The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

නොරට සිට ආ මුතුන් මිත්තෝ (3) : වනයේ තප්පු ගසමින් දකුණු ඉන්දියානුවෝ මන්නාරම සිට මාතලේට ආ ගමන - (ඉන්දු පෙරේරා)

T

The Leader Desk

June 2, 2024 • 4:27 AM

නොරට සිට ආ මුතුන් මිත්තෝ (3) : වනයේ තප්පු ගසමින් දකුණු ඉන්දියානුවෝ මන්නාරම සිට මාතලේට ආ ගමන - (ඉන්දු පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ රටේ කෝපි වගාව ඉතා සශ්‍රීකව පැවතියත්, 1869 පමණ වන විට බදුල්ලේ මඩොල්සිම ප්‍රදේශයේ කෝපි වගාවට දිලීර රෝගයක් වැළඳිණි.
  • එහි ස්වභාවය නම් කෝපි කොළ මතුපිට විශාල වශයෙන් කහ ලප ඇතිවීමයි.
  • මේ අනුව 1882 පමණ වනවිට අපේ රටේ විශාල ලෙස ආදායම් ඉපයූ වාණිජ වගාවක් ව පැවති කෝපි වගාව සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වී ගියේය.
  • (නමුත් පසුකාලීනව මෙම රෝගයට ප්‍රතිකාර සොයාගෙන නැවත අපේ රටේ කෝපි වගාව ආරම්භ කර ඇතත් එය පෙර මෙන් ප්‍රචලිත වූයේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අපේ රටේ කෝපි වගාව ඉතා සශ්‍රීකව පැවතියත්, 1869 පමණ වන විට බදුල්ලේ මඩොල්සිම ප්‍රදේශයේ කෝපි වගාවට දිලීර රෝගයක් වැළඳිණි. Hemileia Vastatrix නමින් හඳුන්වන කෝපි කොළ මලකඩ වීමේ දිලීර රෝගය එම වසරේ අග භාගය වන විට දිවයින පුරා ව්‍යාප්ත වන්නට විය. එහි ස්වභාවය නම් කෝපි කොළ මතුපිට විශාල වශයෙන් කහ ලප ඇතිවීමයි. මේ අනුව 1882 පමණ වනවිට අපේ රටේ විශාල ලෙස ආදායම් ඉපයූ වාණිජ වගාවක් ව පැවති කෝපි වගාව සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වී ගියේය. මේ නිසා විශාල පිරිසකට රැකියා අහිමි වූ අතර වැවිලිකරුවන්ට බොහෝසෙයින් පාඩු සිදුවිණි. (නමුත් පසුකාලීනව මෙම රෝගයට ප්‍රතිකාර සොයාගෙන නැවත අපේ රටේ කෝපි වගාව ආරම්භ කර ඇතත් එය පෙර මෙන් ප්‍රචලිත වූයේ නැත.

 

Hemileia Vastatrix නමින් හඳුන්වන කෝපි කොළ මලකඩ වීමේ දිලීර රෝගය එම වසරේ අග භාගය වන විට දිවයින පුරා ව්‍යාප්ත වන්නට විය.

image d0e10bd9f3ජේම්ස්ටේලර් මේ වන විට අපේ රටේ වාණිජ තේ වගාව ආරම්භ වී තිබිණි. ඒ, 1867 දී ජේම්ස්ටේලර් විසින් හේවාහැට, ලූල්කඳුර වතුයායේ තේ වගාව ආරම්භ කිරීමත් සමඟ ය. සුදු ජාතික වැවිලිකරුවන් කෝපි අසාර්ථක වන විට ඊට ආදේශක වගාවක් ලෙස තේ සහ සිංකෝනා වගාව අත්හදා බැලුවත් සිංකෝනා වගාව සාර්ථක නොවිණි. ඒ වනවිටත් ලූල්කඳුර වතුයායේ සාර්ථකව තේ වගාව සිදු වෙමින් පැවති නිසා තේ වගාවටම සුද්දන්ගේ අවධානය යොමුවිය. කොපමණ ගින්නට හසුවුවත් නැවත නැවත පණ ගසා එන ෆීනික්ස් පක්ෂියකු මෙන් අපේ රටේ ද වතු වගාව නැවත පණ ගසා ආවේ තේ වලිනි.

James Taylorකෝපි වගාවෙන් පසු මෙරට ඊළඟ වාණිජ භෝගය ලෙස තේ වගාව ආරම්භ කිරීමේ පුරෝගාමියා ජේම්ස්ටේලර් ය.

 

කෝපි වගාවෙන් පසු මෙරට ඊළඟ වාණිජ භෝගය ලෙස තේ වගාව ආරම්භ කිරීමේ පුරෝගාමියා ජේම්ස්ටේලර් ය. නමුත් ඔහු මෙරට තේ වගාවේ පියා ලෙස සැලකිය නොහැකිය. ඊට හේතුව ලංකාවේ මුලින්ම තේ රෝපණය කළේ යුදෙව් ජාතිකයන් බැවිනි. 1873 දී මුලින්ම තේ අපනයනය ආරම්භ කරන ලද අතර ඒ තේ රාත්තල් විසි තුනකි. ඉන්පසු තේ වගාව මෙරට කොතරම් ප්‍රචලිත වූයේ දැයි කිවහොත් 1875 දී අක්කර පන්සියයක් පමණ වූ ලංකාවේ තේ වගාව 1887 වනවිට අක්කර එක්ලක්ෂ පනස්දහස දක්වා ව්‍යාප්ත විය. 1891දී ජේම්ස් ටේලර්ට ඔහුගේ මෙහෙවර උදෙසා සම්මානයක් ලෙස ඉංග්‍රීසි ආණ්ඩුව විසින් රිදී බන්දේසියක් ප්‍රදානය කෙරිණි. වසර 1893 දී ජේම්ස් ටේලර් මෙරටදී මිය ගියේය. ඒ පාචන උණ රෝගයක් වැළඳීම හේතුවෙනි. අදටත් ඔහුගේ කිරිගරුඬ සොහොන් කොත මහනුවර මහයියාව සුසාන භූමියේ දැකගත හැකිය.

 

34a planter estate workersනමුත් තේ වගාව ආරම්භ වීමත් සමඟ නැවත ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව පැන නැගිනි.
කෝපි වගාවේ අවසානයත් සමඟ බොහෝ ඉන්දීය කම්කරුවෝ නැවත සිය රට බලා ගියේ රැකියාවන් නොමැති වීම නිසා ය. නමුත් තේ වගාව ආරම්භ වීමත් සමඟ නැවත ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව පැන නැගිනි. කඳුකර ඉඩම් විශාල වශයෙන් තේ වගාව සඳහා එළිපෙහෙළි කිරීම සිදුවූ අතර අංශක 80 පමණ ආනතියෙන් යුතු කඳු බෑවුම්වල පවා තේ වගා කිරීම සිදුවිය. තේ වගාව පමණක් නොව, තේ දළු නෙළීම, තේ දළු සකස් කිරීම සේම තේ අලෙවි කිරීම ද ක්‍රමවත්ව ආරම්භ කළේ ජේම්ස්ටේලර් ය. ඔහුගේ යුගයේදී තේ අපනයනය ඉතා සාර්ථකව සිදුවූ අතර අපේ තේ එනම්, Ceylon tea ඉතා රසවත් තේ ලෙස විදේශ රටවල ඉහළ පිළිගැනීමක් ඇතිවන්නට පටන් ගත්තේය. ඒ නිසා ඉංග්‍රීසි වැවිලිකරුවන් මෙන්ම ස්වදේශික වැවිලිකරුවෝ ද තේ වගාව කෙරෙහි මහත් උනන්දුවක් දක්වන්නට වූහ.

 

aeryegඅපේ තේ එනම්, Ceylon tea ඉතා රසවත් තේ ලෙස විදේශ රටවල ඉහළ පිළිගැනීමක් ඇතිවන්නට පටන් ගත්තේය.
දකුණු ඉන්දියාවේ ඒ වන විටත් තදින්ම බලපෑ ආහාර අහේනිය, නියඟය මෙන්ම කුල ප්‍රශ්නය වැනි අනේකවිධ ගැටලුවලින් බැටකමින් මහත් දුෂ්කර ජීවිතයක් ගත කරමින් සිටි එම ජනතාව රැකියාවක්, ඉන්න හිටින්නට තැනක්, ආහාර මේ සියල්ල හිමිවන බවට ලද පොරොන්දු මත ලංකාවට පැමිණෙන්නට අකමැති වූයේ නැත. මෙලෙස සිය ගණනක පිරිසක් ඉන්දියාවේ රාමේශ්වරම්, ධනුෂ්කොඩිවලට පැමිණ එතැනින් බෝට්ටුවල නැගී ලංකාවේ තලේමන්නාරම අරිප්පු වෙත ගොඩ බැස්සහ. බෝට්ටුවල පැමිණෙන මේ ගමන් කෙසේවත්ම සුව පහසු වූයේ නැත. මේ අසරණ, අහිංසක ජනතාවට එවන් ගමන් හුරුපුරුදුව තිබුණේද නැත. මේ අසීරුතාව සුද්දන් නොදැන සිටියා නොවේ.

 

එසේම තලේමන්නාරම සිට කඳුකරයට පැමිණෙන්නට මංමාවත් තිබුණේද නැත. වන සතුන්ගෙන් ගහන, ඝන කැලෑවල් මැදින් සැතපුම් සියයකටත් වඩා වැඩි දුරක් ඔවුන් දින ගණනාවක් තිස්සේ දෙපයින් ඇවිද ආ යුතුය. එනිසා ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන සියලු දෙනාම නිරුපද්‍රිතව පැමිණියේ නැත. මේ කම්කරුවන් මෙරටට රැගෙන ඒමේ කටයුත්ත භාරගෙන තිබුණේ සුද්දන් යටතේ සේවය කළ කංකානිලා ය. ඔවුන්ට අවශ්‍ය ආහාර ඇතුළු සියලු පහසුකම් ලබා දී මෙහි රැගෙන එන ලෙස සුද්දන් නියම කර තිබුණත් කංකානිලාට අවශ්‍ය වූයේ මුදල් ය. ඔවුන් මුදල් ගසා කෑවා විනා එම කම්කරුවන්ගේ සුවපහසුව ගැන කිසිසේත් සැලකුවේ නැත. එකවර බඩු ලොට් එකක් මිලදී ගැනීමේදී කැඩෙන බිඳෙන සහ පලුදු වී ඉවත දමන්නට සිදුවිය හැකි යැයි අනුමාන කරන යම් ප්‍රමාණයක් ද ඇතුළත් කොට වැඩිපුර බඩු ප්‍රමාණයක් ඇණවුම් කරන පරිද්දෙන් එක් වත්තකට කම්කරුවන් සියයක් අවශ්‍ය වෙතොත්, ඒ සියය වෙනුවෙන් තුන්සියයක් පමණ ගෙන්වන්නට කංකානිලා වග බලා ගත්හ.

 

gwrtwtඑක් වත්තකට කම්කරුවන් සියයක් අවශ්‍ය වෙතොත්, ඒ සියය වෙනුවෙන් තුන්සියයක් පමණ ගෙන්වන්නට කංකානිලා වග බලා ගත්හ.

නියඟය සාගතය පිරි ප්‍රදේශයක සිට පැමිණෙන මේ දකුණු ඉන්දියානුවන් පිරිසට අතරමගදී කෑමට බීමට ආහාර පාන රැගෙන ඒමේ හැකියාවක් තිබුණේ නැත. නිරාහාරව සිටීමත්, බෝට්ටුවලින් පැමිණෙන විට සුළඟ වැනි ස්වභාවික උවදුරු දරාගත නොහැකි වීමත් මත සමහරු බෝට්ටුව තුළ මිය ගියහ. එසේ මියගිය අය මුහුදට දමා බෝට්ටු තලේමන්නාරම කරා ඇදෙමින් තිබිණි. කෝපි වගාවට දකුණු ඉන්දීය කම්කරුවන් ගෙන ඒමේදී පැමිණියේ බොහෝ විටම පිරිමින් පමණි. නමුත් කෝපි වගාවට මෙන් නොව තේ වගාවට නැවතී දිනපතා රාජකාරියේ යෙදිය යුතු විය. එනිසා මෙම ගමන්වලදී පිරිමින් වැඩි ප්‍රමාණයකුත්, කාන්තාවෝ සුළු ප්‍රමාණයකුත් වශයෙන් රැකියාවල් සොයා ලංකාවට පැමිණියහ.

F3YtKHzacAAFCNLමෙම ගමන්වලදී පිරිමින් වැඩි ප්‍රමාණයකුත්, කාන්තාවෝ සුළු ප්‍රමාණයකුත් වශයෙන් රැකියාවල් සොයා ලංකාවට පැමිණියහ.

 

තලේමන්නාරමෙන් ගොඩ බැසීමෙන් පසු ඔවුන් පැමිණිය යුතු වූයේ මාතලේට ය. මෙය කැලය කපාගෙන අඩි පාරවල් හදාගනිමින් ආ යුතු ගමනකි. එසේ පැමිණෙන අතරමගදී තම ජීවිතවලට අනතුරක් විය හැකි වනසතුන් ද එලවිය යුතුය. ඒ සඳහා ඔවුන් උපක්‍රමයක් ලෙස භාවිත කළේ මඟ දිගට තප්පු ( බෙර) ගැසීම ය. ඒ හඬට බිය වී බොහෝ වන සත්තු පලා ගියහ. මහන්සියට නවාතැන් ගත හැකි තැන් ඔවුන්ට නොවිණි. කන්නට බොන්නට ආහාර පාන සොයා ගත හැකි තැන් ද නොතිබියේය. ඔවුන් කෑවේ වනයේ අතරමගදී හමුවන ගස්වලින් කඩා ගත් ඵල ය. රාත්‍රියේ මහ ගස් යට නතර වී එකට ගුලි වී නිදා ගත්හ.

දින ගණනාවක් මෙසේ කිසිදු පහසුකමක් නැතිව නිසි ආහාරයක්ද නොලැබ එක දිගට දෙපයින් ඇවිද යාමේදී සමහරු රෝගී වූහ. නමුත් කිසිදු ඖෂධයක් ඔවුන් සතුව තිබුණේ නැත. රෝගී වූ කෙනා වෙනුවෙන් නතරවන්නට ද ඔවුනට හැකියාවක් නොතිබිණි. රෝගී වන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ද නොවේ. කොතරම් තප්පු ගැසුවත් සර්පයන්ගෙන් සේම අනෙකුත් වන සතුන්ගෙන් ඇතිවන උවදුරු එයින් මුළුමනින්ම වැළකුණේ ද නැත. තවදුරටත් ඇවිද යාමට තරම් දෙපා වලංගු නැති, රෝගීවන සහ සතුන්ගේ උවදුරුවලට ලක්වන මේ ඕනෑම කෙනෙකු ගසක් යට නතර කර වතුර ටිකක්, කැලෙන් නෙළාගත් කුමක් හෝ ආහාරයක් සපයා අනෙක් අය තමන්ගේ ගමන ගියහ. අවසානයේ ඒ පුද්ගලයාගේ ඉරණම වූයේ රෝගය අසාධ්‍ය වී හෝ සතුන්ට ගොදුරු වී හෝ එතැනම මියයාම ය.

14567631 571737949697466 508191608214024308 o

 

ඒ කාලයේ ඉංග්‍රීසි නිලධාරීන් විසින් ලියන ලද දිනපොත් ආදිය ඇසුරු කර ගනිමින් පසුකලෙක Donovan Moldrich නමැති මෙරට විසූ බර්ගර් ජාතික ලේඛකයා විසින් ලියන ලද " BITTER BERRY BONDAGE " නම් කෘතිය මගින් ඔහු විසින් විස්තර කර ඇති පරිදි මාතලේ සිට තලේමන්නාරම දක්වා මෙම ඉන්දීය දෙමළ ජනතාව පැමිණි ගමන් මඟ දිගේ ඒ කාලයේ කරත්තයකින් ගියහොත් එම කරත්තය පිරෙන්නට මිනිස් හිස්කබල් එකතු කරගෙන ආ හැකිය.

එපමණටම මේ ගමනේදී ඔවුන් සෑහෙන පිරිසක් මියගොස් තිබිණි. ඉන්දියාවෙන් මෙහි පැමිණි ප්‍රමාණය සහ ඉතිරි වූ ප්‍රමාණයත්, මියගිය ප්‍රමාණයත් දැක්වෙන සංඛ්‍යාලේඛන කොහේවත් නැත.

ඔවුන් කැලය කපාගෙන දෙපයින් ඇවිදගෙන ආ එම ගමන් මඟ පසුව පාරවල් බවට පත් කරනු ලැබිණි. ටික කාලයක් යන විට ඉංග්‍රීසි ආණ්ඩුව මෙම පාරවල් අතරමග දිගින් දිගට මෙහි පැමිණෙන අයට නවාතැන් ගැනීම සඳහා අම්බලම් වැනි ස්ථාන ඉදිකිරීමට වග බලා ගත්හ.

 

image 2020 03 04T09 42 01 748Zකංකානිලා තමන්ගේ වතුයායට අවශ්‍ය කම්කරුවන් ප්‍රමාණය මෙතැනට පැමිණ භාරගත්හ.
දිවි බේරාගෙන ඉතිරි වී එන අයගේ ගමනාන්තය වූයේ මාතලේ ය. එහි විශාල ගසක් යට ඔවුහු නතර වූහ. ඔවුන් පැමිණි ගමන් ඔවුන්ව භාරගන්නට කෙනෙක් සිටියේ නැත. බොහෝ විට ඔවුන්ට දවස් ගණන් එතැන නතර වන්නට සිදුව තිබිණි. ඔවුහු එම ගස යට සිට තමන්ගේ දෙවිවරුන් ඇදහූහ. අද වන විට මාතලේ නගරයේ මුත්තු මාරි අම්මාන් කෝවිල ඉදි කර තිබෙන්නේ ඔවුන් නවාතැන් ගෙන තිබූ එම ගස පිහිටි ස්ථානයේය. මාතලේ "නුග ගහ ළඟ බස් ස්ටෑන්ඩ්" එක තිබෙන්නේ මෙතැන ය.

කංකානිලා තමන්ගේ වතුයායට අවශ්‍ය කම්කරුවන් ප්‍රමාණය මෙතැනට පැමිණ භාරගත්හ. නමුත් මෙලෙස ඔවුන්ව භාර ගන්නට කිසිවෙකු නොපැමිණි අවස්ථා ද තිබිණි. එසේ නොපැමිණි කල කුසගිනි දරා ගත නොහැකිව කන්නට බොන්නට දෙයක් සොයාගෙන මෙම අසරණ දෙමළ ජනතාව පාරක් තොටක් නොමැති එම ප්‍රදේශයේ ඔහේ ඉබාගාතේ යන්නට වූහ. ඒ යන ගමනේදී ඇවිදගෙන ගොස් මහනුවර දෙසට සේන්දු වී ඇත. සමහරුන් ඒ ගමන්වලදී පවා රෝගීවී මියගොස් ඇති බව ඉතිහාසයේ සඳහන් වෙයි.

lipton bandara eliya tea estate in ceylon 1

 

තවත් කොටසකින් නැවත හමුවෙමු.

විස්තර සපයා ගැනීම:
කඳුකර සමාජ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මාරිමුත්තු සතිවේල් පියතුමා, ප්‍රවීණ මාධ්‍යවේදී නුවන් ගන්කන්ද, සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මුත්තුලිංගම් පෙරියසාමි මහත්වරුන් වෙතින් සහ Collective for historical dialogue and memory ආයතනය හා අන්තර්ජාලය වෙතිනි.

 

සටහන: ඉන්දු පෙරේරා

 

සබැඳි ලිපි :

නොරට සිට ආ මුතුන් මිත්තෝ (2): සිංහලයන්ට කටඋත්තර නැති කළ සුද්දෝ (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන්මිත්තෝ : ලංකාවට කම්කරුවන් සොයා ඉන්දියාවේ පෝස්ටර් (ඉන්දු පෙරේරා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...