The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සල්ලිවලට, ගජමිතුරුකම්වලට පිරිමි රිංගවන 25% කාන්තා කෝටාවේ හිදැස් | Abhisheka Wasalabandara

T

The Leader Desk

May 26, 2025 • 12:38 PM

සල්ලිවලට, ගජමිතුරුකම්වලට පිරිමි රිංගවන 25% කාන්තා කෝටාවේ හිදැස්  | Abhisheka Wasalabandara

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘මේක’ යනුවෙන් ඇය සඳහන් කළේ කාන්තා නියෝජනයට ලංකා දේශපාලනයේ ඇති ඉඩ ගැනයි.
  • ලොව ප්‍රථම අගමැතිනිය බිහිකළ බවට උදම් අනන රටේ පිරිමි සෙවනැලි නොවී දේශපාලනයට පිවිස සිටින බිම් මට්ටමේ දේශපාලිකාවන්ට නිගා කරන මෙවැනි නීච හැසිරීම් පිළිබඳව ඇය ආරම්භයේ දී ම ප්‍රශ්න කරයි.
  • මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂිකාවන් අතරින් අප සමඟ කතා කළ මෙන්ම සමාජ මාධ්‍යයේ මේ සම්බන්ධයෙන් මත පළ කර තිබූ බහුතරයක ගේ අදහස වුයේ කාන්තාවන් වීම නිසාම පක්ෂවලින් කෙරෙන නොසලකාහැරීම්වලට තමන් දිගින් දිගටම මුහුණ දෙමින් සිටින බවයි.
  • පක්ෂවල ඡන්ද පදනම හදාගැනීමට "කොටන් අදින ඇතින්නියන්" ලෙසින් තමන් පාවිච්චි කළ නමුත් මුදල්වලට, හැඳුනුම්කම්වලට සභික ධුර විකිණෙන බැවින් තමන්ගේ දේශපාලන ගමන එක තැන නැවතී ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

‘මේක’ යනුවෙන් ඇය සඳහන් කළේ කාන්තා නියෝජනයට ලංකා දේශපාලනයේ ඇති ඉඩ ගැනයි.
 
ලොව ප්‍රථම අගමැතිනිය බිහිකළ බවට උදම් අනන රටේ පිරිමි සෙවනැලි නොවී දේශපාලනයට පිවිස සිටින බිම් මට්ටමේ දේශපාලිකාවන්ට නිගා කරන මෙවැනි නීච හැසිරීම් පිළිබඳව ඇය ආරම්භයේ දී ම ප්‍රශ්න කරයි.
මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂිකාවන් අතරින් අප සමඟ කතා කළ මෙන්ම සමාජ මාධ්‍යයේ මේ සම්බන්ධයෙන් මත පළ කර තිබූ බහුතරයක ගේ අදහස වුයේ කාන්තාවන් වීම නිසාම පක්ෂවලින් කෙරෙන නොසලකාහැරීම්වලට තමන් දිගින් දිගටම මුහුණ දෙමින් සිටින බවයි. පක්ෂවල ඡන්ද පදනම හදාගැනීමට "කොටන් අදින ඇතින්නියන්" ලෙසින් තමන් පාවිච්චි කළ නමුත් මුදල්වලට, හැඳුනුම්කම්වලට සභික ධුර විකිණෙන බැවින් තමන්ගේ දේශපාලන ගමන එක තැන නැවතී ඇති බවයි.  

දෙන්නම් කාසි
women politics 1
"කෙනෙහිලිකම් මැද තමයි මේ දේශපාලනය කරගෙන යන්නේ. මට මේ සැරේ ලැයිස්තුවෙන් ඉල්ලන්න දුන්නෑ. කොට්ඨාස තුනකට මාව මාරු කරා. මට කිව්වා ඡන්ද පෙට්ටිය දිනවලා පෙන්නන්න කියලා. දිනෙව්වොත් අවස්ථාව දෙනවා කියලා. ඡන්ද පෙට්ටිය දිනෙව්වට පස්සේ කියනවා අවස්ථාව දෙන්න බෑ කියලා."

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රධාන පක්ෂයක් නියෝජනය කරමින් සමානුපාතික නියෝජන ලැයිස්තුවට ඉදිරිපත් කර සිටි මෙම අපේක්ෂිකාව ගේ ඉල්ලීම සහ ඇගේ ආරක්ෂාව මත මෙතැන් පටන් ඇය "මාලා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වමු. කාන්තා පෙරමුණු, ආසන බල මණ්ඩලවල තනතුරු දැරූ දීර්ඝ කාලින ක්‍රියාකාරී දේශපාලනයේ නිරත ඇය අප සමඟ කියා සිටියේ තමා නියෝජනය කළ කොට්ඨාසය දිනවීමට දරදිය ඇද්ද නමුත් පොරොන්දු වූ පරිදි සභික ධුර ලබා නොදී කිසිදු දේශපාලන පරිචයක් නැති ලේකම් බිරිඳකට හිතවත්කම් මත සභික ධුරයක් ලබා දී ඇති බවයි.
 
"ලේකම් ගේ නෝනා ජීවිතේට දේශපාලනය කරලා නෑ. ගෙදරින් එළියට බහින් නෑ. එයා ඡන්ද කොට්ඨාසයත් පරාදයි. වැඩක් කරන කෙනෙක්ට දුන්න නම් දුකක් නෑ. ඒත් එයාට ධුරයක් දෙන්න යන්නේ හැඳුනුම්කම් හින්දා. මම 90 ගණන් වල ඉඳලා දේශපාලනය කරලා 2005 ඉඳලා ක්‍රියාකාරී දේශපාලනය කරපු කෙනෙක්. අපි හැමදාම නායකයන්ට කඩේ ගියා මිසක් අපිට තැනක් ලැබුණේ නෑ."
bt 45456
 
තමන්ට එල්ල වන තර්ජන ගැන පක්ෂය දැනුවත් කළ ද පක්ෂය ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් රකින බව මාලා පවසන්නී ය.

"තර්ජන ගැන මට හස්බන්ඩ්ට කියන්නත් බෑ පක්ෂයෙන් පිළිසරනකුත් නෑ. මම තනි කාන්තාවක් මට තියෙන බලපෑම වැඩියි. එහෙමයි කියලා දේශපාලන ගමන නවත්තන්නත් බෑ. අපි කාන්තාවෝ වෙනුවෙන් ගම්වල වැඩ කරලා වෙහෙස මහන්සි වෙලා ආපු ගමනක් මේක. මෙදාපාර මම කැම්පේන් එක කළෙත් මගේ රත්තරන් බඩු ටික උකස් කරලා."
 
කාන්තා කෝටාවට නෛතික මැදිහත්වීමක් තිබිය යුතුයි
 
vishaka suryabandaraමහාචාර්ය, නීතිඥ විශාකා සූරියබණ්ඩාර
පළාත් පාලන ආයතනවල 25% කාන්තා නියෝජනය සම්පූර්ණ කිරීම සඳහා විශාල වශයෙන් නෛතික මැදිහත් වීමක් සිදු කළ යුතු බවත්, පළාත් පාලන ආයතනවල සමහර ප්‍රධාන නිළතල කාන්තාවන්ටම වෙන් කළ යුතු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය, නීතිඥ විශාකා සූරියබණ්ඩාර පවසන්නී ය.
 
"අපි කොච්චර කිව්වත් ග්‍රාමීය මට්ටමේ කාන්තාව බලගැන්විය යුතුයි කියලා පක්ෂ තුලින්ම සිදු කරන අකටයුතුකම් හරහා කාන්තාව හරිම අසරණ වෙලා. ඒකෙන් වෙන්නේ බිම මට්ටමේ කාන්තාවට දේශපාලනය එපා කරවන එක. දේශපාලන පක්ෂ ඉන්නේ මුදල් තර කරගැනීමේ ව්‍යාපාරයක. ආයතනත් (පළාත් පාලන) මුදල්වලට විකිණෙනවා. ගම් මට්ටමේ කාන්තාවන්ට ඒවා ලබාගන්න බැහැ. කාන්තාවන්ට ඒ දේශපාලනය එක්ක හැප්පෙන්න බැහැ. චරිත ඝාතන, තර්ජන වැඩියි. ඒ නිසා පළාත් පාලන ආයතනවල කාන්තා 25% කාන්තා නියෝජනයට විශාල වශයෙන් නෛතික මැදිහත් වීමක් තියෙන්න ඕන කියලා මම හිතනවා. මොන මට්ටමේ පක්ෂයකට වුණත් විධානයක් දෙන්න පුළුවන් මට්ටමකට නෛතික මැදිහත් වීමක් තිබිය යුතුයි."
WhatsApp Image 2025 05 26 at 5.46.35 PMසමාජ මධ්‍යයේ පළවූ පෝස්ටුවක්
 
මෙවර පළාත් පාලන මැතිවරණයට සර්ව ජන බල පක්ෂයෙන් කඩුවෙල ආසනය නියෝජනය කරමින් තරග වැදුණු කුමාරි පතිරගේ අපේක්ෂිකාව "25% නීතිගත වුණේ නැතිනම් කාන්තා දේශපාලනයක් නෑ," යනුවෙන් සිය මුහුණු පොතේ පෝස්ටුවක පළ කළ මතයට පක්ෂව කාන්තාවෝ විශාල ප්‍රමාණයක් ද අදහස් දක්වා තිබුණි;

"කාන්තාවන්ට තැන දෙන්න බැරිනම් ඇයි නාමයෝජනා පත්‍රයට කාන්තාවන්ගේ නම් ඇතුලත් කරන්නේ. අපිට හැමදාම කොටන් අදින්න බෑ. අපි පෙරහැර යන්න ඕනා. අපි පක්ෂ භේදයෙන් තොරව එකතු වෙමු."

"හරියට හරි. නැත්තං ඉතිං කොටන් ඇද ඇද තමයි ඉන්න වෙන්නේ. ගිය පාර සියයට 23ක් තිබුණා මේ පාර සියයට කීයක් තියෙයිදදන්නෑ. ඇයි මේ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කාන්තාවන්ට මෙච්චර බය. ????"
 
vb56සමාජ මාධ්‍යයේ පළවූ කොමෙන්ටු
"මේ දිනවල මුලු රටේම සෑම පක්ශ යකම අපේක්ශයන් ගෙ හැසිරීම දැක්කාම නින්දිතයි. හතර අතින් කරන දුරකථන ඇමතිම් වලින් දැනෙනවා හෑම කාන්තාවකගේම වේදනාව කොච්චරද?.
හොඳම වැඩේ නීති ගත කරපු එකෙනුත් බලන්නේ පොඩ්ඩක් හරි එහෙට මෙහෙට ඇදල පිරිමියෙක් රිංගන්න."

"දැන් ප්‍රතිශතයක් ඉස්සර කර ගෙන කාන්තා නියෝජනය සහ ලැයිස්තුව නැති කරන්න.."
 
n867o89po890සමාජ මාධ්‍යයේ පළවූ කොමෙන්ටු
"පලාත් සභාවේ ත් නිතිගත කරන්න පෙල ගැ⁣සෙමු ,දැඩිලෙසම බලපෑමක් උදෙසා එක්වෙමු , අප අපේ හැකියාව කැපවිමට අගයක් එක්රමු"

කාන්තා නියෝජනය ඉහළ නැංවීමට පක්ෂ දරන උනන්දුව ගැන විමසූ විට මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අප සමඟ කියා සිටියේ සභික ධුරවලට කාන්තාවන් පත්කරන ලෙස මැතිවරණ කොමිසම පක්ෂවලින් ඉල්ලීම් කළත් බහුතරයක් ඊට අකමැත්තක් දක්වන බවයි.
 
ආයතන 46ක කාන්තා නියෝජනය අසම්පූර්ණ යි
 Saman Sri Ratnayake 1200px 24 08 17මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක
එසේම, මෙවර පළාත් පාලන ආයතන 339න් ආයතන 46ක 25% කාන්තා නියෝජනය අසම්පූර්ණ බව මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ ය. සමස්තයක් ලෙස කාන්තා සභිකයන් 1957ක ප්‍රමාණයක් මෙවර පළාත් පාලන ආයතන තුළ සිටිය යුතු නමුත් සිටින්නේ කාන්තා සභිකයන් 1881ක් පමණක් බවයි ඔහු පවසන්නේ. 2018 වසරේ කාන්තා නියෝජනය අසම්පූර්ණ පළාත් පාලන ආයතන ගණන 16කි.
chart 1
"20% අඩුවෙන් වලංගු ඡන්ද ගන්න පක්ෂවලට තේරී පත්වන මන්ත්‍රී ධුර සංඛ්‍යාව 1ක් නැත්නම් 2ක් නම්, ඒ සභාවලට පත් කරන සභිකයා හෝ දෙන්නා අතරට කාන්තාවක් නම් කරන්න කියන්න බලයක් අපිට නැහැ. නමුත් අපි සෑම පක්ෂවලින්ම ලිඛිත ඉල්ලීමක් කළා ඒ සභාවල 25% කාන්තා නියෝජනය සපුරන්න, නියෝජිතයන් නම් කිරීමේ දී කාන්තාවෝ පත් කරන්න කාරුණික වෙන්න කියලා. කාන්තා නියෝජනය දෙන්න කිව්වමත් ගොඩක් අය කැමති නෑ. නොයෙකුත් ප්‍රශ්න කියනවා."  
සමාජ මාධ්‍ය පළ කිරීම් සම්බන්ධයෙන් අප කළ විමසීමේ දී කුමාරි පතිරගේ කියා සිටියේ කෝටාවෙන් පිට කාන්තාවකට මන්ත්‍රී ධුර ලබාදීමට පක්ෂ මැලිවන බවයි.  

"සමස්ත කාන්තාවන්ට 25% දුන්නේ නැතිනම් ඉතුරු ටිකත් දෙන්නේ නෑ. දෙකක් (ධුර) තියන තැන්වලින් එකක්වත් දෙන්නේ නෑ. පක්ෂවලින් දාන්නේ කෝටා එකේ එන ගාණ විතරයි. හැබැයි අපි කියන්නේ දක්ෂයාට තැනක් දෙන්න. පෝස්ටර් ගහන්නේ සෙනග එකතු කරන්නේ කාන්තාවෝ. මේ වෙලේ රටේ කාන්තාවෝ සිය ගණනක් මානසිකව විඳවනවා ඒ අයගේ දේශපාලනය ගැන පක්ෂ නායකයෙක් තියා කවුරුත් කතා කරන්නේ නැති එකට. මේ මානසිකව වැටිලා ඉන්න ගැහැණු ටික අපි හයියට හදාගන්න ඕන. UNP ද ශ්‍රී ලංකා ද සර්වජන ද අදාළ නෑ කාන්තාවන් ගෙන් වැඩ ටික අරගෙන ඒ මිනිස්සු දෙවැනි මට්ටමට දාලා සලකන එකට මට හරි වේදනයි."  

පුරුෂ අධිකාරීත්වයට අභියෝග කිරීමට 25% ප්‍රමාණවත් ද?
 
image 73a23a6b0c


කාන්තා නියෝජනය 25%ක් නොව 50%ක් දක්වා ඉහල නැංවිය යුතු බව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අම්බලන්තොට ආසනයට තරග කළ මංගලිකා දසනායක පවසන්නී ය.

"කාන්තා නියෝජනය 25% නෙවෙයි 50% තියනවට අපි කැමති. මොකද කාන්තාවෝ පුහුණු වෙලා හරි දක්ෂයි වැඩ කරන්න. ඒවගේම මේ කොට්ඨාස ක්‍රමය ගොඩක් කාන්තාවන්ට අවාසියි. කොට්ඨාස විතරනේ. වසම් 3-2ක් අහුවෙන්නේ. කාන්තාවන්ට ලොකු ඡන්ද ප්‍රතිශතයක් ගන්න මදි."

2017 වසරේදී පළාත් පාලන මැතිවරණ පනතට ගෙන ආ වැඩි දුර සංශෝධනයේ (2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන*) පනත) 27(ඊ) අනුව, සෑම පළාත් පාලන ආයතනයකම මුළු නියෝජිතයන් සංඛ්‍යාවෙන් 25% ක් කාන්තාවන්ගෙන් සමන්විත විය යුතුය යන්න මෙරට මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදුවූ සාධනීය ප්‍රතිසංස්කරණයක් ලෙස සැලකිය හැකිය.

act 1

මෙම කෝටාව මඟින් පළාත් පාලන ආයතන තුළ කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස ඉහළ නංවන නමුත්, එය ප්‍රායෝගික තලයේ සිදු වන්නේ ද සහ එම නියෝජනය පවතින පුරුෂ අධිකාරීත්වයට අභියෝග කිරීමට ප්‍රමාණවත් ද යන්න ගැටළු සහගත ය.


එසේම, ඡන්ද විමසීමෙන් අනතුරුව සමානුපාතික නියෝජන ලැයිස්තුව තුළින් පත්වීම් ලබා ගැනීමට - බහුතරය පුරුෂයන්ගෙන් සමන්විත - තම පක්ෂවල දේශපාලන බලය දරන තැනැත්තන් මත යැපීමට කාන්තාවන්ට සිදුවීමම ඔවුන් තව තවත්  පීඩාවට ඇද දැමීමකි.

පක්ෂවල තීන්දු තීරණ ගන්නා තැන්වල කාන්තා නියෝජනය අවම බැවින් එය ඉහල නැංවිය යුතු ය යන මතයේ තමන් ඉන්නා බවත් පොදුවේ ගතහොත් මෙරට පක්ෂ තුළ කාන්තාවන් කෙරෙහි නොසලකා හැරීම් වැඩි බවත් එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට මොරටුව ආසනයෙන් ඉදිරිපත්වූ මසීනා බාකර් පවසන්නී ය.

"කොමිසම පක්ෂවලට ලිපියකින් කියලා තියෙනවා, 2ක් ලැබුණොත් (ධුර) එකක් හරි කාන්තාවන්ට දෙන්න උත්සහ කරන්න කියලා. පිරිමි අය කියනවා දෙකක් තිබ්බත් එකක් කාන්තාවන්ට දෙන්න අවශ්‍ය නෑ කියලා. එතකොට පක්ෂ අතරමන් වෙනවා. මම නියෝජනය කරන මොරටුව ආසනය ගත්තොත් අපිට බෝනස් සීට් දෙකක් තියෙන්නේ. මේ සීට් දෙකෙන් 1ක් පිරිමි වැඩිම ප්‍රතිශතය ගත් කෙනා සහ කාන්තා වැඩිම ප්‍රතිශතය ගත් කෙනා යවන්නේ. පක්ෂේ තීන්දුව වැඩිම ප්‍රතිශතය ගත් කෙනා යවන්න. හැබැයි අපේක්ෂකයෝ කියනවා එහෙම කරන්න බැහැ. පිරිමි යන්න ඕන කියලා. කාන්තාවන්ට දෙන්න කියලා නීතියක් නැහැ කියලා."

 

c wewertery
කාන්තාව දේශපාලනය තුල එතරම් අගතියට පත්වීම, ඉදිරියේ දී දේශපාලනයට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින කාන්තාවන් අධෛර්යට පත් කරන්නක් බව මහාචාර්ය, නීතිඥ විශාකා සූරියබණ්ඩාර පවසන්නී ය.

"පක්ෂ වැඩිම ප්‍රතිශතයට ධුර ලබාදෙනවා කිව්වත් කාන්තාව ගැන වෙනම බලන්න ඕන. මොකද පනතේ තියනවනේ 25% කාන්තාවන්ට දෙන්න ඕන කියලා."

 
25% සාක්ෂාත් කරගන්න සංශෝධනයක් ඕනෑ

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳ මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ වාර්තාව අනුව අනිවාර්ය කාන්තා නියෝජනය 25% ලෙස නම් කර තිබුණ ද එය ප්‍රායෝගික වශයෙන් සාක්ෂාත් කරගත හැකිවුයේ 22%ක් පමණි යනුවෙන් දැක්වේ. මෙවර එම සංඛ්‍යාව තවදුරටත් පහත වැටීමට ඉඩ ඇති බවයි නීතිවේදීන් පවසන්නේ.
report 1
අප සමඟ අදහස් පළ කළ විෂය පිළිබඳ ප්‍රවීන නීතිවේදිනියක කියා සිටියේ අපේක්ෂකයන් නම් කිරීමේදී අනිවාර්ය කෙරෙන කාන්තා පංගුව සභිකයන් පත් කිරීමේදී නියමයක් නොවන බවයි.  
 
"කාන්තා නියෝජනය සභා හතලිස් ගාණක අසම්පුර්ණ වෙන්න හේතුව තමයි, පනතේ තියනවා 20% අඩුවෙන් ඡන්ද සහ සභිකයෝ 3කට වඩා අඩුවෙන් ඉන්න පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම් කාන්තා ධුර සහතික කිරීම අවශ්‍ය නැහැ කියලා. කාන්තා නියෝජනය 25% අනිවාර්යයෙන් අවශ්‍ය නම් මෙය සංශෝධනය විය යුතුයි කියන මතයේ මම ඉන්නවා. නැතුව 25% සාක්ෂාත් කරන්න බැහැ. මැතිවරණ ක්‍රමයේ තියෙන දුර්වලතා මිනිස්සු අවබෝධ කරගන්න කරගන්න ඔවුන් ඒවගෙන් ප්‍රයෝජන ගන්න හදනවනේ. මේ පාර ස්වාධින කණ්ඩායම් ගොඩක් කැඩිලා ඡන්දේ ඉල්ලලා තියෙනවා. කණ්ඩායමකටම සභිකයෙක් හම්බවෙන බව දන්නා නිසා 2018 අත්දැකීමක් ආව නිසා ගොඩක් කණ්ඩායම් මන්ත්‍රීවරු එක්කෙනෙක් හෝ දෙන්නෙක් සහතික කරගෙන තියෙනවා. ඒ වගේ තැනක කාන්තා නියෝජනය අහිමි වෙනවා. ඒ නිසා 25% සහතික කරන්න ඔය කියන කාරණය සශෝධනය කළ යුතු වෙනවා."
Image 640x416
 
අපේක්ෂිකාවන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ද ඇය සිය අදහස මෙසේ ප්‍රකාශ කළා ය.

"පක්ෂ ලේකම්වරයාට හරි ස්වාධීන කණ්ඩායම් නායකයාට හරි තමයි බලය හිමිවෙලා තියෙන්නේ කවුද පත්කරන්නේ කියන එක තීරණය කරන්න. එතකොට මේ පත් කිරීම කරන පිළිවෙලක් නැහැ. ඒ නිසා තමයි ඔය ප්‍රශ්නය ඇවිත් තියෙන්නේ. අනික් පැත්තෙන් බැලුවම තමන් හරියට වැඩ කළා නම් ඔවුන් අත්හැරිය නොහැකි තැන් තියනවා. අපි පහුගිය කාලේ දැකලා තියෙනවා එහෙම අවස්ථා. මිනිස්සුන්ට හොඳට වැඩ කළා නම් එක පැත්තකින් පරදින එකකුත් නෑ. දේශපාලන පක්ෂ අතාරින එකකුත් නෑ. දෙපැත්තක් තියනවා මොකද කාන්තා නියෝජනය 25% ආවාට කාන්තාවෝ හිටියා හොඳට වැඩ කළ අය වගේම වැඩ නොකරපු අය."

පක්ෂ තුල කාන්තාවන්ට එරෙහි අකටයුතුකම් නැවත්වීම සඳහා තම ජිවිතයේ අවසාන තත්පරය දක්වා සටන් වදින බව මාලා අවසානයේ අප සමඟ කියා සිටියා ය.
 
"මට වයස පනස් ගානක්. තාමත් දේශපාලනයේ එතනමයි. කොහොම වුණත් අවසාන තත්පරය දක්වා මම සටන් කරනවා. මට මෙහෙම වුණාට ඊළඟට එන කාන්තාවන්ට නිදහසේ දේශපාලන ගමනක් යන්න දෙන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා.”
නීති මගින් සලසා ඇති කාන්තා නියෝජනය ලබා දීම පක්ෂ විසින් නොසලකා හරිනු ලබන බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් විමසීමට අපි ප්‍රධාන පක්ෂ කීපයක මහලේකම්වරුන් සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයකදී ම උත්සාහ දැරූ නමුත් එය අසාර්ථක විය.
 
- අභිෂේකා වාසල බණ්ඩාර
abhishekawb54@gmail.com
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...