දකුණු ඉන්දීය දෙමළ ජනතාව අපේ රටට මන්නාරමෙන් ගොඩබට පසු දෙපයින් ඇවිද ආ ගමන් මග වූයේ මන්නාරමෙන් වවුනියාවටත්, එතැනින් අනුරාධපුරයටත්, ඉන්පසු දඹුල්ලටත් පැමිණ ඒ හරහා මාතලේ දක්වා ය. එක්දහස් අටසිය ගණන්වල මෙම ප්‍රදේශ වනසතුන්ගෙන් ගහණ ඝන කැලෑවල් වූවා විනා මිනිසුන්ට ගමන් යා හැකි පාරවල් තිබුණේ නැත. ඔවුන් මෙම ප්‍රදේශ හරහා දෙපයින් ඇවිද ආවේ මග දිගට කැලෑව කපාගෙනම ය. කෝපි වගාවට මෙම දෙමළ කම්කරුවන් ගෙන එද්දී ආවේ පිරිමින් පමණි. නමුත් තේ වගාවට විශේෂයෙන් දළු නෙළීම වැනි රාජකාරිවලට කාන්තාවන් ද අවශ්‍ය වූ නිසා තේ වගාව සඳහා පිරිමින් සමග කාන්තාවෝ ද පැමිණියහ. නමුත් මුලදී කාන්තාවන් පැමිණියේ පිරිමින් තරම්ම නොව ඊට වඩා බෙහෙවින් සුළු ප්‍රමාණයකි.
තේ වගාවට විශේෂයෙන් දළු නෙළීම වැනි රාජකාරිවලට කාන්තාවන් ද අවශ්‍ය වූ නිසා තේ වගාව සඳහා පිරිමින් සමග කාන්තාවෝ ද පැමිණියහ.මෙම දුක්ඛිත චාරිකාවේ දී ඉන්දියාවේ සිට මුහුදේ බෝට්ටුවෙන් පැමිණෙන ගමනේදී පටන් ම ඔවුහු අසීමිත වූ දුකක් වින්දාහ. ඔවුන් පැමිණියේ ඉන්දියාවේ එකම ගම්මානයකිනි. මේ කම්කරුවන් ඊට පෙර කවදාවත් මුහුද දැක තිබුණේ නැත. එසේම බෝට්ටුවකින් ගමන් ගොස් තිබුණේ ද නැත. මුහුදු සුළඟ ඔරොත්තු නොදීම නිසා සමහරු රෝගී වූහ. නමුත් ඔවුන්ට බෙහෙත්හේත් තිබුණේ ද නැත. සමහරු කුණාටුවලට හසු වී මිය ගියහ. මෙසේ මුහුදේ එන අතරමගදී මිය ගිය අය මුහුදට හෙළීම හැර අන් විකල්පයක් ඉතිරිව සිටි අයට නොතිබිණි. මෙලෙස ඉන්දියාවේ සිට ලංකාවට කම්කරුවන් ගෙන එමින් තිබූ "ආදිලෙච්චමි" නම් විශාල බෝට්ටුවක් (මෙය නැවකට වඩා මඳක් කුඩා වූ විශාල බෝට්ටුවකි. මගීන් දෙසීයකට පමණ එකවර ගමන් කළ හැකිය.) 1864 දී මුහුදුබත් වූ අතර එහි සිටි කම්කරුවෝ 150 ක පමණ පිරිසක් එම අනතුරින් මිය ගියහ.
වසර ගණනාවක් තිස්සේ අපේ රටට දකුණු ඉන්දීය කම්කරුවන් පැමිණි අතර මේ ගමන්වලදී අතරමග දී මියගිය පිරිස ගැන කිසිවකුවත් ගණන් වශයෙන් නිශ්චිත ව කියන්නට දැන සිටියේ නැත. මෙසේ වසර ගණනාවක් තිස්සේ අපේ රටට දකුණු ඉන්දීය කම්කරුවන් පැමිණි අතර මේ ගමන්වලදී අතරමග දී මියගිය පිරිස ගැන කිසිවකුවත් ගණන් වශයෙන් නිශ්චිත ව කියන්නට දැන සිටියේ නැත. නමුත් දළ වශයෙන් දැක්වෙන අන්දමට 1841 දක්වා පැමිණි කම්කරු ජනතාවගෙන් හැත්තෑ දහසක් පමණ මියගොස් ඇති බව එවකට පැවති ඔබ්සවර් පුවත්පත (මෙම පුවත්පතේ ආරම්භය 1791වසරයි.) අනාවරණය කර තිබිණි. එහි දැක්වෙන අන්දමට එය පැමිණි පිරිසගෙන් 25% ක් පමණ වේ. එසේ ම තවදුරටත් මෙම පුවත්පතෙහි පළ වී තිබූ පුවතකට අනුව 1841 - 1849 දක්වා කාලය තුළ නවදහසක පමණ ඉන්දීය කම්කරුවන් පිරිසක් මියගොස් ඇත.
ඉංග්‍රීසීහු සිය පාලන සමයේ දී "වහල් දූපත" යන අරුත ඇති "Slave island" ලෙස මෙය නම් කර තිබිණි.අපේ රටට මෙලෙස ඉන්දියාවේ සිට ඔවුන් පැමිණියේ කෝපි වගාව, තේ වගාව වැනි වතු වගාවලට පමණක් නොවේ. කොළඹ වරායේ කම්කරු වැඩවලට, පාරවල් තැනීමට, කොළඹ ශුද්ධ පවිත්‍ර කිරීමට, දකුණේ තේ වගාවට මේ ආදි වශයෙන් අවස්ථා ගණනාවකදී ඉන්දීය කම්කරුවන් මෙරටට ගෙනැවිත් තිබිණි. එකල කොළඹ යනු කැලෑබද ප්‍රදේශයකි. එක් නිදසුනක් වන්නේ කොළඹ හත කුරුඳුවත්ත ප්‍රදේශයයි. එහි කුරුඳු වගා කර තිබීම නිසා කුරුඳුවත්ත විය. කොළඹ දෙක කොම්පඤ්ඤවීදිය ප්‍රදේශය පෘතුගීසි පාළන සමයේ අප්‍රිකානු වහලුන් රඳවා සිටි රැඳවුම් මධ්‍යස්ථානයක් විය. පසුව ඉංග්‍රීසීහු සිය පාලන සමයේ දී "වහල් දූපත" යන අරුත ඇති "Slave island" ලෙස මෙය නම් කර තිබිණි.
පැරණි කොළඹ නගරය වැල්ලවත්ත රෙදි මෝල නමින් සාමාන්‍ය ජනතාව විසින් හඳුන්වනු ලැබූ වැල්ලවත්ත පෙහෙකම්හල ඉදිකරවා මෙහි ස්ථාපිත කරන ලද්දේ ඉන්දියාවේ බායිලා ය. ඔවුහු ද මෙම පෙහෙකම්හලේ කම්කරුවන් ලෙස කටයුතු කිරීම සඳහා ඉන්දියානුවන් රැගෙන ආහ. මෙය ඉන්දියාවෙන් කම්කරුවන් මෙහි රැගෙන ඒමට හේතු වූ තවත් සිද්ධියකි. 1890 දී පමණ වූ එම සිදුවීම පිළිබඳව අපි පසු ලිපියකින් කතා කරමු.
කඳුකරයේ වතු වගාවට බෝට්ටුවලින් රැගෙන විත් ඉන්දීය කම්කරුවන් මන්නාරමෙන් ගොඩ බස්වද්දී, තවදුරටත් ඉන්දියානු කම්කරුවන් කොළඹින් මීගමුවෙන් මෙන්ම පුත්තලමෙන්ද ගොඩබස්වා තිබිණි. මෙහිදී පාරවල් තැනීමට, කොළඹ කැලෑ කපා ශුද්ධ පවිත්‍ර කිරීමට හා එහි ඉදි කිරීම් කටයුතුවලට, වරායේ කම්කරු වැඩවලට ආදියට ඉන්දියාවෙන් ගෙනා කම්කරුවන් ගොඩ බස්වන ලද්දේ කොළඹින් සහ මීගමුවෙන් ය.
විසිවෙනි සියවසට පෙර කොළඹ වරායඒ අතර පුත්තලමෙන් ද ඉන්දීය කම්කරු පිරිස් ගොඩබස්වනු ලැබිණි. ඔවුන් පුත්තලමේ සිට වැලිසරට ගෙනා අතර වැලිසර ඔවුන්ගේ රැඳවුම් මධ්‍යස්ථානය විය. එතැනින් ඔවුන් ගෙනියන ලද්දේ දකුණු පළාතේ තේ වගාව සඳහා ය.
ඉන්දියාවෙන් පැමිණි මේ අමුත්තන්ව අපේ රටේදී විවිධ නම්වලින් හඳුන්වා තිබිණි. කූලිස්ලා යනු එක නමකි. එහි අරුත කුලීකාරයෝ යන්න ය. ඒ වචනය අපේ රටට පැමිණුනේ එලෙසිනි. ඒ හැරුණු විට ටොයිලස්ලා, ස්ලේව්ස් ඔෆ් ද බ්‍රිටිෂ් ( බ්‍රිතාන්‍යයන්ගේ වහලා), ලැකීස් ඔෆ් ද කොරනයිලිසම් ( යටත් විජිත යුගයේ දාසයා), වතුකරයේ දෙමළ, වතු දෙමළ (ප්ලාන්ටේෂන් ටැමිල්) මලෛයහ ටැමිල් ( කඳුකර දෙමළ) වැනි විවිධ නම්වලින් එකල ඔවුන් හඳුන්වනු ලැබිණි.
1880 පමණ වන විට කෝපි වගාව සම්පූර්ණයෙන් විනාශ වූ පසු බොහෝ ඉන්දීය කම්කරුවන් යළි සිය රට බලා යාමට හේතු වූ කාරණා රැසක් පැවතියේය. වගාව විනාශ වූ පසු මෙම කම්කරුවන්ට වැටුප් ගෙවන්නට වතු අයිතිකරුවන්ට හැකියාව නොතිබිණි. කෝපි වගාව පැවති කාලයේ වුවද නිසි ලෙස මාස්පතා වැටුප් ගෙවීමක් සිදුවූයේ නැත. ආහාර අහේනිය ඔවුන්ට බොහෝ සෙයින් බලපෑවේය. වෛද්‍ය පහසුකම් තිබුණේත් නැත. බොහෝ කම්කරුවන් රෝගීවී තැන් තැන්වල වැටී මිය ගොස් තිබිණි. ඉතිරි වූ සමහරු ආපසු ඉන්දියාවට ගියහ.
පැරණි තේ කම්හලක්නමුත් තේ වගාව ආරම්භ වීමත් සමඟ නැවත පෙරට වඩා විශාල වශයෙන් කම්කරුවන්ගේ අවශ්‍යතාවයක් පැන නැගිණි. කෝපි වගාවට මෙන් නොව මෙහිදී විශාල වශයෙන් කඳුකර ප්‍රදේශ හෙළිපෙහෙළි කිරීමේ අවශ්‍යතාවය මතු වූ අතර සිංහලයන් කිසිසේත්ම සුද්දන් යටතේ වැඩ කිරීමට කැමති වූයේ නැත. ඔවුන් අපේ රට යටත් කරගෙන සිටීම නිසා පමණක් නොව, මුඩුබිම් පනත යටතේ විශාල වශයෙන් තම ඉඩම් කොල්ලකෑම තවත් ප්‍රබල හේතුවක් විණි. අන්තිමේ යළිත් ඉන්දියානු කම්කරුවන් පෙරට වඩා වැඩි පිරිසක් ගෙන ඒම සිදු විය.
මෙසේ තේ වගාව සඳහා උඩරටට පැමිණි කම්කරුවන්ව වතු අයිතිකරුවෝ මාතලේට පැමිණ භාරගෙන තමන්ගේ වතුයායට රැගෙන ගියහ.
" මේ කට්ටිය ගෙනාවේ මම" යැයි තමන්ගේ කංකානිලා පැවසූ පසු ඒ ඒ අයිතිකරුවන් රැගෙන ගියේ ඒ ඒ පිරිස ය. නමුත් පැමිණි හැම කම්කරුවකු ම මෙලෙස භාරකරුවකු වෙතට පත් නොවුණු අවස්ථාද තිබිණි. එවිට ඒ අසරණ මිනිසුන් කුසගින්න නිසාම ආහාර සොයාගෙන ඒ මේ අත ගොස් අතරමං වී අන්තිමේ මියගිය අවස්ථාද වාර්තා වේ.
තේ වගාව සඳහා උඩරටට පැමිණි කම්කරුවන්ව වතු අයිතිකරුවෝ මාතලේට පැමිණ භාරගෙන තමන්ගේ වතුයායට රැගෙන ගියහ. මේ කාලයේ අපේ රටේ වසූරිය රෝගය ද වරින් වර හිස ඔසවමින් තිබිණි. 1796 දී ඉංග්‍රීසීන් අපේ රටේ මුහුදුබඩ පළාත් අල්ලා ගත් පසු 1802 දී වසූරිය සඳහා ප්‍රතිශක්තිකරණයක් ලෙස එන්නත් දීම ආරම්භ කළත් ඉන්පසුව ද කලින් කලට අපේ රටේ වසූරිය රෝගය පැතිර ගියේය. ඊට එක හේතුවක් වූයේ එන්නත් ලබාදීම රටේ මුහුදුබඩ පළාත්වලට සීමා වීම ය. එය රට මැදට ගියේ පසුකාලීනව වන අතර වරින් වර පැමිණි ඉන්දියානු කම්කරුවන් නිසා නැවත නැවතත් මේ රෝගය රට මැද හටගත් අවස්ථා වාර්තා වී තිබේ.
1831 වසරේදී අපේ රටේ ආරම්භ කරන ලද පැරණිම පුණ්‍යායතනයක් වන Friends - in - society ආයතනය මගින් 1861 දී වසූරිය රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට මහනුවර "දෙයියන්නේවෙල" ප්‍රදේශයේ කුඩා රෝහලක් ආරම්භ කරනු ලැබිණි. වතුවල සිට රෝගී වන ලෙඩුන් රෝගය උත්සන්න වන විට ඇතුල් කළේ මෙම රෝහලට ය. එසේ උත්සන්න වන තෙක් බලා සිටීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ එදා ලෙඩුන් රෝහලට රැගෙන ගියේ කර තබාගෙන ය. එවිට ලෙඩා සමග තවත් කම්කරුවන් හතර දෙනෙක් යා යුතු විණි. මෙය වතුයාය අයිතිකරුවාට විශාල පාඩුවක් විය. රෝහලට ඇතුල් කළ පසුව එම කම්කරුවන් ආපසු පැමිණිය යුතුය. රෝගය උත්සන්න වී රෝහලට ඇතුල් කළ වසූරිය රෝගීන් යළි ආපසු සුව වී ආවේ නැත.
වර්තමාන මහනුවර මහ රෝහලකුඩා රෝහලක් ලෙස එදා ආරම්භ කර Friends-in-need society මගින් පාලනය වූ මේ රෝහල පසුකාලීනව රජයට පවරා ගන්නා ලද අතර එම කුඩා රෝහල ඉන්පසු නාගරික රෝහලක් වී, ඊළඟට මහ රෝහලක් සහ ශික්ෂණ රෝහලක් බවට සංවර්ධනය කරනු ලැබ මේ වන විට අපේ රටේ දෙවන ජාතික රෝහල ලෙස නම් කර ඇත. මෙය අක්කර පනස් දෙකක භූමි ප්‍රදේශයක ව්‍යාප්ත වී ඇති රෝහලකි.
ලැයිම් නිවාසවතු කම්කරුවන්ට පදිංචි වීම සඳහා වතුවලම එකිනෙකට යාව පිහිටි තනි පේළි නිවාස (line) තනා තිබිණි. මේවා මැටි හා දැව ආශ්‍රයෙන් සාදා තිබුණේ කුඩා කාමර ලෙස ය. සමහර නිවාස වැඩි පිරිසකට නතරවී සිටිය හැකි කුඩා ශාලා බඳු ඒවා විය. තවත් කාලයකට පසු මෙම නිවාස හුණුගල්, කළුගල් සහ හුණු බදාම යොදා දැව මිශ්‍ර කර තනි පේළි නිවාස ලෙස ම සැකසිණි. මේවා ලැයිම් නිවාස ලෙස අදත් ව්‍යවහාරයේ පවතී. වැසිකිලි පහසුකම් පැවතියේ නැත. ඔවුන් එම කටයුත්ත කළේ ඒ අවට තිබූ ඝන කැලෑවල්වල ය. මෙවන් අතිශය දුෂ්කර ජීවිත ගතකළ ඔවුන් රෝගී වන විට හැමදෙනාටම පාහේ එම රෝග බෝ වීම පහසුවෙන් සිදු විය. එනිසා ජීවිතය දුෂ්කර වූවා සේම මරණයද ඔවුන් හමුවේ ඉතා සුලභ දෙයක් බවට පත්ව තිබිණි. වතුයායෙන් පිටට යාමට හෝ අවසරයක් නැතිව ඔවුන් ජීවිතය දුක සමඟ වතුයාය තුළම දිය කර හැරි පුද්ගලයන් පිරිසක් බවට පත්ව තිබිණි. මෙම ඉන්දියානු කුලීකරුවන් පිරිස ලෝකයේම නමක් දිනා ගත් අපේ රටේ ceylon tea නිෂ්පාදනයට දායක වූයේ එලෙසිනි.
ලැයිම් නිවාස
තේ වතු යායක්ඔවුන්ගේ ඒ කඳුළු කතාවේ ඊළඟ තව කොටසක් සමග යළිත් හමුවෙමු.තොරතුරු සපයා ගැනීමේ සහාය, කඳුකර සමාජ පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මාරිමුත්තු සතිවේල් පියතුමා, ප්‍රවීණ මාධ්‍යවේදී නුවන් ගංකන්ද, Collective for historical dialogue and memory ආයතනය, සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මුත්තුලිංගම් පෙරියසාමි සහ අන්තර්ජාලයෙනි.
සටහන: ඉන්දු පෙරේරා



