The Leader News
BREAKING
Top Ad
පුවත්

වෙහෙස මහන්සි වී වැඩ කළ මිනිස්සු වෙනුවෙන් 2026 අයවැයේ තිබෙන්නේ මොනවා ද? - පුබුදු ජයගොඩ විමසයි

T

The Leader Desk

November 9, 2025 • 4:50 PM

වෙහෙස මහන්සි වී වැඩ කළ මිනිස්සු වෙනුවෙන් 2026 අයවැයේ තිබෙන්නේ මොනවා ද? - පුබුදු ජයගොඩ විමසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ වතු කම්කරුවන් සහ ගාමන්ට් ෆැක්ටරිවල වැඩකරන මිනිස්සු කොඳු කඩාගෙන වහෙසෙමින් රටේ ආර්ථිකයට
  • "ඊයේ (07) දවසේ 2026 සඳහා NPP ආණ්ඩුවේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
  • ඇත්තටම රටේ ආර්ථිකය යම් තරමකින් හරි ගොඩගන්න මහන්සි වෙලා තියෙන්නේ කවුද?
  • ඒ අය වෙනුවෙන් ද 2026 අයවැය හැදිලා තියෙන්නේ?
අකුරු ප්‍රමාණය (Font Size):

අමතර ඩොලර් මිලියන 700ක් සපයා දී ඇති අතර විදෙස්ගත ශ්‍රමිකයන් මේ වසරේ වැඩිපුර ඩොලර් බිලියන 1ක් සොයා දි ඇති බවත්, මේ ආකාරයට වෙහෙස මහන්සි වී වැඩ කළ මිනිස්සු වෙනුවෙන් 2026 අයවැයේ තිබෙන්නේ මොනවා දැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විමසයි.

ඔහු මෙම පැනය ඉදිරිපත් කළේ ඊයේ (08) ජන අරගල සන්ධාන සංවිධානය කළ, කොළඹ මහජන පුස්තකාලයේ පැවති ''නව ලිබරල් ආඛ්‍යානයට එරෙහිව  IMF -  ආර්ථික විද්‍යාව සහ විකල්ප" මැයෙන් වූ කතිකාවේ දී ය.

එම කතිකාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ

අයවැයට විපක්ෂයෙන් විවේචනයක් එල්ල නොවුණේ ඇයි...?

"ඊයේ (07) දවසේ 2026 සඳහා NPP ආණ්ඩුවේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි දී අනුර දිසානායක ජනාධිපතිවරයා කිව්වේ රටේ මේ වෙද්දි කිසිඳු මූල්‍ය අර්බුදයක් නැහැ සියල්ල යථා තත්ත්වයට පත් වෙමින් තියනවා කියලා. මේ අයවැයේ මූලධර්ම සම්බන්ධයෙන් කිසිඳු විවේචනයක් විපක්ෂය පැත්තෙන් එල්ල වුණෙත් නැහැ. විපක්ෂය කියන්නේ එක්කෝ මේක පච අයවැයක්, නැතිනම් සිහින අයවැයක් කියලා.

නමුත් අපි හිතනවා මෙවර ඉදිරිපත් කරපු අයවැය ඉතාම භයානකයි. සහ රටේ ජනතාව මේ ප්‍රශ්නය දැන්වත් බැරෑරුම්ව ගන්න ඕන. ඇත්තටම රටේ ආර්ථිකය යම් තරමකින් හරි ගොඩගන්න මහන්සි වෙලා තියෙන්නේ කවුද? ඒ අය වෙනුවෙන් ද 2026 අයවැය හැදිලා තියෙන්නේ? මෙන්න මේ ප්‍රශ්නය අපි මුලින්ම විසඳගත යුතුයි.

බහුජාතික සමාගම් නිසා වාර්ෂිකව ඩොලර් මිලියන 413කට වැඩි අලාභයක්

මේ 2025 අවුරුද්දේ මුල් මාස නවය ඇතුළෙ ගිය අවුරුද්දේ මුල් මාස නවයට වඩා අපනයන ආදායම් ඩොලර් මිලියන 700කින් විතර ඉහළ ගිහිල්ලා. ඒ කියන්නේ ලංකාවේ වතු කම්කරුවෝ ටිකයි ගාමන්ට් ෆැක්ටරිවල වැඩකරන මිනිස්සුයි කොඳු කඩාගෙන නැහිලා නැහිලා රටේ ආර්ථිකයට අමතර ඩොලර් මිලියන 700ක් හොයලා දිලා. ඊළගට විදෙස්ගත ශ්‍රමිකයන් මේ අවුරුද්දේ වැඩිපුර ඩොලර් බිලියන 1ක් හොයලා දීලා තියනවා. දැන් මේ කට්ට කාගෙන වැඩ කරපු මිනිස්සු වෙනුවෙන් 2026 අයවැයේ තියෙන්නේ මොනවද ? අපි දන්න විදිහට ඒ මිනිස්සුන්ගේ සුබසාධනය වෙනුවෙන් කිසිඳු පියවරක් අරගෙන නැහැ.

දැන් රටේ ආර්ථිකයට ඇත්තටම මොකද වෙලා තියෙන්නේ ?  මේ අවුරුද්දේ මුල් මාස නවය ඇතුළෙ අපේ ආනයන වියදම් ගිය අවුරුද්දට වඩා ඩොලර් මිලියන 1671කින් වැඩි වෙලා. එතනින් ඩොලර් මිලියන 1204ක් වැයවෙලා තියෙන්නේ වාහන ආනයනය සඳහා. ඒ කියන්නේ දේශීය සහ විදෙස්ගත ශ්‍රමිකයෝ නැහිලා නැහිලා ඩොලර් හොයලා දුන්නට වැඩක් නැහැ. ඒ සල්ලි නැවත වාහන මිලදී ගන්න වියදම් කරලා. මෙතන තියන ප්‍රශ්නය තමයි ඒ වාහන ගෙන්නලා තියෙන්නෙත් සාමාන්‍ය ජනතාවට මගී ප්‍රවාහණය සඳහාවන බස්‍ රථ, දුමිරිය, ත්‍රීරෝද රථ වගේ ඒවා නෙමෙයි. ධන කුවේරයන්ට සුඛෝපභෝගී වාහන තමයි ගෙන්නලා තියෙන්නේ.

ඊළගට ජනාධිපතිවරයා කිව්වා ඍජු විදේශ ආයෝජන වැඩිවෙලා කියලා. මේ අවුරුද්දේ මුල් මාස නවය ඇතුළෙ ඩොලර් මිලියන 827ක් ඍජු විදේශ ආයෝජන විදිහට රට ඇතුළට ඇවිත් තියනවා. මෙතනිනුත් නව ආයෝජන විදිහට ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 124යි. මේ ආයෝජන ආවට වැඩක් නැහැ. මොකද මේ ආයෝජනවල ලාභය විදිහට ඩොලර් මිලියන 779.5ක් රටෙන් එළියට අරන් ගිහින්. ඒ කියන්නේ අපිට ඩොලර් මිලියන 40ක් විතර තමයි අපිට ඉතුරුවෙලා තියෙන්නේ.

පසුගිය ඔක්තෝබර් මාසේ නිකුත් වුණා හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම්  වාර්තාවක්. ඒකෙ කියන විදිහට මේ ආයෝජකයෝ කියාගෙන ලංකාවට එන බහුජාතික සමාගම් බදු ගෙවන්නේ නැතුව වාර්ෂිකව ඩොලර් මිලියන 413කට වැඩි අලාභයක් කරනවා ලංකාවේ ආර්ථිකයට. හැබැයි ඒ තක්කඩියෝ ටික වෙනුවෙන් තමයි මෙවර අයවැයේ වැඩිම බරක් තියලා තියෙන්නේ.

ලංකාවේ පොදු කම්කරු නීතිය බලනොපාන විශේෂ ආයෝජන කලාප සැලසුමක්

FDI එහෙම නැත්තම් විදේශීය ආයෝජකයන් වෙනුවෙන් නව පනත් ගණනාවක් ගේන්න නියමිතයි කියලා ජනාධිපතිවරයා කිව්වා. කොළඹ වරාය නගර පනත සංශෝධනය කරනවා කිව්වා, ක්‍රමෝපාය ව්‍යාපෘති සංවර්ධන පනත, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව පනත, ආයෝජන ආරක්ෂණ පනත මේ සියලු පනත් 2026 අවුරුද්දේ ගේන්න නියමිතයි. හැබැයි ඩොලර් බිලියනක් වැඩිපුර හොයලා දුන්න විදෙශ් ශ්‍රමිකයන් වෙනුවෙන් එක පනතක් නැහැ. දේශීය කම්කරුවෝ නැහිලා නැහිලා ඩොලර් මිලියන 700ක් වැඩිපුර හොයලා දුන්නා. ඒ අයට කෘතගුණ සලකන්න යන්නේ කම්කරු අයිතිවාසිකම් මුළුමනින් ම අහෝසි කරන තනි කම්කරු නීතිය ගෙනල්ලා.

 ඒ විතරක් නෙවෙයි. බ්‍රිතාන්‍යයන් පවා නොකළ විදිහට ස්ත්‍රීන් සහ ළමුන් සේවයේ යෙදවීම පිළිබඳ පනතට අතිශයින් භයානක සංශෝධනයක් ගෙනල්ලා තියෙන්නේ. ඒ මදිවට පෞද්ගලික අංශය ලවා ලංකාවේ පොදු කම්කරු නීතිය බලපාන්නේ නැති විශේෂ ආයෝජන කලාප ඇති කරන්නත් ආණ්ඩුව ලෑස්ති වෙනවා. මේක ජේ ආර්වත් කළේ නැහෑ. ජේ ආර් පවා ආයෝජන කලාප හැදුවේ රජයේ මැදිහවීමක් එක්ක. අනිත් බරපතළ ම කාරණය තමයි ඉඩම් බැංකුවක් හදන කතාව. අර මොණරාගල වගේ පැතිවල ඉන්න ගොවියගේ ඉඩම් ටික කොළඹ ඉඳගෙන කොල්ලකන්න පුළුවන් විදිහේ පහසුකමක් බහුජාතික සමාගම්වලට හදන්න තමයි මේ නීතිය ගේන්නේ.

ඊළගට සිංගප්පූරු තමසෙක් ආකෘතියේ හෝල්ඩිං කම්පැනියක් හදන්න කතා කළා. මේක ගේන්නෙත් ලංකාවේ දැනට තියන කර්මාන්ත ටිකත් කුණු කොල්ලෙට ආයෝජකයන්ට දීලා දාන්න. දේපළ වෙළඳාම් සමාගම් 70කට විශාල බදු සහනයක් දීලා. ඒගොල්ලො මොනවද ආර්ථිකයට ලබාදෙන දායකත්වය. ඊටපස්සෙ නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරන්න කතා කළා. මේ හැම යෝජනාවක් ම එන්නේ අර බදු වංචා කරන සාමාන්‍ය ජනතාව සූරාකන මහාපරිමාණ ප්‍රාග්ධනය වෙනුවෙන්.

සමාගම් සේවකයින්ගෙන් අය කරන බදු බිලියන 215යි; සමාගම් අයිතිකාරයන්ගෙන් අය කරන බදු බිලියන දෙක යි.  

මෙවර අයවැයේ සමස්ත රාජ්‍ය ආදායමෙන් 92.64%ක්ම තියෙන්නේ බදු ආදායම්. ඒ කියන්නේ රජයට වෙන ආදායම් එන්න ක්‍රමයක් නැහැ. දැන් ජනාධිපතිතුමා චණ්ඩියෙක් වගේ පාර්ලිමේන්තුවේ දි කිව්වනෙ රජය කර්මාන්තවලින් ඉවත් වෙන්න ඕන, ඒවා ඔක්කොම පෞද්ගලික අංශයට පවරන්න ඕන කියලා. මේක තමයි ඒකේ කතාව. රජය සම්පූර්ණයෙන් කර්මාන්ත ක්ෂේත්‍රයෙන් ඈත් වෙනවා. ඊටපස්සෙ සාමාන්‍ය ජනතාව කොඳු කඩාගෙන වැඩ කරලා රජයට බදු ගෙවන්න ඕන. නැත්තම් රජය පවත්වාගෙන යන්න වෙන පාරක් නැහැ. ඇමරිකාවේ අන්ත දක්ෂිණාංශික ජනාධිපති ට්‍රම්ප් පවා කියනවා වානේ කර්මාන්තය පෞද්ගලික අංශයට දීලා බැහෑ; ඒකට රජය මැදිහත් වෙන්න ඕන කියලා.

ඒ අස්සේ අපේ එක්කෙනා පාර්ලිමේන්තුවේ දි කියනවා රජය සිමෙන්ති හදන්න ඕන නැහැ; සිමෙන්ති කර්මාන්ත ශාලාව පෞද්ගලික අංශයට දෙන්න ඕන කියලා. ඔන්න ජනතාවාදී කියාගත්ත ආණ්ඩුවේ වැඩ. මේ බදු ආදායම ගත්තම ඒක කවුද ගෙවන්නේ? බදු ආදායමෙන් 24.64%යි ආදායම් බදු තියෙන්නේ. සමස්ත බදු ආදායමෙන් 75.36%ක්ම තියෙන්නේ වක්‍ර බදු; ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව ගන්න හාල් ටිකෙන් පරිප්පු ටිකෙන් ගෙවන බදු. මෙවර උපයගන්න බලාපොරොත්තු වෙන ආදායම් බදු රුපියල් බිලියන 1210න් පවා බිලියන 215ක් ගෙවන්න ඕන වැටුප් ශ්‍රමිකයන්. ඒකට තමයි වැඩකරන ජනතාව මත උපයන විට ගෙවන බද්දක් ගහලා තියෙන්නේ.

ඊළඟට වැඩිහිටි ජනතාව තමන්ගේ කීයක් හරි එකතුකරලා බැංකුවේ දැම්මහම ඒකට ගහන විත් හෝල්ඩිං ටැක්ස් එකෙන් බිලියන 185ක් මංකොල්ල කන්න යනවා. ඔහොම බෙදලා බැලුවම මෙවර ආදායම් බදුවලින් සමාගම්වල ලාභය මත අයකරන ඍජු බද්දෙන් රජය අපේක්ෂා කරන්නේ බිලියන 2යි. සමාගම්වල වැඩ කරන මිනිස්සුන්ගෙන් බිලියන 215ක් ගන්න ආණ්ඩුව සමාගම් අයිතිකාරයන්ගෙන් ගන්නේ බිලියන 2යි. එතකොට කවුරු වෙනුවෙන්ද මේ අයවැය හදලා තියෙන්නේ?

අර්බුදයේ සමස්ත බර වැඩ කරන පන්තියේ කර මත

භාණ්ඩ හා සේවා මත මෙවර අපේක්ෂා කරන බදු ආදායම රුපියල් බිලියන 2937ක්. ලංකාවේ දැනට ගෙවල් ලක්ෂ 60ක් තියනවා. එතකොට එක ගෙදරක් මාසෙකට රුපියල් 40,798 ගානේ රජයට බදු ගෙවන්න ඕන. අන්තිමට බලද්දි ආර්ථිකය ගොඩගන්න ඩොලර් ටිකයි රුපියල් ටිකයි හොයලා දීපු වැඩ කරන ජනතාව කඩේ ගිහිල්ලා බඩු ගනිද්දි ඒකටත් විශාල බද්දක් ගහලා. ඒ කරලා මහාපරිමාණ සමාගම් හිමියන්ට අයවැයෙන් අධික සහනයක් දෙනවා. එහෙම කරලා ඇවිත් පම්පෝරි ගහනවා අපි ආර්ථිකය ගොඩ ගත්තා කියලා.

මේ මහාපරිමාණ ධනපතියෝ තමයි ඩොලර් බිලියන 58ක් වංචනිකව රටෙන් එළියට ඇදලා තියෙන්නේ. මේවා කියන්නේ අපි නෙවෙයි පාර්ලිමේන්තු වාර්තාවල තියෙන්නේ. අන්තිමට ඒ කූට ජාවාරම්කරයින්ට සහන දීලා අර්බුදයේ සමස්ත බර වැඩ කරන පන්තියේ කර උඩ පටවන්න මේ ආණ්ඩුවත් තීරණයක් අරගෙන.

ණය ගෙවීම සඳහා සමස්ත රාජ්‍ය වියදමෙන් 63%ක්

මේකට අමතරව මධ්‍යම රජය ප්‍රාදේශීය සභා නගර සභාවලට කරන වියදම් කප්පාදු කරන්න යෝජනා කරනවා. එතකොට ඒ ආයතන නඩත්තු කරන්න පවා සාමාන්‍ය ජනතාව අලුතින් බදු ගෙවන්න ඕන. මේ සෙල්ලම නිසා ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ සාමාන්‍ය ජනතාවට සිද්ධ වෙනවා දෙපාරක් බදු ගෙවන්න. මොකද ප්‍රාදේශීය සභා නගරව සභාවලට ආදයම් හොයන්න වෙන ක්‍රමකයක් නැහෑ. ඒගොල්ලන්ට වෙන්නෙත් නැවත බදු ගහන්න තමයි. දැන් මේ ඔක්කොම කරලා පම්පෝරි ගහනවනේ ආර්ථිකය ගොඩ දැම්මා කියලා. ඒ ගැනත් අපි කියන්නම්.

මෙවර අයවැයේ සමස්ත රාජ්‍ය වියදම් ප්‍රමාණය රුපියල් බිලියන 7057ක් තියනවා. ඒකෙන් රුපියල් බිලියන 4495ක්ම වෙන් කරන්නේ ණය ගෙවන්න. ඒ කියන්නේ අපේ සමස්ත රාජ්‍ය වියදමෙන් 63%ක්ම වෙන් කරලා තියෙනේ ණය ගෙවන්න. අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහණය, දිළිඳු සුබසාධන  මේ හැම එකටම වෙන් කරන්නේ 30%යි. එහෙම තත්වයක් ඇතුළෙත් රුපියල් බිලියන 3740ක් අලුතින් ණය ගන්න ඊයේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලුවා.

මේක තමයි අපි කියන අර්බුදය. මිනිස්සු කොඳු කඩාගෙන වැඩ කරලා බදු ගෙවනවා. ඊටපස්සෙ ඒවගෙන් දේශීය සහ විදේශීය ආයෝජකයන්ට සහන දීලා ආයෙමත් ණය ගන්නවා ආර්ථිකය දුවවන්න. ඊටපස්සෙ ඒ ණය නැවත ගෙවන්න වෙන්නෙත් වැඩ කරන  ජනතාවට. දැන් ඒ ණය අපි කොහොමද ගෙවන්නේ ?

ආණ්ඩුවට නොතේරෙන, පහේ හපනුන්ට තේරෙන දේ...

2024 අවුරුද්ද අවසන් වෙද්දි අපේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6091යි. හැබැයි 2025 අගෝස්තු අවසන් වෙද්දිත් සංචිත ප්‍රමාණය වැඩිවෙලා තියෙන්නේ ඩොලර් මිලියන 6178ක් දක්වා විතරයි. ඒ කියන්නේ මාස 8ක් තිස්සේ අලුතින් හොයලා තියෙන්නේ ඩොලර් මිලියන 87යි. අපි නැවත ණය නොවී ණය පොලී වාරික ගෙවන්න නම් මේ දෙසැම්බර් 31 වෙද්දි ඩොලර් මිලියන 7174ක් සංචිත විදිහට තියාගන්න ඕන. හැබැයි අද වෙද්දි සංචිත තියෙන්නේ ඩොලර් මිලියන 6240යි. මාස අටකදි හෙව්වේ ඩොලර් මිලියන 87යි නම්. අපි කොහොමද ඉතුරු මාස දෙක ඇතුළෙ ඩොලර් මිලියන 953ක් හොයන්නේ? ඒක කොහොමවත් කරන්න බැහැ.

දැන් ආණ්ඩුව අපෙන් අහනවනේ අර්බුදය මොකක් ද කියලා. මේක තමයි අර්බුදය. අන්තිමට නැවත ඩොලර් බිලියනයක ණයක් ගන්න වෙනවා. ඊළඟට 2026 දෙසැම්බර් 31 වෙද්දි සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 9262ක් දක්වා වර්ධනය කරගන්න ඕන. ඊළඟට 2028 අපි නැවත ණය ගෙවන්න නම් 2027 දෙසැම්බර් අවසන් වෙනකොට ඩොලර් මිලියන 13466ක් දක්වා සංචිත වැඩි කරගන්න ඕන. ඒ කියන්නේ අවුරුදු දෙකක් ඇතුළත දැන් තියන සංචිත ප්‍රමාණය දෙගුණයක් කරන්න ඕන. පොඩි ළමයෙකුට උනත් තේරෙනවා මේ කරන්න බැහැ කියලා.

අත ඇල්ලීමෙන් දැනෙන අමුතු බත් දීම

අන්තිමට මේ සල්ලි හොයන්න ආණ්ඩුව කරන්නේ තව ණය ගන්න එක. ණය ගන්නවා; ඊට පස්සෙ රටේ තියන දේපළ විකුණනවා. විදුලිබල මණ්ඩලය, ඊටපස්සෙ කර්මාන්ත ශාලා, මන්නාරමේ ත්‍රීකුණාමලේ ඉඩම්. මේවා විකුණන සැලසුම් එන්නේ මේ නිසා. අපි කට කැඩෙනකල් කිව්වා මේ ආණ්ඩුවට අර රනිල් හදලා ගියපු මේ ණය උගුලේ වැටෙන්න එපා කියලා. හැබැයි කනකටවත් ගත්තේ නැහෑ. දැන් ඒක දුර්විපාක ගෙවන්න වෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවටයි පොඩි ළමයින්ටයි. ඒ ළමයි යන ඉස්කෝල ටික වහනවා. මිනිස්සුට ලෙඩ වුනාම බෙහෙත් ගන්න විදිහක් නැති වෙනවා. ඕක තමයි අන්තිමට වෙන්නේ.

ජනාධිපති තුමා ඊයේ පාර්ලිමේන්තුවේ දි කරපු අයවැය කතාව ඇහුවම අන්තිමට අපිට මතක් වෙන්නේ පරණ ජන කවියක්.

"ගසට කෙටුම ගස මුල පෑයුමෙන්      දැනේ
මිනිහා නොමිනිහා යන කඩිසරෙන්    දැනේ
අමුතු බත් දීම අත ඇල්ලුමෙන්          දැනේ
හානා හීය පානා අඬහැරෙන්             දැනේ "

ආණ්ඩුව ජනතාවට දෙනවා කියන සුබසාධන ගැන කියන්න තියෙන්නෙත් අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ කියලා තමයි. ජනතාවට දෙනවා දෙනවා කිව්වට හම්බෙන දෙයක් නැහෑ. ඔක්කොම දෙන්නේ ධනපතියන්ට. අන්තිමට කියන්න තියෙන්නේ මේ විදිහට වැඩ කරලා ආණ්ඩුව හාගන්නයි යන්නේ. ඒ හාන හෑම කොච්චරක් ද කියලා ඊයේ ජනාධිපති තුමා පාර්ලිමේන්තුවේදි පාපු අඬහැරෙන් අපිට හිතාගන්න පුළුවන්."

" නව ලිබරල් ආඛ්‍යානයට එරෙහිව  IMF -  ආර්ථික විද්‍යාව සහ විකල්ප " මැයෙන් සංවිධානය කළ ආර්ථික කථිකාවතක් ඊයේ  (2025. 11. 08 ) දින කොළඹ මහජන පුස්තකාලයේදී පෙරවරු 10ට ආරම්භ විය.

 

 

 ආර්ථික බිඳවැටීමට ප්‍රධාන හේතුව වුණේ ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම
- මහාචාර්‍ය සුමනසිරි ලියනගේ


cgy56546| මහාචාර්‍ය සුමනසිරි ලියනගේ

 
 "මීට කාලෙකට කලින් උත්තර ලබාගත යුතුව තිබුණු ප්‍රශ්නයක් තමයි අද අපි මේ සාකාච්ඡා කරන්නේ. අද ගොඩක් අය කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගිහින් ආර්ථික අර්බුදයට විසඳුමක් හොයන්න බැරි තත්වයට රට පත්වෙලා තිබුණා කියලා. නමුත් ඒ කාරණය ඇත්තක් ද? අපි දන්නවා ලෝකයේ ආර්ථිකය ගමන් කරන්නේ චක්‍රීයව. ලංකාවේ ඇත්තටම ආර්ථික අර්බුදය ආරම්භ වුණේ 2016 අවුරුද්දේ. ඒ අර්බුදයට විසඳුමක් හොයන්න 2017 අවුරුද්දේ එවකට ආණ්ඩුව IMF එකට ගියා. ඒ කාලේ ඩොලර් මිලියන 10ක ISD විකුණුවා. හැබැයි ඒ දෙකම කරලත් 2020 අවුරුද්ද වෙද්දි ලංකාවේ ආර්ථිකය ඍණ අගයක් දක්වා පහත වැටුණා. මේ අගය 2022  වෙද්දි තිබුණේ ඍණ හතක පමණ ඉතාම අඩු අගයක.

මේ ආර්ථික බිඳවැටීමට ප්‍රධාන හේතුව වුණේ ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම. මේක අපි කියන්නේ ඉතාම වගකීමෙන්. මොකද IMF එක හැමවෙලාවෙම උත්සහ කරන්නේ රටක ආර්ථිකය ගොඩගන්න නෙවෙයි. මූල්‍ය අරමුදලේ උපායමාර්ගය තමයි රටවල ආර්ථිකය අවධමනයට යැවෙන ප්‍රතිපත්ති සහ කොන්දේසි දැමීම. එතකොට තමයි ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ බරපතළ විදිහට සමාජය සූරාකන්න. ආර්ථික අර්බුදයේ බර ජනතාව මත පටවලා ඒ මගින් ධනපති පන්තියට නව අතිරික්තයක් උත්පාදනය කර දීම තමයි මේ සැලැස්මේ ප්‍රධාන අරමුණ.

රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානායක හසු වුණ උගුල
අපිට ඇත්තටම පුළුවන්කමක් තිබුණේ නැද්ද IMF නොගිහින් මේ ප්‍රශ්නය විසඳගන්න. මෙවැනි ආර්ථික අර්බුදවලට පත් වුණු රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගිහින් තමන්ගේ ආර්ථිකය නැවත යථා තත්වයට පත් කරගත් අවස්ථා ඕනෑ තරම් තියනවා. ඒ නිසා කාටවත් කියන්න බැහැ එකම විසඳුම IMF කියලා. ඉක්වදෝරය ඒකට ආසන්නම උදහරණයක්.

ඉක්වදෝර් රාජ්‍යයේ ආර්ථික අර්බුදය ආව වෙලාවේ IMF එක ඉතාම දරුණු ආර්ථික කොන්දේසි පැනෙව්වා. ඒ වෙලාවේ ඉක්වදෝරයේ මුදල් ඇමතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට විරුද්ධ වුණා. නමුත් ඔහුගේ කීමට ඇහුන්කන් නොදී ඉක්වදෝරයේ පාලකයින් IMF ගියා. ඒ වෙලාවේ මේ මුදල් ඇමතිවරයා තමන්ගේ ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඔහු තමයි රෆායල් කොරයා. පසුව ඔහු ජනාධිපති ධුරයට පත්වෙලා IMF කොන්දේසිවලින් ඉවත් වෙලා රට නැවත යථා තත්වයට ගත්තා. ඒ නිසා ලෝකේ ඕනෑතරම් තියනවා IMF නොගිහින් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම ගැන උදහරණ. එහෙම නම් ඇයි අපිට IMF යන්න වුණේ.

මෙතන ඇත්තටම තියෙන්නේ දේශපානලන ප්‍රශ්නයක්. ලෝකයේ මූල්‍ය උගුලෙන් ගැලවෙන්න අධිරාජ්‍යවාදී රටවල් අපි වගේ තුන්වෙනි ලෝකයේ රටවලට ඉඩ තියන්නේ නෑ. ඒ උගුලට තමයි රනිල් වික්‍රමසිංහලා, අනුර දිසානායකලා අහුවෙලා ඉන්නේ. මේකෙන් ගැලවෙන්න ඔවුන්ට පුලුවන් කමක් නෑ.

මාලිමා ආණ්ඩුවට සහ අනුර දිසානායකට නව ලිබරල් ක්‍රමයෙන් ගැලවෙන්න බැරි වුණේ ඇයි...?
මේකට හොඳම උදහරණය ජාතික ජන බලවේග ආණ්ඩුව මෙවර ඉදිරිපත් කරපු අයවැය ලේඛනය. මෙවර අයවැය මුළුමනින් ම සකස් වෙලා තියෙන්නේ මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව. අපි දන්නවා වාණිජ මණ්ඩලය ඍජුව ම සම්බන්ධයි ගෝලීය ප්‍රාග්ධනය එක්ක. පසුගිය කාලේ රටේ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගත්ත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වගේම නන්දලාල් වීරසිංහ වගේ අය මේ ක්‍රමයේ නියෝජිතයින්. ඉතින් ඔවුන් කොහොමත් කටයුතු කරන්නේ ඔවුන් නියෝජනය කරන පන්තියට වාසි සහගත විදිහට. හැබැයි මාලිමා ආණ්ඩුව සහ අනුර දිසානායකට ඇයි මේ නවලිබරල් ක්‍රමයෙන් ගැලවෙන්න බැරි වුණේ. හේතුව තමයි මේ ආණ්ඩුවට ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනය එක්ක හැප්පෙන්න හයියක් නෑ.

මේ අපේ පන්තිමය දුර්වලතාවයක්. ඒ දුර්වල කමට උත්තරය තියෙන්නේ සංවිධානය වීම ඇතුලේ.  අපි මේ ප්‍රශ්නය දිහා බලන්න ඕන පන්තිමය දෘෂ්ටියකින්. එහෙම බැලුවාම අනුර දිසානායක ප්‍රමුඛ NPP ආණ්ඩුව ගමන් කරමින් ඉන්න පාර ගැන අපි පුදුම විය යුතු නැහැ. ඔවුන් උවමනාවෙන්ම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි එක්ක ගමන් කරමින් ඉන්නේ.

ඒ නිසා විකල්ප මතයක් දරණ පිරිසක් විදිහට ගෝලීය ප්‍රාග්ධනයට එරෙහී ප්‍රහාරය දියත් කිරීමේ වගකීම අද අපිට පැවරිලා තියනවා. ඒක අපිට තනිවම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා අපි සියලු දෙනා සංවිධානය වෙමින් විශාල මහජන බලයක් ගොඩනගන්න ඕන."

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...