේ ඉරණම අත්වීමයි. රෝහණ විජේවීර මරා දැමුණු ඉල්මහේ වත්මන් නායකයන්ට මෙවැනි සරදමකට ලක්වීමට සිදුවීම කොතරම් විකෘතියක් දැයි සමාජ මාධ්‍ය ප්‍රශ්න කර තිබිණි. ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි ගිනිගත් සටන් පාඨ අද කොහි දැයි එයින් වැඩිදුරටත් ප්‍රශ්න නගා තිබිණි.

ශ්‍රීලනිප අර්බුදය විසඳීමට රනිල්ගේ මැදිහත්වීම


තම පක්ෂයේ කටයුතු කරනවාට අමතරව රනිල්ට වෙනත් පක්ෂවල අර්බුද විසඳීමටද මැදිහත් වන්නට සිදුව තිබේ. රනිල් දැන් අත ගසා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමේ වෑයමකටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය තවදුරටත් ඉදිරියට ගියොත් එම පක්‍ෂයට මැතිවරණවලට තරග කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. රනිල් මේ අර්බුදය විසඳීමට අත ගසන්න හේතුව එයයි.

මේ අර්බුදයට විසඳුමක් සාකච්ඡා කරන්නට රනිල් පළමුවෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශ්වය හමු විය. එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය පීරිස් ද සහභාගි විය. ඔවුන්ගේ මතය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය දුර දිග ගෙනයන්නේ නැතිව විසඳා ගත යුතු බවයි. ඉදිරියේදී රනිල් - නිමල් සිරිපාල පාර්ශ්වය සමඟත් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

බලන්ගොඩ කස්සප හිමියන්ගේ අනුරාධපුර උපවාසය ගැන ආණ්ඩුවේ කිසිවකුත් කලින් දැනුවත් වී නොතිබිණි. පොලිසිය එම සත්‍යග්‍රහයට පහරදීම හත් පොළේ ගා ගැනීමක් බව රනිල් හමුවට ආ දේශපාලනඥයෝ පැවසූහ.

"ගොඩක් බෞද්ධයන් මහා සෑය ළඟ සත්‍යග්‍රහය කරනවාට විරුද්ධ වුණත් ඒ හාමුදුරුවන්ට සලකපු විදිය ගැන කැමැත්තක් නෑ. බහුතර බෞද්ධ ජනතාව පහරදීමට විරුද්ධයි" රනිල් පැවසීය.


"ආණ්ඩුව ආදායම හොයන්නේ කොහොමද කියලා කල්පනා කරන්න වෙනවා. විශේෂයෙන් විදේශ ආදායම හොයන ක්‍රම තියෙන්න ඕන. සහන දෙන්න තිබුණේ රුපියල ශක්තිමත් කරලා. දැන් රුපියල බාල්දු කරලා තියෙන්නේ. අනික මේ කොළඹට ආපු අමුතු වැස්සක් නෙමෙයි. හැමදාම එදා ඉඳන් කොළඹට වැස්සා. මේ කාණුම තමයි තිබුණේ. හැබැයි මෙහෙම යට වුණේ නෑ. මේකෙන් පේන්නේ නගරාධිපතිනියගේ අදක්ෂ බව" රනිල් වත්මන් ප්‍රශ්න කිහිපයක් ගැන එසේ කතා කළේය.

කොළඹ වැසි වතුර අර්බුදය ගැන පාඨලීගේ විවරණය

මෙහිදී අදහස් දක්වමින් පාඨලී චම්පික වර්තමානයේ පැන නැගී ඇති කොළඹ වැසි වතුර අර්බුදය ගැන දීර්ඝ විවරණයක් කළේය.

"මේ ඇතිවුණු වැසි නිසා, කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් හෝ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් හෝ නිසා කිසිදු ගංවතුර තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හෝ මහවැලි අධිකාරියට චෝදනා කරන්න අවශ්‍ය නැහැ.

කොළඹ නගරය ගත්තම කොළඹ නගරයේ තිබෙන ප්‍රධාන ඇළ මාර්ග වන ශාන්ත සෙබස්තියන් ඇළ මාර්ගය, වැල්ලවත්ත ඇළ මාර්ගය, කටු ඇළ ආදී ඇළ මාර්ග පාලනය කරන්නේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින්. මේ කිසිදු ඇළ මාර්ගයක කිසිදු පිටාර යාමක් මේ පසුගිය දිනවල ඇතිවුණු වර්ෂාව හේතුවෙන් සිදුවෙලා නැහැ. ඒ කියන්නේ ඉඩම් සංවර්ධන සංස්ථාවට අදාළ ඇළ මාර්ග පිළිබඳව කිසිදු ගැටලුවක් සිදුව නැහැ.

එසේනම් මොකක්ද සිදුවෙලා තිබෙන්නේ? සිදුවෙලා තිබෙන්නේ කොළඹ මහ නගර සභාව විසින් නඩත්තු කරන, කොළඹ මහ නගර සභාව විසින් සංවර්ධනය කළ යුතු කාණු පද්ධති සම්පූර්ණයෙන්ම අවහිර වීම හා ඉතා අපහසුවෙන් ගොඩනගන ලද නව කාණු පද්ධති, පදික වේදිකා ආදී දේවල් ඉතාම බරපතළ විදිහට පසුගිය වසර දෙකක කාලය තුළ අවහිර වීමයි.

මුලදී ආණ්ඩුවේ ප්‍රතිචාරය වුණේ මිලිමීටර් 129ක ඉතා අධික වර්ෂාවක් වැටුණා කියලායි. නමුත් අතීත දත්ත බැලුවම 1992 දී මිලිමීටර් 396ක් වැස්සා. මට මතකයි ඒ කාලේ මහ ඇමති සුසිල් මුණසිංහ මහත්තයාගේ ගෙදරත් යට වුණා. ඒ කාලේ නාගරික සංවර්ධනය සඳහා හිටපු සිරිසේන කුරේ මහත්තයාගේ ගෙදරත් යට වුණා. එහෙම මහා වර්ෂාවක් අතීතයේ වැස්සා. 2010 දීත් මිලිමීටර් 376ක වර්ෂාවක් ඇද වැටී පාර්ලිමේන්තුව පවා යට වුණා. ඒ අනුව ඉතිහාසයේ අවස්ථා ගණනාවකම මීට වඩා වැඩි වර්ෂාපතනයන් ඇද වැටී තිබෙනවා.


නගරාධිපතිතුමිය කිව්වා මිලිමීටර් 30කට වඩා වැස්ස වැටෙන එක ඔරොත්තු දෙන්නේ නැහැ කියලා කොළඹට. නමුත් කොළඹ සියලුම ඇළ මාර්ග සංවර්ධනය කර තිබෙන්නේ පැයකට මිලිමීටර් 120ක වර්ෂාපතනයකට මුහුණදීමටයි, එතුමිය කිව්වා වගේ හතර ගුණයකට ඔරොත්තු දෙන විදිහට. ඒ වගේම දිනකට මිලිමීටර් 476කට ඔරොත්තු දෙන විදිහට. එවැනි වැස්සක් මේ පසුගිය කාලවකවානුවේ ඇති වුණේ නැහැ. එහෙමනම් ඉතාම පැහැදිලියි නගර සභාවේ වගකීම සහ ජනාධිපතිවරයාගේ 'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘති වචනයට සහ සමාජ මාධ්‍යයට පමණක් සීමාවෙලා තිබෙන බවයි" පාඨලීගේ එම විවරණයට රනිල් ද සාවධානව ඇහුම්කන් දුන්නේය.

සංකෝචනය වන ආර්ථිකය ගැන ජී.එල්. ගේ අනතුරු ඇඟවීම

ඒකාබද්ධ විපක්ෂයේ නායක හමුවේදී අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල්. කීවේ මෙවර අයවැය ඉදිරිපත් කෙරුණේ ඉතා අභියෝගාත්මක පසුබිමක බවයි.

"දරිද්‍රතාවය සියයට 30 දක්වා ඉහළ නැගලාය. මිලියන හයකට එක් පෝෂදායී ආහාරයක්වත් නෑ. අයවැයෙන් මුදල් වෙන් කළද වියදම් කිරීමක් දක්නට නැත. දිට්වා සඳහා බිලියන පන්සියයක් වෙන් කළත් වියදම් කර ඇත්තේ එයින් සියයට අටයි. ගිය වසරේ ප්‍රාග්ධන අයවැයෙන් මෙතෙක් වියදම් කර ඇත්තේ සියයට 28ක් විතරයි. සල්ලි වෙන් කළත් ඒවා ජනතාවගේ සුබසිද්ධියට වියදම් කරන්න ශක්තිමත් යාන්ත්‍රණයක් නැති එකයි ප්‍රශ්නේ.

මේ අනුව සියලුම ප්‍රශ්න විසඳන්න වන්නේ සංකෝචනය වෙන ආර්ථිකයක. ගිය අවුරුද්දේ දෙවැනි කාර්තුවේ වර්ධනය සියයට 5.1යි. මේ වසරේ සියයට 4.2යි. රනිල් රට භාර දෙද්දී රුපියලට සාපේක්ෂව ඩොලරය තිබුණේ 292යි. අද 46කින් අවප්‍රමාණය වෙලා. ඒ කියන්නේ ආනයනය කරන හැම දේකටම ඩොලර් එකට රුපියල් 45ක් වැඩිපුර ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා" මේවා තමයි තියෙන අභියෝග, ජී.එල්. විස්තර කළේය.


(සටහන | මල් පාරේ ලියුම්කරු)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...