The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

නිවසටම වී සැඟවී සිටිනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොවීය - අපායේ කතාව 22 වැනි පරිච්ජේදය

T

The Leader Desk

April 9, 2023 • 10:47 AM

නිවසටම වී සැඟවී සිටිනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොවීය - අපායේ කතාව 22 වැනි පරිච්ජේදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉහළ මාලයෙ ජීවත්වූ පිරිස් ද සෙසු අය සමග පහළ මාලයට වී ගත කරන අයුරු දැක ගත හැකි විය.
  • ඒ හරහා පිටතින් සෝදිසි කරන පුද්ගලයකුට මෙම නිවසේ කිසිවෙකු නොමැති බව ඇඟවීම සමන්ගේ උත්සාහය විය.
  • නිවසේ ඉදිරිපස දොර ද සම්පූර්ණයෙන්ම වසා තබන ලෙස ඔහු නියෝග පැනවීය.
  • අවදියෙන් සිටි පිරිස දොරට ඉහළින් වූ කුඩා කවුළු තුළින් එබී ඉදිරියෙන් ඇති මාර්ගය පිළිබඳව විපරමින් සිටියේ කොයි මොහොතක හෝ ආගමන විගමන නිළධාරීන්ගේ කඩා වැදීම සිදු විය හැකිව තිබූ බැවිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉහළ මාලයෙ ජීවත්වූ පිරිස් ද සෙසු අය සමග පහළ මාලයට වී ගත කරන අයුරු දැක ගත හැකි විය. ඔවුහූ එකි නෙකාට මිමිණූහ. ජංගම දුරකතනවලින් මැලේසියානු ප්‍රවෘති නැරඹූහ. ඒවායෙ රෑපරාමුවල මැලේසියාවේ තැන තැන සිදුකරන ආගමන විගමන මෙහෙයුම් නරඹා පිරිස වඩාත් භීතියට පත්ව සිටියහ. යාබද නිවසේ විසූ ද්‍රවිඩ අසල්වැසියන් හට මුදල් දුන් පසු අපට කෑමට බීමට අවශ්‍ය දෑ මිලදී ගෙනැවිත් දෙන්නට තරම් ඔවුහූ අපට කාරුණික වූහ. ඉදිරිපස ගේට්ටුව සම්පූර්ණයෙන්ම වසා පිටතින් ඉබි යතුරු දමන්නට සමන් කටයුතු කළේය. ඒ හරහා පිටතින් සෝදිසි කරන පුද්ගලයකුට මෙම නිවසේ කිසිවෙකු නොමැති බව ඇඟවීම සමන්ගේ උත්සාහය විය. නිවසේ ඉදිරිපස දොර ද සම්පූර්ණයෙන්ම වසා තබන ලෙස ඔහු නියෝග පැනවීය. නිවස තුළ විදුලි බුබුළු දැල්වීම තහනම් වූ අතර කටයුතු සිදු කෙරුණේ ඉටිපන්දම් එළියෙනි. ඉටිපන්දම් උවද දැල්වුණේ බොහෝවිට මුළුතැන්ගෙයි කටයුතු වළදී පමණි.

පිරිසක් නින්දට යන විට තවත් පිරිසක් අවදියෙන් සිටිය යුතු විය. අවදියෙන් සිටි පිරිස දොරට ඉහළින් වූ කුඩා කවුළු තුළින් එබී ඉදිරියෙන් ඇති මාර්ගය පිළිබඳව විපරමින් සිටියේ කොයි මොහොතක හෝ ආගමන විගමන නිළධාරීන්ගේ කඩා වැදීම සිදු විය හැකිව තිබූ බැවිණි. ඔවුන් නින්දට යනවිට තවත් පිරිසකට එම රාජකාරිය පැවරුණි. නිවස හමුදා කඳවුරක් බඳු විය. ඇතැම් ඉන්දුනීසියානුවන් ආරක්ෂාව පතා චීන පන්සලෙන් එපිට පිහිටි වනගත කඳුකරයට පලා ගොස් සැඟවී සිටින බවද අපට දැනගන්නට ලැබිණි.

 

imi2

 

තත්වය උග්‍ර විය. මැලේසියානු ආරක්ෂක අංශවළට අයත් වාහන  රාත්‍රිය පුරා  ඔබ මොබ ගමන් ගත්තේය. ඒ අතර දුරකතන හරහා  කෙළවරක් නැති කට කතා ද පැතිරෙන්නට විය. “ අද මෙච්චරක් ඇල්ලුවා ..... ඊයෙ මෙච්චරක් ඇල්ලුවා .....  අරෙහෙ මෙච්චරක් ඇල්ලුවා .....  මෙහෙ මෙච්චරක් ඇල්ලුවා ” ආදි වූ තොරතුරු අසා ගැහැනු හඬා වැටුනහ. පිරිමිද හැඬුවේ නැතුවා පමණි. අපි සති තුනක්ම එලෙස නිවස තුලටම වී ගත කළෙමු. නමුත් කිසි විටෙක අප සිටි නිවස නිළධාරීන්ගේ පරීක්ෂාවට හසු නොවීය. සාමාන්‍යයෙන් එවැනි ආකාරයේ පේලි නිවාස තුළ පදිංචිව සිටියේ ස්වදේශිකයන් පමණි. විදේශිකයන් බොහෝ විට රැඳී සිටියේ ඒ සඳහාම ඉදිකල කාමර හා මහල් විශාල ගණනකින් යුතු තට්ටු නිවාස තුළය. ආගමන විගමන දෙපාර්තුමේන්තුව ඉලක්ක කොට තිබුනේ  එවැනි ගොඩනැගිලිය. අවට පිහිටි එවැනි ගොඩනැගිලි රැසක රැදී සිටි ඉන්දුනීසියානුවෝ, නේපාල ජාතිකයෝ, පිලිපීන් ජාතිකයෝ, හා බංගලිදේශ ජාතිකයෝ රැසක් අත්අඩංගුවට ගෙන තිබිණි. නමුත් එය  බලා පොරොත්තු වූ තරම් විශාල ගණනක් නොවීය.

 

දේශීය සාමාන්‍ය ජනතාව හැකි සෑම විටම විදේශික පිරිස් හට ආරක්ෂක අංශවලින් සැඟවී සිටින්නට උපකාර කළේය. දේශීය මිනිසුන්ගේ එදිනෙදා ආර්ථික ක්‍රියාවලියේ ප්‍රධාන කොටස් කරුවන් වුයේ සංක්‍රමණික ප්‍රජාව වූ බැවිනි. සංක්‍රමණිකයෝ ස්වදේශිකයන්ගේ නිවාස සහ ගොඩනැගිලි කුලියට ගෙන සිටි බැවින් ඒ හරහා ස්වදේශිකයෝ ආදායම් ලැබූහ. කඩමණ්ඩියේ ප්‍රධාන ගනුදෙනුකරුවන් වුයේ සංක්‍රමණික ප්‍රජාවය. සතිපොලේ ද වෙළෙන්දන් වැඩි පුර ගනුදෙනු කරණු ලැබුවේ සංක්‍රමණික ප්‍රජාව සමඟය. ආපන ශාලා, කුලී රථ, කොණ්ඩා කපන ස්ථාන පවා සංක්‍රමණිකයන් හරහා සරු ආදායම් ලැබූහ. එහෙයින් මැලේසියාවේ සාමාන්‍ය ජන ජීවීතයට සංක්‍රමණිකයන් ඉතා වැදගත් සාධකයක් විය. ඒ හෙතුවෙන්ම සාමාන්‍ය මැලේසියානුවන් සංක්‍රමණික ප්‍රජාව රජයේ මෙහෙයුමෙන් රැකගන්නට හැකි සෑම දායකත්වයක්ම ලබා දුන් බව කිව යුතුය.
         

මාස තුනක් එක දිගට ක්‍රියාත්මක කරන්නට සැලසුම් කොට තිබූ මෙහෙයුමේ සැර බාලව ගියේය. පෙරැක් ප්‍රදේශයේ එසේ වුවද නීතිවිරෝධී සංක්‍රමණිකයන් බහුලව රැදී සිටි සොලොන්ගෝර්, පිනෑන්ග්  හා සභා යන ප්‍රදේශ තුළ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක වන බවද දැනගන්නට ලැබිණි. තමන් සොන්ග් චුන් හි තත්වය ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරෙමින් තිබුණේය.
       

immigration oporation

 

2013 ඔක්තෝබර් මස 26  වන දින ආශික් සමන් වෙත දන්වා තිබුනේ ඉපෝ නගරයේ රැකියාවකට යැවීමට දෙදෙනෙකු සූදානම් කොට තබන ලෙසය. ආගමන විගමන මෙහෙයුම් ප්‍රදේශය තුළ ප්‍රබල ලෙස ක්‍රියාත්මක නොවුනද එහි උණුසුම ඒ වනතුරුත් පහව ගොස් නොතිබුණි. ඔවුන් තවත් රැකියාවක් සඳහා කටයුතු සූදානම් කොට තිබුණේය.
         

2013 ඔක්තෝබර් මස 29 වන අඟහරුවාදා දින අප දෙදෙනෙකු පමණක් ඉපෝ නගරයේ ජනාකීර්ණ නොවූ පෙදෙසක පිහිටා තිබූ අලුත් නවාතැන්පොළක් වෙත රැගෙන ගියහ. ඒ මගෙ පළමු සගයා වූ එකට ආරක්ෂක රැකියාව කළ ප්‍රසන්න සහ මම පමණි. සෙසු පිරිසට නැවත තොකුතොමීයේ රැකියාව ලබා දෙන ලදි.
           

අපේ නව නවාතැන්පොළ ද මහල් ගොඩනැගිල්ලකි. එහි බිම් මහලේ යතුරුපැදි අලුත්වැඩියා කරන වැඩපොළකි. එය ද්‍රවිඩ ජාතිකයෙකු විසින් පවත්වාගෙන ගිය අතර, ඔහුගේ බිරිඳ හා කුඩා දරු දෙදෙනා එහි විය. අපට උඩු මහලේ තිබූ කාමරයක් ලැබුණ අතර, යාබද කමර පහක බංගලිදේශ ජාතික කොල්ලන් රැදී සිටියේය. ඔවුන්ගේ කාමර තළ පස්දෙනෙකු හෝ සයදෙනෙකු බැගින් සිටි අතර අප සිටි කාමරයෙ සිටියේ අප දෙදෙනා පමණි.              
         

සියල්ලන්ටම පොදුවේ වැසිකිලි දෙකක් හා නාන කාමර දෙකක් එම මහලේ  කෙළවරක  විය. ආශික් විසින් අපව එතැන සිටි තරමක් පරිණත පෙනුමැති  “සීනු බායි” නමි වූ බංගලිදේශ ජාතිකයා වෙත හඳුන්වා දෙන ලදි. පසුදින උදෑසන සීනු බායි සමඟ නව රැකියා ස්ථානයට යන ලෙස ආශික් වෙතින්  උපදෙස් ලැබිණ.

“ මෙතන තමා තැන ..... මල්ලි හොදට වැඩ ටික කරගෙන ඉන්න ..... මල්ලිව මේකට සෙට් කරන්න මම මාර ගේම් එකක් දුන්නෙ .....”        

සමන් මාව දිරි ගැන්වීය. එය ව්‍යාජ දිරිගැන්වීමක් බව මම දනිමි .

“ වීසා වැඩෙත් ගොඩක් දුරට හරි මල්ලි ..... මම පණිවිඩයක් එවන්නම්කො .....”

ඔහු  සුපුරුදු බොරුවද අමතක නොකළේය.      

ඉන්පසු සීනු බායි ගේ භාරයෙ අප තබා ආශික් සමඟ  සමන් පිටව ගියහ. බංගලිදේශ ජාතිකයන් තිස් දෙනෙකු අතර මම සමග ප්‍රසන්න  තනි වුණෙමු.
           

වර්ෂ 2013 ඔක්තෝබර් මස 06 වන ඉරිදා දින. උදයෙන්ම අවදි වූ අපි හැඳ පැළඳගෙන සීනු පැමිණෙනතුරු තරප්පු පෙල අසළ රැදී සිටියෙමු. සීනුගේ ඉංග්‍රිසි උච්චාරණය තරමක් පැහැදිලිය. ඔහුගේ උපදෙස වූයේ ඔහු පසුපසින් නමුත් තරමක් ඈතින් අප දෙදෙනාට පැමිණෙන ලෙසය. අපි ඔහු කී පරදි කළෙමු.   

    

kr

 

මාර්ගය ගොඩනැගිලි අතරින් ගොස් එළිමහනකට දිවෙයි. එය ඉතා සුන්දර ගංගා නිම්නයක් විය. මාර්ගයට වම් පසින් “කින්තා” නම් වූ ගංගාව ගලා ගියේය. හාත් පස ධර්ශණීය ලෙස ගස් වැල් වලින් හැඩව තිබිණි. කෙළවරක් නැති කුරුල්ලන්ය. ගඟ අසබඩ ඉඳිවූ  ඇවිදින  මං තීරු  මත  චීන “වින්ග් චූන්ග් ” ශාරිරීක  අභ්‍යාස වල නිරතවන මහලු චීනුන්ය. තවකෙක් ගං ඉවුරේ හිඳගෙන මාලු බෑමෙහි නිරත විය. ඒ පරිසරය හිතට සුවදායි විය. ඒ මාර්ගය කෙළවර පිහිටා තබුණේ “කින්තා රිවර් ෆ්‍රොන්ට්” න්ම් වූ තරු පන්ති හෝටලයි. අපෙ ගමනාන්ත මෙන්ම  නව සේවා ස්ථානය වූයේ එම තරු හෝටලයි.

සීනු විසින් අපව ආරක්ෂක නිළධාරීන් වෙත භාර දෙන ලදි. ඔවුහු අපව හෝටලයේ මානව සම්පත් කාර්යාලය වෙත කැටුව ගියහ. එහිදී ආශික් විසින් කලින් ලබා දී තොරතුරු වලට අනුව අපේ නම්  මුද්‍රණය කොට තිබූ  නිල් පැහැති නිල ඇදුම් කට්ටල දෙක බැගින් අප වෙත ලබා දෙන ලදි. ඉක්බිතිව අප සේවයට අනුයුක්ත කිරීමිට නියමිතව තිබූ  දෙපාර්තුමේන්තුවේ කළමනාකරු කැඳවා අපව ඔහුගේ භාරයට පත් කරන ලදි. මැලේ ජාතිකයෙක් වූ ඔහු අපට හෝටලයේ වැදගත්  සථාන පෙන්වාදුන් අතර ඉදිරියට මුණගැසෙන  හෝටලයේ සෙසු සේවකයන්ට අපව හදුන්වා දෙමින් තරමක ගරු පිළිගැනීමක් අප වෙත ලබා දුන් බව කිව යුතුය.  
         

නිල ඇදුම් ඇඟලා ගත්  පසුව අපව හෝටලයේ මුළුතැන්ගෙය වෙත කැටුව යන ලදි. කෝකියන් සියලුදෙනා වෙත කැටුව ගොස් අපව  එකිනෙකා වෙත පෞද්ගලිකව හදුන්වා දීම සිදු කෙරිණි. මැලේ ජාතික කෙල්ලන් බහුතරය අතර  පිරිමින් කිහිප දෙනෙකු, චීන කෙල්ලක්, ද්‍රවිඩ කෝකියන් තුන්පළක් එහි කාර්යමණ්ඩලය විය. සුපුරුදු පරිදි අපව පවිත්‍රකිරීම් සදහා අනුයුක්ත කරන ලදි.
         

පිගන් කෝප්ප ආදිය  පිරිසිදු කිරීම සදහා විශාල ප්‍රමණයේ සෝදන යන්ත්‍රයක්  මුළුතැන්ගෙයි එක් කෙළවරක විය. ඒ හැරුණුවිට  විශාල ප්‍රමාණයේ හැලි වළං අතින් සේදිය යුතුවිය. ඒ සඳහාම සැකසූ  වෙනම ස්ථානයක් විය.
         

පළමු දින මැලේ ජාතික කොල්ලෙකු විසින් යන්ත්‍රය ක්‍රියාත්මක කරන අයුරු පියවරෙන් පියවර අපවෙත පැහැදිලිකර දෙන ලදී. සමන්ත සමග මම විටෙක යන්ත්‍රයේත්, විටෙක වළං සෝදන ස්ථානයේත් වශයෙන් මාරුවෙන් මාරුවට වැඩ කළෙමු. අපි ඉක්මනින් එතැන රැකියාව ඉගෙන ගත්තෙමු.

 

L304871
         

හෝටලයෙදී අපට දෛනිකව ආහාර වේල් දෙකක් සැපයිය. එය අපි ලැබූ භාග්‍යයක්  විය. මෙහි සේවකයන් සාපෙක්ශව තරමක් මිතුරු බවක් දැක්වීය. ඔවුන් ඉඳ හිට ඔවුන් උයන දෙයක් රස බලන්නට අපට අවස්ථාව ලබා දුන්නේය. ඉවත දමන්නට නියමිත මිදි යුෂ, ඇපල් යුෂ අප වෙනුවෙන් පරිස්සම් කළේය. ඊට අමතරව ඇතැම් දිනවල ඔවුන් සමග දුම් උරන්නටද අපව එක්රගන්නා ලදි. එහි රැකියාව මානසිකව තරමක පහසුකාරී බවක් ඇති කළෙය. නමුත් ශාරීරිකව අපට අපගේ පෙර රැකියා ස්ථානයේ වූ මෙහෙයුමම මදක් අඩු වැඩි වශයෙන් එළෙසම සිදු කළ යුතුව තිබිණි. අපේ සේවා මුරය දෛනිකව පැය දොළහේ සීමාවේ තිබූ මුත්, එම  හෝටලයේද ස්වදේශික සේවකයන් සේවය කලෙ දිනකට පැය අටක් පමණි.  වැටුප් විශමතාවය ද පෙර පරිදිම විය.
         

මැලේසියානු ද්‍රවිඩ ජාතික කෝකියෝ තිදෙනා අප සමඟ වඩා කුළුපඟ වූහ. අපි කාර්ය්‍යබහුල නොවූ විට ඔවුන් වෙත ගොස් මස්, මාලු කපන්නටත්, ඒවා ශීතකරණ තුළ අසුරන්නටත්  උදවු වුනෙමු.

 

ඇතැම් දිනවල විවාහ උත්සව වැනි විශේෂ අවස්ථා සඳහා අතිකාල සේවය කිරීමට අපට අවස්ථාව උදා විය. එම අතිකාල මුදල් එදිනම ගෙවා දැමීම හෝටලයේ සම්ප්‍රදායයි. එය අපව දිරිගන්වන සුළු විය. ඇතැම් දිනක අප දෙදෙනාම රින්ගිට් 50ක පමණ මුදලක් අතිකාල ලෙස ඉපයීමු. අපි ඒවාට හසල්, ලූනු, එළවළු වැනි දේ රැගෙන ගොස් නිවාඩු දිනවල උයා කෑවෙමු. කාටත් පොදුවේ පාවිච්චි කළහැකි ගෑස් උදුනක් අපේ නවාතැන්පොළේ විය. එය ආශික් විසින් පිරිසට ලබා දී තිබූ එකකි.

 

එම නවාතැනපොළ ආශික් විසින් “ආරක්ෂිත නිවස්නයක්” ලෙස භාවිතා කළ බව පෙණෙන්නට තිබුණි. කල් යත්ම එවැනිම වූ රැදවුම් නිවාස පහක් එම ප්‍රදේශයේ ආශික් විසින් පවත්වාගෙන යනු ලබන බවට දැනගන්නට ලැබිණි.
         

බංගලාදේශයේ සිට අළුතෙන් පැමිණෙන පිරිස් මෙවැනි නිවාස තුළ  ආරෂිතව සඟවා තැබුවේය. ඔවුන් බහුතරය මුහුදු මාර්ගයෙන් තායිලන්තයේ වෙරළට පැමිණ, තායිලන්තයේ සිට ගොඩ බිම් මාර්ග ඔස්සෙ දේශසීමා මායිම් පැන මලයාසියාවට ඇතුළු වූවෝ වෙති. ඇතෙමෙක් සතුව ගුවන් ගමන් බලපත්‍රයක් හෝ නොතිබිණි.
       

ඇතැමෙක් බංගලිදේශ භාෂාව හැර වෙනත් කිසිදු භාෂාවකින් වචනයක් හෝ කතා කරන්නට නොදැන සිටියහ. කිහිප දෙනෙක් සිටියේ ඔවුන් බංගලිදේශයේදී බෝට්ටුවට ගොඩවන විට හැඳ සිටි සරම් පිටිනි. ඔවුන් සතුව දිග කලිසම් තිබුනේම නැත. ජීවිත කාලය පුරාවටම දිග කලිසම් හැඳ නොතිබූ පිරිස් ද ඒ අතර වූහ. සියල්ලන් අන්ත දුගී, නූගත් පිරිස් බව පෙනෙන්නට තිබිණි. අයෙකු සඳහන් කළේ මෙම ගමන පැමිණිම සදහා ඔහු සතු කුඹුරු ඉඩකඩම් සියල්ලම විකුණා දමා මුදල් සොයාගත් බවයි. මලයාසියාවට පැමිණ මාස ගණනාවක් ගත වූ තැනත් ඔහුට ආශික් විසින් රැකියාවක් සොයා දී තිබුනේ නැත.      

 

බංගලාදේශය හා මලයාසියාව අතර නීතිවිරෝදී සංක්‍රමිණිකයන් ප්‍රවානය කිරීමේ ජාත්‍යන්තර ජාලය සමග ආශික් කෙලින්ම සම්බන්ධකම් පවත්වන බවට සාධක ඕනෑතරම් විය. බංගලාදේශයේ සිට ඉන්දියන් සාගරය හරහා බෝට්ටුවලින් පැමිණ තායිලන්තයෙ බටහිර වෙරළට ගොඩ බසින සංක්‍රමිණිකයන් එහි සිට ගොඩබිම් මාර්ග ඔස්සේ මැලේසියාවට පැමිණ සැඟවෙනේ ආශික්ගේ මෙම ආරක්ෂිත නවාතැන තුළය. මෙසේ කිලෝමීටර දහස් ගනනක් දුර ගෙවාගෙන මුහුදින් හා ගොඩ බිමින් සංක්‍රමණිකයන් පැමිණෙන ගමන ජීවිතයත් මරණයත් අතර අරගලයකි. මෙම ගමනේ අවදානම මුදලින් තක්සේරුකළහොත් එය මිල කළ නොහැකි වනු ඇත.

 

Rasika Apaye kathawa
 
රසික එස් චන්ද්‍රසේකර
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...