කඳුකර වතුකරයේ තත්ත්වයට වඩා පහතරට වතුකරයේ තත්ත්වය වෙනස් සහ දියුණු බව බාහිරින් බලන කල දිස් වුවද, ඔවුන් ගේ ජාතික සහ සංස්කෘතික අනන්‍යතාවය වේගයෙන් විනාශ වෙමින් පවතී. හේතුව ඔවුන් සිංහලකරණය වීම ය. එය ඔවුන්ගේ ජාතියට සහ සංස්කෘතියට සිදුවන හානියකි.
කඳුකර සමාජ සංවිධානයෙහි අධ්‍යක්ෂ මාරිමුත්තු සතිවේල් පියතුමා

ඔවුන්ගේ අධ්‍යාපනය ගැන බලන විට තමන්ගේ භාෂාවෙන් උසස් අධ්‍යාපනය දක්වාම ඉගෙනීම් කටයුතු කළ හැකි පාසල් කොතෙක් නම් දකුණේ වතුකරයෙහි සහ ඒ ආශ්‍රිතව තිබෙනවාද? දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමට ඔවුන්ට පාසල් හරිහැටි නොමැති නම් එය ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය උදුරා ගැනීමකි. සිංහල ජාතික දරුවකු දෙමළ පාසලකට යවා දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමට එම දරුවාගේ දෙමව්පියන් කැමති වන්නේ නැත. යුද්ධය නිසා පසුකාලීනව නැතිවී ගියත් අතීතයේ යාපනයේ සහ මඩකලපුවේ ජීවත් වූ සිංහල ජනතාව වෙනුවෙන් සිංහල මහා විද්‍යාල තිබිණි. වවුනියාවේදන සිංහල මහා විද්‍යාලයක් පවතී. යාපනය විශ්ව විද්‍යාලය ගැන සැලකුවහොත් එහි සිංහල මාධ්‍යය ඉගෙන ගැනීමේ හැකියාව තිබේ. නමුත් දකුණේ වතුකරයේ දෙමළ ජනතාවට දෙමළ මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනය දක්වා යා හැකි පාසල් නොතිබීමේ හෝ බෙහෙවින් අඩුවීමේ හේතුව දේශපාලනික ප්‍රශ්නයක් බව කිව හැකිය. දෙමළ ප්‍රාථමික විද්‍යාල බොහෝ ප්‍රදේශවල නොපවතින්නේ නොවේ. එය බරපතළ ගැටලුවක් වන්නේ එතැනින් එහාට අධ්‍යාපනය ලැබීමට දෙමළ පාසල් නොතිබෙන විට ය. පස්වෙනි ශ්‍රේණිය දක්වා දෙමළ මාධ්‍යයෙන් උගත් දරුවෙකුට හයවැනි ශ්‍රේණියේ සිට සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගැනීමේ හැකියාවක් නැත. මේ නිසා සිදුවන්නේ දෙමළ පාසල්වලට දෙමළ දරුවන් යාම අඩු වීම ය.

මේ පළාත්වල ජීවත්වන ද්‍රවිඩ වතු කම්කරු ජනතාව පිළිබඳ සංඛ්‍යාලේඛන ඇතුළු ඔවුන් සම්බන්ධ සියලු තොරතුරු දන්නේ එම පළාත්වල ප්‍රාදේශීය ලේකම්වරුන්, එම නිලධාරිවරයා යටතේ සේවය කරන අනෙකුත් පිරිස් සහ ග්‍රාම නිලධාරීවරුන් ය. ඒ තොරතුරු අදාළ අමාත්‍යාංශයට එවීම ප්‍රාදේශීය ලේකම්වරයාගේ වගකීමයි. ඉන්පසු පළාතේ දේශපාලනඥයන් තමාගේ ප්‍රදේශයේ ගැටලු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. කිලෝමීටර් හත අට පයින් යාමට සිදුවන සමහර පාරවල් අඩුම තරමින් මෝටර් සයිකලයක් වැනි වාහනයකින් යනු තබා දෙපයින් ඇවිද යාමටවත් නොහැකි තරමට අබලන් ය. ඔවුන් මේ රටේ පුරවැසියන් වුවද ග්‍රාම සේවක සහතිකයක් ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් වතු අධිකාරීවරයාගෙන් එම වත්තේ පදිංචි වී සිටින බවට තහවුරු කළ ලිපියක් අවශ්‍ය වේ. මේ උඩරට පහත රට ඕනෑම තැනකට පොදු සංසිද්ධියකි. එසේම මෙය මේ වන විට මෙරට පුරවැසිභාවය ද ලබා හිඳින ඉන්දීය දෙමළ කම්කරුවන්ට බලපාන ප්‍රශ්නයක් මිස රටේ ජනතාවට පොදුවේ බලපාන්නක් නොවේ. ඒ අනුව බලන විට ඇතැම් පුරවැසි අයිතීන් පවා ඔවුන්ට හිමි නැත. තමන් කැමති දේශපාලනඥයෙකුට ඡන්දය ලකුණු කිරීමේ අයිතිය නම් හිමිකර දී තිබේ. නමුත් ඡන්දයේ ප්‍රතිඵල භුක්ති විඳීමේ අවස්ථාව ඔවුනට අහිමි ය. කඳුකරයේ විශාල ඡන්ද පදනමක් ඇති හෙයින් මැතිවරණ රැස්වීම්වලදී වතුකරයේ ජනතාව අමතන දේශපාලනඥයෝ නොයෙකුත් පොරොන්දු දෙති. නමුත් දකුණේ වතුකරයෙහි එවැනි විශාල ඡන්ද පදනමක් නොමැති නිසා ඔවුන් ගැන කතා කරන, ඔවුන්ට ආමන්ත්‍රණය කරන දේශපාලඥයන් දකුණේ දක්නට නොමැත.
මේවායේ වැඩ කරන කම්කරු ජනතාව බොහොමයකට සේවක අර්ථසාධක අරමුදල් නැත. සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් ගෙවීමකුත් නැත. 
මෙය විශාල ගැටලුවකි. අපි ලෝකයම පිළිගත් "සිලෝන් ටී" නිෂ්පාදකයින් බව සාඩම්බරයෙන් ලෝකයට පවසමු. නමුත් මේ වෙනුවෙන් ලේ කඳුළු දහඩිය වගුරන කම්කරුවන් ව පිච්චියකටවත් මායිම් නොකරමු. රැකියාව වෙනුවෙන් විඳිනු ලබන අනේක විධ වූ කටුක දුක් පසෙකින් තැබුවත්, එම රැකියාවට කිසිදු පිළිගැනීමක් නොමැතිවීම කම්කරු රැකියාවෙන් තරුණ පෙළ දුරස් වීමට බෙහෙවින් හේතු වී තිබේ. අනෙක් අතට කලිසම් කමිස හැඳ සපත්තු දමා පාසල් ගිය දරුවෙකුගේ මානසිකත්වය කලිසම් සංස්කෘතියට අනුව හැඩ ගැසෙන බැවින් ඔවුන් යළිත් කම්කරු රැකියාව කිරීම සඳහා මනස ආපස්සට හැඩගස්වා ගන්නේ නැත. දකුණේ වතුකරයෙහි නම් වෙනත් රැකියා ඕනෑ තරම් අවටින් සොයා ගත හැකිය. කඳුකරය අවට එවැනි රැකියා අවස්ථා නොමැති නිසා ඔවුහු වත්ත අතහැර නගරවලට සේන්දු වෙති. මෙසේ සාම්ප්‍රදායික රැකියාවලින් ඔවුන් ඉවත් වීම තුළින් සිදුවන්නේ එම රැකියාවන් කඩා වැටීම ය. එවිට දවසින් දවස තේ වගාව පිරිහීම තුළ එම ඉඩම් වෙනත් දේවල් සඳහා පාවිච්චි වීමේ ඉඩකඩක් පවතී.
වයසක කම්කරු පිරිස පමණක් වතුවල තබාගෙන තරුණ පිරිස පිටතට යවන මානසිකත්වයක් ඇති කර ඔවුන් රට පුරා විසිරවීම පාලකයන්ගේ වුවමනාව මත සිදුවන්නක් බව සතිවේල් පියතුමාගේ අදහසයි. 
"පසුගිය ජනාධිපතිවරණයට පෙර රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා රටේ (කඳුකරය නොවන සෙසු ප්‍රදේශවල) රජයේ ඉඩම්වල දිගුකාලීනව ජීවත්වන ලක්ෂ විස්සකට හිමිකම් ඔප්පු ප්‍රදානය කළා. 2013 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කඳුකරයේ හිස් ඉඩම් හෙක්ටයාර් තිස්හත්දාහක් තිබෙන බවත්, ඒ ඉඩම් එම ප්‍රදේශවල තරුණයන්ට බෙදා දෙන බවත් පැවසුවා. 2014 අයවැයෙන් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ද වෙන් කරනු ලැබුවා. නමුත් අඩුම තරමෙන් ඉඩම් මැනීමක්වත් සිදුවුණේ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමේදී පැවසුවේ ඔවුන්ට භෝග වගා කිරීම සඳහා ඉඩම් ලබාදෙන බවයි. නමුත් එය සිදු වූයේත් නෑ. ඊට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදීත් වතුකම්කරු දෙමළ ජනතාව වෙනුවෙන් සිදු කළ යමක් නෑ. කඳුකර ප්‍රදේශයේ ඝන කැලෑ එළිපෙහෙළි කර ඔය තත්ත්වයෙන් කඳුකරය නිර්මාණය කළේ එම කම්කරුවන්. ඒ වෙනුවෙන් දෙමළ කම්කරුවන් ලක්ෂ ගණනක් දිවි පුදා තිබෙනවා. ඔවුන් මේ රටට පැමිණ මෙම කම්කරු සේවයේ යෙදෙන කාලය ගැන බැලුවහොත් එය වසර දෙසීයද ඉක්මවා ගොස් තිබෙනවා. නමුත් ඔවුන්ට අදටත් එම ඉඩම්වල අයිතියක් නෑ. මෙය වසර ගණනාවක් තිස්සේ ඇදි ඇදී එන, දේශපාලඥයන්ට මැතිවරණ සමයේදී පමණක් මතක් වෙන ප්‍රශ්නයක් පමණයි." සතිවේල් පියතුමා වැඩිදුරටත් පැවසීය.

සබැඳි ලිපි :
නොරට සිට ආ මුතුන් මිත්තෝ (21) : රජුන් තනන්නෝ - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (19) : වත්තේ වැඩට වඩා "ගොඩේ" වැඩ අතට මිටට හොඳයි ? - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (18) : සිලෝන් ටීවලට කුමක් වෙයි ද? - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (17) : තුන් වේලට කෑම වෙනුවට බීම (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (16) : "දරුවන් වෙනුවෙන් හීන දුටු වල්ලි අම්මා (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (15) : "සාරායන් ටිකක් නොගහ මේකි එක්ක දීග කෑම නම් බොරු" (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (14) : ඔය මිනිස්සුන්ට මොකටද කරන්ට් එක ? (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (13) : රුපියල් අසූවක දුම්රිය ප්‍රවේශ පත්‍රයකින් ඉන්දියාවට (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (12) : උපන් බිමට හිමිකම් නොලද උපන් බිමේ අසරණයෝ (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (10) : වතුකර දෙමළ ජනතාව ඉන්දියාවට භාර ගැනීමට කැමැත්ත - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (9) : දෙමළ බෙදුම්වාදයට පාර කැපෙයි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (8) : වතු දෙමළ ජනතාවගෙන් ලක්ෂ 8කට පුරවැසිභාවය අහිමියි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (7) : දකුණු ඉන්දීය ශ්‍රමිකයන්ට ඩී. එස්. ගෙන් කෙනෙහිලි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (6) : අපෙන් බදු මුදල් ! සුද්දන්ගෙන් පාරවල් !! - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (5) : මාතලේ කුලදෙවියන් පිදූ තැන දේවතාවියක් - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (4) : සිලෝන් ටී වෙනුවෙන් ඔවුහු දිවි පිදූහ - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (2): සිංහලයන්ට කටඋත්තර නැති කළ සුද්දෝ (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන්මිත්තෝ : ලංකාවට කම්කරුවන් සොයා ඉන්දියාවේ පෝස්ටර් (ඉන්දු පෙරේරා)



