මෙම පනත් කෙටුම්පත පළමු සහ දෙවන වරටත් පාර්ලිමේන්තුවේදී කියවූ අතර, දැන් එය වඩා විමර්ශනශීලීව තීරණය ගැනීමේ අවස්ථාව ලබා දෙන පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටුවක් වෙත යොමු කිරීමට නියමිත බව ආරංචි ය.
මේ අතර, ජනාධිපතිවරයා විසින් යම් රැස්වීමකදී ආණ්ඩුව එම පනත් කෙටුම් පනත ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවට ඉඟියක් දී ඇත. එය කිසිසේත් සිදු නොවිය යුත්තකි.
301B නව වගන්තිය හැර අනෙකුත් සියලුම සංශෝධන අත්‍යවශ්‍ය යි
අපගේ දැනුවත් මතය නම්, 301B නව වගන්තිය හැර අනෙකුත් සියලුම සංශෝධන අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ බවයි. දණ්ඩ නීති සංග්‍රහයේ 82 හා 341 වගන්ති සඳහා යෝජනා කෙරෙන එම අත්‍යවශ්‍ය සංශෝධන මගීන් ගුරුවරයකු විසින් සිසුවකුට සිදු කරනු ලබන ඕනෑම පහරදීමක් අපරාධයක් නොවන බවට දැනට පවතින ව්‍යතිරේකයන් ඉවත් කෙරෙනවා. නමුත් 301B නව වගන්තියක් හඳුන්වා දීමෙන් කාරණය ඕනෑවට වඩා දුර දිග ගෙන යනවා.
උදාහරණ ලෙස, 308B වගන්තිය මඟින් “කෙතරම් අඩු වුවද යම් ප්‍රමාණයක හෝ වේදනාවක් හා අවමානයක් ඇති කිරීම ශාරීරිකව දඩුවම් කිරීමක්” ලෙස කෙතරම් අඩු වුවද යන අමතර විස්තර කිරීමක් එකතු කරමින් “Loco Parentis” හෝ “දෙමව්පියන් වෙනුවට” යැයි කියනු ලබන පාසල් භූමිය නීතිමය අරගල භූමියකට යොමු කරන බවයි පෙනෙන්නේ.
308ආ වගන්තිය පනත් කෙටුම් පතෙන් ඉවත් කළ යුතු යි

පසුගිය ඔක්තෝම්බර් පස් වැනි ඉරිදා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය මගින් උක්ත මාතෘකාව යටතේ පැවැත්වූ කතිකාවෙන් සහ අදාළ ලේඛන පරීක්ෂා කිරීමෙන් පසු අපගේ මතය වන්නේ හොඳ චේතනාවකින් දරුවන්ට හිංසනයක් කිරීම වරදක් නොවන බවට ව්‍යතිරේක ඉදිරිපත් කරන අපරාධ නීති සංග්‍රහයේ 82 හා 308අ හා 341 වැනි වගන්ති සංශෝධනය කිරීම කාලීන හා අත්‍යවශ්‍ය බව හා දඩුවම් වැඩි කිරීම සඳහා අලුතින් එකතු කර ඇති 314අ, 316අ වගන්ති සාධනීය බව පෙනෙන නමුත් අලුතින් එකතු කර ඇති 308ආ වගන්තිය ඉතා ප්‍රශ්නකාරී බවයි.
එම නිසා අපගේ යෝජනාව වන්නේ දණ්ඩ නීති සංංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වන යන වගන්ති 82 හා 308අ, 341, 314අ හා 316අ යන වගන්ති නීතිගත කළ යුතු බවත් 308ආ වගන්තිය පනත් කෙටුම් පතෙන් ඉවත් කළ යුතු බවත්ය.
මෙම ලිපියේ ඉතිරි කොටසින් එම යෝජනාව සඳහා පදනම් කරුණු කාරණා වැඩි දුර පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.
කාලීන හා අත්‍යවශ්‍ය සංශෝධන
ඉදිරිපත්කර ඇති කෙටුම් පතෙන් අපරාධ නීති සංග්‍රහයේ 82 හා 308අ හා 341 වැනි වගන්ති වෙනස් කර අලුතින් වගන්ති 308ආ, 314අ, 316අ ලෙස එක් කර තිබෙනවා. මෙහිදී 82 හා 341 වැනි වගන්ති සඳහා වෙනස්කම් කාලීන හා අත්‍යවශ්‍ය ලෙස සලකන්න පුළුවන්.
දණ්ඩ නීති සංංග්‍රහයේ 82 වන වගන්තිය “ළමයෙකුගේ හෝ සිහිවිකල් වූවකුගේ යහපත සඳහා භාරකාරයාගේ කැමැත්ත අනුව සද්භාවයෙන් කරනු ලැබූ ක්‍රියාව” පිළිබඳවයි. එයින් කියවෙන්නේ “වයස දොළහෙන් අඩු හෝ සිහි විකල් තැනැත්තකුගේ යහපත සඳහා භාරකාරයාගේ හෝ එකී තැනැත්තා නීත්‍යනුකූලව භාරව සිටින තැනැත්තාගේ ප්‍රකාශිත ලෙස හෝ ඇඟවෙන ලෙස ලැබූ කැමැත්ත ඇතිව සද්භාවයෙන් කරන ලැබූ කිසි ක්‍රියාවක් ඒ ක්‍රියාවෙන් සිදුවිය හැකි හෝ, ක්‍රියාව කරන්නා විසින් සිදු කිරීමට අදහස් කරනු ලැබූ හෝ ක්‍රියාව කරන්නා විසින් විය හැකි යයි දැන ගනු ලැබූ පීඩාව නිසා පමණක් වරදක් නොවේ” යන්න ය.
වත්මන් පනත් සංශෝධන කෙටුම් පතෙන් “ළමයින් සම්බන්ධයෙන් ශාරීරික දඬුවම් පැනවීම කෙරෙහි මේ ව්‍යතිරේකය ව්‍යාප්ත නොවන්නේය.” ලෙස පස් වෙනි ව්‍යතිරේකයක් එක් කිරීම යන්න බොහෝ කලක සිට කල යුත්තක් බවට සමාජයේ සංවාදයක් පැවති කටයුත්තකි.
එසේම 341වන වගන්තියට කෙරෙන සංශෝධනය ද කාලීන බව පෙනෙනවා. උදාහරණ ලෙස දණ්ඩ නීති සංංග්‍රහයේ “සාපරාධී බලහත්කාරය” යන 341 වන වගන්තියේ කියවෙන්නේ “යම් වරදක් සිදු කිරීම සඳහා හෝ බලහත්කාරය පෑමෙන් එසේ බලහත්කාරකමට යටත් වූ තැනැත්තාට නීති විරෝධීව පාඩුවක් සිදුකිරීමේ හෝ භය කිරීමේ හෝ අප්‍රසන්න තාවයක් ඇති කිරීමේ අදහසින් හෝ එබඳු බලහත්කාරය පෑමෙන් එකී තැනැත්තාට එබන්දක් විය හැකි බව දනිමින්ම යම් තැනැත්තකුට ඔහුගේ කැමැත්ත නොමැතිව යමෙක්, ඕනෑ කමින්ම බලහත්කාරය පායි නම්, ඔහු එකී අනික් තැනැත්තාට “ සාපරාධී බලහත්කාරය” පෑ ලෙස සලකනු ලැබේ.” ලෙසයි.

වත්මන් සංශෝධන පනත් කෙටුම් පත මගින් මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 341 වන වගන්තියේ “පාඨශාලාචර්යවරයකු වූ :ඒ” ආචාර්යවරයකු වශයෙන් සිය අභිමතය යුක්තිසහගතව පාවිච්චි කිරීමේ දී ඔහුගේ ශිෂ්‍යයකු වූ “බී” ට තළයි. මෙහිදී “බී” ට භය සහ අප්‍රසන්නතා ඇති කිරීමට “ඒ” අදහස් කළ නමුත් ඔහු බලහත්කාරය නීති විරෝධී ලෙස නොපානා බැවින් “ඒ” “බී” ට සාපරාධී බලහත්කාරය නො පායි” යන (එ) නිදර්ශනයේ ඉවත්කිරීම ද කාලීන බව පෙනේ.
ප්‍රශ්නකාරී අලුත් වගන්ති
අලුතින් ඉදිරිපත් කෙරෙන 308ආ වගන්තියෙන් “කෙතරම් අඩු වුවද යම් ප්‍රමාාණයක හෝ වේදනාවක් හා අවමානයක් ඇති කිරීම ශාරීරිකව දඩුවම් කිරීමක්” ලෙස හැදින්වීම ඉතා ප්‍රශ්නකාරී බව අපගේ මතයයි.
උදාහරණ ලෙස:
“308ආ (1) වයස අවුරුදු දහඅටකට අඩු යම් තැනැත්තකුගේ භාරකාරත්වය, භාරය හෝ ආරක්ෂකත්වය දරා සිටිමින්-
(අ) දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් හෝ නිවැරදි කිරීමේ ක්‍රමයක් වශයෙන්, කෙතරම් අඩු වුවද යම් ප්‍රමාණයක වේදනාවක් හෝ අපහසුතාවක් ඇතිවීමට හේතුවන බවට දැනුම ඇතිව ශාරීරික බලය භාවිත කරනු ලබන යම් ක්‍රියාවක් සිදුකරන; හෝ
(ආ) කෙතරම් අඩු වුව ද යම් ප්‍රමාණයක අවමානයක් ඇතිවීමට හේතුවන බවට දැනුම ඇතිව ශාරීරික නොවන යම් ක්‍රියාවක් සිදුකරන, කවර හෝ තැනැත්තකු ශාරීරික දඬුවම් කිරීමේ වරද සිදුකරන්නේ ය.” [අපරාධ නීති සංශෝධන කෙටුම්පත, 2025 ජූලි මස 08]. යන මෙම වගන්තිය නිසා ඇතිවිය හැකි ප්‍රශ්න ගැන ප්‍රවීණ විශ්‍රාමික විදුහල්පතිනියක් වන පතිරාජ මැණිකේ මහත්මිය මෙසේ කියන්නී ය.
පාසල් පද්ධතිය තුළ සිසුන්ගේ ආරක්ෂාව සඳහා දීලික්ත නීතියේ (හෝ Delict Law හි) ප්‍රතිපාදන ඇත. එහි දී සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ නොවීමේ සීමාව තුළ විනය පවත්වා ගැනීම සඳහා කටයුතු කිරීම ගුරුවරුන්ගේ රාජකාරියේම කොටසක් ලෙස අර්ථ ගන්වා ඇත. එය අතික්‍රමණය කළ අවස්ථාවල දී දිලික්ත නීතිය යටතේ දඬුවම් ලබාදුන් අවස්ථා තිබෙන බවත් පාසල් පද්ධතිය දැනුවත් ය. දණ්ඩ නීති සංග්‍රහයට යෝජිත නව සංශෝධන තුළින් ගුරුවරුන්ගේ ඉහත කාර්යය එනම් දරුවන් ශික්ෂණයට ලක් කිරීමේදී එය බලපාන්නේ කෙසේද යන්න ඉතා මත් විධිමත්ව විමර්ශනය කළ බැලිය යුතුය.
පාසලේ ප්‍රමුඛ කාර්යයක් වන්නේ ඉගෙනුම් ඉගැන්වීම් කාර්යය සහ දරුවා ශික්ෂණයෙන් යුතු සමාජ සම්මතයන්ට ගැළපෙන ප්‍රශස්ත පුරවැසියන් බිහිකිරීමයි. සිසුවා ශික්ෂණයට ලක් කිරීම ප්‍රබෝධකාරී අභිප්‍රේරණයෙන් සිදු කළ යුතු බව වෛද්‍ය මතයයි. මෙම විද්‍යාත්මක පදනම කෙරේ මුළු පාසල් පද්ධතියම එකඟ වේ. නමුත් පාසල් පධතියේ හෝ සමාජයේ යථාර්තය වෙනස් එකකි.
යෝජිත සංශෝධන තුළින් ගුරුවරු සහ විදුහල්පතිවරු දැඩි අපහසුතාවට ලක් වේ ද...?

පාසල් පද්ධතිය තුළ අපචාරී හෝ සම්මතයට පටහැනිව ක්‍රියා කිරීමට උත්සාහ කරන දරුවන් බොහෝ අවස්ථාවලදී නිවස තුළ කුඩා කාලයේ සිටම මානසික හා ශාරීරික අපයෝජනයට ලක් වූවන් ය. මෙම දරුවන්ට මැදිහත්වීම ඉතා අසීරු කටයුත්තකි. පාසල් පද්ධතියේ ද විවිධ විෂමතා ඇත. දරුවන් දහයට අඩු පාසල් සිට දරුවන් 3500 පමණ වන පාසල් ලංකාව තුළ පවතී.
මෙම පාසල්වල බිම් ප්‍රමාණය බොහෝ දුරට දරුවන්ට ලැබිය යුතු ආකාරයේ ප්‍රශස්ත මට්ටමක පවතින්නේ නැත. තදබද බව නිසා පාසල් භූමියක් තුළ දැනට දිළික්ත නීතිය යටතේ සිසුන්ට ලබාදිය යුතු ආරක්ෂාව අපරීක්ෂාකාරී නොවීම යන සංකල්පය වුව ද පාසල තුළ රැක ගන්නේ දැඩි අභියෝග මැද ය. මෙම යෝජිත සංශෝධන තුළින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් තව දුරටත් දැඩි අපහසුතාවයන්ට ලක් වීමට ඉඩ ඇත.
පාසල් පන්ති කාමරයක් තුළ හිත් රිදවීම් හිතමතා වේදනාවට පත් කිරීම් අපහසුතාවයට පත් කිරීම් එම දරුවන් හා දෙමාපියන් ඔවුන්ගේ අත්දැකීම් හා පවුල් පසුබිම් මත අර්ථකථනය කළ හැකි ය. මා සරල උදාහරණයක් දෙන්නම්. පන්ති කාමරය තුළ ගුරු මහත්මිය ප්‍රශ්න ඇසීමක දී යම් අවස්ථාවක ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා දීර්ඝ කාලයක් ලබාගන්නා සිසුවා අත්හැර තවත් දරුවෙක් එම පිළිතුර ලබා ගැනීම යන්න කාල කළමනාකරණය හා ගුරු බවතාගේ ක්‍රමවේදය තුළ සිදුවිය හැකි ය. මෙවැනි අවස්ථාවක දී එම දරුවාට ප්‍රශ්න ඇසීමේ වාරය ඔහුට නොදීම හිත් වේදනාවකට පත්වීමක් ලෙස අර්ථ දක්වා අනවශ්‍ය ආකාරයෙන් ගුරුවරයාට පීඩනයක් ඇති කිරීමට ඉඩ සැලසීමට 308ආ වගන්තිය මග පාදයි.
නීතිමය රාමුවක් තුළ දැඩි ප්‍රතිමාන යෙදවීම සමාජයට ඔරොත්තු නොදේ

ඊට අමතරව, අධික තදබදයෙන් යුතු පන්ති කාමරවල ප්‍රබෝධාත්මක අභිප්‍රේරණය මගින් සිසුන් ශික්ෂණයට ලක් කිරීම තබා සිසුවකුට නොවෙනස් සැලකීම පවා සිදුකර ගැනීම අසීරුය. පන්ති කාමරයක සිසුන් පනහක් දක්වා පවතින අවස්ථාවක අසුන් ගැන්වීම පවා සිදු කරන්නේ සිසුන්ට අසමානව සලකමිනි. ගුරුවරයකු විසින් සිසුවාට පෞද්ගලිකව ළංවීම, පෞද්ගලික අවධානය දැක්වීම, මුහුණේ ඉරියව් තේරුම් ගැනීම, නිරීක්ෂණය කිරීම සංවාදයක් ඇතිකර ගැනීම ඉතා අසීරුවෙන් සිදු කරයි. දැඩි තදබදයක් පවතින පන්ති කාමරයක ඉගැන්වීම අවසානයේ දී ගුරුවරයා දැඩිව වෙහෙසකට පත්වීම සිදුවේ.
අප සමාජය තුළ විවිධ ජන වර්ග ඔවුන්ටම සුවිශේෂී ක්‍රියාමාර්ග මගින් දරුවන් ශික්ෂණයට ලක් කරයි. මෙය පවුලෙන් පවුලට වෙනස් වන ආකාරයක් ද පෙනේ. සමාජයක දෙමාපියන් ට දරුවන් ශික්ෂණය කිරීම සඳහා යම්කිසි බැඳීමක් ඇති නිසා මෙම බැඳීමට නීතිමය රාමුවක් තුළ දැඩි ප්‍රතිමාන යෙදවීම සමාජයට ඔරොත්තු නොදෙන බව මගේ විශ්වාසය යි.
එලෙසම පාසලක් හෝ පන්ති කාමරයක් යනු ගුරුවරුන් හා විදුහල්පතිවරුන් විසින් ලොකො-පේරන්ටිස් හෙවත් දෙමාපියන් වෙනුවට කටයුතු කරන ස්ථානයක් යන මනෝභාරයක පිහිටා නිරන්තරයෙන්ම ගුරු සිසු විදුහල්පති සම්මුඛව විවිධ අදහස් හුවමාරුවක් වන තැනකි. එවැනි තැනකටත් නීතිමය රාමුවක් තුළ දැඩි ප්‍රතිමාන ඇතිකිරීම එම වැදගත් සම්බන්ධතාවයට ඇති කරන අනිසි බලපෑම ගැන දැඩි ප්‍රවේසමකින් නීති සම්පාදනය කළ යුතුයි.
එනිසා පාසල යනු ඉතාම සුවිශේෂී ස්ථානයක් බවත් එම ස්ථානය දණ්ඩ නීති සංග්‍රහයට සිරගත වන අවස්ථාවක් ඇති කිරීම කෙතරම් උචිත දැයි දැඩිව විමසා බැලිය යුතුය මේ සඳහා සමාජය තුළ ගුරුබවතුන් සමග දැඩි කතාබහක් සංවාදයක් කර තීරණ ගැනීම ඉතා උචිත යැයි මම විශ්වාස කරමි.

අප සියලුම පාර්ශව එකතුව සිසුවා ශික්ෂණයට ලක් කිරීම සඳහා දැනට පවතින ක්‍රමවේද යාවත්කාලීන කිරීම, අලුත් ක්‍රමවේද සොයා ගැනීම, මනෝවිද්‍යාත්මක දැනුම ප්‍රචලිත කිරීම, දෙමාපියන් දැනුවත් කිරීම යනාදිය සිදුකර අදාළ පාර්ශව බලවන්තකරණය කිරීම වඩාත් සුදුසුය.
දැනට ඇති නීති රීති
අධ්‍යාපන අමාත්‍යාශයේ චක්‍ර ලේඛන අංක 12/2016 මගින් අධ්‍යාපන ලේකම් වරයා විසින් අමානුෂික අන්දමින් කායික හෝ මානසික දඬුවම් ලබා දීමෙන් තොරව පාසල තුළ විනය පවත්වා ගෙන යෑමේ වැදගත්කම අවධාරණය කරන අතර පාසල තුළ ළමා අපයෝජන සිදු නොවන වාතාවරණයක් ඇති කර ගැනීමටත් වග බලා ගත යුතු බව අවධාරණය කරයි. එම චක්‍ර ලේඛනයෙන් ම පාසල් විනය පවත්වාගෙන යෑමේ අරමුණින් වුවද සිසුන්ට දඬුවම් දීම සිදු කළහොත් පහත සඳහන් නීති ක්‍රියාමාර්ග වලට මුහුණ දීමට සිදුවනු ඇති බව දන්වා සිටී.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ iii වන පරිච්ඡේදයේ 11 වන වගන්තිය හා xvi පරිච්ඡේදයේ 126 වැනි වගන්තිය අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ නඩු නිමිත්තක් උද්ගත විය හැකි ය.
1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහයේ 3 වන වගන්තියේ හා ප්‍රධාන ප්‍රඥප්තියේ 308අ වගන්තිය යටතේ ළමයින් කෘරත්වයට භාජනය කිරීමේ වරද යටතේ නඩු නිමිත්තක් උද්ගත විය හැකි ය. ඒ අනුව, එම සිදුවීමට අදාළව ඉදිරිපත් වී ඇති කරුණු විමර්ශනයේ දී ඒ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියා මාර්ග ගත හැකි බවට නීතිපති වාර්තා කරන්නේ නම් අදාළ වරදකරුවන්ට එරෙහිව නඩු පැවරිය හැකි ය.

අධ්‍යාපනයට අදාළ බලධරයන් විසින් පවත්වනු ලබන විනය පරීක්ෂණ වලින් ශාරීරික දඬුවම් ලබා දී ඇති බව ඔප්පු වුවහොත් ආයතන සංග්‍රහයේ 11 වන කාණ්ඩය අනුව විනය ක්‍රියාමාර්ග ගනු ලැබිය හැකි ය.
තව දුරටත් ළමා හිංසනය සම්බන්ධයෙන් සියලු විමර්ශන හා අපරාධ නඩු කටයුතුවල ප්‍රගතිය නියාමනය කිරීම ඇතුළු විශේෂ බලතල රාශියක් සහිතව 1998 අංක 50 දරන පාර්ලිමේන්තු පනත මගින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පිහිටුවා ඇති බවත් එම අධිකාරියට පූර්ණ සහයෝගය ලබා දිය යුතු බවටත් චක්‍ර ලේඛනයෙන් උපදෙස් ලබා දෙයි.
පතිරාජ මැණිකේ මහත්මිය විසින් අදාල දිලික්ත නීති පද්ධතියක් ඇති බවත් සඳහන් කරයි.
හිංසනය වැළැක්වීමට බහු විධ ක්‍රම අවශ්‍යයි
කලින් සඳහන් කළ ලෙසට දරුවන්ට හිංසනය අනුමත කෙරෙන 82 හා 318 වගන්ති දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම වැදගත් වූවත්, වෙනත් අලුත් නීති ගෙනවිත් පතිරාජ මැණිකේ විදුහල්පතිනිය පවසන ලෙසට පාසල යනු සුවිශේෂී ස්ථානය දණ්ඩ නීති සංග්‍රහයට සිරගත කරන තත්වයක් ඇති නොකළ යුතුයි. ඒ වෙනුවට දරුවන්ගේ ආරක්ෂාව සඳහා වන බහු විධ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම හා දෙමාපියන් හා ගුරුවරුන් නිරන්තරයෙන් ඒවා ගැන දැනුවත් කිරීම අවශ්‍යයි.

පාසලේ සිදුවූ ලිංගික අතවරයක් හා ඒ සම්බන්ධ සිද්ධි මාලාවක ප්‍රතිඵලයක් ලෙස 2025 අප්‍රේල් 29 වන දින 15 හැවිරිදි දිල්ෂි අම්ෂිකා සිසුවිගේ සියදිවි නසා ගැනීම සිද්ධියේදී පාසල් පද්ධතිය විසින් සැකකාර ගුරුවරයා ආරක්ෂා කළ ද රජයේ රෝහලේ අධිකරණ නිලධාරියා මැදිහත්ව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව එම ගුරුවරයා පිළිබඳව පරීක්ෂණයක් පැවැත් වෙනවා. නමුත් සමාජයෙන් එල්ල වන වෙනත් බහුවිධ කොන්කිරීම් මැද්දේ තනිවන දරුවා සිය දිවි නසා ගත් බවට කරුණු තිබෙනවා.
දරුවන්ට සිදුවන ලිංගික අතවර නොසලකා හැරීමටත් දණ්ඩනය යනු අවශ්‍ය දෙයක් ලෙස පිළි ගැනීමටත් අප සමාජය හෝ සමාජයේ යම් කොටස් පෙලඹෙන අම්ෂිකා සිද්ධිය මෙන්ම සමාජ මාධ්‍යවල යෝජිත පනත පිළිබඳ ප්‍රතිචාර වලින් පෙනෙනවා. නීති වලින් පමණක් සමාජයක් හදන්න බැහැ. එම නිසා දරුවන්ට හිංසනය අනුමත කෙරෙන 82 හා 318 වගන්ති දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කර ඊට සමගාමීව පහත සඳහන් බහු විධ ආරක්ෂණ ක්‍රම සවිමත් කිරීම රජය විසින් කළ යුතු ය.
12/2016 චක්‍ර ලේඛනයේ සඳහන් ආරක්ෂණ ක්‍රම ගැන ගුරවරුන් හා පරිපාලකයින් නැවත නැවත දැනුවත් කිරීම
පාසලකට දරුවකු ඇතුළත් කරන අවස්ථාවේ දී දෙමාපියන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් මෙන්ම පාසලෙන් සහ ප්‍රාදේශීය, කලාප, පළාත් සහ ජාතික බලධාරීන්ගෙන්, නොයෙකුත් කමිටු වලින් සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් දෙමාපියන්ට ලබා ගත හැකි සේවාවන් පිළිබඳ තොරතුරු ඇතුලත් පත්‍රිකාවක් භාවිතා කරමින් සියලුම දෙමාපියන් දැනුවත් කිරීම පාසල්වලට අනිවාර්ය කිරීම.
2016 ගැසට් අංක 1963/30 න් ප්‍රකාශ කර ඇති 2015 අංක 1 දරන දරුවන්ගේ අනිවාර්ය පාසල් පැමිණීමේ කමිටු රෙගුලාසියට අනුව හෝ නව රජය විසින් අවශ්‍ය නම් යාවත්කාලීන කරන ලද වෙනත් රෙගුලාසියක් යටතේ සෑම දරුවකුට ම පාසලේ හිතකර පරිසරයක් සැපයීමේ වගකීම ඇති කමිටු වහාම ග්‍රාම නිලධාරී මට්ටමෙන් හෝ යම් සුදුසු මට්ටමකින් පිහිටුවන්න. ඒවා නිසි පරිදී අධීක්ෂණය කිරීමේ වගකීම පළාත් බලධාරීන්ට පවරන්න. මධ්‍යම රජයත් වාර්ෂිකව ඒවා පිළිබඳව විමසීමක් කරන්න.
1998 දක්වා සශෝධන අයත් දණ්ඩ නීති සංග්‍රහය.
2017 අධ්‍යාපන අමාත්‍යංශ චක්‍ර ලේඛනය: 12/2017
2021 මහාධිකරණ තීන්දුව
2025 සංශෝධන පනත
සටහන :
Gayathri Nawarathne
thiwankanawarathna1995@gmail.
Dr. Sujatha Gmage
gamage@gmail.com




