කඳුකර දෙමළ ජනතාව වෙනුවෙන් මොනයම් හෝ සේවාවක් ඉටු කළත් නැතත්, අඩු තරමේ මැතිවරණ වේදිකාවකදීවත් හඬක් නගන්නට ඡන්දයෙන් පත් වූ දේශපාලඥයෝ මහනුවර, බදුල්ල, නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල සිටිති. එය එක්තරා ආකාරයකින් සුරක්ෂිතතාවකි. අප මීට පෙර ලිපියෙහි සඳහන් කළේ දකුණෙහි වතුකර ජනතාව වෙනුවෙන් එවැනි සුරක්ෂිතතාවක් නැති බව ය.

නමුත් මොන වතුකරයකවත් ආර්ථික සුරක්ෂිතතාවක්, රැකියා සුරක්ෂිතතාවක් සහ අනාගත සුරක්ෂිතතාවක් මේ කම්කරුවන්ට නොමැත. 1970 වසරේ බලයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් සමගි පෙරමුණු රජය 1972 මැයි 22 දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්කිරීමෙන් පසු සුද්දන්ට අයිතිව තිබූ වතු ජන සතු කරනු ලැබිණි. ක්‍රමයෙන් එම වතු ශ්‍රී ලංකා රජයට අත්පත් කරගෙන ශ්‍රී ලංකා වැවිලි සංස්ථාවට සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය හෙවත් ජනවසමට පවරන ලදී. ආන්තික තේ ඉඩම් සමූපකාර වතු සංවර්ධන මණ්ඩලය නම් ආයතනයකට පවරනු ලැබීය. මේවා පාලනය කරන ලද්දේ වතු වගාව පිළිබඳ කිසිදු දැනුමක් නැති දේශපාලකයන් ගේ හිතවතුන් ය.

ඉන්පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අන්ත පරාජයකට ලක් කරමින් 1977 මහ මැතිවරණයෙන් 5/6ක බලයක් ලබා පැමිණි ජේ.ආර් ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ රජය උඩරට සමූපකාර සංවර්ධන මණ්ඩලය අහෝසි කර එම වතු ද වැවිලි සංස්ථාවට සහ ජනවසමට පැවරීය. ජේ.ආර්. ජයවර්ධන රජය පැවති සමයේ මෙලෙස වතුවල ක්‍රමවත් පාලනයක් පැවතියද, ආර්. ප්‍රේමදාස මහතා බලයට පත්වීමෙන් පසු මෙම වතු පෞද්ගලික සමාගම්වලටත්, පුද්ගලයන්ටත් තිස් අවුරුදු බදු පදනම මත ලබාදීම නිසා මේවායේ පාලනය සම්බන්ධයෙන් විවිධ ගැටලු පැන නැගිණි.

ලෝකයේ හොඳම තේ නිපදවන රට ලෙස සිටි ශ්‍රී ලංකාව අද වන විට සිව් වැනි ස්ථානයට පත්වීම සම්බන්ධයෙන් කලින් කලට බලයට පත් වූ අපේ රටේ ආණ්ඩු වග කිවයුතුවේ. 2022 වසර වන විට ප්‍රතිශතයක් ලෙස ගත් කල ලෝක වෙළඳ පොළට 49% ක් තේ අපනයනය කර ඇත්තේ චීනයයි. එම වසරේ ඉන්දියාව 21%ක්, කෙන්යාව 8% ක් තේ අපනයනය කරද්දී ලංකාව සපයා ඇත්තේ 4% ක් පමණි. 2013 දී 7% ක් ලෝක වෙළඳපොළට තේ සැපයූ ශ්‍රී ලංකාව 2022 දී මෙලෙස පහළ බැසීම කණගාටුදායක තත්ත්වයකි. තේ වගාව සම්බන්ධයෙන් රජය මැදිහත් නොවීම, ඉතාමත් දුර්වල නිෂ්පාදන ක්‍රියාවලියක් පැවතීම, තේ වතු නඩත්තු නොකිරීම වැනි තවත් බොහෝ කරුණු ගණනාවක් නිසා අපේ රටේ තේ නිෂ්පාදනය පහළ බැස තිබේ.

කම්කරු අවශ්‍යතා සහ වැටුප් පිළිබඳව බොහෝ විට සාකච්ඡාවට ලක් වුවද සෞඛ්‍ය සහ සුබ සාධනය පිළිබඳ කතාබහ කිරීම අඩු ය. වතුවල වෙනමම වතු රෝහල් තිබේ. මේවා බොහොමයකම වෛද්‍යවරුන් ලෙස සිටින්නේ මූලික වෛද්‍ය උපාධිය වන M.B.B.S. උපාධියවත් නොමැති E.M.P (Estate medical practitioner) නමින් හඳුන්වන අය වන අතර සාමාන්‍ය ව්‍යවහාරයට අනුව ඔවුන් වතු දොස්තර ලා ය. මේ තත්ත්වය කඳුකර තේ වතුවල සුලබව පවතී. මෙම වෛද්‍යවරුන්ගෙන් රෝගියෙකුට ලැබෙන්නේ මූලික වෛද්‍ය ප්‍රතිකාර පමණි. රෝග සම්බන්ධයෙන් ඊට වඩා දැනුමක් නොමැති වීම හේතුවෙන් කුමක් කෝ හදිසි තත්ත්වයක දී රජයේ රෝහලකට යන ලෙස දන්වමින් රෝගියාට ලියුමක් දීම සිදුවෙයි. නමුත් විශේෂයෙන් කඳුකරයේ වතුකරයෙහි ජීවත්වන ජනතාවට රෝහලකට යාම පහසු නැත. කිලෝමීටර් ගණනාවක් ඒ සඳහා මඟ ගෙවා යා යුතුය. ප්‍රවාහන පහසුකම් නොමැත. එම කුඩා පාරවල් බොහෝ විට අබලන් ය. වත්තේ ට්‍රැක්ටරයක් ලොරියක් වැනි වාහනයකින් රෝහලට යන විට එක්කෝ රෝගියා අතරමඟ මියගොසිනි. නැතහොත් අසාධ්‍ය තත්ත්වයෙනි. මෙලෙස මියගිය ජීවිත ගණන සුළුපටු නැත. මේ නිසා සෞඛ්‍ය සම්බන්ධයෙන් මේ කම්කරු ජනතාවට සුරක්ෂිතතාවක් නොමැත.

තම දරුවාට මෙවැනි අධ්‍යාපනයක් ලබාදීම සඳහා විය පැහැදම් කිරීම ඒ දෙමව්පියන්ට සිහිනයකි. ඉතා කලාතුරකින් කාගේ හෝ මගපෙන්වීමකින් සහ උපකාරයෙන් එලෙස අධ්‍යාපනයෙන් ඉහළට පැමිණි වතුකරයේ දක්ෂ දරුවන් ගැන අසන්නට නොලැබෙන්නේ නොවේ. නමුත් එය ඉතා කලාතුරකින් දරුවකුට ලැබෙන වරප්‍රසාදයක් පමණක් නිසා උසස් පෙළ හදාරන්නට සුදුසුකම් ලබන දරුවකුට සිදුවන්නේ කලා හෝ වාණිජ විෂයයන් හදාරන්නට ය. එම අංශයෙන් අධ්‍යාපනය ලබා විශ්ව විද්‍යාලයකට ඇතුලත් වී උපාධියක් හිමි කර ගත්තත් ඒ සඳහා තිබෙන රැකියා අවස්ථා සීමිත ය. බොහෝ විටම තිබෙන්නේ ගුරු වෘත්තියයි. නමුත් වසරක් පාසා ගුරුවරුන් බඳවා ගැනීමක් අපේ රටේ සිදුවන්නේ නැත. මේ නිසා රටේ අනෙකුත් උපාධිධාරී තරුණ තරුණියන්ට මෙන් ඔවුන්ට ද සිදු වන්නේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගොඩට එක් වීමට ය.

සබැඳි ලිපි :
නොරට සිට ආ මුතුන් මිත්තෝ (22) : වතුකරයේ දෙමළ ජාතිය සේදී යන්නේ කොහොම ද? - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (21) : රජුන් තනන්නෝ - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (19) : වත්තේ වැඩට වඩා "ගොඩේ" වැඩ අතට මිටට හොඳයි ? - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (18) : සිලෝන් ටීවලට කුමක් වෙයි ද? - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (17) : තුන් වේලට කෑම වෙනුවට බීම (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (16) : "දරුවන් වෙනුවෙන් හීන දුටු වල්ලි අම්මා (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (15) : "සාරායන් ටිකක් නොගහ මේකි එක්ක දීග කෑම නම් බොරු" (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (14) : ඔය මිනිස්සුන්ට මොකටද කරන්ට් එක ? (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (13) : රුපියල් අසූවක දුම්රිය ප්‍රවේශ පත්‍රයකින් ඉන්දියාවට (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (12) : උපන් බිමට හිමිකම් නොලද උපන් බිමේ අසරණයෝ (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (10) : වතුකර දෙමළ ජනතාව ඉන්දියාවට භාර ගැනීමට කැමැත්ත - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (9) : දෙමළ බෙදුම්වාදයට පාර කැපෙයි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (8) : වතු දෙමළ ජනතාවගෙන් ලක්ෂ 8කට පුරවැසිභාවය අහිමියි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (7) : දකුණු ඉන්දීය ශ්‍රමිකයන්ට ඩී. එස්. ගෙන් කෙනෙහිලි - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (6) : අපෙන් බදු මුදල් ! සුද්දන්ගෙන් පාරවල් !! - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (5) : මාතලේ කුලදෙවියන් පිදූ තැන දේවතාවියක් - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (4) : සිලෝන් ටී වෙනුවෙන් ඔවුහු දිවි පිදූහ - (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන් මිත්තෝ (2): සිංහලයන්ට කටඋත්තර නැති කළ සුද්දෝ (ඉන්දු පෙරේරා)
නොරට සිට ආ මුතුන්මිත්තෝ : ලංකාවට කම්කරුවන් සොයා ඉන්දියාවේ පෝස්ටර් (ඉන්දු පෙරේරා)



