The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කඩුගන්නාව අක්කර 500ක බෑවුමේ නායයෑම් අවදානම

Awara

Awara

November 15, 2026 • 1:56 PM

කඩුගන්නාව අක්කර 500ක බෑවුමේ නායයෑම් අවදානම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කන්ද උඩරට රාජ්‍යය විදේශීය ආක්‍රමණවලින් ආරක්ෂා කර ගැනීම පිණිස දේශීය යුද සෙනඟ නිරතුරු රැකවල් ලා සිටි බලන කපොල්ලේ සටන් සඳහා කඩු ආදිය ගත් කඩුගන්නාව කන්ද යළිත් දොඩමළු වී තිබේ.
  • ඒ, හුදෙක් වැස්ස නිසා එක් පස් කන්දක් කඩා වැටීමක් ලෙස නොවේ.
  • කොළඹ සිට මහනුවරට යන රටේ ප්‍රධානම මාර්ග දෙකම, එනම් මහා මාර්ගයත්, උඩරට දුම්රිය මාර්ගයත්, අන්තරායකාරී අස්ථාවර බෑවුමක් මත රඳා පවතින බවට වන අනතුරු ඇඟවීමක් ලෙස ය.
  • ඉකුත් දිට්වා සුළි කුණාටු අවස්ථාවේ අදාළ භූමි ප්‍රදේශය තමන් නිරීක්ෂණය කළ බවත්, එහිදී එම ප්‍රදේශයේ පවතින අස්ථාවරත්වය සම්බන්ධයෙන් පැහැදිලි ලෙස කරුණු අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් ඔහු අවධාරණය කොට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කන්ද උඩරට රාජ්‍යය විදේශීය ආක්‍රමණවලින් ආරක්ෂා කර ගැනීම පිණිස දේශීය යුද සෙනඟ නිරතුරු රැකවල් ලා සිටි බලන කපොල්ලේ සටන් සඳහා කඩු ආදිය ගත් කඩුගන්නාව කන්ද යළිත් දොඩමළු වී තිබේ. ඒ, හුදෙක් වැස්ස නිසා එක් පස් කන්දක් කඩා වැටීමක් ලෙස නොවේ. කොළඹ සිට මහනුවරට යන රටේ ප්‍රධානම මාර්ග දෙකම, එනම් මහා මාර්ගයත්, උඩරට දුම්රිය මාර්ගයත්, අන්තරායකාරී අස්ථාවර බෑවුමක් මත රඳා පවතින බවට වන අනතුරු ඇඟවීමක් ලෙස ය.

අක්කර 500ක අවදානම සහ මෑතකාලීන ගල් පෙරළීම්

හිඟුල නිම්නයෙන් ඔබ්බෙහි වූ පහළ කඩුගන්නාවේ සිට ගල් විදපු ස්ථානය දක්වා දුම්රිය මාර්ගය හා මහා මාර්ගය අතර අක්කර 500ක පමණ භූමි ප්‍රමාණයක් අස්ථාවරව පවතින බැවින්, නායයෑම සම්බන්ධයෙන් පවතින අවදානම පිළිබඳව අවධානයෙන් පසු විය යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න පවසා තිබේ. ඉකුත් දිට්වා සුළි කුණාටු අවස්ථාවේ අදාළ භූමි ප්‍රදේශය තමන් නිරීක්ෂණය කළ බවත්, එහිදී එම ප්‍රදේශයේ පවතින අස්ථාවරත්වය සම්බන්ධයෙන් පැහැදිලි ලෙස කරුණු අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් ඔහු අවධාරණය කොට ඇත. මහාචාර්යවරයා පෙන්වා දෙන පරිදි, එම භූමි ප්‍රදේශයේ අස්ථාවර විශාල ගල් සැලකිය යුතු ප්‍රමාණයක් තිබේ. අධික වර්ෂාවත් සමඟ පස් සමඟ ප්‍රධාන මාර්ගයට පතිත වන්නේ එම ගල් ය.


ඒ අනතුර මේ වනවිටත් වරින් වර ඇස් පනාපිට පෙනෙන්නට පටන් ගෙන තිබේ. නොවැම්බර් 10 වැනිදා සවස කඩුගන්නාව ගල් උමඟ අසල විශාල ගලක් මාර්ගයට පතිත වීමත් සමඟ කඩුගන්නාව – ගනේතැන්න අතර නුවර කොළඹ ප්‍රධාන මාර්ගය වසා දැමීමට සිදු විය. පසුව නොවැම්බර් 11 වැනිදා උදෑසන 6.00 සිට මාර්ගය යළි විවෘත කළද, නායයෑම් හා ගල් පෙරළීමේ අවදානම හේතුවෙන් එක් මං තීරුවක් පමණක් විවෘතව තැබීමට තීරණය විය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරන පරිදි ඉදිරියේ ඇතිවිය හැකි වැසි තත්ත්වයේ වර්ධනයත් සමඟ කඩුගන්නාව ආශ්‍රිතව නායයෑම් වාර්තා වීමට වැඩි ඉඩක් පවතින බව ද මහාචාර්ය සේනාරත්න අවධාරණය කරයි.

වසර 150කට වැඩි පීඩනය සහ පාෂාණ ලිහිල් වීම


කොළඹ – මහනුවර අතර දුම්රිය මාර්ගය හා ප්‍රධාන මාර්ගය බොහෝ දුරට පිහිටි පොළොව මත ගොඩනැඟීමට ඉංග්‍රීසි ජාතිකයින් කටයුතු කර තිබෙන නමුත්, ඇතැම් ස්ථානවල අවදානම් තත්ත්වයක් මතුව තිබෙන බව මේ වනවිට පෙනී යන බවත්, දිට්වා අවස්ථාවේ නායයෑමට ලක්වූයේ එම ස්ථාන බවත් මහාචාර්යවරයා කියයි.

කඩුගන්නාව යනු ස්වභාවිකවම දැඩි බෑවුම් සහිත, පාෂාණ මුහුණත් නිරාවරණය වූ ප්‍රදේශයකි. ඒ මත වසර 150කට වැඩි කාලයක් තිස්සේ මාර්ග දෙකක් පවත්වාගෙන යාම, වැසි ජලය බෑවුමට උරා ගැනීම, පස් තට්ටුවල බර වැඩි වීම සහ පාෂාණ අතර ඇති සන්ධි ලිහිල් වීම යන සියල්ල එකට එකතු වූ විට, එක් වර්ෂාවකින් පවා මුළු පද්ධතියම සක්‍රීය විය හැකිය. එබැවින් මෙය “ගලක් වැටුණා” යන එක් සිදුවීමක් ලෙස පමණක් බැලීම ප්‍රමාණවත් නැත. බැලිය යුත්තේ, “ඊළඟට වැටෙන්නට සූදානම් ගල කුමක්ද, කොහේද?” යනුවෙනි.

බ්‍රිතාන්‍ය ඉතිහාසය සහ 'රොක් ගැන්ග්' විමසිල්ල

ඉංග්‍රීසින් කොළඹ – නුවර මාර්ගය තැනීමේ මූලික අරමුණ 1820 දී කැප්ටන් ඩෝසන් යටතේ ආරම්භ කළේ, 1815 දී යටත් කරගත් කන්ද උඩරට පාලනය තහවුරු කර ගැනීම පිණිස වුවද, 1830න් පසු එය කෝපි සහ පසුව කොකෝවා වගාවේ ආර්ථික මාර්ගය බවට පත්විය. කඳුකරයේ අස්වැන්න වඩාත් කඩිනමින් කොළඹ වරායට ගෙන ඒම සඳහා මෙම මාර්ගය අත්‍යවශ්‍ය විය. පසුව 1864 – 1867 කාලයේ ඉදි කළ කොළඹ – නුවර දුම්රිය මාර්ගය ද, සබරගමු නිම්නයට මායිම් වන අති දුෂ්කර කඩුගන්නාව හරහා යොදන ලද්දේ ද, එම කෝපි සහ කොකෝවා වතු සෘජුවම වරායට සම්බන්ධ කිරීමේ අරමුණිනි.


නමුත් රඹුක්කනින් ඉහළ කඩුගන්නාව දක්වා දුම්රිය මාර්ග කැපුම්වලට නිතර ගල් පෙරළීමේ බියකරු අවදානම එදා සිටම ඉංග්‍රීසි ඉංජිනේරුවෝ හොඳින් වටහාගෙන සිටියහ. පැරණි දුම්රිය දෙපාර්තමේන්තු ලේඛනවල සඳහන් වන පරිදි, ඒ සඳහා ඔවුන් “රොක් ගැන්ග්” (Rock Gang) නම් විශේෂ කම්කරු කණ්ඩායමක් ස්ථිරවම යොදවා තිබුණි. එම කණ්ඩායමේ කාර්යය වූයේ දිනපතා උදෑසන දුම්රිය ධාවනයට පෙර දුර්ගයේ පාෂාණ බෑවුම් පරීක්ෂා කිරීම, බුරුල් ගල් ඉවත් කිරීම සහ අනතුරු ඇඟවීමයි. ඒ අනුව, කන්ද උඩරට ආර්ථිකය ගොඩනැගූ මෙම මාර්ග දෙකම, සොබාදහමේ නායයෑම් තර්ජනය හමුවේ නිරන්තර මිනිස් විමසිල්ලෙන් ආරක්ෂා කර ගත යුතු වූ මාර්ග විය.

'ශජරා' පොත්වල ලියැවුණු පාරම්පරික භූ විද්‍යා දැනුම

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ හිඟුල නිම්නයේ සිට කඩුගන්නාව දුර්ගය දක්වා වූ කොටස ඓතිහාසිකවම නායයෑම් සහ ගල් පෙරළීම් සඳහා වඩාත් අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇත. අද බොහෝ දෙනකු නොදන්නා මුත්, මාවනැල්ල ප්‍රදේශයේ පැරණි මුස්ලිම් පරම්පරා පොත් හෙවත් ශජරා වල පවා එම සිදුවීම් “කඳු ඉරි තැලීම්” සහ “පස් ගලා යාම්” ලෙස සටහන්ව තිබීම, බ්‍රිතාන්‍ය සමයට පෙර සිටම එම ප්‍රදේශයේ වෙළෙඳ මාර්ගය භාවිත කළ මුස්ලිම් වෙළෙඳ ප්‍රජාවට තිබූ ගැඹුරු භූ විද්‍යාත්මක නිරීක්ෂණ දැනුමට සාක්ෂියකි. භූ විද්‍යාත්මකව මෙම ප්‍රදේශය අස්ථාවර, දැඩි බෑවුම් සහිත Highland Complex පාෂාණ කඳු වැටියකි. අධික වර්ෂාපතනය සහිත කාලවලදී මෙහි පස් තට්ටුව ජලයෙන් සංතෘප්ත වී නායයෑම් ඇතිවීම අතීතයේ සිටම සිදුව ඇත.

මෙවන් විද්‍යාත්මක කරුණු ප්‍රචලිත නොවූ කාලයේ පවා, මාවනැල්ල ආශ්‍රිත ශජරා ආදී නම් වලින් යුතු මුස්ලිම් පරම්පරා ලේඛන වල දැක්වෙන සමකාලීන පවුල්මය සිදුවීම් වලට අදාළව එම විපත් මඟහරවා ගැනීමට ඔවුහු තද වර්ෂා සමයේ රාත්‍රී ගමන්ගෙන් වැළකීම, කන්දෙන් ජලය කාන්දු වන ස්ථාන සහ අලුතෙන් ඇති වූ ඉරිතැලීම් පිළිබඳව පෙරටුකරුවන් යොදා නිරීක්ෂණය කිරීම, සහ කන්ද පාමුලට වන්නට තාවකාලිකව නවාතැන් නොගෙන උස්, විවෘත බිම්වල නවාතැන් ගැනීම යන උපාය මාර්ග අනුගමනය කර ඇත. මෙම පාරම්පරික දැනුම ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අනතුරු ඇඟවීම් වන ජල උල්පත් බොරවීම, ගස් ඇලවීම, බිත්ති ඉරිතැලීම යන පූර්ව ලක්ෂණ හඳුනාගැනීම හා මනාව ගැලපේ. එය, මාවනැල්ලේ පැරණි මුස්ලිම් වෙළෙඳ පරම්පරා පොත්වල සඳහන් පූර්ව ආරක්ෂක නිරීක්ෂණ ක්‍රමයට බෙහෙවින් සමාන, එහෙත් බ්‍රිතාන්‍යයන් විසින් ආයතනගත කළ රොක් ගැන්ග් ක්‍රමවේදයට ද සමීප ය.

ලයිඩර් (LiDAR) තාක්ෂණයෙන් කන්ද සිතියම්ගත කිරීම


දුම්රිය මාර්ගය හා ප්‍රධාන මාර්ගය අතර බෑවුමේ ඇති අවදානම් සහිත ගල් මොනවාද යන්න ලයිඩර් (LiDAR) තාක්ෂණය යොදා ගනිමින් හඳුනා ගැනීමට හැකි බව මහාචාර්ය අතුල සේනාරත්න පෙන්වා දීම විශිෂ්ට මඟ පෙන්වීමකි. ලයිඩර් තාක්ෂණයෙන් ඝන ශාක ආවරණය යට ඇති සැබෑ භූමි හැඩය, පැලුම්, ඉරිතැලීම් සහ ලිස්සා යන ලකුණු හඳුනා ගැනීම, කුමන ගල් ලිහිල්ව ඇත්ද, කුමන ගල් බෑවුමෙන් වෙන්වීමට ආසන්නද යන්න ත්‍රිමාණව සිතියම්ගත කිරීම, සහ මාස කිහිපයකට වරක් නැවත මැනීමෙන් බෑවුම මිලිමීටර ගණනින් හෝ චලනය වෙනවාද යන්න හඳුනා ගැනීම ආදිය සිදු කළ හැකි බව පැවසෙයි. වැසි තත්ත්වය අඩුවීමත් සමඟ වගකිව යුතු ආයතන මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව තිබෙන බව මහාචාර්ය සේනාරත්න කියයි. වැස්ස නැවතුණු පසු අමතක කිරීම නොව, වැස්ස නැවතුණු පසු පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් කළ යුතුය.

පැලැස්තර නොව ස්ථිර විසඳුම්


පැලැස්තරෙන් ස්ථිර විසඳුමක් නැත. ඒ මොහොතට අවශ්‍ය ලෙස පැලැස්තර යොදා ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදිය නොහැකි බවද මහාචාර්යවරයා අවධාරණය කරයි. මාර්ගය වසා, පස් ඉවත් කර, යළි විවෘත කිරීම අත්‍යවශ්‍ය හදිසි ක්‍රියාමාර්ගයකි. එහෙත් එය බෑවුම සුවපත් කරන්නේ නැත. සැබෑ විසඳුමක් සඳහා අවශ්‍ය වන්නේ;

1- සම්පූර්ණ බෑවුම් සමීක්ෂණයක්: අක්කර 500ක පමණ කලාපයම ලයිඩර්, භූ භෞතික සමීක්ෂණ සහ භූ විද්‍යාත්මක සිතියම්ගත කිරීමකින් ආවරණය කිරීම.
අවදානම් ගල් ඉවත් කිරීම හෝ ස්ථාවර කිරීම: ලිහිල් ගල් හඳුනාගෙන, පාලිත ලෙස ඉවත් කිරීම හෝ ඇන්කර්, දැල් සහ ආරක්ෂක බාධක යොදා ස්ථාවර කිරීම.

2- ජල කළමනාකරණය: බෑවුමට වතුර උරා ගැනීම අඩු කරන කාණු පද්ධතියක් සහ මතුපිට ජලය ඉක්මනින් ඉවත් කරන ක්‍රමයක්.

3- අඛණ්ඩ නිරීක්ෂණය: වැසි මාපක, බෑවුම් චලන සංවේදක සහ නිතිපතා පරීක්ෂා කිරීම් සහිත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක්.

4- ආයතන අතර සම්බන්ධීකරණය: මාර්ග සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් පරිපාලනය එකම සැලැස්මකට වැඩ කිරීම.

මහජනතාවගේ වගකීම සහ ඉදිරි අභියෝගය

මහජනතාවට ද මේ සම්බන්ධයෙන් කළ යුතු දේ ඇත. අධික වැසි වේලාවේ කඩුගන්නාව හරහා ගමන් කිරීමෙන් වැළකීම හෝ විකල්ප මාර්ග භාවිතය ගැන පොලිසියේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිවේදනවලට අවධානය යොමු කිරීම, රාත්‍රී කාලයේ මාර්ගය වසා දැමීමේ තීරණවලට ගරු කිරීම (මන්ද ගල් පෙරළීම බොහෝ විට රාත්‍රියේදී පවා නොපෙනී සිදුවිය හැකි බැවිනි; කඩුගන්නාව – ගනේතැන්න කොටස රාත්‍රියේ සම්පූර්ණයෙන් වසා දැමීමට ද තීරණය වී තිබුණේ ඒ නිසාය), සහ බෑවුමේ අලුත් ඉරිතැලීම්, ගස් ඇලවීම, ගල් කුඩා ප්‍රමාණයෙන් වැටීම හෝ ජලය කැළඹිලි සහිතව ගලා ඒම දුටුවහොත් වහාම ළඟම පොලිසියට හෝ ආපදා කළමනාකරණ ඒකකයට දැනුම් දීම ඒ අතර වේ.

කඩුගන්නාව යනු ශ්‍රී ලංකාවේ හදවතට පිවිසෙන දොරටුවයි. එබැවින් ප්‍රශ්නය තවදුරටත් “කඩුගන්නාවේ නාය යාවිද?” යන්න නොවේ. ප්‍රශ්නය වන්නේ, “අපි එය නාය යන්නට පෙර හඳුනාගෙන, විද්‍යාත්මකව, ස්ථිරව විසඳන්නට සූදානම්ද?” යන්නයි.


මුලාශ්‍ර සබැඳිය : විනිවිද වෙබ් අඩවිය


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...