"ආදරය කරන්න බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ?"
"නෑ"
"ලංකාවේ කෙනෙක් හොයාගන්න කැමති ද?"
"ආ....ම්..... මම හිතන්නේ ලංකාවට ගිහින් බෝයි ෆ්‍රෙන්ඩ් හොයාගන්න එක හොඳයි."
"හොඳයි හොඳයි"ෆේස්බුක් සමාජ මාධ්‍ය වේදිකාවේ මිලියන 1.2ක නැරඹුම් වාර ගණනක් සහිත වීඩියෝවක දැක්වෙන මෙම කතාබහ සිද්ධ වෙන්නේ චීන යුවතියන් දෙදෙනෙක් අතරයි. චීන උරුවක් ඇතිමුත් චතුර ලෙස සිංහල බස හසුරවන මේ යුවතියන් වෙත 65,000ක් දෙනකුගේ ප්‍රතිචාර, 2200 දෙනකු කොමෙන්ටු ද යොමු කර තිබූ අතර 4600 දෙනකු එම වීඩියෝව බෙදා ගෙන තිබුණි. විශේෂත්වය වන්නේ මෙසේ ප්‍රතිචාර දක්වා ඇති බහුතරයක් ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන් වීමයි. ඇතැමෙක් ආදර යෝජනා ද, තවත් අයෙක් සිංහල බස කතා කිරීම ගැන සුබ පැතුම් ද, මෙරට සම්ප්‍රදායික ඇඟලුමක් වන උඩරට ඔසරියක් ඇඳගෙන සිටීම වර්ණනා කිරීම් ද කොමෙන්ටු ලෙස පළ කර තිබුණි.
"චීන ළමයි සිංහල ඉගෙන ගන්නේ ඇයි?" නමින් මෙම වීඩියෝව පළ කර තිබූ ෆේස්බුක් ගිණුම පවත්වාගෙන යන්නේ මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයන් වෙත සිංහල බසින් විවිධ අන්තර්ගත ඉදිරිපත් කරන, සිංහල නම්වලින් පෙනී සිටින චීන කතුන් සිව්දෙනකු - බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වන ඔවුන්ගේ සමස්ත ෆේස්බුක් අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 4 ඉක්මවයි - අතරින් එක් අයකු වන "Waruni JZ" යි. ෆේස්බුක් සමාජ මාධ්‍ය වේදිකාවට අමතරව මෙනමින්ම ටික්ටොක් සමාජ මාධ්‍ය වේදිකාවේ ඇති ගිණුමේ ද පළ කර තිබූ මෙම වීඩියෝවට සමස්තයක් ලෙස 80,000කට අධික ප්‍රතිචාර හිමිවී තිබුණි.
කෙසේ වෙතත්, ලොව ප්‍රමුඛ සමාජ මාධ්‍ය වේදිකාවක් වන ෆේස්බුක් වෙත ප්‍රවේශ වීම චීන පුරවැසියන්ට අවහිර කර ඇති පසුබිමක, "සිංහල දන්න චීන මිතුරියක්" නමින් ඉදිරිපත් කෙරෙන මෙම අන්තර්ගත පිළිබඳ ඇතැමෙක් සැකසංකා මතු කර තිබුණේ, මෙය දීර්ඝ කාලින සැලැස්මක කොටසක් විය හැකි බව සඳහන් කරමිනි.
සමාජ මාධ්‍ය කොමෙන්ටු
මේ වගේ සමාජ මාධ්‍ය මෙහෙයුමක් (Influence Operation) ලංකා ඉතිහාසයේ තිබිලා නැහැ
ආචාර්ය සංජන හත්තොටුව සිංහල භාෂාව කතා කරන සමාජ මාධ්‍ය පරිශීලකයන් ඉලක්ක කරගනිමින් වසර 6ක් තිස්සේ චීනය ඉතා සූක්ෂම ලෙස සමාජ මාධ්‍ය මෙහෙයුමක් (IO) සිදු කරමින් සිටින බව ආචාර්ය සංජන හත්තොටුව පවසයි. ඔහු මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව පර්යේෂණ කටයුතු සිදු කරමින් සිටින ප්‍රාමාණික විද්වතෙකි.
''ඔවුන්ට තියෙනවා CGTN සිංහල කියලා වෙනම ප්‍රවෘත්ති අංශයක්. ඊට අමතරව ඔවුන්ට තියනවා ගිණුම් 4ක්. බැලූ බැල්මට ඒ අකවුන්ට් රෙජිස්ටර් වෙලා තියෙන්නේ ලස්සන චීන ගැහැණු කට්ටිය එක්ක. සිංහල හොඳට පුළුවන්. ඒ ගොල්ලෝ හරහා තමයි දෛනිකව චීනය ඉදිරිපත් කිරීමක් ලංකාවේ සෝෂල් මීඩියා ඕඩියන්ස් එකට දියත් කරන්නේ.
"මේ වගේ IO එකක් ලංකා ඉතිහාසයේ තිබිලා නැහැ. අනිත් රටවල තානාපති කාර්යාල, තානාපතිවරු හරහා ඉදිරිපත් කිරීම් කරද්දී චීනයේ දේශපාලනය, භූ දේශපාලනය, ණය ආධාර, අන්තර් සබඳතා ගැන පැතිකඩවල් අති සූක්ෂම විදියට ඉදිරිපත් කරන්නේ මේ ජාලය විතරයි. ඒ නිසයි අපි මේකට ඉන්ෆ්ලුඅන්ස් ඔපරේෂන් එකක් කියලා කියන්නේ.''
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පවිත්‍රා ජයවර්ධන අනෙක් රටවල් හා සමානවම චීනය ද, සිය බල ව්‍යාප්තිය උදෙසා දරන උත්සාහයේ දී, තමන්ට භාවිත කළ හැකි සුහුරුම මෙවලම යොදා ගනිමින් උපාය මාර්ගිකව සමාජ මාධ්‍ය භාවිතාව සිදු කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පවිත්‍රා ජයවර්ධන පවසන්නී ය.
"චීනය හරිම ස්මාට් විදියට, අපි ඔවුන් ගේ පසුපස හඹා යනවා වෙනුවට ඔවුන් අපේ දේවල්වලට ආකර්ෂණය වීමෙන්... අපේ භාෂාව ඉගෙනීමට පෙළඹෙනවා, ආහාර පාන සඳහා පෙළඹවීමක් තියනවා. මේ වගේ අපිත් සමඟ සුහද සබඳතාවක් ගොඩනගන ප්‍රවණතාවක් ඇතුලේ තමයි ඔවුන්ගේ සමාජ මාධ්‍ය භාවිත වෙන්නේ. චීන රාජ්‍ය දූතකරණයේ දී ගෝලීය දකුණත් එක්ක කරගෙන යන ඒකාග්‍රවීම සඳහා යොදාගන්න තවත් එක් මෙවලමක් විදියට තමයි මේ සමාජ මාධ්‍ය භාවිතය සැලකිය හැක්කේ."
ආචාර්ය සංජන හත්තොටුව විසින් ඉකුත් ඔක්තෝබර් මස එළිදැක්වූ "Engineered authenticity: Chinese influence operations on Facebook in Sri Lanka" නම් අධ්‍යන වාර්තාවට අනුව Tharushi Zhao, Waruni JZ, Rasika Liu, I’m Sheng Li යන ෆේස්බුක් පුද්ගල ගිණුම් හතර සහ CGTN Sinhala Team, CGTN Sinhala යන ෆේස්බුක් පිටු දෙක සමස්තයක් ලෙස සමාජ මාධ්‍ය අනුගාමිකයන් මිලියන 6.1ක් වෙත පිවිසෙයි. එම ෆේස්බුක් පුද්ගල ගිණුම් හතර 2020 වසරේ අග භාගයේ දී ආරම්භ කර ඇති අතර මේ වනවිට "China State-Controlled Media" ලෙස ඒවා ෆේස්බුක් සමාගම විසින් ලේබල් කර ඇත. මෙම ගිණුම් අතරින් ගිණුම් දෙකකට මිලියනය ඉක්මවා ෆේස්බුක් අනුගාමිකයන් සංඛ්‍යාවක් සිටින අතර මෙරට සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් අතරින් එලෙස මිලියනය ඉක්මවූ ෆේස්බුක් අනුගාමිකයන් පිරිසක් සිටින්නේ කිහිප දෙනකුට පමණක් වීම විශේෂත්වයකි.
දත්ත : "Engineered authenticity: Chinese influence operations on Facebook in Sri Lanka" වාර්තාවෙනි චීන විදේශ ප්‍රතිපත්තියේ මානුෂීය පැතිකඩ, චීන තාක්ෂණික විශිෂ්ටත්වය, බෞද්ධ සම්බන්ධතා, චීන පවුල් සබඳතා ආදී මාතෘකාවල සිට සමාජ මාධ්‍යයේ අලුත් නර්තන ප්‍රවණතා, ගීත ගායනය, සිතුවම් ඇඳීම වැනි සෞන්දර්යාත්මක පරාස දක්වා මෙම ගිණුම් ඔස්සේ කතාබහට ලක්වෙයි.
චීන පාලිත මෙම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සිදු කෙරෙන්නේ සමාජ මතය, චීනය පිළිබඳ දෘෂ්ටිකෝණය දීර්ඝ කාලින හැඩ ගැස්සවීමක් බව ආචාර්ය සංජන පවසයි. එමෙන්ම, ඒ ඔස්සේ ක්‍රමයෙන් පුද්ගල විචාර බුද්ධිය අඩපණ කිරීමක් සිදු වන බව ඔහු කියා සිටියි. මෙම ෆේස්බුක් ගිණුම් මගින් ඉදිරිපත් කෙරෙන අන්තර්ගත ඔස්සේ චීනයේ ගත කරන එදිනෙදා ජීවිතය, තාක්ෂනය, ආහාර පාන, කෘෂිකර්මාන්තය වැනි මාතෘකා සම්බන්ධයෙන් සීමා සහිත කතිකා කරන නමුත් එරට මානව අයිතිවාසිකම් කඩවීම්, තායිවානය කෙරෙහි චීන ප්‍රතිපත්තිය, ණය උගුල, එක් තිරයක් එක් මාවතක් ක්‍රියාන්විතයේ සංවර්ධන ගැටළු වැනි තත්වයන් ගැන කිසිවිටකත් සාකච්ඡා නොවන බවත් ආචාර්යවරයා පවසයි.
"මේකට කියන්නේ සොෆ්ට් ඩිප්ලෝමසි. ඒ ඉදිරිපත් කිරීම ඉතා සීමා සහිත චීනයක්. ඒ රාමුගත කිරීමක්. අහම්බෙන් නෙමෙයි හිතලා බලලා තමයි ඒක කරන්නේ. ඒකට අපේ ෆලවර්ස්ලා ග්‍රහණය වෙනවා. මොකද ඇත්තට අලංකාරයි. ඒකට අපේ හිත යනවා."
"දෛනිකව මේක වෙන හින්දා, අපේ අවධානය ග්‍රහණය කරලා මනස හසුරවනවා ඒ පැතිකඩවල් දිහා විතරක් බලන්න. වෙනත් පැතිකඩවල් නැති තත්වයට ගේනවා. ඒ කියන්නේ විචාර බුද්ධිය, විචාරාත්මක විදිහට ප්‍රශ්න කිරීමේ හැකියාව අවම කරනවා. විචාරාත්මක කතිකාවක් නැති සමාජයක් ප්‍රජාතාන්ත්‍රික සමාජයක් කියලා කියන්න බැහැ. ඒක වහල් සමාජයක්. අපි මේකට කියන්නේ කොග්නිටිව් වෝ ෆෙයා කියලා. හෙට අනිද්දට ඔවුන්ට යම්කිසි ප්‍රයෝජනයක් අත්වෙන දෙයක් නෙවෙයි IO වලින් ලංකාවේ වෙන්නේ. චීනයට පක්ෂපාති දෘෂ්ටිකෝණයකින් සමාජයේ මතිමතාන්තර හසුරවන එක, ඒක දීර්ඝ කාලින වගාවක්. ඒක තේරුම් ගැනීම වැදගත්."
උපුටා ගැනීම : Engineered authenticity: Chinese influence operations on Facebook in Sri Lankaසමාජ මාධ්‍ය පරිශීලනය අධිකව සිදු කෙරෙන රටක් ලෙස ශ්‍රී ලංකාව පර්යේෂණාගාරයක් ලෙස භාවිතයට කදිම රටක් බව ආචාර්ය සංජන හත්තොටුව පවසයි. එමෙන්ම, මෙරට තුල සාර්ථක පර්යේෂණ පදනම් කරගෙන බටහිර ලෝකය තුල සමාජ මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා චීනය විසින් ශ්‍රී ලංකාව ඉලක්ක කිරීමට හේතු විය හැකි බවයි ආචාර්යවරයා පෙන්වා දෙන්නේ.
"Graphika නම් පර්යේෂණ ආයතනය සොයාගෙන තියෙනවා Spamouflage නමින් IO ව්‍යාපෘතියක්. චීනය විසින් බටහිර ලෝකය ඉලක්ක කරගත්ත. ලංකාවත් එක්ක සංසන්දනය කළාම ලංකාවේ සිද්ධ වෙන දේවල්ම තමයි එතනත් කරලා තියෙන්නේ."
තව ද දකුණු ආසියාතික භූ දේශපාලනයේ කේන්ද්‍රස්ථානයක් වන ඉන්දියාව සමඟ ඇති ගනුදෙනුව සමස්ත චිත්‍රයෙන් මකා දැමීමක් මේ ඔස්සේ අපේක්ෂා කළ හැකි බව ඔහු අවධාරණය කරයි.

"අනිවාර්යයෙන් මෙය රාජ්‍ය දූතකරණයේ සහ රාජ්‍ය බල හුවමාරුවේ කොටසක් හැටියට දකින්න වෙන්නේ. අපිට මේකට විරුද්ධ වෙන්න බැහැ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්. අපි ඓතිහාසිකව දූපත් රාජ්‍යයක් ලෙස විවිධ වෙළඳ ගනුදෙනුකරුවන්, විවධ රාජ්‍ය එක්ක විවිධාකාර සම්බන්ධතා පැවැත්වුවා. ඉතින් ඉරක් ගහලා අපිට කියන්න බැහැ අපි ඔයගොල්ලෝ එක්ක විතරයි වැඩ කරන්නේ අනිත් අය එක්ක වැඩ කරන්නේ නැහැ කියලා. ඒක අපේ ප්‍රජාතන්ත්‍රවාදී හරයන්ට විරුද්ධයි."







