The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාක්ෂාව (39 කොටස) : ලෙච්චමී සමු ගනී | ඉන්දු පෙරේරා

T

The Leader Desk

July 3, 2026 • 10:02 AM

රාක්ෂාව (39 කොටස) : ලෙච්චමී සමු ගනී | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාන කාමරයේ දී අසනීප වූ ලෙච්චමීව රෝද පුටුවේ දමාගෙන යළි කාමරයට ගෙනැවිත් ඇඳේ හාන්සි කරනු ලැබීය. පත්මසීලන් පන්විල ඔහුගේ වෙළඳ සැලට ගොසිනි.
  • ලෙච්චමී මිය යාමට කලකට පෙර සිය දරුවන්ගෙන් ඉල්ලා සිටියේ තමා මනාලියක වූ දිනයේ සැරසුණු සාරියෙන්ම තමන් මියගිය පසු දේහය සරසවන ලෙසයි.
  • ⁣දෙමළ ජාතිකයන් අතර ද පවතින මේ කුලය "වන්නාර්" ලෙසින් හැඳින්වේ.
  • මෙලෙස දේහයක් භූමදානය සඳහා රැගෙන යනවිට ඒ පසුපසින් කාන්තාවන් පැමිණියහොත් ඒ තුංමංහන්දිය දක්වා පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):
වීරසිංහම් ද ළඟපාතකට ගොසිනි. පත්මසීලන්ට දුරකථන ඇමතුමක් දුන් පසු ඔහු එසැණින් කඩය වසා ලෙච්චමීට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා සොයා දිව ගියේය. ඔහු ගෙදර පැමිණියේ ලෙච්චමීට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා ද කැටුව ය. වෛද්‍යවරයා ස්ටෙතස්කෝපය ලෙචචමීගේ පපුවට තබා බැලුවේය. අතේ නාඩි ද අල්ලා බැලීය ඔහුගේ මුහුණේ වූයේ අඳුරු ස්වභාවයකි.
         
"අම්මා නැති වෙලා......" ඔහු සංසුන් හඬින් පැවසීය.
         
"නැති වෙලා?" පත්මසීලන් හඬ වෙව්ලුවේය. 
         
වෛද්‍යවරයා එය ස්ථිර කරමින් හිස සලද්දී නිවසම පිරී ගියේ එකම විලාප හඬකිනි.
         
ලෙච්චමීගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා දරුවෝ සියලු දෙනාම සූදානම් වූහ.
 
ඇය භූමදානය කරන්නට සූදානම් කෙරුණේ පන්විල සුසාන භූමියෙහි ය. කෙනෙක් මිය ගිය පසු දේහය සුදු ඇඳුමෙන් සරසවාලීම සිංහල සිරිත වුවත් දෙමළ ජාතිකයන්ගේ සිරිත ඊට ඉඳුරා ම වෙනස් ය. ඕනෑම වර්ණ ඇඳුමක් දේහයට ඇන්දවීමට ඔවුන්ට අවකාශ තිබේ. අවමගුල් උත්සවයට සහභාගි වන අයත් සුදු ඇඳුමෙන් සැරසෙන සිරිතක් ඔවුන් අතර නොමැත. ලෙච්චමී මිය යාමට කලකට පෙර සිය දරුවන්ගෙන් ඉල්ලා සිටියේ තමා මනාලියක වූ දිනයේ සැරසුණු සාරියෙන්ම තමන් මියගිය පසු දේහය සරසවන ලෙසයි. එදින ඇය හැඩවී සිටියේ තැඹිලි පැහැයේ කන්චිපුරම් පට්ටු සාරියකිනි. පට්ටු යනු ⁣සේද යන අරුතයි. අලංකාර සේද නූලෙන් වියන ලද කන්චිපුරම් පට්ටු සාරි ඉන්දියාවේ තමිල්නාඩුවේ නිෂ්පාදනය වේ. ඒවා මිලෙන් ඉහළ බරෙන් වැඩි සාරි විශේෂයකි. ලෙච්චමීගේ දේහයට එම සාරිය අන්දවා තිබිණි.         
හින්දු චාරිත්‍රයට අනුව මිය ගිය කෙනෙක් භූමදානය කිරීම සඳහා සුසාන භූමියට ගෙන යනවිට එම පවුලේ කාන්තාවක් වතුර සහිත මැටි කළයක් හිස මත තබාගෙන දේහය පසුපසින් අනෙක් පිරිස සමගම යා යුතුය. විශේෂයෙන් ම මෙම චාරිත්‍රය ඉටු කරන්නේ මිය ගිය කාන්තාවගේ හෝ පුරුෂයාගේ දියණිය හෝ ලේලිය යි. වේළුසාමි වෙනුවෙන් මෙන්ම ලෙච්චමී වෙනුවෙන් ද එම චාරිත්‍රය ඉටු කළේ සූරිය කුමාරි ය. 
 
3b5137ca fc31 4744 8eec 00aae220d002
           
මෙසේ දේහය ගෙන යන පිරිස තුංමං හන්දියක් ළඟ නතර වන්නේ චාරිත්‍රයට අනුව ය. සූරිය කුමාරි වතුර කළය හිස මත තබාගෙනම දේහය වටා එක් වරක් ගියාය. ඉන්පසු චාරිත්‍රයට අනුව කුඩා පිහියක් ආධාරයෙන් කළයේ පැත්තකින් සිදුරු කෙරේ. මෙම සිදුර විදින්නේ ඩෝබි නමින් සාමාන්‍ය සමාජය විසින් හඳුන්වන රෙදි සෝදන කුලයට අයත් කෙනෙකි. ⁣දෙමළ ජාතිකයන් අතර ද පවතින මේ කුලය "වන්නාර්" ලෙසින් හැඳින්වේ. වතුකරයේ වෙසෙන මේ කුලයේ අයත් බොහෝවිට වතු කම්කරු වෘත්තියෙහි ම යෙදුණාහ.
           
සිදුරක් විදීමෙන් පසු එයින් වතුර වෑස්සෙද්දීම එම කළ⁣ය හිසින් ගෙන දෙවන වටය යා යුතුය. දෙවන වටය අවසන් වූ පසු තවත් සිදුරක් විදිනු ලැබේ. එයිනුත් වතුර වෑස්සෙද්දීම තුන්වෙනි වටය යනවිට කළය හිස් වෙයි. තුන්වෙනි වටය අවසානයේ කළය බිම ගසා බිඳිනු ලබයි. පිරිස සමග ගමන් කළ වැඩිහිටි කාන්තාවක් සූරිය කුමාරිව ගෙදර එක්කරගෙන එන අතරේ අනෙක් පිරිස දේහය භූමදානය පිණිස කනත්තට රැගෙන යයි. මෙලෙස දේහයක් භූමදානය සඳහා රැගෙන යනවිට ඒ පසුපසින් කාන්තාවන් පැමිණියහොත් ඒ තුංමංහන්දිය දක්වා පමණි. කළය බිඳීමෙන් පසු කාන්තාවෝ ආපසු පැමිණෙති. සුසාන භූමියට කාන්තාවන් යන්නේ නැත. 
           
මේ වනවිට කළය හිසමත තබාගෙන ගිය සූරිය කුමාරිගේ ඇඳුම හොඳහැටි තෙමී ඇත. චාරිත්‍රයට අනුව ඉන්පසු සූරිය කුමාරි ගෙතුළට නෑවිත් මිදුල දිගේ ගෙයි පසුපසට ගොස් දිය නා ගත්තාය. ඉන්පසු ඇඳුම් මාරු කරගෙන ගෙයි වටෙන් ඇවිත් ඉදිරිපස දොර ළඟට පැමිණියේ ද චාරිත්‍රය අනුව ය. මේ අවස්ථාවේ නිවසේ කෙනෙක් දොරකඩ අසල බිම මිදුලේ මෝල් ගසක් හරහට දමා පොල්තෙල් පහනක් දල්වා තබනු ලබයි. දිය නා, මිදුල පැත්තෙන්ම ඉදිරිපස දොරකඩට එන සූරිය කුමාරි පොල්තෙල් පහන දෙස බලාගෙන ම මෝල්ගස උඩින් පැන ගෙට ඇතුළු වෙයි. මේ ඔවුන් ගේ සිරිතකි.
 
rakshawa wattha 1රාක්ෂාව වත්ත
         
දේහය භුමදානය කිරීමෙන් පසු පිරිස වල වසා දමා එම පස්වලට උඩින් වල වටේට නවදානියම් ඉසිනු ලැබේ. නවදානියම් යනු ධාන්‍ය වර්ග නවයකි. වී, කඩල, කව්පි, මුං, උඳු, පරිප්පු, අබ, කොල්ලු, උළුහාල් වැනි දේවල් මීට අයත් වේ. භූමදානයට නිවසින් පිටත් වනවිට පවුලේ කවුරුන් හෝ කුඩා මුට්ටියකට නවදානියම් කලවමේ දමා ගෙන රැගෙන යනු ලබයි. ඉන්පසු වල වටේට මල් පැල, පලතුරු පැල ආදියද සිටවීම ද ඇතමුන් සිදු කරති. මෙලෙස සිටුවන ලද පේර, අලිපේර, වෙරළු ආදී පලතුරු ගස්වල ගෙඩි කන අයට හිසරදය වැනි ලෙඩ රෝග නොහැදෙන බවට ඔවුන් තුළ විශ්වාසයක් තිබේ.
         
දේහය භූමදානය කළ පිරිස යළි නිවසට පැමිණෙන්නේ කරනවෑමියකු (බාබර්) ද සමගිනි. එදිනට සුසාන භූමියට පැමිණෙන ලෙස කල්තබාම කරනවෑමියා දැනුවත් කරනු ලබයි. නිවසට පැමිණි සැණින් පවුලේ වැඩිමහල් හෝ බාල පිරිමි දරුවා දිය නා ගත යුතුය. ඉන්පසු කරනවෑමියා හිස බූ ගා දමයි. වේළුසාමි මිය ගිය අවස්ථාවේ හිස බූ ගෑවේ පූබාලසිංහම්ගේ ය. ලෙච්චමී මිය ගිය කල පත්මසීලන්ගේ හිස බූ ගෑවේය. ඊළඟට කලින් සූදානම් කර තබන ලද සන්දනම් හෙවත් චන්දනම් ආලේපය (චන්දනම් යනු සුදුහඳුන් ය. එය වතුර සමග මිශ්‍ර කර තලපයක් ලෙස සකස් කර ගැනේ) හිස පුරා ගැල් වූ පසු මඳ වෙලාවකින් ඒවා වේලී යයි. 
       
සිංහල බෞද්ධයන් එදින මළබත නමින් බතක් පිස පැමිණි සියලු දෙනාටම සංග්‍රහ කිරීමේ සිරිතක් තිබේ. එපරිද්දෙන් මේ අය ද මළබත පිසිති. නමුත් මස්, මාළු, කරවල වැනි කිසිවක් මේ මළබතට ඇතුළත් නැත. බත් සමග සාම්බාරු හොදි, පපඩම්, රසම් සහ එළවළු වර්ග කිහිපයක් පිළියෙළ කෙරේ. මරණය සිදු වී දින හතරක් පසුවනතුරු මස්, මාළු, කරවල වැනි පුළුටු වර්ග නිවසටවත් ගන්නේ නැත. 
       
38181 1ලෙච්චමීගේ නිවසේ දෙවියන් පුදන කමරය
මරණයෙන් පසු අටවෙනි දිනයේ බත්, මස්, මාළු, එළවළු, තෝසෙ, ඉට්ලි, වඩේ, පිට්ටු, රසකැවිලි ආදී වශයෙන් කෑම වර්ග රාශියක් සාදනු ලබයි. මිය ගිය පුද්ගලයා ජීවත්ව සිටියදී කන්නට කැමති සියලුම කෑම වර්ග මෙහිදී පිළියෙළ කෙරේ. ඉන්පසු දෙවියන් උදෙසා පහන් දල්වනු ලබන ස්ථානයේ බිම පැදුරක් එලා ඒ මත මේ සියලුම කෑම වර්ග සහිත භාජන තැන්පත් කෙරේ. කෙසෙල් ආදී පලතුරු වර්ග ද ඒ සමගම තබනු ලබයි. ඉන්පසු නිවසේ දොර විවර කර දමා නිවැසියෝ ඒ අසලට නොයා පසෙකට වී සිටිති. ඔවුන්ගේ විශ්වාසය වන්නේ මිය ගිය තම පවුලේ ⁣කෙනා පැමිණ එම ආහාර අනුභව කර පිටව දොරෙන් පිටවී යන බවයි. මේ දානයට සහභාගි වන්නේ පවුලේ අය පමණකි. වෙනත් ඥාති හිතමිතුරන් කිසිවෙක් මේ සඳහා සම්බන්ධ කර නොගැනේ.        
ඥාති හිතමිතුරන්, අසල්වැසියන් සැමට ආරාධනා කර දානය දෙන්නේ මරණය සිදුවී දාසයවෙනි දිනයේ දී ය. එදිනට සියලු ආහාර වර්ග සකස් කර ආරාධිතයන්ට පිළිගැන්වීම සිදු වේ. නමුත් මේ වනවිට මියගිය පුද්ගලයා ⁣කුමක් හෝ උප්පත්තියක් ලබා ඇති නිසා මියගිය ඥාතියා වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමක් ඔවුන් වෙතින් සිදු නොවේ. නැවත වසරක් පාසා මියගිය පුද්ගලයා සිහි කර ඥාති හිතමිතුරන් වෙනුවෙන් දානය පිරිනැමුවත් එහිදීද මළගිය ඥාතීන් හට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍ර නොමැත. එසේම කෝවිල්වල පූජකයෝ ද මේවාට සහභාගි නොවෙති. 
         
පන්විල නගරයේ සිට ගාලකඩේ හන්දිය පෙනෙන මානයේ වෙල්ඩින් ෂොප් එක සමීපයෙන් ඇති පාරේ පිහිටි තරමක් විශාල නිවසක සූරිය කුමාරිලා අදත් වෙසෙති. නමුත් ඔවුන්ගේ දරුවන් එහි නැත. සියලු දෙනාම උසස් අධ්‍යාපනය සඳහා නිවසින් බැහැරව ගොසිනි. ඔවුන් ගෙදර එන්නේ නිවාඩු ලැබුණු දිනවලට ය. සූරිය කුමාරි දැන් ඒ පාළුවට හුරු වී සිටී.
         
රාක්ෂාව වත්තේ පනිය ලයිමේ ජීවිතය ආරම්භ කළ වේළුසාමිත්, ලෙච්චමීත් අනතුරුව ලයිමෙන් පිටවී පන්විල කුලියට ගත් නිවසක වෙනම ජීවිතයක් ඇරඹුවේ වැඩිමහල් දරුවන් කුඩා වියේ සිටිනවිට ය. ඔවුන් දෙදෙනාට වුවමනා වුණේ තම දරුවන් රාක්ෂාවට කොටු නොකර හොඳින් අධ්‍යාපනය ලබා උසස් ජීවිතයක් ගත කරනු දකින්නට ය. එම දරුවන් ද මාපිය අපේක්ෂාවන් ඉටු කළ යහපත්, ශිෂ්ටසම්පන්න, උගත් දරුවෝ වූහ. වේළුසාමි මෙන්ම ලෙච්චමීත් මිය ගියේ දරුවන් මෙන්ම මුණුපුරු මිණිපිරියන් නිසා ද සැනසුණු සිත් ඇතිව ය.
 
rakshawa 4රාසම්මා
       
තමාට සිටි හිතෛෂීවන්තම මිතුරිය සදහට ම මෙලොව හැර ගිය බව බව රාසම්මා දැන ගත්තේ එම මරණය සිදු වී සෑහෙන කාලයකට පසුව ය. ඊට හේතුව වුණේ රාසම්මා සෑහෙන කලක් බංගලා ලයිමේ නොසිටීම ය. ලෙච්චමී මියයන්නටත් පෙර රාසම්මා නිතර නිතර අසනීප වීම නිසා මාරිමුත්තු තම සොයුරිය ඔහුගේ ගෙදරට එක්කරගෙන ගියේය. ලෙච්චමීගේ මරණය දැන ගත් රාසම්මා දින ගණනක් තනිව හඬා වැළපුණාය. රාක්ෂාව වත්තේ වැඩ කරනවිට නිරන්තරයෙන් ඇයව ආරක්ෂා කළේ ලෙච්චමී ය. රාසම්මාගේ සැමියා වන රාමය්යා මියගිය පසු ඇගේ දුක නිවා හිත හදන්නට බොහෝ දේ කීවේ ද ලෙච්චමී ය. කෙසේ නම් ලෙච්චමී අක්කාව සිතින් අමතක කරන්නද? ඇය බංගලා ලයිමට පැමිණි පසු වත්තේ කෙනෙකු සමග ලෙච්චමී අක්කාගේ ගෙදරට ගොඩ වැදුණාය. ඒ මොහොතේ නිවසේ සිටියේ සූරිය කුමාරි පමණි. ඇය සමග තම දුක කියමින් හිඳ රාසම්මා ආපසු පැමිණියේ බොහෝ වෙලාවක් එහි ගත කිරීමෙන් පසුව ය.
           
රාසම්මා තමන්ගේම දරුවකු ලෙස ඇතිදැඩි කළ මාරිමුත්තු රුවන් දැන් විසිහත් වෙනි වියේ පසුවන, තවම අවිවාහක තරුණයෙකි. වෘත්තියෙන් කෝකියෙකි. රැකියාව කරන්නේ පිට ප්‍රදේශවල බැවින් නිතර ඔහුට සිය නැන්දා (රාසම්මා) ගේ නිවසේ රැඳෙන්නට වෙලාවක් නැත. නමුත් නිවාඩු ලබා පැමිණෙනවිට ඇයට කෑමට බීමට අවශ්‍ය සියලු දේ ඔහු රැගෙන එයි. අතට මුදල් ද දෙයි. රාසම්මාගේ සොහොයුරා මාරිමුත්තු, එනම් රුවන්ගේ පියා මසකට වරක් හෝ දෙවරක් ඉඩ ලද සැණින් රාසම්මා දකින්නට එන්නේ ද ඇයට කෑමට බීමට අවශ්‍ය බොහෝ දෑ රැගෙන ය. ඔහු ද ඇයට මිල මුදලින් උදව් කරයි. මේ නිසා රාසම්මා සිය සැඳෑ සමය දුකකින් කරදරයකින් තොරව නිවසට වී ගත කරන්නීය. ඇයට පෙර මෙන් දැන් වත්තේ වැඩ කළ නොහැකිය. 
         
බංගලා ලයිමේ අදටත් ජීවත් වන රාසම්මාට රාක්ෂාවේ තේ ගස් පෙනෙයි. අද එහි වැඩි කොටසක් වල් වැදී ඇති අන්දම දකින ඇයට සුසුමක් පිට වන්නේ ඉබේම ය. තමන්, රාමය්යා, ලෙච්චමී අක්කා ඇතුළු රාක්ෂාව වත්තේ ලයිම් පහක් පුරා ජීවත් වූ මිය ගිය අයත්, දැනට ජීවත් වන අයත් මේ වත්ත වෙනුවෙන් තම දහඩිය කඳුළු හෙලූවෝ වෙති. රාක්ෂාව වත්තේ පස් කැටයක් ගාණේ ඊට සාක්ෂි දරනු ඇත. 
         
100921බංගලා ලයිම
අසු වෙනි විය එලිපත්තේ සිටියත් අතීතයේ දී මෙන් අද ද රාසම්මාගේ මුහුණේ නිරන්තරයෙන් රැඳුණු ජීවී සිනාව එලෙසින් ම පවතී. හෙට දවසක් ගැන කප්පරක් සිහින නැති මේ ලයිම්වල ජීවත් වන බොහෝ දෙනා මෙන් රාසම්මා ද උදාවන සැනසිල්ලේ ගත කරන්නීය. 
රාක්ෂාව වත්තේ කම්කරුවන් සහ ඔවුන් ගේ ජනජීවිතය පිළිබඳවත්, එම සංස්කෘතිය පිළිබඳවත්  තොරතුරු ගෙන ආ "රාක්ෂාව" ලිපි පෙළ මෙතෙකින් නිමවේ.
 
       
තොරතුරු සෙවීමේ දී මට නන් අයුරින් සහාය වූ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ප්‍රවීන මාධ්‍යවේදී තිලක් සේනාසිංහ, සමාජ ක්‍රියාකාරී වීරේ වීරසිංහම් සහ පන්විල පත්මසීලන්, සූරිය කුමාරි, මයුරන් සුරේෂ්, මාරිමුත්තු රුවන්, ත්‍රිරෝද රථ රියැදුරු යෝගා මෙන්ම බංගලා ලයිමේ වැසියන්ටත් බෙහෙවින් ම ස්තුතියි.
       
ඡායාරූප - ඉන්දු පෙරේරා, මයුරන් සුරේෂ්, මාරිමුත්තු රුවන් සහ අන්තර්ජාලය 
 
 
සටහන : ඉන්දු පෙරේරා
 
සබැඳි ලිපි :
 

රාක්ෂාව (1 කොටස) : මල්ලිට විටාමිල්ක් ගන්නට තේ දළු කඩන්න ගිය දැරිය | ඉන්දු පෙරේරා

රාක්ෂාව (2 කොටස) : රුපියල් විසි පහේ දවස් පඩියට රාසම්මා ට රැකියාවක් | ඉන්දු පෙරේරා

රාක්ෂාව (3 කොටස) : රාසම්මා ගේ කොටහලු උත්සවය | ඉන්දු පෙරේරා

රාක්ෂාව (4 කොටස) : රාසම්මා මාමා සමග විවාහ වෙයි | ඉන්දු පෙරේරා

රාක්ෂාව (5 කොටස) : රාසම්මාගෙන් රෝගීන්ට ප්‍රතිකාර | ඉන්දු පෙරේරා

රාක්ෂාව (6 කොටස) : ලයිමේ මව්වරුන් ට දරු ප්‍රසූතියේදී සහාය වන මරුත්තු විච්චි | ඉන්දු පෙරේරා

රාක්ෂාව (7 කොටස) : හය හතර තේරෙන්නටත් පෙරම ජීවිත පොතේ අකුරු කියවන දරුවෝ | ඉන්දු පෙරේරා

රාක්ෂාව (8 කොටස) : උප්පැන්න නැතත් රාසම්මලාට ජාතික හැඳුනුම්පතක් | ඉන්දු පෙරේරා

රාක්ෂාව (9 කොටස) : රාසම්මා ට වල් ඌරු අතවරයක් | ඉන්දු පෙරේරා

රාක්ෂාව (10 කොටස) : රාසම්මාට මුරකාරියක් | ඉන්දු පෙරේරා

රාක්ෂාව (11 කොටස) : බිරියන් දෙදෙනකු සිටීමත් පිරිමිකමේ අගය වැඩි කරවන්නක් | ඉන්දු පෙරේරා

රාක්ෂාව (12 කොටස) : දුක කරපින්නා ගෙන ලොවට හොරා හඬන ගැහැනු | ඉන්දු පෙරේරා

රාක්ෂාව (13 කොටස) : රාසම්මලාත් නව අවුරුදු සමරයි | ඉන්දු පෙරේරා

රාක්ෂාව (14 කොටස) :තෛපොංගල් සැමරීමට සූදානම් වන රාක්ෂාව | ඉන්දු පෙරේරා

රාක්ෂාව (15 කොටස) : පැණි රසට සහ දැවිල්ලට හදන පොංගල් බත් | ඉන්දු පෙරේරා 

රාක්ෂාව (16 කොටස) : රාම මංගල්‍යය | ඉන්දු පෙරේරා

රාක්ෂාව (17 කොටස) : අඩු වයසින් දීග යන තේ වතුවල දැරියෝ | ඉන්දු පෙරේරා

රාක්ෂාව (18 කොටස) : ලෙච්චමීට දරු සම්පතක් | ඉන්දු පෙරේරා

රාක්ෂාව (19 කොටස) : රාක්ෂාවේ මහා ශිව රාත්‍රිය | ඉන්දු පෙරේරා

රාක්ෂාව (20 කොටස) : කුල දෙවි වන්දනාව | ඉන්දු පෙරේරා

රාක්ෂාව (21 කොටස) : රාක්ෂාවේ "කරගම් පාලිත්තල්" | ඉන්දු පෙරේරා 

රාක්ෂාව (22 කොටස) : මාඩසාමි දෙවියෝ | ඉන්දු පෙරේරා 

රාක්ෂාව (23 කොටස) : මාඩසාමි දෙවියන්ගෙන් වැඩ ගත් ලොකු තාත්තා | ඉන්දු පෙරේරා

රාක්ෂාව (24 කොටස) : ලොකු තාත්තා තමන් මිය යන දිනය සහ වෙලාව පවා කල් තියා කී හැටි | ඉන්දු පෙරේරා

රාක්ෂාව (25 කොටස) : රාමය්යාට කුමක් වීද? | ඉන්දු පෙරේරා 

රාක්ෂාව (26 කොටස): රාසම්මාට අලුත් රැකියාවක් | ඉන්දු පෙරේරා

රාක්ෂාව (27 කොටස) : රාසම්මාට පුත් රුවනක් | ඉන්දු පෙරේරා 

රාක්ෂාව (28 කොටස) : දරුවා වෙනුවෙන් රාසම්මා රැකියාව අතහරී | ඉන්දු පෙරේරා

රාක්ෂාව (29 කොටස) : ළිපත් පූජනීය වස්තුවක් | ඉන්දු පෙරේරා 

රාක්ෂාව (30 කොටස) : ලෙච්චමීලාට එක පිට එක කරදර | ඉන්දු පෙරේරා

රාක්ෂාව (31 කොටස) : බංගලා ලයිමේ කාමන් කූත්තු | ඉන්දු පෙරේරා

රාක්ෂාව (32 කොටස) : රෝදමුනි දෙවියෝ | ඉන්දු පෙරේරා

රාක්ෂාව (33 කොටස) : බීබි අක්කා | ඉන්දු පෙරේරා

රාක්ෂාව (34 කොටස) : ලෙච්චමී ඉන්දියාවට | ඉන්දු පෙරේරා

රාක්ෂාව (35 කොටස) : තේරු උත්සවය | ඉන්දු පෙරේරා

රාක්ෂාව (36 කොටස) : ලෙච්චමීගේ කැදැල්ල | ඉන්දු පෙරේරා

රාක්ෂාව (37 කොටස) : වේළුසාමි ගේ ඉන්දියානු සිහිනය | ඉන්දු පෙරේරා 

රාක්ෂාව (38 කොටස) : ලෙච්චමී ට කුමක් වීද? | ඉන්දු පෙරේරා 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...